මගෙ යාලුවෝ

Friday, May 17, 2013

41. පැන්ඩාවන් හා වලස්සු


                                                                                අද මම හිතුවෙ වෙනත් රටක සෆාරි පාර්ක් එකකදි දැකපු විදෙස් වන සතුන් කීප දෙනෙක් ගැන ලියන්න.

ලෝකෙ වනසතුන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තු සතුන් අතරින් එකෙක් 'යෝධ පැන්ඩා' (Giant Panda). අපූරු වර්ණ රටාව හා සුරතල් පෙනුම, අතිශය සිත්ගන්න සුළු හැසිරීම් රටාව, අතිශයින් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටීම වැනි හේතූන් නිසා ඌ බොහෝ විට අවධානයට ලක් වෙනවා. 'ලෝක වනසත්ව අරමුදලේ'  (WWF) ලාන්ඡනයටත් යොදාගෙන තියෙන්නෙ පැන්ඩාවෙකුගෙ රූපයක් නිසා ඌට අමතර අවධානයක් හිමි වෙලා තියෙනවා.

මධ්‍යම චීනයෙ කඳුකර පලාත්වලට සීමා වෙලා ඉන්න පැන්ඩා, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මේ වෙනකොට වනාන්තරවල ඉතුරු වෙලා ඉන්නෙ 2000 - 3000 ක විතර කුඩා ගහනයක් කියලයි විශ්වාස කරන්නෙ.

වලස් පවුලට අයත් උනත් උගේ ආහාරයෙන් 99% ක්ම සමන්විත වෙන්නෙ උණ ශාක පත්‍රවලින්. කුඩා කෘන්තක සතුන් හා සත්ව මලකුණු මත යැපීමේ පුරුද්දකුත් තියෙනවා. මේ සුවිශේෂී පරිසර අවශ්‍යතාවයන් සහ ඉතා අඩු ප්‍රජනන වේගය නිසා යෝධ පැන්ඩාවන් සංරක්ෂනය කර ගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා.

මේ වගේ අතිශය වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් සංරක්ෂණයෙදි යොදා ගන්න එක ක්‍රමවේදයක් තමයි 'පරිබාහිර සංරක්ෂණය' (Ex-situ Conservation). ඒකෙන් අදහස් කරන්නෙ ස්වාභාවික පරිසරයෙන් ඉවතට ගෙනැල්ලා සතුන් බෝ කරලා නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීම.  නමුත් සත්වොද්‍යානවලට ගෙන එන පිරිමි පැන්ඩාවන් සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ. සමහර පර්යේෂකයො උන්ට 'ව්‍යාඝ්‍රා' පෙති දීලා, පැන්ඩාවො සංසර්ගයෙ යෙදෙන  'බ්ලූ' ‍ෆිල්ම් පෙන්නලාත් උත්සාහ කළාලු ලිංගික ක්‍රියාවලට පොළඹව ගන්න. මෑතකදි කෘත්‍රිම සිංචනය කරලා පැටවුන් හදාගත්තු අවස්ථා කීපයක් වාර්තා වෙලා තියෙනවා.

මේ තමයි රුසියාවේ සිට උතුරු ඇමෙරිකාව හා කැනඩාව දක්වා ව්‍යාප්ත වෙලා ඉන්න දුඹුරු වලසා (Brown Bear). ඌ ලෝකෙ වැඩිම ප්‍රදේශයක ව්‍යාප්තියක් ඇති වලස් පවුලෙ සාමාජිකයා හැටියට සැලකෙනවා. ඒ වපසරිය තුල දුඹුරු වලසාගෙ උප විශේෂ 16 ක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් උප විශේෂවලට අයත් දුඹුරු වලසුන් ගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 780 ක් (රාත්තල් 1700) පමණ වෙනවා.

දුඹුරු වලසුන් විශාල සංඛ්‍යාවක් තවමත් දකින්නට ලැබුනත් උන් ඉතා විශාල ප්‍රදේශයක, එකිනෙකින් වෙන් වූ කුඩා ගහනයන් හැටියටයි ජීවත් වෙන්නෙ. ඔවුන් අතර ප්‍රවේණි ලක්ෂණ හුවමාරුවකට ඉඩක් නෑ. ඒ වගේ 'තනිව' සිටීම සත්ව විශෙෂයක දිගු කාලීන පැවැත්මට ලොකු තර්ජනයක්.

දුඹුරු වලසා විශාල නිවාස පරාසයක (Home Range) ජීවත් වෙන සතෙක්. ඌ ඒ ප්‍රදේශයේ තමන්ගෙ වර්ගයට අයත් අනෙක් සතුන් එක්ක එකට ජීවත් වෙනවා. කොටින් (Leopard) වගේ තමන්ටම අයත් වසමක් (Territory) වෙන් කර ගන්නෙ නෑ. හිම වැටෙන ප්‍රදේශවල ඉන්න වලස්සු වසන්ත කාලයෙදි හොඳට කාලා ඇඟේ මේද සංචිතයක් හදා ගන්නවා. ගුහාවකට රිංගලා මාස කීපයක් එක දිගට නිදා ගන්න හිම වැටෙන ශිශිර කාලයෙදි අවශ්‍ය ශක්තිය ඌට සැපයෙන්නෙ ඒ මේද සංචිතයෙන්. (ශිශිර තරණය - Hibernation)

පැටවුන් මරාගෙන කෑමේ නරක පුරුද්ද (Infanticide) දුඹුරු වලසුන්ටත් තියෙනවා. ගැහැණු සතුන් ලිංගික ක්‍රියාවලියට පොලඹව ගන්න තමයි පිරිමි සත්තු එහෙම කරන්නේ.

නිදිමත වැක්කෙරෙන මූණක් තියෙන මෙයා 'කො ආලා' වලසා (Koala Bear ). වලහෙක් කිව්වට මෙයා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශවලට සීමාවුනු, 'මාර්සුපියල්' (Marsupial - සේපාටිකයන්, පැසිපොව්වන්) වර්ගයට අයත් කෙනෙක්. ඉතා කුඩා පැටවුන් බිහි කරන මාර්සුපියල් සතුන් උදරීය 'පැසක' දාගෙන තමයි පැටව් ආරක්ෂා කර ගන්නෙ. අපි දන්න අනිත් මාසුපියලා තමයි කැන්ගරුවා. තවත් කීපදෙනෙක් ඉන්නවා.

රුක්වාසී (Arboreal) කො ආලා වලසුන් ජීවත් වෙන්නෙ යූකැලිප්ටස් වනාන්තරවල නිසා, උගේ ආහාරය මුලුමනින්ම වගේ සමන්විත වෙන්නෙ යූකැලිප්ටස් කොලවලින්. ඒවා පෝෂණයෙන් ඉතාම අඩු නිසා කො ආලාවන් දවසේ පැය 20 ක්ම ගත කරන්නෙ නිදා ගන්න.

කො ආලා පැටියෙක් බිහි වෙන්නෙ කළල අවස්ථාවෙදිමයි. නමුත් ඒ වෙනකොට ස්වසන, ආහාර ජීර්ණක, බහිශ්‍රාවීය පද්ධති හොඳින් වර්ධනය වෙලා. කිරි උරා බීමට තොල් සහ එල්ලී සිටීමට නිය ආදියත් ඒ වෙනකොට වැඩෙනවා. බිහිවෙන පැටියා අම්මගෙ උදරීය පැස තුලට වැදිලා ඉතිරි ළමා කාලය ගත කරනවා.

