මගෙ යාලුවෝ

Saturday, November 17, 2012

29. මදුරාසියේ කිඹුල්ලු සහ නයි පොළොංගු

ගියපාර පෝස්ට් එකේ කියවුනා වගේ බිලිගිරි රංගාවෙ ඉඳලා මයිසෝරය හරහා ආපහු බැංගලොරයට ඇවිත්, කෝච්චියෙන් මදුරාසියට (චෙන්නායි) එනකොට පාන්දර වෙලා. නවතින්න ලෑස්ති කරලා තිබුනු හෝටලෙන් වෑන් කීපයක් දුම්රියපොලටම එවලා තිබුනු නිසා කරදරයක් නැතිව හෝටලේට ආවා. 

එදා දවස විවේක දිනයක් හැටියට වැඩසටහනේ දක්වලා තිබුනත් කස්ටිය කාමරවලට බෑග්මලු ටික දාපු ගමන්ම වීදි සංචාරය ඇරඹුවා. මීට පෙරත් දෙතුන් වරක් ,මදුරාසියට ඇවිත් දැක පුරුද්ද තිබුනු මට නගරයේ ඇවිදගෙන යනකොට හැමතැනකම වගේ බැංගලොරයෙදි වගේම දකින්න ලැබුනේ අලුතින් සිදුවන නගර සංවර්ධනයේ සලකුණු. දැවැන්ත කුළුණු මත ඉදිවෙන අහස් පාලම්, මෙට්‍රෝ දුම්රිය මං  වගේ ම මාර්ග අතර හරිත උද්‍යානත් ඉදිවෙලා තිබුනා. උද්‍යානවල තිබුණු ජොගිං ට්‍රැක්වල මැන්ටල් ජෝඩු හති දදා, අතපය විසිකරකර ඇවිද්දා, ලංකාවෙ වගේම. දැක්කහම දුකත් හිතෙනවා.

එදා දවස කඩවල් පීරලා අඹුදරුවන්ට රෙදිපිළි, තෑගි බෝග අරගෙන ඊලඟ දවසෙ තමයි කස්ටිය මදුරාසියේ කිඹුල් බැංකුව (Madras Crocodile Bank ) බලන්න ගියේ. කටට පහසුවට, කෙටියෙන් එහෙම කිව්වට ඒකේ නිල නාමය මදුරාසි කිඹුල් බැංකු භාරය සහ උරගවිද්‍යාව සඳහා මධ්‍යස්ථානය (Madras Crocodile Bank Trust and Centre for Herpetology).

මදුරාසියේ සිට කිලෝමීටර හතලිහක් විතර දකුණෙන්, අක්කර අටක විතර භූමියක පිහි‍ටුවලා තියෙන කිඹුල් බැංකුව 1976 දි ආරම්භ කරලා තියෙන්නෙ ඉන්දියාවෙ සම්මානනීය උරග සංරක්ෂණවේදියෙක්වන රොමියුලස් විටේකර් (රොම්) එයාගෙ බාරියාව සායි ත් එක්ක එකතුවෙලා. ඒ වෙනකොට වඳවීමේ තර්ජනයට උපරිමයෙන් මූණපාලා තිබුනු  ඉන්දියානු කිඹුල් විශේෂ තුනට අයත් සත්තු බෝ කරලා ආපහු ස්වාභාවික පරිසරයට මුදා හැරීම තමයි කිඹුල් බැංකුවේ ආරම්භක අරමුණ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ස්වාභාවික පරිසරවල ඇතිවෙලා තියෙන අහිතකර තත්වයන් නිසා දැන් කිඹුල්ලු නිදහස් කිරීම නතර වෙලා තිබුනත් උරගයින්ගෙ සංරක්ෂණයට අදාලවෙන පර්යේෂණ කටයුතු බොහොමයක් එතන කෙරෙනවා. අන්දමන් දූපත්වල හා බටහිර ඝාට් කඳුවැටියේ අගුම්බේවලත් ඊට අනුබද්ධ ක්ෂේත්‍ර පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඒ වගේම සත්වොද්‍යානවලට අවශ්‍ය සතුන් සැපයීමත් කෙරෙනවා. කිඹුල් බැංකුවෙ කෙරෙන සියලු දේ සංචාරකයන් සඳහා විවෘතයි.

