මගෙ යාලුවෝ

Sunday, September 9, 2012

25 ඉලෙක්ෂන් ඩියුටි



මැතිවරණයක් ලඟ එනකොට රජයේ සේවකයෙකුට ඇතිවෙන එක කුතුහලයක් තමයි මෙදා පාර කොහේ ඉලෙක්ෂන් ඩියුටි වැටෙයිද, මොන පරිප්පුවක් කන්න වෙයිද කියන එක. අනිවාර්ය රාජකාරියක් නිසා මැතිවරණ රාජකාරියට කැඳවපු රජයේ සේවකයෙකුට ඒකට නොගිහින් ඉන්න බෑ.

මැතිවරණයක් පවත්වනවා කියන්නෙ රාජකාරි යුද්ධයක් කිව්වට වරදක් නෑ. දිස්ත්‍රික්කයක් තුළ මැතිවරණ රාජකාරි පිළිබඳව වගකියන්නෙ දිසාපතිවරයා. ඔහු තමයි දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් භාර නිලධාරියා. කච්චේරිවල ඉන්න සහකාර මැතිවරණ කොමසාරිස් ඔහුගේ මෙහෙය වීම යටතේ දිස්ත්‍රික්කය තුළ මැතිවරණ රාජකාරි සංවිධානය කරනවා.

ඊයේ පෙරේදා උතුරු මැද ඇතුළු පලාත් සභා තුනක පැවැත්වුනු මැතිවරණ රාජකාරියට, රජයේ සේවකයෙක් හැටියට සහභාගිවුන නිසා මට හිතුනා මැතිවරණයකදි රජයේ නිලධාරීන් අතින් කෙරෙන  වැඩ කොටස ගැන කෙටියෙන් ලිව්වොත් හොඳයි කියලා. රාජ්‍ය සේවයෙන් බැහැර කෙනෙක් ඒ රාජකාරිය  කෙරෙන විදිය දකින්නෙ නැති නිසාත්, හුඟක් වෙලාවට පත්තරවල ලියවෙන පැරදුනු දේශපාලකයන්ගෙ අමන   කතා නිසාත්, වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ මැතිවරණ රජකාරිය ඉතාම දූෂිත, බලයේ ඉන්න දේශපාලකයින්ට හිතුමතේ ප්‍රතිඵල වෙනස් කරන්න පුලුවන් ක්‍රියාවලියක් කියලා. ඒත් මගේ අත්දැකීම අනුව මැතිවරණ රාජකාරි ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නෙ එහෙම බලය යොදවලා මැතිවරණයක සමස්ථ ප්‍රතිපලය කොහොමටවත් වෙනස් කරන්න බැරි විදිහට.

මැතිවරණ රජකාරි ක්‍රියාවලිය පටන් ගන්නෙ, ඒකට යොදව ගන්න පුලුවන් රජයේ නිලධාරීන්ගෙ සංගණනයක් පවත්වලා. ලිපිකරු, කණිෂ්ට ඡන්ද ස්ථානාධිපති, ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති, කලාප භාර සහකාර තේරීම්භාර නිලධාරි, ගණන් කිරීමේ සහකාර තේරීම් භාර නිලධාරි, ප්‍රධාන සහකාර තේරීම් භාර නිලධාරි වගේ තනතුරු ගණනාවකට රජයේ නිලධාරීන් යොදවා ගන්නවා. ඒ සඳහා නිලධාරීන් තොරා ගන්නේ පූර්ව මැතිවරණ රජකාරි ඇත්දැකීම් හා රාජ්‍ය සේවයේ දරණ තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව. එහෙම ‍තෝරගන්න නිලධාරීන්ට මැතිවරණයට කලින් දවසක තමන්ගෙ සේවා ස්ථානයෙදිම ඡන්දය ප්‍රකාශ කරන්න ඉඩ ලැබෙනවා. ඒ ඡන්ද පත්‍රිකා තැපැල් මගින් නිලධාරියා පදිංචි දිස්ත්‍රික්කයෙ තේරීම් භාර නිලධාරියාට යවනවා. 'තැපැල් ඡන්ද' කියන්නෙ ඒවට.

ඊලඟට කරන්නේ නිලධාරීන් පුහුණු කරන එක. ඒ සඳහා පැවැත්වෙන පුහුණු පන්තිවලට සහභාගිවීම අනිවාර්යයි. මැතිවරණ ක්‍රියාවලියේ සෑම පියවරක්ම සහ තමන්ගෙ තනතුර හා අදාල වගකීම් පිළිබඳ විස්තරාත්මක උපදෙස් වාචිකව හා ලිඛිතව එහි දී ලබා දෙනවා.

මේපාර මට කලාප රාජකාරි, ගණන් කිරීමේ රාජකාරි දෙකටම යන්න සිද්දවුනා. ඡන්දෙ දවසට ඉස්සරින්දා පාන්දර හතේ ඉඳලා පොලොන්නරුව දිස්ත්‍රික්කෙ මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල වගේ දුෂ්කරම ගම්මානවල ඡන්ද මධ්‍යස්ථාන හතරකට පැය දෙකකට වරක් ගිහිල්ලා,  ඡන්දෙ ඉවරවුන ගමන් පොලොන්නරුවට ගිහිල්ලා රෑ එලි වෙනකම් ගණන්කිරීමේ රජකාරිවලට සහභාගිවෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ උනත් ඒ කාලය තුල අහන්න දකින්න ලැබෙන දේවල්වල විවිධත්වය බොහොමයි.

ඡන්දය පැවැත්වෙන දාට කලින් දා, දිස්ත්‍රික්කෙ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට වාර්තාකරන ඡන්ද ස්ථානාධිපතිවරු කාර්ය මණ්ඩලයත් එක්ක ඡන්ද පෙට්ටි භාර අරගෙන පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගෙ ආරක්ෂාව යටතෙ ඡන්ද මධ්‍යස්ථානවලට යනවා. එදා දවස ඇතුලත පාසලක් වගේ නියමිත පොදු තැනක තියෙන ඡන්ද මධ්‍යස්ථනය පිහි‍ටුවලා කාර්ය මණ්ඩලයත් එක්ක පෙරහුරුවකුත් තියනවා.  ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අනෙක් පිරිමි නිලධාරීන් එක්ක ඡන්ද මධ්‍යස්ථානයෙම රාත්‍රිය ගත කරන්න ඕනෑ. ප්‍රදේශයෙ ග්‍රාම සේවක කෑම, බීම සපයනවා. කලාප භාර සහකාර තේරීම් භාර නිලධාරියා වරින් වර ඇවිත් ඡන්ද මධ්‍යස්ථානෙ පූර්ව සූදානම් කටයුතු නිරීක්ෂණය කරලා මැතිවරණ මෙහෙයුම් මැදිරියට වාර්තා කරනවා. පොලිස් නිලධාරීන් තුන් දෙනා දිගටම ආරක්ෂාව සපයන අතරෙ පොලිස් ජංගම රථය වරින් වර ඇවිත් යනවා.

මැතිවරණය පැවැත්වෙන දා හරියටම උදේ හතට ඡන්ද විමසීම ආරම්භ වෙනවා. කාර්ය මණ්ඩලය නියමිත ඡන්ද ලැයිස්තුවට අනුව ඡන්ද දායකයින් එකිනෙකා හඳුනාගෙන අනන්‍ය තාවය තහවුරු කරගෙන නොමැකෙන තීන්තෙන් ඇඟිල්ල සලකුණු කරලා තමයි ඡන්ද පත්‍රිකාව නිකුත් කරන්නෙ. මේක සිද්ද වෙන්නෙ ඡන්ද දායකයන් හඳුනන පක්ෂ නියෝජිතයන් පිරිසක් ඉදිරියෙ. වැරදි කෙනෙකුට හෝ එකම කෙනෙකුට දෙවරක් ඡන්ද පත්‍රිකාවක් නිකුත් උනොත් ඔවුන්ට වහාම විරුද්ධ වෙන්න පුලුවන්. සලකුණු කළ ඡන්ද පත්‍රිකාව පෙට්ටියට ඇතුල් කරන්නෙ ඡන්දස්ථානාධිපතිගෙ පරීක්ෂාව යටතේ. 

