මගෙ යාලුවෝ

Friday, August 16, 2013

44. ප්‍රීතිමත් ජීවිතයකට ආහාර වට්ටෝරුවක්




අවශ්‍ය ද්‍රව්‍ය 

ආදරය කෝප්ප 1 යි
හිතවත්කම කෝප්ප 3 යි
බලාපොරොත්තුව මේස හැඳි 5 යි
මෘදු බව මේස හැඳි 2 යි
මිත්‍රත්වය හා සමාව අවශ්‍ය පමණ
විශ්වාසය කිලෝ 1 යි
සිනහව බැරල් 1 යි 

සාදාගන්නා ආකාරය

ආදරය, හිතවත්කම, බලාපොරොත්තු, මෘදුබව හා විශ්වාසය යන මේ සියල්ල ගෙන හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණයට මිත්‍රත්වය හා සමාව අවශ්‍ය පමණට එක් කර හිරු එළියෙන් උණුසුම්කර ගන්න. එයට සිනහව ද එක් කර අන් අයගේ ද සහය ඇතිව පරිත්‍යාගශීලීව දිනපතා ඔබට හමුවන සැමට බෙදා දෙන්න. 

(යක්කල  ශ්‍රී ඥාණෝදය පිරිවෙනේ පුස්තකාල දැන්වීම් පුවරුවේ තිබී පිටපත් කර ගන්නා ලදී. කර්තෘ අඥාතයි)

Thursday, June 27, 2013

43. ජීවිතය

අද මට ලැබුනු එක ඊ මේලක ජීවිතය ගැන අපූරු කියමන් ටිකක් තිබුනා. ඉංග්‍රීසියෙන් ලියලා තිබුනු ඒවා කවුරු ලිව්වාදැයි සඳහනක් නොවුනත් ජීවිතේට එකතුකර ගතහැකි බොහෝ දේ ඒ කියුම්වල තියෙනවා කියලා මට හිතුනා. පුලුවන් විදියට සිංහලට පෙරලලා මගේ බ්ලොග් යාලුවොත් එක්ක බෙදා හදා ගත්තොත් හොඳයි කියලා හිතුනා.
____________

* 'හැමෝම ඔබට ආදරය කරමින් මාව පිළිකුල් කරන්නෙ ඇයි ...?' මරණය ජීවිතයෙන්  ඇසුවේය.
  'ඒ මම සුන්දර බොරුවක් හා ඔබ වේදනාකාරී සත්‍යයක් නිසා ..!' ජීවිතය පිළිතුරු දුන්නේය.
____________

* අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.
____________

* ජපානයේ සෑම බස් නැවතුමකම ලියා ඇති අපූරු වැකියක් ' බස් රථ විනා ඔබගේ කාලය මෙහි නොනවතී. ඔබගේ ඉලක්කය කරා නොනැවතී ඉදිරියටම යන්න'
____________

* නරක මිනිසුන් අතහැර හොඳ මිනිසුන් සොයායන ලෙස ලෝකයා ඔබට නිතරම කියාවි. එහෙත් සර්ව සම්පූර්ණ කිසිවෙක් මෙලොව නැති හෙයින් මිනිසුන් තුළ ඇති නරක අතහැර ඔවුන් වෙත ඇති හොඳ  සොයා ගන්නැයි මම ඔබට කියමි.
____________

* අපි අපගේ වැරදි සම්බන්ධයෙන් ඉතා හොඳ නීතිඥයින් වන්නා සේම අනුන්ගේ වැරදි සම්බන්ධයෙන්  ඉතා හොඳ විනිසුරන් ද වෙමු.
____________

* ජීවිතයේ ප්‍රධාන අවදි තුනකි.

     ළමා අවදිය - කාලය හා ශක්තිය ඇති තරම් තිබුන ද, සල්ලි නැත.
‍     රැකියාවෙහි යෙදෙන අවදිය - සල්ලි සහ ශක්තිය ඇති තරමට තිබුන ද කාලය නැත.
     මහලු වයස - සල්ලි සහ කාලය ඇති තරම් තිබුන ද ශක්තිය නැත.
____________

* ජීවිත ගැටලු සතුටින් පිළිගන්න. ඒවා දෙ ආකාරයකින් ඔබව දැනුවත් කරයි. පළමුව ඒවා විසඳන ආකාරය ද, දෙවනුව අනාගතයේදී ඒවා වලක්වා ගන්නා ආකාරය ද ඔබට ඉගෙන ගත හැකිය.
____________

* ඔබගේ ජීවිතයේ සබඳතා පවත්වාගෙන යාමට යොමුවෙන්න එපා. සබඳතාවල ජීවය ‍රැකගන්නට වෙහෙසෙන්න.
____________

* කිසිදාක උඩඟුබව හෝ මමත්වය නිසා හිස නොනවා ඉන්න එපා. රන් පදක්කමක් දිනා ගත්තකු පවා එය ලබන්නේ හිස නැමීමෙන් පමණි.
____________

* 'අද' යන්නෙහි නිර්වචනය වන්නේ 'ඊයේට වඩා යහපත් යමක් කිරීමට ලැබෙන අවස්ථාවක්' යන්නයි.
____________

* 'ඔබට ඉක්මනින් යන්නට අවශ්‍ය නම් තනිව යන්න. බොහෝ දුරක් යන්නට අවශ්‍ය නම් එක්ව යන්න' අපූරු අප්‍රිකානු කියමනක්.
____________

* 'මම අසාර්ථක නොවීමි. මගේ සාර්ථකත්වය මදකට කල් දැමුවා පමණි' ශක්තිමත් කියමනක්.
____________

