මගෙ යාලුවෝ

Friday, January 25, 2013

34. මොනරවිල


'සිවුර අතහැරලා රජකම බාරගෙන අපි උපන්න රටත් සාසනයත් බේරගන්ට මුල් වෙන්ට අපෙ   හාමුදුරුවනේ... මහන දම් පුරනවාට වඩා ඉක්මනින් නිවන් දකින්ට ඒ පින සෑහෙයි .. මුලු කන්ද උඩරටම ගෙරි සුද්දන්ට එරෙහිව නැගී හිටින්ට සැරසිලයි ඉන්නේ ... උන්ට නායක වෙන්ට සුදුසු ඇත්තෙක් විතරයි අඩු ... ඒකට ඔබ වහන්සෙගෙ කැමැත්ත දෙන්ට හාමුදුරුවනේ ...'

කිවුලෙගෙදරගේ තියුණු කටහඬ සිය දෙකන් සිදුරුකර කිඳා බසිනු විල්බාව තෙරණුවනට දැනිනි. සුදු පාලකයින් අතින් මැකීයන සිංහලකමත්, නිගා ලබන බොදු දහමත් ගලවා ගන්නා සටනට නායකත්වය දීමේ කැමැත්තක් තමන් තුළ වැඩී ලියලිතියි උන්වහන්සේට සිතිණි.

                   *            *            *            *

හිඳ සිටි අසුනෙන් නැගී සිටි කිවුලේගෙදර වලව්වේ ඉදිරි පිලේ පියගැට පෙළ මත සිට ඈතින් පෙනෙන කුඹුරු යාය හා ඉන් සීමාවන අඳුරු වනයත්, ඊට ඉහලින් පෙනෙන නිල් කඳු යායත් සිසාරා බැලීය. ගනව වැඩුනු උඩු ‍රැවුල සුරතේ ඇඟිලි තුඩින් දෙපසට පීරා සකසා ගත් ඔහු මදක් නිහඬව සිටියේය.

කිසියම් අවදානම් ගැඟීමකින් සිය හදවත බරව තිබෙනු කිවුලේගෙදරට දැනෙයි. රටේ පාලනය පෙරළා දමන්නට ඇරඹෙන සටනක් කෙසේ අවසන් වේදැයි කිව නොහැකි වුවද, ඒ අවදානම දරාගන්නට සිදුව ඇතැයි ඔහුට සිතෙයි.

'මේක අපට අයිති, අපි උපන්න රට ... පරම්පරා ගණනක් අපි හැදුනෙ වැඩුනෙ මේකෙ හැදෙන දෙයක් කාලා, මේකෙම දුව පැන ඇවිදලා ... අපිට වැඳ වැටෙන්ට අපේම කියලා රජෙක් හිටියා ... රට්‍ටුන්නෙන් අපි ගරු නම්බු ලැබුවා ... ඒ සේරම නැතිවෙන්ට යනකොට මරාගෙන මැරෙනවා ඇරෙන්ට වෙන කරන්ට දෙයක් අපට නෑ ...'

                       *                 *               *                *

'මේක රාජකාරියක් ... ඉංගිරිසි ආණ්ඩුව පෙරලන්ට තනන හොරෙක් අල්ලන්ට අපට නියෝග ලැබිලා තියෙනවා ... ඒක වලක්වන්ට තනන උඹලා ඇන්න ගිහින් මම දඬු කඳේ ලනවා ...'

'මේක බොල අපේ සිංහල රට ... මින් මත්තට අපිව දඩු කඬේ ලන්ට තොටවත්, උලව් ඉංගිරිසි ආණ්ඩුවටවත් බැරි බව දැනගං ... අපිට දැන් අපේම රජෙක් ඉන්නවා ...'

බකිනිගහවෙලගේ ආවේගාත්මක හඬින් පොළඹවන ලද අවට ‍රැක සිටි සිංහල පිරිස, කෙමෙන් හජ්ජි ඇතුලු පිරිස වෙත සමීප වෙමින් සිටියහ. තව දුරටත් ප්‍රමාද වීම තම අවාසියට හේතුවන බව සැනෙකින් වටහාගත් හජ්ජි, පිරිස මෙහෙයවන බකිනිගහවෙල රාළ වෙතම නෙත් රඳවා ගනිමින් සුරත ඔසවා පි‍ටුපසින් සිටි තම පිරිසට සන් කළේය.

                        *                   *                    *                    *

'ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට යටත් කරගත්තේ උඹලාගෙම නායකයින්ගෙ ඉල්ලීම නිසා ... උඹලාගෙ රජතුමා කරපු අමනුස්ස හිංසාවලින් උඩරට වැසියො බේර ගන්ට ... සිංහලකමත්, බුද්ධාගමත් ආරක්ෂා කරලා, වද හිංසා නවත්වන්ට උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසි ආණ්ඩුව බැඳිලා ඉන්නවා ... සාමය ඇති කරලා කන්ද උඩරට දියුණු කරන්ට ඉංග්‍රීසි ආණ්ඩුව දරන වෑයමට  උඹලාත් උපකාර කරන්ට ඕනෑ...'

තානාපතිවරයාගේ අදහස් පෙරළා කීමෙන් කිසිදු පලයක් අත් නොවන බව ‍තෝල්ක මුදලි බැස්ටියන්ට දැනුන ද, ඔහු සිය රාජකාරිය කළ යුතු විය.

'සුද්දගෙ ඔය බන ගිහිං අපේ රට ජාතිය පාවා දීපු මහ නිලමෙලාටම දෙසන්ට කියාපිය ... වඩුගයා මිනී මරාපු බව ඇත්ත ... ඒත් අපේ කුල සිරිත්, ආගම දහම මකන්ට තැනුවෙ නෑ ... රට ජාතිය රකින මුවාවෙන ඇවිත් කන්ද උඩරට ගබඩාගම් පැහැරගෙන, අයබදු පනවලා අපිව හූරං කන එක ද බොල තොපේ උලව් ආරක්ෂාව ...? තව ටික කලක් පනපිටින් ඉන්ට ආසාවක් ඇත්නම් තමන්නෙ බැලයොත් ඇන්න ආපහු හැරෙන්ට කියාපං උඹේ තානාපතියට ... අපට දැං අපේම රජෙක් ඉන්නවා ...'

