මැතිවරණයක් ලඟ එනකොට රජයේ සේවකයෙකුට ඇතිවෙන එක කුතුහලයක් තමයි මෙදා පාර කොහේ ඉලෙක්ෂන් ඩියුටි වැටෙයිද, මොන පරිප්පුවක් කන්න වෙයිද කියන එක. අනිවාර්ය රාජකාරියක් නිසා මැතිවරණ රාජකාරියට කැඳවපු රජයේ සේවකයෙකුට ඒකට නොගිහින් ඉන්න බෑ.
මැතිවරණයක් පවත්වනවා කියන්නෙ රාජකාරි යුද්ධයක් කිව්වට වරදක් නෑ. දිස්ත්‍රික්කයක් තුළ මැතිවරණ රාජකාරි පිළිබඳව වගකියන්නෙ දිසාපතිවරයා. ඔහු තමයි දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් භාර නිලධාරියා. කච්චේරිවල ඉන්න සහකාර මැතිවරණ කොමසාරිස් ඔහුගේ මෙහෙය වීම යටතේ දිස්ත්‍රික්කය තුළ මැතිවරණ රාජකාරි සංවිධානය කරනවා.
ඊයේ පෙරේදා උතුරු මැද ඇතුළු පලාත් සභා තුනක පැවැත්වුනු මැතිවරණ රාජකාරියට, රජයේ සේවකයෙක් හැටියට සහභාගිවුන නිසා මට හිතුනා මැතිවරණයකදි රජයේ නිලධාරීන් අතින් කෙරෙන වැඩ කොටස ගැන කෙටියෙන් ලිව්වොත් හොඳයි කියලා. රාජ්‍ය සේවයෙන් බැහැර කෙනෙක් ඒ රාජකාරිය කෙරෙන විදිය දකින්නෙ නැති නිසාත්, හුඟක් වෙලාවට පත්තරවල ලියවෙන පැරදුනු දේශපාලකයන්ගෙ අමන කතා නිසාත්, වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ මැතිවරණ රජකාරිය ඉතාම දූෂිත, බලයේ ඉන්න දේශපාලකයින්ට හිතුමතේ ප්‍රතිඵල වෙනස් කරන්න පුලුවන් ක්‍රියාවලියක් කියලා. ඒත් මගේ අත්දැකීම අනුව මැතිවරණ රාජකාරි ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නෙ එහෙම බලය යොදවලා මැතිවරණයක සමස්ථ ප්‍රතිපලය කොහොමටවත් වෙනස් කරන්න බැරි විදිහට.
මැතිවරණ රජකාරි ක්‍රියාවලිය පටන් ගන්නෙ, ඒකට යොදව ගන්න පුලුවන් රජයේ නිලධාරීන්ගෙ සංගණනයක් පවත්වලා. ලිපිකරු, කණිෂ්ට ඡන්ද ස්ථානාධිපති, ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති, කලාප භාර සහකාර තේරීම්භාර නිලධාරි, ගණන් කිරීමේ සහකාර තේරීම් භාර නිලධාරි, ප්‍රධාන සහකාර තේරීම් භාර නිලධාරි වගේ තනතුරු ගණනාවකට රජයේ නිලධාරීන් යොදවා ගන්නවා. ඒ සඳහා නිලධාරීන් තොරා ගන්නේ පූර්ව මැතිවරණ රජකාරි ඇත්දැකීම් හා රාජ්‍ය සේවයේ දරණ තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව. එහෙම තෝරගන්න නිලධාරීන්ට මැතිවරණයට කලින් දවසක තමන්ගෙ සේවා ස්ථානයෙදිම ඡන්දය ප්‍රකාශ කරන්න ඉඩ ලැබෙනවා. ඒ ඡන්ද පත්‍රිකා තැපැල් මගින් නිලධාරියා පදිංචි දිස්ත්‍රික්කයෙ තේරීම් භාර නිලධාරියාට යවනවා. 'තැපැල් ඡන්ද' කියන්නෙ ඒවට.
ඊලඟට කරන්නේ නිලධාරීන් පුහුණු කරන එක. ඒ සඳහා පැවැත්වෙන පුහුණු පන්තිවලට සහභාගිවීම අනිවාර්යයි. මැතිවරණ ක්‍රියාවලියේ සෑම පියවරක්ම සහ තමන්ගෙ තනතුර හා අදාල වගකීම් පිළිබඳ විස්තරාත්මක උපදෙස් වාචිකව හා ලිඛිතව එහි දී ලබා දෙනවා.