බැංකුවෙ තැන්පත් කරලා ඉන්න කිඹුල්ලු
අපි කිඹුල් බැංකුවට යනකොටම ඒකෙ අධ්‍යක්ෂ ඕස්ට්‍රේලියානු ජාතික කොලින් ස්ටීවන්සන් සහ සංරක්ෂණ හා පර්යේෂණ කටයුතු භාර අධ්‍යක්ෂ රවි චෙල්වම් අපිව බොහොම සාදරයෙන් පිළි අරගෙන බැංකුවෙ තැන්පත් කරලා තුබුනු කිඹුල්ලු බලන්න එක්ක ගියා. රවි ලංකාවටත් කිහිප වරක්ම ආපු, හුරු පුරුදු කෙනෙක්.

 ලෝකෙ ඉන්න කිඹුල් විශේෂ 23 න් 18 ක්ම එහි ඉන්න බවත්, ලොව වැඩිම කිඹුල් එකතුව බවත් කොලින්ගෙන් කියවුනා. ඉබ්බන්, කැස්බෑවන් ඇතුළු අනෙක් උරග සත්තුත් එක්ක ඉන්න මුලු සතුන් සංඛ්‍යාව 2500 ක් විතර. වටේට තාප්ප ඉදිකරපු විශාල ‍රැඳවුම් පොකුණුවල කිඹුල්ලු වැඩි දෙනෙක් ඉවුරට වෙලා කටත් ඇරගෙන අව්ව තපිමින් තමයි හිටියේ. එහෙම කටවල් ඇරගෙන ඉන්නේ උන්ගේ ශරීර උෂ්ණත්වය යාමනය (පාලනය) කරගන්නලු.

ඉන්දියානු ගැරියල් කිඹුලා
අපේ රටෙත් ඉන්න හැල කිඹුලා (Marsh Crocodile) සහ ගැටකිඹුලට (Estuarine Crocodile) අමතරව ගැරියල් (Garial) කියලා මාලු මතම යැපෙන කිඹුල් විශේෂයක්  ඉන්දියාවෙ ඉන්නවා. හොම්බ හීනි, දිග නිසාත්, පිරිමි සතාගෙ උඩ හනුවේ නාස් ගැටේ නිසාත් ඌ පහසුවෙන්ම හඳුන ගන්න පුලුවන්. ගංගා නදිය හා ඒ ආශ්‍රිත ගංගාවල විසිරිලා ඉන්න ගැරියල්, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා මේ වෙනකොට අතිශයින්ම තර්ජනයට ලක් වූ සතෙක් විදියට සැලකෙනවා.

වෛද්‍ය ගෞරි, කොලින්, සහායකයෙක් සහ හොම්බෙන් බාගයක් අහිමි කරගත් ගැරියලා


සත්තුන්ගෙ සුබසාධනය පිළිබඳ වගකීම දරන්නේ පශු වෛද්‍යවරියක් වන ගෞරි. ඇය ගෝල බාලයොත් එක්ක ගැරියල් කිඹුලන්ට මාලු කන්න දෙනවා අපිට දකින්න ලැබුනා. එක ගැරියලෙකුගෙ උඩ හනුවෙන් බාගයක් විතරයි තිබුනේ. අනිත් එවුන් එක්ක වෙච්ච රණ්ඩුවකදී හොම්බෙන් බාගයක් කැඩිලා වෙන් වෙලා.  මාලු රිටක අමුණලා තමයි උගෙ කටට එබුවේ. ගෞරි සමහර කිඹුලන්ට කෑම කන්න කතා කළේ උන්ට දාලා තියෙන නමින්මයි. තමන් වෙත විසි කරන මාලු කලබලයක් නැතිව කාලා ආපහු වතුරට යන කිඹුලන්ට 'ගුඩ් බෝයි ... ගුඩ් ගර්ල් .. ' කියලා ප්‍රශංසා කරන්න ඇය අමතක කලේ නෑ. ඒ වගේ විධානයන්ට හා කට හඬට සත්තු පුරුදු කර ගැනීම උන්ව පාලනය කරගන්න පහසුවක් කියලා තමයි ඇය කිව්වෙ.