පුපුරා හැලෙන කොහුකුඹුර දෙස බලා සිටි විල්සන්ට කැරළිකරුවන් සමග සාමයක් ඇතිකර ගැනීමේ අදහස මුලුමනින්ම තම සිත තුලින් මැකී යනු දැනිණි. කතාබස් කර සමනය කර ගැනීමේ සීමාව ඉක්මවා කැ‍රැල්ලෙහි ප්‍රචණ්ඩත්වය මෝරා ඇතිබව ඔහු පළමු වරට වටහා ගත්තේය.

                         *                    *                        *                      *

' කෝ මැණිකෙ දරුවො දෙන්නා ... ?' හදිසියේ සිහිපත් වූවාක් මෙන් කැප්පෙටිපොල විමසුවේය.

'අප්පච්චි ආවහම ඇහැරවන්ට කියලා දෙන්නා කලින්ම නිදන්ට ගියා ... ඇහැරවන්ට ද ...?'

'නෑ ... එපා ... ' කැප්පෙටිපොල මදක් නිහඬව සිටියේය. ' රට ජාතිය, ආගම පාවාදෙන ගිවිසුමකට අත්සන් තියලා,  පරගැත්තෙක් විදිහට මේ කරන රාජකාරිය මගෙ හිතට ලොකු බරක් මැණිකෙ ... එක කුස උපන්න මගෙ සහෝදරී දරු පැටවුනුත් එක්ක මරාදාපු, උන්මන්තකයෙක් විදිහට රට කරවපු වඩිගයාගෙ පාලනය ඉවරයක් කරන්ට මිසක්, වෙන වාසි ප්‍රයෝජනයකට මම ඒ උලව් ගිවිසුම අත්සන් කලේ නෑ ...'

'ඒක ඒ වෙලාවෙ හැමෝම එකඟ වෙලා ගත්ත තීරණයක් නේ ... අපෙ ඇත්තො .. 'සිය සැමියාගේ සිත සනසන අටියෙන් එතනහාමි කීවාය.

'මට වෙලාවකට මේ රාජකාරිය අතහැර දාන්ට හිතෙනවා මැණිකේ ... ' කැප්පෙටිපොල ආවේගශීලීව කීවේය.

                       *                            *                         *                         *

'කැ‍රැල්ලට එකතුවෙලා ඉන්න ගම්මු තමන්ගෙ දරු පවුල්, වී කුරහං සේරම කැලේ හංගලා ... තත්වය පාලනය කරගන්ට තියෙන එකම විදිහ ගම් දොරවල් ගිනි තියලා වනසන එක .., අපි ඒක හෙටම පටන් ගන්නවා ... ' තමා යටතේ වූ හමුදා කණ්ඩායම්වල අණ දෙන නිලධාරීන් කැඳවූ මැක්ඩොනල්ඩ් දැනුම් දුන්නේය.

' ඒ වගේම අපිට ඉදිරි කාලයට උවමනා ආහාර හැකිතරම් ‍රැස් කරගන්ටත් සිද්ද වෙනවා. ගම්වල ඉතිරිවෙලා තියෙන වී කුරහං, හරකාබාන වගේ ආහාරයට ගන්න පුලුවන් දේ සේරම ගේන්ට ඕනෑ ...' රිචි සිහිපත් කළේය.

                       *                              *                       *                           *

'වෙල්ලස්සෙ කැ‍රැල්ලට එකතුවෙලා ඉන්න සේරම දැන් බලාන ඉන්නෙ යුද්දෙකට නායකත්වය දෙන්ට පුලුවන් උඩරට සිංහල නිලමක්කාර ඇත්තෙක් රජ්ජුරුවන්ට එකතු වෙනකම්... ' පුංචිරාල තම සිත තුළ සඟවාගත් යටි අරමුණක් ඇතිව කතාකරන්නේයැයි කැප්පෙටිපොලට වහා දැනිණි. ඔහුගේ කතාවෙහි කිසියම්  ඇරයුමක් ද ඇත්තේයැයි ඔහුට සිතෙයි.

'උඩරට ගිවිසුමට අත්සන් තියලා ඉංග්‍රීසි ආණ්ඩුවට එකතු වෙලා ඉන්න නිලමක්කාරයෙක් කැ‍රැල්ලට එකතු උනොත්, උන්දැට තමන්ගෙ රට ගම දේපල විතරක් නෙමෙයි අඹුදරුවොත් නැත්තටම නැති වෙලා අන්තිමට දංගෙඩියටත් බෙල්ල තියන්ට සිද්ද වෙනවා නියතයි ...' කැප්පෙටිපොල අනාගතය දකිමින් කීවේය.

'රට ජාතිය ආගම වෙනුවෙන් ඊට වඩා දේවල් උනත් කැප කරපු උත්තමයො ඉතිහාසය හිටියා අපෙ නිලමෙ ඇත්තො ...'

'පුංචිරාල ... ‍තෝ මට ඉතිහාසයත් උගන්නන්ටද තනන්නෙ ...? කැප්පෙටිපොලගේ  උස් හඬ ඉදිරියේ පුංචිරාල කරබා ගත්තේය.

                           *                        *                     *                        *

'අපේ රාජෝත්තමයා ගැන විස්වාසය තියලා අපිත් එක්ක උන්වහන්සෙ ලඟට යන්ට එන්ට අපෙ හාමුදුරුවනේ ... එහෙම නොවුනොත් ..'

'එහෙම නොවුනොත් ...? ඇයි තොපි මක් කරන්ටද ...?'

