මගෙ යාලුවෝ

Sunday, May 13, 2012

19. 1985 මැයි 14


තවත් සතියක් දෙකක් යනකම් අලුත් පෝස්ට් එකක් දාන්න අදහසක් නොතිබුනත්, හදිසියෙම හැම අවුරුද්දකම මැයි 14 වෙනිදට මතක් වෙන එක සිද්ධියක් නිසා මේ කතාව ලියන්න හිතුනා.

1983 ජුලියෙදි උතුරෙන් විහිදුනු කොටින්ගෙ අඬු පඬු, 1985 වෙනකොට නැගෙනහිරටත් විහිදිලා තිබුනා. මුලදි උන්ගෙ ඉලක්කය උනේ රජයේ කාර්යාල. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ කුමන තිබුනු අපේ කාර්යාලයෙ  තිබුනු සේරම උන් දෙපාරක්ම ඇවිත් මංකොල්ල කාගෙන ගියා. අපි බැරිම තැන සේරම අතෑරලා එතනින් ඉවත් උනා.

වෙනත් සේවා ස්ථාන බලාපොරොත්තුවෙන් කොලඹ ප්‍රධාන කාර්යාලයට ඇවිත් හිටපු අපිට, මැයි 14 දා දවල් වෙනකොට තමයි ඒ කාලකන්ණි ආරංචිය ලැබුනේ. අනුරාධපුරේ බස් නැවතුමෙයි, ශ්‍රී මහා බෝධිය ගාවයි හිටපු අහිංසක මිනිස්සු මරා දාපු කොටි, ආපහු යනගමන් විල්පත්තුවෙදි වනජීවී නිලධාරීන් හා සේවකයින් විසි ගනණක් මරාගෙන ගිහින් තිබුනා.

විල්පත්තුවෙම බටහිර පැත්තෙන් එලියට ආපු කොටි, එලුවන්කුලමට ඇවිත් පාන්දර බස් එක පැහැරගෙන අනුරාධපුර ටවුමට ඇවිත් 120 කට වැඩි පිරිසක් මරාදාලා, හුනුවිලගම ප්‍රධාන පිවිසුමෙන් ආපහු විල්පත්තුවටම ඇතුල් වෙලා තිබුනා. ඉස්සෙලාම උන් පිවිසුම් කාර්යාලයෙ හිටපු ඒබ්‍රහම් මහත්තයා අල්ලගෙන අනෙක් නිලධාරීන්, සේවකයින් සේරම පෝලිමට තියලා වෙඩි තිබ්බා. 10 ක් එතනදි මැරුණා.  තුවාල වෙලා බේරුනු දෙන්නෙක් තවම ජීවතුන් අතර ඉන්නවා. ඊට පස්සෙ විල්පත්තුව ඇතුලෙ මරදන්මඩුවෙදි 8කුත්, මරවිලදි 4 කුත්, මොල්ලිකුලමෙදි 2 කුත් මැරුවා. පාර අහගන්න බලෙන්ම අරගෙන ගිය ඒබ්‍රහම් මහත්තයා මරදන්මඩුවෙදි පණ බේරගෙන පැනලා ඇවිත් පස්සෙ විස්තරේ කියලා තිබුනා.

1949 ඉඳන් අවුරුදු 62 ක වන ජීවී සංරක්ෂණ ඉතිහාසයෙදි වරින් වර නොයෙකුත් හේතු නිසා නිලධාරීන් රාජකාරියෙ යෙදී සිටිය දී අනතුරට පත් වෙලා, මරණයට පත් වෙලා තිබුනත්, විල්පත්තුවෙදි 24 දෙනෙක් එකවර මියයාම අපට ලොකු කම්පනයක්වුනා. අනුරාධපුර සිද්ධියෙදි ලොකු පිරිසක් මැරුණ නිසා රටේ අනිත් අයට නම් ඒ වෙලාවෙ ඒක ලොකුවට දැනෙන්න නැතුවට ඇති.

1989 අගෝස්තු වෙනකොට මමත් හිටියෙ විල්පත්තුවෙ.  ඒ වෙනකොට තවත් කිහිප පාරක්ම කොටි ඇවිත් අපේ දෙතුන් දෙනා මරලා තිබුනා. අලි මදිවට හරක් කියලා ඒ වෙනකොට අපේ දේශප්‍රේමී සහෝදරවරුත් වැඩ පටන් අරගෙන තිබුනේ. අපි උද්‍යාන පිවිසුමේ නිල නිවාසවල හිටියේ දවාලට විතරයි. රෑට ඇතුලෙ තැන් තැන්වල හැංගි හැංගි තමයි පන බේරගෙන හිටියේ.

එදා පඩි දවස. උදේ පාන්දර ලොක්කා, වසීර් මහත්තයා, ඇවිත් මටයි, මගේ අල්ලපු ඇඳේ නිදාගෙන හිටපු අම්පිටියටයි කෑ ගහලා කිව්වා 'අයිසෙ පඩි ගේන්න යන්න ලෑස්ති වෙනවා..' කියලා. අම්පිටියා දඩි බිඩි ගාලා නැගිටලා මූණ හෝදගෙන ලෑස්ති උනා. නැගිටින්න කම්මැලිකමේ මම එහෙමම ඉඳගෙන ඌට කිව්වා 'මචං සීනි ඉවරයි .. එනකොට සීනි ටිකක් ගෙනෙං .. ' කියලා. 'මං යනවා මචං ...' කියලා ඌ කලිසම ඇඳ ඇඳ ලොක්කා පස්සෙ දුවනවා මට තාම මතකයි.

