කලින් පෝස්ට් එකේ බැන්ගලෝරයෙ ගතකරපු දින දෙකක් ගැන ලියවුනා . ඊළඟට මයිසෝරය හරහා බන්ඩිපූර් ජාතික උද්‍යානයට.
කස්ටියට ඉස්කෝලෙදි ඉගෙනගත්තා මතක ඇති ඉන්දියාවෙ බටහිර හා නැගෙනහිර වෙරළවලට සමාන්තරව ඒ ආසන්නයෙන්ම තියෙන බටහිර හා නැගෙනහිර ඝාට් කඳු වැටිදෙක. මේ කඳු වැටි දෙක පහල කෙලවරේදි එකට එකතු වෙනවා. අපේ රට මැද්දෙ කැවුමක් වගේ තියෙන කඳුකරය, අවුරුදු මිලියන ගණනකට ඉස්සර මේ ඝාට් කඳුකරයෙන් කැඩිලා වෙන් වෙලා ඉවතට පාවුනු කෑල්ලක් බවට ඉතා පැහැදිලි භූ විද්‍යාත්මක සාධක තියෙනවා. ඝාට් කඳුකරයෙ හා අපේ මධ්‍ය කඳුකරයෙ සතුන් හා ශාක විශේෂවලත් ඉතාම පැහැදිලි සමානකම් තියෙනවා.
 |
උද්‍යාන පිවිසුම |
බැන්ගලෝරයෙ ඉඳලා මයිසෝරය හරහා 'ඌටි' වෙත දිවෙන මහා මාර්ගය ඔස්සේ බන්ඩිපූර් ජාතික උද්‍යානයට ලඟා වෙන්න පුලුවන්. මේ ගමනට වරුවක් ගත වෙනවා. ජාතික උද්‍යානයෙ උතුරු මායිම හරහා ඇතුල්වන මේ මහ මග උද්‍යානය තුලින් බොහෝ දුරක් විහිදෙනවා. ඒ නිසාම උද්‍යාන පරිපාලනය මේ මහා මාර්ගයෙ දිවෙන වාහනවලින් වන සතුන්ට විය හැකි අනතුරු අවම කරගන්න උපරිම උත්සාහය අරගෙන තියෙනවා. ප්‍රධාන මාර්ගයක් උනත් රෑ 9 ඉඳලා උදේ 6 වෙනකම් කිසිම වාහනයකට උද්‍යානය හරහා යන්න දෙන්නෙ නෑ. දවාලට උනත් මග දිගටම වේග බාධක ( Humps) දාලා තියෙන නිසා ඩ්රයිවර්ලාට හැටට හැටේ පාගල යන්න බෑ.
උදෙන්ම බැන්ගලෝරයෙන් පිටත් වෙලා, මයිසෝරය හරහා බන්ඩිපූරයට ආපු අපිට නවාතැන් සලසලා තිබුනේ උද්‍යාන මායිමේ තියෙන සුව පහසු 'කොටේජ්' කිහිපයක. පොදු භෝජන ශාලාවක දකුණු ඉන්දියානු ආරයෙ කෑම පිළිගැන්වුනා. කොලඹ තරුපහේ සයිවර් හෝටලේකට ගියා වගේ අපේ කස්ටිය අතපය දිගෑරලා ගේම දුන්නා.
පස්වරුවෙ උද්‍යානයෙ අධ්යක්ෂවරයා, උද්‍යානය ගැන හොඳ හැඳින්වීමක් කළා.
 |
රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා - Royal Bengal Tiger |
ඉන්දියානු වනජීවී සංරක්ෂණයෙදි ඉලක්ක කර ගන්න එක් 'ධජ ධාරී' (Flagship Species) වන සත්ව විශේෂයක් වෙන්නෙ 'රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා' (Royal Bengal Tiger). සංරක්ෂණ ක්‍රියාවලියක් ඒ වගෙ මහජන අවධානය දිනාගත් ආකර්ශණීය සත්වයෙක් මුල් කරගෙන ක්‍රියාත්මක කිරීම පිළිගත් සංකල්පයක්. ඒ සත්වයා මුල් කරගත් සංරක්ෂණ කටයුතුවල ප්‍රතිලාභය ඒ පරිසරයෙ වෙසෙන අනිත් සත්තුන්ටත් ලැබෙනවා. 1970 දශකයෙ ආරම්භ කරපු 'ව්යාඝ්ර ව්‍යාපෘතිය' (Project Tiger) යටතෙ ඉන්දියාව පුරා ව්යාඝ්රයින් වෙසෙන රක්ෂිත තිස් ගනණක් වැඩිදියුණු කරලා ආරක්ෂා කෙරෙනවා. ඒ අතරින් බන්ඩිපූරය මුල් තැනක් ගන්නවා. ආරම්භයෙදි මයිසෝරයෙ මහරාජාගෙ කුඩා දඩයම් රක්ෂිතයක් හැටියට තිබුනු බන්ඩිපූරයෙ, වර්තමාන විශාලත්වය වර්ග කිලෝ මීටර නමසීයකට ආසන්න වෙනවා.
