මගෙ යාලුවෝ

Sunday, June 17, 2012

20. මද්දු ආත්තා



 මගේ අම්මගෙ පුංචි අම්මාගෙ නම දාඹුරේ ලියනගේ මැගිලින් . අපි එයාට කිව්වෙ 'මද්දු ආත්තා' කියලා. කසාද බැඳලා නැති නිසා හතර පෝයට සිල් අරගන්නත්, රට පුරාම තියෙන බන පිංකම්වලට සහභාගි වෙන්නත් මද්දු ආත්තට කාල වෙලාව තිබුනා. ඒ අතරතුර නොයෙකුත් කසාය වට්ටෝරු හොයාගෙන ඇවිත් අත්හදා බැලුවා.

මද්දු ආත්තා අපේ ගෙදරත් නිතර ආවා ගියා. ඒ ආපු වෙලාවට එයා, ළමා වයසෙ හිටපු අපි කරන හැම දෙයක් දිහාම බොහොම විමසිල්ලෙන් බලාගෙන හිටියා. අපි කරන වැරදි බොහොම කරුණාවෙන් පෙන්වලා දීලා අවවාදත් දුන්නා. ඒ කාලෙ කිසිම චාරයක් නොතුබුනු අපේ ඇවතුම් පැවතුම් නිවැරදි කලේ මද්දු ආත්තා කියලා මට හිතෙනවා. ඒ දීපු අවවාද මම අදටත් පිළිපදින්න උත්සාහ කරනවා. මතක ඒවයින් කීපයක් මේ වගේ,

    -  කන්න බෙදා ගන්න ගියහම  තව කන්න කී දෙනෙක් ඉන්නවද කියලා හිතලා, ඒ අයටත් ඉතුරු කරලා බෙදාගන්න.
    -  පෙරේත කමට  කන්න බැරි තරම් බෙදාගෙන, කෑම ඉතුරු කරලා විසි කරන්න එපා.
    -  බත් කනකොට පිඟානෙ කොනින් කොනට, ටික ටික අනාගෙන කන්න. තැන් තැන්වලින් ගොඩවල් අනාගෙන කන්න එපා
    -  දකුණු අතේ පළවෙනි ඇඟිලි පුරුකට ඉහලින් ඉඳුල් ගෑවෙන්න බත් අනන්න එපා.
    -  බත් කටට දාගන්නකොට දිව අදින්න එපා
    -  බත් කන කොට තලු ගහන්න, සද්ද කරන්න එපා
    -  කටේ කෑම පුරවගෙන කතා කරන්න එපා
    -  පිඟාන හෝදනකොට දෙපැත්තම හෝදන්න.
    -  පිඟාන හෝදලා ඉඳුල් වතුර විසි කරනකොට ඒ ඉඳුල් ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියලා  හිතන්න
    -  ඇවිදිනකොට අත පය විසි කරන්න එපා. එහෙම ඇවිදිනකොට අප අවට ඉන්න, අපට නොපෙනෙන පෙරේතයො අපේ අතපයවල හැපිලා මැරිලා පව් සිද්ද වෙනවා.
    -  අතු ගාන කොට කුණු ඉතුරු කරන්න එපා, පව් සිද්ද වෙනවා.
    -  පිට ගෙදරකට ගිහිල්ලා වාඩිවෙනකොට ගේ ඇතුළ පේන්න ඉඳ ගන්න එපා

මද්දු ආත්තා ගාල්ලෙ, මැද කීඹිය ගමේ දැනට අවුරුදු සීයකටත් වඩා ඉස්සර ඉපදිලා, ඉතාම ග්‍රාමීය පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක්. ඒ වගේම එතුමිය කිසිකෙනෙකුට කරදරයක් නොවෙන විදිහට, ආගම දහම විසින් හික්මවුනු ජීවිතයක් ගත කළා. ඒ විතරක් නෙමෙයි, ඒ හික්මීම ඊලඟ පරම්පරාවලටත් දෙන්න පුලුවන් පෞරුෂයකුත් මද්දු ආත්තට තිබුනා.

ඉතින් මට මේවා හදිසියෙම මතක් උනේ පහුගිය දවසක අපේ දෙපාර්තමේන්තුව, කුන්ඩසාලෙ හෝටල් පාසලේදි අපට කෑම මේසයෙදි අනුගමනය කරන්න ඕන ආචාර ධර්ම ගැන පුහුණුවක් දීපු වෙලාවෙ. නාකි මට මොන ආචාරධර්මද කියලා  ඉස්සෙල්ලා හිතුනත්, පස්සෙ හිතුනා පිරිසක් එක්ක කනබොන වෙලාවට අනිත් අයට කරදරයක්, විහිලුවක්, පිළිකුලක්,  නොවෙන විදිහට හැසිරෙන එක වැදගත් කියලා.

