
1993 මම ඉස්සෙල්ලාම ගිරිතලේට එනකොට ඒවගෙ අපි හැමෝටම එකතුවෙලා පන්සිල් පදයක් කියලා හිත නිවාගන්න තැනක් තිබුනෙ නෑ. එතකොටත් මා එක්ක ගිරිතලේ හිටපු ජයසූරිය මහත්තයාටත් මටත් එහෙම තැනක් හදා ගන්න උවමනාව තිබුනත්, ඒ වගෙ දේකට රජයේ සල්ලි වෙන් කරගන්න එක පහසු වැඩක් උනේ නෑ.
බුදු මැදුරක් ගැන හිත හිත අවුරුදු කීපයක්ම ඉන්න අතරෙ තමයි ගිරිතලේ සංචාරක බංගලාව හදන්න දෙපාර්තමේන්තුව සල්ලි වෙන් කළේ. තට්‍ටු දෙකේ විශාල ගොඩනැගිල්ලක් වුනු ඒක ටිකක් ලොකුවට කෙරුනා. ඒකෙ වැඩ බලාපු සුපවයිසරයායි, හෙඩ් බාසුන්නැහෙයි ටිකක් සුහදශීලී මිනිස්සු බව පෙනුනු නිසා අපි ටිකක් කිට්‍ටු වෙලා බුදු මැදුරෙ අදහස දාලා බැලුවා. ඒක කියපු ගමන්ම ඔවුන් දෙන්නාම බොහොම කැමැත්තෙන් ඒකට උදව් කරන්න එකඟ උනා මට මතකයි.
ඉතින් බුදු මැදුරක් හදා ගැනීම මේ විදියට බොහොම සුළුවෙන් ආරම්භ උනා. උදේ ඉඳලා හවස් වෙනකම් බංගලාව හදාපු බාසුන්නැහේ රෑට කාලා ආවා බුදු මැදුර හදන්න. අපේ අත් උදව්වෙන් ඒ වැඩේ කරපු උන්නැහේ ආපහු ගියේ පාන්දර දෙකට තුනට විතර. බංගලාව හදන්න ගෙනාපු ගල් වැලි, සිමෙන්ති වලින් තමයි වැඩේ කෙරුනේ. සුපවයිසර් උන්නැහේත් ෂේප් නිසා අවුලක් උනේ නෑ. මේ විදියට ටික දවසකින් බුදු මැදුරෙ වහල මට්ටමට වැඩ ඉවර උනා.
ඊලඟට වහලෙ හදාගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරකර ඉන්නකොට තමයි හදිසියෙම දවසක් මගෙ හිත මිතුරු ලක්දාස් මෙත්තානන්ද යාලුවො කස්ටියක් එක්ක ගිරිතලේ පැත්තෙ ආව. ලකී බාගෙට හදාපු බුදු මැදුර දැකලා විස්තර අහලා 'මම පුළුවන් උදව්වක් කරන්නම්' කියලා ආපහු ගියා. ටික දවසකින් ලකී අපට රුපියල් දාසය දාහක් එවලා තිබුනා බුදු මැදුරෙ ඉතුරු වැඩ ටික කරගන්න කියලා. ඔන්න ඉතින් බුදු මැදුරෙ වහලෙ ගහලා උළු තියාගෙන ඒකෙ වැඩ බොහොමයක් අවසන් කරගත්තෙ ලකී සහ එයාගෙ යාලුවො කස්ටියගෙ උදව්වෙන්. වැදගත්ම කාරණය තමයි ලකී සහ ඔහුගෙ යාලුවො සියලු දෙනාම ක්‍රිස්තියානි ආගම අදහන අය වීම. අර බාසුන්නැහේට වගේම ඔවුන්ටත් උවමනා වෙන්න ඇත්තේ යහපත් දෙයකට සහභාගිවෙලා සතුටක් ලබන්න වෙන්න ඕනෑ.
