මගෙ යාලුවෝ

Saturday, July 14, 2012

22. වන අලි සහ වල් අලි



'අම්පාරෙ ටවුමට අලියෙක් පැනලා ... හය දෙනෙකුට ගහලා ... හතර දෙනෙක් මැරිලා ...' අම්පාර පොලිසියෙ එච් කිව් අයි ගෙ සිත් නලවන, මිහිරි කටහඬ ටෙලිෆෝන් වයර් එක දිගේ ගලාගෙන එනකොට පාන්දර හයට විතර ඇති.

නිල නිවාසෙ හිටපු මම කාර්යාලයට කතා කරලා කොල්ලොත් ලෑස්ති කරගෙන හැකි ඉක්මනින් අලියා ඉන්නවා කියාපු තැනට ගියා. අම්පාර ටවුම මැද්දෙ ප‍ටු පාරක් අද්දර ගෙයක් පිටිපස්සෙ අලියා ඉන්නවා. ඊට අල්ලපු ගෙදර තිබුනෙ කන්ඩියක් උඩ. අපි කන්ඩිය උඩට නැගලා ඒ ගෙදර පිලිකන්නෙ ඉඳගෙන බලද්දි තමයි තේරුනේ හතර වටේම තියෙන  ගෙවල් අස්සෙන් යාගන්න විදිහක් නැතුවයි අලියා ඉන්නේ කියලා. ගෙවල් මදිවට හතර වටේම ඉඩ තියෙන හැම තැනකම මිනිස්සු පිරිලා, ඊලඟට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. සමහර එවුං දරු පැටව් අතින් කටින් එල්ලගෙන ගෑණිත් එක්කගෙන ඇවිල්ලා අලියා පෙන්නන්න. අම්පාර පොලිසියෙ කට්ටියත් ඇවිල්ලා. ග්‍රාමාරක්ෂකයො ටික ටී පනස් හයවල් අමෝරාගෙන ඉන්නවා ලැබෙන පළවෙනි අවස්ථාවෙදිම අලියව බිම එලා ගන්න.

අම්පාර ටවුමට අලි පැනපු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. අවුරුද්දකට දෙකකට වරක් අම්පාර ටවුමට අලි එනවා. එහෙම වෙලාවට අපි කරන්නෙ පොලිසියෙ උදව්වත් අරගෙන මිනිස්සු ඉවත් කරලා, අලියට යන්න පාර හදලා, අලි වෙඩි ගහලා එලවලා දාන එක. ඒත් මට මතක හැටියට 2004 මැදදි සිද්දවුන මේ සිදුවීම තමයි මම අම්පාරෙ හිටපු අවුරුදු හතරහමාර තුල සිදුවුනු දරුණුම සිදුවීම. අපි හිටපු කණ්ඩිය ට පහලින් අලියා යා ගන්න අතක් නැතුව ඒ මේ අත හැරි හැරි ඉන්දැද්දි අපි පොලිසියත් එක්ක අවට හිටපු පිරිස පාලනය කරගන්න උත්සාහ කළත් අපි කියන දෙයක් අහන එකෙක් වත් එතන හිටියෙ නෑ.

ඒ අතරෙදි තමයි කවුද එකෙක් කෑ ගහනවා ඇහුනෙ 'අලියා එනවෝ .. ' කියලා. හැරිලා බලද්දි පහල හිටපු අලියා අසුරු සැණින් කණ්ඩිය උඩට ගොඩවෙලා අපි හිටපු පැත්තට හැරිලා. අපිත් ඉගිලිලා ගිහිල්ලා ගේ පිලිකන්නෙ මුවා වෙනකොටම අලියා අපි හිටපු තැන පහු කරගෙන පාර පැත්තට දිව්වා.

කොහොම හරි අලියා පැය කීපයක් තිස්සෙ අම්පාර ටවුම පුරාම ඒ මේ අත දුවද්දි අපිත් ඌ පස්සෙ දුව දුව ටවුමෙන් එලියට දා ගන්න උත්සාහ කලා. අලියා හැරෙන හැරෙන පැත්තෙ පාරවල් හරස් කරගෙන හිටියෙ ඌව නරඹන්න ආපු මිනිස්සුයි, හෝන් ගහන වාහනයි.

අන්තිමේදි අපට ඇහුනා ටී පනස් හයක වෙඩි වැලක් එක දිගටම. අපි එතනට යනකොට ගෙවල් දෙකක් අතර අලියා වැටිලා හිටියා.  එතකොටත් උගේ පන ගිහිල්ලා. වීරෝධාර ග්‍රාමාරක්ෂකයො වැඩේ ඉවරයක් කරලා තිබුනා. තරුණ වයසෙ හිටපු අලියා ඉතාම නිරෝගී සතෙක් බව පෙනුනා. ඌ මරු විකල්ලෙන් එනකොට, සංදර්ශණේ බලන්න ආපු මිනිස්සු පනහක් විතර  ලඟ තිබුනු ගෙවල් දෙකකට බලෙන්ම රිංගලා පන බේරා ගත්තලු. 'ගෙදර ඇඳං උඩත් මිනිස්සු නැගලා හිටියා .. ' එක ගෙදරක හිටපු ගෑණියෙක් නාහෙන් ඇඬුවා.

මහජනයාට වහාම සිදුවිය හැකි අනතුරක් වැලැක්වීම සඳහා අලියාට වෙඩි තබා මරා දමන ලද බව උසාවියට වාර්තා කරලා සිද්ධිය හමාර උනා. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව මිනිස් ජීවිතයකට වහාම සිදුවිය හැකි අනතුරක් වැලැක්වීම සඳහා ඒ පනතින් තහනම් කරපු ක්‍රියාවක් කිරීම වරදක් නෙවෙයි. ඒ බව විමර්ශනයෙදි තහවුරු වෙන්න ඕනෑ. වහාම වාර්තා කරලා තියෙන්නත් ඕනෑ.