හැන්දෑවෙ කලුවර වැටෙනකනුත් පඩි ගේන්න ගිය වාහනේ ආවෙ නෑ. රෑ රේඩියෝ එකේ රජරට ප්‍රවෘති අහනකොට තමයි දැනගත්තේ දේශප්‍රේමියෝ වාහනේට වෙඩි තියලා අම්පිටියයි, පොලිස් නිලධාරීන් දෙන්නෙකුයි මරලා පඩි සල්ලි බෑග් එකයි, තුවක්කුයි අරගෙන ගිහිල්ලා කියලා. ඊට කලින් මාසෙ පඩි ගේන්න ලොක්කත් එක්ක ගියේ මම. දේශප්‍රේමීන්ගෙ ජාත්‍යාලෙ මාසයකට කලින් පහල උනානං මේ බ්ලොග් එක කවදාවත් ලියවෙන්නෙ නෑ. මැරෙන්න ඕන එවුං ඉතුරුවෙලා, ඉතුරුවෙන්න ඕන එවුං මැරෙන එක සාමාන්‍ය ලෝක ස්වභාවය නේ. උපුල් සෙනරත් අම්පිටිය කියන්නෙ ‍රැයක් දවාලක් නැති, දහ දෙනෙක්ගෙ වැඩ තනියම කරපු එකෙක්.

ඊට පස්සෙත් අවස්ථා බොහෝ ගනණකදිම වනජීවී නිලධාරීන් කොටි අතින් මරණයට පත් උනා. 1990 ජනවාරියෙ කුමන කිට්‍ටුව කුඩුම්බිගල දි මගේ පළමු වන්ජීවී ගුරුවරුන් දෙන්නගෙන් එක්කෙනෙක්, අරුල් අය්යා කොටි අතින් වෙඩි කාලා මැරුණා. සේරම හතර දෙනෙක් මැරුණ ඒ සිද්ධියෙදි මගේ බැචෙක්, කේටීපී පෙරේරා ත් මැරුණා. කේටීපී මැරෙණ වෙලාවෙ දරුවා මතක් වෙලා  ' අනේ මගේ දුව .. ' කියලා ඇඬුවලු. වෙඩි කාලා වාහනේ අතුලෙම වැ‍ටුනු අයට යට වෙලා බේරුනු යසරත්න තවමත් දෙපාර්තමේන්තුවෙ සේවය කරනවා.

ලංකාවෙන් ත්‍රස්තවාදීන් අතුගාලා දානකොට, වරින් වර උන් අතින් වනජීවී නිලධාරීන් 40 ක් මැරිලා තිබුනා. පැහැරගෙන ගිය සමහර අයගෙ සිරුරුවත් හම්බ උනේ නෑ.

ත්‍රස්තවාදීන්ගෙන් ඇරුනහම අනෙක් වැඩිම තර්ජනය තියෙන්නේ දඩයක්කාරයන් ගෙන්. දෙපාර්තමේන්තු ඉතිහාසයෙ මේ වෙනකොට නිලධාරීන් 11 දෙනෙක් දඩයක්කාරයින් ගෙන් වෙඩි පාරවල්, පොලු පාරවල්, පිහිපාරවල් කාලා මැරිලා තියෙනවා.
 
වනසතුන් අතිනුත් වනජීවී නිලධාරීන් 14 දෙනෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා.  එයින් 12 දෙනෙක්ම මැරිලා තියෙන්නෙ අලි ගහලා. අනිත් දෙන්නා වලස්සු, වල් මීහරක් පහරදීලා මැරිලා තියෙන්නේ. අත් වැරදීමෙන් ගිනි අවි පත්තු වීම වගෙ අනතුරුවලිනුත් 12 දෙනෙක් මැරිලා තියෙනවා. දෙපාර්තමේන්තු ඉතිහාසයෙ මේ වෙනකොට රාජකාරියෙ යෙදී සිටියදී අනතුරුවලින් මියගිය මුලු සංඛ්‍යාව 77 ක්.  

ඉතින් මීට අමතරව බඳින තුවක්කු පත්තු වෙලා, ගුටි කාලා, පොලුපාරවල්, ඉල්ලං කූරු පාරවල් කාලා, අතපය කඩා ගත්තු, ඔලු පලාගත්තු, කෑලි අඩු කරගත්තු නිලධාරීන් සංඛ්‍යාව සිය ගනණක්. දඩයක්කාරයෙක්ගෙන් පොලු පාරක් කාලා ඔලු කට්ට කුඩු වෙලා, එතනට ප්ලාස්ටික් කෑල්ලක් දාගෙන අවුරුදු පහලවක් විස්සක් තිස්සේ වැඩ කරන නිලධාරියෙක් අදටත් දෙපාර්තමේන්තුවෙ ඉන්නවා. එකපාරක් වස්ගමුව ජාතික උද්‍යානෙ බටහිර මායිමෙ අනවසරයෙන් මැණික් ගරන එවුං අල්ලන්න ගිය අපේ කට්ටියකට මුලු ගමක් වට කරගෙන තැලුවා. පස්සෙ ට්‍රැක්ටරේක පටවාගෙන මහ පාරට ගෙනත් බිමට හලලා ගිහින් තිබුනා. ඒ සිද්ධියෙදි වැටලීම මෙහෙයවපු අඩවි සහකාර ධනසිරි මැරිලා, ඉතුරු හතර පස් දෙනා මාස ගාණක් ඉස්පිරිතාලෙ ලැග්ගා.