කොහුකුඹුර කැප්පෙටිපොල වෙත පිළිතුරක් දෙන්නට පෙර දෑත් එක්කොට ළයමත තබා වැඳ ගත්තේය. 'තරහා අවසර අපෙ හාමුදුරුවනේ ... පන්දහසක් කල් පවතින ආගම, රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සෙගෙ හිස ගෙනිහින් අපේ රාජෝත්තමයාගෙ දෙපා මුළ තියනවා ඒකාන්තයි ...'

කැප්පෙටිපොලගේ මුවට පළමුවරට මද සිනහවක් නැගුනේය. 'මේ මොනරවිල මැරෙන්ට බය ඇති මිනිහෙක් නොවෙයි බොල. .. සුද්දගෙ තුවක්කු කෙටි හත අටකුත් ඇන්න දෙතුන් සීයක් මුණ ගැහෙන්ට ආවෙ සිංහලයෙක් හැටියට තොපිත් තොපේ රජ්ජුරුවො ගැනත් විස්වාසයෙන් ..' කැප්පෙටිපොල මදක් නැවතී දිගු හුස්මක් ගෙන ළය පුරවා ගත්තේය. 'මගෙ නායකත්වය නිසා එක මොහොතකට හරි ආගම, රට ජාතිය ‍රැකෙනවා නම් මගෙ අඹු දරුවො ... දේපොල ... ජීවිතය ගියත් ඒ යුතුකම ඉෂ්ට කරනවා ...'

කැප්පෙටිපොල ආපසු හැරී තම පිරිස දෙස බැලුවේය. ඔව්හු සියල්ලෝම මුව අයාගත්වනම දෑස් දල්වා තමන් දෙස බලා සිටිනු ඔහුට පෙනිණි. ඉදිරිපස බැලූ ඔහුට කොහුකුඹුර ඇතුලු පිරිස ද තම මුවින් අවසන් තීන්දුව කියැවෙනතෙක් බලා සිටිනු පෙනේ.

'මගෙ හිස උඹලට ලැබෙන්නෙ නෑ ... මින් මත්තට මගෙ නායකත්වය ලැබෙයි ...'

පිරිස මොහොතක් තුෂ්නීම්භූතව සිටිනු ද, අනතුරුව සියල්ලන්ම එක්ව තමන් ඉදිරියේ බිම ඇද වැටී වැඳ නමස්කාර කරනු ද කැප්පෙටිපොල බලා සිටියේය. නැගී සිටි සිය ගණනක් වූ පිරිස සිය දුනු හී, කඩුපත් අහසට ඔසවා ලෙළවා නැගූ රණගොස බොහෝ වේලාවක් පවතිමින් ඈත නමුණුකුල හා ලුණුගල කඳුවල වැදී දෝංකාර දුන්නේය.

                         *                      *                     *                         *

'අපි ඒ සටන ගෙනගියේ කාගෙවත් දෙයක් කඩා වඩා ගන්ට නොවෙයි ... පරම්පරා ගණනක් තිස්සේ භුක්ති වින්ද නිදහස ‍රැක ගන්ට විතරයි අපට උවමනාවුනේ ... මිනිහෙකුට උපන්න දා ඉඳලා දැනුන නිදහස එක පාරටම නැතුව ගියහම මරාගෙන මැරෙන්ට හිතෙන එක අරුමයක් නෙමෙයි ...' තමන් රඳවා සිටි සිර කුටිය වෙත පැමිණි හමුදා වෛද්‍ය හෙන්රි මාෂල් ට කැප්පෙටිපොල කීවේය. 'කැ‍රැල්ලට එකතුවුන හැම නායකයෙක්ම සටන් කළේ සිය කැමැත්තෙන් ... කාගෙවත් බල කිරීමකට, ලාබ ප්‍රයෝජනයකට  නෙමෙයි ... '

'ඒත් මොනරවිල, සටන්වලදි කැරළිකරුවන් නිතරම පැරදුනා ... ඒ බව මුළදිම තේරුම් ගත්තා නම් ලොකු විනාශයක් වලක්වා ගන්ට තිබුනා ...' හෙන්රි පිළිවදන් දුන්නේය.

'අපි සටන් කලේ හේවායන් මරලා සටන දිනාගන්ට නෙමෙයි ... ඉංග්‍රීසි පාලනයට අපේ විරෝධය පාලා ආපහු යවාගන්ට විතරයි ... මිනී මරන්ට පුහුණු කරපු හමුදාවක් එක්ක සටන් කලේ එදිනෙදා ගොවිතැන් බතක් කරගෙන ඉතාම සාමකාමීව හිටපු පිරිසක් ... හාවෙක් මීමින්නෙක් වත් මරාගන්ට උන්ගෙන් වැඩි දෙනෙක් පුරුදුවෙලා හිටියෙ නෑ ... ඒ වගෙ පිරිසක් යුද්දෙකදි පැරදෙන එක බලාපොරොත්තුවෙන්ට ඕනෑ දෙයක් ...' කැප්පෙටිපොල කීවේය.

                             *                  *                       *                        *

කැප්පෙටිපොල ගේ හා මඩුගල්ලගේ හිස් ගසා දැමීමෙන් පසු යන්නට පිටත් වූ ලුතිනන් මැකන්සි ආපසු හැරී කැප්පෙටිපොල ගේ කවන්ධය මත තබා තිබූ හිස දෙස බැලුවේය. ප්‍රාණය නිරුද්ධව තිබුන ද, අඩවන්ව තිබූ කැප්පෙටිපොල ගේ දෑසෙහි ඒ මොහොතේ ද ඔහු දු‍ටුවේ සිරකරුවෙකු ලෙස කැප්පෙටිපොල ඔහුට භාර වූ තැන් සිට අවසානය දක්වාම ඔහුවෙත වූ උපශාන්ත, පෙනුමයි. සිය රට, ජාතිය, හා ආගම වෙනුවෙන් දිවි දුන් ජන නායකයෙකුගේ උදාර ප්‍රභාව, මියගිය ද කැප්පෙටිපොල ගේ මුහුණේ නො අඩුව ඇත්තේයයි ඔහුට සිතිණි.