ඉතින් මට මේ සිද්දිය මතක් උනේ මේ දවස්වල හැමදාම පත්තරේ ගත්තොත් දකින්න ලැබෙන වල් අලි මිනිස් අරගලය ගැන ප්‍රවෘති නිසා. නිල වශයෙන් දැන් කැලේ ඉන්න අලින්ට 'වන අලි' කියලා කිව්වත් මට හිතෙනවා කැලේට වෙලා තමන්ගෙ පාඩුවේ තියෙන දෙයක් කාලා කරබාගෙන ඉන්න අලින්ට විතරක් 'වන අලි' කියලා, කුඹුරු වතුපිටිවලට පැනලා විනාස කරලා, මිනී මරණ අලින්ට 'වල් අලි' කිව්වොත් හොඳයි කියලා. අම්පාර දිස්ත්‍රික්කයෙ වෙඩි කාලා මැරෙන අලින්ගෙන් 70% ක් විතරම තරුණ පිරිමි අලි. එහෙම වෙන්නෙ තරුණ පිරිමි අලි නිතරම කුඹුරු හේන්වලට පැනලා බඩ පිරෙන්න කාලා ඇඟපත හදාගන්න ට්‍රයි කරන නිසා. ඇඟපත හදා ගත්තෙ නැත්නම් උන්ට නාකි පිරිමි අලි එක්ක තරඟ කරලා සහකාරියෙක් දිනාගන්න බැරි වෙනවා. අලි අපි වගේ නෙමෙයි. අවුරුදු 55 ක් විතර වෙනකම් උස යනවා. මේ හේතුව නිසා තරුණ අලියෙකුට, නාකි අලියෙක් එක්ක ලොකු ගේමක් දෙන්න වෙනවා සහකාරියෙක් දිනා ගන්න. ඉතින් තරුණ අලි අවදානම නොතකා හේන් කුඹුරුවලට පැනලා වෙඩිකන්නෙ මේ හිතේ තියෙන වල්කම නිසා. ගෑණු අලි තමයි තමන්ගෙ පාඩුවෙ දරු පැටවුනුත් බලාගෙන තියෙන දෙයක් කාලා කැලේට වෙලා ඉන්නේ.

පහුගිය අවුරුද්දෙ මම මහවැලි කලාපෙ අලි ගහලා මිනිස්සු මැරිච්ච සිද්ධි ගැන තොරතුරු අරගෙන ටිකක් හොයලා බැලුවා කොහොමද, කාටද , කොයි වෙලාවටද, ඇයි මේවා සිද්ද වෙන්නෙ කියලා. ඉතාම සරල ගණනය කිරීම්වලින් මේ වගේ තොරතුරු ටිකක් දැනගන්න ලැබුනා.

        මිනිස් මරණ සිදුවෙන කාලය

            රාත්‍රි කාලයේ   - 75%
            දිවා කාලයේ    - 25%

        මරණ සිදුවන ස්ථාන

            නිවසේ හෝ ගෙවත්තේදී    -    20%
            වගා ආරක්ෂාවේදී               -    40%
            වෙනත් ස්ථානවලදී             -    40%

        මරණකරුවන් ගේ ගැහැනු පිරිමිබව

            ගැහැණු    -   15 %
            පිරිමි        -    85 %

        මරණකරුවන් ගේ වයස් කාණ්ඩ

            වයස අවුරුදු 40 ට අඩු      -   17%
            වයස අවුරුදු 40 ට වැඩි    -   83%

2009 ජනවාරි ඉඳලා 2011 මැද දක්වා අවුරුදු දෙකහමාරක් ඇතුලත මහවැලි කලාපයෙ සිදුවෙලා තියෙන මිනිස් මරණ 28 ක් ගැන දෙපාර්තමේන්තුවෙ වාර්තාවලින් තමයි මේ තොරතුරු ගත්තේ.  මේ තොරතුරුවලින් එන්න පුලුවන් සරලම නිගමනය තමයි රාත්‍රි කාලයේදී, ගෙදරින් බැහැරව යන වැඩිහිටි පිරිමින්ට අලින්ගෙන් ගුටි කාලා මැරෙන්න තියන අවස්ථාව වැඩියි කියලා. වගා ආරක්ෂාවේදී සමහර අය ඉතාම අනාරක්ෂිත, බිම හදාපු පැල්වල ඉඳලා මැරුණු අවස්ථා වාර්තා වෙලා තිබුනා. වත්තට ආපු හරක් කියලා හිතාගෙන කලුවරේ 'හුයි... හුහි... ' කියලා අලි එලවන්න ගිහිල්ලා එක වයසක ගෑණු මනුස්සයෙක් මැරිලා තිබුනේ.

අලින්ගෙන් ගුටි කාලා හුඟක් වෙලාවට මැරෙන්නෙ ගම්වල ඉන්න වැඩිහිටි පිරිමි. හැන්දෑවට හොරපොලකට ගිහිල්ලා ෂොට් එකක් දාගෙන සින්දුවක් කියාගෙන කලුවරේ එනකොට උන්ට ඉස්සරහට හම්බවෙන අලියෙක් පේන්නෙ හරකෙක් වගේ. මැරිච්ච එවුන්ගෙන් කී දෙනෙක් මැරෙන වෙලාවෙ බීලා හිටියද කියලා බලන්න උත්සාහ ගත්තත් එකම පශ්චාත් මරණ පරීක්ෂණ  වාර්තාවකවත් බීලා හිටපු බවක් සඳහන් වෙලා තිබුනෙ නෑ. ඉන්න එවුන්ට මැරිච්ච එකා වෙනුවන් වන්දි ගන්න බැරි වෙන නිසා මැරුණු එකා බීලා හිටියත් ඒ බවක් මරණ පරීක්ෂණ වාර්තාවෙ ලියන්නෙ නැතිලු.

 මම ගල්ගමුවෙ ඉන්න කාලේ අව්කන කිට්‍ටුව ගමක මිනිහෙක් ඉස්පිරිතාලෙට ගෙනාවා අතපය කැඩිලා. ඌ වෙරි මරගාතෙ කඩුවකුත් අරගෙන ගමට ආපු අලි රංචුවක් මැද්දට පැනලා  කොටන්න හැදුවලු 'තොපෙ අම්මලට ....' කියලා. 

තව පාරක් දීඝවාපියෙ කොල්ලෙක් මැරුණා බයිසිකලේ බ්‍රේක් නැතුව ගිහිල්ලා නවත්තගන්න බැරුව අලියෙකුගෙ ඇඟේ වැදිලා. කාලෙකට ඉස්සර ශ්‍රාවස්තිපුර මනුස්සයෙක් උදේ පාන්දර ගෙදර මිදුල අතුගගා ඉන්නකොට හදිසියෙම පාරෙ අලියෙක් යනවා දැකලා 'ෂෝ ... ෂෝ ...' කිව්වලු. ආපහු හැරුනු අලියා ඇවිත් ඒ මනුස්සයා ගෙදර බිත්තියටම තියලා තද කරලා මරලා තිබුනා.

ඉතින් මේ වගේ මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා සිද්දවෙන මරණ බොහොමයි. ඒ මරණයක් සිද්දවෙන හැම වෙලාවකම වරද පැටවෙන්න වනජීවී දෙපාර්තමේන්තුවට. ඉතින් මේ අලි මිනිස් ගැ‍ටුම සමනය කරගන්න දෙපාර්තමේන්තුව මොකද කරන්නේ කියලා ඉස්සරහට බලමු.