ඇහැ කණ නොපෙනෙන වයසක උන්දලාට ඡන්දය සලකුණු කරන්න සහාය වෙන්නෙ  ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. ඡන්දදායකයා කියන විදිහට පක්ෂෙට කතිරය ගහලා 'මනාපෙ දාන්නෙ කාටද ..?' කියලා ඇහුවහම හුඟ දෙනෙක් කියන්නෙ 'ජනාධිපතිතුමාට ...' කියලා. ජනාධිපතිතුමා පලාත් සභාවට ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියලා තේරුම් කරලා දුන්නහම ඒ අය වැඩි දෙනෙක් කියන්නෙ 'අනිත් එවුන්ට මගෙ ඇති මනාපයක් නෑ ...' කියලා.

හරියටම හවස හතරට ඡන්ද විමසීම අවසන් කරලා පෙට්ටියට සීල් තියනවා. පක්ෂ නියෝජිතයින්ගෙ අත්සනත් ඒ සීල් එකේ තියෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට ගේන ඡන්ද පෙට්ටිය ගණන් කිරීමේ ශාලාවලට භාර දෙනවා. අතරමග නිරීක්ෂණ කපොලුවලදී නියමිත මාර්ගයේම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බවට තහවුරු කර ගන්නවා.

එක් එක් ගණන් කිරීමේ ශාලාවෙ නියමිත ඡන්ද පෙට්ටි සංඛ්‍යාව ලැබුණු වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙනවා. පක්ෂ නියෝජිතයන් පිරිසක් ඉදිරියෙ ඉස්සෙල්ලාම කරන්නෙ එක් එක් ඡන්ද පෙට්ටියෙ සීල් පරීක්ෂා කරලා, ඒක ඇතුලෙ තියෙන පත්‍රිකා සංඛ්‍යාව, ඡන්ද ස්ථානාධිපතිගේ වාර්තාවෙ සඳහන් සංඛ්‍යාවට සමානද කියලා බලන එක. ඡන්දය සලකුණු කරලා තියෙන පක්ෂය අනුව පත්‍රිකා වෙන් කරන්නෙ ඊට පස්සෙ. ගණන් කරන්න පහසුවට පනහෙ මිටිවලට ගොනු කරලා රබර් පටි දානවා. පක්ෂය අනුව සලකුණු කළ පෙට්ටිවලට දාන මේ පත්‍රිකා මිටි නැවත නැවත දෙපාරක් පරීක්ෂා කරලා රබර් පටි දානවා. අවසන් ගණනය සිද්ද වෙන්නෙ රබර් පටි තුනක් හැම පත්‍රිකා මිටියකටම වැ‍ටුනට පස්සෙ. මේ සේරම සිද්ද වෙන්නෙ එක් එක් ශාලාවේ ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියෙක් සහ සහකාර නිලධාරීන් කිහිප දෙනෙකුගෙ මෙහෙයවීමෙන්, පක්ෂ නියොජිතයො විසිපහක් තිහක් කරට උඩින් රබර් ඇහැ දාගෙන ඉන්දෙද්දි.

මනාප ගණන් කරන්නෙ අන්තිමට. අදාල ආකෘතිවල එක් එක් අපේක්ෂකයාට ලැබුණු මනාප සටහන් කරලා, නැවත නැවත පරීක්ෂා කරමින් ඉතාම නිවැරදිව ඒ කාර්ය කෙරෙනවා.

එක් එක් ශාලාවෙ අවසන් ප්‍රතිපල සටහන සකස් කරන්නෙ පක්ෂ නියොජිතයින් ඉදිරියෙ ඉතාම විනිවිදභාවයෙන් යුක්තව. නරක් වූ ඡන්ද පත්‍රිකා ඉවත් කරන්නෙත් ඔවුන් ඉදිරියෙ. ඒවා වැඩි හරියක අමු තිත්ත කුණුහරුප ලියලා, ඇඳලා, අපේක්ෂකයන්ගෙ මෑණිවරුන්ට ආශීර්වාද කරලා තියෙන්නේ. 

ඉතින් මම ඡන්ද ගණන් කිරීමේ රාජකාරිවලට ගිය හැම අවස්ථාවකදිම, ශාලාව ඇතුලෙ පළමු ගණන් කිරීමෙදි දැකපු ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රවනතාවයම, රටේ සමස්ථ මැතිවරණයෙ අවසන් ප්‍රතිපලයෙත් දැක්කා. ඒකෙන් තහවුරු වෙනවා මැතිවරණ ක්‍රියාවලියෙ එක් තැනක සිද්ද වෙන වරදක් නිසා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලයේ වෙනසක් සිද්ද නොවෙන විදියට, මැතිවරණ ක්‍රියාවලිය සකස් වෙලා තියෙනවා කියලා.

අපේ රටේ දේශපාලකයන්ට, ඡන්ද දායකයන්ට මැජික් පෙන්නලා උන්ගෙ ඡන්දෙ (කැමැත්ත) දිනා ගන්න පුලුවන් උනාට, ඡන්ද පත්‍රිකාව සලකුණු කරලා පෙට්ටියට දැම්මට පස්සෙනම් මැතිවරණ ප්‍රතිපලය වෙනස් කරන්න බැරි විදිහට ක්‍රමවේදය සකස්වෙලා තියෙනවා කියලා සතු‍ටු වෙන්න පුලුවන්.





90 comments:

  1. සාමාන්‍ය මිනිහෙක් නොදකින දෙයක් කාටත් දැනගන්න ලිව්ව එක අගෙයි ගාම්ණී අයියේ..එතකොටවත් ජිල්මාට් කතා නවතීවිනේ......

    ReplyDelete
    Replies
    1. ජිල්මාට් කතා කියලා ඒ අය බලා පොරොත්තුවුනේ ඉතුරුවෙලා හිටපු සාමාජිකයො ටික තව දුරටත් රඳව ගන්න. ඒත් ඒකෙන් උනේ සාමාන්‍ය ජනතාව තුළ මැතිවරණ රාජකාරිය කෙරෙහි තිබුණු විශ්වාසය බිඳ වැටීම. කොහොමවුනත් ජිල්මාට් කතාව දැං බැක් ෆයර් වෙලා, මලේ.

      Delete
  2. බොහෝම වටින ලිපියක් ගාමිණි අයියා...
    මමත් පෝලිං බූත් වල පක්ෂ නියෝජිතයෙක් හැටියට කටයුතු කරලා තියෙන නිසාත්.. අර කිව්ව රබර් ඇහැ දාගෙන ඉන්න පක්ෂ නියෝජිතයෙක් විදියටත් කටයුතු කරලා තියෙන නිසාත් සෑහෙන දුරකට අවබෝධයක් මේ ගැන තියෙනවා.. ඒ වගේම පන්සලේ ඉන්න කාලේ පණ මඩුව ඔය කිව්ව ආකාරයේ චන්ද මධ්‍යස්ථානයක් වීම නිසා එහි කටයුතු කෙරෙන ආකාරයත් යන හැම දේම හොඳින් දැක බලාගත්ත කෙනෙක්... ඇත්තටම මෙච්චර හොඳට යාන්ත්‍රණයක් ඇති වෙනත් රජයෝ හෝ වෙනත් අංශයක දෙයක් නැද්දෝ කියලා හිතෙන තරමට මේක හරිම පිළිවෙලයි.. ඒත් ඉතිං ඕවෑ වග විස්තර දන්නවා තියා උපන්තේකට ඡන්දයක් දාලාවත් නැති උදවිය ජිල්මාට් ගැන කතා කරනකොට ඒවට උත්තර බැඳලා තේරුමක් නැහැ.. මොකද නිදං ඉන්න එකා අවදි කලෑකි උනත් හොරට නිදං ඉන්න එකා මලාට ඇහැරවන්න බැහැනේ.. ඌ කැමති නැහැ ඇහැරෙන්න..උගේ ආතල් කැඩෙන හින්දා...

