මගෙ යාලුවෝ

Saturday, January 7, 2012

11. අපේ ගුරුවරු


මේ ලඟදි ටීවී නිව්ස් බලද්දි එකපාරටම කිව්වා අපේ ඉස්කෝලෙ, නාලන්දාවෙ, හිටපු ගුරුතුමියක් ගෙවල් නැති ගුරුවරුන්ට ගෙවල් හදා ගන්න ඉඩමක් දීලා, ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය බෞද්ධ සංගමයෙන් ගෙවල් හදලා දෙනවා කියලා. ඉඩම දීපු ටීචර් කව්ද කියලා මාත් පැනලා බලනකොට අපේ රොද්‍රිගු ටීචර්. එතුමිය බැසිල් ඇමතිතුමාත් එක්ක තමන් පරිත්‍යාග කරපු ඉඩමෙ ගෙයක් හදන්න මුල්ගලක් තියනවාත් පෙන්නුවා. රොද්‍රිගු ටීචර්ගෙ පින්තූරයක්වත් දැක්කෙ අවුරුදු තිස් ගනණකට පස්සෙ.

රොද්‍රිගු ටීචර් කියන්නෙ අපි ඉස්කෝලෙදි ටිකක් සැර ටීචර් කෙනෙක් හැටියට දැකපු ගුරුතුමියක්. අපිට එහෙම හිතුනට ඒ ටීචර්ට මොනතරම් දයාබර හදවතක් තිබිලා තියෙනවද කියලා මට හිතුනා. අපට නපුරු විදිහට පෙනුනු හුඟක් ටීචර්ලා ගාව අපට නොපෙනුනු කරුණාබර හදවතක් තිබුනු බව දැන් හිතෙනවා. අද ලියන්න හිතුවේ ටීචර්ලා ගැන.

අපි ඉස්සෙල්ලාම හිටියෙ හෝඩියෙ. ඒ වචනෙ දැන් පාවිච්චි වෙන්නෙ නෑ. ඒකට 'පහල බාලාංශය' කියලාත් කියනවා මතකයි. පන්තිවලට 'ශ්‍රේණිය' කියන්න පටන් ගත්තෙ පස්සෙ කාලෙකදි. 'සාමයි, අමරයි' හිටියෙත් නෑ ඒ දවස්වල. අපේ හෝඩි පොතේ තිබුනේ 'මාලතී එන්න මල් පිපීදැයි බලන්න' කියලා. පස්සෙ කාලෙකදි මම වැඩ කරපු තැනක මාලතී කියලා ගෑණු ලමයෙකුත් වැඩකලා. ඒකි දැක්කහම කොල්ලො කෑගහනවා 'මාලතී එන්න මල පිපීදැයි බලන්න' කියලා. ටීචර්ලා ගැන ලියන්න ගිහිල්ලා වෙනිං කතන්දරත් මතක් වෙනවා.

උඩුපිල ඉස්කෝලෙ  හෝඩියෙ පන්තියෙදි මට ඉගැන්නුවෙ කෝරාල ටීචර්. (ඒ ඉස්කෝලෙදි අපි ටීචර්ලාට කතා කලේ 'නෝන මහත්තයා' කියලා). එයාත් මට පෙනුනෙ ටිකක් සැර ටීචර් කෙනෙක් හැටියට.  මම දවසක් අඬාගෙන ඇවිත් ටීචර්ට කිව්වලු පන්තියෙ කොල්ලෙක් බැන්නා කියලා.  'මොකක් කියලද බැන්නේ ..? කියලා ඇහුවහම කිව්වලු 'එයා මට උඹ කිව්වා ..' කියලා.  කෝරාල ටීචර් අපේ අම්මා එක්ක කතාව කියලා හොඳටම හිනා වෙලා තිබුනා. කොරාල ටීචර්ගේ මහත්තයා ඉගැන්නුවෙ අල්ලපු පන්තියෙ. දවසක් මොකක් හරි වරදකට අත දිගෑරල කොල්ලෙක්ගෙ කණට ගැහුවා. ඌ කලන්තෙ දාලා එතනම කැරකිලා වැ‍ටුනා. දැං කාලෙ කොල්ලෙකුට එහෙම ගැහුවා නං උන්දෑ හය මාසයක් හිරේ.

