
අද මම හිතුවෙ වෙනත් රටක සෆාරි පාර්ක් එකකදි දැකපු විදෙස් වන සතුන් කීප දෙනෙක් ගැන ලියන්න.
ලෝකෙ වනසතුන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තු සතුන් අතරින් එකෙක් 'යෝධ පැන්ඩා' (Giant Panda). අපූරු වර්ණ රටාව හා සුරතල් පෙනුම, අතිශය සිත්ගන්න සුළු හැසිරීම් රටාව, අතිශයින් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටීම වැනි හේතූන් නිසා ඌ බොහෝ විට අවධානයට ලක් වෙනවා. 'ලෝක වනසත්ව අරමුදලේ' (WWF) ලාන්ඡනයටත් යොදාගෙන තියෙන්නෙ පැන්ඩාවෙකුගෙ රූපයක් නිසා ඌට අමතර අවධානයක් හිමි වෙලා තියෙනවා.
මධ්‍යම චීනයෙ කඳුකර පලාත්වලට සීමා වෙලා ඉන්න පැන්ඩා, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මේ වෙනකොට වනාන්තරවල ඉතුරු වෙලා ඉන්නෙ 2000 - 3000 ක විතර කුඩා ගහනයක් කියලයි විශ්වාස කරන්නෙ.
වලස් පවුලට අයත් උනත් උගේ ආහාරයෙන් 99% ක්ම සමන්විත වෙන්නෙ උණ ශාක පත්‍රවලින්. කුඩා කෘන්තක සතුන් හා සත්ව මලකුණු මත යැපීමේ පුරුද්දකුත් තියෙනවා. මේ සුවිශේෂී පරිසර අවශ්‍යතාවයන් සහ ඉතා අඩු ප්‍රජනන වේගය නිසා යෝධ පැන්ඩාවන් සංරක්ෂනය කර ගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා.
මේ වගේ අතිශය වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් සංරක්ෂණයෙදි යොදා ගන්න එක ක්‍රමවේදයක් තමයි 'පරිබාහිර සංරක්ෂණය' (Ex-situ Conservation). ඒකෙන් අදහස් කරන්නෙ ස්වාභාවික පරිසරයෙන් ඉවතට ගෙනැල්ලා සතුන් බෝ කරලා නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීම. නමුත් සත්වොද්‍යානවලට ගෙන එන පිරිමි පැන්ඩාවන් සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ. සමහර පර්යේෂකයො උන්ට 'ව්යාඝ්රා' පෙති දීලා, පැන්ඩාවො සංසර්ගයෙ යෙදෙන 'බ්ලූ' ෆිල්ම් පෙන්නලාත් උත්සාහ කළාලු ලිංගික ක්‍රියාවලට පොළඹව ගන්න. මෑතකදි කෘත්‍රිම සිංචනය කරලා පැටවුන් හදාගත්තු අවස්ථා කීපයක් වාර්තා වෙලා තියෙනවා.

මේ තමයි රුසියාවේ සිට උතුරු ඇමෙරිකාව හා කැනඩාව දක්වා ව්‍යාප්ත වෙලා ඉන්න දුඹුරු වලසා (Brown Bear). ඌ ලෝකෙ වැඩිම ප්‍රදේශයක ව්‍යාප්තියක් ඇති වලස් පවුලෙ සාමාජිකයා හැටියට සැලකෙනවා. ඒ වපසරිය තුල දුඹුරු වලසාගෙ උප විශේෂ 16 ක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් උප විශේෂවලට අයත් දුඹුරු වලසුන් ගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 780 ක් (රාත්තල් 1700) පමණ වෙනවා.
දුඹුරු වලසුන් විශාල සංඛ්‍යාවක් තවමත් දකින්නට ලැබුනත් උන් ඉතා විශාල ප්‍රදේශයක, එකිනෙකින් වෙන් වූ කුඩා ගහනයන් හැටියටයි ජීවත් වෙන්නෙ. ඔවුන් අතර ප්රවේණි ලක්ෂණ හුවමාරුවකට ඉඩක් නෑ. ඒ වගේ 'තනිව' සිටීම සත්ව විශෙෂයක දිගු කාලීන පැවැත්මට ලොකු තර්ජනයක්.
දුඹුරු වලසා විශාල නිවාස පරාසයක (Home Range) ජීවත් වෙන සතෙක්. ඌ ඒ ප්‍රදේශයේ තමන්ගෙ වර්ගයට අයත් අනෙක් සතුන් එක්ක එකට ජීවත් වෙනවා. කොටින් (Leopard) වගේ තමන්ටම අයත් වසමක් (Territory) වෙන් කර ගන්නෙ නෑ. හිම වැටෙන ප්‍රදේශවල ඉන්න වලස්සු වසන්ත කාලයෙදි හොඳට කාලා ඇඟේ මේද සංචිතයක් හදා ගන්නවා. ගුහාවකට රිංගලා මාස කීපයක් එක දිගට නිදා ගන්න හිම වැටෙන ශිශිර කාලයෙදි අවශ්‍ය ශක්තිය ඌට සැපයෙන්නෙ ඒ මේද සංචිතයෙන්. (ශිශිර තරණය - Hibernation)
පැටවුන් මරාගෙන කෑමේ නරක පුරුද්ද (Infanticide) දුඹුරු වලසුන්ටත් තියෙනවා. ගැහැණු සතුන් ලිංගික ක්‍රියාවලියට පොලඹව ගන්න තමයි පිරිමි සත්තු එහෙම කරන්නේ.