 වන අලි සහ වල් අලින්ගෙ වැඩ ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale.blogspot


පරිසරය ගැන ලියවෙන හොඳ බ්ලොග් එකක් ... ගොඩවෙලා බලන්න ... sobaroo.blogspot.com

           


68 comments:

  1. ඔය අම්පාරෙ සිද්ධිය ගැන ගාමිණී හුඟක් හිතේ අමාරුවෙන් හිටිය බව මට තේරිලා තිබ්බෙ. මිනිස්සු සමහර වෙලාවට ඔහොම තමයි. කිසිම සහයෝගයක් නොදී ‍ෆ්‍රී ෂෝ එකක් බලන්න එනවා.
    අර අලි උස යන එක ගැන මම කවදාවත් අහලා තිබ්බෙ නෑනෙ මචං . ඒක අහලා මටත් හිතුනා අලියෙක් වෙන එකත් නරක නෑ කියලා. අඩේ අලියෙක් වුනා නම් මට තවත් වයස තියෙනවනෙ තවත් ටිකක් උස යන්න. අනිත් එක බලාපං,... එක්කො.. නාම්බන්ට චැලේන්ජ් එකක් වෙන එක ගැන නොකියා ඉන්නං මචං. ඔය චික් මැග්නට් කතාවල් කියන්න ගිහින් මේක බලන නාම්බොත් එක්ක එක එක මත ගැ‍ටුම් ඇතිකරගන්නෙ මොකෝ.
    තව එලම වැඩක් තමයි ඔය පාරෙ යනකොට සූ සූ ගෑවොත්, ගේම ඉල්ලුවොත් හෙම හෙම ආපහු හැරිලා වනලා යන්න පුලුවන් කම. ගේම ඉල්ලුව එකාට සොරි ඩොට් කොම් තමයි. අලියෙක් වෙන එකත් නරකම නෑ බලං යනකොට.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කොට ඩයල් වලට හිතෙන්නේම අලියෙක් වෙන්නද කොහෙද?

      Delete
    2. කවුද බොල කොට ඩයල්? මට තව අඟල් හතරක් උස ගියා නම් අඩි හයයි අඟල් හයක්නෙ. ඒකයි මම කිව්වෙ. :)
      henryblogwalker the Dude

      Delete
    3. ඇත්තටම හෙන්රි මචං, ඒ වගෙ වෙලාවක ඇස් දෙකට පෙනි පෙනි සතෙක් මැරෙන එක වලක්වගන්න බැරි වෙනවා කියන්නෙ බොක්කටම දැනෙන දෙයක්. මට අදටත් ඒ සිද්දිය මතක් වෙනකොට කණගා‍ටු හිතෙනවා.

      හොඳ සනීපෙට කැලේ ඇතින්නියො පස්සෙ ඇවිද ඇවිද ඉන්න අලි දැක්කහම නම් අලියෙක් වෙන්න මටත් ආස හිතෙනවා. ඒත් වෙඩි කාලා, ඇඟ පුරාම සැරව ගලන තුවාල එක්ක අපාදුක් විඳින අලි දැක්කහම නම් හපොයි කියලා හිතෙනවා.

      අභීත මලේ .. හෙන්රියාගෙ වැඩ නං කොට නෑ ...

      Delete
  2. අලි-මිනිස් ගැටුමට හේතුව අලින්ගෙ බිම්වලට මිනිස්සු බලෙන් ඇතුලුවීම. කරන්න දෙයක් නෑ.වැටවල් ගහල අලි මර්ධනය කරන්න හිතනවනං ඒක මිත්‍යාවක්. රටේ භූමියෙන් 25-30% වත් වනාන්තර වලට වෙන්කරල තිබුනනං හරි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රාජ් මලේ, අපිට නිවැරදි ඉඩම් පරිහරන රටාවක් තිබුනා නම් මේ ගැටලු හුඟක් මගහරවා ගන්න පුලුවන්. අදාල නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම තිබුනත් තීරණ ගන්නේ මෝඩ දේශපාලකයෝ.

      Delete
  3. 'ගෙදර ඇඳං උඩත් මිනිස්සු නැගලා හිටියා .. '
    මේක තමයි එලම කෑල්ල :)

    බූත ගුනේ කියලා ගූගල් කලානම් තව ඔයවගේ වීරයෙක් ගැන කියවන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. වනිගෙ අයියා කියලත් ගූගල් කලානම් ..

      Delete
    2. අලියා මැරිලා අපි ගින්දර පත්තුවෙලා ඉන්දැද්දි, ඒ ගෑණි එදා ආවා අපිට කියලා හො‍ටු පිහිදව ගන්න ..

      Delete
  4. අලි ඉන්න ඕන තැන්වල මිනිස්සු උන්නා ම අලි කොහේ ඉන්නද නේද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වර්ණා, අලියෙක් තමන්ගෙ නිජභූමියෙන් (Home Range - නිවාස පරාසය) එලියට ගිහින් කවදාවත් වෙන කෙනෙකුගෙ ඉඩමක් අල්ල ගන්නෙ නෑ. ඒ පුරුද්ද තියෙන්නෙ අපිටම විතරයි.

      Delete
  5. අලි අල්ලලා බොන්සායි කරන්න ඕන..එතකොට ඔය ලොකු පාට් නැහැ... ගෙදර හුරතලේටත් හැදියැකි ඕනනං...

    ReplyDelete
    Replies
    1. අපූරු නිර්මාණශීලී අදහසක් මලේ .. ට්‍රයි කරලා බලමුකෝ .. අප්‍රිකාවෙ ගන වනාන්තරවලයි, බෝනියෝවෙයි නම් ඇත්තටම පිග්මි අලි ඉන්නවා.

      Delete
    2. හිකිස්...... අනේ අනේ මාරයෝ...

      ඩිස්පිකබල් මී ඇනිමේෂන් මූවි එකේ ශ්‍රින්ක් රේ යවලා අලියෙක් කුඩා කරනවානේ. මට හිතුනේ ඒකේ මනුස්සයා හඳ ගන්න යනවාට වඩා හොඳයි අලි ටිකක් චූටි කරලා විකුණන බිස්නස් එකක් ගැන බැලුවා නං කියලා. හැබැයි ඉතිං පස්සේ අලියා එක පාරම ලොකු වෙන්නත් පුළුවන් එක තමයි ලෙඩේ... බොන්සායි කලා නං කිසි අවුලක් නැහැ නේද? :)

      Delete
    3. හොඳ වෙලාවට ජපානේ අලි නැත්තෙ......!

      Delete
  6. ගාමිණී. අලි ගැන ලියපු මේ පෝස්ට් එකේ මේක නම් නොදාම බෑ. මේක පරිවර්තනය කරන්න වෙලාවකුත් නැතිනිසා එහෙමම දාන්නම්. මේක ඊයක තිබ්බෙ. පින්තූරත් තිබ්බා. මම ඒක එවන්නම්. මෙන්න කතාව.

