|
' ඇයි ... මොකද ...?' |
අද මගේ පොර ටෝක් එක 'ඩෙල්ෆ්ට් දූපත' ගැන. පොර ටෝක් එකක් කිව්වට ඉතිං ගිරිතලේ ට්‍රේනිං කොල්ලොත් එක්ක ආණ්ඩුවෙ වියදමින් ගිය ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක විස්තර තමයි. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන පාරිසරික හා ඓතිහාසික වටිනාකම් සහ සංචාරක විභවය නිසාම ඒකෙ කොටසක් දැං වනජීවී රක්ෂිතයක් විදියට ප්‍රකාශයට පත් කරන්න දෙපාර්තමේන්තුව යෝජනා කරලා තියෙනවා. කවුන්සලේ ඇත්තො එකඟවුනොත් විතරක් ඒක එහෙම සිද්ද වේවි. කණ්ඩායමේ අරමුණවුනේ ඒ වටිනාකම් පුහුණු අභ්‍යාසයක් විදිහට හඳුනා ගැනීම.
ඩෙල්ෆ්ට් දූපත ගැන ටිකක් හරි දන්න කෙනෙක් එක්ක ඒ ගැන කතා කළොත් ඉස්සෙල්ලාම අහන්නෙ ඒකෙ ඉන්න වල් පෝනියො ගැන. 'වල්' කිව්වෙ හීලෑ නැති, 'වනාන්තර ගත' (Wild , Feral) අර්ථයෙන්. පෝනියො ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒකෙ ඉතිහාසය දැනගෙන ඉමු.
අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දන්න, යාපනේ අර්ධවීපයට ඔබ්බෙන් මූදෙ තියෙන දූපත් සේරටම වගේ තියෙන්න මතක තියාගන්න අමාරු දමිළ නම්. ඒත් එක දූපතකට විතරක් 'ඩෙල්ෆ්ට්' කියලා ලේසියෙන් මතක තියාගන්න පුලුවන් නමක් තියෙන එක ලොකු සහනයක්. 'නෙදුන්තීවු' කියලා දමිල නමක් තියෙන ඒ දූපතේ නම වෙනස් කරලා තියෙන්නෙ, ඕලන්ද පාලන කාලෙදි, ඕලන්දයෙ තියෙන 'ඩෙල්ෆ්ට්' නගරය අනුව යමින්. ඕලන්දයන්ට ඉස්සර පෘතුගීසි කාරයොත් දූපතේ හිටපු බවට සාක්ෂි තියෙනවා. වර්ග කිලෝමීටර 50 කට ආසන්න වපසරියක් තියෙන ඩෙල්ෆ්ට් දූපත, දිගින් කිලෝමීටර 8 ක් හා පළලින් කිලෝ මීටර 6 ක් විතර වෙන, ඕවාලාකාර හැඩයක් ගන්න සමතලා බිම් කඩක්. කොරල් පර සහිත නොගැඹුරු මුහුදක් ඒ වටා තියෙන්නෙ.
දූපතේ උතුරු කොටසේ පන් දහසක විතර කුඩා ජනගහනයක් වෙසෙනවා. ඔවුන් සියලු දෙනාම වගේ දමිළ ජාතිකයින් බව කියන්න ඕන නෑනේ. දකුණු කොටසෙ තියෙන අර්ධ ශුෂ්ක පඳුරු හා තණබිම් සහිත නිවර්තන වනාන්තරයෙ තමයි අර කියාපු වල් පෝනියො ඉන්නෙ. දාහත් වැනි සියවසේ දි ඕලන්ද කාලයෙදි දූපතට ගෙනැල්ලා බෝ කරපු පෝනියො, පස්සෙ කාලෙකදි වනාන්තර ගත වෙලා වල්වුනා කියලා තමයි කියන්නෙ.
මාත් ඉතින් මේ පසුබිම් තොරතුරු ටික එහෙන් මෙහෙන් හොයාගෙන කොල්ලො ටිකත් එක්ක ඩෙල්ෆ්ට් බලා යාපනෙන් පිටත් උනා. යාපනය හා මණ්ඩතිවු දූපත අතරත්, මණ්ඩතිවු හා පුන්කුඩුතිවු දූපත අතරත් වේලි මං ඉදිවෙලා තියෙන නිසා ඒ දක්වා ගමන ආපු වාහනෙන්ම කරදරයක් නැතිව යන්න පුලුවන්. පුන්කුඩුතිවු දූපත කෙලවරේ තියෙන කුරිකඩ්ඩුවාන් ජැටියේ ඉඳලා යන්න ඕනෑ නාවික හමුදාව යටතේ පාලනයවෙන පෞද්ගලික බෝට්‍ටුවලින්.
|
පැයකට ආසන්න
මුහුදු ගමනකට පස්සේ ... |
ඩෙල්ෆ්ට් දූපතේ උතුරු වෙරළේ පිහිටා තියෙන ජැටිය දක්වා බෝට්‍ටුවෙන් යා යුතු කිලෝ මීටර් දහයක විතර දුර යා ගන්න පැය බාගෙකයකට වැඩි කාලයක් ගත වෙනවා. තැඹිලිපාට ආරක්ෂක ජැකට්‍ටුව ඇඳගෙන, පුංචි කවුලුවකින් බෝට්‍ටුවට රිංගලා, ලෑලි බංකුවෙ වාඩිවෙලා යන ඒ ගමන අපූරු අත් දැකීමක්. මගීන් අතර වැඩිපුර ඉන්න දූපත් වාසීන් සියලු දෙනාම දමිල ජාතිකයින්. ඔවුන් හා අප අතර තිස් වසරක යුද්ධයක් පැවතුනාදැයි කිසිසේත්ම සිතා ගත නොහැකි තරම්. ඔවුන් කිසිවෙකුගෙන් කිසිදු නොරුස්නා බවක් පළවුනේ නෑ.