ඉතින් මේ තරම් නැහීගෙන මුං කරන මහලොකු රාජකාරිය මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න බැරි නෑ. අලි කොටි වලස්සු, ගස්වැල් පරිස්සම් කරගන්න ඔච්චර ගුටි කන්න ඕනද ..?

අද අපේ රටේ මුලු බිම් ප්‍රමාණයෙන් 14% කට වැඩිය වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා, හැම එකාගෙන්ම ගුටි කකා ආරක්ෂා කරගන්නෙ සංඛ්‍යාවෙන් 1200 ක් පමණක් වෙන මේ කස්ටිය. සියලුම මහවැලි ජලාශ ඇතුලු කෘෂිකර්මාන්තයට ජලය සපයන  මහ පරිමාන ජලාශ 40 ක්, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම ආරක්ෂා වෙන්නෙ ඒ 14% ඇතුලෙ. සේනානායක සමුද්‍රය, උඩවලව, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරු ඔය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, කලා වැව,  මින්නේරිය, ගිරිතලේ ජලාශ එයින් කීපයක්. ඒ වගේම මහවැලි, කලු, කැලණි, වලවේ ගංගාවල්වල ජල මූලාශ්‍ර තියෙන්නෙ හොර්ටන් තැන්න සහ සමනල අඩවිය වනජීවී රක්ෂිත ඇතුලෙ. ජල විදුලිය 100%ක් ම වගේ නිපදවන්නෙ වනජීවී රක්ෂිතවලින් එන ජලයෙන්. අවුරුද්දකට ජාතික උද්‍යානවල සංචාරක කර්මාන්තයෙන් ජාතික ආර්ථිකය ලබන ආදායම මිලියන 540 කට වැඩියි.

මේ වගේ බැලූ බැල්මට නොපෙනෙන, වනජීවී සංරක්ෂණයේ පැතිකඩ ගනණාවක් තියෙනවා. ඉතින් මේවා ගැන නොදන්න, නොහිතන, පත්තර ටීවීවල ඉන්න සමහර මාධ්‍ය පොරවල්, වල් අලියෙක් ඇවිල්ලා  කෙහෙල් ගස් දෙකක් පෙරලුවහම, බඩ ඉරිඟු කරලක් කෑවහම, රෑ කරුවලේ වෙරිමරගාතෙ යන බේබද්දෙක් පැත්තකට තල්ලු කරලා දැම්මහම, දන්න සෙල්ලං ඔක්කොම දාලා දෙපාර්තමේන්තුව පතුරු අරිනවා. පොඩි දේකින් ලොකු ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා පත්තර පි‍ටු, ටීවී ස්ක්‍රීන් වහ ගන්නවා. 

ඒවා බලාගෙන ඉන්න අපට කට කොනකින් පොඩි හිනාවක් යනවා. උනුත් ඉතින් ජීවත් වෙන්න, අඹු දරුවන්ට කන්න දෙන්න කීයක් හරි හම්බකර ගන්නනෙ ඒවගෙ දේවල් කරන්නෙ ..නේද ..? ..පව් ...













55 comments:

  1. මැරිලා නොඉපඳුන අයෙකුගෙන් කතාවක්...

    ReplyDelete
    Replies
    1. වන දිවියේ හැම දවසක්ම අමතක නොවෙන දවසක් මලේ .. උතුරන සතුට වගේම මතක් කරනකොට දුක හිතෙන දවසුත් තියෙනවා..

      Delete
    2. සමරේ අය්ය, අද තමයි ඔයාගෙ බ්ලොග් එක බැලුවේ! නිහඩව කරන සේවයට උපහාර!

      සුරාජ්‍ කටාර්

      Delete
  2. මිහිපිට අපාය දකින්න පුළුවන් වුනු ඒ කාලයේ , වාසනාවට අපි පොඩිම එවුන්. කොහොම වුනත් ඒ වගේ කාල වලදී පමණක් නෙවෙයි, හැමදාටමත් වනජීවී නිලධාරීන් හැම පැත්තෙන්ම තැලෙන හැටි පැහැදිලියි.

    කලින් ලිපියේ ඔබා මාමාගේ කමෙන්ටුව මට මතකයි. අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි වුනත් ඒ අනපේක්ෂිත වෙන්ව යාම හරිම දුක්බරයි. හැම දේටම වගේ මරණයටත් ඔහු සැහැල්ලුවෙන්ම මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක ලියාගෙන යද්දි තුන් හතර පාරක්ම හිතුනා මේක කියවලා ඔබා අය්යා මොන වගේ කොමෙන්ට් එකක් දායි ද කියලා ..