* ඇතුලතට කාන්දුවන්නට ඉඩ නොදෙනතාක් මුලු මහත් සාගර ජලයට වුව ද නැවක් ගිල්වා දැමිය නොහැකිය. ඔබගේ සිත තුළට වැද්ද නොගන්නා තාක් කල් ජීවිතයේ කිසිදු දුක් පීඩාවකට ඔබව වේදනාවට පත් කළ නොහැකිය.
____________

* Death asked Life : 'Why does everyone love you and hate me..?'
            Life replied : 'Because I am a beautiful Lie and you are a painful Truth'
____________


* Negative thinkers focus on Problems, Positive thinkers focus on Solutions
____________

 * A fantastic sentence written on every Japanese bus stop. Only buses will stop here – not your Time. So Keep Walking towards your Goal
____________

* World always say – Find Good People and leave bad ones. But I say, find the Good in People and ignore the bad in them. Because no one is born perfect
____________

* We are very good Lawyers for our mistakes, very good Judges for other’s mistakes
____________

* 3 stages of Life:
                      Teen Age – Has time & Energy – but no Money
                      Working Age – Has Money & Energy – but no Time
                      Old Age – Has Money & Time – but no Energy
____________

* Always welcome the Problems, because problems give you dual advice. First, you know how to Solve it. Second, you know how to Avoid it in future.
____________

* A lovely logic for a beautiful Life: Never try to maintain relations in your life, just try to Maintain Life in your relations
____________

* Never hold your head high with Pride or Ego. Even the winner of a gold medal gets his medal only when he Bows his head down
____________

 * Define TODAY - This is an opportunity to do a work Better than yesterday
____________

* African Saying: If you want to walk quick, walk Alone. If you want to walk far, walk Together
____________

* Entire water in the ocean can never sink a ship, unless it gets inside. All the pressures of life can never hurt you unless you let them in.
____________

* Confident Quote: I have not failed. My success is just Postponed. 

____________




Sunday, June 9, 2013

42. වනජීවී රෝහල - ගිරිතලේ

                                                                                                                                                              හායි .... මම මේ ඉන්නෙ ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයෙ තියෙන වනජීවී පශු වෛද්‍ය ඒකකයෙ මාමල ගාව. මම ඉපදුනේ පොලොන්නරුවෙ. එහේදි මම පුංචිම පුංචි කාලෙ අම්මයි, පවුලෙ අනිත් අයයි මග ඇරිලා අතරමංවෙලා ඉන්නකොට, පොලොන්නරුවෙ වනජීවී එකේ මාමලා තමයි මාව මෙහාට එක්කගෙන ආවෙ.

අම්මයි, ගෙදර කස්ටියයි නැතිනිසා පාලුවක් දැනුනට මෙහේ ඒ තරම්ම අවුලක් නෑ. රංජිත් මාමයි එයාගෙ කස්ටියයි මාව හොඳට බලා ගන්නවා. පශු වෛද්‍ය ප්‍රමුදිත මාමා දවසකට දෙතුන් පාරක් ඇවිල්ලා රබර් ඇහැ දාලා බලලා යනවා. මම බඩගින්නක් දැනෙනකොට ඒ ගොල්ලන්ට පේන්න ඇඟිල්ල කටේ දාලා උරනවා. එතකොට ඒ ගොල්ලො බංඩිය පිරෙන්න කිරි දෙනවා.


නිශාචරයෙක් නිසා මුලු දවල් දවසම බිම පෙරලිලා නිදා ගන්න මේ අපතයාත් පුංචි කාලෙදිම අම්මා මැරිලා අතරමං වෙච්ච උණහපුලුවෙක්. දවාලෙ නිදා ගත්තට රෑට නැගිටලා ඇස් ගෙඩි දෙක ඔරවගෙන කූඩුව ඇතුලට එන පුංචි පුංචි සත්තු අල්ලගෙන කනවා. අපි දෙන්නම ඉතිං වානර පවුලෙ නිසා එකම කූඩුවෙ අවුලක් නැතුව ඉන්නවා.


අල්ලපු කූඩුවෙ ඉන්න මේ රිලා අය්යාත් පොලොන්නරුව පැත්තෙ දි වාහනේක වැදිලා තුවාල වෙලා, කොන්ද කැඩිලා ඉන්නකොටලු එක්ක ආවේ. ගේන කොට නම් නැගිට ගන්න බැරුව අසාද්‍ය වෙලා ඉඳලා තියෙන්නේ. දැන්නම් තුවාල වේලිලා, ටිකක් නැගිටලා ඉන්න පුලුවන්. දෙන දෙයක් කාලා කරබාගෙන ඉන්නෙ නැතුව විරිත්තනකොට තමයි හොම්බට දෙකක් අනින්න හිතෙන්නේ.


මෙයා මේ ලඟදි මාතලේ පැත්තෙ ඉඳලා පොලිසියට හම්බවෙලා ඇලහැර වනජීවී එකට බාර දීලා මෙහාට එවාපු එක්කෙනෙක්. ඇලි ඇටි කුකුල් පැටියෙක් කියලා තමයි කියනවා ඇහුනේ. උපතින්ම එයාට ඇඟේ පාට ලැබිලා නැතිලු. ඇස් දෙකත් රෝසම රෝස පාටයි. මටත් හිතෙනවා ඒවගේ සුදුවෙලා ඉපදුනානම් කියලා. ඒ උනත් ඒ වගේ 'ඇලි' උනහම, කැලේ අපිව මරාගෙන කන්න බලාගෙන  ඉන්න එවුන්ගෙන් බේරෙන්න අමාරුලු. කැපිලා පේන නිසා.



