මගෙ යාලුවෝ

Friday, January 20, 2012

12. ටොයි අවවාද හා රුවන් වැකි



අපේ කොල්ලයි කෙල්ලයි ටොයි කියන්නෙ ටොයිලට් එකට. 'ටොයි යනවා, එයා ටොයි එකේ' ආදී වශයෙන්. ඊයෙ පෙරේදා HENRYBLOGWALKER මචං ගෙ 'HeyDude' බ්ලොග් එකේ ලංකාවෙ ටොයිලට්වල තියෙන වැකි කීපයක් ගැන මරු කතා ටිකක් කියලා තිබුනා. ඇත්තටම ශ්‍රී ලංකාවෙ මහජන වැසිකිලි කියන්නෙ ඉතාම නිර්මාණශීලී බිතු සිතුවම් හා වෙනත් කෘතීන් දකින්න ලැබෙන තැනක්. අද මම හිතුවෙ, හුදී ජන පහන් සන්වේගය උදෙසා, සිතුවම් කෙසේ වෙතත් වැසිකිලිවල මමත් දැක්ක මතක හිටින වැකි කිහිපයක් හා ඒවා දැකලා මට හිතුනු දේවල් ගැන ලියන්න. මෙන්න මේ වගේ,

    'ආයුබෝවන් වාඩි වෙන්න' (නැතුව ඉතින් හිටගෙන කක්ක කරන්නයැ)

    'මුත්‍රා සමග බුලත් කෙල හා සිගරට් කොට පිට වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න' (චූ පෝච්චියට  බුලත් කෙල, සිගරට් කොට වැටිලා ඒක අවහිර වෙන නිසා)

    'ආපසු දමා ගැනීමට පෙර දෙවරක් සොලවන්න' (මේ අවවාදය ෂුවර් එකටම පිරිමින්ට පමණයි)
   
    'චූ කිරීමෙන් සැනසීම ලැබේ' (මේක නම් ගෑණුන්ටත් අදාල බව වැසිකිලියට ගිහිල්ල එන ගෑණුන්ගෙ මූණ බැලුවහම පේනවා. යනකොට මූණ ඇඹරිලා තිබුනු කට්ටිය ආපහු එනකොට මහත් සැනසීමෙන් හිනාවෙවී එන්නේ)

තවත් රුවන් වැකි බොහෝ ගණනක් මතකයට ආවත් මේ වගෙ තැනක ලියන්න බෑ.

කොමෙන්ට් දාන මචංලා පව්ලේ සැමට කියවිය හැකි වෙනත් ටොයි අවවාද සහ රුවන් වැකි මතකයේ ඇත්නම් ඒවත් එක්කම ලියන්න.

Saturday, January 7, 2012

11. අපේ ගුරුවරු


මේ ලඟදි ටීවී නිව්ස් බලද්දි එකපාරටම කිව්වා අපේ ඉස්කෝලෙ හිටපු ගුරුතුමියක් ගෙවල් නැති ගුරුවරුන්ට ගෙවල් හදා ගන්න ඉඩමක් දීලා, ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය බෞද්ධ සංගමයෙන් ගෙවල් හදලා දෙනවා කියලා. ඉඩම දීපු ටීචර් කව්ද කියලා මාත් පැනලා බලනකොට අපේ රොද්‍රිගු ටීචර්. එතුමිය බැසිල් ඇමතිතුමාත් එක්ක තමන් පරිත්‍යාග කරපු ඉඩමෙ ගෙයක් හදන්න මුල්ගලක් තියනවාත් පෙන්නුවා. රොද්‍රිගු ටීචර්ගෙ පින්තූරයක්වත් දැක්කෙ අවුරුදු තිස් ගනණකට පස්සෙ.