දෙකේ පන්තියෙදි මම ගල්කිස්සෙ හේනපාර කණිෂ්ටෙට ආවා. එහේදි තමයි මම ටීචර්ලාට 'ටීචර්' කියන්න පුරුදු උනේ. එහේදි ඉස්සෙල්ලාම උගන්නපු රත්නසිරි ටීචර් හරි අහිංසකයි. තුනේ පන්තියෙදි උගන්නපු විජේවික්‍රම ටීචර් නම් සැරයි. දවසක් හතරවරක් චක්කරේ පාඩම් දෙන්න බැරිවෙලා මාව පන්තියෙ ඉස්සරහ හිටවලා තිබ්බා. මගෙ කරුමෙට ඒ අපේ එම්. විජේපාල ප්‍රින්සිපල්තුමානෝ වේවැලේ ඇද අරින වෙලාව. තඩි බාන්න කොල්ලෙක් හොය හොයා ඉස්කෝලෙ වටේ යන ගමන් එතනට කඩාගෙන වැ‍ටුනා. 'මොකද මෙයා මෙතන ..? කන්ණාඩිය උඩින් මගෙ දිහා බලලා උන්වහන්සේ අහපි. 'චක්කරේ අමතක වෙලා ..' වෙන්න යන දේ තේරිලා විජේවික්‍රම ටීචර් අප්සෙට් එකේම කිව්වා.  'අල්ලනවා අත ..' කියලා චටපටාස් ගාලා දෙකක් දීලා එතුමා ගියා. අපේ අම්මා ඉගැන්නුවෙත් එතකොට ඒ ඉස්කෝලෙමයි. විජේවික්‍රම ටීචර් අම්මට කතාව කියලා තියෙන්නෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන.

හතරෙ පන්තියට එනකොට මට හරි ආසාවක් තිබුනා සර් කෙනෙක්ගෙ පන්තියක ඉගෙන ගන්න. ඉස්කෝලෙ පටන් ගන්න පළවෙනිම දවසෙ මම ගිහිල්ලා සිරිල් සර්ගෙ පන්තියෙ වාඩි වෙලා හිටියා. ඒත් නම් ලකුණු කරන වෙලාවෙ වැඩේ මාට්‍ටු උනා. චෙක් කරලා බලද්දි අල්ලපු පන්තියෙ ජොස්ලින් ටීචර්ගෙ ලයිස්තුවෙ මගෙ නම තිබුනා. 'මෙයා මගෙ එක්කෙනෙක්නෙ ..' කියලා ජොස්ලින් ටීචර් මාව ඇදගෙන ගිහිල්ල එයාගෙ පන්තියෙන් වාඩිකර ගත්තා. ඒ දවස්වල අපේ අම්මගෙ හොඳම යාලුවා ජොස්ලින් ටීචර්.

පහේ පන්තිය පහුවෙලා හයේ පන්තියට ආවා. ඒක නම් මට ජීවිතේට අමතක නොවෙන අවුරුද්දක්. පන්ති භාර ටීචර් අපෙ අම්මා. වැඩියන්ම ගුටි කාපු අවුරුද්ද තමයි ඒ. කොල්ලන්ගෙන් ගුටිකාලා මදි හරිය අම්මගෙනුත් කෑවා. අම්මා මට පන්තියෙදි කවදාවත් පුතේ කියලා කතා කලේ නෑ. 'සමරකෝන් මෙහාට එනවා' කියලා තමයි කෝටු පාර දුන්නේ.

හතේ පන්තියෙදි ඒ කාලෙ තිබුන 'ජාතික නවෝදය' ශිෂ්‍යත්ව විභාගෙ පාස් උන බව දැනගත්තු ගමන් අම්මා කිව්වෙ හයේදි එයා උගන්නපු නිසා තමයි මම විභාගෙ පාස් උනේ කියලා. කාපු ගුටි කන්දරාවට වටිනාකමක් ලැබෙන්න ඕන නිසා මමත් සද්ද නැතුව හිටියා.

1970 ජනවාරියෙ, අටේ පන්තියෙදි නාලන්දාවට ආවට පස්සෙ රොද්‍රිගු ටීචර් (ගණිතය), වීරසිංහ ටීචර් (ඉංග්‍රීසි), ලයනල් මෙන්ඩිස් සර් (සාමාන්‍ය විද්‍යාව) ජයසුරිය සර් (භෞතික විද්‍යාව), ලොරන්ස් සර් (රසායන විද්‍යාව), ජයවර්ධන සර් (ජීව විද්‍යාව), කේ. ජී. කුලවංශ සර් (සත්ත්වවිද්‍යාව) ඒ. ටී. ආරියවංශ සර් (සිංහල), ලොකු විතාන සර්, පොඩි විතාන සර් (ගණිතය), වගෙ ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙනගන්න ලැබුනා. අටේ පන්තිය භාරව හිටියෙ ලොකු බඩක් තියෙන එච්. ජී. පෙරේරා සර්. පන්තියෙ විවාද කණ්ඩායම දවසක් විවාදෙකින් පැරදුනහම සර්ට ඇඬුනා. තව ගුරුවරු හුඟක් හිටියා දැන් මතක ඒ අයගෙ පටබැඳි නම් ටික විතරයි. ඒවා ලියන්න හිතෙන්නෙ නෑ.

 කොලු කාලෙ අපිට නපුරු වගෙ පෙනුනු ගුරුවරුන්ගෙත් හොඳ හදවතක් තියෙන්න ඇති කියලා දැන් තමයි තේරෙන්නේ.

18 comments:

  1. හදිසියෙ කියෙව්වෙ, නැවත එන්නම් හෙමීට කියවල බලන්න.

