මගෙ යාලුවෝ

Tuesday, December 6, 2011

7. පවුලේ දත් බුරුසුව



අපි පුංචි කාලෙ උදේට දත් මැද්දෙ 'ගෝපාල්' දත් බෙහෙත් වලින්. ගෝපාල් දත් බෙහෙත් කුඩු පැකට් එකක් සත පහයි. එක පැකට් එකක් දරු පවුලකට සතියකට ඇති. ගෙදරකට මාසෙකටම දත් මදින්න වැය වෙන්නෙ සත විස්සයි. 'පැරකුම්බා' කියල තවත් වර්ගයක් තිබුනා මතකයි. 1980 ගණන් වෙනකොට ඒ දෙකම වෙළඳපොලෙන් අතුරුදහන් වුනා.

ගෝපාල් හෝ පැරකුම්බා නැති වෙලාවට  දත් මැදීමේ විකල්ප ක්‍රමවේද දෙකක් තිබුනා. අඟුරු කෑල්ලක් අරගෙන ළිං බැම්මේ ඌරච්චි කරලා හදා ගන්න ක්‍රීම් එක ඇඟිල්ලෙන් අරගෙන දත් ටික මැද ගන්නත් පුලුවන්. සමහර අය හදිස්සියට අඟුරු කෑල්ල කටේ දාලා බර බර ගාලා හපලා දත් ටික මැද ගන්නවා. අනිත් විකල්ප ක්‍රමය තමයි බෝඹු කෝ‍ටු කෑල්ලක් අරගෙන එක පැත්තක් සුද්ද කරලා, කොහු වෙන්න හපලා ඒකෙන් දත් මැද ගන්න එක. බේඩ්න් පවල් සාමිවරයා ගේ Scouting for Boys පොතෙත් මේ ක්‍රමය විස්තර වෙනවා. ඒ නිසා ඒක ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේදයක් බව පේනවා.

ගෝපාල් දත් බෙහෙත් ටිකක් අල්ලට දාගෙන දබර‍රැඟිල්ලෙන් ටික ටික අරගෙන අපි හැමදාම උදේට  දත් මැදගත්තා.  දැන් තියෙන මිහිරි රසයෙන් හා සුවඳින් යුතු දන්තාලේප වගේ නොවුනත් වැඩි අවුලක් තිබුනෙත් නෑ. අවුල ඇති උනේ තාත්තා එයාගෙ සුරතලීට දත් බුරුසුවක් අරගෙන දුන්නට පස්සේ. සුරතලී කිව්වෙ අපේ නංගිට. ඒකි හැමදාම උදේට අපි ඉස්සරහට ඇවිත් අපිට පේන්න බුරුසුවෙන් දත් මදින්න පටන් ගත්තා. ඒකිගෙ උජාරුව බලාගෙන ඉන්න බැරිම තැන දවසක් මම ඒකිට හොරෙන් දත් බුරුසුව අරගෙන මගෙ දත් ටික මැදගෙන ආපහු තිබ්බ විදිහටම බුරුසුව තිබ්බා. ඒකි මේ වෙනකම් ඒ ගැන හාංකවිසියක් දන්නෙ  නෑ. එදා තමයි පළමු වරට මගෙ දත් ටික බුරුසුවකින් මැදුනේ. එතකොට මට අවුරුදු දොලහක් විතර ඇති.

අදටත් මට ගෙදරදි දත් මදින්න වෙනම බුරුසුවක් නෑ. මම උදේට දත් මදින්න යනකොට අපේ එක්කෙනා 'රෝස පාට බුරුසුව මගේ ..' කියලා කෑ ගහලා මතක් කරනවා. වැරදිලාවත් මම දරුවන්ගෙ බුරුසුවකින් දත් මැද්දොත් කියලා හිතලා වෙන්න ඇති. එයාට ඕන එයාගෙ දත් බුරුසුවෙන්ම මගෙ දත් ටික මද්දව ගන්න.

25 comments:

  1. මම කැමති පැරකුම්බා වලට,, දෙළුම් ලෙලි අබරලත් ගත්ත මතකයි,,
    බුරුසුවට අගුරු දාල මදින වෙලාවලුත් තියනව...

    ReplyDelete
  2. ඇත්තමයි අමතක වෙලාම තිබුනු දෙයක් මතක්කලා
    ගෝපාල් සහ පැරකුම්බා

    ReplyDelete
  3. සමහර පුංචි පරණ දේවල් දැන් මතක් කරන එක ලොකු ආස්වාදයක්. වර්තමානයෙ කරන පුංචි දේවල්වලටත් ඒකම වෙයි නේද?

