මගෙ යාලුවෝ

Saturday, December 24, 2011

10. ආරි අය්යගෙ නංචාකුව



දුක හිතෙන ආරංචියක් දැනගන්න ලැබුනා මේ ලඟදි. මම දෙපාර්තමේන්තුවට ආපු මුල් දවස්වල මට ඉතාම සහෝදරත්වයෙන් ගුරුහරුකම් දීපු ආරි අය්යා අසනීපයෙන් රෝද පු‍ටුවකට සීමා වෙලා ඉන්නවලු.
 
ආරි අය්යා එතකොට දෙපාර්තමේන්තුවෙ සීනියර් රේන්ජර් කෙනෙක්. හම්බන්තොට ඉපදුනු නිසා මැලේ භාෂාවත්, උඩරට පැත්තෙ පදිංචිවෙලා හිටිය නිසා දෙමල භාෂාවත්, සිංහලට අමතරව වතුර වගේ දැනගෙන හිටියා. එයාගෙ ඉංග්‍රීසි දැනුම ගැන නම් එයාම විස්තර කරන්නෙ 'මල්ලි සුද්දෙක් එක්ක කතාකරනකොට විනාඩි පහකින් දන්න ඉංග්‍රීසි ටික ඉවර වෙනවා. ඊට පස්සෙ අතින් පයින් තමයි ගේම දෙන්නෙ' කියලා.

කලුපාට, හැඩිදැඩි පෙනුමක් තිබුනු ආරි අය්යා දැක්ක ගමන් හිතෙන්නෙ ත්‍රාඩ පොරක් කියලා. ඒ උනාට අපිට බොහොම ලෙන්ගතුව සැලකුවා. නිතර ඇඟට හිරවෙච්ච ඩෙනිමක් ඇඳලා ඉන්න ආරි අය්යා හොඳ හැන්ඩියා. කාන්තාවො ගැනත් ලොකු උනන්දුවක් තිබුනා.  'ධීවර ලඳ', 'මැටි පොලව' වගෙ තවත් කතා කීපයක් ආරි අය්ය ගැන ලියන්න පුලුවන් උනත් හදිසියෙවත් පොඩි එකෙකුගෙ ඇහැ ගැහුනොත් හොඳ නැති නිසා ලියන්නෙ නෑ. ආරි අය්යගෙ පපුවෙ 'SUMI' කියලා සුමිත්‍රා අක්කගෙ (එයාගෙ වයිෆ්) නමේ කොටසක් පච්ච කොටලා තිබුනා. ආශ්‍රය කරපු සේරම ගෑණුංගෙ නම් පච්ච කොටන්න ගියොත් ඇඟ ඉඩ මදි නිසා කසාද ගෑනිගෙ නම විතරක් කොටා ගත්තා කියලා තමයි ආරි අය්ය කියන්නෙ.

ඉතිං අපි තාම අද පෝස්ට් එකේ මාතෘකාවට ආවෙ නෑනෙ. මේකයි කතාව.

දවසක් අපි අපේ බොසා, චන්ද්‍රා  ජයවර්ධන මහත්තයාත් එක්ක රාජකාරි උවමනාවකට ආරි අය්යගෙ නිලනිවාසයට ගියා. රාජකාරිය අවසන් වෙලා ආපහු එන්න හදනකොට තමයි බොසා බිත්තියෙ එල්ලලා තිබුනු, මලකඩ කාපු දම්වැලක දෙපැත්තෙ ලී කෑලි දෙකක් එල්ලලා හදාපු මොකද්ද එකක් දැක්කෙ. දැකපු ගමං බොසා නැවතිලා 'මොකද්ද ඕයි මේ ...!' කියලා ඇහුවා.