රොද්‍රිගු ටීචර් කියන්නෙ අපි ඉස්කෝලෙදි නපුරුම ටීචර් හැටියට දැකපු ගුරුතුමිය. අපිට එහෙම හිතුනට ඒ ටීචර්ට මොනතරම් දයාබර හදවතක් තිබිලා තියෙනවද කියලා මට හිතුනා. අපට නපුරු විදිහට පෙනුනු හුඟක් ටීචර්ලා ගාව අපට නොපෙනුනු කරුණාබර හදවතක් තිබුනු බව දැන් හිතෙනවා. අද ලියන්න හිතුවේ ටීචර්ලා ගැන.

අපි ඉස්සෙල්ලාම හිටියෙ හෝඩියෙ. ඒ වචනෙ දැන් පාවිච්චි වෙන්නෙ නෑ. ඒකට 'පහල බාලාංශය' කියලාත් කියනවා මතකයි. පන්තිවලට 'ශ්‍රේණිය' කියන්න පටන් ගත්තෙ පස්සෙ කාලෙකදි. 'සාමයි, අමරයි' හිටියෙත් නෑ ඒ දවස්වල. අපේ හෝඩි පොතේ තිබුනේ 'මාලතී එන්න මල් පිපීදැයි බලන්න' කියලා. පස්සෙ කාලෙකදි මම වැඩ කරපු තැනක මාලතී කියලා ගෑණු ලමයෙකුත් වැඩකලා. ඒකි දැක්කහම කොල්ලො කෑගහනවා 'මාලතී එන්න මල පිපීදැයි බලන්න' කියලා. ටීචර්ලා ගැන ලියන්න ගිහිල්ලා වෙනිං කතන්දරත් මතක් වෙනවා.

උඩුපිල ඉස්කෝලෙ  හෝඩියෙ පන්තියෙදි මට ඉගැන්නුවෙ කෝරාල ටීචර්. (ඒ ඉස්කෝලෙදි අපි ටීචර්ලාට කතා කලේ 'නෝන මහත්තයා' කියලා). එයාත් මට පෙනුනෙ ටිකක් සැර ටීචර් කෙනෙක් හැටියට.  මම දවසක් අඬාගෙන ඇවිත් ටීචර්ට කිව්වලු පන්තියෙ කොල්ලෙක් බැන්නා කියලා.  'මොකක් කියලද බැන්නේ ..? කියලා ඇහුවහම කිව්වලු 'එයා මට උඹ කිව්වා ..' කියලා.  කෝරාල ටීචර් අපේ අම්මා එක්ක කතාව කියලා හොඳටම හිනා වෙලා තිබුනා. කොරාල ටීචර්ගේ මහත්තයා ඉගැන්නුවෙ අල්ලපු පන්තියෙ. දවසක් මොකක් හරි වරදකට අත දිගෑරල කොල්ලෙක්ගෙ කණට ගැහුවා. ඌ කලන්තෙ දාලා එතනම කැරකිලා වැ‍ටුනා. දැං කාලෙ කොල්ලෙකුට එහෙම ගැහුවා නං උන්දෑ හය මාසයක් හිරේ.

දෙකේ පන්තියෙදි මම ගල්කිස්සෙ හේනපාර කණිෂ්ටෙට ආවා. එහේදි තමයි මම ටීචර්ලාට 'ටීචර්' කියන්න පුරුදු උනේ. එහේදි ඉස්සෙල්ලාම උගන්නපු රත්නසිරි ටීචර් හරි අහිංසකයි. තුනේ පන්තියෙදි උගන්නපු විජේවික්‍රම ටීචර් නම් සැරයි. දවසක් හතරවරක් චක්කරේ පාඩම් දෙන්න බැරිවෙලා මාව පන්තියෙ ඉස්සරහ හිටවලා තිබ්බා. මගෙ කරුමෙට ඒ අපේ එම්. විජේපාල ප්‍රින්සිපල්තුමානෝ වේවැලේ ඇද අරින වෙලාව. තඩි බාන්න කොල්ලෙක් හොය හොයා ඉස්කෝලෙ වටේ යන ගමන් එතනට කඩාගෙන වැ‍ටුනා. 'මොකද මෙයා මෙතන ..? කන්ණාඩිය උඩින් මගෙ දිහා බලලා උන්වහන්සේ අහපි. 'චක්කරේ අමතක වෙලා ..' වෙන්න යන දේ තේරිලා විජේවික්‍රම ටීචර් අප්සෙට් එකේම කිව්වා.  'අල්ලනවා අත ..' කියලා චටපටාස් ගාලා දෙකක් දීලා එතුමා ගියා. අපේ අම්මා ඉගැන්නුවෙත් එතකොට ඒ ඉස්කෝලෙමයි. විජේවික්‍රම ටීචර් අම්මට කතාව කියලා තියෙන්නෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන.