කුන්ඩසාලෙ හෝටල් පාසලේ පාඨමාලාව, මද්දු ආත්තගෙ පාඨමාලාවට වැඩිය පොෂ්.  පනහ පැනපු මට කුන්ඩසාලෙදි ඉගෙනගත්තු සමහරදේවල් අමුතු දේවල් හැටියට නොපෙනුනත්, කාගෙත් යහපතට එයින් කීපයක් ගැන ලියන්න හිතුවා. අන්තර් ජාලයෙන් හොයාගත්තු තොරතුරු ටිකකුත් ඒකෙ තියෙනවා.

    -  අත් පිස්නාව භාවිතය

        කෑම මේසයට වාඩි වෙලා ඉස්සෙල්ලාම කරන්න ඕනෑ මේසෙ උඩ නොයෙකුත් හැඩයට නවලා ලස්සනට තියලා තියෙන අත් පිස්නාව (නැප්කින් එක) සීරුවෙන් දිග ඇරලා ඔඩොක්කුවෙ එලා ගන්න එක. කෑම ගන්න අතරේ අවශ්‍ය වෙලාවට දෙතොල් පිසදා ගන්න ඒක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් අත පය, මූණ, හො‍ටු පිහිදාන්න පාවිච්චි කරන්න එපා.
       
        කෑම ගැනීම අවසානයෙදි අත් පිස්නාව සාමාන්‍ය විදිහට නවලා දකුණු පැත්තෙන් තියන්න. කෑම පිළිගැන්වීම වම් පසිනුත්, හිස් පිඟන් ඉවත් කිරීම දකුණු පසිනුත්සිදුවෙන නිසා, ඔබ ආහාර අරගෙන අවසන් බව එයින් හැඟවෙනවා.

    -  ආහාර ගැනීම ආරම්භ කිරීම

        සාමාන්‍යයෙන් බටහිර කෑමක් වට කිහිපයකින් (කෝස්) සමන්විත වෙනවා. සෑම වටයකදීම සියල්ලන්ටම ආහාර පිළිගන්වනතෙක් බලා ඉඳලා, ආහාර ගැනීම එකවරආරම්භ කලයුතුයි. කාගෙ හරි ආරාධනයෙන් භෝජන සංග්‍රහයකට සහභාගි වෙනවා නම් ඔහු හෝ ඇය ආහාර ගැනීම පටන් ගන්නා තෙක් ඉවසගෙන ඉන්න එක සුදුසුයි.

    -  ආහාරගෙන අවසන් බව හැඟවීම

        පිළිගන්වන ආහාර සියල්ල කා දැමිය යුතුයයි නීතියක් නෑ. ප්‍රමාණවත් ආහාරයකට පස්සෙ හැඳි ගෑරුප්පු පිඟානෙ දකුනු පැත්තෙන් මිටවල් පිටතට තියෙන විදිහට තියන්න. (ඔරලෝසුවෙ 4 වෙලාව දැක්වෙන විදිහට)  ඉඳුල් තැවරුනු හැඳි ගෑරුප්පු මේස රෙද්ද උඩ තියන්න එපා.
   
    -  හැඳි ගෑරුප්පු පාවිච්චිය

        මෙනුව අනුව පාවිච්චි කළ යුතු හැඳි ගෑරුප්පු අනු පිළිවෙලින් පිඟාන දෙපැත්තේ තියලා තියෙනවා. පිටතින්ම තියෙන හැන්දයි ගෑරුප්පුවයි අරගෙන වැඩේ පටන් ගන්න පුලුවන්. මාලු හා මස් ආහාරයට ගන්නා හැඳි ගෑරුප්පු, පිහියාවල හැඩයේ සහ ප්‍රමාණයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

වමතින් ගෑරුප්පුව අරගෙන, මස් මාලු වගේ ආහාර පිඟාන මත තද කරලා අල්ල ගෙන, දකුණතින් පිහිය අරගෙන කපාගන්න පුලුවන්. ඊට පස්සෙ පිහිය පැත්තකින් තියලා කපාගත්තු ආහාරය ගෑරුප්පුවෙන් අරගෙන කන්න ඕනෑ. ඇමෙරිකානු ක්‍රමයට ගෑරුප්පුව දකුණතට මාරු කර ගන්නත් පුලුවන්. කපා ගන්න අවශ්‍ය නැති බත් වගෙ ආහාර ගන්න හැන්ද පාවිච්චි කරන්න පුලුවන්. සුප්වලට වෙනමම බොකු‍ටු හැන්දක් තියෙනවා. සාමාන්‍ය හැන්දෙන් කනකොට හැන්දේ ඉදිරි තුඩ පැත්තෙනුත්, සුප් හැන්දේ පැත්තකිනුත් ආහාර ගන්න කියලා තමයි කියලා දුන්නේ.