|
ඩෙල්ෆ්ට් ජැටිය මතදී ... |
ගමනට හුරු පුරුදු පොලිස් සැරයන්වරයෙක් අපිත් එක්ක සිටි නිසා ඩෙල්ෆ්ට් දූපතේ ජැටියට ළඟා වෙලා, දූපතේ සංචාරයට අවශ්‍ය වාහන සොයා ගැනීම් ආදියට කරදරයක් උනේ නෑ. සාධාරණ ගාස්තුවකට, දූපතේ සංචාරයට සුදුසු විවෘත රථ දෙකක්, අපව රැගෙන යන්න ජැටිය ආසන්නයටම ඇවිත් තිබුනා. දූපතේ වැසියන්ට එහා මෙහා යන්න ලංගම බස් රථයක් යොදවලා තිබුනා.
|
|
හුණුගල් කුට්ටිවලින් තැනූ තාප්ප හා තල් අතුවලින් තැනූ වැටවල්වලින් වෙන්කර තිබුනු ගෙවතු අතරින් වැටුනු, පටු පාරවල් දිගේ ගිය අපි දූපතේ දකුණු අර්ධය වෙත ළඟා වුනා. මුහුදු වෙරළ දක්වා විහිදුනු තණ බිම්වල අතරින් පතර මිටි ශාක පඳුරු විසිරිලා තිබුනා. වෙරළ ආසන්නයෙ හිටපු පෝනියො රංචුවක් ලඟටම අපි ගිය වාහන පැදෙව්ව නිසා නිසා ඔවුන්ව හොඳින් දැක බලා ගන්න ලැබුනා. සාමාන්‍ය අශ්වයෙකුට වඩා උසින් අඩු නිසා උන් 'පෝනින්'ලෙස හඳුන්වන එක නිවැරදියි. ඕලන්ද කාලයෙ ඩෙල්ෆ්ට් දූපතේ පවත්වාගෙන ගිය අශ්ව ගාල්වල ඔවුන් රඳවලා හිටිය බව අහන්න ලැබුනා. රංචුවෙ හිටපු සමහර සත්තුන්ගෙ හන සලකුණුත් දකින්න තිබුනා. ඒ සත්තු මිනිස් ඇසුරෙ ඉඳලා පස්සෙ වල් වැදුනා විය යුතුයි. සිත්ගන්නාසුළු කොණ්ඩ මෝස්තරය අස්සෙන් අපි දිහා බලපු නායක පෝනියා වැඩි සුහද බවක් පෙන්නුවෙ නෑ. පරිසරයෙ තියෙන දැඩි කටුක බව නිසාම ඔවුන් අතර වැඩි නිරෝගී බවක් පේන්න තිබුනෙ නෑ. නියං කාලෙදි පානීය ජලය නොමැතිකම නිසා ඔවුන් පීඩා විඳින බව දැනගන්න ලැබුනා.
|
පැරණි බලකොටුව |
පෝනියො බලලා ආපසු එන අතරෙදි අපි ඩෙල්ෆ්ට් දූපතේ තියෙන අනෙක් වැදගත් තැන් කීපයක් බලන්න ගියා. දූපතේ තියෙන රෝහල් භූමියෙම තියෙන පැරණි ගොඩනැගිල්ල එයින් එකක්. ඉතා පුළුල් බිත්ති සහිත ඒක ආරක්ෂක බලකොටුවක් බව පැහැදිලියි. පෘතුගීසි යුගයෙදි ඉදි කරලා නිසැකවම පස්සෙ ඕලන්ද කාලෙදිත් භාවිතා කරන්න ඇති. දූපතේ තියෙන පැරණි ගොඩනැගිලි සේරම වගේ ඉදි කරලා තියෙන්නෙ හුනුගල් කුට්ටිවලින්.
|
පරෙවි කූඩුව |
දූපතේ තියෙන තවත් එක විශේෂ ස්ථානයක් තමයි පැරණි පරෙවි කූඩුව. ශක්තිමත් පාදමක් මත හුනු ගලෙන් නිමවලා තියෙන ඒක තවමත් ඉතා හොඳ තත්වයෙන් තිබුනත්, පරෙවියො ඉන්න බවක් නම් පෙනුනෙ නෑ. ඉස්සර කාලෙ පණිවිඩ හුවමාරුව සඳහා පරෙවියන් යොදාගත්තු බව අපි අහලා තියෙනවනෙ. ඒ අසලම තවත් පැරණි ගොඩ නැගිලි කීපයක නටබුන් දකින්න පුළුවන්. ඉන් එකක් පහුගිය ශත වර්ෂයේ මුල් කාලෙ උසාවියක් හැටියට භාවිතා කරලා තියෙනවා. පෘතුගීසීන්ගෙ පරිපාලන මධ්‍යස්ථානය එතන තිබුණු බවට විශ්වාස කරනවා.