      Delete
  3. සිංහල බ්ලොග් අවකාෂයෙන් ඉටුවෙන තවත් එක් වැදගත් කාරියක් වෙන්නේ ජාතික කියන මාධ්‍ය ප්‍රවාහ වලින් ඉටු නොවෙන/ඉටු වේවි කියා හිතන්න අමාරු තොරතුරු සම්භාරයක් බෙදා දීම. මේ ලියමන පුරා වේදනාව, දුක්මුසු තැන් පිරිලා ඒත් ඉන් කල දැණුවත් කිරීම බොහෝ අගේය සහෘදයා. බොහෝ තොරතුරු දැන ගත්තෙමි. ඔබේ උත්සාහයට ස්තුතියි. බොහෝම පිං.

    සිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  4. කලින් පොස්ටුවේ සඳහන් වනජීව කෞතුකාගාරය, සතුන්ගේ ජීවමාන අනුරු සැකසීම වගේම මේ පොස්ටුවෙන් කරන වනජීව දෙපාර්තමේන්තුවෙන් ඉටුවෙන කාර්යබාරය වගේ දේවල් බොහෝම වටිනා විස්තර. මේ ලිපි සුදුසු විදියට සකසා ලමුන් සඳහා කරගෙන යන පුංචිත්තා බ්ලොග් එකේ පලකරන්න ගාමිණී මහත්මයාට ආරාධනා කරනවා.

    පුංචිත්තා - අපේ බ්ලොග් අවකාෂයේ සොයුරු සොයුරියන්ගේ දායකත්වයෙන් පුංචි ලමුන්ට දැණුම බෙදාදීමේ අරමුණින් කරගෙන යන බ්ලොග් එකකි.

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබෙන විදිහට ඉදිරියෙදිත් වනජීවී සංරක්ෂණය ගැන දන්න දේ, දැනෙන දේ ගැන ලියන්න හිතාගෙන ඉන්නවා.

      පුංචිත්තාට ගැලපෙන විදිහට සකස් කරලා සුදුසු පෝස්ට් එකතු කරන්නම්. ආරාධනාවට බොහොම ස්තුතියි!

      Delete
    2. පුංචිත්තා වෙනුවෙන් ඔබට බොහෝමත්ම ස්තුතියි.

      Delete
  5. මාරයා අය්යාගේ බුකියෙ ලින්කුවකින් මේ පැත්තෙ ආවේ ...... පලමු වතාවට , ඇත්තටම නියම ලිපියක් පත්තරෙන් රූපවාහිනියෙන් විස්තර වලට වඩා ස්ම්පූර්ණයි.....නොදකින නොබලපු පැත්තක් එලියට දාපු එකම වටිනවා ... වැඩි දවසක් නෑ මේ ඊයෙ පෙරේදා දවසක ලිදකට වැටුනු වල් අලියෙක් ගොඩ ගන්ඩ ගියපු වන්ජීවී නිලදාරියකුට පහර දීපු ගම්මු වගයක් ගැන පුවත් පතක් තිබුනා ගම්මුන්ට ඕන වෙලා තිබුනෙ අලියව මරන්ඩ නමුත් වන්ජීවී නිලධාරියා ඒ සතාව ගොඩ ගෙන කැලේට නිදහස් කරලා........ ඒකෙ තරහට නිලදාරියට ගහලා .........
    මිනිස්සු තිරිසන් වෙලා........

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සිද්ධි සිය ගනණක් වෙලා තියෙනවා. ගමක ඉන්න කාලකන්ණියො එකෙක් දෙන්නෙක් එහෙම කරනකොට අනිත් එවුන් උඩ බලාගෙන ඉන්න එකයි වරද, මලේ.

      Delete
  6. මමත් හොදාකාරවම දන්නව ඔය රැකියාවේ තියන බරපතල කමත්, අමාරුවත්.
    ගහකොළ සතා සිව්පාවාට ආදරේ කරන වනජීවී මහත්තරුන් ගැන වැඩිපුර අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. අනිත් හැම ආයතනයකම වගේ අපෙත් අපතයො ටික දෙනෙක් ඉන්නවා. ඒත් වැඩි දෙනෙක් ඕනෑම අවදානමක් අරගෙන රාජකාරිය හරියට කරන්න උත්සාහ කරනවා.