        අතුරුපස ගන්නා අඬු පඬු කට්ටලය පිඟානට ඉහලින් තියලා තියෙන්නේ. බටර් වගේ තැවරුමක්    ඉස්සෙල්ලා තමන්ගෙ පිඟානට අරගෙන පස්සෙ පාංවල තවරාගන්න ඕනෑ.

        හැඳි ගෑරුප්පු පාවිච්චිය ඉතාම සන්සුන්ව, නිහඬව කළයුතු බව කියන්න ඕන නෑනේ. ආහාර ගන්නා අතරතුර වැලමිට මේසය උඩ නොතබන්නත් වම් අත පාවිච්චි නොකරන වෙලාවට උකුල මත තබා  ගන්නත් මතක තියාගන්න ඕනෑ.

    -  බීම වර්ග පානය

        ශීත කළ පාන වර්ග පිළිගැන්වෙන්නේ උස න‍ටුවක් තියෙන වීදුරුවක. ඒ වගේ බීම වීදුරුවේ න‍ටුවෙන් අල්ලගෙන පානය කරන්න පුලුවන්.අනෙක් බීම වර්ග සාමාන්‍ය බීම වීදුරුවක පිළිගැන්වෙනවා. ඒවා පානය කරනකොට පොරක් වගේ පේන්න නම් වීදුරුවේ බීමවල ඉහල මට්ටමට උඩින් ඇඟිලි තුඩින් වීදුරුව  අල්ලා ගන්න ඕනෑ.

        බටහිර පන්නයට ආහාර ගන්න එක දස වදයක් කියලත් හිතෙනවා. ඒ උනත් පිරිසක් ඉදිරියේ අපිට ගෙදරදී වගේ කොත ගහලා බත් පිඟානක් බෙදාගෙන සවල් ගහලා, අන්තිමට ඇඟිලිත් ලෙවකන්න බෑනේ. ඒ නිසා මේ වගේ ආචාර ධර්ම ගැන හිතලා හැසිරෙන්න වෙනවා.

        ඒ වගේම අපිට අපේ ජීවිතවල ඇද කුද ඇර ගන්න මද්දු ආත්තලාත් ඕනෑ.

39 comments:

  1. "පෙරේත කමට කන්න බැරි තරම් බෙදාගෙන, කෑම ඉතුරු කරලා විසි කරන්න එපා"

    මම කෑම බෙදාගද්දී වගේම කෑම කද්දී හිතන්නේ සෝමාලියාවේ හුඟක් අය මන්දපෝෂණයෙන් මැරෙනවා කියලා. විහිළුවක් වගේ වුණත් එහෙම හිතන එකෙන් උවමනාවට වඩා බෙදාගන්නේ නැහැ වගේම බෙදාගත්ත ටිකත් බත් ඇටයක්වත් ඉතුරු නොවෙන විදිහට කනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ දානෙ ගෙවල්, මගුල් ගෙවල් ව්ගේ වෙලාවලදි කොච්චර කෑම අපතේ යනවද?

      ඉස්සර ගෙදර උනත් බත් ඉතුරු උනහම අපේ අම්මලා අව්වේ දාලා වේලලා වංගෙඩියේ දාලා සීනිත් එක්ක කොටලා ගුලි හදලා අපට දෙනවා. අපේ නෝනලාට ඒවා කරන්න වෙලාවක් නෑනේ.

      අපේ දෙපාර්තමේන්තුවෙ ඉස්සර හිටපු එක දමිල අඩවි සහකාර මහත්තයෙක් මට කිව්වා එයාගෙ තාත්තා ගෙයි බිම බත් ඇටයක් වැටිලා තියෙනවා දැක්කොත් ඇහිඳලා අරගෙන හෝදලා කටේ දා ගන්නවා කියලා.

