මේ ළඟදි පත්තරවල තිබුනා, වේයන්ගොඩ පැත්තේ කෝච්චියකින් වැටිලා රෝදවලට කකුල් දෙකම වෙන්වෙලා ඉන්දෙද්දිත් පැය එකහමාරක් තිස්සේ තමන්ගෙ අම්මත්, නංගිත් ගැන කතාකරකර ඉඳලා මියගිය තරුණ ළමයෙක් ගැන ඉතාම සංවේදී කතාවක්. ඒ වගේ බරපතල තුවාලවලින් වේදනාවක් ඇති නොවන බව මම අහලා තිබුනත්, නියත මරණය ඉදිරියේ ඇතිවෙන කම්පනය දරාගෙන තමන්ගෙ ආදරණීයයන්ට ඇතිවෙන දුක ගැන හිතන්න, ඒ දරුවට ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා.
ඒ ප්‍රවෘතිය දැකලා, ළං ළංව එන මරණය දැක දැක, ඊට ඉතාම සන්සුන්ව සූදානම් වූ වැඩිහිටියන් දෙන්නෙක් ගැන මට මතක් උනා. මේ ලියන්න සූදානම් වෙන්නෙ එයින් එක්කෙනෙක් ගැන.
ගාල්ලෙ, කීඹිය පැත්තෙ ජීවත්වුන පලිහපිටිය ගමගේ කරෝලිස් ඉපදුන වර්ෂය ගැන නිශ්චිතවම කියන්න බැරි උනත්, දරුවන්ගෙ වයස අනුව ඔහු ඉපදුනේ අඩුම තරමෙ 1890 ආසන්න වර්ෂයක කියලා අනුමාන කරන්න පුලුවන්. තරුණ වයසෙදි තේ වත්තක සේවය කළ ඔහු නිසි වයසෙදි සුදුසු කාන්තාවක් එක්ක විවාහ උනා. දෙමාපියන්ගෙන් උරුමවුන ඉඩකඩම් ඉතාම හොඳින් කළමනාකරණය කළ ඔහු, තමන්ට අයත් මදිනවත්ත ඉඩමේ ලොකු ගෙයක් හදලා පදිංචි වෙන්නත් සූදානම් උනා.
![]() |
පිස්කල් රාළහාමි මදිනවත්තේ පදිංචිව සිටි නිවස |
විවාහයක් කරගෙන, ගෙයක් දොරක් හදාගෙන ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කළත් ඔහුගෙ ජීවිතේ ලොකු අඩුපාඩුවක් තුබුනා. අවුරුදු කීපයක් ගත උනත් පළමු විවාහයෙන් ඔහුට දරු පල ලැබුනේ නෑ. දරු මල්ලො හදාගෙන ඉදිරි පරම්පරාව දකින්න ලොකු බලාපොරොත්තුවකින් හිටියත්, ඒ වාසනාව නොලද නිසාම ඔහු පස්සෙ කාලෙකදි මත්පැන් පානය කරන්න පෙළඹුනාලු. (එකත් එකටම කිතුල් රා වෙන්න ඕනෑ, ගේ වටේටම කිතුල් ගස් ගොන්නක් තිබුනා). ඉතින් අවසානයෙදි දෙන්නගෙ වැඩිහිටියො සේරම එකඟ වෙලා ඒකට අපූරු විසඳුමක් දුන්නා. විසඳුම තමයි පළමු බිරිඳගෙත් එකඟත්වය ඇතිව ඇයගෙ නැගණියත් කැන්දාගෙන ඒම.
පලිහපිටිය ගමගේ කරෝලිස් පිස්කල් ආරච්චි |
දරුවන් ලැබීමේ ආසාව නිසා සැමියා තම නැගණිය කැඳවාගෙන ඒම, පළමු බිරිඳ පිළිගත්තේ ඉතාම උපේක්ෂාවෙන්. ඇය සැමියා සහ නැගණිය සමග ඉතාම සාමයෙන් අලුතින් හදලා පදිංචිවුන ගෙදර ජීවත් උනා. පස්සෙ කාලෙකදි ඔහුට ගාල්ලෙ උසාවියෙ පිස්කල් ආරච්චි තනතුරක් ලැබිලා 'මදිනවත්තෙ පිස්කල් රාලහාමි' නමින් හැඳින්වුනා. දෙවෙනි බිරිඳගෙන් ලැබුනු දරුවන් අට දෙනා නිසා ඉතාමත් වාසනාවන්ත පවුල් ජීවිතයකුත් ගත කරන්න ලැබුනා. පළමු බිරිඳත් ඒ දරුවන් තමන්ගෙම දරුවන් වගේ රැක බලා ගත්තා. කළ වරදකට තමන්ගෙ අම්මා දඬුවම් කරන්න හදනකොට ඒ දරුවො දුවගෙන ගියේ ලොකු අම්මා ගාවට. 'මේ දරුවො උඹේද .. මගේද .. ? ..' කියලා ලොකු අම්මා ඒ වෙලාවට දරුවන්ට තමන්ගෙ තියෙන නීතිමය අයිතිය මතක් කරළා දුන්නා කියලා මම අහලා තියෙනවා. ජීවිත ගැටලුවලට ඒ වගෙ සන්සුන් සිතින් මුහුණ දීපු වෙන කාන්තාවක් ගැන මම අහලා නෑ.
පස්සෙ කාලෙක පිස්කල් රාළහාමිගෙ දූ දරුවො ලොකු මහත් වෙලා හොඳින් ඉගෙනගෙන වැඩි දෙනෙක් රජයේ සේවයට එක්වුනා. එක පුතෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වුනා. ඔහුගෙ පළමු බිරිඳ මියගියේ පනහ දශකය අවසානයෙදි. ඊට පස්සෙ තමයි රාළහාමිගෙත්, දෙවෙනි බිරිඳගෙත් විවාහය ලියාපදිංචි කළේ. එතකොට දරුවන්ටත් දරුවො ලැබිලා.