    This is truly beautiful

    Lawrence Anthony, a legend in South Africa and author of 3 books including the bestseller

    The Elephant Whisperer, bravely rescued wildlife and rehabilitated elephants all over the globe from human atrocities, including the courageous rescue of Baghdad Zoo animals during US invasion in 2003.

    On March 7, 2012 Lawrence Anthony died.

    He is remembered and missed by his wife, 2 sons, 2 grandsons & numerous elephants.

    Two days after his passing, the wild elephants showed up at his home led by two large matriarchs. Separate wild herds arrived in droves to say goodbye to their beloved man-friend.

    A total of 20 elephants had patiently walked over 12 miles to get to his South African house.

    Witnessing this spectacle, humans were obviously in awe not only because of the supreme intelligence and precise timing that these elephants sensed about Lawrence 's passing, but also because of the profound memory and emotion the beloved animals evoked in such an organized way:

    Walking slowly - for days - making their way in a solemn one-by-one queue from their habitat to his house.

    Lawrence's wife, Francoise, was especially touched, knowing that the elephants had not been to his house prior to that day for well over a year!

    But yet they knew where they were going.

    The elephants obviously wanted to pay their deep respects, honouring their friend who'd saved their lives - so much respect that they stayed for 2 days 2 nights.

    Then one morning, they left, making their long journey back home.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මචං අලින්ටත් අපිට වගේම සංවලිතවුන (‍රැලි වැ‍ටුනු) ඉතාම දියුණු මොළයක් තියෙනවා. සමහර වෙලාවට උන් හරිම ගැඟීම් බර දේවල් කරනවා. පැටව් ඉන්න රංචු දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට හිතෙනවා උංටත් අපිට වගේම ඉතාම සංකීර්ණ සමාජ ජීවිතයක් තියෙනවා කියලා.

      Delete
    2. මම හිතන්නේ, වෙනස, උන් අපිට වඩා හොඳයි.

      Delete
  7. අදයි ඉස්සරලාම මේ පැත්තේ ආවේ...මාරායගේ මාර්ග සලකුණු නිසා.. :-)

    අම්පාරේ අවුරුදු 3ක් හිටියා...අලිත් එක්කම.... ඇති වෙන්නටම අලි දැක්කා... කවදාවත් අපෙන් උන්ටත් උන්ගෙන් අපිටත් කරදරයක් උනේ නෑ...

    අලි ගහලා මැරෙන අය ගැන නිතරම ආරංච් වෙනවා... වැඩිහරියක්ම ගාමිණී කියනවා වගේ "wrong time, wrong place, wrong reaction! "

    ReplyDelete
    Replies
    1. අපි උන්ට නිසි ගෞරවය දෙනවා නම් කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ. සියල්ල පාලනය කරන්න ගිහිල්ලා තමයි අපි ගුටි කන්නේ ..

      Delete
  8. මේක කියවන අයවත් අලි ගැන සාධාරණ ඇහැකින් බලාවි...

    ReplyDelete
    Replies
    1. අපිත් ගුටි නොකා ඉඳීවි නේද මලේ ...

      Delete
  9. ගොඩක් වෙලාවට මිනිස්සු විපතට පත්වෙන්නේ තමන් විහින්මයි. මට මතකයි මේ ළඟදී කුඩව පැත්තට ආපු අලියා පස්සේ යන්න ගිහින් මිනිහෙක් මැරුණු හැටි. මේ වගේ සිද්ධියකදී තැන නොතැන නොබලා රැස්වෙන එක අපේ මිනිස්සුන්ගේ සිරිත. ඉතින් අනිවාරතේ මැරුම් කාල අලින්ටම දොස් කියනවා. (මගේ බ්ලොග් එකට ප්‍රචාරයක් දුන්නට බොහොම ස්තුතියි.)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට මිනිස්සු කිසිම චාරයක් නැතුව හැසිරෙන්නේ. ටික කාලෙකට ඉස්සෙල්ලා ඇලහැරදි අපේ කොල්ලො අලි එලවන්න ගිහිල්ලා, එක අලියෙක් ආපහු හැරිලා ගහන්න එනකොට එකෙක් උඩට වෙඩි තියලා. එතකොට වැල ගෙඩි වගේ මිනිස්සු තුන් හතර දෙනෙක් උඩ ඉඳලා බිමට කඩාගෙන වැටිලා. වෙඩිල්ල වැදිලා තියෙන්නෙ ගහ උඩ ඉඳගෙන අලි එලවීමේ සංදර්ශනය නරඹන එවුන්ට.

      Delete
    2. මීට පස්සේ පහලට වෙඩි තියන්න කියන්න ගාමිණි අයියේ; මේ මිනිස්සු ගස් උඩමනෙ ඉන්නනෙ

      Delete
  10. සති දෙකකට කලිනුත් හරක් පට්ටිය හොයන්න සමන බැද්ද ගල් කොරිය පැත්තෙන් කැලේට ගාටපු දෙන්නෙකුගෙන් ආයේ එලියට එන්න වාසනාව හම්බුනේ එක්කෙනෙක්ට විතරයි .. අලිත් දැකලා තියනවා ඒත් මම අහලා දැකලා තියන හැටියට බුද්ධංගල කැලේ අවට ඉන්න අලි හරිම කලහ කාරීයි අහන අහන කෙනා කියන්නේ එහෙමයි . .උන්ව ඒ තත්වෙට පත් කරලා තියෙන්නේ මිනිස්සුම වෙන්නැති .

    ටවුමට අලියා ආපු දවසේ මමයි යාලුවෝ හතර දෙනෙකුයි රීගල් හන්දියේ ඉඳන් එන ගමන් .අලියා දැක්ක හැටියෙම අපි නිවුසිටි හෝටලේ ඇතුලට වෙලා හැංඟිලා උන්නා ඌ මැරෙනකම්ම ..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ලියනකොටම මට හිතුනා සඳරූ කොල්ලා එදා ඒ කිට්‍ටුවම ඉන්න ඇති කියලා.

      බුද්ධංගල අභයභූමිය අම්පාර කිට්‍ටුවම තියෙන නිසා ඒකෙ අලි නිතර ටවුමට එනවා. වටේටම ගම්මාන, කුඹුරු තියෙන නිසා උන්ට හිරිහැර වෙනවාත් වැඩියි.

      Delete
  11. අලින්ගෙ මං අහුරගෙන, කැලෑ එළිකරගෙන, ගම්බිම් නගර හදාගෙන, අඩු ගානෙ ගම් වැදුණු අලියටවත් ආපහු යන මග ඉඩ නොදී ඉන්නකොට ඒ සත්තු මොනව කරන්නද? හිතට හරිම දුකක් දැනුණා. ඒ සත්තු කාට කියන්නද?