කො ආලාවන් දේශගුණික විපර්යාසයන්ට ඉතාම සංවේදීයි. 1980 දරුණු නියඟයකින්, ක්වීන්ස්ලන්තෙ කො ආලා ගහනයෙන් 63% ක් මියගිය බවත්, ඉන් පසු ගහන වර්ධනය ඉතා සෙමින් සිදුවූ බවත් කියවෙනවා.

ආදරේ හිතෙන, අහිංසක සතෙක් උනත් කො ආලා අතීතයෙ දි සම් සඳහා ලක්ෂ ගණනින් දඩයම් කෙරුනා. වර්තමානයෙදි ඔවුන්ට තියෙන දරුණුම තර්ජනය තමයි සංවර්ධනය හේතුවෙන් ස්වාභාවික වාසස්ථාන අහිමි වීම.

මේ ඉන්නෙ 'ජෙම්ස්බොක්' (Gemsbok) නමින් හැඳින්වෙන දකුණු අප්‍රිකානු ඇන්ටිලෝපයා. කලහාරී කාන්තාරයෙ ශුෂ්ක පාරිසරික තත්වයන් යටතේ ජීවත්වෙන මේකගෙ අලංකාර අං යුවල නිසාම දඩයමට ලක් වෙනවා. ගැහැණු සතුන්ට තමන්ගෙ පැටව් විලෝපී සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නත්, පිරිමි සතුන්ට තමන්ගෙ වසම (Territory) අනෙක් පිරිමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්නත් ඒ අං යුවල ප්‍රයෝජනවත් වෙනවා.





පැන්ඩා මූණක් තියෙන නිසා මේකට 'රතු පැන්ඩා' (Red Panda) කිව්වට යෝධ පැන්ඩට සමීප ඥාති කමක් නෑ. චීනයෙ හා ඉන්දියාවෙ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න රතු පැන්ඩා රුක් වාසී, උණ ශාකය මත යැපෙන සතෙක්. අනිත් සත්තු වගේම ස්වාභාවික වාසස්ථාන අහිමි වීම හා කුඩා ගහනයන්ට සීමා වීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්නවා.









Friday, May 3, 2013

40. හැත්තෑපස් විය සපුරන වනජීවී රක්ෂිත


අපේ වනජීවී රක්ෂිත ජාලය
වනජීවී රක්ෂිතයක් වැඩි දෙනෙකුට පේන්නෙ අලි, කොටි වලස්සුන්ටම වෙන්වුනු බිමක් හැටියට. ගෙයක් දොරක් අටව ගන්න, හෝටලයක් හදා ගන්න ඉඩමක් හොයන එකාලට ඒවා පේන්නෙම අපතේ ගිය ඉඩම් හැටියට. වනජීවී රක්ෂිතවලට අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හැර, අපේ ජීවිතවලට ඍජුවම බලපාන තවත් වැදගත් අරමුණු පරමාර්ථ තියෙනවා. 1938 දි අපේ රටේ පළවෙනි වනජීවී රක්ෂිත ගොන්න ප්‍රකාශයට පත් කරලා අවුරුදු 75 ක් පිරෙන මේ වෙලාවෙ, ඒ බැලූ බැල්මට නොපෙනෙන අරමුණු ගැන යමක් ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා.

සංචාරක කර්මාන්තය - අපේ මුල්ම වනජීවී රක්ෂිත, යාල, විල්පත්තු ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කළේ ඒවා තුළ සංචාරක කර්මාන්තය විධිමත් කරන්න. වර්තමානය වෙනකොට සංචාරක කර්මාන්තය ප්‍රමුඛ අරමුණක් නොවුනත් වනජීවී රක්ෂිත වලින් 2012 වසරේ දී මිලියන 500 කට වැඩි ආදායමක් අපේ ජාතික ආර්ථිකය ලබලා තියෙනවා. එයින් වැඩි කොටසක් විදේශ විනිමය.

ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා  කිරීම - මහවැලි, කළු, කැළණි, වලවේ ගංගාවල ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙන්නෙ හෝටන් තැන්න, ශ්‍රී පාද අඩවිය වගේ මධ්‍ය කඳුකරයෙ වනජීවී රක්ෂිතවලින්. කෘෂිකර්මාන්තයට, ජලවිදුලි නිෂ්පාදනයට ජලය සපයන ඒ ගංගාවල තවමත් අවුරුද්ද පුරාම ජලය ගලාගෙන යන්නෙ ඒවයෙ ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන නිසා.

මහ පරිමාන ජලාශයන්ගේ ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම - නිදහසෙන් පස්සෙ අපේ රටේ පාලකයන් බවට පත්වුනු ඩී. එස්. සේනානායක වගේ නායකයන්ට අවුරුදු සිය ගණනක් ඉදිරිය පේන නුවණක් තිබුනා. ජනශූණ්‍යව තිබුනු වියලි කලාපයේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ඇතිකරලා, නිරිත දිග තෙත් කලාපයේ ‍රැස් කකා හිටපු ජනතාව ඇදගෙන ඇවිත් පදිංචි කරවලා, මහා මිනිස් පවුරක් ඉදි නොකලා නම්, පහුගිය කාලෙ උතුරෙ කස්ටිය ඇඳගෙන හිටිය ඊලාම් සිතියමේ හැඩය ඊට වඩා බොහෝ වෙනස් වෙන්න ඉඩ තිබුනා. කන්තලේ, මින්නේරිය, ගල් ඔය නිම්නය, වගේ ගොවි ජනපද අපේ රටේ ඉතිහාසය මුලුමනින්ම වෙනස් කළා කිව්වොත් නිවැරදියි. පසු කාලෙක උඩවලව, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමවලට පූර්වාදර්ශය වුනෙත් ඩී. එස්. සේනානායක, ජාතියේ පියාණන්ගේ නිවැරදි දැක්ම. ඒ සංවර්ධන ව්‍යාපාර යටතේ ඇතිකරපු සියලුම මහපරිමාන ජලාශ සියල්ලක්ම, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරලා ආරක්ෂා කරන්න තරම් ඔවුන් දූරදර්ශී වුනා. ගල් ඔය සේනානායක සමුද්‍රය, උඩවලව, සියලුම මහවැලි ජලාශ ඇතුලු අපේ රටේ කෘෂිකර්මාන්තයට හා ජලවිදුලි බලය නිෂ්පාදනයට ජලය සපයන මහපරිමාන ජලාශ හතලිහකට වැඩි සංඛ්‍යාවක්  අද ආරක්ෂා වෙන්නෙ වනජීවී රක්ෂිත ඇතුලෙ.

සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කිරීම - හික්කඩුව, කල්පිටිය, පරෙවි දූපත, මහවැලි විල්ලු, හක්ගල, රිටිගල වගේ සමුද්‍රීය හා ගොඩබිම් සුවිශේෂී පරිසර පද්ධතීන් ‍රැසක් ආරක්ෂාව ලබන්නෙ වනජීවී රක්ෂිත ජාලය තුල. මේ හැම පරිසර පද්ධතියකටම මානව පැවැත්ම සඳහාත් සුවිශේෂී කාර්ය භාරයක් පැවරිලා තියෙනවා.

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම - අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, රිටිගල ඇතුළු සංස්කෘතික උරුමයන් පවතින ප්‍රදේශ වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා ඒවායෙ ස්වාභාවික වටපිටාව ආරක්ෂා කෙරෙනවා.