හතරෙ පන්තියට එනකොට මට හරි ආසාවක් තිබුනා සර් කෙනෙක්ගෙ පන්තියක ඉගෙන ගන්න. ඉස්කෝලෙ පටන් ගන්න පළවෙනිම දවසෙ මම ගිහිල්ලා සිරිල් සර්ගෙ පන්තියෙ වාඩි වෙලා හිටියා. ඒත් නම් ලකුණු කරන වෙලාවෙ වැඩේ මාට්‍ටු උනා. චෙක් කරලා බලද්දි අල්ලපු පන්තියෙ ජොස්ලින් ටීචර්ගෙ ලයිස්තුවෙ මගෙ නම තිබුනා. 'මෙයා මගෙ එක්කෙනෙක්නෙ ..' කියලා ජොස්ලින් ටීචර් මාව ඇදගෙන ගිහිල්ල එයාගෙ පන්තියෙන් වාඩිකර ගත්තා. ඒ දවස්වල අපේ අම්මගෙ හොඳම යාලුවා ජොස්ලින් ටීචර්.

පහේ පන්තිය පහුවෙලා හයේ පන්තියට ආවා. ඒක නම් මට ජීවිතේට අමතක නොවෙන අවුරුද්දක්. පන්ති භාර ටීචර් අපෙ අම්මා. වැඩියන්ම ගුටි කාපු අවුරුද්ද තමයි ඒ. කොල්ලන්ගෙන් ගුටිකාලා මදි හරිය අම්මගෙනුත් කෑවා. අම්මා මට පන්තියෙදි කවදාවත් පුතේ කියලා කතා කලේ නෑ. වාසගම කියලා තමයි කතා කළේ.

හතේ පන්තියෙදි ශිෂ්‍යත්ව විභාගෙන් පාස් උන බව දැනගත්තු ගමන් අම්මා කිව්වෙ හයේදි එයා උගන්නපු නිසා තමයි මම විභාගෙ පාස් උනේ කියලා. කාපු ගුටි කන්දරාවට වටිනාකමක් ලැබෙන්න ඕන නිසා මමත් සද්ද නැතුව හිටියා.

අටේ පන්තියෙදි නාලන්දාවට ආවට පස්සෙ රොද්‍රිගු ටීචර් (ගණිතය), වීරසිංහ ටීචර් (ඉංග්‍රීසි), නෙල්සන් මෙන්ඩිස් සර් (සාමාන්‍ය විද්‍යාව) ජයසුරිය සර් (භෞතික විද්‍යාව), ලොරන්ස් සර් (රසායන විද්‍යාව), ජයවර්ධන සර් (ජීව විද්‍යාව), කුලවංශ සර් (සත්ත්වවිද්‍යාව) වගෙ ගුරුදෙවිවරුන්ගෙන් ඉගෙනගන්න ලැබුනා. අටේ පන්තිය භාරව හිටියෙ ලොකු බඩක් තියෙන එච්. ජී. පෙරේරා සර්. පන්තියෙ විවාද කණ්ඩායම දවසක් විවාදෙකින් පැරදුනහම සර්ට ඇඬුනා. තව ගුරුවරු හුඟක් හිටියා දැන් මතක ඒ අයගෙ පටබැඳි නම් ටික විතරයි. ඒවා ලියන්න හිතෙන්නෙ නෑ.

 නපුරු වගෙ පෙනුනු ගුරුවරුන්ගෙත් හොඳ හදවතක් තියෙන්න ඇති කියලා දැන් තමයි තේරෙන්නේ.