ආරි අය්යා බිත්තියෙ එල්ලලා තිබුනු ගැජට් එක බොහොම ගෞරවයෙන් අතට අරගෙන බොසාට නංචාකුවක් කියන්නෙ මොකද්ද කියලා සම්පූර්ණ ඉතිහාසෙත් එක්කම කියලා දුන්නා. විස්තරේ අහගෙන හිටපු ලොක්කට වැඩේ අල්ලලා ගියා. 'ඉතිං ඕයි ඕකෙං සෙල්ලමක් දාල පෙන්නනවකො ..' බොසාත් කිව්වා.

'එන්නකො සර් එලියට ..' කියල ආරි අය්යත් අපි කට්ටියම නිල නිවාසෙ මිදුලෙ මයිල ගහ යටට  එක්ක ගියා. අපි දැං සේරම වටවෙලා බලාගෙන ඉන්නවා පොර මොකද්ද කරන්න යන්නෙ කියලා. ඉස්සෙල්ලාම අරි අය්ය නංචාකුවෙ ලී කෑලි දෙක අත් දෙකෙන්  අල්ලගෙන, දණහිසක් නවලා කකුලක් ඉස්සරහට තියලා, තත්පර කීපයක් ඇස් දෙක අඩවන් කරලා ඒක දිහා බලාගෙන හිටියා. හරියට බෲස් ලී ගේමක් දෙන්න සෙට් වෙනවා වගේ. ඊට පස්සෙ එක පාරටම නන්චාකුවෙ ලී කෑලි දෙක අතින් අතට මාරු කරන ගමන්, එහාට මෙහාට හැරි හැරි, හතර වටේට කරකවන්න පටන් ගත්තා. හරියට පෙරහැරවල්වල ගිනිබෝල කරකවනවා වගේ.

ලොක්කත් එක්ක අපි දැන් ඇස් දෙක උඩතියාගෙන බලාගෙන ඉන්නවා ආරි අය්යගෙ කුංෆු සංදර්ශණය දිහා. නන්චාකුවෙ කරකැවිල්ලෙ වේගය ටිකෙන් ටික වැඩි වෙලා දැන් ලී කෑලි දෙක නොපෙනෙන ගානට ඇවිල්ලා. මලකඩ කාපු යකඩ දම්වැලේ 'කරස් බරස්' ගාන සද්දෙ විතරයි දැන් ඇහෙන්නෙ.

අපිත් ඉතින් මයිල් ඉස්මයිල් වෙලා බලාගෙන ඉන්න අතරෙ එක පාරටම 'ටොං' ගාලා සද්දයක් ඇවිල්ලා ටිකෙන් ටික නන්චාකුවෙ වේගය අඩුවලා ගිහින් නතර උනා. ආරි අය්යගෙ මූණත් එකපාරටම කක්ක බරක් හැදිලා වගෙ ඇඹරිලා ගියා. එක අතකුත් හිස් මුදුණ පැත්තට ගිහින් නතර උනා.

කිට්‍ටු වෙලා බලනකොට ආරි අය්යගෙ ඔලුවෙ හඳ පායගෙන එන හරියෙ දෙහි ගෙඩියක් විතර ගැටයක් මතු වෙලා. නංචාකුවෙ එක ලී කෑල්ලක් පිටි පස්සෙන් කැරකිලා ඇවිත් පොරගෙම ඔලුවෙ වැදිලා.

 'ඉතින් ඕයි ඕක තියෙන්න අනුන්ට ගහන්න නෙවෙයිද ...?' ඒ අස්සෙ ලොක්කත්  අහපි.

අසරණ ආරි අය්යා අඤ්ඤ කොරොස් වෙලා බලාගෙන ඉන්නවා. 'තමුසේ උණු අලු පොට්ටනියක් හදවාගෙන ඕක ටිකක් තවා ගන්නවා ...' කියාපු ලොක්කා අපිවත් වාහනේට පටවා ගෙන පිටත් උනා.