      ජර්මනියෙ සමහර නගරවල හෝටල්වල කෑම ඇනවුම් කරලා ඉතුරු කළොත් පුරවැසි කමි‍ටුවෙන් ඇවිත් දඩ ගහනවා කියලා මම අහලා තියෙනවා.

      Delete
  2. Table manners සහ Corporate finesse කියලා හත් අට සැරයක්ම ඔය වගේ පුහුණු වලට ගියත් අයියෙ, දෙයියනේ ඔය ටික මට නම් මතක තියා ගන්ඩ බෑ. මොකද අපි ගෙදර ඉඳන් සහ ඔෆිස් එකේදි අපේම ඉට්ටැයිල් එකකටනෙ කන්නෙ. ඉතින් ඉඳලා හිටලා හරි ඔය වගේ පොශ් තැනකට ගියහම තමයි සොරි වෙන්නෙ.. කාලා වරෙන්කො මේ manners ටිකත් මතක් කර ගන්න ඕනි. මලම මල කෙලිය වෙන්නෙ මන් වගේ වමත් කාරයින්ට තමයි. කපන්න ඕනි ඒවා කපන්න දකුණු අත හුරු නෑ..අනිත් පැත්තෙන් මැනර්ස් ෆලෝ කරන්නත් ඕනි. මන් කරන්නෙ වැඩිය කපන්න ඕනි නැති ජාති තමයි කන්න තෝර ගන්නෙ..
    ලිපියෙ තියෙන කරුනු ටික කියවලා ආයිත් මතක තියා ගත්තා..
    කිව්වා වගේ අර සම්ප්‍රදායිකව අපේ ආච්චි අම්මලා සීයලා කීව දේත් ඇත්තටම සර්වකාලීනව ගැලපෙනවා..
    හ්ම්ම්ම් අර රේබීස් විද්ද ඩොක්ටර් රැව්වෙ කිලෝ සීයයි කියලා නේද ?අත්තා කීව සමහර උපදෙස් නම් පිලිපැදලා නැද්ද මන්දා :-D

    ReplyDelete
    Replies
    1. හැඳි ගෑරුප්පු වලින් කන එකනම් මල වදයක්ම තමයි මලේ .. ඒ උනත් ඒක නොකර බැරි අවස්ථාවල් එන නිසා පුරුදු නොවීත් බෑ ..

      මද්දු ආත්තා කියපු දේවල් ඇහුවා නම් මගේ ඇඟ නියම ශේප් එකට තියා ගන්න තිබුනා තමයි මලේ ...

      Delete
  3. නියමයි මචං. අර අතපය වල වැදිලා පෙරේතයෝ මැරෙන එකයි, කුණු ඉතුරු කරාම පව් සිද්ධ වෙනවයි හැර අනිත් ඔක්කොම අදටත් එක හා වලංගුයි කියලයි මම හිතන්නෙ. මද්දු ආත්තලා අදටත් ඕනෙ තමයි. (ආත්තා කියන්නෙ සීයා කෙනෙක් කියලයි මම හිතා හිටියෙ).

    ඕකට සිංහලෙන් කියන්නෙ etiquette කියලනෙ. ඒ විස්තර දාපු එක හොඳම වැඩක්. ඇයි බං දැන් ටීවී එකේ උගන්නන්නෙ චොකලට් කනකොට, කිරි බොනකොට, මූණ පුරා ගාගෙන කිරි ‍රැවුලකුත් තියාගෙන "බ්ර්ර්ර්ර්ර්ප්" කියලා හුලනුත් ඇරියෙ නැත්නම් වැඩක් නනෑ කියලනෙ.

    උම දන්නවද මම ගෑරුප්පුව කොයි අතටද කියලා මතක තියාගන්න සූත්‍රය? FORKLIFT හෙහ් හෙහ්

    ඒ වගෙම බටහිර ක්‍රමයට වැලමිට මේසෙ උඩ තියා නොගත්තත් සිංහල ක්‍රමයට වම් වැලමිට මේසෙ උඩ තියා ගන්න ඕනෙ නේ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දකුණු පලාතෙ ආච්චිටයි සීයටයි කියන්නේ'ආත්තා', 'මුත්තා' කියලා. ඒකෙ ගෞරවාර්හ පද 'ආත්තම්මා' 'මුත්තණ්ඩී' කියලා යෙදෙනවා.

      සමහර පලාත්වල සීයට 'අත්තා' කියනවා මම අහලා තියෙනවා.

      ඇත්තටම මචං ටීවී එකේ පෙන්නන දේවල්වලින් පොඩි එවුන්ගෙ මනස කොච්චර විකෘති වෙනවද?