    ඔය අලියෙක් දැක්කහම ෂෝ එක බලන්න යනවා වගේම තමා, බෝම්බයක් පිපිරුණත්, වාහනයක් ඇක්සිඩන්ට් වුණත් කට්ටිය වට වෙලා සීන් එක බලන්නෙ. හරියට සිද්ද වුණු සේරම අකුරට නූලට දැන ගත්තෙ නැත්තං නින්ද යන්නෙ නැති වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ගෙ වඳුරු ගතිගුණ නම් ඇරෙන්නෙ නෑ පරිනාමයෙ කොච්චර ඉස්සරහට ගියත්.

      කාලෙකට ඉස්සර මහියංගනේ ගම් උදාවෙ බෝම්බයක් පිපුරුනා ඔබතුමියට මතක ඇති. ඒකෙ අපේ දෙපාර්තමේන්තුවෙ ස්ටෝල් එකකුත් තිබුනා. හැමෝම හිතුවලු ඊට පස්සෙ කිසි කෙනෙක් ගම් උදාව බලන්න එන එකක් නෑ කියලා. පස්සෙන්දා දෙගුණයක් සෙනග ආවලු, බෝම්බෙ පිපුරුන තැන බලන්න.

      Delete
  12. මේ ගැටුම නම් කවදාවත් ඉවර වෙන එකක් නෑ කියලා හිතෙද්දි හරි දුකයි.
    කිව්වට කමක් නැද්ද මන්දා මට කොහොමත් වල් අලි ගමේ අලි කියලා වෙනසක් නෑ. මම දෙන්නාටම භයයි. ඈත ඉඳන් බලන්න ආස වුනාට ළඟට නම් යන්නේ නෑ ජීවිතේටවත්.

    අපේ රටේ මිනිස්සු විපතට කතා කරලා අඬගහලා ළඟට ගන්නවා කියන එක නම් හොඳටම පෙනුනේ සුනාමියෙන් නේ.

    ReplyDelete
    Replies
    1. පරුවතේ වගෙ ලඟට දකිනකොට නම් බය හිතෙනවා තමයි. ඒ උනත් හීලෑ උනහම පොඩි දරුවෙක් වගේ.

      සුනාමියෙදිත් ඉල්ලං කෑවා තමයි අපේ එවුං. පළවෙනි පාර ඇවිත් ගිහිල්ලා මූද හිඳුනහම කට්ටිය ගිහිල්ලා ඉඩං අල්ලගත්තලු 'මේ ටික මගේ ..' කියලා. දෙවෙනි පාරට උං ටික සේරම හේදිලා ගියාලු.

      Delete
  13. වල් අලි සහ වන අලි ගැන හොඳ පැහැදිලි කිරීමක් :D

    ReplyDelete
    Replies
    1. පමණ ඉක්මවූ වල්කම අපිට ගේන්නෙ විනාසයක්ම තමයි. හැබැයි ඉතිං ජීවයේ පැවැත්මට පොඩි වල්කමක් තියෙන්නත් ඕනෑ මලේ... !

      Delete
  14. ගාමිණී ඔක්කොම කතාව ලස්සනට හකුලුවලා මෙහෙම ලියලා ඉහලින්.. . " සුනාමියෙදිත් ඉල්ලං කෑවා තමයි අපේ එවුං. පළවෙනි පාර ඇවිත් ගිහිල්ලා මූද හිඳුනහම කට්ටිය ගිහිල්ලා ඉඩං අල්ලගත්තලු 'මේ ටික මගේ ..' කියලා. දෙවෙනි පාරට උං ටික සේරම හේදිලා ගියාලු."
    ඔන්න ඔය විදිහට අපේ මිනිස්සු හැසිරෙන එකට හේතුව හොයන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. කෑදරකම තමයි ලංකා ... වෙළඳ ලෝකය අපිට හදලා දීල තියෙන 'මොඩල්' එකට ජීවත් වෙන්න අවශ්‍ය සල්ලි හොයන්න අපි ජීවිත කාලයක් දහදුක් විඳිනවා.

      Delete
  15. නොදන්නා තොරතුරු ගොඩක් දැනගත්තා..

    මම සමහර පැතිවල දැකලා තියෙන දෙයක් තමයි වල් අලින්ට පාරෙ යන මිනිස්සු කන්න දෙන එක.. අලි එන මංකඩ ළඟ කඩයක් දාගෙන පළතුරු විකුණනවා වගේම අලියත් ඒකට පුරුදුවෙලා එතනට එනවා.. බැරිවෙලාවත් විදුලිවැට දවාලට වැඩ නොකරන බව ඌට තේරුනොත් විනාසයි නේද?

    ReplyDelete
    Replies
    1. උඩවලවෙයි, මින්නේරියෙයි තමයි හරී ඔය ගැටලුව තිබුනේ. උඩවලවෙ පාර අයිනෙ විදුලි වැටට ඇතුලතින් තව වැටක් ගහලා දැන් අලි පාර අයිනට එන එක වලක්වලා තියෙන්නේ. මින්නේරියෙ දේවාලෙ ගාව හිටපු හිඟන අලියා අල්ලලා ගෙනිහිල්ලා ලුණුගම්වෙහෙරට දැම්මා.

      විදුලි වැටකින් එක පාරක් විදුලිය වැදුනහම ඊට පස්සෙ හුඟක් අලි විදුලි වැටක් දැක්කහම බය වෙනවා. කලාතුරකින් සමහර හොර අලි විදුලිය වදිද්දිත් වැටෙන් රිංගලා යනවා.

      Delete
    2. හරියට හරි උඩවලවෙ තමයි මම ඔය සිද්ධිය දැක්කෙ.. විදිලි වැටවල් දෙකක් තියෙනවාත් මම දැක්කා.. ඒත් අලි හිටියෙ ඒ වැට දෙක මැද.. ගිය මැයි මාසෙ..

      Delete
  16. වන අලි ඉන්න ඕනි වනය ලස්සන කරලා ස්වභාව ධර්මය සමතුලිතතාවය රැකෙන්න.. වල් අලි ඉන්න ඕනි ඒ ගොල්ලන්ගෙ පරපුර රැක ගන්න. ලවක් දෙවක් නැතුව බෝවීගෙන බෝවීගෙන යන මිනිස්සු තමයි අඩු කරන්න ඕනි. මෙතන මිනිස්සු කීවෙ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු.. නැත්නම් ජාතිවාදෙ කර පින්නන් ඉන්න අය මාව නැති කරයි මුලින්ම..