ඉතින් මම මෙහේ හිටපු කාලය ඇතුලත තවත් ලෙඩ්ඩු කීප දෙනෙක්ම මෙහාට ගෙනැල්ලා සෙත්තපෝච්චි උනා. ගේන්න කලින් උන්දැලාට ඉක්මනින් නිසි ප්‍රථමාධාර, ප්‍රතිකාර නොලැබුන නිසා මලා කියලා තමයි කියනවා ඇහුනේ. අනාතවෙච්ච, තුවාල වෙච්ච අපි වගේ අය ඉක්මනින්ම වනජීවී එකේ පශු වෛද්‍ය ඒකකයකට බාර දෙනවනම් ගොඩ දාගන්න පුලුවන්ලු. එහෙම වෙලාවට 011 2888585 නොම්මරේට කතා කරලා විස්තර දැනගන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා. වනජීවී එකේ පශු වෛද්‍ය ඒකක කොලඹ, අම්පාර, අනුරාධපුර, උඩවලව වගේ තැන්වලත් තියෙනවලු.

එහනං අපි ආයෙත් දවසක හම්බ වෙමු ... බායි ..!












Friday, May 17, 2013

41. පැන්ඩාවන් හා වලස්සු



අද මම හිතුවෙ වෙනත් රටක සෆාරි පාර්ක් එකකදි දැකපු විදෙස් වන සතුන් කීප දෙනෙක් ගැන ලියන්න. 

ලෝකෙ වනසතුන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තු සතුන් අතරින් එකෙක් 'යෝධ පැන්ඩා' (Giant Panda). අපූරු වර්ණ රටාව හා සුරතල් පෙනුම, අතිශය සිත්ගන්න සුළු හැසිරීම් රටාව, අතිශයින් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටීම වැනි හේතූන් නිසා ඌ බොහෝ විට අවධානයට ලක් වෙනවා. 'ලෝක වනසත්ව අරමුදලේ'  (WWF) ලාන්ඡනයටත් යොදාගෙන තියෙන්නෙ පැන්ඩාවෙකුගෙ රූපයක් නිසා ඌට අමතර අවධානයක් හිමි වෙලා තියෙනවා.

මධ්‍යම චීනයෙ කඳුකර පලාත්වලට සීමා වෙලා ඉන්න පැන්ඩා, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මේ වෙනකොට වනාන්තරවල ඉතුරු වෙලා ඉන්නෙ 2000 - 3000 ක විතර කුඩා ගහනයක් කියලයි විශ්වාස කරන්නෙ.

වලස් පවුලට අයත් උනත් උගේ ආහාරයෙන් 99% ක්ම සමන්විත වෙන්නෙ උණ ශාක පත්‍රවලින්. කුඩා කෘන්තක සතුන් හා සත්ව මලකුණු මත යැපීමේ පුරුද්දකුත් තියෙනවා. මේ සුවිශේෂී පරිසර අවශ්‍යතාවයන් සහ ඉතා අඩු ප්‍රජනන වේගය නිසා යෝධ පැන්ඩාවන් සංරක්ෂනය කර ගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා.

මේ වගේ අතිශය වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් සංරක්ෂණයෙදි යොදා ගන්න එක ක්‍රමවේදයක් තමයි 'පරිබාහිර සංරක්ෂණය' (Ex-situ Conservation). ඒකෙන් අදහස් කරන්නෙ ස්වාභාවික පරිසරයෙන් ඉවතට ගෙනැල්ලා සතුන් බෝ කරලා නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීම.  නමුත් සත්වොද්‍යානවලට ගෙන එන පිරිමි පැන්ඩාවන් සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ. සමහර පර්යේෂකයො උන්ට 'ව්‍යාඝ්‍රා' පෙති දීලා, පැන්ඩාවො සංසර්ගයෙ යෙදෙන  'බ්ලූ' ‍ෆිල්ම් පෙන්නලාත් උත්සාහ කළාලු ලිංගික ක්‍රියාවලට පොළඹව ගන්න. මෑතකදි කෘත්‍රිම සිංචනය කරලා පැටවුන් හදාගත්තු අවස්ථා කීපයක් වාර්තා වෙලා තියෙනවා.


මේ තමයි රුසියාවේ සිට උතුරු ඇමෙරිකාව හා කැනඩාව දක්වා ව්‍යාප්ත වෙලා ඉන්න දුඹුරු වලසා (Brown Bear). ඌ ලෝකෙ වැඩිම ප්‍රදේශයක ව්‍යාප්තියක් ඇති වලස් පවුලෙ සාමාජිකයා හැටියට සැලකෙනවා. ඒ වපසරිය තුල දුඹුරු වලසාගෙ උප විශේෂ 16 ක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් උප විශේෂවලට අයත් දුඹුරු වලසුන් ගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 780 ක් (රාත්තල් 1700) පමණ වෙනවා.


දුඹුරු වලසුන් විශාල සංඛ්‍යාවක් තවමත් දකින්නට ලැබුනත් උන් ඉතා විශාල ප්‍රදේශයක, එකිනෙකින් වෙන් වූ කුඩා ගහනයන් හැටියටයි ජීවත් වෙන්නෙ. ඔවුන් අතර ප්‍රවේණි ලක්ෂණ හුවමාරුවකට ඉඩක් නෑ. ඒ වගේ 'තනිව' සිටීම සත්ව විශෙෂයක දිගු කාලීන පැවැත්මට ලොකු තර්ජනයක්.