      Delete
    2. //දකුණු පලාතෙ ආච්චිටයි සීයටයි කියන්නේ'ආත්තා', 'මුත්තා' කියලා.//
      පිට පලාත්වල මුත්ත කියන්නෙ සීයගෙ තාත්තට. අපි මෙහේ කියන්නෙ මී මුත්ත කියල.

      Delete
  4. http://www.youtube.com/watch?v=6BSaZo3MNA4&feature=BFa&list=PL8C4ECCDD361CE2D3

    ReplyDelete
  5. (ඔරලෝසුවෙ 4 වෙලාව දැක්වෙන විදිහට) ??
    4.20??

    ReplyDelete
    Replies
    1. හරියට හරි, ඔරලොසුවෙ 4.00 නෙමෙයි, හැන්දයි ගෑරුප්පුවයි දෙක 4.20 වෙලාව දැක්වෙන විදිහටයි තියන්න ඕනෑ.

      Delete
    2. අපේ කොන්වන්ට් එකේ එහෙම නොවැ කියල දුන්නෙ.

      Delete
  6. මේ ටික මතක් කරගෙන කන්න ගියාම කන්නෙ මොනවද කියල හිතාගන්නෙ කොහොමද? :D
    වැදගත් උපදෙස් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මලේ හැන්දයි ගෑරුප්පුවයි නම් මල වදයක්, කනදෙයක් ඇඟට අල්ලන්නෙම නෑ.

      Delete
  7. ඔය විදිහට රාජ බොජනේ දුන්නත් කන්ඩ ඇහැකිද අප්පා.. කෑම කන ටිකත් නිවී සැනසිල්ලෙ කන්ඩ නැති හැටි ......

    ReplyDelete
    Replies
    1. හැන්දෙන් ගෑරුප්පුවෙන් කන තැන් වලට ගියහම අනිත් එකාලා බලාගෙන ඉන්නෙ අපි කොහොමද කන්නෙ කියලා.

      Delete
  8. අපේ තියන ආහාර රටාව එක්ක නං හැඳි ගෑරුප්පු ගැලපෙන්නෙ නෑ. ඒත් ඒව පාවිච්චි කරන්න වෙන තැන් තියනව. මටනං එච්චර ප්‍රැක්ටිස් නෑ. :-)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් අපිට හොඳටම ගැලපෙන්නේ අතින් කෑම. කිව්වත් වගේ කොහොමද මුරුංගා හරි කොස්ඇට හරි තිබුනා නම් ගෑරුප්පුවෙන් කන්න.

      Delete
    2. ඔය මුරුංගා හැන්දෙං කෑමෙ කලාව අපිට ඉගැන්නුව අපි පොඩි කාලෙ.

      http://emailkavikaari.blogspot.com/2011/12/2.html

      Delete
    3. රාජ් මලේ .. අපි ඉස්කෝලෙ යන කාලෙ 'සච්චා ජූතා' කියලා හින්දි ‍ෆිල්ම් එකක් ආවා. ඒකෙ එකෙක් ගෑරුප්පුවෙන් කඩල කනවා තියෙනවා. ඌ කඩල ඇටයක් ගෑරුප්පුවෙ අමුනගන්න මේසෙ යටටත් රිංගනවා. අපිත් ඒ වගේ ජෝකර්ලා වගේ පේනවා ඇති, හැන්දෙන් ගෑරුප්පුවෙන් කන වෙලාවට.

      Delete
  9. සුප් වල අන්තිම හරිය බොනකොට සුප් බෝල් එක ඇග පැත්තට නෙවෙයි අනිත් අතට හරවලා අන්තිම හරිය හැන්දට ගන්න නේද කියන්නෙ?

    තාම ඔහොම හැදි,ගෑරුප්පු සෙට් එකම අරගෙන කන්න වෙලා නෑ කොහේවත්.හරිම වදයක් වගේ පේන්නෙ.හුගක් වෙලාවට අපේ රටේ සොෆ්ට් එකට මස් උයන්නෙත් නෑ නෙ.පිහි හම්බ වෙන්නෙත් නෑ සමහර වෙලාවට.ඒ වගේ වෙලාවට එන කේන්තියක්.කන්න වෙන්නෙ නෑ ඉතිං.