    ඒත් මේළගකදී ඔය ජිල්මාට් කතාව හැදුව හාදයම ඒ වගේ දෙයක් නැහැ කියලා කිව්වට පස්සේ හුඟ දෙනෙකුට තමුන්ගේ ආතල් කඩා ගන්න උනා...

    රජයේ සේවකයකු වශයෙන් මේ වැඩ පිළිවෙල පැහැදිලි කර දීම සම්බන්ධව බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මලේ, උඩ කොමෙන්ට් එකේ මම කිව්වා වගේ ජිල්මාට් කතා කියලා උන්දලා ජෝකර්ලා බවට පත් උනා. නමුත් මැතිවරණ රාජකාරි ක්‍රමවේදය ගැන නොදන්න, දුරදිග නොහිතන කෙනෙකුට ඒක ඇත්තක් කියලා හිතෙන්න පුලුවන්. රාජ්‍ය සේවය ගැන සාමාන්‍ය මිනිස්සුන්ගෙ විශ්වාසය බිඳ වැටීම ලොකු හානියක්.

      Delete
    2. එත‍කොට ඔබතුමා කියන්නේ, හොර ඡන්ද, මැතිවරණ දූෂණ ක්‍රියා කියලා ජාතියක් නැහැමයි කියලද?

      Delete
    3. නෑ රන්දිල්, මගේ විශ්වාසය අනුව ඒවා අවම වෙන විදිහට ශක්තිමත් ක්‍රමවේදයක් සකස්වෙලා හොඳින් ක්‍රියාත්මක වෙනවා.

      කලාතුරකින් එහෙම දෙයක් සිද්දවුනත් ඒ මධ්‍යස්ථානයෙ ප්‍රතිපල ශුන්‍ය කරලා ඒක නිවැරදි කරන්න මැතිවරණ කොමසාරිස්ට පුලුවන්. ඒ වගේ සිද්දියකින් සමස්ත ප්‍රතිපලයට කෙරෙන බලපෑම නොගිනිය හැකි තරම්. ඒ වගෙ සිද්ධි ලොකුවට මවා පෙන්වන්නෙ පරාජිත, අසාර්ථක දේශපාලුවෝ.

      Delete
  3. "'මනාපෙ දාන්නෙ කාටද ..?' කියලා ඇහුවහම හුඟ දෙනෙක් කියන්නෙ 'ජනාධිපතිතුමාට ...' කියලා." කථා කොරලා වැඩක් නෑ.. ඔය වගේ කට්ටියනෙ රට පාලනයට නියෝජිතයො තෝරන්නෙ.. මේක නම් අසාධාරණ සිතිවිල්ලක් හැටියට පෙනෙයි.. ඒත් ඡන්ද හිමියෙක් වෙන්න යම් සුදුසුකමක් තිබුනොත් හොඳයි නේද?.. හි..හි.. මැති ඇමති ජනපති වෙන්නත් සුදුසුකමක් ඕනනැති එකේ ඡන්දය පාවිච්චි කරන්න මොන සුදුසුකම්ද? :)

    රටේ පුරවැසියන්ගෙන් සැළකියයුතු පිරිසක් ඡන්ද පොළට නොයෑමත් ප්‍රශ්නයක්.. ඒත් ඉතිං මං ගියත් කරන්නෙ හරහට ඉරි අඳින එක.. ඒක නෙමේ ගාමිණී අයියෙ ඒ දෙන ඡන්ද පත්‍රිකාව පෙට්ටියට නොදා ගෙදර ගේන්න බැරිද?

    හොර ඡන්ද දාන හැටිත් කිව්වානම් තමයි හොඳ..? :)

    හොඳ විස්තරයක් ස්තුතියි!..

    ReplyDelete
    Replies
    1. මහජන ඡන්දයෙන් මන්ත්‍රණ සභාවට නියොජිතයො පත් කරන මැතිවරණ ක්‍රමය ආපු මුල් කාලෙ ‍තෝරාගත් පිරිසකට විතරයි ඡන්ද බලය ලැබුණේ. සර්වජන ඡන්ද බලය මහජනතාවට ලැබුණේ ඊට කාලෙකට පස්සේ. (ඒ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දැම්මොත් ලොකු පිනක්) මට හිතෙන හැටියට සර්වජන ඡන්ද බලයේ හොඳ නරක දෙකම තියෙනවා.

      ඡන්ද ස්ථානාධිපතිගෙ ඇහැ වහලා හොරෙන් ගෙනාවොත් තමයි ඉතිං .. ලේසි වෙන එකක් නෑ. නීත්‍යානුකූලව නම් ඡන්ද පත්‍රිකාවක් ගෙදර ගේන්න බෑ, මලේ.

      හොර ඡන්ද දැන් ඉතිහාසයට එකතුවුනු සංකල්පයක්. වර්තමාන ඡන්ද රජකාරි ක්‍රමය අතීත අත්දැකීම් මත ගොඩ නැගුණු ඉතාම ශක්තිමත් ක්‍රමවේදයක්.

      Delete
  4. මේ කථාව ඇත්ත. මමත් කාලයක් ඡන්ද රාජකාරි වල නියැළුනා. ඒක හරිම ක්‍රමවත් වැඩපිළිවෙලක්. මට මතක විධියට චන්දය දැම්මෙ කවුද කාටද කියලා හොයන එකත් මහ ලොකු දෙයක් නෙමේ. ඒ වගේම චන්දය දැම්මට පස්සෙ ඒක වෙනස් කිරීම කිරීමටත් අමාරුයි. මොකද මේ කටයුත්තෙ සෑම අංශයක්ම මනාව ලේඛණගත වෙනවා. ඒ වගේම බොහෝ පුද්ගලයින් ගණනක් ඉදිරියේ සිදුවන්නෙ. පරාද වුණ සහ බංකොලොත් දේශපාලන පක්ෂ විවිධ අදහස් දැක්වුවවත් මේ ආතාරයට පවත්වන ඡන්ද නිවැරදි බවින් ඉහළයි. සැබැ තත්වය තමයි නිරූපණය වෙන්නෙ. හැබැයි චන්දයට කලින් කරන බිය වැද්දීම් වගේ දේවල් මේකට අදාල නෑ. ඒ වගේම ගණන් කිරීමේදි බොහෝ විට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ඉහළ ගණිත හෝ සංඛ්‍යානය පිලීබද දැනුමක් සහිත පුද්ගලයෙක්. එයත් නිවැරදි බවට හේතුවක්.
    කොහොම හරි චන්ද රාජකාරි කියන්නෙ රජයේ සේවකයෙකුට ඇති වෙනත් අයට නැති ඉතා ඉහළ ගණයේ වරප්‍රසාදයක්. තම ජීවිතයට අත්දැකීම් එකතු කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. //මට මතක විධියට චන්දය දැම්මෙ කවුද කාටද කියලා හොයන එකත් මහ ලොකු දෙයක් නෙමේ.//
      මතක එැටියට නෙමෙයි... එහෙම හොයන්න පුළුවන්.

      Delete
    2. ඉෂාර මල්ලිගෙ කොමෙන්ට් එකේ සියලු කරුණුවලට සම්පූර්ණයෙන්ම එකඟයි. ඡන්ද ඩියුටියක් ඉවරවුනහම ලොකු සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය(ප්‍රජාව විසින්ම පාලනය කරනු ලැබීම) ආරක්ෂා කරගන්න දායක උනා කියලා. ඒ අයිතිය නැති කරගත්තු අවස්ථාවල ලෝකෙ සමහර රටවල් අපාදුක් වින්දා.

      නිකුත් කරපු පත්‍රිකාවෙ අංකය අනුව ඡන්දය දැම්මෙ කාටද කියලා හොයාගන්න පුලුවන්. ඒත් ඒ පත්‍රිකා සාමාන්‍ය කෙනෙකුගේ අතට යන්නෙ නෑ.

      Delete
  5. Replies
    1. ඔන්න රජෝ, කොමෙන්ට්වල ජිල්මාට් ගැන ඇතිවෙන්න ලිව්වා ...!

      Delete
  6. හරිම වැදගත් ලිපියක්.