දුඹුරු වලසා විශාල නිවාස පරාසයක (Home Range) ජීවත් වෙන සතෙක්. ඌ ඒ ප්‍රදේශයේ තමන්ගෙ වර්ගයට අයත් අනෙක් සතුන් එක්ක එකට ජීවත් වෙනවා. කොටින් (Leopard) වගේ තමන්ටම අයත් වසමක් (Territory) වෙන් කර ගන්නෙ නෑ. හිම වැටෙන ප්‍රදේශවල ඉන්න වලස්සු වසන්ත කාලයෙදි හොඳට කාලා ඇඟේ මේද සංචිතයක් හදා ගන්නවා. ගුහාවකට රිංගලා මාස කීපයක් එක දිගට නිදා ගන්න හිම වැටෙන ශිශිර කාලයෙදි අවශ්‍ය ශක්තිය ඌට සැපයෙන්නෙ ඒ මේද සංචිතයෙන්. (ශිශිර තරණය - Hibernation)

පැටවුන් මරාගෙන කෑමේ නරක පුරුද්ද (Infanticide) දුඹුරු වලසුන්ටත් තියෙනවා. ගැහැණු සතුන් ලිංගික ක්‍රියාවලියට පොලඹව ගන්න තමයි පිරිමි සත්තු එහෙම කරන්නේ.


නිදිමත වැක්කෙරෙන මූණක් තියෙන මෙයා 'කො ආලා' වලසා (Koala Bear ). වලහෙක් කිව්වට මෙයා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශවලට සීමාවුනු, 'මාර්සුපියල්' (Marsupial - සේපාටිකයන්, පැසිපොව්වන්) වර්ගයට අයත් කෙනෙක්. ඉතා කුඩා පැටවුන් බිහි කරන මාර්සුපියල් සතුන් උදරීය 'පැසක' දාගෙන තමයි පැටව් ආරක්ෂා කර ගන්නෙ. අපි දන්න අනිත් මාසුපියලා තමයි කැන්ගරුවා. තවත් කීපදෙනෙක් ඉන්නවා.


රුක්වාසී (Arboreal) කො ආලා වලසුන් ජීවත් වෙන්නෙ යූකැලිප්ටස් වනාන්තරවල නිසා, උගේ ආහාරය මුලුමනින්ම වගේ සමන්විත වෙන්නෙ යූකැලිප්ටස් කොලවලින්. ඒවා පෝෂණයෙන් ඉතාම අඩු නිසා කො ආලාවන් දවසේ පැය 20 ක්ම ගත කරන්නෙ නිදා ගන්න.

කො ආලා පැටියෙක් බිහි වෙන්නෙ කළල අවස්ථාවෙදිමයි. නමුත් ඒ වෙනකොට ස්වසන, ආහාර ජීර්ණක, බහිශ්‍රාවීය පද්ධති හොඳින් වර්ධනය වෙලා. කිරි උරා බීමට තොල් සහ එල්ලී සිටීමට නිය ආදියත් ඒ වෙනකොට වැඩෙනවා. බිහිවෙන පැටියා අම්මගෙ උදරීය පැස තුලට වැදිලා ඉතිරි ළමා කාලය ගත කරනවා.

කො ආලාවන් දේශගුණික විපර්යාසයන්ට ඉතාම සංවේදීයි. 1980 දරුණු නියඟයකින්, ක්වීන්ස්ලන්තෙ කො ආලා ගහනයෙන් 63% ක් මියගිය බවත්, ඉන් පසු ගහන වර්ධනය ඉතා සෙමින් සිදුවූ බවත් කියවෙනවා.

ආදරේ හිතෙන, අහිංසක සතෙක් උනත් කො ආලා අතීතයෙ දි සම් සඳහා ලක්ෂ ගණනින් දඩයම් කෙරුනා. වර්තමානයෙදි ඔවුන්ට තියෙන දරුණුම තර්ජනය තමයි සංවර්ධනය හේතුවෙන් ස්වාභාවික වාසස්ථාන අහිමි වීම.


මේ ඉන්නෙ 'ජෙම්ස්බොක්' (Gemsbok) නමින් හැඳින්වෙන දකුණු අප්‍රිකානු ඇන්ටිලෝපයා. කලහාරී කාන්තාරයෙ ශුෂ්ක පාරිසරික තත්වයන් යටතේ ජීවත්වෙන මේකගෙ අලංකාර අං යුවල නිසාම දඩයමට ලක් වෙනවා. ගැහැණු සතුන්ට තමන්ගෙ පැටව් විලෝපී සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නත්, පිරිමි සතුන්ට තමන්ගෙ වසම (Territory) අනෙක් පිරිමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්නත් ඒ අං යුවල ප්‍රයෝජනවත් වෙනවා.







පැන්ඩා මූණක් තියෙන නිසා මේකට 'රතු පැන්ඩා' (Red Panda) කිව්වට යෝධ පැන්ඩට සමීප ඥාති කමක් නෑ. චීනයෙ හා ඉන්දියාවෙ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න රතු පැන්ඩා රුක් වාසී, උණ ශාකය මත යැපෙන සතෙක්. අනිත් සත්තු වගේම ස්වාභාවික වාසස්ථාන අහිමි වීම හා කුඩා ගහනයන්ට සීමා වීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්නවා.