ඒක කියනකොට මට තවත් කතාවක් මතක් උනා. මම බුත්තල වැඩකරන කාලෙ, පොසොන් දවසක අපේ නිල නිවාසෙ ඉස්සරහ පාරෙ පොසොන් පෙරහැරක් ගියා. පෙරහැරේ අවසානයට ගියේ පොසොන් භක්ති ගීත ගායනා කරන පුංචි දරු, දැරියො පිරිසක් පටවාගත්තු තට්‍ටු ලොරියක්. ලස්සණට සරසලා තිබුනු ඒ වාහනේ යන ගමන්, පුංචි වාදක මණ්ඩලයක් සපයපු සංගීතයට අනුව ඔවුන් පොසොන් භක්ති ගීත ගැයුවා. වාදක මණ්ඩලේ කෙලවරක වයලීනයක් වයමින් හිටියේ ක්‍රිස්තියානි පූජක තුමෙක්. පස්සෙ දැනගන්න ලැබුනු විදියට ඒ භක්තිගීත කණ්ඩායම පුරුදු පුහුණු කරලා තිබුනේ ඒ පූජක තුමා.
ඉතින් ආපහු ගිරිතලේට එමු. ඊලඟට අපිට ඕනෑ උනේ බුදු මැදුරට ගැලපෙන තරමේ බුදු පිළිමයක් හොයාගන්න. ඒ කාලෙත් ඒ වගේ බුදු පිළිමයක් හොයාගන්න එක ලේසි වැඩක් උනේ නෑ. ඒක ගැන හිත හිතා ඉන්නකොට තමයි මගේ ගිරිතලේ සේවා කාලය සම්පූර්ණ වෙලා ස්ථාන මාරුවෙන්න උනේ. මට පස්සෙ ආපු සූරියබන්ඩාර මහත්තයත් වැඩේ ඇතෑරියෙ නෑ. එතකොට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගුණසේකර මහත්තයාගෙත් උදව්වෙන්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙ අනුග්‍රහය අරගෙන බුදු මැදුරට ගැලපෙන බුදු පිළිමවහන්සෙ නමක් හොයා ගන්න ඔහු සමත් උනා.
කොහොම හරි මම 2008 දෙවෙනි වරටත් ගිරිතලේට එනකොට දකින කෙනෙකුගෙ සිත් සනහාලන බුදු මැදුරක් නිර්මාණය වෙලා තිබුනා. ඒ වෙනකොට හිටපු ධර්මතිලක මහත්තයා හැමදාම උදේට සේරම පුහුණු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එකතු කරගෙන බුදුන් වඳින ආගමික සම්ප්‍රදාය ඇති කරලා තිබුනා.
ඊට පස්සෙ දැනට අවුරුදු දෙකකට ඉස්සෙලා තමයි අපේ බෝධිරාජයා අනුරාධපුරෙන් වැඩමවාගෙන ඇවිත් රෝපනය කරගත්තේ. එතකොට ගිරිතලේ පුහුණුව ලබමින් හිටපු සේරම පුහුණු නිලධාරීන් එකතුවෙලා තමයි ඒ පින්කම කරගත්තේ. මේ සියල්ලම සිද්ද උනේ හැමෝගෙම දායකත්වයෙන්. ආණ්ඩුවෙ සල්ලි සත පහක වියදමක් නැතුව.
ඉතින් මට මේ පරණ කතන්දර ටික මතක් වෙනකොට හිතෙන්නේ අපිට යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු උනහම කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපේ වෘත්තීය තරාතිරම, ආගම් භේද අමතක කරලා, පැවරිලා තියෙන වැඩ වලට විතරක් කොටුවෙලා සීමා වෙන්නෙ නැතුව, යහපත් දෙයක් වෙනුවෙන් වැඩිපුර සැතපුමක් ඇවිදින්න හිත හදාගන්න පුලුවන්නම්, අපි ජීවත් වෙන මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වෙයි කියලත් මට හිතෙනවා.