      Delete
  7. බොහෝ මාධ්‍ය හරහා එළියට එන්නෙ ඒ අයගේ වහලා තියෙන ලාභ පරමාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍ය කරන මිනිස්සු බහුතරයක් අල්ලා ගන්න පුළුවන් පැතිකඩයන් පමණයි. ඒ නිසා තමන්ගේ ජීවිතය පරදුවට තියලා අපේ,රටේ, විතරක් නෙවෙයි ලෝකයේම අනාගතය රැඳිලා තියෙන අපූරු ස්වභාවධර්මය රකින සුළුතරයක් වූ පිරිසක් රකින්න එයාලට සැබෑ උවමනාවක් තියෙයිද කියලනම් විශාල සැකයක් තියෙනවා.මම අදහන බුද්ධ දර්ශනයේ තියෙන්නෙ ස්වභාව ධර්මයේ අනාවරණය කර ගත්ත නීති රීති සමූහයයි..ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ කීවා වගේම ආදරණීය ගාමිණී අයියෙ ස්වභාවධර්මය රකින ඔය සියළුදෙනා රැකෙයි ඒ ස්වභාවධර්මයම..මේ දක්වා අපව දමා ගිය ඒ ඔබේ සොයුරන් ඔය පද්ධතියෙන් අයින් කර ගන්න ඇත්තෙ යම් ලොකු අරමුණක් ඇතිව වෙන්න ඇතියි කියලයි මට හිතෙන්නෙ - For greater good - ඔවුන් අප අතර ඇති තම සංසාරික පුරුද්ද ඊටත් වඩා හොඳින් ඒ දෙයම කරමින්...ඔවුන්ට විනය කැටි උන්..විඳිය යුතුයි..ජීවත් විය යුතුයි..මැරි මැරී...ඒකත් වෙනවා ඇති අපූරුවට කොහෙ හරි අපි නොදන්නවා උනාට..ඔබේ ලිපිය ස්වභාවධර්මයේ නාමයෙන් දිවිය පිදූ අයට උපහාරයක්ම වේවි...
    අපේ ආදරණීයන් අපිව දමලා යනවා ඒ ස්වභාවධර්මයට හිස නමමින්..ඔබා අයියත් ඒවගේ අයගෙන් එක්කෙනෙක්..හිතවත් කමින් ආදරය කරපු තරමටම දුකත් වැඩී..

    ReplyDelete
    Replies
    1. සියයට සියයක් එකඟයි මලේ. නික්ම යන ඔවුන්, කළ දේ වඩාත් හොඳින් වෙන තැනක කරනවා ඇති.

      Delete
  8. දුක්මුසු සිදූවීම් පෙලක්. දැනුවත් කිරීම පිළිබඳ තුති.

    ඔබා මා‍මගෙ සිදුවීම ගැනනං හිතාගන්නවත් බෑ..

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සෙල්ලාම හිතුනෙ ඒක ඔබා අය්යගෙ තවත් ලණුවක්ද කියලා. ඒක විශ්වාස කරන්න හිත හදාගත්තෙ බොහොම අමාරුවෙන්.

      Delete
  9. බොසා මාතර තංගල්ල පැත්තෙ සහ වෙනත් පැතිවල කැස්බෑවන් සංරක්ෂණයටත් වනජීවි නිලධාරින් ඉන්නවා...
    ඒත් ඉතිං එහෙ වෙන්නෙ ඕනි වැඩ ඔක්කොම වෙනවා..
    එන්ජී ඕ කාරයො හිටියට සල්ලි තියෙනං ඕනි කෙනෙක්ට බිත්තර සල්ලි වලට ගන්නත් පුලුවනි

    ReplyDelete
    Replies
    1. දෙපාර්තමේන්තුවෙ අවසරය ලබාපු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් දකුණු මුහුදු තීරයෙ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒවා විසින් හෝ වෙනත් කෙනෙක් නීති විරෝධී යමක් කරනවානම් කරන්න පුලුවන් හොඳම දේ ලඟම තියෙන වනජීවී කාර්යාලයට හෝ පොලිසියට දුරකතන ඇමතුමක් දෙන එක. කොලඹ ප්‍රධාන කාර්යාලයෙ වැටලීම් ඒකකයටත් කියන්න පුලුවන් (011 2888585)

      Delete
  10. අද කිසිම දෙයක් හිතන්න පුළුවන් දවසක් නෙවෙයි මොනවකියෙවුවත් හිතට එන්නේ ඔබා විතරයි.. ඔබා මතක කරන්න වෙන එකක් කියවන්න බැලුවාම කවුරුත් මොකවත් ලියන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක ලියවුනේ ඔබා අය්යගෙ නික්මීමට කලින්. එහෙම නොවුනා නම් මේකත් තව බොහෝ ප්‍රමාද වෙන්න ඉඩ තිබුනා.

      Delete
  11. තව අවුරුදු 25 ක් 30ක් වෙනකොට ලංකාවේ වන අලි නැත්තටම නැතිවෙලා යාවි අයියේ... හැමදාම පත්තරේක අලියෙක් මැරිච්ච නිවුස් එකක්. අහිංසක දුප්පත් මිනිස්සු වගේම ඒ අහිංසක සත්තුත් ජීවත් වෙන්න ඕනේ... වනජීවී එකට දොස් කියලා වැඩක් නෑ කියල මොළේ කළඳක් හරි තියෙන එකෙකුට තේරෙනවා. පරිසර ඇමැත්තට අමතරව වන ජීවී කියා ඇමැත්තෙකුත් දැන් ඉන්නවා. අට පාස් එකෙක්ව වෙළඳ හා පාරිභෝගික ඇමැති වෙලා ඉන්න රටක වනජීවී ඇමැතියත් ඉන්නේ නමට විතරයි. උන් දන්නේ රටට කෙළවන්න විතරයි. මාසෙකට එකෙකුට දශලක්ෂ ගානක් වියදම් කරන රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිහා වගේම අහිංසක වන සත්තු ආරක්ෂා කරගන්න මුන් මොනාද කරන්නේ....උන්ට ඒ ගැන කිසිම හැඟීමක් නෑ... කිසිම දැක්මකුත් නෑ... තමන්ගේ බඩ පිරෙනවානේ ඉතිං ඔහේ ඉන්නවට නමට විශයභාර ඇමැති කියාගෙන ඉන්නවා.. දේශපාලනේ මෙතනට අදාල නැති වුණත් අලි මිනිස් ගැටුමේ යතාර්ථය ඒකයි... අයියලා වගේ මේ වගේ උතුම් කාර්යභාරයක් කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වනජීවී සංරක්ෂක නිළධාරීන්ට මගේ ප්‍රණාමය... ඔබ සැමට යෝධ බල ශක්තිය... බුදුසරණයි...!!!!