Friday, May 3, 2013

40. හැත්තෑපස් විය සපුරන වනජීවී රක්ෂිත


අපේ වනජීවී රක්ෂිත ජාලය
වනජීවී රක්ෂිතයක් වැඩි දෙනෙකුට පේන්නෙ අලි, කොටි වලස්සුන්ටම වෙන්වුනු බිමක් හැටියට. ගෙයක් දොරක් අටව ගන්න, හෝටලයක් හදා ගන්න ඉඩමක් හොයන එකාලට ඒවා පේන්නෙම අපතේ ගිය ඉඩම් හැටියට. වනජීවී රක්ෂිතවලට අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හැර, අපේ ජීවිතවලට ඍජුවම බලපාන තවත් වැදගත් අරමුණු පරමාර්ථ තියෙනවා. 1938 දි අපේ රටේ පළවෙනි වනජීවී රක්ෂිත ගොන්න ප්‍රකාශයට පත් කරලා අවුරුදු 75 ක් පිරෙන මේ වෙලාවෙ, ඒ බැලූ බැල්මට නොපෙනෙන අරමුණු ගැන යමක් ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා.

සංචාරක කර්මාන්තය - අපේ මුල්ම වනජීවී රක්ෂිත, යාල, විල්පත්තු ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කළේ ඒවා තුළ සංචාරක කර්මාන්තය විධිමත් කරන්න. වර්තමානය වෙනකොට සංචාරක කර්මාන්තය ප්‍රමුඛ අරමුණක් නොවුනත් වනජීවී රක්ෂිත වලින් 2012 වසරේ දී මිලියන 500 කට වැඩි ආදායමක් අපේ ජාතික ආර්ථිකය ලබලා තියෙනවා. එයින් වැඩි කොටසක් විදේශ විනිමය.

ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා  කිරීම - මහවැලි, කළු, කැළණි, වලවේ ගංගාවල ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙන්නෙ හෝටන් තැන්න, ශ්‍රී පාද අඩවිය වගේ මධ්‍ය කඳුකරයෙ වනජීවී රක්ෂිතවලින්. කෘෂිකර්මාන්තයට, ජලවිදුලි නිෂ්පාදනයට ජලය සපයන ඒ ගංගාවල තවමත් අවුරුද්ද පුරාම ජලය ගලාගෙන යන්නෙ ඒවයෙ ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන නිසා.

මහ පරිමාන ජලාශයන්ගේ ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම - නිදහසෙන් පස්සෙ අපේ රටේ පාලකයන් බවට පත්වුනු ඩී. එස්. සේනානායක වගේ නායකයන්ට අවුරුදු සිය ගණනක් ඉදිරිය පේන නුවණක් තිබුනා. ජනශූණ්‍යව තිබුනු වියලි කලාපයේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ඇතිකරලා, නිරිත දිග තෙත් කලාපයේ ‍රැස් කකා හිටපු ජනතාව ඇදගෙන ඇවිත් පදිංචි කරවලා, මහා මිනිස් පවුරක් ඉදි නොකලා නම්, පහුගිය කාලෙ උතුරෙ කස්ටිය ඇඳගෙන හිටිය ඊලාම් සිතියමේ හැඩය ඊට වඩා බොහෝ වෙනස් වෙන්න ඉඩ තිබුනා. කන්තලේ, මින්නේරිය, ගල් ඔය නිම්නය, වගේ ගොවි ජනපද අපේ රටේ ඉතිහාසය මුලුමනින්ම වෙනස් කළා කිව්වොත් නිවැරදියි. පසු කාලෙක උඩවලව, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමවලට පූර්වාදර්ශය වුනෙත් ඩී. එස්. සේනානායක, ජාතියේ පියාණන්ගේ නිවැරදි දැක්ම. ඒ සංවර්ධන ව්‍යාපාර යටතේ ඇතිකරපු සියලුම මහපරිමාන ජලාශ සියල්ලක්ම, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරලා ආරක්ෂා කරන්න තරම් ඔවුන් දූරදර්ශී වුනා. ගල් ඔය සේනානායක සමුද්‍රය, උඩවලව, සියලුම මහවැලි ජලාශ ඇතුලු අපේ රටේ කෘෂිකර්මාන්තයට හා ජලවිදුලි බලය නිෂ්පාදනයට ජලය සපයන මහපරිමාන ජලාශ හතලිහකට වැඩි සංඛ්‍යාවක්  අද ආරක්ෂා වෙන්නෙ වනජීවී රක්ෂිත ඇතුලෙ.

සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කිරීම - හික්කඩුව, කල්පිටිය, පරෙවි දූපත, මහවැලි විල්ලු, හක්ගල, රිටිගල වගේ සමුද්‍රීය හා ගොඩබිම් සුවිශේෂී පරිසර පද්ධතීන් ‍රැසක් ආරක්ෂාව ලබන්නෙ වනජීවී රක්ෂිත ජාලය තුල. මේ හැම පරිසර පද්ධතියකටම මානව පැවැත්ම සඳහාත් සුවිශේෂී කාර්ය භාරයක් පැවරිලා තියෙනවා.

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම - අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, රිටිගල ඇතුළු සංස්කෘතික උරුමයන් පවතින ප්‍රදේශ වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා ඒවායෙ ස්වාභාවික වටපිටාව ආරක්ෂා කෙරෙනවා.

ගොවිපොල භෝග හා සතුන්ගේ වනජ දර්ශ ආරක්ෂා කරගැනීම - ගොවිපොල භෝග හා සතුන් වැඩි දියුණු කිරීම සඳහා යොදාගන්න උසස් ප්‍රවේණි ලක්ෂණ පවතින්නෙ ඒවයෙ වනජ දර්ශ තුළ. වනජීවී රක්ෂිතවල ඒ වගෙ වනජ දර්ශ ‍රැසක් ආරක්ෂා වෙනවා. වී, ගම්මිරිස් ඇතුළු වාණිජ භෝග ඒ අතර තියෙනවා.