    ReplyDelete
  2. පාසැල් මතක හරි අපුරුයි නොවැ...
    දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා තමයි අයියේ
    සමහරුන්ව අපිට ඒ කාලේදී පේන්නේ නැහැ
    පස්සේ තමයි තේරෙන්නේ ඒ අයගේ හොඳ

    ReplyDelete
  3. ඔබා අයියේ නිවාඩු පාඩුවෙ කියවලා කොමෙන්ට් එකක් දාන්න

    ලොකු පුතේ, පාසල් කාලය මතක්කරලා විඳින්න පුලුවන් සතුට වෙන කිසි දේකින් ලබන්න බෑ.

    ReplyDelete
  4. DUDE ගේ බ්ලොග් එකෙන් මෙතනට ආවේ. ආසාවෙන් කියෙව්වා බ්ලොග් පෝස්ට්ස් ටික. දිගටම කරගෙන යමු මහත්තයෝ වැඩේ!
    INK

    ReplyDelete
  5. ඔය කියන නාලන්දෙ ගුරුවරුන්ගෙන් මමත් ඉගෙනගෙන තියෙනවා.
    මේ පෝස්ට් එක ගැන එක අඩුපාඩුවක් මම දකිනවා. ඒ තමයි මේක දාන්න තිබ්බෙ අද නෙවෙයි. ලෝක ගුරු දිනය දවසෙ. මේක නියම ගුරු උපහාරයක්!

    henryblogwalker the Dude

    ReplyDelete
  6. මං ඉස්කෝලෙ යන කාලෙත් හෝඩිය තිබුන.

    මට මතක තිබුනෙ 'මාලතී' නෙමේ 'නාලනී' වගේ.

    වාසගමෙන් කතාකරල ඇතිවෙන්න ගුටි දෙන්න ඇත්තෙ තාත්තටත් එක්ක වෙන්න ඇති හෙහ්...හෙහ්...

    මට නං වැඩි හරියක් ගුරවර ගුරුවරියන්ගේ මතක තියෙන්නෙ පටබැඳි නම් විතරමයි :-))

    ReplyDelete
  7. හෙන්රි මචං , ගුරුවරු ගැන හිතනකොට හැම දිනයක්ම ගුරු උපහාර දිනයක් වගේ දැනෙනවා මචං

    ඔබා අය්යේ, (හෙන්රියා කියාපු විදිහට මම හිතලා අය්යේ කිව්වේ, මල්ලියෙක් ද දන්නෙත් නෑ. මට දැන් 54 ක්!) හෝඩි පොතේ තිබුනේ 'මාලතී' කියලා වගේ මට මතක. 'අපි දැං කුමක් කරමුද' කියලා තව පාඩමක් ඒකේ තිබුනා මතකයි, කෝ‍ටු කිතයියෙක් නානවා, කනවා, බොනවා, නිදා ගන්නවා, ඒකෙ ඇඳලා තිබුනා.

    ReplyDelete
  8. INK - බොහොම ස්තුතියි කොමෙන්ට් එකට.

    ReplyDelete
  9. මටත් දැන් 58 පැනල, මතක එච්චරම හොඳ වෙන්නත් බෑ....හෙහ්...හෙහ්...

    ReplyDelete
  10. අද තමා ඉස්සෙලම ගාමිණී අයියගේ විජිතයට ගොඩ උනේ, කියවන්න ආස හිතෙන විදියට රස කතා ලියල තියෙනවා, නියමයි

    කැමතිනම් ඇවිත් යන්න එන්න : www.thunsitha.tk

    ReplyDelete
  11. හිතෙන් ආපහු ඉස්කෝලේ ගිහින් ආවා.

    ReplyDelete
  12. මේ වයසක කට්ටිය කියවල තියෙන්නෙ කුමාරොදය පොත නොවැ. මේ ඊරී බිමසීර්‍ර කුණ්ඩුමනී හිස පීරී තිබුන පොත මට මතක හැටියට. නාලනී එන්න මල් පිපීදැයි බලන්න.............

    ReplyDelete
    Replies
    1. පොත් පාඩම් කරන එක ඒ දවස්වල වදයක් උනාට දැන් මතක් වෙන කොට පුදුම සතුටක් දැනෙනවා.

      Delete
  13. දැන් කාලේ ඉන්න ගුරුහොරු වගේ නෙමේ මෙයාලා නම් ගුරුදෙවිවරු.

    ඔබතුමාගේ කලින් කතාවකත් දෙල්ගොඩ, උඩුපිල වගේ ගම් ගැන තිබුණා. ඔබතුමා ඒ පැත්තෙද ?

    ReplyDelete
  14. හත් දෙයියනේ... මේ අපේ ආදි ශිෂ්‍යයෙක් නොවැ.......

    ReplyDelete
  15. මට උගන්වපු ගුරුවරු ටිකත් මතක් උනා....

    ReplyDelete
    Replies
    1. ගුරුවරුන්ගෙ නියම අගය දැනෙන්නෙ කාලෙකට පස්සෙ මලේ ..

      Delete
  16. සංතෝසෙන් දුවං ආව අලුත් එකක් කියල
    සැහ්
    කොටියම කාපිය

    ReplyDelete