    අදමයි බ්ලොගට ගොඩ වුණේ. ඔන්න ෆලෝ කරන්න ගත්තා.

    මේ බ්ලොගේ කොන්ටිටි අඩු උනාට කොලිටි උපරිමයි වගේ පෙණුන විදිහට. හිමින් පහු ගිය ඒවා කියවන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඕං කියවලා ඉවර කළා......

      Delete
    2. යාලුවො ගොන්නට අලුත් කොල්ලෙක් එකතු උනාට සතු‍ටුයි.

      බ්ලොග් එක පැත්තේ ගියා. තාත්තගෙයි පුතාගෙයි කතාව එල. පස්සේ ආයෙත් ඒ පැත්තේ එන්නම්.

      Delete
    3. හා හා බොහොම ස්තුතියි. එන්නකො නිවාඩු වෙලාවක.....

      Delete
  7. ///ඡන්දදායකයා කියන විදිහට පක්ෂෙට කතිරය ගහලා 'මනාපෙ දාන්නෙ කාටද ..?' කියලා ඇහුවහම හුඟ දෙනෙක් කියන්නෙ 'ජනාධිපතිතුමාට ...' කියලා. ජනාධිපතිතුමා පලාත් සභාවට ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියලා තේරුම් කරලා දුන්නහම ඒ අය වැඩි දෙනෙක් කියන්නෙ 'අනිත් එවුන්ට මගෙ ඇති මනාපයක් නෑ ...' කියලා.///

    ඔන්න... ආයිත් මොන කතාද.. හි හි..

    මට මතකයි එක ජනාධිපතිවරණයකට.. ( මගේ පළවෙනි එකද කොහෙද..) මටත් වඩා බල නංගි කෙනෙක් ඔය ඇඟිල්ල පාට කරන තැන වාඩි වෙලා හිටියා.... අර නම් චෙක් කරන්න ඉන්නේ.... ඒ වගේ වයසක කෙනෙක් යොදා ගන්න පුළුවන් දෑ කියලා අහන්න කෙනෙක් හිටියේ නෑ... ඔබතුමාවත් කියන්නකෝ.. මට මතක විදියට ඒ නංගිට අවුරුදු 18 පිරුනා විතරයි එකතොට...

    එතකොට ඉතිං එය බස් පිටින් අරං ගිහින් හොර ඡන්ද දානවැයි කියන්නේ කොහොමද අප්පා....

    ReplyDelete
    Replies
    1. ඒ ළමයා රාජ්‍ය සේවයට ආපු ගමන් වෙන්න ඕනෑ, හිරු ... මම දන්න විදිහට මැතිවරණයකදි ලිපිකරු පත්වීමක් ලබන්නෙ ස්ථිර රාජ්‍ය සේවකයෙක් විතරයි.

      බස් පිටින් චන්ඩි ගෙනිහින් හොර ඡන්ද දාපු කාලයක් තිබුනා ඉස්සර. ඒත් දැන් ඒ වගේ දෙයක් සිද්දවුනොත් වහාම වාර්තා වෙන විදිහට ක්‍රමවේදය සකස් වෙලා තියෙනවා. ඒ වගෙ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ශුන්‍ය කරලා නැවත ඡන්දයක් තියන්න බලය මැතිවරණ කොමසාරිස්ට තියෙනවා.

      Delete

  8. රජයේ සේවයේ නොවුනට මැතිවරණ රාජකාරි හා ඊට යන රජයේ සෙවකයාගේ කැපවීම මම දන්නවා අවුරුදු 15 ක් විතර තිස්සේ ඉඳන්ම . එස් පී ඕ හා කවුන්ටින්ග් ඔෆිසර් වැඩවලට ගිය තාත්තා නිසා .රජයේ නිලධාරීන් මේකට පුදුම විදියට කැප වෙලා මහන්සිවෙලා කාලේ වැය කරලා ලෑස්ති විය යුතුයි .ඔවුන්ට ලැබිලා තියෙන මැතිවරණ රාජකාරි අකුරට පිලිපදින්න .

    නමුත් මට හිතෙන්නේ මේ සියල්ල ලංකාවේ රාජ්‍ය නිලධාරින්ගේ වටිනා කාලය , වෙහෙස මහන්සිය කා දැමීමක් . ඇයි බැරි කාලේ ඉතුරු කරගන්න ඔන් ලයින් හරි මීට ටිකක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට රජයේ සම්පත් කාලය ,නාස්තිය ,අඩු කරලා මැතිවරණ තියන්න .

    ලංකාවෙ නම් ඉතින් අන්තිමට අටවත් පාස් නැති මෝඩ හරක් ටිකක් පාලනයට යවන්න රජයේ සේවකයො දිවා රෑ වෙහෙසෙන්න ඕනේ .

    ReplyDelete
    Replies
    1. මැතිවරණ ක්‍රියාවලියෙදි පරිගනක භාවිත කරන රටවල් තියෙනවා කියලා මමත් අහලා තියෙනවා. ඒත් අපේ රට ඒ තත්වයට එන්න තව බොහොම කලක් යාවි. මේ පාර මම ගිය පල්ලියගොඩැල්ල, ගුරුගොඩැල්ල වගේ ගම්මාන පොලොන්නරුවෙ ඉඳලා කිලෝ මීටර් හැටක් විතර ඈත තියෙන ඉතාම දුෂ්කර තැන්.

      අන්තිම වාක්‍යට මම එකඟයි. කොහොම උනත් මැතිවරණයකින් අඩුම තරමෙ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂාවෙනවා කියලා හිතලා සැනසෙමු.

      Delete
    2. නෑ ඒවා නමට හා මැතිවරණ නීතියට පමනයි අපිට ප්‍රජාතන්තරේ ඕනෙ වෙන්නේ .

      මට තරහ පොඩ්ඩ එහා මෙහා වෙනකොට නීතිය තට අරන් රජයේ සේවකයො ගස් බඳින්න් තරම් බලයක් අතට ගන්න පිස්සු මෝඩ හරක් රැලක් වෙනුවෙන් වැදගත් , නම්බුකාර උගත් රජයේ සේවකයන්ට කැප වෙලා කාලේ නාස්තිකරන්න වීම .

      මොන දිල්ලියේ හිටියත් මිනිස්සු චන්දේ දාවි අපි අලුත් වෙන්න ඕනේ කාලේ ශ්‍රමය නාස්ති නොකර

      Delete
    3. පරිඝනක ක්ෂේස්ත්‍රයේ අධ්‍යාපනයක් හා රැකියාවක නියුතු කෙනෙක් විදියට ඔන්ලයින් ගියොත් අනිවාර්යෙන්ම පද්දති තුලට පිවිසීම වලක්වන්න බෑ. ඒ අතන රාජකාරි කරන අයට වඩා පරිඝනක විසේසඥයන් එළියේ සිටීම හේතු කොටගෙන ඒ වගේම රින්ගීමට ඇති ඉඩකඩ වැඩි නිසා. එහෙත් වර්තමාන ක්‍රමය තුල යම් නොහොබිනා ක්‍රියාවක් වුනොත් දන්වන්න ක්‍රමෝපායයන් සකස් වෙලා තිබෙනවා. යම් සටහනකට අත්සන් ගැනීම කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් වුනත් යන්ත්‍ර සුත්‍ර කෙරේ බොහෝ දෙනාට විශ්වාසයක් තියන්න බෑ. මේ රාජ්‍ය සේවකයාගේ අවංකත්වය ගැන අපි තබන විශ්වාසය ඊට වැඩියි.

      Delete
  9. මාමත් මේ සැරේ ඩියුටි ගියාද?
    ඒ රාජකාරියත් හොද අත්දැකීමක් වගේ නේද? :)

    හොද ලිපියක්... තාම ඡන්දේවත් දාපු නැති අපිට දැනගන්න කරුණු ගොඩයි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගියා නේන්නං රජ පැටියෝ ...! ඉහ නිකට පැහිච්ච අපි ලියන මේවා කියවලා, ඒවා තමන්ගෙත් අත්දැකීම් කරගෙන, අනාගතේදි නිවැරදි තීරණ ගන්නවානම් අනාගතය සුභ වෙලා, රාජ සම්පත් ලැබෙනවා ඒකාන්තයි ...!