ඊට පස්සෙත් අපි ආරි අය්යගෙ නිල නිවාසෙට නිතර ආවා ගියා. ඒත් නංචාකුව පේන්න තිබුනෙ නෑ. ඒක කෝ කියලා අපි ඇහැව්වෙත් නෑ. ඇහුවා නං ඉතිං 'තොගෙ අම්මට..' කියලා හොඳම එකෙන් උත්තර ලැබෙනවා.

කොහොම උනත් ආරි අය්යා පස්සෙ කාලෙකදි දෙපාර්තමේන්තුවෙ උසස් තනතුරු කීපයක් දරලා දැනට අවුරුදු හත අටකට ඉස්සර පැන්ෂන් ගියා. ආරි අය්යට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. (අසනීප උනේ ආයෙත් නංචාකුව ප්‍රැක්ටිස් කරන්න ගිහිං ද කියලා මගෙන් අහන්න එපා කොල්ලනේ. මම ඒක දන්නෙ නෑ).

Saturday, December 17, 2011

9. ගුටිකන කියවිල්ල



මට කියවිල්ල පුරුදු කළේ අපේ තාත්තා. ඉස්සෙල්ලාම තාත්තා මට අරගෙනදීපු පොත 'කම්බිලි කොටියා' ළමා පොත බව හොඳට මතකයි. එතකොට මගේ වයස අවුරුදු 5 ක් හෝ 6 ක් විතර ඇති (දැන් මට 54 ක්!). කම්මැලි කොටි පැටියෙකුගෙ කතාවක් ඒකෙ තිබුනා. ලොකුවෙලා මම කම්මැලි වනජීවියෙක් වෙනබව තාත්තා දැනගෙන හිටියා වගේ.

ආණ්ඩුවේ ගුරු වැ‍ටුපෙන් අපේ බඩට අඩුවක් නැතුව කන්න දුන්නා වගේම තාත්තා අපේ මනසටත් අවශ්‍ය ආහාරය දුන්නා. තාත්තා නොවරදවාම දිනපතා පත්තරය සල්ලි දීලාම ගත්තා. කොහොමහරි අපි (අපි කිව්වෙ අක්කයි, මායි, නංගියි) ලොකුවෙනකොට රටකජු ගොට්ටක්වත් දිගෑරලා කියවන්නෙ නැතුව වීසි කලේ නෑ. හැබැයි ඒ පුරුද්ද නිසා තාත්තට මල පනින වෙලාවලුත් තිබුනා. දවසක් මම බත් කකා පත්තරේ කියව කියව ඉඳලා බලනකොට තාත්තා බත් පිඟාන අරගෙන ගිහිල්ලා.

මම පුංචි කාලෙ ගියේ ගල්කිස්සෙ හේන පාර කණිෂ්ට විද්‍යාලයට. ඒකට දැන් කියන්නෙ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය කියලා. ඒ දවස්වල හැම කොල්ලෙක්ම අනිවාර්යයෙන්ම සතියකට සැරයක් පුස්තකාල පොතක් ගෙදර ගෙනිහින් කියවන්න ඕනෑ. දවසක් අපේ එම්. විජේපාල විදුහල්පති ගුරුදේවයානෝ  පන්තියට ඇවිත් අංක ගණිතය උගන්නන වෙලාවෙ මම ටී. බී. ඉලංගරත්නගෙ 'විලම්බීත' පොත කියව කියව ඉඳලා මාට්‍ටු උනා. ඊලඟ මොහොතෙදි චටාස් ගාලා සද්දයක් ඇහිලා, මගේ වම් කන ගිනියම් වෙලා, විලම්බීතය පන්තියෙ එහා කෙළවරට පියාඹගෙන යනවා පෙනුනා.

තවත් දවසක් පන්තියෙ ටීචර්ට මට චූ බරයි කියලා ගිහින් කොරිඩෝවෙ දාලා තියෙන පත්තරේ කියව කියවා ඉන්නකොට වේවැල් පාරක් පස්ස පැත්තට වැදුනා. ආපහු හැරිලා බලනකොට විදුහල්පතිවරයානන්වහන්සේ වේවැල දිග ඇර ඇර කන්ණාඩියට උඩින් මගේ දිහා බලාගෙන ඉන්නවා.