ගොවිපොල භෝග හා සතුන්ගේ වනජ දර්ශ ආරක්ෂා කරගැනීම - ගොවිපොල භෝග හා සතුන් වැඩි දියුණු කිරීම සඳහා යොදාගන්න උසස් ප්‍රවේණි ලක්ෂණ පවතින්නෙ ඒවයෙ වනජ දර්ශ තුළ. වනජීවී රක්ෂිතවල ඒ වගෙ වනජ දර්ශ ‍රැසක් ආරක්ෂා වෙනවා. වී, ගම්මිරිස් ඇතුළු වාණිජ භෝග ඒ අතර තියෙනවා.

ඉතින් මේ වෙනකොට අපේ රටේ මුළු වපසරියෙන් 14 % ක් ඉක්මවන වනජීවී රක්ෂිතවල, බැලූ බැල්මට නොපෙනෙන අරමුණු හා පරමාර්ථ ‍රැසක් සැඟවිලා තියෙන බව පැහැදිලි කරන්නයි මට ඕනවුනේ. ඒ සමහර අරමුණුවලින් අපේ රටේ ජාතික ආර්ථිකයට අති විශාල දායකත්වයක් දෙන කෘෂිකර්මාන්තයේ, ජලවිදුලිබල නිශ්පාදනයේ දිගුකාලීන පැවැත්ම තහවුරු වෙනවා. ඒවා ගැන නොහිතන  සමහර අම්බරුවන්ට වනජීවී රක්ෂිත පේන්නෙ, රටේ සංවර්ධනයට විශාල බාධාවක් විදියට.

ඩී. එස්. සේනානායක වගේ සියවස් ගණනක් අනාගතය විනිවිද දකින්න පුලුවන් නායකයින් නැවත මේ රටේ පහලවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.


Saturday, April 20, 2013

39. දේශප්‍රේමය හා භික්ෂූන්වහන්සේලා.

ගිරිතලේ අද උදෑසන ‍රැස්වීමෙදි සුපුරුදු කතාව පවත්වපු ට්‍රේනී කොල්ලගෙ කටින් කියවුනා නොයෙකුත් සංවිධාන අටවගෙන අනවශ්‍ය ගැ‍ටුම් ඇති කරන්න උත්සාහ කරන භික්ෂූන්වහන්සේලා ගැන. ඌ විතරක් නෙමෙයි මේ දවස්වල මූණු පොතේ, පොත් පත්තරවල, යන එන මග තොටේ හැම තැනකම වගේ කතා වෙන්නෙ රටපුරා ‍රැස්වීම් තිය තිය අන්‍ය ආගමිකයන්ගේ ඇතැම්  කටයුතුවලට එලිපිටම විරෝධය පාන භික්ෂූන්වහන්සේලා ගැන. ඇතැම් අය ඒ ගැන පහන් සිතින් කතා කළත් සමහරු අහන්නෙ දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැතිව, භික්ෂූන්වහන්සේලා සිවුර කරට අරගෙන පාරට බහින එක සුදුසු ද කියලා. ඒක සිවුරට, සාසනයට, බොදු දහමට  කරන නිගරුවක් හැටියට, වෙනත් වාසි ප්‍රයෝජන තකා කරන රඟපෑමක් හැටියට දකින අයත් ඉන්නවා.

ඒ ගැන හිතා බලද්දි මට මතක් උනේ අපේ මෑත කාලීන ඉතිහාසයෙ නොයෙකුත් ගැ‍ටුම්කාරී අවස්ථාවලදි ඉදිරියට ඇවිත් ඒවට මැදිහත්වුනු බෞද්ධ භික්ෂූන්වහන්සේලා කීප දෙනෙක් ගැන. ඒ අතරින් ප්‍රමුඛ වෙන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්.

1815 දි ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කර ගන්නකොට,  මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙ තේවාව භාරව සිටි උන්වහන්සේ, උඩරට ගිවිසුම අත්සන් කරන්නට පෙර ඉංග්‍රීසි කොඩිය ඔසවලා තියෙනවා දැකලා, ඒක ඇදලා බිම දාලා පෑගූ බව අපි කවුරුත් දන්න කතාවක්. ඒ කතාව අධිනීතිඥ වොල්ටර් විමලචන්ද්‍ර මහතා වෙත ඇති පැරණි පුස්කොල පතක සඳහන් වෙන බව ශ්‍රි සුමංගල හිමියන් පිළිබඳව 'පූජිත ජීවිත' (පළමු වෙලුම) පොතට ලිපියක් සපයන තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන් සඳහන් කර තියෙනවා.

උඩරට ඉංග්‍රීසි පාලනයට පළමු විරෝධතාව මතුවන්නේ 1816 දී ඉහගම තෙරුන්ගේ මූලිකත්වයෙන්. හාරිස්පත්තුවේ ඉහගම උපන් උන්වහන්සේ, ඉගෙනුම ලබන්නේ මල්වතු විහාරයෙන්. සිංහාසනයෙන් පහකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ ඥාති කුමාරයෙකු රජකමට පත් කරන්නට තවත් භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු සමග කුමන්ත්‍රණය කරන උන් වහන්සේ පසුව එක්නැලිගොඩ විසින් ඉංග්‍රීසීන්ට පාවා දෙනු ලබනවා. කොලඹට ‍රැගෙන යමින් සිටිය දී අට්ටාපිටියේ දී අත් අඩංගුවෙන් පැන යන උන්වහන්සේ පසුව උපැවදිව 1818 කැ‍රැල්ලේ නායකයෙකුලෙස වලපනේ ප්‍රදේශයේ සටන් මෙහෙයවනවා. කැ‍රැල්ල අවසානයේ දී නැවත ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් වන ඉහගමට මරණ දඬුවම පැනවුනත් පසුව ජීවිතාන්තය තෙක් මුරිසි දිවයිනට පි‍ටුවාහල් කරන්න තීරණය කෙරෙනවා.

1818 කැ‍රැල්ලට නායකත්වය දෙන්නෙත් උපැවදිව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් ගේ ඥාතියෙකු වන දොරේසාමි නමින් පෙනී සිටින විල්බාවේ තෙරණුවන්. කැ‍රැල්ල අවසානයේ පලා යන ඔහු නැවත ඉංග්‍රීසීන් ගේ අත් අඩංගුවට පත් වන්නේ එයින් වසර දොලහකට පස්සේ. ඔහුට ද මරණ දඬුවම නියම වුනත් පසුව සම්පූර්ණ නිදහස ලබනවා.

වාරියපොල හිමියන්ගේ සටන ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගීමෙන් නතර වන්නේ නෑ. 1818 කැ‍රැල්ල සමයේ දී දළදාවහන්සේ ද ‍රැගෙන මහනුවරින් පළා යන උන් වහන්සේ කැ‍රැල්ල මෙහයවන කැප්පෙටිපොලට එක් වෙනවා.  කැ‍රැල්ල අවසානයේ දී දළදා වහන්සේ ද සමග මාතලේ කයිකාවල දී ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වන උන් වහන්සේ පසුව යාපනයේ සිරගත කෙරෙනවා. උන් වහන්සේ ද සමග සිරගත කිරීමට නියමිත, ඌවේ කැ‍රැල්ලට සහය වූ භික්ෂූන්වහන්සේලා විසි එක් නමකගේ නම් ලැයිස්තුවක් 1820 පෙබරවාරි 25 දාතමින් යුතුව එඩ්වර්ඩ් බාන්ස් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් යැවූ ලිපියක සඳහන් වෙනවා.

ඉංග්‍රීසි පාලනයට එරෙහිව 1843 දී ඇතිවූ කැ‍රැල්ලක දී චන්ද්‍රජෝති නමැති හිමිනමක් මූලිකත්වය ගත් බවක් කියැවෙනවා. නමුත් උන්වහන්සේ ගැන වැඩි තොරතුරක් දැනගන්න නෑ.