ඉතින් මේ වෙනකොට අපේ රටේ මුළු වපසරියෙන් 14 % ක් ඉක්මවන වනජීවී රක්ෂිතවල, බැලූ බැල්මට නොපෙනෙන අරමුණු හා පරමාර්ථ ‍රැසක් සැඟවිලා තියෙන බව පැහැදිලි කරන්නයි මට ඕනවුනේ. ඒ සමහර අරමුණුවලින් අපේ රටේ ජාතික ආර්ථිකයට අති විශාල දායකත්වයක් දෙන කෘෂිකර්මාන්තයේ, ජලවිදුලිබල නිශ්පාදනයේ දිගුකාලීන පැවැත්ම තහවුරු වෙනවා. ඒවා ගැන නොහිතන  සමහර අම්බරුවන්ට වනජීවී රක්ෂිත පේන්නෙ, රටේ සංවර්ධනයට විශාල බාධාවක් විදියට.

ඩී. එස්. සේනානායක වගේ සියවස් ගණනක් අනාගතය විනිවිද දකින්න පුලුවන් නායකයින් නැවත මේ රටේ පහලවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.


Saturday, April 20, 2013

39. දේශප්‍රේමය හා භික්ෂූන්වහන්සේලා.

ගිරිතලේ අද උදෑසන ‍රැස්වීමෙදි සුපුරුදු කතාව පවත්වපු ට්‍රේනී කොල්ලගෙ කටින් කියවුනා නොයෙකුත් සංවිධාන අටවගෙන අනවශ්‍ය ගැ‍ටුම් ඇති කරන්න උත්සාහ කරන භික්ෂූන්වහන්සේලා ගැන. ඌ විතරක් නෙමෙයි මේ දවස්වල මූණු පොතේ, පොත් පත්තරවල, යන එන මග තොටේ හැම තැනකම වගේ කතා වෙන්නෙ රටපුරා ‍රැස්වීම් තිය තිය අන්‍ය ආගමිකයන්ගේ ඇතැම්  කටයුතුවලට එලිපිටම විරෝධය පාන භික්ෂූන්වහන්සේලා ගැන. ඇතැම් අය ඒ ගැන පහන් සිතින් කතා කළත් සමහරු අහන්නෙ දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැතිව, භික්ෂූන්වහන්සේලා සිවුර කරට අරගෙන පාරට බහින එක සුදුසු ද කියලා. ඒක සිවුරට, සාසනයට, බොදු දහමට  කරන නිගරුවක් හැටියට, වෙනත් වාසි ප්‍රයෝජන තකා කරන රඟපෑමක් හැටියට දකින අයත් ඉන්නවා.

ඒ ගැන හිතා බලද්දි මට මතක් උනේ අපේ මෑත කාලීන ඉතිහාසයෙ නොයෙකුත් ගැ‍ටුම්කාරී අවස්ථාවලදි ඉදිරියට ඇවිත් ඒවට මැදිහත්වුනු බෞද්ධ භික්ෂූන්වහන්සේලා කීප දෙනෙක් ගැන. ඒ අතරින් ප්‍රමුඛ වෙන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්.

1815 දි ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කර ගන්නකොට,  මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙ තේවාව භාරව සිටි උන්වහන්සේ, උඩරට ගිවිසුම අත්සන් කරන්නට පෙර ඉංග්‍රීසි කොඩිය ඔසවලා තියෙනවා දැකලා, ඒක ඇදලා බිම දාලා පෑගූ බව අපි කවුරුත් දන්න කතාවක්. ඒ කතාව අධිනීතිඥ වොල්ටර් විමලචන්ද්‍ර මහතා වෙත ඇති පැරණි පුස්කොල පතක සඳහන් වෙන බව ශ්‍රි සුමංගල හිමියන් පිළිබඳව 'පූජිත ජීවිත' (පළමු වෙලුම) පොතට ලිපියක් සපයන තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන් සඳහන් කර තියෙනවා.

උඩරට ඉංග්‍රීසි පාලනයට පළමු විරෝධතාව මතුවන්නේ 1816 දී ඉහගම තෙරුන්ගේ මූලිකත්වයෙන්. හාරිස්පත්තුවේ ඉහගම උපන් උන්වහන්සේ, ඉගෙනුම ලබන්නේ මල්වතු විහාරයෙන්. සිංහාසනයෙන් පහකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ ඥාති කුමාරයෙකු රජකමට පත් කරන්නට තවත් භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු සමග කුමන්ත්‍රණය කරන උන් වහන්සේ පසුව එක්නැලිගොඩ විසින් ඉංග්‍රීසීන්ට පාවා දෙනු ලබනවා. කොලඹට ‍රැගෙන යමින් සිටිය දී අට්ටාපිටියේ දී අත් අඩංගුවෙන් පැන යන උන්වහන්සේ පසුව උපැවදිව 1818 කැ‍රැල්ලේ නායකයෙකුලෙස වලපනේ ප්‍රදේශයේ සටන් මෙහෙයවනවා. කැ‍රැල්ල අවසානයේ දී නැවත ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් වන ඉහගමට මරණ දඬුවම පැනවුනත් පසුව ජීවිතාන්තය තෙක් මුරිසි දිවයිනට පි‍ටුවාහල් කරන්න තීරණය කෙරෙනවා.