    ReplyDelete
    Replies
    1. මේ කරන විනාශයේ අවසානය මොනවගේ වෙයි ද කියලා හිතා ගන්න බෑ මලේ .. අපේ දරුවන්ට තමයි කවදා හරි ඒවයෙ ප්‍රතිපල විඳින්න වෙන්නේ ..

      Delete
  17. ගොඩක් දවසකින් මේ පැත්තේ ගොඩවුනේ.
    අලි ගැන කිව්වාම නිතර දෙවේලෙ දකින දෙයක් හින්දා හරිම කණගාටුවක් තියෙන්නේ. උඩවළවේ විදුළි වැටවල් ගහලා එළවපු අලි ආයෙත් පාර අද්දරට ඇවිල්ලා හිඟා කනවා. කෙසෙල් කැන් කඩා ආයෙත් ඇරිලා.මිනිස්සු උද්ගෝයෙන් අලින්ට කෑම දීලා සතුටක් ලබනවා. ඇයි අපේ මිනිස්සුන්ට ඈතට වෙලා උන් කරන දේවල් බලං ඉදලා සතුටක් ලබන්න බැරි, හත් දෙයියනේ කවන්නම ඕනද මේ වන සතුන්ට.
    ආයෙ බුත්තල කතරගම පාරෙ චණ්ඩිකමෙන් හිගා කන තනියවත්මතක් උනා මේක බලද්දී.ළඟදිඒපැත්තේ යද්දී නම් ඌ දැක්කේ නෑ.ඉන්නවද දන්නෑදැන්

    ReplyDelete
    Replies
    1. මට ලඟකදී ඒ පැත්තෙන් තොරතුරක් ලැබුනේ නෑ ... මින්නේරියෙ දේවාලෙ ගාව හිටපු හිඟන්නා තමයි අල්ලගෙන ගිහිල්ලා ලුණුගම්වෙහෙරට දැම්මේ. බුත්තල කතරගම පාරේ හිඟාකන්නේ සමහරවිට ඌ වෙන්න පුලුවන්.

      කැලේ සත්තුන්ට ඒ විදිහට ඉන්න නොදී හුරතල් කරන්න ගිහිල්ලා උන්ට ලොකු හානියක් කරන්නේ. පහුගිය කාලේ අලි 23 දෙනෙක් හිඟා කන්න පුරුදු වෙලා හිටියා උඩවලවෙ වේට ගාව.

      Delete
    2. උඩ කොමෙන්ට් එකේ 'වේට' වෙලා තියෙන්නේ 'වැට'

      Delete
    3. මටත් උද්යෝගයට වෙන මොකද්ද කුණු හබ්බයක් කියවිල තියෙන්නේ.
      ඒ අලින්ගෙ හැටි දැක්කාම දුකේ බෑ,. වැහැරිළා ගිහින්. :(

      Delete
  18. "අලින්ගෙන් ගුටි කාලා හුඟක් වෙලාවට මැරෙන්නෙ ගම්වල ඉන්න වැඩිහිටි පිරිමි. හැන්දෑවට හොරපොලකට ගිහිල්ලා ෂොට් එකක් දාගෙන සින්දුවක් කියාගෙන කලුවරේ එනකොට උන්ට ඉස්සරහට හම්බවෙන අලියෙක් පේන්නෙ හරකෙක් වගේ"
    ඇත්ත නේන්නම්.චන්ඩිය බඩේනෙ.මොකට බය වෙනවද?

    ReplyDelete
    Replies
    1. අලිය මොකෙද්ද ... බීපු වෙලාවට අපි ගෑණිට බයත් නෑනෙ ...!

      Delete
  19. මට අලි මිනිස් ගැටුමක් ගැන අහද්දි නැගෙන ප්‍රස්ණ දෙකක් තියෙනවා. ඒකට හරිම උත්තරේ දැන ගන්න නියම "පොර අයියණ්ඩියෙක්" අහු වුනේ ඕං අද තමා.

    01. අලියට ඉව තියෙනව ද?

    02. අලියා ගහන්න එද්දි දුවලා බේරෙන්න බැරිද? (අර අන්තිම සිද්ධියේ විස්තර වෙන හැටියට අලියා බිත්තියට තද කරලා මිනිහා මරණකන් මිනිහා මොකද කරලා තියෙන්නෙ. අපි ටීවී වලින් මේ විස්තර දැන ගන්න නිසා ප්‍රායෝගික තත්වය ගැන හිතාගන්න අමාරුයි.)

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ටිකක් එකතු කරන්නම්..

      අලියා එලවං එද්දි වමට හැරි හැරි දුව්වොත් බේරෙන්න පුලුවන්ද?

      ඇදුම් ගලවලා දිව්වොත් ඌ ඒවා ඉවකරලා නිකා ඉන්නවාද?

      අලි මන්තරවලින් අලින්ගෙන් බේරෙන්න පුලුවන්ද?

      Delete
    2. මේ ඉන්නේ එහෙම බේරිච්ච එකෙක්... :)

      http://youtu.be/L0-1B4qgd2s

      Delete
    3. බුද්ධි, හරී, බීට්ල්

      1 අලියට ඉතාම තියුණු ඉවක් (ගන්ධයට ඇති සංවේදී බව) තියෙනවා. හැබැයි ඒ ඉව ඉක්මනින් තියුණුව දැනෙන්නෙ, අලියා ඉන්න පැත්තට ඒ ගන්ධය සුළඟත් එක්ක හමනවානම් විතරයි. යටි සුළඟ පැත්තෙන් අලියෙකුට ඉතාම කිට්‍ටු වෙනකම් ලඟා වෙන්න පුලුවන් නොදැනෙන්න. අපේ පළපුරුදු නිලධාරීන් ඒ විදියට ළං වෙලා ඉතාම ප්‍රචණ්ඩ අලින්ට නිර්වින්දන බෙහෙත් එන්නත් කරනවා, විශේෂ තුවක්කුවකින්. ඒ ගැන පස්සෙ පෝස්ට් එකකින් කියන්න බලාපොරොත්තුව ඉන්නවා.

      2 අලියෙකුට ඉතාම වේගයෙන් දුවන්න පුලුවන්. ඒත් ඒ උපරිම වේගයට ලඟා වෙන්න පියවර කීපයක් අලියට යන්න වෙනවා. ඒ කාලය ඇතුලත ප්‍රමාණවත් ආවරණයකට දුවගන්න ලැබුනොත් පන බේරගන්න පුලුවන්. ඌට ඇස්දෙකට පේන්න ඉන්නවානම් විතරයි පස්සෙන් එලවන්නේ. අර ශ්‍රාවස්තිපුර මනුස්සයාට ගෙට රිංග ගන්න වෙලාව මදිවෙන්න ඇති.