    ReplyDelete
    Replies
    1. ඔය සීන්එක මටත් පුරුදුයි. මෙහේ උයන විදියට කන්න ලේසි නෑ. :D

      Delete
    2. මාත් මල පැනලා හැඳි ගෑරුප්පු පැත්තක දාලා අතින් පයින් ගේම දීපුවලාවල් ඕනතරම් තියෙනවා. බීලා ඉන්න වෙලාවට නම් හැඳි ගෑරුප්පු ඕනෙම නෑ.

      Delete
  10. අපි පුංචි කාලේ තාත්ත එක්ක එක මෙසේ වටේට වාඩිවෙලා කන්න නීතියක් තිබුනා. එතකොට ඉතින් ඔය දස පනත් ඔක්කොම තිබුනා. චවු චවු ගාල හලන්නත් බැහැ.. කතාකරන්නත් තහනම්.. හැබැයි තාත්තා ගෙදර නැති දාට ඔය නීති ඔක්කොම කැඩුවා. දැන් පොඩි එවුන්ට අපි නීති කියලා දෙනවා. කන්න බැරි තරම් බෙදාගෙන කෑම වීසි කරන්න එපා ලෝකේ මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවාද කියල කිවුවම අපේ දෝණියන්දෑ "ඉතින් තාත්ති මන් කෑවේ නැත්නම් තාත්ති ඉතිරි කෑම අප්‍රිකාවට යවනවායැ ? ඉවර වෙන්න කෑවත් ඉතින් කාපු එවුවා ටොයිලට් එකටනේ ".. කියල කියනවා. ඔයා ඔය කී දේ අපි සීයාට කීවා නම් පස්ස පැත්තේ හම කෝටුවේ තියෙයි.. මන් කියනවා. තාත්තිට පිස්සු .. සීයා තාත්තී තරම්වත් වස පාටක් තිබුනේ නැහැ ! කෙල්ල කියනවා. අපි පරාදයි..

    ReplyDelete
    Replies
    1. පළවෙනි කාරණේ දැන් හැදෙන පරම්පරාවල් මාර මීටර් (අති පණ්ඩිතයො ) වීමය.
      දෙවනි කාරණේ නම් දරුවන්ට තියෙන නීති රීති කවදාවත් මුණුපුරු මිණිපිරියන්ට නොතිබීමය. අපේ ආච්චි අම්මා කොච්චර සැරයි කියා කවුරු කීවද මට පිළිගන්න බැරිත් ඔය හේතුව නිසාමය.

      Delete
    2. දැං ඉන්න පැටව් එක්ක වාද කරන්න යනවට වැඩිය හොඳයි කට පරිස්සම් කරගෙන උන් කියන දෙයක් අහගෙන ඉන්න එක. දැනුම අත්දැකීම් දෙකෙන්ම උන් අපට වඩා ඉස්සරහින් ඉන්නවා.

      Delete
  11. මද්දු ආත්තා කිව්ව කරුණු පොදුවේ අනුන්ට කරදරයක් නොවෙන විදිහටත්, යහපතක් වෙන විදිහටත් ජීවත් වීමේ රටාවක් හුරු කරවන දේවල්. පෙරේතයො හිටියත් නැතත්, අර කිව්ව විදිහට අතපය විසි කර කර ඇවිදින එකෙන් එක්කො අනෙක් කෙනෙකුගෙ ඇඟේ වදින්න පුළුවනි; එහෙම නැත්නම් මේසයක්/ රාක්කයක් වගේ තැනක තියෙන දෙයක් බිම වැටෙන්න පුළුවනි. ඒ අනික් කාරණාත් ඒ වගේ. ඒ ගැන නොහිතන කෙනෙකුට මද්දු ආත්තගෙ මේ උපදෙස් හුඟක් වටිනවා.

    බටහිර ජාතිකයෙකුට අපේ කෑම අතින් කන්න බැරි වුණාට අපි ඒක මදිපාඩුවක් කියලා හිතන්නෙ නැහැ නේද? අනික් අතට එකක් දෙකක් ඇරුණුකොට ඔය නීතිරීතිවලින් අනුන්ට හෝ තමන්ට යහපතක් වෙනවය කියලා කියන්නත් බෑනෙ. ඒ වැඩි හරියක් චාරිත්‍රම විතරයි. එහෙම එකේ ඔය නීතිරීති සේරම අකුරට පිළිපදින්න නහින්න ඕනය කියලා මට හිතෙන්නෙ නැහැ. නමුත් දැනගෙන හිටියට පාඩුවක් සිද්ද නොවෙන බව ඇත්ත. අර කිව්වත් වගේ, තැනකට ගිහින් අපි ඔව්වයින් කන්න දන්නෙ නැති වුණොත්, අපේම කස්ටිය අපට හිනා වෙයි. පරිභව කරයි. ඒත් ඉතින් අපිට කෑම දිරවනවනෙ. කවුරුත් හිනා වුණාය, පරිභව කළාය කියලා අපිට කියන්න තරම් පාඩුවක් වෙන්නෙත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එදා හෙළ දිව කියවද්දි පේනවා අතින් ආහාර අනුභවයට සහ කොතලයට කට නොතබා ජලය පානය කිරීමට සිංහලයන්ගේ තිබුණු හැකියාව දක්ෂ කමක් විදිහට නොක්ස් දැකපු ආකාරය. ඇත්තටම මේ සුද්දොන්ට මේවා හපන්කම් වගේ පෙනුනට මුන්ගේ තියෙන ආඩම්බරේට පිළිගන්නෙ නෑ මයෙ හිතේ!