මේපාර මට කලාප රාජකාරි, ගණන් කිරීමේ රාජකාරි දෙකටම යන්න සිද්දවුනා. ඡන්දෙ දවසට ඉස්සරින්දා පාන්දර හතේ ඉඳලා පොලොන්නරුව දිස්ත්‍රික්කෙ මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල වගේ දුෂ්කරම ගම්මානවල ඡන්ද මධ්‍යස්ථාන හතරකට පැය දෙකකට වරක් ගිහිල්ලා, ඡන්දෙ ඉවරවුන ගමන් පොලොන්නරුවට ගිහිල්ලා රෑ එලි වෙනකම් ගණන්කිරීමේ රජකාරිවලට සහභාගිවෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ උනත් ඒ කාලය තුල අහන්න දකින්න ලැබෙන දේවල්වල විවිධත්වය බොහොමයි.
ඡන්දය පැවැත්වෙන දාට කලින් දා, දිස්ත්‍රික්කෙ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට වාර්තාකරන ඡන්ද ස්ථානාධිපතිවරු කාර්ය මණ්ඩලයත් එක්ක ඡන්ද පෙට්ටි භාර අරගෙන පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගෙ ආරක්ෂාව යටතෙ ඡන්ද මධ්‍යස්ථානවලට යනවා. එදා දවස ඇතුලත පාසලක් වගේ නියමිත පොදු තැනක තියෙන ඡන්ද මධ්‍යස්ථනය පිහිටුවලා කාර්ය මණ්ඩලයත් එක්ක පෙරහුරුවකුත් තියනවා. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අනෙක් පිරිමි නිලධාරීන් එක්ක ඡන්ද මධ්යස්ථානයෙම රාත්‍රිය ගත කරන්න ඕනෑ. ප්‍රදේශයෙ ග්‍රාම සේවක කෑම, බීම සපයනවා. කලාප භාර සහකාර තේරීම් භාර නිලධාරියා වරින් වර ඇවිත් ඡන්ද මධ්‍යස්ථානෙ පූර්ව සූදානම් කටයුතු නිරීක්ෂණය කරලා මැතිවරණ මෙහෙයුම් මැදිරියට වාර්තා කරනවා. පොලිස් නිලධාරීන් තුන් දෙනා දිගටම ආරක්ෂාව සපයන අතරෙ පොලිස් ජංගම රථය වරින් වර ඇවිත් යනවා.

මැතිවරණය පැවැත්වෙන දා හරියටම උදේ හතට ඡන්ද විමසීම ආරම්භ වෙනවා. කාර්ය මණ්ඩලය නියමිත ඡන්ද ලැයිස්තුවට අනුව ඡන්ද දායකයින් එකිනෙකා හඳුනාගෙන අනන්‍ය තාවය තහවුරු කරගෙන නොමැකෙන තීන්තෙන් ඇඟිල්ල සලකුණු කරලා තමයි ඡන්ද පත්‍රිකාව නිකුත් කරන්නෙ. මේක සිද්ද වෙන්නෙ ඡන්ද දායකයන් හඳුනන පක්ෂ නියෝජිතයන් පිරිසක් ඉදිරියෙ. වැරදි කෙනෙකුට හෝ එකම කෙනෙකුට දෙවරක් ඡන්ද පත්‍රිකාවක් නිකුත් උනොත් ඔවුන්ට වහාම විරුද්ධ වෙන්න පුලුවන්. සලකුණු කළ ඡන්ද පත්‍රිකාව පෙට්ටියට ඇතුල් කරන්නෙ ඡන්දස්ථානාධිපතිගෙ පරීක්ෂාව යටතේ.
ඇහැ කණ නොපෙනෙන වයසක උන්දලාට ඡන්දය සලකුණු කරන්න සහාය වෙන්නෙ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. ඡන්දදායකයා කියන විදිහට පක්ෂෙට කතිරය ගහලා 'මනාපෙ දාන්නෙ කාටද ..?' කියලා ඇහුවහම හුඟ දෙනෙක් කියන්නෙ 'ජනාධිපතිතුමාට ...' කියලා. ජනාධිපතිතුමා පලාත් සභාවට ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියලා තේරුම් කරලා දුන්නහම ඒ අය වැඩි දෙනෙක් කියන්නෙ 'අනිත් එවුන්ට මගෙ ඇති මනාපයක් නෑ ...' කියලා.