දූපතේ තියෙන පැරණි අශ්ව ගාල, පසු කාලෙක ඉංග්‍රීසි යුගයෙදි ඉදි කරපු එකක් හැටියට සැලකෙනවා. අශ්වයින් බෝ කිරීම ව්‍යාපාරයක් හැටියට සිදුවෙලා තියෙනවා. ඒ ආසන්නයෙ තැනක තුබුණු යෝද පා සලකුණ බලන්නත් අපිව එක්ක ගියා. එතන තිබුණු හුණුගල් තට්‍ටුව පා සලකුණක හැඩයට ඛාදනය වීමෙන් ඒක නිර්මාණය වෙලා තියෙන බව පේනවා.
|
ස්ථූපයේ නටබුන් |
ඩෙල්ෆ්ට්වල දැන් ඉන්නේ සේරම වගේ හින්දු භක්තික දමිල අය උනාට, අතීතයෙදි බෞද්ධයින් සිටි බවට එහි ඇති චෛත්‍යයේ නටබුන් පැහැදිලි සාක්ෂියක්. ශ්‍රි මහා බෝධිය වැඩමවන අතරෙ සංඝමිත්තා තෙරණිය ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැලා විවේක ගත් බවත්, එය සිහිවීම සඳහා චෛත්‍යය ඉදි කල බවත් කියවුනා.
|
බැඕබැබ් ගස |
දූපතේ තියෙන යෝධ බැඕබැබ් (Baobab) ගස තවත් එක සුවිශේෂී සලකුණක්. අප්‍රිකානු මහාද්වීපයෙ, ඉතියෝපියානු සම්භවයක් ඇති බැඕබැබ් ගස ලොව පුරා තැන තැන රැගෙන ගියේ මුස්ලිම් වෙළඳුන් බව කියවෙනවා. පුළුල් කඳක් සහිත ඒ ගස්වල විශේෂය අමුතු හැඩය නිසා කැපී පෙනෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන ගහේ කඳේ තියෙන කුහරය තුළ මිනිසෙකුට පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන්.
දූපතේ කෙලවරක තියෙන 'ලියලන කොරල් ගල' බලන්නත් අපි ගියා. ලියලා වැඩෙන හැඩයක් තියෙන ඒ කොරල් කුට්ටිය ලඟ තිබුනු සලකුණුවලින් ඒක දූපත් වැසියන්ගෙ පුද පූජා ලබන බව පෙනුනා. නමුත් විද්‍යානුකූලව ඒ වගේ 'වැඩීමක්' නම් වෙන්න බෑ. සමුද්‍රීය පරිසරයක වෙසෙන 'පොලිප්' (Polyp) නමින් හඳුන්වන අපෘෂ්ඨවංශික සතා තමගෙ ශරීරය වටා ස්‍රාවය කරගන්න කැල්සියම් කාබනේට් ආවරණය නිසා තමයි හුනුගලක් නිර්මානය වෙන්නෙ. හුණුගලක් කියන්නෙ ඒ වගෙ සත්තු විශාල සංඛ්‍යාවකගෙ ජනපදයක්. ගොඩ බිම වියලි පරිසරයක ඒ සත්තුන්ට පවතින්න බෑ. ඒත් දූපතේ වැඩිහිටියො කියනවලු ඒ අය පුංචි කාලේ ඒ ගල තිබුනෙ දැනට වඩා කුඩාවට කියලා.
අපි දිවා ආහාරය ගත්තෙ ජැටිය ආසන්නයෙ තිබුනු ගෙදරකින්.
ඒක ඉතාම සාධාරන මිලකට සැපයුණු සරල, ප්‍රණීත, ආහාරයක්.
මාරයා මලයා හරි,
වෙනි මලයා හරි හිටියනම් ෂුවර් එකටම බත් පිඟානෙ පින්තූරයක් අරගෙන FB එකේ දාලා, බලන එවුන්ට පිස්සු හදවනවා. කස්ටියෙ හිටපු ඇම්ඩන්ලා කීපදෙනෙක් 'කෑමට පෙර' තේ හැඳි දෙකක් විතර දාගන්න ෆුල් ට්‍රයි එකක් දැම්මත් හොයා ගන්න බැරි උනා. කොහොම උනත් ඩෙල්ෆ්ට් දූපතේ තනි අකුරේ කර්මාන්තය ජයට කෙරෙනවා කියලා දැනගන්න ලැබුනා.
|
ලියලන ගල |
ආපහු එන්න බෝට්‍ටුව එනකම් ජැටිය ලඟ බංකුවක වාඩිවෙලා ඉන්න කොට, පුංචි කොලුපැටියෙක් ආත්තම්මත් එක්ක ඇවිත් අපි ඉස්සරහින් වාඩි උනා. අපි අපේ ගමේ පාරක යන එනකොට දකින පැටවුන්ගෙ මූණෙ දකින අහිංසකකම අඩුවක් නැතුවම ඒ කොලුපැටියගෙ මූණෙත් තිබුනා. ලොකුවෙනකොට ඒකගෙ මොළේට, අඩි දහයක් ඉදිරිය නොපෙනෙන
දේශපාලකයෙක් විසින් වර්ගවාදයෙ විස එන්නත් කළේ නැත්නම්, කවදා හරි රටට ලෝකෙට වැඩදායක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට, නැවත කොහේදි හරි ඒ කොලුවා මුණ ගැහේවි කියලා මට හිතුනා.,
මගෙ විජිතයට ගොඩවෙලා, ලියවෙන දේ කියවා මට දිරි දෙන සියලු යහලු යෙහෙලියන්ටත්, හැමෝගෙම අඹු, සැමි, දරු පැටවුන්ටත් සුබම සුබ නව වසරක් පතනවා ...!
මෙතනට කොටලා මාරයා මලයගෙ බුකියෙන් තව පින්තූර බලන්න.
|
ආත්තම්මා ටවුමෙදි ඉයිස්ක්‍රීම් එකක්
අරන් දෙනවා කිව්වා ...
කෝ මේ බෝට්‍ටුව ඉක්මනට එන්නෙ නෑනෙ ...! |
ඔය වල් පෝනියේ දැන් දැන් ටික ටික වඳ වෙනවලු නේද?මහා අපරාදයක්
ReplyDeleteදැනට උන්ට තියෙන ලොකුම අවුල වියලි කාලයෙදි වතුර නැතිකම. වතුර වලවල් හදන්න මුදල් වෙන් කරලා තියෙන බවක් ලඟදි අහන්න ලැබුනා. ඉක්මනින් ඒක කෙරෙයි කියලා හිතෙනවා. රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරුනොත් උන්ට ඉතුරුවෙලා තියෙන ස්වාභාවික වාසස්ථානත් ආරක්ෂා වෙයි, අවතාර මලේ .