ඉතින් දරුවො දීගතල දීලා, ඉතාම වාසනාවන්ත ජීවිතයක් ගත කළ මදිනවත්තෙ පිස්කල් රාළහාමි, 1974 වර්ෂයෙ මැදදි තමන්ගෙ ජීවිතයෙ අවසානයට සූදානම් වෙමින් හිටියා. ඒ සඳහා ඔහු වෙත තිබුනු සූදානම හෙළි වෙන්නෙ, මරණයට මාස කිහිපයකට කලින් සිය වැඩිමහල් දියණියට, තමන්ගෙම අත් අකුරින් ලියා එවූ ලිපියකින්. ඒ ලිපියේ ස්කෑන් කරපු ඡායාරූපයක් මේ පොස්ට් එකේ ඇතුලත් කරලා තියෙනවා. ඒකෙ ලියවිලා තියෙන්නෙ, සදාකාලිකවම ජීවත් වෙනවා කියලා හිතාගෙන ජවුසං නටන අපි විසින්, නැවත නැවතත් හිතා බැලිය යුතු අදහස් කීපයක්,
![]() |
පිස්කල් රාළහාමි සිය වැඩිමහල් දියණියට ලියූ අවසන් ලිපිය |
' තිසරණ සරණ වේවා, ආධරවන්ත දුවනිය වෙත ලියා තියන්න මට හිතුනා. එම නිසා මම මෙසේ ලියා තබමි. දුව මෙහි ඇවිත් ගියාට පසු මට අසනීප ගති ඇති උනා. මොනවා කරන්නද මේ ලෝකෙ ජීවත් වෙලා හැමදාම ඉන්න බැරි
බව මම දන්නවා. මගෙ ගෑනු ලමයින්ට කවදා හරි හොඳ කලක් යාවිය කියා මම සිතමි. මගේ ..... පුතා ගැන මට කනගාටු හිතෙනවා. ඒ දෙන්නම රටේ හොඳ හිත තියාගෙන ඉන්න දන්නෙ නෑ. මගේ මරනේ කෙරුනම දෙල්ගොඩ ඉන්න පුතාට කියා ඇති ගෙට බස්නා ඉර පැත්තේ ඇල්බීසියා ගහට යටි පැත්ත එලිකරවා ගන්ට. මම කියා ඇති පුච්චන්න ඕන නම් කජ්ජු ගහක් කපාගත්තාම ඇති. මෙහි යම් සුලු මුදලක් ඇති. එය මගේ මරනෙට ගන්න. මගේ ලොකු දුවත් ලොකු බෑනත් අම්මාට කර සාත්තු ඇති සසර කොට කර ගන්න. හොඳටම ඇති. ඔබ දෙපලට නිවන් සැප ලැබේවා. - පියා (පී. ජී. කරෝලිස්)'
ඉතාම සංසුන් සිතින් සිය මරණයට නිර්භයව සූදානම් වෙන මිනිසෙකුගේ සිතුවිලි, ඒ ලිපියේ ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ජීවිතයේ අනියත බව, දරුවන්ගෙ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු, අසල්වාසීන් එක්ක හොඳ හිත පවත්වා නොගත් දරුවෙකු ගැන කණගාටුව, ඒ ලියුමේ කියවෙනවා. ඒ වගේම මරණයෙන් පසු සිය අවමංගල කටයුතු පවා ඔහු සැලසුම් කරනවා. ආදාහනය කල යුතු තැනත්, ඒ සඳහා කපාගතයුතු ගහත් නියම කරනවා. වියදම් සඳහා මුදලක් පවා ඉතුරුකර තබනවා. සිය බිරිඳගෙ අවසන් කාලයේ ඇයට ඇප උපස්ථාන කළ ලොකු දියණියට හා බෑනාට ඔහුගේ ආශීර්වාදය හිමි වෙනවා.
මම මේවා ලිව්වෙ ඒ චරිතවල අපේ ජීවිතවලට එකතුකර ගත හැකි බොහෝ දේ තියෙනවා කියලා හිතුනු නිසා. මදිනවත්තෙ පිස්කල් රාළහාමිගෙ ජීවිත කතාවෙ සිදුවුනු සමහර දේවල් සමාජ සම්මතයන්ට විරුද්ධ ඒවා කියලත් කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් දැනට අවුරුදු සීයකට ආසන්න කාලයකට ඉස්සර ඉතාම ග්‍රාමීය පරිසරයක සිද්දවුනු ඒවා, වර්තමානයෙදි ඔහුට හෝ මේ වෙනකොට සමාජයේ විවිධ තරාතිරම්වල රැඳිලා ඉන්න ඔහුගෙ දරුවන් හා ඊට පසු පරම්පරා දෙකක දරුවන්ට කිසිසේත්ම අගෞරවයක් නොවිය යුතුයි. ඔහුගෙ ලොකු පුතාගෙ දරුවෙක් අමරකීර්තියක්ලත්, අති විශිෂ්ඨ ලේඛකයෙක්.
මේක ලියවුනෙ සියයට සියයක් සත්‍ය කරුණු මත බව ලියලා තියන්න ඕනෑ. ඒ වගේම මේක ලියන වනජීවියා, මදිනවත්තෙ පිස්කල් රාළහාමිගෙ අවසන් ලිපියෙ සඳහන් ලොකු බෑනාට දාව ආදරවන්ත ලොකු දුවණියගෙ කුසෙන් බිහිවුනු එකෙක් බව කියන්නත් කැමතියි.