1818 කැ‍රැල්ලට නායකත්වය දෙන්නෙත් උපැවදිව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් ගේ ඥාතියෙකු වන දොරේසාමි නමින් පෙනී සිටින විල්බාවේ තෙරණුවන්. කැ‍රැල්ල අවසානයේ පලා යන ඔහු නැවත ඉංග්‍රීසීන් ගේ අත් අඩංගුවට පත් වන්නේ එයින් වසර දොලහකට පස්සේ. ඔහුට ද මරණ දඬුවම නියම වුනත් පසුව සම්පූර්ණ නිදහස ලබනවා.

වාරියපොල හිමියන්ගේ සටන ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගීමෙන් නතර වන්නේ නෑ. 1818 කැ‍රැල්ල සමයේ දී දළදාවහන්සේ ද ‍රැගෙන මහනුවරින් පළා යන උන් වහන්සේ කැ‍රැල්ල මෙහයවන කැප්පෙටිපොලට එක් වෙනවා.  කැ‍රැල්ල අවසානයේ දී දළදා වහන්සේ ද සමග මාතලේ කයිකාවල දී ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වන උන් වහන්සේ පසුව යාපනයේ සිරගත කෙරෙනවා. උන් වහන්සේ ද සමග සිරගත කිරීමට නියමිත, ඌවේ කැ‍රැල්ලට සහය වූ භික්ෂූන්වහන්සේලා විසි එක් නමකගේ නම් ලැයිස්තුවක් 1820 පෙබරවාරි 25 දාතමින් යුතුව එඩ්වර්ඩ් බාන්ස් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් යැවූ ලිපියක සඳහන් වෙනවා.

ඉංග්‍රීසි පාලනයට එරෙහිව 1843 දී ඇතිවූ කැ‍රැල්ලක දී චන්ද්‍රජෝති නමැති හිමිනමක් මූලිකත්වය ගත් බවක් කියැවෙනවා. නමුත් උන්වහන්සේ ගැන වැඩි තොරතුරක් දැනගන්න නෑ.

1848 මාතලේ කැ‍රැල්ල, තවත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා විසින් පූර්ණ අනුග්‍රහය දක්වපු විමුක්ති අරගලයක්. දඹුලු විහාරයේදී ගිරානේගම නාහිමියන් විසින් ගොංගාලේගොඩ බණ්ඩා රජකරවීමෙන්  මාතලේ කැ‍රැල්ල ඇරඹුනු බවත්, අවසානයේ දී පුරං අප්පු සමග කුඩාපොල හිමියන් ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා මරා දමන ලද බවත් අපි අහලා තියෙනවා.

ඉතින් අපි ඈත ඉතිහාසය හාරලා අවුස්සලා බලන කොටත් මේ වගේ නොයෙකුත් අවස්ථාවලදි බෞද්ධ භික්ෂූන්වහන්සේලා පෙරමුණ අරගෙන කටයුතු කරලාතියෙනවා දකින්න පුලුවන්. දු‍ටු ගැමුණු ඇතුළු අපේ පැරණි රජවරුන් වැඩි දෙනෙක් බුදු දහම, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ සිද්ධස්ථාන සමීපව ඇසුරු කළ බවට සාක්ෂි එමටයි.ශ්‍රී ලාංකිකත්වයේ වර්තමාන හැඩය නිර්මාණය කරගන්න, බෞද්ධ භික්ෂූන්වහන්සේලාගෙන් ලැබුණු දායකත්වය කිසිසේත්ම සුළුකොට තකන්න බෑ.

ඉතින් මම මේ ඉතිහාස කතන්දරටික මතක් කළේ අපේ භික්ෂූන්වහන්සේලාට දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉඳලා පුරුද්දක් එදා ඉඳන්ම තිබුනෙ නැති බව පැහැදිලි කරන්න. සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන තර්ජනයන් හමුවේ උන්වහන්සේලා කරන කියන  දේවල් දිහා අපි මීට වඩා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙනවා.


පින්තූරය ගත්තේ මෙතැනින් - http://www.buddhistchannel.tv

Sunday, March 24, 2013

38. කිරුළේ වර්ණනාව

 මේ පාර දැයට කිරුළ ප්‍රදර්ශණයේ බරපතල වැඩ කොටසක් දෙපාර්තමේන්තුවට පැවරිලා තිබුනා. වන අලි ගැවසෙන අම්පාර වැව ආශ්‍රිතව ප්‍රදර්ශණ භූමිය තියෙන නිසා අලි ප්‍රදර්ශණේ බලන්න එන එක වලක්ව ගන්න විදුලි වැට දෙකක්ම හදලා, ‍රැක බලා ගන්න ලොකු පිරිසක් යොදවලා ඉන්නවා.

ප්‍රදර්ශණයේ දෙපාර්තමේන්තු භූමිය සැලසුම් කරලා සකස් කරන්න පැවරිලා තිබුනේ ගිරිතලේ  වනජීවී පුහුණු කේන්ද්‍රයට සහ පශු වෛද්‍ය ඒකකයට. දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය හා වගකීම් විවරණය කෙරෙන ප්‍රදර්ශණ කුටියක් (Dome) සහ  දෙපාර්තමේන්තුවෙ පශු වෛද්‍ය ඒකකය විසින් පුනරුත්ථාපනය කෙරෙන අනාථ වන සතුන්  ප්‍රදර්ශණය කෙරෙන භූමියක් සකස් කරන්න තීරණය කෙරිලා තිබුනා. වැඩි කතා ඕන නෑ. පින්තූරවලින්ම වැඩේ පහැදිලි කරගමුකෝ.