නිදිමත වැක්කෙරෙන මූණක් තියෙන මෙයා 'කො ආලා' වලසා (Koala Bear ). වලහෙක් කිව්වට මෙයා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශවලට සීමාවුනු, 'මාර්සුපියල්' (Marsupial - සේපාටිකයන්, පැසිපොව්වන්) වර්ගයට අයත් කෙනෙක්. ඉතා කුඩා පැටවුන් බිහි කරන මාර්සුපියල් සතුන් උදරීය 'පැසක' දාගෙන තමයි පැටව් ආරක්ෂා කර ගන්නෙ. අපි දන්න අනිත් මාසුපියලා තමයි කැන්ගරුවා. තවත් කීපදෙනෙක් ඉන්නවා.
රුක්වාසී (Arboreal) කො ආලා වලසුන් ජීවත් වෙන්නෙ යූකැලිප්ටස් වනාන්තරවල නිසා, උගේ ආහාරය මුලුමනින්ම වගේ සමන්විත වෙන්නෙ යූකැලිප්ටස් කොලවලින්. ඒවා පෝෂණයෙන් ඉතාම අඩු නිසා කො ආලාවන් දවසේ පැය 20 ක්ම ගත කරන්නෙ නිදා ගන්න.
කො ආලා පැටියෙක් බිහි වෙන්නෙ කළල අවස්ථාවෙදිමයි. නමුත් ඒ වෙනකොට ස්වසන, ආහාර ජීර්ණක, බහිශ්රාවීය පද්ධති හොඳින් වර්ධනය වෙලා. කිරි උරා බීමට තොල් සහ එල්ලී සිටීමට නිය ආදියත් ඒ වෙනකොට වැඩෙනවා. බිහිවෙන පැටියා අම්මගෙ උදරීය පැස තුලට වැදිලා ඉතිරි ළමා කාලය ගත කරනවා.
කො ආලාවන් දේශගුණික විපර්යාසයන්ට ඉතාම සංවේදීයි. 1980 දරුණු නියඟයකින්, ක්වීන්ස්ලන්තෙ කො ආලා ගහනයෙන් 63% ක් මියගිය බවත්, ඉන් පසු ගහන වර්ධනය ඉතා සෙමින් සිදුවූ බවත් කියවෙනවා.
ආදරේ හිතෙන, අහිංසක සතෙක් උනත් කො ආලා අතීතයෙ දි සම් සඳහා ලක්ෂ ගණනින් දඩයම් කෙරුනා. වර්තමානයෙදි ඔවුන්ට තියෙන දරුණුම තර්ජනය තමයි සංවර්ධනය හේතුවෙන් ස්වාභාවික වාසස්ථාන අහිමි වීම.

මේ ඉන්නෙ 'ජෙම්ස්බොක්' (Gemsbok) නමින් හැඳින්වෙන දකුණු අප්‍රිකානු ඇන්ටිලෝපයා. කලහාරී කාන්තාරයෙ ශුෂ්ක පාරිසරික තත්වයන් යටතේ ජීවත්වෙන මේකගෙ අලංකාර අං යුවල නිසාම දඩයමට ලක් වෙනවා. ගැහැණු සතුන්ට තමන්ගෙ පැටව් විලෝපී සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නත්, පිරිමි සතුන්ට තමන්ගෙ වසම (Territory) අනෙක් පිරිමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්නත් ඒ අං යුවල ප්‍රයෝජනවත් වෙනවා.

පැන්ඩා මූණක් තියෙන නිසා මේකට 'රතු පැන්ඩා' (Red Panda) කිව්වට යෝධ පැන්ඩට සමීප ඥාති කමක් නෑ. චීනයෙ හා ඉන්දියාවෙ හිමාලය ආශ්රිත ප්‍රදේශවල ඉන්න රතු පැන්ඩා රුක් වාසී, උණ ශාකය මත යැපෙන සතෙක්. අනිත් සත්තු වගේම ස්වාභාවික වාසස්ථාන අහිමි වීම හා කුඩා ගහනයන්ට සීමා වීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්නවා.