කියවීමේ පුරුද්ද නිසාම මට ඕනෑම පොඩි එකෙක්, මොන දේ ගැන ඇහුවත් දෙන්න උත්තරයක් හදාගන්න පුලුවන්.











Saturday, December 10, 2011

8. මොන්ටිසෝරිය



අද මොන්ටිසෝරියක විවිධප්‍රසංගයක් බලන්න ගියා. කාලෙකට පස්සෙ පොඩි එවුංගෙ ලෝකෙ පැය කීපයක් ගතකරන්න ලැබුනා. පුංචි පැටවුන්ගෙ දක්ෂතා වගේම උන්ගෙ පිස්සු විකාර බලාගෙන ඉන්නකොට සේරම අමතක වෙනවා. ස්ටේජ් එක උඩදිත්  සමහර එවුං ගුටි ඇනගන්නවා, විරිත්ත ගන්නවා, දිව දික්කරනවා, අනුංගෙ අතේ තියෙන දේවල් උදුර ගන්නවා. එක විකාරයයි. සමහර එවුං ස්ටේජ් එකට ඇවිත් සෙනග දැකලා බය වෙලා අඬ අඬ ආපහු දිව්වා.

විහංගා 
විවිධප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ අපේ (අපේ කිව්වට මගේ) වයිෆ්ගෙ නංගිගෙ කොල්ලයි, කෙල්ලයි. කොලයක් බලාගෙන උනත් උන් දෙන්නා ඒක යස අගේට කළා. කෙල්ල පහ වසරෙ දක්ෂතා ඇති පැංචියෙක්. (පසු සටහන - කෙල්ල පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ක් ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4 වැනියට වැඩිම ලකුණු ගත්තු ශිෂ්‍යාව.)

මැර කොල්ලා තාම එක වසරෙ. මස්සිනා මල්ලි ආදි ශිෂ්‍ය සංගමේට අවුරුදු ගානක් කඹුරලා තමයි කොල්ලව නාලන්දාවට දා ගත්තෙ. මැරයෙක් උනාට ඌත් ඇත්තටම දක්ෂයි.

ඉස්කෝලෙට දාපු අලුත දවසක් මස්සිනා ඉස්කෝලෙට ගියාලු කොල්ලව එක්ක එන්න. ඉස්කෝලෙ ඒ වෙලාවෙ ‍රැස්වීමක්ලු. සේරම ළමයි ‍රැස්වෙලා ටීචර්ලා ස්ටේජ් එක උඩ කතා පවත්වනවලු. මස්සිනා මල්ලිත් එතනට හොට දාලා බලනකොට අපේ කොල්ලත් තව කොල්ලෙකුත් එක්ක ස්ටේජ් එක උඩ බංකුවක වාඩි වෙලා ඉන්නවලු. මල්ලිටත් හරි සතු‍ටු හිතුනලු ඌටත් පොඩි කතාවක් වගෙ අයිටම් එකක් කරන්න දීලා වෙන්න ඇති කියලා.


හේසර
ටික වෙලාවකට පස්සෙ ටීචර් කෙනෙක් ස්ටේජ් එකෙන් බැහැලා ගිහිල්ලා කොල්ලො අතරෙ ගුටි ඇනගත්තු කොල්ලො දෙන්නෙක් කං කෙටිවලින් ඇදගෙන ඇවිත් ස්ටේජ් එක උඩ අපේ කොල්ලා හිටපු බංකුවෙම වාඩි කෙරෙව්වලු.

එතකොට තමයි මස්සිනා මල්ලිට හරියටම තේරිලා තියෙන්නෙ කොල්ලා ස්ටේජ් එකට කැඳවලා තියෙන්නෙ මොකටද කියලා.