Deleteමම තාමත් යාපනේ පැත්තට ගිහින් නෑ ... ට්‍රිප් ගිහිල්ලා ඒ මිනිස්සු බලං එන්න නෙවෙයි.. මේ රටේ එක පැත්තක් ගැන කිසිම දෙයක් නොදන්න නිසා...
ReplyDeleteපෝනියෝ නම් ටිකක් ලෙඩ පාටයි තමයි... ඒත් මෙයාලා තාම ඉන්නවා කියන්න ඉස්සර අපෙ රටෙත් අශ්වයෝ හොඳට හදන්න පුළුවන් වෙන්න ඇති නේද.. මං ආස සතෙක් තමයි.. පොඩි කාලේ කිය කිය හිටියේ මං ලොකු උනාම අස්සයෙක් ගන්නවා කියලා... හි හි
///ලොකුවෙනකොට ඒකගෙ මොළේට, අඩි දහයක් ඉදිරිය නොපෙනෙන දේශපාලකයෙක් විසින් වර්ගවාදයෙ විස එන්නත් කළේ නැත්නම්, කවදා හරි රටට ලෝකෙට වැඩදායක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට, නැවත කොහේදි හරි ඒ කොලුවා මුණ ගැහේවි කියලා මට හිතුනා.,///
සහතික ඇත්ත... නොකිව්වට හැම කෙනාගෙම හිත් වල තියෙන්නේ ඔය දේ තමයි...
ලබන අවුරුද්දෙත් පොර ටෝක් වැඩි වැඩියෙන් දෙන්න වාසනාව ලැබේවා කියලා, මාත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කළා ඕං...
රටේ ඒ කෑල්ලත් දකින්නම ඕනෑ, නගේ. ඒ සංස්කෘතිය, වටපිටාව එහාටම ආවේනිකයි. දේශපාලකයො උන්ගෙ පැවැත්ම සඳහා ඇතිකරන ප්‍රශ්න අපි කරපින්නගෙන ජීවත් වෙනවා.
Deleteනව වසරේ ජයම වේවා ...!
මාත් දැන් අවුරුද්දකට විතර කලින් ගියානේ යාපනේ පැත්තේ මොටෝ සයිකලෙන්ම... ඒ ගිය පාර ඩෙල්ෆ් වලටත් ගියා... හිතාගෙන ගියේනං කොහොම හරි බෝට්ටුවක දාං බයික් එකත් අරංම යන්න.. ඒත් එදා බඩු අදින බෝට්ටුව වැඩ කලේ නැහැ... අන්තිමේදී ඩිමෝ බට්ටෙක්ගේ නැගලා දූපත පුරාම හක්කලං කලා... සමහර විට ගාමිණි අයියට අහුවෙන්නත් ඇති ඒ ලිපි ටික සහ බුකියේ පින්තූර ටික...
ReplyDeleteඑක වරක් හෝ යා යුතුම ගමනක්... අර කිව්වත් වගේ එහෙ මිනිස්සු බොහෝම සුහදයි.. යුද්ධයක් ගැනවත් වෙන අවුලක්වත් මූණකින්වත් පෙනෙන්න තිබුනේ නැහැ... අදහස් හුවමාරු කරගන්න භාෂාවනං සෑහෙන්න ප්‍රශ්නයක්... දෙමළ ඇර ඉංග්‍රිසිවත් බැරි අය තමා අහු උනේ..සිංහලනං කොහොමටවත්ම බැහැ...
පින්තූරටික දැක්කේ දැනුයි මලේ. ඔන්න මම ඒකට ලිංක් එකක් දැම්මා. හෙට පෝස්ට් එකත් හොයාගෙන කියවන්න ඕනේ.
Deleteකස්ටිය එක්ක ගිය නිසා නිවී සැනසිල්ලේ වටපිට බලන්න ලැබුනේ නෑ. ගෙදර ඇත්තොත් එක්ක ආයෙත් දවසක යන්න ඕනෑ. ඇත්තටම මමත් හිතුවේ නෑ යාපනේ දමිළ උදවිය ඒ තරම් සුහදව අපි දිහා බලයි කියලා. මෙච්චර නාකි වෙලත් දෙමල ටිකක් කතා කරගන්න ඉගෙන ගත්තෙ නැති එක ගැන නම් මටත් දුක හිතුනා මලේ.
ඩෙල්ෆ්ට් වලට යන්න වාසනාව මටත් හිමි වුනා. ඒක හරි අපූරු ගමනක්. අපි දුපතේ ඇවිද්දේ ලෑන්ඩ් මාස්ටරේක. කරුමෙට ඒ දුපතේ වැසියන් කච්චතිව් දුපතට ගිහිං වාර්ෂික ඉන්දීය ශ්‍රී ලංකා පුජාවකට. ඒ නිසා වැඩිය දුපත් ජනතාවත් එක්ක මුහු වෙන්න බැරි වුනා. තනි අකුර ගැනීම තමයි නිය අත්දැකීම. එතන බිම ඇල වෙලා දුපත් වැසියෝ රා පානය කරනවා. ඊළඟ ලෝඩ් එක එන්න පරක්කු නිසා අපිට ඔවුන්ගේ රා වඩිය පරිත්‍යාග කරන්න කිහිප දෙනෙක්ම ඉදිරිපත් වුනා. ඔවුන් කට තියපු කෝප්ප වලින්ම අපේ කට්ටියත් රා බිව්වේ ජාතික සමගිය සංකේතවත් කරන්න වගේ. මගේ ගාවත් ෆොටෝ කලෙක්ෂන් එකක් තියෙනවා පස්සේ වෙලාවක අප්ලෝඩ් කරන්නම්. ගාමිණි අයියා ඇතුළු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!!!