    ReplyDelete
  12. සැලසුම් සහගත, නිවැරදි භූමි පාරිභෝජනයක් නැති නිසා අලි ඉන්න ඕන තැන මිනිස්සු ඉන්නවා, මිනිස්සු ඉන්න ඕන තැන අලි ඉන්නවා. තියෙන සැලසුම් ප‍ටු වාසි තකා විනාස කරනවා. 1954 දි ගල් ඔය සේනානායක සමුද්‍රයෙ ජලපෝෂක ප්‍රදේශයෙ කොටසක් ආරක්ෂා කරගන්න ප්‍රකාශයට පත් කරපු සෙල්ලක්ක ඔය අභය භූමියෙන් 4/3 ක් 1998 පාර්ලිමේන්තුවෙ හිටපු මොණරාගල දේශපාලකයින්ගෙ උවමනාවට අහෝසි කරලා මිනිස්සු පදිංචි කෙරුවා. ඒකෙ හිටපු අලි දැන් ගම්වලට පැනලා වෙඩි කනවා. මේ වගෙ උදාහරණ සිය ගනණක් තියෙනවා , මලේ.

    ReplyDelete
  13. මට තාම මතකයි සොහොයුරියගෙ විවාහ මංගල්‍යයට ගෙදර එන්න වුන නිසා කොටින්ගෙන් ගාමිණීගෙ ජීවිතය බේරුන හැටි. නමුත් එදා කොටි පැනලා සගයන්ව මරලා ගාමිණීගෙ වටිනා කැමරා ආම්පන්න දුර දක්න ඔක්කොම අෆන් ගිහින් තිබ්බනේද?
    සේවයේ යෙදියදී දිවිපිදූ සියලුම වනජීවී සොයුරන්ට හිසනමා ආචාර කරන අතර ඔබ ඇතුලු දැනට සේවයේ යෙදී සිටින සියලු වනජීවී නිලධාරීන්ට මගේ ප්‍රණාමය.

    මීට කලින් කමෙන්ට් එකක් දාන්න හිත එකලාසයක් තිබ්බෙ නෑ මේ ඔබා අයියගෙ අභාවය ගැන ඇහුවට පස්සෙ. ඔබා අයියාට නිවන් සුව.

    ප. ලි.: අර ගල්මල්ගෙ පුංචිත්තා යෝජනාව ඉතාම අගෙයි. ඒ වගෙම මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා.

    ගාමිණීම ලියන Wild Life In Sri Lanka ඉංග්‍රීසි බ්ලොග් අඩවියට ඇයි කුඩම්මාගෙ සැලකිලි?
    ඒකට මේ ලිපිවල පරිවර්තනයක් දැම්මොත් හොඳ නැත්ද? හොඳ නැද්ද නෙවෙයි දාමු.
    අනික ඒ බ්ලොග් ගාමිණීගෙ විජිතය බ්ලොග් රෝල් එකේ නැත්තෙ ඇයි?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මචං හෙන්රි, උඹේ කමෙන්ට් එක ප්‍රමාද වෙනකොට මම හිතුවා ඔබා අය්යගෙ නික්මීම උඹේ පපුවෙ ගැඹුරටම දැනිලා ඇති කියලා. ඔබා අය්යට අපි නැවත නැවතත් නිවන් සුව පතමු.

      කුමනට කොටි ආව දවසට දින කීපයකට කලින් අක්කගෙ වෙඩින් එක යෙදිලා තිබුන නිසා මම බේරුනා. කුමනදි ඒ වතාවෙ අපේ කවුරුවත් මැරුවෙ නැතිඋනත් ගහලා හිරිහැර කරලා තිබුනා. හිටියනම් මගෙත් ගුටිකන මූණට දෙකක් අනිනවා ෂුවර්. මගේ සබ්බ සකල සේසතම අතගාගෙන ගිහින් තිබුනා.

      පුංචිත්තා ට සුදුසු ඒවා පෝස්ට් කරන්න හිතාගෙන ඉන්නවා. ඒවා forward කරන විදිහ හොයලා බලන්න ඕනෑ. මම ඊ මේල් ලිපිනය නම් යැව්වා.

      මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකට දැනට දාලා තියෙන්නෙ Lost Trails in Yala East පොතේ පරිච්චේද ටික විතරයි. මගෙ බ්ලොග් රෝලට ඒක දාන්න අමතක වෙලා හිටියේ මචං. ඔන්න දැම්මා. සුදුසු ඒවා පරිවර්තනය කරලා දාන්න ඕනෑ. කාලය පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ.

      උඹගෙන් ලැබෙන දිරි ගැන්වීම සහ මග පෙන්වීමට මම ණය ගැතියි.

      Delete
    2. පුංචිත්තා වෙනුවෙන් ගාමිණී මහත්මයාට බොහෝමත්ම ස්තුතියි. ඊ මේලයක් එව්වා, පොස්ට් කිරීම සම්බන්දව දැනුවත් කරන්නම්.

