මගෙ යාලුවෝ

Monday, November 14, 2011

5. වෘත්තීයමය වාං මාලාව



'වෘත්තීයමය වාං මාලාව' කියන අපබ්‍රංශෙන් මම අදහස් කළේ එක එකා තමතමන් කරන රස්සාවෙ හැටියට පාවිච්චි කරන වචන සෙට් එක. අපි සමහරු දන්නෙම නැතුව සමාන්‍ය ජීවිතේ දේවල්වලටත් ඒ වචන දාන වෙලාවල් තියෙනවා. සැලකිල්ලෙන් අහගෙන හිටියොත් කෙනෙක් කතාවෙදි පාවිච්චි කරන වචනවලින් එයාගෙ වෘත්තිය මොකද්ද කියලා හිතා ගන්න පුලුවන්.

අපේ ගමේ පියසේන මාමා පැන්ෂන් ගිය පරණ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක්. ඉඳලා හිටලා කන්දෙක කඩා වැටෙන ගානට ගහලා පාරෙ යනවා හම්බ වෙනවා. දවසක් පියසේන මාමා බඩු දාලා බඹරා වගෙ කැරකි කැරකි එනකොට මට පාරෙදි හම්බ උනා. මාමා ටිකක් දුකෙන් වගේ හිටියේ.

'බලාපං පුතේ අපේ කොල්ලා සිගරට් බොන්න පුරුදු වෙලා .. ඌ අද පාරෙ සිගරට් එකක්  බිබී ඇවිත් මාව දැකලා ඒක විසි කරලා මට සයිඩ් එක දීලා ගියා'

'ඕවට ගහලා බැනලා වැඩක් නෑ මාමේ .. දැන් හැදෙන කොල්ලො ඔහොම තමයි' මමත් තෙල් පොඩ්ඩක් ගෑවා.

'මම මොකවත් කියන්න ගියෙ නෑ පුතේ .. එච්චර සයිඩ් එකක් දීපු එකේ ඇඟට කපන්නෙ මොකටද කියලා ඇදලා ආවා' පියසේන මාමා බොහොම හිතේ අමාරුවෙන් කියාගෙන ගියා.

අපේ ගේ හදාපු බාස් මල්ලිත් උපං ගෙයි බාස් කෙනෙක්. වැඩක් දුන්නහම පැනලා බාර ගන්නවා. වැඩේ බාගෙට කරලා වෙන වැඩවලට යනවා. මම ඌට වැඳ වැඳ පස්සෙන් යන්න ඕනෑ ආයෙත් ගෙන්න ගන්න.

එනවමයි කියලා කියාපු එක දවසක මූ ආවෙ නෑ. වැඩේ නිසාම නිවාඩුත් දාගෙන හිටපු මම එදා නම් මල පැනලා ඌව හොයාගෙන ගියේ හොම්බට දෙකක් අනිනවමයි කියලා හිතාගෙන. ඒත් ගෙදරට යනකොට කකුලෙ අලි බැන්ඩේජ් එකකුත් එක්ක බාස් මල්ලියා ඇඳක බෑවිලා ඉන්නවා.

'ග්‍රයින්ඩරේට කකුල කැපුනා මහත්තයා.. සුමනෙකට නැගිටින්න හම්බ වෙන්නෙ නෑ ..' බාසා බොහොම දුකෙන් කිව්වා.

මටත් ඇත්තටම දුක හිතිලා 'හුඟක් කැපුනද මල්ලී.. ? ' කියලා ඇහුවා.

'හුඟක් කැපුනදත් අහනවා මහත්තයා. කැපුමෙ වාසිය නූල් තුනකටත් වැඩියි.. ' බාසා උගෙම බාසාවෙන් උත්තර දුන්නා.

11 comments:

  1. විජිතය බලන්න අද තමයි ඕං හා හාපුරා කියලා ආවේ. එහෙනම් දිගටම වෙන්නම් මාමේ! ජය!

    ReplyDelete
  2. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන්නෙ ඕක තමයි. අනිවා මේකට එකතු කරන්න තව කතා උඹැහෙ ගාමිණි උඹැහෙ ගාව. ඒක නෙවෙයි මට අර බාස් මල්ලිව සෙට් කරලා දෙන්න බැරි වෙයිද?. පස්සෙන් යන්න ඕනෙ නැති බාස් කෙනෙක් කිව්ව්ම විශේෂ දෙයක්නෙ.

    ආ මේ හදලා තියෙන්නෙ කොමෙන්ට් බොක්ස් එක එලකිරි වගෙ. කලින් එකට මොකද දන්නෙ නෑ උනේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  3. අපිත් නොදැන ඔය වගේ වචන කීයක්‌ කියනවද දන්නේ නැහැ

    මමත් මීට කලින් දවසක ඇවිත් කමෙන්ට් දාන්න තැනක හොයා ගන්න බැරුව ආපහු ගියා.

    ReplyDelete
  4. ගාමිණී විජිත්November 15, 2011 at 11:25 PM

    තටමලා තටමලා බොහොම අමාරුවෙන් කොමෙන්ට් පෙට්ටිය හදා ගත්තා. එක පාරටම අමාරුයි. කොස්සෙන් අනින ටියුබ් ලයිට් නේ දැං.

    කොමෙන්ට්වලට ස්තුතියි. පරණ කතන්දර මතක් වෙනකොට ලියමු.

    ReplyDelete
  5. කැම්පස්, ඉස්කෝල, ඔෆිස් ආදී ඔය හැමතැනම වගේම තමන්ගේ වුණු පාරිභාෂික වචන සෙට් එකක් තියෙනවා නොවැ

    ReplyDelete
  6. හිහ් හිහ්....... සම්පූර්ණ ඇත්ත.......

    ReplyDelete
  7. ඇත්ත ඇත්ත අපිටත් අපේ රැකියාවට අදාල වචන සෙට් එකක් තියේ

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි මට වාහන බ්‍රෝකර් කෙනෙක් හම්බ උනා මලේ. හැම වාහනේකටම ඌ දාගත්තු නමක් තියෙනවා.

      Delete
  8. අපේ සයිට් එකේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව, පොර කතා කරන ගමනුත් ස්ටීරින් වීල් එක කරකවනවා වගේ අත පද්ද පද්ද තමා ඉන්නෙ.... :D

    ReplyDelete
    Replies
    1. අපේ දෙපාර්තමේන්තුවේ හිටියා මලේ 'ගඩොලා' කියලා එකෙක්. ඌ කතා කරන ගමන් ගඩොල් කප කප පැත්තකින් තියනවා.

      Delete
  9. මේ බ්ලොග් එක දැන් ඇක්ටිව් නැද්ද?

    ReplyDelete