ReplyDeleteකස්ටිය එක්ක ගිය නිසා රා කට්ටක් ඇදලා දාන්න තිබුනු ආසාව අමතක කරන්න සිද්ද උනා මලේ. ආයෙත් වෙලාවක යන්න ඕනෑ, ඒකටම. පින්තූර ටික දාමු බලන්න.
Deleteසුබම සුබ නව වසරක් වේවා ...!
ඔය පැත්තට ගියාට ඩෙල්ෆ්ට් වලට යන්න නම් බැරිවුණා....විස්තරේ වැදගත් වේවි ආයේ යන දවසකට
ReplyDeleteයා යුතුම තැනක්, මලේ ..!
Deleteයන්න ආසයි...අනාගතේ බලමුකෝ...කොතනින්ද යන්න.... පටන් ගන්නෙ..බෝට්‍ටුවට නගින්න පුලුවන්...ආදී විස්තර ටිකකුත් තිබුන නම් නියමයි..!
ReplyDeleteගාමිණි අය්යා...තනි අකුරේ ඒවා පාවිච්චි කලේ නැතෙයි..!
යාපනේ ඉඳලා පුන්කුඩුතිව් දූපතේ කෙලවරට වාහනයකින් යන්න පුලුවන්. එතන ඉඳලා තමයි බෝට්‍ටුවෙ යන්න ඕනෑ.
Deleteතල් රා ෂුට්ටක රස බලන්න බැරි උනා මලේ.
මමත් යාපනේ පැත්තේ ගියා 2010දි. හැබැයි ඉතින් දන්නේ නැද්ද අපේ ගමන්. අවිද්දා හැබැයි ඒත් හොඳම එකෙන්. අපිගියේ ආමි එකේ ෆයිබර් නෙට්වර්ක් එකේ ඩිප්ලෝයිමන්ට් එකකට. ගොඩක්ම ගැවසුනේ ඩිව් සහ බ්‍රිගෙඩ්ස් වල නිසා ඔය තරම් රසයකින් හහිත පිනවන්න අමාරැ වුනා මයෙ හිතේ. වරක් හෝ මේ ඉසව් කරා ලාංකිකයෝ වශයෙන් යායුතුයි. යුදධයේ පෙර වැරදි හා පසු මතක සටහන් තාමත් සංරක්ෂිතයි. ඒ වගේම ඔබ සඳහන් කරන රමණිය තැන් වෙන කොහන්වත් ඒ අසිරියට සමාන අසානන්දයක් ගත නොහේ...අත්දැකිම් හා ගිය ඉසවු මතක් කරා ආයෙත් මෙ ඔබ තුමන්ගේ ලිපියෙන්.
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
රාජකාරි එක්ක ගමනක් ගියහම නිදහසයි, කාලයය් දෙකම සීමා වෙනවා තමයි මලේ.
Deleteලැබූ නව වසර වාසනාවන්ත එකක් ම වේවා ...!
ගාම්ණි අයියේ නියමයි ලිපිය. ඩෙල්ෆ නයිනතිව් කච්චතිව් කරේනගර් මේ දූපත් වලටත් ඔයා යන්න ඇති කියා හිතනවා. කොහොමත් රැකියාව හේතුවෙන් මට වගේම ඔයාටත් රට තොට ඇවිදින්න පින ලැබිලා තියනවා.සුබ නව වසරක් අයියේ...
ReplyDeleteනාගදීපයටයි, යාපන අර්ධද්වීපයෙ වැදගත් තැන් කීපයකටයි ගියා. මේ රස්සව නිසා මට යන්න ලැබුනු තැන්, ලබපු අත්දැකීම්වල වටිනාකම කියලා නිම කරන්න බෑ මලේ. නව වසරේ ජයම වේවා ...!
Deleteමට යන්න බැරි උන පළාත් තමයි උතුර, නැගෙනහිර අර අවුරුදු 30 කාලකන්නි යුද්දෙ නිසා. තාමත් යන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. එහෙව් එකේ අපිව ඩෙල්ෆ් දුපතට එක්කගෙන ගිහින් හොඳ මග පෙන්නන්නෙක් උනාට ගාමිණීට බොහොම පින්.
ReplyDeleteමමත් යාපනේ ගියේ අවුරුදු හතලිහකට පස්සේ. යන්නම ඕනෑ ගමනක්.
Deleteකදිම ලිපිය... යන්න තිබුන ආශාව තවත් වැඩි වුනා... නාවික හමුදාවෙ මගේ මිතුරෙක් උතුරේ තියෙන දූපත් වල සංචාරයක් යන්න කාලයක සිට ආරාධනා කලත් තාම යන්න බැරිඋනා... නාගදීපයට විතරයි යන්න ලැබුනෙ....
ReplyDelete2013 ඔබටත් සුභ නව වසරක් වේවා !
කලින් තොරතුරු හොයාගෙන, සැලසුම් කරලා ගියොත් අමතක නොවෙන අත් දැකීමක් මලේ.
Deleteජයවේවා ..!
ඔය පළාත් වල තාම යන්න බැරි වුණා නේ.. යන්තම් ත්‍රිකුණාමලේ පැත්තෙ නම් ගියා.. ඊළඟ ට්‍රිප් එක උතුරු පැත්තට යන්න ඕනේ..
ReplyDeleteඇස් දෙකෙන්ම දැක ගන්න ඕන පලාතක් මලේ ..