ප්‍රදර්ශණ කුටියේ පිවිසුම, යාල උද්‍යාන පිවිසුමේ ආකෘතිය අනුව ඉතාම නිර්මාණශීලීව සකස් කරලා තියෙන්නේ, ලාහුගල උද්‍යාන භාරකරු සියාසිංහ මහත්තයාගේ අදහසක් අනුව.

 ප්‍රදර්ශණ කුටිය ඇතුලත දෙපාර්තමේන්තුවෙ වගකීම් හා කාර්ය භාරයත්, ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය පිලිබඳවත් විස්තර කෙරෙන පුවරුවලින් සමන්විතයි. අපේ වනජීවී රක්ෂිත ජාලයට පහුගිය පෙබරවාරි මාසෙ දි වසර 75 ක් පිරුනා. ඒක තමයි ප්‍රධාන තේමාවවුනේ.


 පුවරු අතරට වනසතුන්ගෙ නිදර්ශක සහ උන්ගැන විස්තර ඇතුලත් පුවරු යොදලා තියෙනවා. ජයසූරිය මහත්තයාගෙ වැඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.











 ප්‍රදර්ශණ කුටියෙන් පිටත භූමියත් ඉතාම ආකර්ශණීයව සකස් කරලා තියෙනවා.














 ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය විදහා දැක්වෙන සිතියම සකස් කළෙත් ජයසූරිය මහත්තයාම තමයි.
 සර්ප කුටියකුත් සකස්කරලා තියෙනවා. විශේෂ ගණනාවක ජීවී සර්පයින් එතන ප්‍රදර්ශණය කෙරෙනවා. සර්පයෙක් දැක්ක පමණින්ම පොල්ලක් අතට ගත යුතු නෑ කියලා පැහැදිලි කරන්න තමයි එතනදි උත්සාහ කරන්නේ.
 මේ පිඹුරු තඩියා දඹුල්ලෙ ගෙවත්තක ඉඳලා බේරා ගත්ත එකෙක්.


 මේ සර්පයාට හැව ඇරගන්න උදව් කරන්නේ අපේ කොල්ලො දෙන්නෙක්.

 මේ කිඹුල් තඩියා අක්කරපත්තුව පැත්තෙ ගමකට ඇවිල්ලා  ඉන්නකොට බේරා ගත්තු එකෙක්.

 මේ අලි පැංචියො දෙන්නා උඩවලවෙ අත් අතුරු සෙවනෙන් ගෙනාපු දෙන්නෙක්. වැටෙන් පැනලා ආපහු ගෙදර යන්න හදන එකී අම්පාරෙ දීඝවාපිය පැත්තෙ අතරමං වෙලා ඉන්දැද්දි බේරගෙන ඇත් අතුරු සෙවනේ ‍රැකවරණයට පත් කරපු එකියෙක්. අනිත් එකී ගෙනැත් තියෙන්නේ ලුණුගම්වෙහෙරෙන්.
 විජිතමුණි ඇමතිතුමාගෙන් අලි පැංචියන්ට කිරි.

 අම්පාර පැත්තේ ගෙවල්වල ඉඳලා හමුවුණු මුවෝ දෙන්නෙක්. තුවාලවෙලා ඉඳලා ගෙනැත් හදනකොට දැන් හීලෑ වෙලා නිසා කැලේට යන්නෙ නෑ.


කල්මුණේ පැත්තේ ලිඳක වැටිලා ඉඳලා බේරගත්ත හඳුන් දිවියෙක්. ඌට නම් මල පැනලා ඉන්නේ. කිට්‍ටුවෙන කොට පුප්පනවා.











අම්මා මැරිලා අනාථවුනු උගුඩු පැටව් තුන්දෙනෙකුත් ඉන්නවා. උන්ට සිරිංජයකින් කිරි පොවන්නෙ අම්පාර පශු වෛද්‍ය ඒකකයේ ලෝරන්ස්. ලෝරගෙ සත්තුන්ට තියෙන ආදර කරුණාව උගේ ඇඟ දිගෙත් බේරෙනවා.

මේ සියලුම අනාථ සතුන් ආපසු ස්වාභාවික පරිසරයට මුදා හැරෙන බවත් සටහන් කරලා තියන්න ඕනෑ.


දැයට කිරුළේ වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවෙ ප්‍රදර්ශණ භූමිය ආකර්ශණීයව සකස් කිරීමේ අභියෝගය ජයගැනීමේ ගෞරවය ලාහුගල උද්‍යාන භාරකරු ප්‍රදීප් සියාසිංහ, පශු වෛද්‍යවරුන්වන ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර, පුෂ්ප කුමාර, සහ අපේ ජයසූරිය, රංජිත් විජිත මහත්වරුන්  ඇතුලු කණ්ඩායමට හිමි වෙන්න ඕනෑ.

ඉතින් ප්‍රදර්ශණය ආරම්භ වෙනකොට, සැලසුම් කරලා තිබුනු  සියල්ල ඒ විදියටම නිම කරගන්න ලැබීම හැමෝටම සතුටක්වුනා. රාජ්‍ය සේවයෙ නීති රීති, රෙගුලාසි රාමු තුල මේවගෙ කටයුත්තක් කලට වෙලාවට නිම කරන එක ඇත්තටම අභියෝගයක්.

සේරටම වඩා අමාරු සමහර උදවියගෙ පුද්ගලික ආකල්ප එක්ක මේවගෙ දේවල් කරන එක. ඒ වගෙ දේවල් බාධක හැටියට බාරගන්නෙ නැතුව අභියෝග හැටියට බාරගත්තොත්, ඒවා අපි කරන යහපත් දේවල්වලට අමතර වටිනාකමක් දෙනවා කියලයි මට හිතෙන්නෙ.