බ්‍රිතාන්‍ය කිරීටයට එදිරිව කැරළි ගසා හිස් ගැසුම් කෑ අන්‍ය ජාතිකයෙකුට ආචාර කරන්නට ඉංග්‍රීසි ජාතික සොල්දාදුවෙකු ලෙස ලුතිනන් මැකන්සිට අවසරයක් නොතිබුනද, ඔහු සිතින් මොනරවිල කැප්පෙටිපොල ඉදිරියේ සීරුවෙන් සිට සිය ආචාරය පුද කළේය.


                               *                   *                        *                       *

                             යාලුවනේ මගේ 'මොනරවිල' පොත, ජනවාරි 29 වැනි අඟහරුවාදා පෙරවරුවෙ , මරදානෙ ආනන්දය ඉස්සරහ එස්. මහින්ද හිමි මාවතේ දයවංශ ජයකොඩි සහ සමාගමේ දී එලි දැක්වෙනවා. විවේකයක් ඇත්නම් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්න.


92 comments:

  1. උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  2. මොණරවිලට සුබ පැතුම් ....

    ReplyDelete
  3. හොද වැඩක,අපේ නියම අතීතය මේ අන්දමින් රැකගත් යුතුයි.ඒත් තාම මොනරවිල දේශද්‍රෝහියෙක් කියලා සුද්දෝ පළකරපු ගැසට් නිවේදනය නිවැරදි කරන්න අපේ උනාට බැරි උනා නේද ?මා වැරදිනම් නිවැරදි කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ...! 2011 ජුලි 22 ඒ ගැසට් එක අවලංගු කරන නිවේදනයට ජනාධිපති තුමා අත්සන් කරන බව කියලා තිබුනා. ඒක සිද්ද උනාද කියලා හරියටම දැනගන්න නෑ. ඒ ගැන හොයලා බලන්න වටිනවා මලේ. මම ආයෙත් කොමෙන්ට් එකක් දාන්නම්.

      Delete
  4. උණුසුම් සුබ පැතුම් ගාමිණි අය්යේ... එදාට අනිවා එන්නම් එතෙන්ට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ, විවේකයක් ඇත්නම් එන්න, මුණ ගැහෙන්න අවස්ථාවක්, උත්සවයක් නම් නෑ. ...!

      Delete
  5. මචං. අහන්නත් සන්තෝෂයි. දකින්නත් ආසයි. ලඟ පාතක හිටියා නම් එන බව උඹ දන්නෙවනේ. ජයම වේවා! ඇත්තට උඹ අතින් තවත් පොත් ලියවෙන්න ඕනෙ. මේ මදි.

    උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ ... උඹ ලංකාවෙ හිටියනම් අනිවාර්යයෙන්ම එන බව මම දන්නවා..!

      Delete
  6. දයබර සොයුරාණෙනි, ඔබට මගේ උනුසුම්ම උනුසුම් සුබ පැතුම්!!! ඔබට ජය!

    ReplyDelete
  7. උණුසුම් සුභ පැතුම් මගෙනුත් ඔන්න.

    ReplyDelete
  8. සේරටම කලින් කියන්න ගාමිණි අයියා පොත එළි දක්වන්නේ මේ දිනවලින් කවදාද කියල..!
    1. 2016 පෙබරවාරී 29
    2. 2013 ජනවාරි 29
    3. 2013 පෙබරවාරි 28
    4. වෙනත්ම දිනයක...!

    පෝස්ට් එක දැක්ක ගමන්ම ඒක සම්පූර්ණව කියවන්නත් කලින්ම පොතක් ලැබෙන්නේ කවද්ද බලන්න ඉක්මනින්ම පහලට පහලට යනකොට දැක්කා පොත් එළි දක්වන දවස. ඉක්මනින්ම 'කැලැන්ඩරේ බුක් කරන්න' ගූගල්ට කිව්වහම මිනිහ මට හිනාවෙලා අහනවා 2016 කියල.

    ගාමිණි අයිය කවදත් ඉහලින්ම වැඩේ කරන කෙනෙක් නිසා, පෝස්ට් එක ගැන කතා කරනවට වඩා පොතම කියවල ඒ ගැන කතා කරන එක වටී කියල හිතෙනවා.

    සුභපැතුම් ගාමිණි අයියා...!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං. මම පෙබරවාරි 29 කිව්ව ගමන් අපේ ගෙදර ඉන්න මහ මීටරේ නොහොත් දීපා ඇහුවා, "මොනවා මේක leap year එකක්ද?" කියලා කැලැන්ඩර් කීපයක් බලලා 'මේ ගාමිණී අයියටත් ඔයාට වැඩිය පිස්සු' බව declare කලා මචං. :D

      Delete
    2. බන්දුල මලේ, හෙන්රි මචෝ ... වයර් මාරුවෙලා දිනේ වැරදියට දාලා තිබුනේ පොත එන්නේ ජනවාරි 29 දා. (හෙට අනිද්දා). ඔන්න මම නිවැරදි කළා. පනස් පහ පැනපු මැන්ටලේ නේ මලේ.

      දීපා නංගි හරියටම හරි ..!

      Delete
    3. කොළඹ එනකොට දවල් වෙලා....!

      Delete
  9. සුබ පැතුම් ගාමිණී අයියා.

    ඇත්තටම පෙබරවාරි 29 ද ජනවාරි 29 ද?

    ReplyDelete
    Replies
    1. ජනවාරි 29 මලේ ... වයර් මාරුවෙලා තිබුනේ. ස්තුතියි ...!