Deleteසතියක විතර යාපනයේ ට්‍රිප් එකක් සැලසුම් කරන් ඉන්නවා 2013 මැද හරියෙ.ඊට ඉස්සෙල්ලා ගිරිතලේ පැත්තෙ එන්නත් එපායැ..සැලසුම සාර්ථක උනොත් ඩෙල්ෆ්ට් යන්න ඕනි.
ReplyDeleteමිනිස්සු කරන වල් වැඩ නිසාම මේ "වල්" කියන වචනෙ හරි හමන් වට wild කියන තේරුමෙන් සතුන්ට පාවිච්චි කරන්න නම් හිතෙන්නේ ම නෑ අයියෙ.
පොඩි උන් දකින කොට කියා ගන්ඩ බැරි අවිනිශ්චිත හැඟීමේ එක කොටසක් අයියා නියමෙට වචන වලට හරවලා..
ගිරිතලේත් අනිවාර්යයෙන්ම එන්න ඕනෑ මලේ ..
Deleteවල් කියන වචනය දැන් වැඩියෙන් ගැලපෙන්නෙ මිනිස්සුන්ට තමයි. ඊයෙ පෙරේදා පත්තරේ තිබුනා තමන්ගෙම ආබාධිත තරුණ පුතාට ලිංගික අතවරයක් කරපු නාකි මිනිහෙක් ගැන කතාවක්. ඒවා අහන්න ලැබෙන එක අපේ කරුමයක්.
නියම ලිපියක් ගාමිණි අයියා. මටත් තාම ඔය පැත්තෙ යන්න බැරි උනා.
ReplyDeleteඔය යුද්ධෙ ඒ මිනිස්සුංගෙ ඕනකමට ඇතිඋනාට වඩා දේශපාලුවො විහින් ඇතිකරපු එකක් කියලයි මටනං හිතෙන්නෙ.
ගාමිණී අයියා ඇතුලු පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !
Deleteඒක ඇත්ත මලේ, දේශපාලකයො උන්ගෙ පැවැත්මට ප්‍රශ්ණ අලුතින් හදලා අපේ ඔලුවලට දානවා. අපි ඒවා ඔලුවෙ තියාගෙන මරාගන්නවා.
Deleteනව වසරේ ජයම වේවා ...!
ජැක්සන් ඇන්තනිගේ මහා සංචාරෙදී මේ දූපත ගැනත් විස්තර කිව්වා වගේ මතකයි. දූපත රක්ෂිතයක් කරන වැඩේ වත්මන් තත්වේ කොහොමද ??
ReplyDeleteආහ් සුභ අලුත් අවුරුද්දක් වේවා ඕන් :)
මලේ සමහර අයට වනජීවී රක්ෂිත පේන්නේ රටේ සංවර්ධනයට බාධාවක් විදියට. සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ දිගු කාලීනව ආරක්ෂා වෙන්නේ වනජීවී රක්ෂිත නිසා බව ඒ අය තේරුම් ගන්නෙ නෑ. ඩී. එස්. සේනානායක අගමැති තුමාට වනජීවී රක්ෂිත සංවර්ධනයට බාධාවක් හැටියට පෙනුනෙ නැති නිසා ගල් ඔය ව්‍යාපාරයෙ යටතෙ ඇති කරපු ජලාශ වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කලා. ඒ නිසාම අවුරුදු හැටකට පස්සෙත් ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ අපි ලබනවා. අපි දැං කරන්නේ තාරාවගෙ බඩ පළලා උගෙ බිජු අරගෙන කන එක.
Deleteඒ යෝජනාව ගැන තවම හැල හොල්මනක් නෑ.
ජයවේවා ...!
ඔය පැත්තට නම් ගොඩ බැහැල නෑ තවම.. පහල ඉඳල දෙවෙනියට තියන්නේ ලියලන හුණු ගල ද අයියේ..?
ReplyDeleteවල් පෝනියෝ ම නේද අපේ රටේදී බූරුවෝ කියල හඳුන්වන්නේ. මෙහෙ බූරුවෝ නෑ කියලයි මං අහල තියන්නේ. ඉස්සර පුත්තලම පැත්තෙත් උන් හිටිය කියල මං අහල තියනවා.
ගාමිණී අයියටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නව වසරක් වේවා!!
ඔව් මලේ, ඔන්න මම ඒ පින්තූරෙට කැප්ෂන් එකක් දැම්මා. හදිස්සියට අමතක වෙලා තිබුනේ.
Deleteබූරුවො හැදෙන්නෙ අශ්වයින් හා කොටලුවන් එක් වීමෙන් කියලා මම අහලා තියෙන්නේ. ඩෙල්ෆ්ට් වල මුලදි හිටපු අශ්වයින්ට පස්සෙ කොටලුවො මිශ්‍රවුන බවක් දැනගන්න නෑ. කොහොම උනත් දැන් ඉන්නෙ අශ්වයින්ට වඩා උසින් අඩු පෝනියෝ. දුෂ්පෝෂනය, කටුක පාරිසරික තත්ත්ව නිසා උන්ගෙ ශරීරය ප්‍රමාණයෙන් අඩුවුනා වෙන්නත් පුලුවන්.
මන්නාරම පැත්තෙ නම් තවමත් වල් බූරුවෝ නිදහසේ ඉන්නවා.
ජයවේවා ...
ම්..ම්....මමනම් අහලා තියෙන්නෙ අශ්වයා සමහ බූරුවා එක්වීමෙන් කොටළුවා බිහිවෙනවා කියලයි,ඒවගේම කොටළුවාට නව පරම්පරාවක් බිහිකිරීමේ හැකියාවක් නෑ.