නයි මුට්ටි
 කිඹුලන් සංරක්ෂණයට අමතරව නයි පොළොංගු සංරක්ෂණය සඳහාත් විශාල වැඩ කොටසක් එතන කෙරෙනවා. ඒ කටයුතුවලට 'ඉරුලා' (Irula ) ගෝත්‍රික ජනයා ගෙ සහභාගිත්වය ලැබෙනවා. ඔවුන් 1972 ඉන්දියාවෙ වනජීවී සංරක්ෂණ පනත නීතිගත වෙන්න ඉස්සර නයි පොළොංගු අල්ලලා විකුණලා ජීවත්වුනු දකුණු ඉන්දියානු ද්‍රවිඪ ගෝත්‍රික පිරිසක්. සත්ව සම් වෙළඳපොළේ නයි පොළොංගුන්ගෙ සමට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉන්දියාවෙ සර්පයින් නීතියෙන් ආරක්ෂිත උනාට පස්සෙ ඉරුලාවන් අනාථ උනාලු. 1978 දි මදුරාසි කිඹුල් බැංකුවෙ රොම් විටේකර් ඒකට විසඳුමක් හැටියට ඉරුලාවන් එකතු කරලා සමුපකාර සමිතියක් හදලා සර්ප විෂ එකතු කරලා විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළාලු.
විෂ දළ

එකතු කරගත් විෂ
ඉරුලාවන් සර්ප විෂ එකතුකරන විදිය අපිටත් දකින්න ලැබුනා. ඉරුලාවෙකුට මුට්ටියක දාලා හිටපු පත තිත් පොළ‍ඟෙක් එලියට අරගෙන උගෙ බෙල්ලෙන් අල්ලලා පුංචි වීදුරු භාජනයකට විෂ එකතු කරගන්න ගතවුනේ විනාඩි කීපයක් විතරයි. ප්‍රතිවිෂ නිෂ්පාදනය කරන ඉන්දියානු ආයතනවලින් ඒ විෂවලට  ලොකු ඉල්ලුමක් තියෙන බව කියැවුනා. සමිතියෙ සාමාජික ඉරුලාවන් කැලෙන් අල්ලගන්න සර්පයින් මුට්ටිවල දාලා තියාගෙන සතියකට එකපාර ගානෙ හතර වරක් විෂ එකතු කරලා, වන සංරක්ෂන නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතෙ ආපහු රක්ෂිත කැලෑවලටම මුදා හරිනවලු. ගෝත්‍රික ජනතාවකගෙ සාම්ප්‍රදායික දැනුම නීත්‍යානුකූල ව්‍යාපාරයකට යොදාගෙන තියෙන හැටි අපූරුයි කියලා මට හිතුනා.


ඊට අමතරව ඉබ්බො කැස්බෑවො විශේෂ රාශියකුත් දකින්න ලැබුනා. සේෂෙල්ස් දූපත්වල ජීවත් වෙන අල්ඩබ්‍රා යෝධ ඉබි තඩියො කීප දෙනෙකුත් හිටියා. (Aldabra Giant Tortoise) ගලපගෝස් යෝධ ඉබ්බන්ට විතරක් දෙවෙනි වෙන උගෙ ක‍ටුව මීටර 1.2 ක් විතර වෙනවා. බර කිලොග්‍රාම් 225 ක්ලු.

යෝධ ඉබ්බො දිහා බල බල ඉන්නකොට අපට ඒ කිට්‍ටුව තියෙන පුංචි ඉබි ‍රැඳවුමක පඳුරක් අස්සෙන් 'ටොක් .. ටොක් .. ' කියලා සද්දයක් ඇහුනා. බලනකොට ඉබි මල්ලි කෙනෙක් නංගියෙක්ව තල්ලු කරගෙන පඳුර අස්සට රිංගනවා. අපි ඉතින් ඒවට ගල් ගහන්න ගියේ නෑ. පින්තූරයක් අරගෙන මාරු උනා. ඉබි මල්ලිගෙ පිටේ තියෙන බොත්තම උගෙ ඇඟේ උෂ්ණත්වය මනින්න සවි කරපු උපකරණයක් කියලා දැනගන්න ලැබුනා. ඒ වෙලාවෙ නම් උෂ්ණත්වය උපරිම වෙලා තියෙන්න ඇති.