      Delete
    2. ඇත්තටම මද්දු ආත්තා ළමා වයසෙ හිටපු අපේ හිත්වලට එයා දීපු අවවාද කාවද්දන්න 'එහෙම නොකරොත් පව් සිද්ද වෙනවා' වගේ ආගම දහමේ සංකල්ප හරි අපූරුවට පාවිච්චි කළා කියලා මට හිතෙනවා.

      බටහිර සිරිත් විරිත්වල වැඩි හරියක් තියෙන්න බොරු ආටෝපය විතරයි.

      Delete
    3. දැන් අවුරුදු පහක් හයක් විතර තිස්සේ මාසෙකට දහ වතාවක් විතර මටත් ඔය වදේ වෙනවා ඒත් ඔය කරදරේට වැටුන මුල්ම දවසේ ඉඳන් හිතාගත්තා ඔය අඬු බඬු සෙට් එක්ක කෑම කන්නේ නෑ කියලා . මට ඕනේ කෑම කන්න ගෑරුප්පුව විතරයි . ෆින්ගර් බෝල් දෙන බව පේනව්නම් ඉක්මනින්ම ඒවා ඉල්ලගන්නවා අතින් කනවා .ජොලිම වැඩේ පොෂ් තැන් වලදි ගොඩක් අය ලැජ්ජයි ඔහොම නිද්හසේ කන්න . නමුත් අපි කවුරුහරි එක්කෙනෙක් නීතිය කැඩුවාම හැමෝම අනුගමනය කරනවා .කෑම නම් කන්න ඕනේ නිදහසේ තමට පහසු විදියට හැබැයි අර කිව්ව වගේ යම් ආචාරශීලීත්වයක් ඇතුව .

      නමුත් ඔය කිව්ව නියම ආචාර සමාචාර විධි සමහර තැන් වලදි නම් වැදගත් වෙනවා ඇති විශේෂයෙන් ඩිප්ලොමැට්ස් ලාට එහෙම .

      Delete
    4. අමෙරිකානු සම්ප්‍රදාය යුරෝපීය ක්‍රමයට වඩා ටිකක් නිදහස්. හැන්ද පැත්තකින් තියලා ගෑරුප්පුවෙන් වැඩේ ගෙනියන්න පුලුවන්. කොහොම උනත් අතින්ම සවල් පාර ගහලා ටිකක් වටපිට බලලා ඇඟිල්ලත් ලෙවකන්න පුලුවන් නම් .. කියලා වැඩක් නෑ.

      Delete
  12. පිඟානෙ කෑම ඉතුරු කරන පුරුද්ද මට අතෑරගන්නම බැරුව ඉඳිද්දි ඔබ්සර්වර් අයිය වෙනුවෙන් එයාලගෙ ගම්පහ ගෙදර තිබුන දානෙට සහභාගී වෙච්චි වෙලාවෙ බෙදාගත්ත බත් පිඟානෙ එක බත් ඇටයක්වත් ඉතුරු නොකර කාපු මාරයා ඒ වෙලාවෙ ඇදුන කතාවෙදි කිවුව "අපි කන බත් ඇටයක් ඇටයක් ගානෙ ගොවියෙක් කොන්ද නමනව" කියල. එදා ඉඳල මගෙ කෑම ඉතුරු කරන පුරුද්ද ඉවරයි

    ReplyDelete
    Replies
    1. කෑම ඉතුරු කරලා අහක දාන එක නම් හොඳ දෙයක් නෙමෙයි තමයි.

      අපේ තාත්තා හැමදාම කන්න පටන් ගන්න ඉස්සෙල්ලා බත් ගුලියක් සත්තුන්ට වෙන් කරනවා.