      Delete
  10. මගෙනුත් සුබ පැතුම්
    එදාට එන්න තමයි උපරිම උත්සාහය

    ReplyDelete
  11. සුභ පැතුම් .....:)

    මාත් දිනේ වැරදි බව දැකලා කමෙන්ටුවක් දැම්මා.කනෙක්ශන් අවුලක් නිසා ඒක වැටිලා නෑ නෙ. දැන් හරි.ජනවාරි 29 කියන්නෙ හුගක් සුභ දවසක් නෙ. :D

    ReplyDelete
    Replies
    1. හදිස්සියට දිනේ වැරදුනා ... ස්තුතියි නිසුපා නගේ ...!

      Delete
  12. ගාමිණී අයියා,
    සත්තමයි බං ඇඟ හීතල වෙලා යනවා අපේ මිනිස්සු කරපු දේවල් දකින කොට. මේවා අපේ දරුවන්ට පෙන්නන්න ඕන. ස්තුතියි උඹට මේ කළ උදාර මෙහෙවරට. එන්න බැරි වේවි එදාට. ඒත් හදවතින් ඒ වෙලාවට උඔත් එක්ක ඉන්නං. උඹට වගේම පොත ලියද්දි නිහඬව පැත්තක ඉඳගෙන මහා මෙහෙයක් කළ පවුලේ සැමටත් මගේ ගෞරවය.

    ReplyDelete
    Replies
    1. 1818 විමුක්ති අරගලය ගැනත්, මොනරවිල කැප්පෙටිපොල චරිතය ගැනත් කියවද්දි අපි කියුබානු විප්ලවය, කස්ත්‍රෝලා, චේලා පරමාදර්ශ හැටියට ගන්නේ ඇයි කියලා හිතෙනවා. ඇත්තටම දය්යා මලේ අපි මෝස්තරයක් හැටියට ඒ චරිත ගැන කතා කළාට අපේම රටේ ඒ වගෙ චරිත හරියට අධ්‍යයනය කරන්නෙ නෑ.

      Delete
  13. මං නම් දින නිවැරදි කලාට පස්සේ ආවේ ඕං :D
    සුබ පැතුම් ගාමිණි අයියේ..!
    පුළුවන් නම් වනජීවී අත්දැකීම් කැටි කරලා කතාවක් ලියමුකො බ්ලොග් එකේ. කොටස් කීපයකට යන එකක් විදිහට.

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනෑ මලේ ... ඉඩ ලැබෙන විදියට ලියන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  14. සතියෙ වැඩ දවසක් නිසා එන්න නම් වෙන්නේ නෑ.. සුභ පැතුම්.. ආයේ පොත් ගන්න ගිය වෙලාවක පොත ගන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ මලේ .. පොත බලලා කොමෙන්ට් එකක් දාන්න..

      Delete
  15. පහු ගිය දවසක නාරාහේන්පිටදි බස් එකෙන් බැහැලා යද්දි මේ ගාමිණි අයියද නැද්ද කියලා හිත හිතා හිටියට කතා කලේ නෑනොව මම..
    බලමු මෙදා පාර අල්ල ගෙන හොඳවයින් දෙකක් කතා කරන්න චාන්ස් එකක් එයිද කියලා එහෙනම් !
    හදවතින්ම සුබ පතනවා අයියේ !

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න එන්න මලේ .. ස්තුතියි සුබ පැතුමට ...!

      Delete
  16. මොණරවිලලා වගේ අය ලේසියෙන් ඇති වෙන්නෙත් නැහැ.. මේ රටේ එහෙම පුද්ගලයෝ ඇති වෙලත් වැඩක් නැහැ තමන්ගේම එවුන් ආයුෂ වැඩියෙනුත් එක්ක කොට කරලා දෙන එකේ.

    දුර බැහැර නිසා එන්න විදියක් නැති වුනත්, අනිවාර්යයෙන් පොත හොයා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. මොනරවිල වගේ චරිත ශතවර්ෂෙකට එක්කෙනෙක් බිහි උනොත් ඇති රාමා මලේ ...!

      Delete
  17. මගේ පොඩි පුතා කැප්පෙටිපොල ගැන බොහොම උනන්දුයි.... ඒ සම්බන්ධ පොත පත දුටුවම සොයා කියවනව... මේකත් අනිවාර්‍යයෙන්ම අරන්දුන්නොත් කියවාවි...
    පොත් කඩවලට දානව නේද මහත්තයෝ?
    බොහොම පිං ඉතින්!

    ReplyDelete
    Replies
    1. දයාවංශ ජයකොඩි එකෙන් අනිත් පොත් කඩවලටත් පොත යවනවා. පොත් කඩවලට කියලා ගෙන්න ගන්නත් පුලුවන්, තිස්ස මහත්තයා.

      Delete
  18. එන්න වෙන්නෙ නෑ. ඒත් උණුසුම් සුබ පැතුම් පිළිගන්න..... පොත් ගන්න වෙලාවක අරගෙන කියවලා වැඩි විස්තර කියන්නම්!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මලේ පොත කියවලා කොමෙන්ට් එකක් දාන්න ...

      Delete
  19. godak pin me karapu wdeta.mata dan hithune kappatipola nilame ada kale hitiyanam kattiya jathi wadiyek agam wadiyek kiyala kiyaaida dannena.magen suba pathum.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විස්මිත මලේ, ජාතියක් හැටියට මූණපාන්න වෙන අනතුරක් හඳුනාගෙන කටයුතු කරපු හැම කෙනෙකුටම ඒ වගෙ චෝදනාවලට ලක්වෙන්න සිද්ද වුනා.

      Delete
  20. අලුත් පොතට මාත් ඔන්න සුබ පැතුම් එකතු කරනවා.
    හැබැයි ඕක කියවන්න කලින් මට අහිමි වන මං කියවන්න ඕනෙ.
    ඊට පස්සෙ ඕකත් අරගෙන කියවන්නම්.
    170 වැනියා විදිහට අද දවසෙ දි අයියගේ බ්ලොග් එකට එකතු වෙන මං මේ දාන්නෙ මගේ පළමු වෙනි කමෙන්ටුවයි........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ, පොත් කියවලා කොමෙන්ට් එකක් දාන්න ..