බන්ඩිපූරයෙ සංචාරක කටයුතු සිද්ද වෙන්නේ ඉතාම විධිමත්ව. සංචාරකයින්ට නවාතැන් සපයන්නෙ කර්ණාටක කැලෑ දෙපාර්තමේන්තුවටම අනුබද්ධ වෙනම ආයතනයකින්. ඒ මගින් සංචාරකයන්ට නවාතැන්, ආහාරපාන, ප්‍රවාහන පහසුකම් වෘත්තීයමය තත්වයෙන් සැපයෙනවා. රජයේ වාහනවල විතරයි උද්‍යානයතුල යන්න පුලුවන්. එක් ගමනක් පැය 6 කට සීමාවෙනවා.
කොහොම උනත් අපි බන්ඩිපූරයට යනකොට දැනගන්න ලැබුනු තවත් විශේෂ කාරණයක් තමයි ශ්රේෂ්ඨාධිකරණයෙ තීන්දුවක් මත සියලුම ව්යාඝ්ර රක්ෂිතවල සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටවලා තියෙන බව. අතිශය තර්ජනයට ලක්වුනු වනසත්ව විශේෂයක් වන ව්‍යාඝ්‍රයා ගේ පැවැත්මට සංචාරක කර්මාන්තයෙන් ඇතිවන බලපෑම සලකා බලමින් පවතින බවත් දැනගන්න ලැබුනා. ජාතික උද්‍යානවලින් ලැබෙන ආදායම නොසලකා සංරක්ෂණය සඳහා මුල්තැන දෙන රටක් හැටියට ඉන්දියාව ගෞරවයට ලක්විය යුතුයි කියලා මට හිතුනා.
ව්‍යාඝ්‍රයා ඇරෙන්න බන්ඩිපූරයෙ හොඳ සාධ්‍ය අලි ගහනයකුත් ඉන්නවා. දකුණු ඉන්දියාවෙ පිරිමි අලින්ගෙන් 90% කටම දළ තියෙන නිසා අනතුරුවලින් අඩුවකුත් නෑ. කලකට ඉස්සර 'වීරප්පන්' රැවුලා හැංගිලා ඉඳගෙන අලි මරපු සත්‍යමංගලම් කැලෑව තියෙන්නෙත් බන්ඩිපූරය ආශ්‍රිතවමයි.
 |
ගවරා (Gaur - Indian Bison) |
පස්සෙන්දා අපිට උද්‍යානයෙ ඇවිදලා ඒකෙ කළමනාකරණ කටයුතු අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුනා. ව්‍යාඝ්‍රයෙක් දැක ගන්න කාටත් ආසාව තිබුනත් ඒක ලේසිවැඩක් නෙමෙයි. අලි, මුවෝ, ගෝන්නු ඇරෙන්න අපේ රටේ නැති ගවර (Gaur) රංචුවක් නම් දකින්න ලැබුනා. පූර්ව එතිහාසික යුගවල ගවරා ලංකාවෙ හිටපු බවට ෆොසිල සාක්ෂි තිබුනත් වර්තමානයෙ උන් ලංකාවෙ වනාන්තරවල දකින්න නෑ. ව්යාඝ්රයින් අතීතයෙදිවත් ලංකාවෙ ඉඳලා නෑ. මධ්‍යම ආසියාවෙ බිහිවෙලා ව්‍යාප්තවුනු ව්‍යාඝ්‍රයා ඉන්දියානු උප මහාද්වීපයෙ පහල කෙලවරට ලඟා වෙන්න කලින් ලංකාව එයින් වෙන්වෙලා වෙනම දිවයිනක් බවට පත්වුනා කියලා තමයි විස්වාස කරන්නෙ.