    ReplyDelete
  4. ඇයි ලුණු කුඩු....
    අයිය කියල තියෙන වර්ග වලට අමතරව අපි ඒවත් පාවිච්චි කරලා තියෙනවා....:))
    අලුත කඩපු පොල්ගෙඩි වල නැට්ට ගානට කපලා අගිස්ස හපලා ගත්තම බෝඹු කෝටුව පරාදයි

    ReplyDelete
  5. ආයෙ එනකොට මං දත් බුරුසුවක් අරගෙනම එන්නං මචං.
    henryblogwalker the Dude

    ReplyDelete
  6. ඉස්සර කාලෙ ඉතාම සරලව කරපු දේකට අපි දැං කොච්චර වියදම් කරනවද? අපි වෙලඳ ලෝකයෙ ගොදුරු බවට පත්වෙලා. ඉලෙක්ට්‍රික් දත් බුරුසුත් තියෙනවලු දැං

    ReplyDelete
  7. අපි පොඩි කාලෙ SR කියලත් ටූත්පේස්ට් ජාතියක් තිබ්බා ගාමිණීට මතකද? තව FORHANS, තව හරීතකී කියලා අරලු කුඩු වලින් හදපු ජාතියකුත් තිබ්බා.

    රූපවාහිණී වැඩසටහනකින්:

    "ඔබේ ප්‍රියතම ගීතය මොකකද කියලා කිව්වොත්..?"
    "මම වඩාත්ම ප්‍රියකරන්නෙ ටී එම් ජයරත්න මහත්මයාගෙ එස් ආර් සිනහා කියන ගීතයයි."

    ReplyDelete
  8. අපෙත් ඉන්නවා එකෙක් ඌ බීලා වැඩි උන දාට, නිදා ගන්න ගෙදර තියෙන, කාගෙ හරි බ්‍රශ් එකකින් උදේට දත් මැදගන්නවා.
    දැ හාදයා බැඳලා... යාඅලුවන්ගෙ ගෙවල් වල ලේසියෙන් නිදා ගන්නෙ නැහැ..

    කලින් දවසක ප්‍රොෆයි එක බලනකොට තිබ්බේ ඉන්ගිරිස් බොගක් විතරයි..
    අද අවේ කමන්ට් එකක් දැකලා, වන දිවියෙ අපුරු කතා ටිකක් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  9. uwiniran - බීලා කරන දේවල් ගැන මරු කතා තියෙනවා.

    අපේ ගමේ එකෙක් බීපු දාට රෑට චූ කරන්නෙ දොරකඩ ඉඳගෙනමලු. දවසක් එහෙම චූ කරනගමන් ගෑණිගෙන් ඇහැව්වලු 'අද මාසෙ පෝයද බං ..?' කියලා.

    පස්සෙන්දා උදේ බලනකොට ඌ චූ කරලා තියෙන්නෙ අල්මාරිය ඇතුලටලු.

    ReplyDelete
  10. මාත් ඔය පැරකුම්බා දත් බෙහෙත්වලින් දත් මදින්න පටන්ගත්ත ජීවියෙක්...
    ඉස්සර අපේ ගේ ගාව පහළ අම්බලමේ ළිඳ ගාවට මාසෙකට විතර සැරයක් ලාල් අයියා කියලා ගමේ හිටිය පොරක් බේකරියෙන් අහක් කරන අගුරු කොටයක් ගෙනත් දානවා..ඒ පොදු ප්‍රයෝජනය පිණීස...අපිට තියෙන්නේ ළිඳ ගාවට ගිහින් අරකෙන් අගුරක් කඩාගෙන දත් ටික මැද ගන්නයි..ඒක ඉවර උනාම ආයේ කොටයක් ගේනකල් බෝඹු කෝටු පට්ට ගහනවා...

    ඉස්සර ඉතිං නාන්න ගියාම දත් ටිකත් ඔහොම මැදගෙන ලිං මිදුලේ තියෙන වැල්ල පෑදුන තැනකට වතුර බාල්දියක් එක සීරුවට හිමීට වත් කරලා එතන මතු වෙන පිටි වැල්ල අරං නියපොතු එහෙමත් මැදගන්න එක පුරුද්දට ගිහිං තිබුන වැඩක්...

    ReplyDelete
  11. අපි දෙන්නාටත් බ්‍රෂ් දෙකක් තියෙනවා....... හැබැයි කෝක කාගෙද කියලා නං දන්නේ නැහැ......... :D

    ReplyDelete
  12. අපිත් ඉස්සර දත් මැද්දෙ ගෝපාල්, පැරකුම්බ වලින් තමයි. ගෝපාල් නං දැනට කාලයකට කලිං අතුරුදන් උනත් පැරකුම්බා තාමත් තියෙනවා. රු. 7/- පැකට් එකක්.