Deleteඒක හරි සුමිත් මලේ. මට බූරුවොයි, කොටලුවොයි පටලැවිලා හිටියේ. නිවැරදි කළාට ස්තුතියි.
Deleteවටින තොරතුරු ටිකක් දැන ගත්තා රසවත්ව. ලංකාවේ ඉඳිත්දි යන්නට පින නොලැබුණත් දැන් මෙහෙම හරි දැක ගන්නට ලැබුණ එක ලොකු දෙයක් .
ReplyDeleteගාමිණී මහත්මයාණනි , ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා .!
ස්තුතියි මලේ ... අසපුව පැත්තේ ගිහිල්ලා කැරකිලා ආවා. සියක්දහසේ කඩ ඉමට මගේ සුබ පැතුම් ... ජයම වේවා ...!
Deleteපුත්තලං බූරුවන්ට වඩා ඩෙල්ෆ්ට්ස් පෝනියෝ වෙනස් වගෙයි!
ReplyDeleteපුත්තලමේ, මන්නාරමේ ඉන්නේ කොටලුවන්ට මිශ්‍රවෙලා හැදුනු බූරුවෝ මලේ. ඩෙල්ෆ්ට් වල ඉන්නේ අශ්වයන්ගෙම පොඩි වර්ෂන් එක.
Deleteහරිම අපූරු සංචාර සටහනක ගාමිණී මහත්තයෝ......!
ReplyDeleteමම මීට කලින් කොහේදි හරි කියවලා තියෙනවා ඔය ඩෙල්ෆ්ට් වල ඉන්න පෝනියෝ පැවතෙන්නේ අශ්වයින් සහ බූරුවන් එකට එකතු වීම නිසා බව. ඉංග්‍රීසි කාලෙදේ දූපතේදි පවත්වාගෙන ගිය අශ්ව ගාල්, ඔවුන් නැවත පිටත්ව යෑමේදී, අත් හැර දමන ලදුව ඒ අශ්වයින් කැලෑ ගතවීමත්, බූරුවන් හා සංවාසයත් නිසා දැන් පවතින පෝනියන් බිහි වූවා කියා තමයි මම අසා ඇත්තේ.
දුමී මලේ, අශ්වයින්, කොටලුවන් හා එක් වීමෙන් බූරුවො හැදෙනවා කියලා මම අහලා තියෙන්නේ. ඩෙල්ෆ්ට්වල ඉන්න පෝනියෝ හැඩයෙන් මන්නාරම පැත්තේ ඉන්න බූරුවන්ට වඩා අශ්වයින්ට ආසන්නයි. කොහොම උනත් ඒ ගැන තවටිකක් හොයලා බලන්න ඕනෑ.
Deleteබුදු අම්මෝ දුමියා බූරුවො ගැන දන්න දේ වල් !
Deleteගාමිණි අන්කල් වෙනද වගේම නියම සටහනක් මම ඔය දූපත ගැන යුද්ද කාලේ අහල තිබුනට වැඩි විස්තරයක් දැනගත්තේ අද නොවෑ. ඔය පොනියෝ ආරක්ෂාකරගන්න වැඩපිළිවෙලක් යෙදුවනම් හරියි කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteමේ වගේ වඳවීගෙන යන සත්ව ගහනයක් ආරක්ෂා කර ගන්න පුලුවන් හොඳම දේ තමයි ඉතුරුවෙලා තියෙන වාසස්ථාන වනජීවී රක්ෂිතයක් හැටියට ප්‍රකාශයට පත් කරන එක. ඒකට දෙපාර්තමේන්තුව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉදිරියෙදි වෙන්නෙ මොකද කියලා බලාගෙන ඉමු කෝරලේ ළමයෝ ..
Deleteමට මේක දකිනකොට ආයිමත් මතක් වුණා වල්බූරු නිදහස කියන වචනය.
ReplyDeleteනිදහස උනත් වල් බූරු වෙන්න හොඳ නෑ නේද මලේ ...
Deleteඩෙල්ෆ්ට් දූපතේ වනජීවී කාර්යාලයක් නැද්ද ? ,
ReplyDeleteපෝනියෝ කීයක් විතර ඉන්නවද ? ,
උන් සංරක්ෂණය සදහා කුමක් හෝ වැඩපිළිවෙලක් වනජීවී එකෙන් ගෙන තිබෙනවද ?
[ඔන්න මගෙන් ප්‍රශ්න ගොඩක් :)]
මලේ දැනට වව්නියාවෙන් ඉහලට වනජීවී කාර්යාලයක් නෑ.යුද්දෙන් පස්සේ කිලිනොච්චියේ ප්‍රාදේශීය කාර්යාල ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ, ඉක්මනින්ම විවෘත කරන බව දැනගන්න තියෙනවා.
Deleteපෝනියො ගැන තවම විස්තරාත්මක අධ්‍යයනයක් කෙරිලා නෑ මම දන්න විදියට. දැනට ඉන්න සංඛ්‍යාව අනුමාන කරන්න තරම් තොරතුරු නෑ.
යෝජනා කරලා තියෙන වනජීවී රක්ෂිතය ප්‍රකාශයට පත් උනොත් අපට උන්ගෙ අනාගතය ගැන බලාපොරුත්තු තියාගන්න පුලුවන්. ඒ සඳහා දෙපාර්තමේන්තුවෙන් මූලික කටයුතුකරලා ඉවරයි.
නව වසරේ ජයම වේවා ...!
2013 වසර ඔබටත් ඔබේ පව්ලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරුණු සුභ නව වසරක් වේවා !
ReplyDeleteමම තාම ට්‍රින්කො වලින් එහාට (නැගෙනහිරෙනුත්) පුත්තලමෙන් එහාට (බටහිරිනුත්)ගිහින් නෑ.