      Delete
  13. අපේ පැත්තේ ආතා කියන්නේ සීයට. ආත්තා කියල වචනයක් නෑ. ආච්චි අම්මා කියල තමයි කියන්නේ. මුත්තා කියන්නේ සීයගෙත් තාත්තාට.

    හ්ම්.. මටත් ඔය හැඳි ගෑරුප්පු සෙල්ලම මතක හිටින්නෙම නෑ. අනිත් එක ඔය සුද්දො ඕනෙ කෑමක් හැඳි ගෑරුප්පු වලින් කෑවට මට නම් ඒක කරන විදිහ හිතා ගන්නත් බෑ. යූ ටියුබ් එකේ බලන්නකො මේ ඉන්ගිරිස් කාරයො ඉස්සො කකුළුවො පවා හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චි කරලා පොතු ගලවන් කන ලස්සන.
    (දවසක් මාත් ස්පැගටි නිවැරදිව කන විදිහ යූ ටියුබ් එකෙන් බලලා කරන්න ගියා. නාගත්තා )

    නියම ලිපිය. මට අපේ නැන්දාච්චි, ඒ කියන්නෙ තාත්තගෙ නැන්දා සහ ලොකු ආතා, තාත්තගේ මල්ලි මතක් වුණා. ගොඩක් ආචාර ධර්ම එයාල තමයි මට කියා දුන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලකී, අපේ වැඩිහිටියො අපේ ජීවිත හැඩ ගහ ගන්න කොච්චර අවංකව උදව් වෙනවද? ඒත් මෝඩ අපි සමහර වෙලාවට ඒ සේරම පැත්තකින් දාලා ටීවී එකේ පෙන්නන දේවල් අපේ පරමාදර්ශ කරගන්නවා.

      Delete
  14. විස්තර ගොඩක් දැනගත්තා ගාමිණි අයියණ්ඩි. සුදු යාලුවොත් එක්ක ගමන් දෙක තුනක දී කෑම අරං තියෙනවා. වෙලාවටක හිතෙනවා අලුත් පන්නෙට හැදෙන සුද්දෝ ඕවා මායිම් කරන්නෙ නෑද්ද කියලා. උන් හරිම නිදහසේ කෑවේ බිව්වෙ. අතවශ්‍යම දේවල් ටිකක් විතරයි කලේ........ මොකද හිතෙන්නෙ ඒ ගැන..ගාමිණි අයියණ්ඩිට...

    ReplyDelete
  15. ඒක හරි මලේ. යාලුවෙක් එක්ක කෑම ගන්න සාමාන්‍ය අවස්ථාවලදි ඉතාම නිදහසේ කෑම කන සුද්දෝ මමත් දැකලා තියෙනවා.

    ඒත් මම හිතනවා ව්‍යාපාරික අරමුණු ඇතිව සංවිධානය කරන අවස්ථාවලදි තමන්ගෙ ආචාරශීලීකම ප්‍රදර්ශණය කරන්න උපරිම උත්සාහය ගන්නවා. table etiquette වලදි තමන්ගෙ host ඉදිරියේ ඉතාම ආචාරශීලී වෙන්න කියලා තමයි උගන්නන්නෙ. ඌ තරහ උනොත් බිස්නස් එක ගහලා යනවනෙ.

    ReplyDelete
  16. අනේ මංදා ලංකාවෙදි නං ලොකු හෝටලේකට ගියත් මම නං අර අත හෝදන්න බාජනේ ගෙන්නං හෝදං පුරුදු හැටියෙ කනවා. සුද්ද පානුයි, බැදපු බිත්තරයි හැම් බේකන් කන්න පාවිච්චි කරාපු අවි ආයුධ අපේ බත් මාළු කන්න පාවිච්චි කරන්න හිත දෙන්නෙ නෑ මටනං. සුද්දො එක්ක කන්න ගියොත් නං අවි හරඹෙ කරනවා. නැත්තං මොටෝ අපිට ඔව්වා...........

    ReplyDelete
  17. තනියම බත් එක බෙදා ගන්න වෙලාවට නම්, බත් ඉවර වෙන්නම වගේ කනවා. ඒත් අම්මා බත් එක බෙදපු දවසට පිගානෙන් භාගයක්වත් ඉවර කරන්න බෑ. :D
    වටින පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. ආදරේට බෙදන බත් පිඟන්වල නම් බාගයක් ඉතුරුවෙනවමයි ..!

      Delete