      Delete
  14. අර ප්‍රසිද්ධ මාධ්‍ය ගැන කියල තියෙන කතාවත් එක්ක මමත් එකඟයි. ඉස්සරමනං මාත් ප්‍රවෘත්ති ගෙඩි පිටින්ම විශ්වාස කරා. ඒත් මම හොඳාකාරවම දන්න කාරණයක් ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය කරපු විදිහ දැක්කට පස්සෙ ප්‍රවෘත්ති ඒ විදිහට විශ්වාස කරන එක නවත්තල දැම්ම. ඇත්ත හොයා ගන්නනං ප්‍රවෘත්ති වලිං ගොඩක් 'තාර බර' අරින්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ජන මාධ්‍යය අද ඉතාම තරඟකාරී ව්‍යාපාරයක්. එකිනෙනා පරදවලා මතුවෙන්න ඔවුන් සියලු ආචාර ධර්මයන් පැත්තකට දාලා කටයුතු කරනවා. පුද්ගලයින්, ආයතන ඔවුන්ට වැදගත් නෑ. කිව්වා වගේ අපි කරන්න ඕනෑ උන් කියන දේවල්වල තාර බර ඇරලා තේරුම් ගන්න එක.

      Delete
  15. කොටින් අතින් විතරක් නෙවෙයි තව දේශපාලුවන් අතින් ජාවාරම් කාරයන් අතින් මියගිය වනජීවී නිලධාරීන් කොයිතරම්ද? මට මේ වෙලාවේ කුමාරසිංහ මහත්තයත් මතක් වෙනවා. ඒ හැමදෙනාටම නිවන් සුව ලැබේවා. ඔවුන් මියගියේ ජාතියට තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩිල්ශාන්, කුමාරසිංහ මහත්තයා මෑත කාලෙදි දෙපාර්තමේන්තුවෙ හිටපු නිලධාරීන් අතරින් නීතිය ක්‍රියාත්මක කරන්න වැඩිම උනන්දුවක් පෙන්වපු නිලධාරියා. එයාගෙ අකල් මරණය ලොකු පාඩුවක්.

      Delete
  16. හැම දෙනා වෙනුවෙන් හරිත ලොව රකින ඔබ හැමට තුති නිහඬ මෙහෙවරට !

    ReplyDelete
    Replies
    1. ඔබෙන් ලැබෙන දිරිය බොහෝ වටිනවා.

      'විකසිත' පැත්තෙ ගියා. අපූරු කවි නිසඳැස් ටික.

      Delete
  17. ඔබ තුමාව මට හැබහින් මුණගැහිලා තියෙන බවක් මතක් වුනා. මේ බ්ලොග් සටහන් කියවද්දි.

    වෙලාවක් හමු උනොත් ආපහු හමුවෙන්න එන්නම්.
    තවමත් ගිරිතලේද ඉන්නේ ඔබතුමා?

    ඔබතුමාගේ කාලෙම විල්පත්තු වල අලි ගහලා මම දන්න කියන මාමා කෙනෙකුත් නැති වුනා. බොහොම තරුණ වයසින්. මාසයයිද කොහෙද කසාද බැඳලත් ඒ වෙනකොට. ගුණවර්ධන කියලා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ගුණවර්ධනයි, මමයි, අම්පිටියයි එක හැලියේ බත් කෑවේ. ඉතාම කාර්ය ශූර නිලධාරියෙක්. මම විල්පත්තුවෙන් ආවට පස්සෙ තමයි ඒ සිද්ධිය ගැන අහන්න ලැබුනේ. ලිඳක වැටිලා හිටපු අලියෙක් ගුණවර්ධන මුල් වෙලා ගොඩ දැම්මට පස්සෙ, ඌ ගුණවර්ධනටම ගහලා.

      අපි ආයෙත් මුණගැහෙමු. තවමත් ගිරිතලේ ඉන්නේ.

      Delete
    2. මට අම්පිටිය අන්කල්වත් මතකයි. එක දවසක් අපි ලංකාවට ඇවිත් සත්තු බලන්න යනකොට ලොකු සපෝර්ට් එකක් දුන්නා. ගුණේ මාම කොහොමත් හරිම හොඳ කෙනෙක්. ඒත් මට මළගෙදරටවත් යන්න බැරි වුනා. අපි ලංකාවට එනකොට ගොඩාක් පරක්කු වෙලා.
      ඔව් ගිරිතලේ එන්නම් ආයේ...
      බලන්න ලෝකේ කොයි තරම් පුංචිද නේද?

      Delete
  18. කොටි විතරක් නෙවෙයි අපේම මිනිස්සුන්ගෙනුත් වන ආරක්ෂක නිලධාරීන්ට වෙන අනතුරු අහුවම පුදුම ආවේගයක් හිතට ආවෙ.

    ඔබ සැම කරන සේවයට අප සදා ණයගැතියි

    ReplyDelete
    Replies
    1. සමාජයෙ ඉන්න සුලු පිරිසක් තමයි පෞද්ගලික ප්‍රයෝජන තකා ඒ වගෙ දේවල් කරන්නෙ. වැඩි දෙනෙක් වනජීවී නිලධාරීන් කරන දේ අගය කරනවා.