 |
තිත්මුව රංචුවක් (Spotted Deer) |
ලංකාවෙ දකින්න නැති, බන්ඩිපූරයෙ ඉන්න තවත් එක ඉන්දියානු සත්ව විශේෂයක් තමයි 'ඉන්දියානු වල් බල්ලා' (Indian Wild dog). ඌ ලෝකෙ ඉන්න දරුණුම විලෝපී සතෙක්. විශාලත්වය සාමාන්‍ය බල්ලෙකුගෙ ප්රමාණයෙවුනත් උන් රංචුවකට ලෙහෙසියෙන්ම ලොකු ගෝනෙක් එලා ගන්න පුලුවන්. අපිට පෙන්නපු එක වීඩියෝ දර්ශනයක තිබුනා වල් බල්ලො රැලක් ගෝනෙක් වට කරගෙන ගෝනා පන පිටින් ඉන්දෙද්දිම ඇඟේ මස් කුට්ටි කඩාගෙන කනවා. කොච්චර විශාල, ශක්තිමත් සතෙක් උනත් කම්පනය නිසාම ඒ වගෙ අවස්ථාවකට මුහුණපාන ගොදුරු සතෙක් මිය යනවා.
බන්ඩිපූරයෙ දකුණු මායිම ගැඹුරු අගාධයක් (Gorge). කර්ණාටකය, තමිල්නාඩුවෙ න් වෙන් වෙන ඒ අගාධය වන අලින්ගෙ සංක්රමනයට පවතින එක් ස්වාභාවික බාධාවක් බව කියවුනා.
 |
බොනට් රිලවා (Bonnet Macaque) |
උද්‍යානයෙ තියෙන උසම කන්ද මුදුනෙ තියෙන හින්දු කෝවිලකටත් අපි ගියා. ඉන්දියාවෙ ප්‍රසිද්ධ හින්දු කෝවිල් වැඩිහරියක් තියෙන්නෙ උස් කඳු මුදුන්වල. පූජනීය ස්ථානයක්වුනත් කොවිලේ කටයුතු පාලනයවුනේ කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවට උවමනා විදියට.
බන්ඩිපූරයෙ ආරක්ෂක කටයුතු ඉතාම විධිමත්ව කෙරෙන බව, උද්‍යානයෙ මුර සංචාරක කඳවුරකට (Patrolling Camp) ගිය වෙලාවෙ උද්‍යානය භාර ලොක්කා විස්තර කළා. කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවෙ කාන්තා නිලධාරිණියොත් ඉන්නවා දැකපු අපේ කස්ටිය මංඥං වෙලාහිටියේ. 'අපිට කොයින්ද ඉතිං ඒ වගෙ වාසනාවක්' කියලා එකෙක් හීනියට කියනවා ඇහුනා.
 |
මුර සංචාරක කඳවුරක් (Patrolling Camp) |
දවස් දෙකකට පස්සෙ ආපහු එන දවසේ අපිට අහම්බෙන් කර්ණාටකයෙ වනාන්තර පිලිබඳ ඇමතිවරයා මුණ ගැහුනා. ලංකාවෙ වන්ජීවියො ටිකක් ඇවිත් ඉන්නවා කියලා දැනගෙන එතුමා ඇවිත් අපිත් එක්ක කතාබස් කරලා ගියා. වනජීවී සංරක්ෂණය ගැන ඉතාම අවබෝධයකින් කතා කරපු ඇමතිවරයා, ලංකාවෙ වනජීවී සංරක්ෂණය ගැනත් දැනගන්න ලොකු උනන්දුවක් දැක්වුවා.
බන්ඩිපූරයෙන් පිටත්වුන අපේ ඊලඟ ගමනාන්තයවුනේ නැගෙනහිර ඝාට් කඳුවැටියෙ බිලිගිරි රංගා වනජීවී අභය භූමිය. ඒ ගැන විස්තර තව දෙසතියකින්.
 |
මහවන මැද වාසනාව |
(මේ බ්ලොග් එකේ 'My Photographs' පිටුවට අලුතින් පින්තූර කීපයක් එකතු කරලා තියෙනවා. ඒවත් බලලාම යන්න ළමයිනේ ..!)