1848 මාතලේ කැ‍රැල්ල, තවත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා විසින් පූර්ණ අනුග්‍රහය දක්වපු විමුක්ති අරගලයක්. දඹුලු විහාරයේදී ගිරානේගම නාහිමියන් විසින් ගොංගාලේගොඩ බණ්ඩා රජකරවීමෙන්  මාතලේ කැ‍රැල්ල ඇරඹුනු බවත්, අවසානයේ දී පුරං අප්පු සමග කුඩාපොල හිමියන් ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා මරා දමන ලද බවත් අපි අහලා තියෙනවා.

ඉතින් අපි ඈත ඉතිහාසය හාරලා අවුස්සලා බලන කොටත් මේ වගේ නොයෙකුත් අවස්ථාවලදි බෞද්ධ භික්ෂූන්වහන්සේලා පෙරමුණ අරගෙන කටයුතු කරලාතියෙනවා දකින්න පුලුවන්. දු‍ටු ගැමුණු ඇතුළු අපේ පැරණි රජවරුන් වැඩි දෙනෙක් බුදු දහම, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ සිද්ධස්ථාන සමීපව ඇසුරු කළ බවට සාක්ෂි එමටයි.ශ්‍රී ලාංකිකත්වයේ වර්තමාන හැඩය නිර්මාණය කරගන්න, බෞද්ධ භික්ෂූන්වහන්සේලාගෙන් ලැබුණු දායකත්වය කිසිසේත්ම සුළුකොට තකන්න බෑ.

ඉතින් මම මේ ඉතිහාස කතන්දරටික මතක් කළේ අපේ භික්ෂූන්වහන්සේලාට දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉඳලා පුරුද්දක් නැති බව කියන්න මිසක් උන් වහන්සේලා හැම දෙනාම, කරන සේරම හරියි කියන්න නෙමෙයි. මුස්ලිම් කොල්ලෙක් එක්ක, සිංහල කෙල්ලෙක් පටලැවුනහම ඌ වැඩ කරන කඩේට පැනලා ගිනි තියන එක අපි කාටවත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන තර්ජනයන් හමුවේ උන්වහන්සේලා කරන කියන  දේවල් දිහා අපි මීට වඩා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙනවා. භික්ෂූන්වහන්සේලාට විරුද්ධව ෆේස් බුක් එකේ කොමෙන්ට් එකක් දාලා පොරක් වෙන්න හදන එකත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

ඇෆ්ගනිස්ථානයෙ, මාලදිවයිනේ, ඉන්දුනීසියාවෙ, මියැන්මාරයෙ සිදු වූ, සිදුවන දේවල් කවදාවත් ශ්‍රී ලංකාවෙ සිදු නොවිය යුතුයැයි මම තරයේ විශ්වාස කරනවා.



පින්තූරය ගත්තේ මෙතැනින් - http://www.buddhistchannel.tv

Sunday, March 24, 2013

38. කිරුළේ වර්ණනාව

 මේ පාර දැයට කිරුළ ප්‍රදර්ශණයේ බරපතල වැඩ කොටසක් දෙපාර්තමේන්තුවට පැවරිලා තිබුනා. වන අලි ගැවසෙන අම්පාර වැව ආශ්‍රිතව ප්‍රදර්ශණ භූමිය තියෙන නිසා අලි ප්‍රදර්ශණේ බලන්න එන එක වලක්ව ගන්න විදුලි වැට දෙකක්ම හදලා, ‍රැක බලා ගන්න ලොකු පිරිසක් යොදවලා ඉන්නවා.

ප්‍රදර්ශණයේ දෙපාර්තමේන්තු භූමිය සැලසුම් කරලා සකස් කරන්න පැවරිලා තිබුනේ ගිරිතලේ  වනජීවී පුහුණු කේන්ද්‍රයට සහ පශු වෛද්‍ය ඒකකයට. දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය හා වගකීම් විවරණය කෙරෙන ප්‍රදර්ශණ කුටියක් (Dome) සහ  දෙපාර්තමේන්තුවෙ පශු වෛද්‍ය ඒකකය විසින් පුනරුත්ථාපනය කෙරෙන අනාථ වන සතුන්  ප්‍රදර්ශණය කෙරෙන භූමියක් සකස් කරන්න තීරණය කෙරිලා තිබුනා. වැඩි කතා ඕන නෑ. පින්තූරවලින්ම වැඩේ පහැදිලි කරගමුකෝ.

ප්‍රදර්ශණ කුටියේ පිවිසුම, යාල උද්‍යාන පිවිසුමේ ආකෘතිය අනුව ඉතාම නිර්මාණශීලීව සකස් කරලා තියෙන්නේ, ලාහුගල උද්‍යාන භාරකරු සියාසිංහ මහත්තයාගේ අදහසක් අනුව.

 ප්‍රදර්ශණ කුටිය ඇතුලත දෙපාර්තමේන්තුවෙ වගකීම් හා කාර්ය භාරයත්, ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය පිලිබඳවත් විස්තර කෙරෙන පුවරුවලින් සමන්විතයි. අපේ වනජීවී රක්ෂිත ජාලයට පහුගිය පෙබරවාරි මාසෙ දි වසර 75 ක් පිරුනා. ඒක තමයි ප්‍රධාන තේමාවවුනේ.


 පුවරු අතරට වනසතුන්ගෙ නිදර්ශක සහ උන්ගැන විස්තර ඇතුලත් පුවරු යොදලා තියෙනවා. ජයසූරිය මහත්තයාගෙ වැඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.











 ප්‍රදර්ශණ කුටියෙන් පිටත භූමියත් ඉතාම ආකර්ශණීයව සකස් කරලා තියෙනවා.














 ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය විදහා දැක්වෙන සිතියම සකස් කළෙත් ජයසූරිය මහත්තයාම තමයි.
 සර්ප කුටියකුත් සකස්කරලා තියෙනවා. විශේෂ ගණනාවක ජීවී සර්පයින් එතන ප්‍රදර්ශණය කෙරෙනවා. සර්පයෙක් දැක්ක පමණින්ම පොල්ලක් අතට ගත යුතු නෑ කියලා පැහැදිලි කරන්න තමයි එතනදි උත්සාහ කරන්නේ.
 මේ පිඹුරු තඩියා දඹුල්ලෙ ගෙවත්තක ඉඳලා බේරා ගත්ත එකෙක්.


 මේ සර්පයාට හැව ඇරගන්න උදව් කරන්නේ අපේ කොල්ලො දෙන්නෙක්.

 මේ කිඹුල් තඩියා අක්කරපත්තුව පැත්තෙ ගමකට ඇවිල්ලා  ඉන්නකොට බේරා ගත්තු එකෙක්.

 මේ අලි පැංචියො දෙන්නා උඩවලවෙ අත් අතුරු සෙවනෙන් ගෙනාපු දෙන්නෙක්. වැටෙන් පැනලා ආපහු ගෙදර යන්න හදන එකී අම්පාරෙ දීඝවාපිය පැත්තෙ අතරමං වෙලා ඉන්දැද්දි බේරගෙන ඇත් අතුරු සෙවනේ ‍රැකවරණයට පත් කරපු එකියෙක්. අනිත් එකී ගෙනැත් තියෙන්නේ ලුණුගම්වෙහෙරෙන්.
 විජිතමුණි ඇමතිතුමාගෙන් අලි පැංචියන්ට කිරි.