      Delete
  21. නියමයි. උණුසුම් සුබ පැතුම් අයියේ... ඉක්මනටම පොත ගන්න ඕන.

    ReplyDelete
  22. මගෙනුත් උණුසුම් සුභපැතුම්....!!
    පෝස්ට් එකේ ටික කියෙව්වාම පොත අරගෙන කියවන්න ආස හිතුණා.. ඉඩ ලැබුණු වෙලාවක අරං කියවන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමාට ... පොත කියවලා කොමෙන්ට් එකක් දාන්න.

      Delete
    2. අයියෝ... මට ඔය එතුමා මෙතුමා කෑලී ඕන නෑ.. මමත් තමන්ගේ පාඩුවේ රස්සාවක් කරන් ඉඩ ලැබෙන විදියට බ්ලොගකුත් ලියං ඉන්න පොඩි මිනිහෙක්

      Delete
  23. ගාමිණි අන්කල් අනිවා පොත මම ලංකාවට ආව ගමන් ගන්නවා. හම්බ උනේ නැත්නම් කොපියක් තියන්න ගෙදරට ඇවිත් හරි අරන් යන්නම්. මගේ උණුසුම් සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුතා ... පොතක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

      Delete
  24. උණුසුම් සුභ පැතුම්!
    ආයෙ කතා දෙකක් නෑ මේ පොතනම් ගන්නවමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්පන මලේ ... පොත කියවලා කොමෙන්ට් එකක් දාන්න ...

      Delete
  25. අපේ අයට අමතක වෙලා යන ඉතිහාසය ගැන/ දැනුම පිපාසයෙන් දුවන අයට මේ පොත මහත් පිටිවහලක් වෙයි. උපුටා ගෙන තියෙන කොටස්වලින්ම පොතේ රසවත් භාවය ගැන අදහසක් එනවා. ඔබතුමාගේ අළුත් පොතට මගේ උණුසුම් සුභ පැතුම්!

    අර චන්දන කියනවා වගේ අලුත් ආරක කතාවකුත් නිම වූවානම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි මලේ .. නවකතාවක් විදියට ලියවුනාට 'මොනරවිල' පොතට ඇතුලත් වෙන්නේ සත්‍ය තොරතුරු විතරයි. ඒ නිසා ඒක කියවලා දැනුම ලබන්නත් පුලුවන්.

      වනජීවී කතාත් ලියන්න හිතාගෙන ඉන්නවා මලේ, කාලය ලැබෙන විදියට.

      Delete
  26. කිරි මහත්තයJanuary 27, 2013 at 4:05 PM

    මාරු තේමාව,සුද්දගේ ප්‍රජත්නත්රවාදයේ සහ මානව හිමිකම් වල නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙන්නේ 1818 කැරැල්ලේ දී uwa වෙල්ලස්ස විනාශ කරපු හැටි කියෙව්වහම . මුළු හදවතින්ම සුබ පතනවා . පොත online order කරලා ගෙන්න ගන්න පුලුවන්ඩ් කියල කියනවද

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසීන් ඌව වෙල්ලස්සෙ කරපු විනාශය නිසා ඒ පලාත්වල ඇතිවුණු පසුබෑම තවමත් දකින්න තියෙනවා.

      සුබ පැතුමට ස්තුතියි මලේ. දයාවංශ ජයකොඩි ප්‍රකාශකයන්ගෙ පොත් 'කප් රුක' වෙබ් සයිට් එකෙන් ඇණවුම් කරන්න පුලුවන්. ඒත් තවම අලුත් පොත කප් රුක සයිට් එකට වැටිලා නෑ වගේ. පහල ලිංක්වල ටික දවසකින් චෙක් කරලා බලන්න.

      http://dayawansajayakody.com/
      http://www.lanka.info/shops/booksStore/SrilankaBooksBestSellers.jsp

      Delete
    2. කිරි මහත්තයාFebruary 2, 2013 at 10:31 PM

      පින් සිද්ද වෙනවා , මම online order කරන්නම් . දිගටම ලියාගෙන යන්න.

      Delete
  27. අලුත්ම පොතට උණුසුම් සුබ පැතුම්!!!
    අද තමා මුලින්ම comment කලේ. වන කතා කියවන්න කැමති නිසා මේ බ්ලොග් එක හිතට ඇල්ලුව. පෝස්ට් ඔක්කොමත් කියෙව්ව. ඉඩ ලැබෙන විදිහට තව තව ලිපි දාන්න :)
    ලියපු පොතුත් අරගෙන කියවන්න තමා හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි දුව ...! හුඟක් පුස්තකාලවලත් මම ලියාපු පොත් තියෙනවා. කියවලා කොමෙන්ට් එකක් දාන්න.

      Delete
  28. සුබ පැතුම් ගාමිණී... වෙලාව කීයටද කියලා දාන්න . මම එන්නම්,ඔයාව හුමුවෙන්නත් අසයි.

    ReplyDelete
    Replies
    1. උදේ 10.00 - 11.00 අතර මම දයාවංශ එකේ ඉන්නවා. විවේකයක් තියෙනවානම් ඇවිත් යන්න එන්න. මුණ ගැහෙන්න ලැබුනොත් සතුටක්.

      Delete
  29. සමරකෝන්අය්යා, උණුසුම් සුබ පැතුම්. පුළුවන් වුනොත් එනවා...වෙලාව කීයද

    ReplyDelete
    Replies
    1. භාතිය මලේ , උදේ 10.00 - 11.00 අතර මම දයාවංශ එකේ ඉන්නවා. කාලෙකින් දකින්න ලැබුනෙ නැති නිසා මුණ ගැහෙන්න ලැබුනොත් සතුටක්.