ඉතින් මදුරාසි කිඹුල් බැංකුවෙ පැය කිහිපයක හොඳ අධ්‍යයනයකට පස්සෙ අපේ දින දහයක ඉන්දියානු සංචාරයෙ අවසානයටත් ලඟාවුනා. මදුරාසි කිඹුල් බැංකුව කියන්නෙ රොමියුලස් විටෙකර් කියන තනි මිනිහෙකුගෙ හිතේ පැලවුනු අදහසක්. අද ඒක වසරකට මිලියන බාගයක් මිනිස්සු ගිහිල්ලා උරගයින් ගැන, සංරක්ෂණය ගැන කරුණු දැන ගන්න තැනක් බවට පත් වෙලා. ඒ වගේම උරග සංරක්ෂණය සඳහා අවශ්‍ය පර්යේෂණාත්මක තොරතුරු ලබාදෙන තැනක් බවට පත් වෙලා. ඒ ගැන හිතන කොට මට මේ ළඟදි අහන්න ලැබුනු එක කියමනක් මතක්වුනා. 'වෙනසක් කිරීමට ඔබ පුංචි වැඩි යැයි ඔබට සිතේ නම්, මදුරුවෙක් සමග නිදා ගන්න උත්සාහ කර බලන්න ...' මගේ මතකය නිවැරදිනම් ඒක කියලා තියෙන්නේ දලයි ලාමාතුමා.





52 comments:

  1. නියමයි. අර ස්වදේශික ගෝත්‍රික මිනිස්සුගේ දැනුමෙන් වැඩක් ගන්න එක ගැන නම් පුදුම සතුටක් ආවේ. ඒ ගැන කියන්න වචන නෑ. කලබලයෙන් තොරව කියවීම බොහෝ දෙවල් ධාරණය කර ගැනීමට ඉවහල් වෙන බව දේශකයා අත් දැකපු දෙයක්. ඒක ඒ විදියටම උනා මේක කියෙව්වම. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. සංරක්ෂණයේ දී පාරම්පරික ඥානය ගැන විශ්වාසය තැබීම ඉතාම වැදගත් වෙනවා මලේ. ඒ උනාට සංරක්ෂණ ඔස්තාර්ලගෙ බක පණ්ඩිත කමයි, උද්ධච්චකමයි නිසා ඒවාට නිසි සැලකිල්ලක් නෑ.

      Delete
  2. බොහොම ලස්සනයි හොඳයි.වටින විස්තර ටිකක්නේ.මාත් මේ කිඹුල් උයනට ගිහින් තියනවා වතාවක්.
    ආයිත් එන්නම්. ජයම වේවා ...
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  3. ඔය කිඹුල් උයන ඇස් දෙකෙන් දැක ගන්න මමත් පින් කලා නොවැ...

    එක ගොඩේ කළුගල් වගේ පෙරළිලා ඉන්නකොට මුන් පණ තියෙන උන්ද කියලත් හිතා ගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. දිවා කාලයේදි කිඹුල්ලු සාමාන්‍යයෙන් අක්‍රියයි. වැය වෙන ශක්තිය අවම කර ගන්න තමයි උන් වැඩිය දඟලන්නෙ නැත්තේ.

      Delete
  4. ඔන්න දැක්ක ගමන්ම දුවගෙන ආව. කිව්වත් වගේ ඉන්දියාවත් දැන් ටික ටික ඉදිරියට යනවා අපිව පහුකරලා. සත්තුන්ගේ පින්තූර ටිකනම් ඔන්න පංකාදු පහයි. මේ වගේ ලිපි තව තවත් ලියන්නට ලැබේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයා.. ඉන්දියාව බොහොම වේගයෙන් ඉදිරියට යන BRIC රටක් ..! ඒ උනාට උන්ට තවමත් පාර අයිනෙ තාප්පයක් දැක්කහම චූ බර හැදෙනවා.