      Delete
  10. අන්න හරි මචං. රජයේ සේවයකයට සාමාන්‍යකරණය වුන නමුත් සෙසු මහජනතාවට යම් දුරකට අභිරහසක් වුන ඡන්ද රාජකාරියේ ඇතුල් පැත්ත ගැන පැහැදිලි කිරීමක් කරපු එක ඇත්තටම කාලෝචිතයි.
    උඹ දන්නවනෙ ලංකාවෙ ඉන්නකල් මාත් ඔය ඡන්ද මධ්‍යස්ථානවල වැඩට ගියනෙ. මම වතාවක් ලුම්බිණියෙ ඡන්ද ගනින්නත් ගියා. කෝපිම බිව්වා ගැලුම් ගානක් නිදිමරන්න. ඔය ඡන්දෙ ඉවරවෙලා ඇඳිරි නීතිය දාන වෙලාවට ගෙදර එන එක මාර කට්ටක්. ඒ නැතිනම් පාරෙ ඉන්න උන් ඔක්කොම වගෙ බීලා වලියට සෙට් වෙලා ඉන්නෙ. ඇඟ බේරාගෙන ගෙදර යනකල් ෂුවර් නෑ.
    ඔය පිරිමි ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට කලින් දවසෙ රෑ ඉඳන් එතන ගිහින් ඉන්න උනාට නිළධාරිණියන්ට උදේට එන්න කියලා කියන්නෙ. දවසක් මම උදේ එන්න අවසර අරගෙන ගෙදර ගියා. පහුවදා උදේ වහිනවා වැස්සක් හිටගෙන *ක හෝදන්න පුලුවන් සයිස් එකේ. බයික් එකේ ලයිට් එකටත් අඩි කීපයකට එහා පේන්නෙ නෑ. අනේ ගියා කොහොමහරි අතක් පයක් කඩා නොගෙන. වැඩක් නෑ හෙල්මට් එකෙන් ජර්කින් ඇතුලට දිය වැල් ගලාබහිනවා. දැන් නම් මතක් වෙනකොටත් ආතල්! කොහොම හරි යන්න බැඳිලා ඉන්නවනෙ.

    Are you back in Sri Lanka, dude?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔය ඡන්ද වැඩවලට ගිය නිලධාරි කාපු ටොෆී ගැන ලිපියක් මම පත්තරේක කියෙව්වා..

      Delete
    2. Dude - ඡන්ද ඩියුටිය මාර කට්ටක් උනාට ඒකෙන් ලබන අත්දැකීම කෝටියක් වටිනවා, මචෝ. එක අතකින් රාජ්‍ය සේවකයෙකුට ලැබෙන ලොකු අභියෝගයක්.

      ආපහු ආවා මචං ... වැඩි විස්තර පසුවට ...!

      හරී - මොකද්ද ඒ ටො‍ෆි කතාව හරී ... මට කියවන්න ලැබුනෙ නෑ.

      Delete
    3. ඔය ඡන්දෙ ඉවරවෙලා ඇඳිරි නීතිය දාන වෙලාවට ගෙදර එන එක මාර කට්ටක්

      ඩියුටි යන අයට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා නේද? ලංගම බස් වලින්...........

      Delete
    4. රන්දිල්,මම බයික් එකේ යනවා හුඟක් වෙලාවට. ඉක්මනට ආපහු එන්න. ඒ වෙලාවට තමයි පාරෙ ඉන්න බීපු ඩයල් වලින් බේරිලා එන්න අමාරුයි කිව්වෙ. ඡන්දෙ ගනන් කරන්න ලුම්බිණියට ගිය දවසෙ නම් බස් වලට පොඩි අප්සෙට් එකක් තිබ්බා, මොකද බස් එකේ නැගලා ඉන්න නිළධාරීන් වැඩි දෙනා කියන පාරෙ තමයි බස් එක ගියේ. එදා නම් මට මග බැහැලා තව වාහනයක් හොයා ගන්න පුදුම ‍රැගක් කෑවා.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. දැන් ජන්ද වලට ප්‍රවාහන පහසුකම් සපයන්නේ නැත. එස් පී ඔ සහ ඔහුගේ සේවකයාට සහ ජන්ද පෙට්ටි ආරක්ෂාවට යන අයට පමණි සැපයෙන්නේ.
      විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජන්ද රාජකාරි වලදි නම් කෙසේවත් නැත.
      ඉස්සර නම් ජන්ද මධ්‍යස්ථාන වලට යායුත්තේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කර ඉන්පසුවය දැන් එසේ නොවේය.

      Delete
  11. අපේ අම්මාත් ඉලෙක්ෂන් ඩියුටි ගියානේ. ඒක නිසා මේ වැඩේ කෙරෙන විදිහ ගැන ඔය විස්තර අහලා තියෙනවා. මුල් කාලේ අම්මලාට කෑම බීම ඉතාමත් හොඳින් ලැබිලා තිබුනත් පහු පහු වෙනකොට නං එච්චර හොඳ වෙලා තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලැබෙන කෑම බීමවල ඒ තරම් වරදක් නම් නෑ රන්දිල්, ... ඒත් සුබ සාධන කටයුතු බාරව ඉන්නෙ ගසාඛාන් කෙනෙක් නම් වැඩේ චොර වෙන්න පුලුවන් ...!

      Delete
    2. කෑම බ්ම සැපයීම අප්සැට් බව ඕනෑම කෙනෙක් දනී.
      එයට පසුබිම් වි ඇත්තේ එක්තරා සහකාර මැ කෝ කෙනෙකු විසින් ආහාර සදහා වැයවෙන වියදම අවම කර මුලු මැතිවරණ සදහා වූ වියදම අඩුකර පෙන්විම නිසාය(ඔහුට විදේශ සංචාරයක් ලබාගැනීම සදහාය පසුව සතුටට පත් අමාත්‍ය මණ්ඩලය ඔහුට විදේශ සංචාරයක් මෙන්ම අමාත්‍යංශයක ලේකම් තනතුරකට පත්තළ බවද කියැවේ) ඌව පළාතේ සිදුවු සත්‍ය සිදුවීමකි

      Delete
  12. මම තවමත් චන්දෙ දාල නැහැ.මේවා ගැන වැඩිය දන්නෙත් නැහැ.:)
    හොඳ විස්තරයක්!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු, ජය වේවා ...!

      Delete
  13. හැමෝම කියන්නෙ රාජ්‍ය සේවයේ ඉන්නවනම් ඡන්ද රාජකාරි කරන්නම ඕනියි කියලයි..මන් තාමත් කීපසැරයක්ම ඕකට ඉල්ලුම් කරන්නත් ඉඳලා අන්තිම මොහොතේ අතැරියා..මේ ලිපිය කියෙව්වහමත් හිතුනෙ ඊළඟ එකටවත් ඉල්ලනවා කියලයි..ඒ උනාට ඡන්දෙ කිට්ටු වෙනකොට ඔය අදහස වෙනස් වෙනවා..එන අයගේ ඇඟිල්ලෙ තීන්ත ගාන්න වගේ නම් මාත් ආසයි..ඒ උනාට අපේ සේවය අනුව දෙන්න යන රාජකාරි ඊට වඩා බරපතල නිසයි මන් නම් අන්තිම මොහොතේ අදහස වෙනස් කර ගන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඡන්ද රාජකාරිවලට ඉල්ලන්න ඕනෙනෑ බං. බලෙන් දාන්නෙ මම දන්න විදියට. බලෙන් කිව්ව වචනය සැර වැඩි වුනත් නොගියොත් රෝහල්ගත වෙන එක තමයි එකම නිදහසට කරුණ මම හිතන්නෙ.
      උඹ පෙරුම් පුරලා පෙරුම් පුරලා කෙල්ලංගෙ ඇඟිලි අල්ලගෙන තීන්ත ගාන්න හිතාගෙන ඡන්ද රාජකාරි වල්ට ගියාම, උඹව පිරිමි පෝලිමට දැම්මොත් මොකෝ කරන්නෙ? යකෝ මට මැවිලා පේනවා, හැක් හැක්!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. දැන් දීපව්‍යාප්ත මැතිවරණ අඩුයිනේ. (කෑලි කඩන නිසා) ඉතිං බලෙන් දාන්නෙ නෑ බොහෝ විට.