 අම්පාර පැත්තේ ගෙවල්වල ඉඳලා හමුවුණු මුවෝ දෙන්නෙක්. තුවාලවෙලා ඉඳලා ගෙනැත් හදනකොට දැන් හීලෑ වෙලා නිසා කැලේට යන්නෙ නෑ.


කල්මුණේ පැත්තේ ලිඳක වැටිලා ඉඳලා බේරගත්ත හඳුන් දිවියෙක්. ඌට නම් මල පැනලා ඉන්නේ. කිට්‍ටුවෙන කොට පුප්පනවා.











අම්මා මැරිලා අනාථවුනු උගුඩු පැටව් තුන්දෙනෙකුත් ඉන්නවා. උන්ට සිරිංජයකින් කිරි පොවන්නෙ අම්පාර පශු වෛද්‍ය ඒකකයේ ලෝරන්ස්. ලෝරගෙ සත්තුන්ට තියෙන ආදර කරුණාව උගේ ඇඟ දිගෙත් බේරෙනවා.

මේ සියලුම අනාථ සතුන් ආපසු ස්වාභාවික පරිසරයට මුදා හැරෙන බවත් සටහන් කරලා තියන්න ඕනෑ.


දැයට කිරුළේ වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවෙ ප්‍රදර්ශණ භූමිය ආකර්ශණීයව සකස් කිරීමේ අභියෝගය ජයගැනීමේ ගෞරවය ලාහුගල උද්‍යාන භාරකරු ප්‍රදීප් සියාසිංහ, පශු වෛද්‍යවරුන්වන ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර, පුෂ්ප කුමාර, සහ අපේ ජයසූරිය, රංජිත් විජිත මහත්වරුන්  ඇතුලු කණ්ඩායමට හිමි වෙන්න ඕනෑ.

ඉතින් ප්‍රදර්ශණය ආරම්භ වෙනකොට, සැලසුම් කරලා තිබුනු  සියල්ල ඒ විදියටම නිම කරගන්න ලැබීම හැමෝටම සතුටක්වුනා. රාජ්‍ය සේවයෙ නීති රීති, රෙගුලාසි රාමු තුල මේවගෙ කටයුත්තක් කලට වෙලාවට නිම කරන එක ඇත්තටම අභියෝගයක්.

සේරටම වඩා අමාරු සමහර උදවියගෙ පුද්ගලික ආකල්ප එක්ක මේවගෙ දේවල් කරන එක. ඒ වගෙ දේවල් බාධක හැටියට බාරගන්නෙ නැතුව අභියෝග හැටියට බාරගත්තොත්, ඒවා අපි කරන යහපත් දේවල්වලට අමතර වටිනාකමක් දෙනවා කියලයි මට හිතෙන්නෙ.











Thursday, March 14, 2013

37. අලුත්ම පඳුරු මැඩියෝ අට දෙනෙක් ...!



මට සාමාන්‍යයෙන් මාසෙකට පෝස්ට් දෙකකට වඩා ලියාගන්න බෑ. ඉතින් මේ මාසෙ මැද ලියන්නෙ මොකද්ද කියලා හිත හිත ඉන්න කොට තමයි අපේ උරග හා උභය ජීවී විශේෂඥ, මෙන්ඩිස් වික්‍රමසිංහ මලයා ඇතුලු කණ්ඩායම අලුතින් පඳුරු මැඩි (Shrub Frogs) විශේෂ අටක් හොයාගෙන ප්‍රකාශයට පත් කරලා කියලා දැනගන්න ලැබුනේ. ඒ අට දෙනාත් එක්ක මේ වෙනකොට ලංකාවෙ වාර්තාවෙලා තියෙන උභය ජීවීන් ගේ මුලු සංඛ්‍යාව 120 ක් විතර වෙනවා.

තොරතුරු හොයලා බලනකොට උන් අට දෙනාම හොයාගෙන තියෙන්නේ අපේ රටේ වැඩිම ජෛවවිවිධත්වයක් තියෙන වනාන්තරය හැටියට සැලකෙන ශ්‍රි පාද අඩවියෙන්. ස්වභාව රක්ෂිතයක් හැටියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ කළමනාකරණය යටතෙ පවතින ශ්‍රි පාද අඩවියෙ පාරිසරික හා ඓයිතිහාසික වටිනාකම නිසාම, යුනෙස්කෝව විසින් ඒක මෑතකදි ලෝක උරුම භූමියක් හැටියට  ප්‍රකාශයටත් පත් කළා. ශ්‍රී පාද අඩවිය සිංහරාජයටත් වැඩිය ජෛව විවිධත්වයෙන් අනූනයි කියලා තමයි සැලකෙන්නේ.

ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු පර්යේෂණ කණ්ඩායම (දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජීව්, චතුරංග ආරියරත්න, අමිල චානක, දර්ශණ ප්‍රියන්ත, ඉමේශ් නුවන් බන්ඩාර සහ මෙන්ඩිස් මලයගෙ සහකාරිය නෙතු වික්‍රමසිංහ) 2009 - 10 අවුරුදු දෙකක් තිස්සෙ ශ්‍රී පාද කන්ද පුරාම ගිරි හෙල් කඳුරු, ගස් ගල් පඳුරු පීරලා තමයි මේ අලුත් පඳුරුමැඩියො ටික හොයාගෙන තියෙන්නෙ. උන්ගෙ ආදර්ශ (Specimens) එකතු කරගෙන ඇවිත් කායික ලක්ෂණ අධ්‍යයනය කරලා, කොලඹ සහ එංගලන්තයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරවල (Natural History Museum repositories) තියෙන සත්ව ආදර්ශ එකතු එක්ක සංසන්දනය කරලා තමයි, කලින් වාර්තා නොවුනු අලුත් විශේෂයන් ද කියලා තහවුරු කරගෙන තියෙන්නෙ.

එහෙම තහවුරු කරගත්තට පස්සෙ තමයි සම්පූර්ණ විස්තර ඇතුලත් පර්යේෂණ වාර්තාවක් සකස් කරලා ප්‍රකාශයට පත් කරන්නෙ. මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායම හොයාගත්තු පඳුරු මැඩියො අට දෙනා පිළිබඳ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ Journal of Threatened Taxa ජර්නලයෙ.

ඉතින් මෙන්ඩිස් මලයලා හොයා ගත්ත මැඩියො අට දෙනාගෙන්, හත් දෙනෙක්ම නම් කරලා තියෙන්නෙ අපේ රටේ ස්වභාව සම්පත් සංරක්ෂණය සඳහා අමිල සේවාවන් කරපු හය දෙනෙක් සහ වීර පුරන් අප්පු නමින්.

   1. බඹරදෙනියගේ පඳුරු මැඩියා (Bambaradeniya's Shrub Frog - Pseudophilautus bambaradeniyai) -  ආචාර්ය චන්න බඹරදෙනිය ලංකාවෙ  ප්‍රමුඛ තෙත්බිම් පරිසර විද්‍යාඥයෙක්. වාන්කලෙයි අභය භූමිය, කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තු ජාතික උද්‍යානය රම්සා තෙත් බිම් හැටියට  ප්‍රකාශයට පත් කරවාගන්න ඔහු වනජීවී දෙපාර්තමේන්තුවට විශාල සහායක් දුන්නා.