      Delete
    2. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ

      Delete
  5. ලස්සන විස්තරයක්.. සර්පයින් ගේ විෂ ගන්න හැටි තමයි නියම. ඔහොම ගන්න ගියාම දෂ්ට කරන්නේ නැද්ද.. කොහොමද අල්ලා ගන්නේ උන්ව..?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා සර්පයාව මුට්ටියෙන් බිමට හලලා, ඊට පස්සෙ එල් හැඩයට නවාපු යකඩ කම්බියකින් බිමට තියලා තදකරගෙන, බෙල්ලෙන් අල්ල ගන්නවා හැරෙන්න බැරි වෙන්න.
      අපිට මේක අවදානමක් හැටියට පෙනුනට වෘත්තියක් හැටියට ප්‍රගුණ කරපු කෙනෙකුට අමාරු දෙයක් නෙමෙයි, මලේ.

      Delete
  6. ඩිස්කවරි එකේ තමයි මේ සර්ප කෙස් බලල තියෙන්නේ. ඒත් මේකෙන් හොඳ දැනීමක් ලබා ගත්තා.

    ReplyDelete
  7. මදුරාසි කිඹුල් බැංකුව කියන්නෙ රොමියුලස් විටෙකර් කියන තනි මිනිහෙකුගෙ හිතේ පැලවුනු අදහසක්.

    වෙනසක් කිරීමට ඔබ පුංචි වැඩි යැයි ඔබට සිතේ නම්, මදුරුවෙක් සමග නිදා ගන්න උත්සාහ කර බලන්න

    අපේ රටේ මේ වගේ දේ කරන්න මොන තරම් තියෙනවද ? තමන්ට පුළුවන් තරමින් තමන්ගේ කොටහ කරන මිනිස්සු සුළු පිරිසක් ඉන්නවා තමයි. ඒත් ඒ මිනිස්සු කරන දේ දන්නේ කී දෙනාද ? ඒ මිනිස්සු කරන දේ තවත් වැඩි දියුණු කරවන්න උදවු දීම් තියෙනවද ? අපට සතුටු වෙන්න පුළුවන් පින්නවල ගැන. ඒත් එතන සම්බන්ධවත් හැම දේම සතුටුදායක නැහැ.සමහර වෙලාවට සේවකයෝ අසරණ වෙනවා.

    ඉබි මල්ලියෙකුට වුන වැරදීමක් (වෙන්න ඇති) මේ වීඩියෝ එකේ තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. පින්නවල ගැන නම් සතු‍ටු වෙන්න බැරි ආරංචි පහුගිය කාලේ ලැබුනා.

      වීඩියෝ එක බැලුවා මලේ. එක්කෝ ඌ නම් මහ වල්ම වල් ඉබ්බෙක් ...! නැත්නම් ඇහැකණ පේන්නෙ නැතුව පැත්ත මාරු වෙලා..!

      Delete
  8. මේ තැනට අපිත් එක්කර ගෙන ගියා වගේ දැනෙනවා , ඒ තරම්ම සජීවී සටහනක් ...

    ස්තුතියි
    මම සොඳුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ...!

      අසපුව පැත්තේ හදිසියේ දුවලා ගිහින් ආවා ... පස්සේ නිවාඩු පාඩුවේ එන්නම්. වෘත්තීය අත්දැකීම් මේ විදිහට බෙදා හදා ගන්න ලැබෙන එක ලොකු සතුටක් නේද ..?

      Delete
  9. ගාමිණි අයියගෙ විස්තරය නම් නියමයි...

    අර තරුණ ඉබි ලමයි කරන ඒව බලන්න ..වයසක ඇත්තො මොකට ගියාද මන්ද..! :))))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ...!

      මොනවා කරන්නද මලේ .. වයසක ඇත්තො ඉන්න තැන්වල හොඳට හැසිරෙන්න උන් දැන ගන්න එපායැ ...!

      Delete
  10. ජෙරල් ඩරල් ගේ පොත් වල එන විස්තර වගේ.... ගාමිණී අයියත් ඒ ජාතියේ “පොරක්“. අද කතාව කියෙව්වම ඉන්දියාවෙත් ඩරල්ලා ගාමිණී අයියලා වගේ කට්ටිය ඉන්නවා කියලා හිතුනා ඕසෙට.

    ReplyDelete
    Replies
    1. ජෙරල්ඩ් ඩරලුත් ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවෙ මලේ. පස්සෙ කාලෙදි බටහිරට ගිහිල්ලා ඩරල් කරපු, ලියපු දේවල්වල මූලාරම්භය ඉන්දියාව වෙන්න ඇති. ඉන්දියාවෙ තියෙන ඒ විවිධත්වය තමයි මලේ ඒ රටේ වටිනාකම.