Tuesday, December 6, 2011

7. පවුලේ දත් බුරුසුව



අපි පුංචි කාලෙ උදේට දත් මැද්දෙ 'ගෝපාල්' දත් බෙහෙත් වලින්. ගෝපාල් දත් බෙහෙත් කුඩු පැකට් එකක් සත පහයි. එක පැකට් එකක් දරු පවුලකට සතියකට ඇති. ගෙදරකට මාසෙකටම දත් මදින්න වැය වෙන්නෙ සත විස්සයි. 'පැරකුම්බා' කියල තවත් වර්ගයක් තිබුනා මතකයි. 1980 ගණන් වෙනකොට ඒ දෙකම වෙළඳපොලෙන් අතුරුදහන් වුනා.

ගෝපාල් හෝ පැරකුම්බා නැති වෙලාවට  දත් මැදීමේ විකල්ප ක්‍රමවේද දෙකක් තිබුනා. අඟුරු කෑල්ලක් අරගෙන ළිං බැම්මේ ඌරච්චි කරලා හදා ගන්න ක්‍රීම් එක ඇඟිල්ලෙන් අරගෙන දත් ටික මැද ගන්නත් පුලුවන්. සමහර අය හදිස්සියට අඟුරු කෑල්ල කටේ දාලා බර බර ගාලා හපලා දත් ටික මැද ගන්නවා. අනිත් විකල්ප ක්‍රමය තමයි බෝඹු කෝ‍ටු කෑල්ලක් අරගෙන එක පැත්තක් සුද්ද කරලා, කොහු වෙන්න හපලා ඒකෙන් දත් මැද ගන්න එක. බේඩ්න් පවල් සාමිවරයා ගේ Scouting for Boys පොතෙත් මේ ක්‍රමය විස්තර වෙනවා. ඒ නිසා ඒක ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේදයක් බව පේනවා.

ගෝපාල් දත් බෙහෙත් ටිකක් අල්ලට දාගෙන දබර‍රැඟිල්ලෙන් ටික ටික අරගෙන අපි හැමදාම උදේට  දත් මැදගත්තා.  දැන් තියෙන මිහිරි රසයෙන් හා සුවඳින් යුතු දන්තාලේප වගේ නොවුනත් වැඩි අවුලක් තිබුනෙත් නෑ. අවුල ඇති උනේ තාත්තා එයාගෙ සුරතලීට දත් බුරුසුවක් අරගෙන දුන්නට පස්සේ. සුරතලී කිව්වෙ අපේ නංගිට. ඒකි හැමදාම උදේට අපි ඉස්සරහට ඇවිත් අපිට පේන්න බුරුසුවෙන් දත් මදින්න පටන් ගත්තා. ඒකිගෙ උජාරුව බලාගෙන ඉන්න බැරිම තැන දවසක් මම ඒකිට හොරෙන් දත් බුරුසුව අරගෙන මගෙ දත් ටික මැදගෙන ආපහු තිබ්බ විදිහටම බුරුසුව තිබ්බා. ඒකි මේ වෙනකම් ඒ ගැන හාංකවිසියක් දන්නෙ  නෑ. එදා තමයි පළමු වරට මගෙ දත් ටික බුරුසුවකින් මැදුනේ. එතකොට මට අවුරුදු දොලහක් විතර ඇති.

අදටත් මට ගෙදරදි දත් මදින්න වෙනම බුරුසුවක් නෑ. මම උදේට දත් මදින්න යනකොට අපේ එක්කෙනා 'රෝස පාට බුරුසුව මගේ ..' කියලා කෑ ගහලා මතක් කරනවා. වැරදිලාවත් මම දරුවන්ගෙ බුරුසුවකින් දත් මැද්දොත් කියලා හිතලා වෙන්න ඇති. එයාට ඕන එයාගෙ දත් බුරුසුවෙන්ම මගෙ දත් ටික මද්දව ගන්න.