 2. දයාවංශගේ පඳුරු මැඩියා - (Dayawansa's Shrub Frog - Pseudophilautus dayawansai) ආචාර්ය නිහාල් දයාවංශ කොලඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. උභය ජීවීන් පිළිබඳව බොහෝ පර්යේෂණ කර ඇති ඔහු කලකට පෙර (1994) ආචාර්ය පෘතුවිරාජ් සමග අලුත් ගෙඹි විශේෂයක් හොයා ගන්න දායක වුනා (Kotagama's Dwarf Toad - Duttaphrynus kotagamai)

 3. ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා - (Jagath Gunawardana's Shrub Frog - Pseudophilautus jagathgunawardanai)  දිවයිනේ ප්‍රකට පරිසර නීති විශාරදයෙක් වන නීතිඥ ජගත් ගුණවර්ධනයන්, දශක දෙකක් තිස්සේ වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට සහාය දෙනවා.  දක්ෂ වනජීවී චිත්‍ර ශිල්පියෙක් ද වන ඔහුගෙන් තරුණ පරිසරවේදීන් ‍රැසක් මගපෙන්වීම ලබනවා.




4. කරුණාරත්නගේ පඳුරු මැඩියා - (Karunaratna's Shrub Frog - Pseudophilautus karunarathnai) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක තුනක් සේවය කර විශ්‍රාම ලැබූ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන වයි. ජී. පී. කරුණාරත්න (ලිංකුව බලන්න) ඉතාම අවංක සේවයක් කළ දක්ෂ නිලධාරියෙක් වුනා.
  5. නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා - (Niwton Jayawardane's Shrub Frog - Pseudophilautus newtonjayawardanei)  ශල්‍ය වෛද්‍යවරයෙකු වන නිව්ටන් ජයවර්ධන, ප්‍රකට පරිසරවේදියෙකුද වෙනවා.







6. පුරන් අප්පු ගේ පඳුරු මැඩියා - (Puran appu's Shrub Frog - Pseudophilautus puranappu) මේ මැඩියා නම්කර ඇත්තේ 1848 මාතලේ කැ‍රැල්ලට නායකත්වය දුන් වීර පුරන් අප්පු නමින් (1812 - 1848, වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු)






7. සිරිල් විජේසුන්දරගේ පඳුරු මැඩියා - ( Siril Wijesundara's Shrub Frog) - Pseudophilautus sirilwijesundarai) ප්‍රකට උද්භිද විද්‍යාඥයෙක් වන ආචාර්ය සිරිල් විජේසුන්දර වර්තමානයේ පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා ද වෙනවා.




 

අන්තිම ගෙම්බා නම් කරලා තියෙන්නෙ කාගෙ නමින්ද කියලා දන්නවද .... ? බාගෙට පිස්සු බ්ලොග්කාරයෙක්ගෙ නමින් ....!

    8. සමරකෝන්ගේ පඳුරු මැඩියා - (Samarakoon's Shrub Frog - Pseudophilautus samarakoon) අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය පොර ගැන දන්නවනේ. කොහොම උනත් මේ ගැන දැනගත්තහම ඒ නමින් නම් කරපු ගෙම්බො ටික සේරම එල්ලිලා පන නහ ගනියිද කියලයි මට සැක.





ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු කණ්ඩායමේ මේ නව සොයා ගැනීම්වලින් අපට ලැබෙන පණිවිඩය තමයි ශ්‍රී පාද අඩවිය කියන්නෙ උභයජීවී
මෙන්ඩිස්, නෙතු යුවල සහ කොලු පැටව් දෙන්නා
උණුසුම් ස්ථානයක් (Amphibian Hotspot - උභයජීවී විවිධත්වයෙන් අනූන, එහෙත් තර්ජනයට ලක් වූ ස්ථානයක්) කියන එක. අතිශය දුෂ්කර පාරිසරික තත්වයන් නිසා එහි ප්‍රමාණවත් තරම් පර්යේෂණ කෙරිලා නෑ. අපිට මෙතෙක් අනාවරණය කරගන්න  බැරි වූ තවත් බොහෝ වනජීවී සම්පත් ‍රැසක් එහි ඇති.

ඉතින් මේ වගෙ තොරතුරු වඩාත් වැදගත් වෙන්නෙ ශ්‍රී පාදස්ථාන පුද බිමේ හෙලිකොප්ටර් අංගන, කේබල් කාර් මාර්ග හදන්න කැස කවන අම්බරුවන්ට. ඒත් ඉතිං මේවා තේරුම් ගන්න උං ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද කියලා සැකයි ...!

Wednesday, February 27, 2013

36. අපේ පුංචි බුදු මැදුර




                                                                                ගිරිතලේ මම ඉන්න ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයට එන කනෙකුගෙ ඉස්සෙල්ලාම ඇස ගැටෙන්නෙ අපේ පුංචි බුදු මැදුර. එහි තියෙන, දැකීමෙන්ම හිත නිවෙන බුදු පිළිමය ඉදිරියට එකතුවෙලා, බුදුන් වැඳලා තමයි අපේ දවස ආරම්භ වෙන්නෙ. බුදු මැදුර ළඟින්ම තියෙන්නෙ අපූරුවට දළු දාලා හැදෙන ශ්‍රී මහ බෝධියෙ අංකුරයක්. අංකුරයක් කිව්වට දැන් ඒක අඩි හත අටක් උසට හැදුනු තරමක බෝධීන්වහන්සෙ නමක්..

1993 මම ඉස්සෙල්ලාම ගිරිතලේට එනකොට ඒවගෙ අපි හැමෝටම එකතුවෙලා පන්සිල් පදයක් කියලා හිත නිවාගන්න තැනක් තිබුනෙ නෑ. එතකොටත් මා එක්ක ගිරිතලේ හිටපු ජයසූරිය මහත්තයාටත් මටත් එහෙම තැනක් හදා ගන්න උවමනාව තිබුනත්, ඒ වගෙ දේකට රජයේ සල්ලි වෙන් කරගන්න එක පහසු වැඩක් උනේ නෑ.

බුදු මැදුරක් ගැන හිත හිත අවුරුදු කීපයක්ම ඉන්න අතරෙ තමයි ගිරිතලේ සංචාරක බංගලාව හදන්න දෙපාර්තමේන්තුව සල්ලි වෙන් කළේ. තට්‍ටු දෙකේ විශාල ගොඩනැගිල්ලක් වුනු ඒක ටිකක් ලොකුවට කෙරුනා. ඒකෙ වැඩ බලාපු සුපවයිසරයායි, හෙඩ් බාසුන්නැහෙයි ටිකක් සුහදශීලී මිනිස්සු බව පෙනුනු නිසා අපි ටිකක් කිට්‍ටු වෙලා බුදු මැදුරෙ අදහස දාලා බැලුවා. ඒක කියපු ගමන්ම ඔවුන් දෙන්නාම බොහොම කැමැත්තෙන් ඒකට උදව් කරන්න එකඟ උනා මට මතකයි.

ඉතින් බුදු මැදුරක් හදා ගැනීම මේ විදියට බොහොම සුළුවෙන් ආරම්භ උනා. උදේ ඉඳලා හවස් වෙනකම් බංගලාව හදාපු බාසුන්නැහේ රෑට කාලා ආවා බුදු මැදුර හදන්න. අපේ අත් උදව්වෙන් ඒ වැඩේ කරපු උන්නැහේ ආපහු ගියේ පාන්දර දෙකට තුනට විතර.  බංගලාව හදන්න ගෙනාපු ගල් වැලි, සිමෙන්ති වලින් තමයි වැඩේ කෙරුනේ. සුපවයිසර් උන්නැහේත් ෂේප් නිසා අවුලක් උනේ නෑ.  මේ විදියට ටික දවසකින් බුදු මැදුරෙ වහල මට්ටමට වැඩ ඉවර උනා.