      Delete
    2. ගාමිණී අයියා ජෙරල්ඩ් ඩරල්ගේ දේව උද්‍යානයට ගිහිල්ලා තියෙනවද?

      Delete
    3. නෑ මලේ .. මම පොර ගැන අහලා, කියවලා තියෙනවා විතරයි.

      Delete
  11. ඩිස්කවරි චැනල් එකේ ගිය "Crocodile Hunters" මතක් උනා. ගැරියල් කිඹුල්ලුයි, කේමන් කිඹුල්ලුයි කියන්නෙ එකම ජාතියකටද?

    ReplyDelete
    Replies
    1. ලෝකෙ කිඹුල් කාණ්ඩ කීපයක්ම ඉන්නවා. උන්ගෙ ව්‍යාප්තිය වගේම කායික ලක්ෂණත් වෙනස්. කේමන් (Caiman) ඉන්නේ මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ. ඇලිගේටරයො (Alligators) ඇමෙරිකාවෙ සහ චීනෙත් ඉන්නවා, හැල (Marsh, Mugger) කිඹුලා ඉන්දියානු උප මහාද්වීපයට සීමා වෙනවා. ගැට (Salt water, Estuarine) කිඹුලා ලංකාවෙ, ඉන්දියාවෙ ඉඳලා ඕස්ට්‍රේලියාව දක්වාම ඉන්නවා.

      Delete
  12. අපූරු විස්තරයක්. යහපත මුල් කරගෙන එක මනුස්සයෙකුගෙ හිතට ආ අදහස, අද වෙනකොට කොයි තරම් දුර ගිහිල්ලද?
    අර මුට්ටිවල දාලා වැහුවහම සර්පයින්ට හුස්ම ගන්න බැරුව මැරෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි හිටවන පුංචි පැල, අතු ඉති දාලා මහා ගහක් වෙනවා වගේ.

      මුට්ටියෙ කට බැඳලා තියෙන්නෙ රෙද්දකින් නිසා අවුලක් නෑ. මුට්ටිය ඇතුලට වෙලා මාසයක්ම ලැගගෙන ඉන්න නිසා අවශ්‍යවෙන ඔක්සිජන් ප්‍රමාණයත් අවම ඇති නේද?

      Delete
    2. ඕඕ, එහෙනම් වාතය ලැබෙනවා ඇතිනෙ. ඒත් උන්ට කන්න පුංචි සත්තු අල්ලලා දෙන්න වෙනවා ඇති නේද?

      මේ ලිපියෙ හුඟක් හිතට කා වැදුණ කොටස, අර ['වෙනසක් කිරීමට ඔබ පුංචි වැඩි යැයි ඔබට සිතේ නම්, මදුරුවෙක් සමග නිදා ගන්න උත්සාහ කර බලන්න ...' මගේ මතකය නිවැරදිනම් ඒක කියලා තියෙන්නේ දලයි ලාමාතුමා.] කියන ටික. අපි කොයි තරම් දේවල් මග හරිනවද 'ඕවා වෙනස් කරන්න බෑ; ඕක මං කිව්වට අහන කෙනෙක් නෑනෙ....' වගෙ හේතු හින්දා

      Delete
    3. සර්පයො ඇති කරන අය හුඟක් වෙලාවට උන්ට කන්න දෙන්නෙ බිත්තර. චලතාපී නිසා උන්ගෙ පරිවෘත්තීය වේගය හුඟක් අඩුයි. අවශ්‍ය ආහාර ප්‍රමාණයත් අවමයි. ලොකු සර්පයෙකුට මාසයක් උනත් නොකා ඉන්න පුලුවන්.

      ඒක ඇත්ත, දෙයක් නොකර ඉන්න හිතුනහම හේතු දාහක් උනත් හොයා ගන්න අපි හරි දක්ෂයි..!