      අපේ හෙන්රියායි (henryblogwalker) මායි එකපාරක් කුමනදි ඇතෙකුගෙන් බේරුනා අන්තිම තත්පරේදි. හෙන්රිගෙ ඒ පෝස්ට් එක බලන්න

      3 ඇස් දෙකම හොඳට පේන අලියෙකුගෙන් නම් එහෙම හැරි හැරි දුවලා බේරෙන්න බැරි වෙයි. සමහර එකැස් පොට්ට අලි නම් ඉන්නවා එක පැත්තක් පේන්නෙ නෑ, ඒ පැත්තෙ තියෙන ගස් වල හැප්පි හැප්පි යන්නේ. වෙඩි වැදිලා, සුද ඇවිල්ලා තමයි එහෙම වෙන්නේ. ඇඳුම් ගලවලා දාලා දුවන එක නම් සමහර විට හරියන්න පුලුවන් අලියගෙ අවධානය ඒකට යොමු උනොත්. ඒත් ඒක සියයට සියයක් විශ්වාසවන්ත උපක්‍රමයක් නම් නෙමෙයි.

      4 දෙපාර්තමේන්තුවෙ හිටපු හොඳම අලිමන්තර කාරයා 'මන්සූර්' මහත්තයා, මැරුණේ අලියෙක් ගහලා. ඒ නිසා මගේ මන්තර ගැන වැඩි විස්වාශයක් නෑ. අරුල් අය්යත් අමුතුම මන්තර වර්ගයක් පාවිච්චි කළා. 'තොගෙ අම්මට ...' කියලා පටං ගන්න ඒ මන්තර අහගෙන ඉන්න බැරුව අලි කැලේ කඩාගෙන දුවනවා.

      බීට්ල් මල්ලි දීපු ලින්කුව බලලා පස්සෙ කොමෙන්ට් එකක් දාන්නම්

      Delete
  20. මම හිතා හිටියෙ අලින්ගෙ ඇස් පෙනීම කොහොමත් දුර්වලයි කියලා. අලියෙක් පන්නාගෙන එනකොට බේරෙන්න පුලුවන් හොඳම ක්‍රමවේදයයි ඊ ලඟට තියෙන විකල්පයි ගැන කියමුද මචං?
    අලි මන්තර ගැන කිව්වොත් නම්, එදා අපි පාරෙ අලියා පන්නන්න මොහොතකට කලින් අපිත් එක්ක ගිය මග පෙන්නන්නා අලි මන්තරයක් වේගයෙන් කියාගෙන කියාගෙන ගියා නේ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මචං, අලියෙකුගෙ ඇස් පෙනීම දුර්වලයි කියලා කියන්න පුලුවන්, අනෙක් සත්තුන්ට සාපේක්ෂව. ගොදුරු සතුන් අල්ලාගෙන කන විලෝපී සත්තුන්ගෙ වගේම, විලෝපී සත්තුන්ට ගොදුරුවෙන සත්තුන්ගෙත් ඇස්පෙනීම ඉතාම තියුණුයි, අල්ලා ගැනීමට සහ බේරීමට. එහෙම සත්තුන්ගෙ ඇස් දෙක හිස ඉදිරියේ තියෙන්නේ, ද්විනෙත් දෘෂ්ඨිය සඳහා. (binocular vision) ඒ හැකියාව නිසා උන්ට ඉතාම හොඳින් ගැඹුර නිර්ණය කරන්න පුලුවන්.

      අලියා මේ දෙවර්ගයටම අයත් වෙන්නෙ නැති ශාඛ භක්ෂක සතෙක්. ඒ නිසා අලියෙකුට මීටර් 40 -50 වඩා ඈත පැහැදිලිව නොපෙනෙන පුංචි ඇස්දෙකක් හිස දෙපැත්තේ තියෙන්නේ. නමුත් ඒ සීමාව තුළ තමන්ගෙ ආහාරය හොයා ගන්න, ‍තෝරා ගන්න, කඩා ගන්න, සකස් කරගන්න අවශ්‍ය හොඳ පෙනීමක් ඌට තියෙනවා. මල පැන්න වෙලාවට ඒ සීමාව ඇතුලෙ මිනිහෙක් ඉන්නවානම් පන්නගෙන ගිහිල්ලා කකුල් කෙටි දෙකෙන් අල්ලලා පොලවෙ ගහන්නත් ඒ පෙනීම හොඳටම ප්‍රමාණවත්.

      අලින්ගෙ පෙනීමේ අනිත් විශේෂත්ව තමයි මචං සෙලවෙන දේවල් වහාම අවධානයට ලක් වීම හා මද අඳුරේ දී වඩා හොඳින් පෙනීම. අලියෙකුට පෙනි පෙනි ඉස්සරහින් දුවන්නෙ නැතුව ලඟ ආවරණයක් තියෙනවා නම් හැංගිලා ගැලවෙන්න පුලුවන් ඒකයි. සිග් සැග් විදියට දුවලා බේරෙන්න අමාරුයි, අපි දුවන්නෙ අලියට පෙනි පෙනි නම්. එහෙම දුවනකොට ආවරණයක් ලැබෙනවනම් ගැලවෙන්න පුලුවන් වෙයි.

      එදා හිටපු ගුණදාස අලි මන්තර කිව්වා තමයි. මම නම් මචං දුවලා පුලුවන්නම් පන බේරගන්න උත්සාහ කරනවා මිසක් වෙන දේවල් ගැන විශ්වාසයක් තියන්නේ නෑ. මෙච්චරකල් ජීවත් වෙලා ඉන්නෙත් ඒ නිසා වෙන්න පුලුවන්.

      උත්තරේ ටිකක් දිග වැඩි උනා මචං.

      Delete
    2. හිස දෙපැත්තෙ ඇස් තියෙන එකේ වාසිය තමයි හිස වටේට වැඩි අංශක ගනනක් දකින්න පුලුවන් කම. සමහර ගොදුරු සත්තුන්ගෙත් ආරක්ෂාවට එහෙම පිහිටනවා.

      Delete
  21. ඉන්දියාවේ සිදු වූ එක් සිදු වීමකදී මිනිහ අලියාගෙන් බේරෙන්නේ අලියාගේ බඩ යටට රිංගලා. ස්පිට්ල් මහත්තයාගේ එක පොතකත් තියනවා "යක්කුරේ තනියට" අහුවුණු මනුස්සයෙක් ඒ වෙලාවේ බේරෙන්නේ අලියගේම කකුලට මුවා වෙලා.
    අලියට කෙසේ වෙතත් වලහගේ නම් ඇස, කන් (ගල් බීරෙක්) ඔක්කොම අවුල් කියල අහල තියෙනවා.
    ඒ වගේම අලියාගේ කන් ඇසීමත් කෝමද?මම අහල තියෙනවා අලියාගෙන් බේරෙන්නේ මුවා වෙලා හුස්ම තද කරන හිටපු කතාවක් (gara yakas domain).