ඊලඟට වහලෙ හදාගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරකර ඉන්නකොට තමයි හදිසියෙම දවසක් මගෙ හිත මිතුරු ලක්දාස් මෙත්තානන්ද යාලුවො කස්ටියක් එක්ක ගිරිතලේ පැත්තෙ ආව. ලකී බාගෙට හදාපු බුදු මැදුර දැකලා විස්තර අහලා 'මම පුළුවන් උදව්වක් කරන්නම්' කියලා ආපහු ගියා. ටික දවසකින් ලකී අපට රුපියල් දාසය දාහක් එවලා තිබුනා බුදු මැදුරෙ ඉතුරු වැඩ ටික කරගන්න කියලා. ඔන්න ඉතින් බුදු මැදුරෙ වහලෙ ගහලා උළු තියාගෙන ඒකෙ වැඩ බොහොමයක් අවසන් කරගත්තෙ ලකී සහ එයාගෙ යාලුවො කස්ටියගෙ උදව්වෙන්. වැදගත්ම කාරණය තමයි ලකී සහ ඔහුගෙ යාලුවො සියලු දෙනාම ක්‍රිස්තියානි ආගම අදහන අය වීම. අර බාසුන්නැහේට වගේම ඔවුන්ටත් උවමනා වෙන්න ඇත්තේ යහපත් දෙයකට සහභාගිවෙලා සතුටක් ලබන්න වෙන්න ඕනෑ.

ඒක කියනකොට මට තවත් කතාවක් මතක් උනා. මම බුත්තල වැඩකරන කාලෙ, පොසොන් දවසක අපේ නිල නිවාසෙ ඉස්සරහ පාරෙ පොසොන් පෙරහැරක් ගියා. පෙරහැරේ අවසානයට ගියේ පොසොන් භක්ති ගීත ගායනා කරන පුංචි දරු, දැරියො පිරිසක් පටවාගත්තු තට්‍ටු ලොරියක්. ලස්සණට සරසලා තිබුනු ඒ වාහනේ යන ගමන්, පුංචි වාදක මණ්ඩලයක් සපයපු සංගීතයට අනුව ඔවුන් පොසොන් භක්ති ගීත ගැයුවා. වාදක මණ්ඩලේ කෙලවරක වයලීනයක් වයමින් හිටියේ ක්‍රිස්තියානි පූජක තුමෙක්. පස්සෙ දැනගන්න ලැබුනු විදියට ඒ භක්තිගීත කණ්ඩායම පුරුදු පුහුණු කරලා තිබුනේ  ඒ පූජක තුමා.

ඉතින් ආපහු ගිරිතලේට එමු. ඊලඟට අපිට ඕනෑ උනේ බුදු මැදුරට ගැලපෙන තරමේ බුදු පිළිමයක් හොයාගන්න. ඒ කාලෙත් ඒ වගේ බුදු පිළිමයක් හොයාගන්න එක ලේසි වැඩක් උනේ නෑ. ඒක ගැන හිත හිතා ඉන්නකොට තමයි මගේ ගිරිතලේ  සේවා කාලය සම්පූර්ණ වෙලා ස්ථාන මාරුවෙන්න උනේ. මට පස්සෙ ආපු සූරියබන්ඩාර මහත්තයත් වැඩේ ඇතෑරියෙ නෑ. එතකොට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගුණසේකර මහත්තයාගෙත් උදව්වෙන්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙ අනුග්‍රහය අරගෙන බුදු මැදුරට ගැලපෙන බුදු පිළිමවහන්සෙ නමක් හොයා ගන්න ඔහු සමත් උනා.

කොහොම හරි මම 2008 දෙවෙනි වරටත් ගිරිතලේට එනකොට දකින කෙනෙකුගෙ සිත් සනහාලන බුදු මැදුරක් නිර්මාණය වෙලා තිබුනා. ඒ වෙනකොට හිටපු ධර්මතිලක මහත්තයා හැමදාම උදේට සේරම පුහුණු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එකතු කරගෙන බුදුන් වඳින ආගමික සම්ප්‍රදාය ඇති කරලා තිබුනා.

ඊට පස්සෙ දැනට අවුරුදු දෙකකට ඉස්සෙලා  තමයි අපේ බෝධිරාජයා අනුරාධපුරෙන් වැඩමවාගෙන ඇවිත් රෝපනය කරගත්තේ. එතකොට ගිරිතලේ පුහුණුව ලබමින් හිටපු සේරම පුහුණු නිලධාරීන් එකතුවෙලා තමයි ඒ පින්කම කරගත්තේ. මේ සියල්ලම සිද්ද උනේ හැමෝගෙම දායකත්වයෙන්. ආණ්ඩුවෙ සල්ලි සත පහක වියදමක් නැතුව.

ඉතින් මට මේ පරණ කතන්දර ටික මතක් වෙනකොට හිතෙන්නේ අපිට යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු උනහම  කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපේ වෘත්තීය තරාතිරම, ආගම් භේද අමතක කරලා, පැවරිලා තියෙන වැඩ වලට විතරක් කො‍ටුවෙලා සීමා වෙන්නෙ නැතුව, යහපත් දෙයක් වෙනුවෙන්  වැඩිපුර සැතපුමක් ඇවිදින්න හිත හදාගන්න පුලුවන්නම්, අපි ජීවත් වෙන මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වෙයි කියලත් මට හිතෙනවා.

රෝපනය කරලා අවුරුදු දෙකකට පස්සේ අපේ බෝධිරාජයාණන්වහන්සේ

Thursday, February 14, 2013

35. මට හමු වූ අන්‍ය ජාතීන් හා ආගමිකයින්


සිංහල නොවන අය මට සමීපව ඇසුරු කරන්න ලැබුනෙ රස්සාවට ආවට පස්සෙ. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ තියෙන කුමන දි මට මුණ ගැහුණු පලනි හුදංචි අප්පු මගේ පළවෙනි වනජීවී ගුරුවරයා වුනා. ඔහුගේ පියා කුමන වැසි සිංහල කාන්තාවක් විවාහ කරගත් දමිල ජාතියෙක් බව අහන්න ලැබුනා.

සිංහල කාන්තාවක් හා විවාහ වෙලා හිටපු හුදංචි ගත කලේ සිංහල ජීවිතයක් කියලා කිව්වොත් නිවැරදියි. ඔහුගේ ඇවතුම් පැවතුම්, ගතිගුණ, සිතුම් පැතුම් සියයට සියයක්ම සිංහල වුනා. කාර්ය මණ්ඩලයෙ කවුරුත් ඔහු 'සීනියර්' කියලා ගෞරවයෙන් ඇමතුවා මතකයි.

මගෙ අනිත් දමිල ජාතික ජ්‍යෙෂ්ඨයා වුනේ අරුලානන්දන්. වාලච්චේනේ පදිංචිව සිටි ඔහුගේ මුල් ගම් පලාත පොතුවිල්. ඉතා හොඳින් සිංහල කතා කළ ඔහුත් ඉතා සුහදව සිංහල අපි සමග එක හැලියේ බත් කෑවා. එයින් කලකට පස්සෙ ඔහු ඉතාම අවාසනාවන්ත විදියට තම වර්ගයා අතින්ම ජීවිතක්ෂයට පත්වුනා. හුදංචි සහ අරුල් ගැන මෙතැනින්  තව බොහෝ තොරතුරු ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.