      Delete
  30. මගේ උණුසුම් සුබ පැතුම්.. ලංකාවට ආ වහාම අරන් කියවනවා සත්තයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලංකා ...! (මගෙ නංගිගෙ නම ලංකා, ඒකි බැඳලා ඉන්න මස්සිනා මල්ලිගෙ නම ලක්ප්‍රිය)

      Delete
    2. හරිනේ ඉතිං, ලංකාවට ප්‍රිය නිසානේ බැඳගෙන තියෙන්නේ...... :D

      Delete
  31. 27 වෙනිදා මේ පෝස්ට් එක දැක්කේ. අත්‍යාවශ්‍ය ම වෛද්‍ය වාර්තා වගයක් ගන්න 28 උදේ දවල් යන්න වෙලා තිබුනා. නැත්නම් ඇවිත් යන්න එනවා........ :(

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ මලේ .. අපි දවසක මුණගැහෙයි ..

      Delete
  32. සුභ පැතුම් ගාමිණි අයියෙ... තව තවත් හරබර පොත් රාශියක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට පතමි.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි මලේ ...! 27 දා ගම්පහ ගෙට්‍ටුවේ පින්තූර බලලා සතු‍ටු උනා. හෙන්රියා (dude) වගෙ තව මැන්ටලයක් සෙට් උනානම් මටත් එන්න තිබුනා. ලබන අවුරුද්දෙ බලමු.

      Delete
  33. උණුසුම් සුභ පැතුම් පිරිනමන අතර මේ පොත කියවන්න ඕන නියම රස ලබා ගැනිමට.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දරුවෝ .. පොත කියවලා කොමෙන්ට් එකක් දාන්න.

      Delete
    2. දරුවෝ කියන කොට හිතට පුදුම තරම් සනිපයක් දැනුනා.අවුරුදු 15 ඒහා තාත්තා අමතනවා දැණුනා.ඔහු කොහේ හෝ සිට මගේ දෙස බලාගෙන ඇති.

      Delete
    3. අපේ දෙමව්පියො පේන්න නොහිටියට ඔවුන්ගෙ ආදරය සදාකාලිකවම අපිත් එක්ක ‍රැඳිලා තියෙනවා දුව ...

      Delete
  34. පොත හොයාගන්න උත්සහ කරනවා ..ලැබුණු වහා කියවා කොමෙන්ටුවක් කොටන්නම් ..ඔබට සුභ පැතුම් !

    ReplyDelete
  35. අළුත පළ වූ පොත වෙනුවෙන් මගේ සුභ පැතුම් ඔබතුමාට. මං පුංචි කාලේ ඉඳන් ආදරේ කරපු, ගරු කරපු කෙනෙක් ගැනයි ඔබතුමා මේ පොත ලියලා තියෙන්නේ. අදයි ලිපිය දැක්කේ. අනිවාර්යයෙන්ම පොත අරගෙන කියවන්න හිතාගත්තා. ඓතිහාසික නවකතා වලට මම හුඟක් කැමතියි. මේ ලඟකදි දෙවෙනි වතාවටත් ජයසේන ජයකොඩි මහත්මයාගේ 'පරසතුරෝ' පොත කියෙව්වා. ඒකත් මේ 1818 කැරැල්ල පසුබිම් කරගත් ඓතිහාසික නවකතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දරුවෝ ... මම කියවපු හොඳම ඓතිහාසික නවකතා ලියලා තියෙන්නේ ඩබ්ලිව්. ඒ. ද සිල්වා. ඒ පොත් වල, ඒ යුගය අපූරුවට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.

      Delete
  36. හොද ලිපියක් මාමා.මමත් ආසම විසයක් තමයි ඉතිහාසය.තවත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  37. ස්තුතියි, යසිරු පුතා ...! සිංහපීඩියාවෙ ඉතිහාස කතන්දර ටික කියවාගෙන යනවා ...

    ReplyDelete
  38. කැම්පස් එකේ විභාග කටයුතු යෙදිලා තිබුණු නිසා සහභාගි වෙන්න බැරිවුණු එක ගැන කණගාටුයි අයියා. ඒත් වැඩේ හොඳට යන්න ඇතියි කියලා හිතනවා.

    පොත ගැන යමක් කිව්වොත් විල්බාව පිළිබඳව නම් මගේ පැහැදීමක් නැහැ. ඒ වගේමයි ඔහුව රාජ උරුමය ඇත්තෙක් විදිහට කියාපාපු අය පිළිබඳවත් මගේ නම් තියෙන්නේ අප්‍රසාදයක්. ඒත් මේ ගැන නොදැන මෙයාලත් එක්ක එකතු වුණු කැප්පෙටිපොළ නිළමේතුමා පිළිබඳව නම් හිතේ තියෙන්නේ ගෞරවයක්. සමහර විට විල්බාවේ බොරුකාරයෙක් බව දැනගෙන උන්නත් කාලීන අවශ්‍යතාව මත කැප්පෙටිපොළ නිළමේතුමා සඟවාගෙන ඉන්න ඇතියි කියලාත් මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ හසිත මලේ. අපේ බ්ලොග් යාලුවෝ පිරිසක් ඇවිල්ලා සේරම නියෝජනය වුනා. ඒ හොඳටම ඇති.

      පොත සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ සුද්දෝ 1818 කැ‍රැල්ල ගැන ලියාපු රාජකාරි වාර්තා මත. සුද්දංගෙ මතය මිසක් ඒවායින් සිංහල නායකයන්ගෙ සිතුම් පැතුම්, සැබෑ ක්‍රියා කලාපය පිළිබිඹු වෙන්නෙ නෑ. ඒ සිදුවීම් ගැන අපේ පැත්තෙන් කරුණු ලිඛිතව වාර්තා වෙලා නෑ. සමහර විට ඒ කාලේ ලියවුණු තල්පත් වගේ දේවල් හැංගිලා තියෙන්න පුලුවන්. ඒවා හොයාගෙන ගිහින් ගවේශනයක් කරන එක ලේසි නෑ. සුද්දො ලියාපු දේවල් මත අපි අපේ නායකයින් තක්සේරු කරන එක සුදුසු මදි කියලයි මට හිතෙන්නේ.