      Delete
    3. වෙනි මලේ ... හෙන්රියා අසුබ කතා කිව්වට අධෛර්‍ය්‍ය නොවී ලබන පාර උත්සාහ කරලා බලමු.

      රාජ් මල්ලි කිව්වා වගේ කෑලි මැතිවරණවලදි බලෙන් කැ‍ඳෙව්වෙ නැති උනාට ජනාධිපතිවරණයක් වගේ වෙලාවක අනිවාර්ය වෙනවා. හොර ලෙඩක් හදාගෙන තමයි ශේප් වෙන්න පුලුවන්.

      Delete
    4. අපිට නම් ඡන්ද කාලෙ ඡන්ද ඩියුටි ඉල්ලන්න කියලා මොකද්ද ෆෝර්ම් එකක් එනවා ඇඩ්මින් සෙක්ශන් එකෙන් අහනවා ඡන්ද රාජකාරී ඉල්ලනවද කියල නම්..අපේ කීප දෙන්ක්ම ඉන්නවා හැමදාම ඉල්ලලා යන. අපිට අනිවාර්‍ය නෑ. සමහරවිට සංස්ථාගත මණ්ඩලයක් නිසාද මන්දා ? අපේ ද්විතීය පදනමෙන් අවුරුදු පහකට සේවයට එන අය නම් හැමෝම වගේ යනවා. ඒ අය පරිපාලන සේවයෙ අය. ඒ අයට නම් අනිවාර්‍යයි මන් හිතන්නෙ. චෙහ් !!! හෙන්රි කීව් අසුබ කතාව නිසා ආයිමත් හිතන්න වෙනවා ගාමිණි අයියෙ.. හැබෑටම එහෙම උනොත්..මේකා මාලදිවයිනටම ඇහෙන්ඩ හිනා වෙයි.. :-D

      Delete
  14. ඉලෙක්ෂන් ඩියුටිවල තියන ආතල් පැත්ත ගැන මම ඉස්සර ලිව්ව ලිපියක්. මේවගේ උදවියත් ඒ තැන්වලදි හමුවෙනව.

    ReplyDelete
    Replies
    1. මම හිතා මතාම නොලියපු ටික රාජ් මල්ලි කලින් ලියලා තියෙනවා. ඒත් මට හිතෙනවා ඒක ලොකු අවදානමක් කියලා. ඡන්ද ඩියුටිය පැත්තක තියලා පාටි දාපු මම දන්න අම්පාරෙ නිලධාරියෙක් ගෙදරම ගියා.

      Delete
  15. මමත් ගියා ඡන්ද රාජකාරී 6 කටම.. ආතල් විස්තර එමටයි... ලියන්න ඕන ඒවත්.. ඒ වගේම බේරුවල චීන වරායෙදි පන බේරගෙන ආවෙත් බොහොම අමාරුවෙන්...

    ReplyDelete
    Replies
    1. ලියමු, ලියමු මලේ ...!

      Delete
  16. //මනාපෙ දාන්නෙ කාටද ..?' කියලා ඇහුවහම හුඟ දෙනෙක් කියන්නෙ 'ජනාධිපතිතුමාට ...' කියලා
    ඒකනේ ඉතිං...
    එතනිං එහා මොන කතාද????

    ReplyDelete
    Replies
    1. අබේ, ඒක මම ගිය දුෂ්කර පලාතක ඡන්ද මධ්‍යස්ථානයක ස්ථානාධිපති කියාපු කතාවක්. ඒ වගෙ වයසක උදවිය ඡන්දෙ දාන්න එන්නෙ හුඟක් වෙලාවට තව කෙනෙකුගෙ බලකිරීමට.

      Delete
  17. අපේ තාත්තාත් ඔය චන්ද රාජකාරි වලට සහභාගි වුන කෙනෙක්. ඒ අය බොහොම ගෞරවයෙන් ඔය ක්‍රමවේදය ගැන කතා කරන්නේ. ඔය කර්තව්‍යයට කලින් ඔය චන්ද ගණන් කිරීමට ගන්න මේස පවා කලින් සකස් කිරීමක් කරනවාලු. විශේෂ කොලයක් මේස රෙද්දක් වගේ අලවලා මේස අතර තියෙන හිදැස් සම්පුර්නයෙන්ම වහල බොහොම ආරක්‍ෂිතව ලු ඒ දේවල් කෙරෙන්නේ. චන්ද පෙට්ටිය වුනත් නියමිත ප්‍රමිතියකට ලු හදන්නේ බොහොම අනර්ඝ ලීවලින් පිත්තල ඇන යොදල....නියමිත ප්‍රකාශ කිරීමේ කාලයෙන් පස්සේ චන්ද පෙට්ටි මුද්‍රා කිරීමත් එහෙමයිලු. සාම්ප්‍රදායික විදියට අර දුඹුරු පාට ඝන කොල වලින් ඔතලා හන නුල් වලින් බැඳලා ලාකඩ වලින් මුද්‍රා තියල......ඉතින් මේ ඔක්කොම කතා මතක්වෙන්න, කියන්න හේතු වුන මේ ලිපිය බොහොම අනර්ගයි.

    ReplyDelete
    Replies
    1. මැතිවරණයක පූර්ව සූදානම ඉතාම විශිෂ්ඨයි. කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගුණු සම්ප්‍රදායයන් ඒ ක්‍රියාවලිය තුළ තියෙනවා, සතිත්.

      Delete
  18. දේශපාලුවෝ හිතන් ඉන්නේ උන් වගේම මුන්ටත් බොරු කරන්න පුළුවන් කියල. ඒකනේ ඔය වගේ ජිල්මාට් කතා කියන්නෙ. අපේ අම්මත් චන්ද වැඩවලට ගියා. රස කතා බොහෝමයයි.

    ReplyDelete
    Replies
    1. ඡන්ද රජකාරියෙදි කෙටි කාලයක් ඇතුලත විවිධ අත්දැකීම් ගොඩක් ලබන්න පුලුවන් ..

      Delete
  19. අපි ඉන්නෙ ගුරු නිවාසෙක,මේ ඉස්කෝලෙත් මෙවර ඡන්ද මධ්‍යස්ථානයක්. ඡන්දෙට කලින් දවසෙ රෑ අපිටත් හරිහමන් නින්දක් නෑ. රෑ දෙගොඩහරියෙත් එනවා වතුර රත්කරගෙන යන්න, "පොඩි වීදුරු" ඉල්ලන්න.(තහනම් වුනාට කට්ටිය යස අගේට සෙට්වුනා)

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි මලේ .. ඒත් ඩියුටි වෙලාවට බොනවාතියා ඒ ගැන හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ..

      Delete
  20. මම කවදවාත් ලංකාවේ චන්දේ දීලා නෑ.

    ඒත් මේ කියපු සිස්ටම් එකටම මේ දේවල් වෙනවා කියලා මට කොහොමටවත් විශ්වාස කරන්නත් බෑ. 2010 දි චන්ද කිහිපයකට මම ලංකාවේ හිටියා. ඒ ඒ අවස්තාවල මුහුන දීපු සිදුවීම්/හිතවතුන්ගේ කතා එක්ක බැලුවම මට නම් මේ චන්ද මධයස්ථාන කියල දෙයක් තියෙනවද කියලත් හිතුනා.
    නියම කතාව තමයි අර ගමේ මනුස්සයා කියන එක. ඒ මනුස්සයා කාටද චන්දේ දෙන්නේ කියලාවත් දන්නේ නෑ. ඒක තමයි බහුතරයගේ තත්වේ.