    ReplyDelete
  13. දත් බෙහෙත්වල තියෙන පැනිරසට මන් කැමතියි ටූත් පේස්ට් වලට වඩා
    මන් හිතන්නේ පැරකුම්බා තාම තියෙනවා
    සමහර පැතිවල මිනිස්සු ගඟේ නාන්න ගියාම ගල් දෙකක් එකට අතුල්ලා එන කුඩු වලිනුත් දත් මදිනවා මන් දැකලා තියෙනවා

    ReplyDelete
  14. මාරයා, රන්දිල්, ප්‍රසන්න, ම - කොමෙන්ට් වලට ස්තුතියි ..! ඉස්සර අපි දත් මැද්දේ ඉතාම සරල විදිහට .. ඒත් වෙළඳ දැන්වීම් දැකලා බය වෙලා අපි දැං සෑහෙන වියදමක් දරනවා ඒ කාරණයටම.

    ReplyDelete
  15. පැරකුමා දත් බෙහෙත් කුඩු මං පොඩි කාලෙත් තිබුණා වගේ මතකයි. ඒ කියන්නේ 90 දශකයේ මුල භාගයෙත්

    ReplyDelete
  16. ඔව් අනූව දශකයේ මැද භාගයක් වන තුරුමත් ගෝපාල් හා පැරකුම්බා දත් බෙහෙත් තිබූ බව මටත් මතකයි. මම කුඩා කාලේ දත් මදින්න පටන් ගත්තෙ වෙදමහත්තයෙක් වුණ අපේ ආතා හදලා තිබුණු ඖෂධීය දන්තාලේපයකින්. අදටත් ඔය දන්තාලේප වලට වඩා දත් බෙහෙත් වලටයි මාත් මනාප.
    අදටත් කාලයකට සැරයක් අඟුරු කෑල්ලකින් දත් මදින්නත් මම හරිම කැමතියි.
    හැබැයි මගේ දත් බුරුසුව නම් වෙන කාටවත් දෙන්නෙත් නෑ. වෙන කාගෙවත් දත් බුරුසුවකින් මට දත් මදින්නත් බෑ. :)

    ReplyDelete
    Replies
    1. හසිත, ලකී .. කොමෙන්ට් වලට ස්තුතියි.. දැනටත් ඉඳලා හිටලා බස් වලට දත් බෙහෙත් පැකට් අරගෙන නැගලා විකුණන වෙළෙන්දො ඉන්නවා. ඒත් වැඩි විශ්වාසයක් තියන්න නම් බෑ.

      Delete
  17. අපිත් පොඩි කාලෙ පැරකුම්බා වලින් දත් මැද්දා. එහෙම නැති දවසට අඟුරුවලින් නැත්නම් ලුණුවලින් මැද්ද දවසුත් තිබුණා.

    "රෝස පාට බුරුසුව" ආදරයෙ හා සැළකිල්ලෙ සංකේතයක් වගෙයි. මාරු කරගන්නවට අකමැති ඒකනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක ආදර සංකේතයක්.

      අපේ තාත්තා පුරුදුවෙලා හිටියේ මට කියලා කොණ්ඩෙ කප්පව ගන්න. කොච්චර කාල වෙලාව තිබුනත් තාත්තා බාබර් සාප්පුවකට ගියේ නෑ. තාත්තට ළං වෙලා කොණ්ඩෙ කපන විනාඩි කීපය මටත් ලොකු ආස්වාදයක් උනා. කොන්ඩෙ කපනවට වඩා ආදර ගනුදෙනුවක් අපි දෙන්නා අතර සිද්ද උනා කියලා මට හිතෙනවා.

      Delete
  18. අපි ඒ දවස් වල කිව්වෙ දත් කුඩු කියලා ඕවට. මට මතකයි මං කඩෙන් ඕවා ගෙනාවෙ 1.50ට (පොඩි කාලෙම කඩේ යන්න පුරුදු උනා) හික් හික්

    ReplyDelete
    Replies
    1. පොඩිකාලෙ කරන්නම වෙන වැඩක් තමයි එක එකාට කඩේ යන එක.

      Delete
  19. අප්පච්චියේ මාර අදරයක් නොවැ . .

    ReplyDelete
    Replies
    1. ආදරේ නොකර කොහොමද මලේ .. මම කැලේට කොලේට වෙලා ඉන්දෙද්දි උන්දෑ ළමයි දෙන්නා උස් මහත් කරලා, උගන්නලා සේරම යුතුකම් කළා නෙව ...

      Delete
    2. හෙ හෙ හේ . . අපූරුයි අපූරුයි . . . නියම ආදරයක් දැක්කාම හිතට තන්තෝසයි අප්පේ . . සිරාවටම . .

      Delete
  20. කැම්පස් එකේ බැච් ට්‍රිප් එකක් ගිහින් එකම බුරුසුවෙන් කට්ටියක්ම මැද්ද හැටි මතක් උනා...

    ReplyDelete