      විල්බාව හාමුදුරුවෝ රජකරන්න, බලෙන් පොළඹවාගත්තේ කිවුලේගෙදර බව තැනක කියවෙනවා. කැප්පෙටිපොල නිලමෙ තුමා විල්බාව රජතුමා රාජවංශිකයෙක් නොවන බව දැනගෙන හිටපු බව නම් පැහැදිලියි.

      කොහොම උනත් 1818 කැ‍රැල්ල නිසා සිංහල ජාතියට දැවැන්ත පූර්වාදර්ශයක් නිර්මාණය වුනු බව නම් කියන්න පුලුවන්.

      Delete
    2. @ ගාමිණී විජිත් සමරකෝන්

      ඉස්කෝලේ යන කාලේ මේ ගැන එහෙම් මෙහෙම් කිව්වාට හොඳ අවබෝධයක් 1818 කැරැල්ල ගැන ලබාගන්න පුලුවන් වුනේ තෙන්නකෝන් විමලානන්ද මහත්මයාගේ උඩරට මහ කැරැල්ල පොත් කියවීමෙන්.

      බ්‍රිතාන්‍ය ලේඛනාගාරයේ වගේම අපේ රාජ්‍ය ලේඛනාගාරයේ තිබෙන සාමාන්‍ය ලේඛන වගේම රහස් ලේඛන භාවිතා කරලා නොවැ ඒ පොත් ලියලා තියෙන්නේ. අයියත් ඒ පොත් කියවන්න ඇතිනේ.

      ඒ පොත් කියවලා මට නම් හැඟී ගියේ උඩරට රදළයෝ එකාට එකා නැතුව මරා ගත්තු නිසා වගේම එකෙක් නායකත්වය අරගෙන වැඩ කරද්දී අනෙකා වල කපන නිසා කිවුලේගෙදර අවස්ථාවට අනුව බොරුකාරයෙක් හරි රාජ උරුමය තියෙන කෙනෙක් කියලා ඉදිරිපත් කළේ රදළ නායකයන්ව එකතු කරගන්නය කියලා.

      ඒක සාර්ථක වුණා කියලා පැහැදිලියි කැරැල්ල මුල් කාලයේ රදළයන් ගොඩක් එකතු වුණා වගේම සාර්ථකව ගිය නිසා. ඒත් ඒ බොරුව අහුවෙන බව කිවුලේගෙදර නොහිතපු එකයි මට තියෙන අප්‍රසාදය.

      විශේෂයෙන්ම ඇත්ත දොරේසාමි ඉන්දියාවේ ඉන්නවා කියන එක ඉංග්‍රීසීන් පහසුවෙන් හොයාගනී කියන එක වගේම විල්බාවේ කියන හීරළුවෙක් කියන එකත් කොතැනින් හරි හෙළිවෙයි කියලා අහු නොහිතපු එක තමා ගැටලුව.

      කැප්පෙටිපොළ නිළමේතුමා මේ හොරේ තේරුම් ගත්තා වුණත් [මට හිතෙන විදිහට] තැටිය රත්වුණු වෙලේ රොටිය පුච්චා ගන්න ඕනේ කියන න්‍යාය යටතේ දොරේසාමි හොරෙක් කියලා කැරැල්ල අඩාල කරගන්නේ නැතුව වැඩේ කරගෙන ගියා.

      කොහොම නමුත් මම පොදුවේ අපේ රදළ නායකයන්ට තමා දොස් කියන්නේ. එකාට එකා නැතුව වළ කපා ගන්න ගියා නිසා තමා ඔක්කොම කෙළ කළේ. කැරැල්ල වුණත් සාර්ථකව කරගන්න තිබුණු මනා සැලැස්මක් ඇතුව කළා නම්. තැන් තැන්වල එක එක්කෙනාට ඕනේ විදිහටනේ ඒක කළේ.

      අනික රදළයන්ගේ එකාට එකා නැතිකම ආයේ පේන්නේ කැප්පෙටිපොළට පළමු අදිකාරම්කම ලැබුණු එකට අසතුටු වුණු මඩුගල්ලේ ඒක ගැන දොරේසාමිත් එක්ක කතා කරන්න ගිය එකෙන්. ඒකෙන්නේ දොරේසාමි හොරෙක් කියලා අහුවෙන්නේ.

      අන්තිමට ඔක්කෝම ජංජාලේ වෙනවානේ.

      හැබැයි අයියා කිව්වා වගේ අපේ ස්වදේශීය මූලාශ්‍රය හොයාගෙන බැලුවොත් නම් සමහර විට මීටත් වඩා වෙනස් කරුණු හම්බෙයි.

      එහෙම හොයාගෙනලුනේ සූරියප්පෙරුම ලොක්කා කිව්වේ රාජපක්ෂ මුදලිතුමා මේකට මුල් වුණා කියලා :P

      Delete
  39. මගේ සුබ පැතුම්...........!

    පරක්කු උනාට සමාවෙන්න ඕනේ ගාමිනී අයියා. ලංකදීප පත්තරේ පොඩි ආටිකල් එකක් තිබ්බ පොත ගැන. ( ඉන්නෙ බුත්තල නිසා ඉන්ටනෙට් නැත. ගෙදර ආපුහාම තමයි ඉතින් ඉන්ටනෙට් වැඩ ).

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ... ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා, ජයම වේවා ..!

      Delete
  40. පොත අනිවාර්යෙන් කියවනවා. ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා, ජයම වේවා ..!

      Delete