    අර ඔන්ලයින් චන්දේ දෙන කතාව ඇහුවම මට මේක කියන්න හිතුනා. මම ජීවත් වන රටේ නිතර එක එක වර්ගයේ මැතිවරණ තියෙනවා.
    එහෙම එකක් තියෙනවා කියලා අපි සාමාන්‍ය ජනතාවට කිසිම බලපෑමක් නෑ. චන්දේ දවසට ඒ ඒ මධ්‍යස්ථානයට ගියා චන්දේ දුන්නා ආවා. ඒක නිකම් සාමාන්‍ය දෙයක් විතරමයි. අද තව වෙනකනුත් හොර චන්දවත් අසාධාරණ විදියට චන්දේ උනා කියලාවත් කවුරුත් කම්ප්ලේන් කරන්නේ නෑ. බලෙන් මිනිසුන්ගේ චන්දේ ගන්නෙත් නෑ. ඒක අපි හැමෝගෙම නිදහස් අයිතිවාසිකම විතරමයි.


    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දේශපාලන සංස්කෘතිය අමතක කරලා, මැතිවරණ ක්‍රමවේදය ගැන විතරක් හිතුවොත් අපට දුක්වෙන්න හේතුවක් නෑ කියලයි මම හිතන්නෙ. අතීතයෙ තිබුනට වඩා ඒක හුඟක් ඉදිරියට විකාශය වෙලා. අනාගතේදි කවදාහරි සංවර්ධිත රටක තත්වයට ඒවි ..

      Delete
  21. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා ටිකක් දුර බැහැර පළාත් වල ඡන්ද රාජකාරි වලට ඉල්ලලම යන. ඇත්තටම ඒගොල්ලො ඒක කරන්නෙ නිකං විනෝදාංශෙකට වගේ. ඡන්ද රාජකාරි ඉවර කරල රටතොටත් බලාගෙනම තමයි ආපහු එන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොච්චර දුෂ්කර උනත් ඡන්ද රාජකාරිය ඉවර උනහම ලොකු සතුටක් දැනෙනවා ...

      Delete
  22. මේ වගේ පෝස්ට් එකකින් නොදන්න අයට ගොඩක් දේවල් දැනගන්න පුලුවං. ස්තුතියි.

    ReplyDelete
  23. නොදන්න දෙයක් දැනගත්තා... ස්තූතියි.

    ReplyDelete
  24. එහෙම තියෙන එක තමයි මගේ හිතේ අපිට තියෙන එකම සහනය.. කවදාහරි හරි මිනිහෙක් ආවොත් .. එත් ඉතින් ඔය විදිහට සියල්ලම එහෙමත් තිබිලානේ අර හිටපු කොමසාරිස් තුමාට ආතතිය හැදුනේ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු හැට පැන්නට පස්සෙත් බලෙන්ම තියාගත්තහම ආතතිය හැදෙනවනේ, ලංකා ...!

      Delete
  25. හුඟ දවසකට පස්සේ...:-)

    ඉස්සර හුඟක් අය කැමතියි ඈත ගම්වල ඡන්ද වැඩවලට යන්න. දැන්නම් ඒක වෙනස් වෙලා වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඇත ගම්වල ඡන්ද වැඩවලට යන එක නම් ජොලි ... ඒත් මගෙ කොන්ද තවමත් රිදෙනවා වලවල්වල වැටි වැටි ගිහිල්ලා ..!

      ළඟදී ලංකාවට එන්න අදහසක් නැද්ද ..? ආවොත් ගිරිතලේ පැත්තේ එන්න.

      Delete
    2. එන්න හිතාගෙන ඉන්නවා ... දින වකවානු කියලා එවන්නම්. ගිරිතලේ එනවා ..අනිවා. අත්තනකඩවල යන්නත් හිතාගෙන ඉන්නවා.

      Delete
  26. අයියෙ මම අත්දෑකපු ඩෙයක් කියන්නම් මට මෙක තම පර්ශ්නක්.මගෙ යලුවෙක් හෙල උරමෙන් ප්‍රරදෙශිය සබවට චන්දෙ ඉල්ලුව.මනප ගනින තෑන මම්ත් හිටියා.මගෙ ගම අතුලු අන්ක් චන්ඩ මද්යස්තාන කිහිපයම ගනින තෑන මම හිටියෙ.නමුත් ගෑනම එවර වෙනකොට එ එක තෑනකින් වත් ඩපු මනාප එකක් වත් යලුවට නෑ.අඩුම ගනෙ මම ඩපු එක වත්.එකඉ අඩටත් විස්වස කරන්ඩ බරි

    ReplyDelete
    Replies
    1. මලේ ඔයා දාපු මනාපෙ නැති එක නම් ප්‍රශ්ණයක් තමයි ... ඒත් අනුං දැම්මා කියාපු මනාප ගැන නම් විශ්වාසයක් තියා ගන්න එපා.!

      Delete
  27. ඉතා වටිනා ලිපියක්.. ස්තුත්යි

    ගම්පහ දිස්ත්‍රික්කයේ චන්දය දාපු අපිට ඔය හැම දෙයක්ම අකුරට නුලට වෙනවා පේනවා විතරක් නෙමෙයි දැනෙනවත්

    දැන්නං ලංකාවේ චන්දය නැත තාම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ (පුතේ ?) ...!

      Delete
  28. මේ ලිපිය කියවාගෙන යද්දී හිතුන දෙයක් තමයි විවිධ ක්ෂේත්‍ර වල ඉන්න අය තමන්ගේ රාජකාරිය කෙරෙන ආකාර වල යම් විස්තර ඉදිරිපත් කලාම ඒ අය අතින් වෙන දෙ ගැන අනිත් අයට ලබා ගන්න පුළුවන් වීම කෙතරම් වටිනවාද කියල. අපි වගේ බැංකු වල ඉන්න අයට එහෙම ලියන්න පුළුවන් දේ බොහොම සීමාසහිතයි. ඒත් ඒ.ටී.එම්. ගනුදෙනුවක් සිදු වෙන ආකාරය මම ලිව්වා ඔබට මතක ඇති සරලව සහ බැංකුවේ රහසිගත තැන් එලි නොකර.

    ගාමිණී අයියේ මේ ලිපිය කොයි තරම් වැදගත්ද සාමාන්‍ය මහජනතාවට? මමත් යාලුවන්ගෙන් විස්තර අහලා තිබුණා. මෙතන අඩු අර රෝස පාට චන්ද පත්‍රිකාව ගැන මම දන්නා විදියට.

    අනිත් ඒක ගැටළුවක් : මගේ යාලුවෙක් කිව්වා අර කොලය පුරා ගහන ලොකු කතිරය ඉරි දෙක කැපෙන තැන කොටුවක් තුල තිබුනොත් ඒ කොටුවට ගණන් ගන්නවා කියලා. ඒක ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. මලේ මට ඕනවුනේ පරාජයවෙන දේශපාලකයො රාජ්‍ය සේවය හෑල්ලු වෙන අමන කතා කියලා, තමන්ගෙ හෙලුව වහගන්න උත්සාහ කරන එකට විරුද්ධව ඇත්තටම සිද්ද වෙන දේ ගැන ලියන්න. මේක කියවන ටික දෙනා හරි ඒක තේරුම් ගන්න එක සතුටක්.

      ATM ගැන ලියාපු පොස්ට් එක මට මතකයි. වෘත්තිකයන් හැටියට ඒ වගේ තොරතුරු හුවමාරු කරගන්න එක කොච්චර වටිනවද?

      ඡන්ද දායකයාගෙ කතිරයෙන් එයාගෙ කැමැත්ත ප්‍රකාශ වෙන්න ඕනෑ. කතිරය කැපෙන තැන කො‍ටුව ඇතුලට වැටිලා තියෙන්නෙ අහම්බෙන් බව පැහැදිලි නම් ඒ ඡන්දය අවිනිශ්චිත හැටියට සලකනවා.

      සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක් සුදුපාටයි. පාටින් වෙනස් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරන්නේ ඡන්ද දායකයෙකුගෙ ඡන්දය ඔහුට කලින් වෙනත් කෙනෙක් පාවිච්චි කරලා නම් හෝ ඔහු තැපැල් ඡන්ද දායක ලැයිස්තුවට ඇතුලත්ව ඉන්නවානම් පමණයි. මේ පාර ඒ වගෙ 'ද්විත්ව ඡන්ද පත්‍රිකා' මුද්‍රණය කරලා තිබුනේ ලා නිල් පාටින්. ඒ වගෙ ද්විත්ව ඡන්ද පත්‍රිකාවක සලකුණු කරපු ඡන්දයක් ගණන් කිරීමෙදි සලකා බලන්නෙ කොහොමද කියලා මම හොයලා බලලා ආයෙත් කොමෙන්ට් එකක් දාන්නම්. මම 6-7 වතාවක් ඡන්ද ගණන් කිරීමේ රාජකාරියට සහභාගිවෙලා තිබුණත් කවදාවත් ද්විත්ව ඡන්ද පත්‍රිකාවක් වැටිලා තිබුනේ නෑ මලේ.

      Delete
  29. මමත් පැෆරල් නියෝජිතයෙක් විදිහට මැතිවරන නිරීක්ෂනයකට ගියා. එදා මේ කටයුතු හොඳ හැටි දැකගන්න පුලුවන් වුණා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මලේ, පැෆරල් වගේ ස්වාධීන නිරීක්ෂන ආයතන දේශපාලකයන්ගෙ මැර වැඩවලට මිසක් කවදාවත් මැතිවරණ රාජකාරි ක්‍රමවේදයට දොස් කියනවා මම අහලා නෑ.

      Delete
  30. Ethakota chanda madyasthane chande ganina eka hariyata wunai kiyala kiyana sahathikaya mokakda? Chanda ganan karana madyasthana walin vipaksha aya elawapuwama kawada hari waradda balanna inne? Kohe hariyata chande thibbatha chande ganan karana thana dushanayak unoth eva gana kiywenne ne neda

    ReplyDelete
    Replies
    1. ඡන්ද මධ්‍යස්ථානෙ දි ඡන්ද ප්‍රකාශ කිරීම හා අවසානයෙදි පෙට්ටිය සීල් කිරීම සිද්ධ වෙන්නෙ පක්ෂ නියෝජිතයො ඉදිරිපිට. ගණන්කිරීමේ මධ්‍යස්ථානෙදි ගණන්කිරීම සිද්ධ වෙන්නෙත් පක්ෂ නියොජිතයො ඉදිරිපිට.

      ඡන්ද මධ්‍යස්ථානෙක කලබලයක් සිද්ධ උනොත් විමර්ශනය කරලා ඒ මධ්‍යස්ථානෙ ඡන්දය ශුන්‍ය කරලා ඒ මධ්‍යස්ථානෙට විතරක් නැවත මැතිවරනයක් තියන්න මැතිවරන කොමසාරිස්ට බලය තියෙනවා. පහුගිය මැතිවරණයකදි වයඹ පලාතෙ එහෙම උනා.

      මම කියන්නෙ වැ‍රැද්දක් වෙන්න තියෙන අවස්ථාව අවමයි කියලා. සුලු වරදක් සිද්ධවුනත් ඒකෙන් සමස්ථ ප්‍රතිපලයට බලපෑමක් සිද්ධ වෙන්නෙ නෑ.

      Delete
    2. Media wala nogiyata hama chandema kolabin pita samahara pathi wala oya wade wenawa . Ehema unath ithin kiyanne ehema deyak une ne kiyalane :D .
      Mathiwarana comasaris thumama chande iwara wela amuthu katha tikak kiyala passe wenas katha kiyapu hati api nam bala bala hitiye hina wewi. Ihalama thanath ohoma wenawanam ithin anith eva gana kumana kathada?

      Delete
    3. පේනවද ගාමිණී මහත්මා ඔබ කිවූ ආකාරයට පැරදුන දේශපාලකයින් කොයි තරම් තමන්ගේ කාර්යය හොඳින් කර ඇද්ද කිව්වොත් මොවුන් වගේ අය කැමතිම නැහැ තමුන් දරන වැරදි අදහස වෙනස් කරගන්න. ඡන්දයක නියම අත්දැකීම් ඇති අය මෙතන කමෙන්ට් කරලා තියෙනවා. ඒ අය හුග දෙනෙක් පොදුවේ එක මතයක ඉන්නවා. ඒත් ඡන්දේ දානවා තියා ඡන්ද අයිතියවත් නැති එහෙත් ගොසිප් සයිට් වලින් ලංකාවේ දේශපාලනය කියවන,හඳාරන,කරන අය නිතරම කැමති අර පොදු සත්‍යය බාර ගන්න නෙවෙයි. නැති කොටියෙක් හිතෙන් මවාගෙන ජීවත් වෙන්න. ඔබ මෙහෙම පෝස්ට් 100ක් ලිව්වත් හොරට නිදන් ඉන්න මෙවැනි අයව අවදි කරන්න අමාරුයි.

      Delete
    4. හැබැයි ඇත්තටම ගැටළුවක් ඇති වුනා, පරණ මතකයක් අලුත් වුනු නිසා.

      ඇත්තටම ඇයි හිටපු කොමසාරිස්තුමා අරවගේ ආතතියකට පත් වෙලා එක එක එව්වා කියවන්න ගත්තේ.......... ඒ කියැවිලි අනුව නං අපිට හිතුනේත් ඡන්දය විකාරයක් වෙලා තිබුනා කියලායි

      Delete
    5. මම හිතන්නෙ මේ කාරණේ ගැන ඇති තරම් කරුණු ලියවුනා.

      රන්දිල්, ඒ මැතිවරණ කොමසාරිස්තුමා විශ්‍රාම වයසින් ඔබ්බට බලෙන්ම රාජ්‍ය සේවයේ රඳවා ගත්තා. ඒනිසා වෙන්න ඕනෑ ආතතියක් ගැන කියන්න ඇත්තේ.

      Delete
  31. වටිනා කියන දේවල් ගොඩාක් දැන කියා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුල්ලෝ ...!

      Delete
  32. මුල ඉදලම ආසාවෙන් කියෙවුව.
    ඔබ තුමාගේ පොතත් ආසාවෙන් කියෙවල තියනවා.
    අලුත් පොස්ට් දානකන් බල ඉන්නවා ..
    ඉස්තු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නරු‍තෝ ...!

      Delete
  33. මමත් ඔය කට්ට කීප පාරක්ම කාලා තියෙනවා අයියේ හැබැයි ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි නෙවෙයි. issuing & receiving. හපොයි එපා වෙනවා මතක් වෙනකොටත්.

    ReplyDelete
  34. කට්ටක්ම තමයි මලේ ඒක නං ...!

    ReplyDelete
  35. මට මතක් උනේ ලංකාවේ තිබුනු දූශිතම මැතිවරනය වයබ චන්දය එදා මම සීයා එක්ක ගියේ,,මම පොඩි එකා,,අප්පේ දේශපාලකයෙක් ඇවිත් උඩට වෙඩි තියලා පොත් පිටින් ලකුනු කරලා දැම්මේ,,මිනිස්සුන්ට කිවුවා හැරිලා ගෙදර යන්න කියලා,අපි චන්දේ දා ගන්නම් කියලා

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ අත්දැකීම් මත තමයි දිලාන් අද තියෙන මැතිවරණ රාජකාරි පටිපාටිය සකස්වෙලා තියෙන්නේ. අනාගතේදිවුනත් ඒ වගෙ දේවල් සිද්ද වෙන්න බැරි නෑ. රටේ නීතිය තුට්‍ටුවකට නොසලකන මන්දබුද්ධික දේශපාලන අම්බරුවොත් අපිට ඕනතරම් ඉන්නවනේ.

      Delete
  36. චන්ද රාජකාරිවල අත්දැකීම් නැති උනත්, අපේ අම්මා චන්ද රාජකාරි වලට ගිහින් තියෙන නිසා, ඔය ජිල්මාට් කතාව නම් අතේ රෝලක් කියල දැනන් හිටියා....

    ReplyDelete
    Replies
    1. ඒ කතා නිසාම තමයි ඒ කස්ටිය ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ මලේ ..

      Delete