හරියටම හවස හතරට ඡන්ද විමසීම අවසන් කරලා පෙට්ටියට සීල් තියනවා. පක්ෂ නියෝජිතයින්ගෙ අත්සනත් ඒ සීල් එකේ තියෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට ගේන ඡන්ද පෙට්ටිය ගණන් කිරීමේ ශාලාවලට භාර දෙනවා. අතරමග නිරීක්ෂණ කපොලුවලදී නියමිත මාර්ගයේම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බවට තහවුරු කර ගන්නවා.
එක් එක් ගණන් කිරීමේ ශාලාවෙ නියමිත ඡන්ද පෙට්ටි සංඛ්‍යාව ලැබුණු වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙනවා. පක්ෂ නියෝජිතයන් පිරිසක් ඉදිරියෙ ඉස්සෙල්ලාම කරන්නෙ එක් එක් ඡන්ද පෙට්ටියෙ සීල් පරීක්ෂා කරලා, ඒක ඇතුලෙ තියෙන පත්‍රිකා සංඛ්‍යාව, ඡන්ද ස්ථානාධිපතිගේ වාර්තාවෙ සඳහන් සංඛ්‍යාවට සමානද කියලා බලන එක. ඡන්දය සලකුණු කරලා තියෙන පක්ෂය අනුව පත්‍රිකා වෙන් කරන්නෙ ඊට පස්සෙ. ගණන් කරන්න පහසුවට පනහෙ මිටිවලට ගොනු කරලා රබර් පටි දානවා. පක්ෂය අනුව සලකුණු කළ පෙට්ටිවලට දාන මේ පත්‍රිකා මිටි නැවත නැවත දෙපාරක් පරීක්ෂා කරලා රබර් පටි දානවා. අවසන් ගණනය සිද්ද වෙන්නෙ රබර් පටි තුනක් හැම පත්‍රිකා මිටියකටම වැටුනට පස්සෙ. මේ සේරම සිද්ද වෙන්නෙ එක් එක් ශාලාවේ ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියෙක් සහ සහකාර නිලධාරීන් කිහිප දෙනෙකුගෙ මෙහෙයවීමෙන්, පක්ෂ නියොජිතයො විසිපහක් තිහක් කරට උඩින් රබර් ඇහැ දාගෙන ඉන්දෙද්දි.
මනාප ගණන් කරන්නෙ අන්තිමට. අදාල ආකෘතිවල එක් එක් අපේක්ෂකයාට ලැබුණු මනාප සටහන් කරලා, නැවත නැවත පරීක්ෂා කරමින් ඉතාම නිවැරදිව ඒ කාර්ය කෙරෙනවා.
එක් එක් ශාලාවෙ අවසන් ප්‍රතිපල සටහන සකස් කරන්නෙ පක්ෂ නියොජිතයින් ඉදිරියෙ ඉතාම විනිවිදභාවයෙන් යුක්තව. නරක් වූ ඡන්ද පත්‍රිකා ඉවත් කරන්නෙත් ඔවුන් ඉදිරියෙ. ඒවා වැඩි හරියක අමු තිත්ත කුණුහරුප ලියලා, ඇඳලා, අපේක්ෂකයන්ගෙ මෑණිවරුන්ට ආශීර්වාද කරලා තියෙන්නේ.
ඉතින් මම ඡන්ද ගණන් කිරීමේ රාජකාරිවලට ගිය හැම අවස්ථාවකදිම, ශාලාව ඇතුලෙ පළමු ගණන් කිරීමෙදි දැකපු ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රවනතාවයම, රටේ සමස්ථ මැතිවරණයෙ අවසන් ප්රතිපලයෙත් දැක්කා. ඒකෙන් තහවුරු වෙනවා මැතිවරණ ක්‍රියාවලියෙ එක් තැනක සිද්ද වෙන වරදක් නිසා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලයේ වෙනසක් සිද්ද නොවෙන විදියට, මැතිවරණ ක්‍රියාවලිය සකස් වෙලා තියෙනවා කියලා.
අපේ රටේ දේශපාලකයන්ට, ඡන්ද දායකයන්ට මැජික් පෙන්නලා උන්ගෙ ඡන්දෙ (කැමැත්ත) දිනා ගන්න පුලුවන් උනාට, ඡන්ද පත්‍රිකාව සලකුණු කරලා පෙට්ටියට දැම්මට පස්සෙනම් මැතිවරණ ප්‍රතිපලය වෙනස් කරන්න බැරි විදිහට ක්‍රමවේදය සකස්වෙලා තියෙනවා කියලා සතුටු වෙන්න පුලුවන්.