ReplyDeleteගමන්රුචිය වඩවන සුළු විස්තරයක්.....
පෝනියා ගැන මමනම් අහලා තියෙන්නෙ,අශ්ව කුළකයේම කුඩා සතෙකු විදියටයි.කොටළුවානම් බිහිවෙන්නෙ අශ්ව මවකටත් බූරු පියෙකුටත් දාවයි...ඌට ප්‍රජනන හැකියාවක් නෑ.
2013 නව වසර ගාමිණි අයියාටත් පවුලේ සැමටත් සතුට සාමය සපිරි සුබ නව වසරක්ම වේවා...!
සුමිත් මලේ ඒ පැත්ත දැකගන්නම ඕනෑ.
Deleteපෝනි සහ කොටලු ජාතක කතාව හරියටම හරි. මටත් පටලැවිලා තිබුනේ.
නව වසරේ ජයම වේවා ...!
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
ස්තුතියි කකා මලේ ... ලබන අත්දැකීම් මේ වගේ හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබීම අපි කරපු ලොකු පිනක් කියලා මට හිතෙන්නේ. ඔබටත් ජයම වේවා ...!
Deleteමටත් ඩෙල්ෆ්ට් යන්න බැරි උනා. හෙන ආසයි යන්න අනිවා මේ වගේ විස්තර තිබුනොත් පත්තරේ අරගෙන හරි බලනවා. නියමයි අයියේ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න ඕනෑ සංස්කෘතියක් එහේ තියෙන්නේ මලේ. ජයවේවා ...!
Deleteඋතුරුකරේ සංචාරෙකට තාම මටත් අවස්ථාවක් ලැබිලා නෑ ගාමිණි අයියේ. අඩුගානේ රාජකාරි ගමනක්වත් තාම අනුරාධපුරෙන් උඩහට යාගන්න බැරිවුණා. වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා. අලුත් අවුරුද්දේ මීටත් වඩා වනජීවී අත්දැකීම් අපිට තිලිණ කරන්න වාසනාව ලැබේවා! ගාමිණි අයියටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා! ඒ වගේම කැලේ කොළේ ඉන්න අහිංසක වන සත්තුන්ටත් උවදුරු වලින් තොර, අකල් වනජීවී මරණ වාර්තා නොවන වසරක් වේවා!
ReplyDeleteඋතුරේ දමිල සංස්කෘතිය දැකලා විඳගන්නම ඕන දෙයක් මලේ. තිස් අවුරුද්දක් ගහමරාගත්තු එක ඇත්ත උනත්, ඒක දමිල, සිංහල දේශපාලකයො විසින් ඉහඳ තියලා වන කරපු තුවාලයක් මිසක් සාමාන්‍ය මිනිස්සු අතර තිබුනු වෛරයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න එහාට යන්නම ඕනෑ.
Deleteපහුගිය දවස්වල අකල් වනජීවී මරණ කීප අවස්ථාවකදිම අහන්න ලැබුනා. අදාල අනිත් ආයතන වන්ජීවී සංරක්ෂණයට ගරු කරන්න ඉගෙන ගන්නකම් ඒවා සිද්ධවෙයි කියලා හිතෙනවා. හැම අවුරුද්දකම අදාල ප්‍රදේශවල දුම්රිය දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් ගිරිතලේට ගෙන්නගෙන දවස් දෙකක් නවත්තගෙන, දැනුවත් කිරීමේ වැඩ සටහන් තියලා කෝච්චියෙ හැපිලා අලි මැරෙන එක වලක්වගමු කියලා කන්නලව් කරනවා. ඒ උනාට ඒ අයගෙ ඒකට සහායක් ලැබෙන පාටක් නෑ. අලි මැරුනහම හේතු දක්වන එක විතරයි කරන්නේ.
ජය වේවා ...!
මාත් අහලා තියෙන්නෙ කොටලුවා, අශ්ව - බූරු දෙමාපියන්ගෙ දරුවෙක් කියලා.
ReplyDeleteඔන්න ලැයිස්තුවට අලුතින් එකතු කරගත්තා ඩෙල්ෆ්ට් දූපතත්.
අර මොකෝ මචං උඹලා ගොඩ බිමත් ලයිෆ් ජැකට් ඇඳගෙන ඉන්නවා වගේ පේන්නෙ? නැතිනම් ඒ යුනිෆෝම් එකද?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ ටී ෂර්ට් එකක් මචං. ලයිෆ් ජැකට් එකේ පාටමයි. හැමෝම එක වගේ ටී ෂර්ට් ඇඳගෙන ඉන්නේ. දෙපාර්තමේන්තුවෙ ලෝගෝ එක දාලා හදාපු එකක්.
Deleteලොකුවෙනකොට ඒකගෙ මොළේට, අඩි දහයක් ඉදිරිය නොපෙනෙන දේශපාලකයෙක් විසින් වර්ගවාදයෙ විස එන්නත් කළේ නැත්නම්, කවදා හරි රටට ලෝකෙට වැඩදායක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට, නැවත කොහේදි හරි ඒ කොලුවා මුණ ගැහේවි කියලා මට හිතුනා.,
ReplyDeleteඅපේ රටේ වර්ගවාදයේ මුලු ඉතිහාසයම ඔබේ ඔය වචන ටිකේ තැනපත් වෙලා තීනවා ගාමිනී
ඇත්ත ලංකා ... උත්පත්තියෙන්ම ත්‍රස්තවාදියො වෙච්ච කිසිකෙනෙක් මේ ලෝකෙ නෑ ... උන්ව බිහි කරන්නෙ අවස්ථාවාදී, බල ලෝභී දේශපාලකයින් විසින් ...
Delete