      Delete
  13. අපේ රටේ සමහර කකුල් දෙකේ වල සත්තු ගිහින් අර කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් අහනවලු කැස්බා බිත්තර හෝ මස් තියනවද කියලා. ඉතින් කිඹුල් ගොවිපොළක් පටන් ගත්තොත් ඇවිත් අහයි සපත්තු හදන්න කිඹුල් හම් ගන්න තියනවද කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ එවුං දානෙ ගෙදරක මල ගෙදරක යන්නෙත් අරක්කු ටිකක් බොන්න, බූරුවා ගහන්න නේ.

      Delete
  14. මෙ මෑතකදි අපේ රටේ එක් ඇමතියෙක් කිව්වනෙ වගාවට හානිකරනම් කිඹුලොයි රිලවුනුයි මරන්න කියලා.
    ඒ ඇමතියන්ට වඩා උන් කොච්චර වටිනව ද කියන එක මේ පෝස්ට එක කියෙව්වම නැවත වතාවක් තහවුරු වුනා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන ලොකුම අවුල තමයි මලේ, එකම රජයක් යටතේ තියෙන ආයතන එකිනෙකාගේ ප්‍රතිපත්ති, රාජකාරි, වගකීම්වලට ගරු නොකරන එක.

      Delete
  15. උඹ මට එක පාරක් alligator ගෙයි crocodile ගෙයි වෙනස කිව්වා තමයි. හොම්බෙ දිග හැඩය මහත අනුව. ඒක ආයෙම කෙයමු මචං. පාඩම පොඩ්ඩක් අමතකයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම කියන්න ඇත්තේ ගැට කිඹුලගෙයි, හැල කිඹුලගෙයි වෙනස, මචං.

      හැලයාගේ හොම්බ කොටයි මහතයි. ගැටයාගේ හොම්බ දිගයි. බෙල්ලෙ තියෙන ශල්කවල (කොරපොතු) වෙනසෙනුත් ඒ දෙන්නා වෙන් කරලා අඳුනගන්න පුලුවන්. අපේ රටේ ඉන්නෙ ඒ දෙන්න විතරයි. (කිඹුලො නං දෙන්නෙක් හිටියහම හොඳටම ඇති නේ ?)

      Delete
    2. නෑ මචං. අමෙරිකන් ඇලිගේටරයගෙයි, ක්‍රොකඩයිල්ගෙයිත් වෙනසක් තියෙනවා නේද පෙනුමෙ හෙම?

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ඇමෙරිකන් ඇලිගේටරයා, ගැටයට වැඩිය දිගෙන් අඩුයි මචෝ. හොම්බත් කෙටි රවුම් හැඩයක් තියෙනවා. තවත් සංකීර්ණ කායික වෙනස්කම් තියෙනවා. වාසස්ථානය, ආහාර විලාසය වගේ සාධක මත සත්ව විශේෂ අතර ඒ වෙනස්කම් ඇති වෙනවා.

      Delete
  16. ලස්සන විස්තරයක් ගාමිණී අයියා.

    'වෙනසක් කිරීමට ඔබ පුංචි වැඩි යැයි ඔබට සිතේ නම්, මදුරුවෙක් සමග නිදා ගන්න උත්සාහ කර බලන්න ...'
    ඒකනං නියම කියමනක් තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ ..!

      කියමන නම් හොඳයි මලේ. ඒ උනාට මදුරුවා තැලිලා රෝල් වෙන්නෙත් ඒ වෙනස කරන්න ගිහිල්ලා තමයි.

      Delete
  17. තව පීන්තුර ටිකක් තිබ්බානං මල් හතයි

    ReplyDelete
    Replies
    1. ගිනි පෙට්ටියක් විතර කැමරාවක් මලේ මගෙ ගාව තියෙන්නේ ...!

      Delete
  18. හැල කිඹුලා මිනිස්සුන්ට තර්ජනයක් නොවෙන වර්ගයක් කියන්නේ ඇත්තද අය්යෙ. මේ වගේ වර්ග ගොඩක උන් එකට දාල තියෙද්දී මරා ගන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. හැල කිඹුලා වසමක් (Territory) වෙන් කරගෙන ඉන්න සතෙක් නෙමෙයි. ඒ නිසා කට්ටියක් එකට දාලා තියන්න පුලුවන්. ඒත් ගැට කිඹුලා වසමක් වෙන් කරගන්න නිසා එකට දාලා තියන්න බෑ, මරා ගන්නවා. කොයි එකාත් බිත්තර වලවල් ආරක්ෂා කරන කාලෙට තර්ජනයක් වෙන්න පුලුවන්. ගැටයා ගංමෝය ආසන්නයේ ගැවසෙන නිසා මිනිස්සුත් එක්ක ගැටෙනවා වැඩියි.