හම්බන්තොටින් ආපු රවුෆ්ඩීන් සහ තාලිෆ් දෙමස්සිනාලා තමයි, කුමන අපිත් එක්ක හිටපු මැලේ ජාතිකයින් දෙන්නා.  කාර්ය මණ්ඩලයෙ හැමෝගෙම විවේකය ගත කරන විනෝදාංශය උනේ මාලු ඇල්ලීම උනාට උන් දෙන්නට විතර මාලු අහු උනේ නෑ වෙන කාටවත්. මූදෙ යොත් ගහලා මාලු අල්ලගෙන ඇවිත්, 'මාලු එල්ලුවා මචං ... වරෙල්ලා ...' කියලා කෑ ගහලා සේරටම කතා කරලා, අල්ලන  මාලු  අනිත් හැමෝම එක්ක බෙදාගෙන තමයි උන් දෙන්නා කෑවේ. උන් දෙන්නගෙන් තාලිෆාටත් අපිට වගේම බාගෙට පිස්සු. කොයි වෙලාවෙ බැලුවත් නැට්ට පෑගිච්ච පූසා වගේ කෑ ගහ ගත්ත ගමන් තමයි ඌ ඉන්නේ. සිංහල ඉස්කෝලෙක ඉගෙනගත්ත තාලිෆාට සේරම පාලි ගාථා කට පාඩම්. නිවාඩු යන්න ලෑස්තිවෙලා ඌත් එක්ක එක කාමරේ ඉන්න වයසක සුගතයා ඉස්සරහ සාලුවක් එලාගෙන 'වුද්ධි කාරෝ අලිංගිත්වා ...' කියලා තාත්තට වඳින ගාථාව කියලා වඳිනවා.

මම ඉතාම සුහදව ඇසුරු කළ දෙපාර්තමේන්තුවෙ ඉන්න අනෙක් මැලේ ජාතිකයා මොහමඩ්. පස්සෙ කාලෙක මම අම්පාරෙ ඉන්නකොට ඔහු කුමන ජාතික උද්‍යානයෙ භාරකරු හැටියට සේවය කළා. ඒ කාලෙ දවසක් නාකි අලියෙක් ඇවිත් උද්‍යානයෙ වතුර වලක වැටිලා පන අදින්න පටන් ගත්තා. පශු වෛද්‍යවරුන් ගෙන්වලා ප්‍රතිකාර කළත් ඌව ගොඩ දා ගන්න බැරි උනා. පස්සෙ මොහමඩ් අලියගෙ අවසාන මොහොතෙදි කුඩුම්බිගල සේනාසනයෙ හාමුදුරු පිරිසක් ඌ වැටිලා හිටපු තැනට වඩම්මලා පිරිත් කියෙව්වා.

පරම්පරා කීපයකටම අයිති හම්බන්තොට මැලේ ජාතිකයින් තොගයක්ම දෙපාර්තමේන්තුවෙ හිටියා. දැනටත් ඉන්නවා. අපටත් වඩා කැලේට කොලේට හුරු පුරුදු ඔවුන් සියලු දෙනාම වගේ වෙහෙස මහන්සි වෙලා දෙපාර්තමේන්තුවට සේවය කළා.  කොහේ හිටියත් ඉතාම සුහදව අනිත් ජාතීන් එක්ක එක හැලියෙ බත් කාපු ඔවුන් කිසි දවසක අනෙක් ජාතිකයින් එක්ක ගැ‍ටුමක් ඇතිකරගත් බවක් මම අහලා නෑ.

ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මුස්ලිම් ජාතිකයින් එහෙම සුහදව ඉන්න උත්සාහ කරන්නෙ තමන්ගෙ ආරක්ෂාවට, කපටි කමට කියලා. සුළු ජාතියක් උනහම සමහරවිට එහෙම ඉන්න සිදුවෙනවා ඇති. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගොඩ වැදෙන කොටම ඔවුන් අපිව දකිනවා, ගෞරවයෙන් පිළිගන්නවා. සුහදව අපේ අවශ්‍යතාව හොයලා බලලා ඉෂ්ට කරලා දෙනවා. යකඩ බඩු කඩේකට ගිහින් පාං ගෙඩියක් ඉල්ලුවත් නෑ කියන්නෙ නැතිව කඩේ කොල්ලා බේකරියට යවලා පාං ගෙඩිය ගෙන්නලා දෙනවා.

සිංහල කඩවල් වැඩි හරියකදි අපි අත් දකින්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත් දැකීමක්. මුදලාලියාගෙ ඉඳං කඩේ අතුගාන එකා දක්වාම කරපින්න ගෙන ඉන්නෙ මහ ජාතියෙ උද්ධච්චකම. හිනාවක් මූණ අහලකවත් නෑ. ගන්නවනං ගනිං, නැත්තං පලයං කියලා තමයි උං බඩු විකුණන්නෙ.

ඉතින් මට මේ පරණ කතන්දර මතක් උනේ මේ දවස්වල ෆේස් බුක් එකේ දකින්න තියෙන මුස්ලිම් විරෝධී සටහන් නිසා. අපේ මහ ජාතික උද්ධච්චකම් ඉවසාගෙන,  සුහදව අපිත් එක්ක එකට ජීවත් වුනු මුස්ලිම් ජනතාව දැන් ටිකෙන් ටික පිබිදෙන්න පටන් අරගෙන බව පේනවා. ඒක මුලු ලෝකෙම තියෙන මුස්ලිම් අරගල ‍රැල්ලෙ එක කොනක් හැටියටත් දකින්න පුළුවන්. දමිල දේශපාලකයන් තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරලා දශක ගණනාවක් රට ආපස්සට ඇදගෙන ගියා වගේ මුස්ලිම් දේශපාලකයින් පිරිසකුත් වගකීමකින් තොරව කටයුතු කරන බව පේනවා.

ඒකට විරුද්ධව දැං පිරිසක් අවි අමෝරාගෙන පාරට බැහැලා. ඒකට මූලිකත්වය අරගෙන තියෙන්නෙ මුලු ඉතිහාසය පුරාම ඒ වගෙ අවස්ථාවල පෙරමුණේ හිටපු බෞද්ධ භික්ෂූන්වහන්සේලා. තව පිරිසක් උන්වහන්සේලාට දෙහි කපනවා, අනවශ්‍ය ගැ‍ටුමක් නිර්මාණය කරනවා කියලා.

කොහොම උනත් නොසලකා සිටිය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පේනවා. ජාතිවාදීන්, ආගමික අන්තවාදීන් හා අවස්ථාවාදී දේශපාලකයින් සුලු පිරිසක් එකතුවෙලා අවුලුවන ගින්නක මුලු ජාතියක් දැවෙනවාද ..,? නැත්නම් ඔවුන්ව පි‍ටු දැකලා ඇවිලෙන ගින්න මුල් අවස්ථාවෙදිම නිවා ගන්නවාද ...?  දෙපාර්ශ්වයේම නායකයින් බොරදියේ මාලුබාන්නෙ නැතුව, මේ ගැටලුව දිහා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙන්නේ.

කොහොම උනත් මේ ගැටලුව හා අදාල ධන හා රින අගයන් සමාන ලකුණේ වම් පැත්තට දාලා සුලු කරලා අරගෙන, දකුණු පැත්තේ ලියවෙන විසඳුම දිහා බලනකොට එතැන තියෙන්නේ 'සාමය' නම් අපි තවමත් ආරක්ෂිතයි. එතැන 2005 දි වගේ 'යුද්ධය' කියලා ලියැවුනු දවසට තවත් ලේ ගංගාවක් ගලාගෙන යයි.

කවුරු මොනදේ කරන්න උත්සාහ කළත්, කෙරුවත් මේ රටේ බුදු දහමත්, සිංහල ජාතියත් පන් දහසක් කල් පවතිනවා සත්තයි ...!