      Delete
  19. වන සංරක්ෂණය කියන දේ මේ විදිහට කතා කරද්දියි මම හිතන විදිහට නම් හුඟක් අයට දැනෙන්නේ. වන සංරක්ෂණ නිලධාරීන් මෙච්චර නැහැන්නේ මොකද කියලවත් එතකොට හිතෙනවානේ මේ ගහක් කොළක්, සතා සිවුපාවෙක් රකින්න

    ReplyDelete
    Replies
    1. වනජීවී සංරක්ෂණය පිටින් බැලුවහම හරිම ආකර්ශණීය රස්සාවක්. ඒකෙ අවදානම පේන්නෙ ටිකක් ලංවෙලා එබිලා බැලුවහම.

      Delete
  20. ගාමිණී අයිය ඉරිද ලක්බිමේ දැක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ, අපේ සුපුන් ළහිරු ප්‍රකාශ් කොල්ලා කෞතුකාගාරය ගැන අගේට ලියලා තියෙනවා.

      Delete
  21. ගාමිණි අයියේ, ලක්බිමේ article එක දැක්කා. නොදැකපු අය මෙතනින් බලන්න. http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4115:2012-05-26-07-59-15&catid=106:mandakiniyaa
    සුබපැතුම් ආ.....!

    ReplyDelete
  22. ඕක කවුරුවත් හරියට තේරුම් අරගෙන නෑ ගාම්නි අයියෙ..

    ReplyDelete
    Replies
    1. වනජීවී සංරක්ෂණයේ අවශ්‍යතාවය මිනිස්සු හරියට තේරුම් ගන්නවානම් මේ රස්සාවෙ අවදානම අඩකට වඩා අඩු වෙනවා. කරුමෙට එහෙම වෙන්නෙ නෑ, මලේ.

      Delete
  23. කෝ අලුතින් මොකුත් ලියන්නේ නැද්ද ???

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ වැඩ ගොඩක කරවටක් ගිලිලා ඉන්නේ කොල්ලෝ .. හැකි ඉක්මනින් මොනවා හරි හෑල්ලක් ලියලා දාන්නම්කෝ ..

      Delete
  24. මේක මටත් සෑහෙන්න සංවේදී අත්දැකීමක්... මගේ වෙන්න හබියත් වනජීවියෙක්.. රේඩ් වලට කැලේට යනකොට ආපහු ඇවිත් කතා කරනකම් පණ බයේ ඉන්නේ.
    අද තමයි සර්ගේ බ්ලොග් එක දැක්කේ... සමරකෝන් සර් ගැන කන් පිරෙන්න අහලා තියෙනවා... ඒක නිසා මේක දැකපු ගමන් මුල ඉදලම කියවගෙන යනවා...සුබ පැතුම්...

    ReplyDelete
  25. සිතිවිලිවලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ඒවා ලියා තැබූ විටය,එහෙත් වඩාත් දසත සුවඳ හමන්නේ හරිහමන් ප්‍රතිචාර සහ විවේචන නිසි කලට රිසි නොරිසි අයුරෙන් හිටු කියා ඔහේ වදිනවනම් පමනි.

    ReplyDelete
    Replies
    1. ලියන දෙයක් කියවල කවුරු හරි අදහසක් පළ කරනකොට ලොකු සතුටක් දැනෙනවා මචෝ ...!

      Delete
  26. මාත් අරුල් අන්කල් ගැන නම් අහල තියෙනවා පොතකින් මොකක්ද කියල හරියටම මතක නෑ , මතක හැටියට ක්‍රිස්ටෝෆර් ඔන්ඩච්චිගේ ( මයිකල් ඔන්ඩච්චිගේ අයිය ) පූනානියේ මිනි කන දිවියා කියන පොතෙන් (මේක සිංහල පරිවර්තනයක් පරිවර්තනය කලේ කව්ද කියල මතක නෑ ) ද කොහෙද ? ,

    ReplyDelete
    Replies
    1. මගෙ මතකයෙ හැටියට පූනානියෙ සිද්ධිය උනේ 1930 දශකයේදි. සමහරවිට ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චිට පස්සෙ කාලෙකදි අරුල් අය්යා මුණ ගැහිලා එයා ගැන ලිව්වා වෙන්න පුලුවන්. මට ඒ පොත කියවන්න බැරි උනා. කොහොම උනත් අරුල් අය්යා ගැන කාණ්ඩ කීපයක පොතක් ලියන්න පුලුවන්.

      Delete
  27. me vage jevethe kapakarala hadak nagannatavth bari satha siupavan venuven hadak nagana uncl lata labena slakemanm adui keyalai mata hethenne,eth sevayenm aduvak ne keyala mn dannava,parisarayath ekka uncl lage theyene badima athmiya badimak keyala keuvoth hari neda uncle.jevetthe puja karpu hama kenekma hoda athmyk labila ape atharma adath athe,me deval dakidde matath hethenne parisarya venuven yamak karannama one keyala uncl... mam isuru....

    ReplyDelete
    Replies
    1. ඉසුරු පුතේ මේක පුතාලගෙ තාත්තලා, අපි සංසාරෙ පතාගෙනම ආපු රස්සාවක්. රස්සාවකට වඩා පරම්පරා හතක් ගොඩ යන පිංකමක්.

      Delete