      Delete
  19. දලයි ලාමාතුමාගේ කතාව මට නම් හුඟක් හිතට ඇල්ලුවා

    ReplyDelete
    Replies
    1. උන් වහන්සෙගෙ දේශනා හරිම හරවත් මලේ ..

      Delete
  20. බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙච්ච ගමන්ම දුවන් ඇවිත් ලිපිය කියෙව්වා අයියෙ..හැබැයි කමෙන්ට් එක දාන එක ටිකක් විතර පස්සට දැම්මා...වෙනදා වගේම දැනුම පිරිච්ච ලිපියක් තමා..
    මන් බ්ලොග් වලට කැමතීම එක හේතුවක් තමයි ලිපියක් ලියලා ටික කාලයක් යන කොට ඒක අර Frequently Asked Questions (FAQ) එක්ක එන මැනුවල් වගේ එකක් තමයි..කමෙන්ට් සහ කමෙන්ට් වලට තියෙන පිළිතුරු එක්ක ආයි ලිපිය කියවන කොට අපේ ඔළුවෙ තිබ්බ ප්‍රශ්ණත් කවුරුම හරි අහලා ඒවටත් උත්තර ලැබිලා..මේකට මන් හරි කැමතීයි..
    කමෙන්ට් එක ටිකක් පහු කලේ මේන්න මේ අදහස මගේ හිතට ආපු නිසයි... අර ඉබි මල්ලියි ඉබි නංගියි අයියලගෙ ගෲප් එක දුටුවහම හිතන්න ඇති මෙච්චර දීප දේශාංකරේ ඉඳන් ඇවිත් ඉන්නෙ අපිව බලන්නනෙ..ඉතින් දන්න වැඩ ටික පෙන්නන්නත් එපාය කියලයි ඔය ශෝ එක දීලා තියෙන්නෙ.. හැබැයි උන් දෙන්නා ඉන්දියාවෙ උනාට වැඩි දැනුමක් තියෙන පාටක් නම් නෑ...වාත්ස්‍යායනගෙ අර පොත ගැන අහලවත් නැති පාටයි මට පේන්නෙ නම්..ඒ ගැන නම් පොඩියක් දුක හිතුනත් එක්ක..!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ නොලියවෙන හුඟක් දේ ප්‍රශ්න අහනකොට එලියට එනවා මලේ. අහන දේකට දන්න විදිහට උත්තරයක් දෙන එක ලොකු සතුටක්.

      ඉබි මල්ලියයි නංගියයි ගැන නම් මටත් දුක හිතෙනවා මලේ. අපි නම් ඇඟේ තියෙන ඒවා ඔක්කොම ගලවලා පැත්තකින් තියලානේ වැඩේට බහින්නේ. උන්ට එහෙම කරන්න බෑනේ.

      Delete
    2. වෙනී අර ටික කාලයක් කොන්දේ අමාරු හදාගෙන හිටියේ ඔය වාත්ස්‍යායනගේ අරුමෝසම් කරන්න ගිහිල්ල වෙන්න ඇති..

      Delete
    3. ඊළඟ ආත්මේ නම් පොඩි කාලෙ ඉඳන්ම ජිම්නාස්ටික් ප්‍රැක්ටිස් වලට යනවා සරත් අයියෙ..එතකොට අහවරයිනෙ...ඕන්...

      Delete
  21. චා චා. බොහොම නාකයි බොහෝම නාකයි.. අර ඉබි ලව් එක පින්තූර අරන් දාපු එක නම් .. පුද්ගලික නිදහසට බාදා කිරීමට එරෙහිව ඉබි උසාවියේ නඩුවක් පවරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් නේද ලංකෝ ...?

      Delete
  22. ගොඩාක් වටිනා කියන බ්ලොග් එකක්...මෙච්චර කාලයක් මග හැරුනට දුක වෙනවා

    ReplyDelete