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ මනුස්සයෙක් හීලෑ ඇතෙකුගෙන් නූලෙන් බේරෙන පින්තූර වගයක් මමත් දැක්කා. ඒත් එහෙම වෙලාවක සිහි කල්පනාවෙන් ඉඳලා පන බේරගන්න පුලුවන් වෙන්නෙ දහ දාහකින් එකෙකුට කියලා මට හිතෙන්නෙ.

      වලහගෙ ඇසීම පෙනීම ඒ තරම් තියුණු නෑ. ආහාර හොයා ගන්න අවශ්‍ය තියුණු ඉවක් නම් තියෙනවා.

      අලියගෙ ඇසීම තියුණුයි, විශාල බාහිර කණක් තියෙන නිසා. බාහිර කනේ අනෙක් කෘත්‍යය තමයි ශරීර උෂ්ණත්ව යාමනය (thermo-regulation. ඇඟේ නිපදවෙන වැඩිපුර තාපය රුධිරය එක්ක කනට ඇවිල්ලා කන් සැලීමේ දී සිසිල් වෙනවා. හරියට රේඩියේටර් එකක් වගේ. අලියෙක් නිතරම කන්දෙක හොලවන්නෙ ඒකයි.

      අලින්ගෙ ඇසීමේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අඩු සංඛ්‍යාතයකින් යුතු ශබ්දත් අහන්න පුලුවන් කම. ඒ නිසා අපිට නෑහෙන ශබ්ද උන්ට ඇහෙනවා.

      Delete
  22. අලි ගැන තරමක් කියවලා තියනවා ස්පිට්ල් මහත්තයාගේ පොත් වලින්. ගාමිණී අය්යගේ බ්ලොග් එකෙන් ගොඩාක් දෙවල් දැන ගත්තා.
    …ඒ පොත් වල තිබ්බ අලි ගාල් ගැන කියවන කොට නම් ඒ සත්තු ගැන දුක හිතෙනව.

    … \\මම ගල්ගමුවෙ ඉන්න කාලේ.....//

    …මේ ටික කියවද්දි තනියම හිනා ගියා. අර "තොපෙ අම්මලට" කියල පටන් ගන්න මන්තරේට අලි කෙසේ වෙතත් මිනිස්සු නම් එලවන්න පුලුවන් ඇති නේද.. ? :D


    ReplyDelete
  23. අපේ රටේ හිටපු සුද්දො (ස්පිට්ල් ඇර) විනෝදාංශයක් විදිහට අලි මරලා දාපු හැටි උං ලියාපු පොත්වල ලියලා තියෙන විස්තර කියවනකොට පුදුම දුකක් හිතෙනවා. ඒ පොත් කීපයකම පරිවර්තන මරදානෙ සූරිය එකෙන් ප්‍රකාශ කරලා තියෙනවා.

    අපේ සමහර මෝඩ යක්කුන්ට බීගත්තහම අලිත් මිනිස්සු වගේ චූටි වෙලා පේනවා ඇති.

    ReplyDelete
    Replies
    1. සැමුවෙල් බේකර් , රොජර් , ස්කිනර් ල වගේ කට්ටිය මරල දාපු අලි ඇත්තු ගණන් අරගෙන බැලුවම දැන් ලංකාවේ ඉන්න ප්‍රමානෙ වගේ පස් ගුණයක් විතර

      Delete
    2. ඒකනම් ඇත්ත, පුතා. ඔයගොල්ලො වගේ තරුණ දරුවො ඒ කරුණු ගැන දැනුවත් වෙලා, වනජීවී සංරක්ෂණය ගැන අවධානයෙන් ඉන්න එක අපට ලොකු සතුටක්.

      Delete
  24. අලි ගැන තිබ්බ හොද පොතක් මං ගියේ සතියේ කියෙව්වේ "සද්දන්ත ප්‍රේමය සුන්දරයි" කියල එකේ අලින්ගේ චර්යා රටා ගැන හොදට තිබ්බ , මන් තම ගාමිණී මාමගේ පොත් ටික නම් බැලුවේ නෑ , ඒ ටිකත් ලගදීම ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒ පොත මමත් කියෙව්වා වගේ මතකයි. මගෙ පොත් පුස්තකාලවලිනුත් හොයා ගන්න පුලුවන් වෙයි, පුතා.

      Delete
  25. "සදරු"ගෙ බ්ලොග් එකෙන් මීට කලින් ඔය සිද්දිය කියෙව්වා වගේ මතකයි...
    කමෙන්ට් වලදි අලි ගැන දාල තියෙන විස්තර ටික නම් ගොඩාක් වටිනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ, හුඟක් වෙලාවට පෝස්ට් එකේ නොලියවෙන වැදගත් කරුණු කමෙන්ට්වල ලියවෙනවා.

      Delete
  26. mta nm hethenne ape rate ali gana kathakrnva adui keyala.me amadetma vaga keynna ona ape uncle.meka dakeddi mta mehema keynna hethuna uncle... kaviyaking ma keynnmkooooooooooooo.... minesune nubala kuriru wuye mnda? vinasa karnnata gahakola plabie nathe una innata sitennata thank apata. nathe kala ape eun hethk papuvak nomathe lesa varada apeda??? kusagenna vadi kamata ,ringuva henakata nathahoth kuburakata ,hethaking nave eyath pataun adanva apeth ,nubalage yahapthata apava vanasima sadarnada?????????? panamure ath raju ada heteynm mehema hethei keyalai ta hethenne uncle... isuru...

    ReplyDelete
    Replies
    1. අපූරු කවිය ඉසුරු පුතා.. මම සිංහල අකුරුවලින් ඒක දාන්නම්.

      මිනිසුනේ නුඹලා කුරිරු වූයේ මන්ද ..?
      විනාස කරන්නට ගහකොල
      හිතක් පපුවක් නැති ලෙස පෙලඹී
      වරද අපේ ද ..?
      නැති උනේ ඉන්නට සිටින්නට තැනක් අපට
      අපේ එවුන් කුසගින්න වැඩි කමට
      රිංගුවා හේනකට නැත්නම් කුඹුරකට
      හිතකින් නෙවෙයි එයත්
      පැටවුන් අඬනවා අපෙත්
      නුඹලාගෙ යහපතට
      අපව වැනසීම සාධාරණද ..?

      Singreesi_1_8 ඩවුන් ලෝඩ් කරගත්තොත් සිංහලෙන්ම ලියන්න පුළුවන් පුතා.

      Delete
  27. ලංකාවෙ ඉන්න සත්තුනේගෙන් ජීවත් වෙන්න වැඩිම දුකක් විඳින සතා.

    ReplyDelete