මට කියවිල්ල පුරුදු කළේ අපේ තාත්තා. ඉස්සෙල්ලාම තාත්තා මට අරගෙනදීපු පොත 'කම්බිලි කොටියා' ළමා පොත බව හොඳට මතකයි. එතකොට මගේ වයස අවුරුදු 5 ක් හෝ 6 ක් විතර ඇති (දැන් මට 54 ක්!). කම්මැලි කොටි පැටියෙකුගෙ කතාවක් ඒකෙ තිබුනා. ලොකුවෙලා මම කම්මැලි වනජීවියෙක් වෙනබව තාත්තා දැනගෙන හිටියා වගේ.
ආණ්ඩුවේ ගුරු වැටුපෙන් අපේ බඩට අඩුවක් නැතුව කන්න දුන්නා වගේම තාත්තා අපේ මනසටත් අවශ්‍ය ආහාරය දුන්නා. තාත්තා නොවරදවාම දිනපතා පත්තරය සල්ලි දීලාම ගත්තා. කොහොමහරි අපි (අපි කිව්වෙ අක්කයි, මායි, නංගියි) ලොකුවෙනකොට රටකජු ගොට්ටක්වත් දිගෑරලා කියවන්නෙ නැතුව වීසි කලේ නෑ. හැබැයි ඒ පුරුද්ද නිසා තාත්තට මල පනින වෙලාවලුත් තිබුනා. දවසක් මම බත් කකා පත්තරේ කියව කියව ඉඳලා බලනකොට තාත්තා බත් පිඟාන අරගෙන ගිහිල්ලා.
මම පුංචි කාලෙ ගියේ ගල්කිස්සෙ හේන පාර කණිෂ්ට විද්‍යාලයට. ඒකට දැන් කියන්නෙ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය කියලා. ඒ දවස්වල හැම කොල්ලෙක්ම අනිවාර්යයෙන්ම සතියකට සැරයක් පුස්තකාල පොතක් ගෙදර ගෙනිහින් කියවන්න ඕනෑ. දවසක් අපේ එම්. විජේපාල විදුහල්පති ගුරුදේවයානෝ පන්තියට ඇවිත් අංක ගණිතය උගන්නන වෙලාවෙ මම ටී. බී. ඉලංගරත්නගෙ 'විලම්බීත' පොත කියව කියව ඉඳලා මාට්‍ටු උනා. ඊලඟ මොහොතෙදි චටාස් ගාලා සද්දයක් ඇහිලා, මගේ වම් කන ගිනියම් වෙලා, විලම්බීතය පන්තියෙ එහා කෙළවරට පියාඹගෙන යනවා පෙනුනා.
තවත් දවසක් පන්තියෙ ටීචර්ට මට චූ බරයි කියලා ගිහින් කොරිඩෝවෙ දාලා තියෙන පත්තරේ කියව කියවා ඉන්නකොට වේවැල් පාරක් පස්ස පැත්තට වැදුනා. ආපහු හැරිලා බලනකොට විදුහල්පතිවරයානන්වහන්සේ වේවැල දිග ඇර ඇර කන්ණාඩියට උඩින් මගේ දිහා බලාගෙන ඉන්නවා.
කියවීමේ පුරුද්ද නිසාම මට ඕනෑම පොඩි එකෙක්, මොන දේ ගැන ඇහුවත් දෙන්න උත්තරයක් හදාගන්න පුලුවන්.
මමත් පුංචි කාලේ ඉඳලම අතට අහුවෙන හැම එකක්ම කියවනවා
ReplyDeleteබත් කන ගමන් කියවන පුරුද්ද මට අදටත් තියෙනවා
බ්ලොග් කියවන්න ගිහින්නේ අන්තිමට මම මේ බ්ලොග් කෙරුවාවටත් වැටුනේ.... :))
ඔය වගේ සිද්දිනම් මටත් අනන්තවත් වෙලා තියනවා...
ReplyDeleteඕනෙ වෙලාවටයි එපා වෙලාවටයි අතට අහුවෙන දේවල් කියවන්න ගිහින් දැන්නම් ගුටි කන්නෙ මහත්තයගෙන්..හික්ස්..
පුංචි විස්තරේ රස දැනෙන්න ලියල තියෙන්න....
ReplyDeleteඔය හැටිම කියවපු නිසා වෙන්න ඇති.
තව ලියන්න දිගටම එන්නම් කියවන්න
ගාමිණීගෙ හැම පෝස්ට් එකකින්ම මම ගාමිණීව අලුතින් හඳුනා ගන්නවා. ගාමිණී බ්ලොග් එකක් පටන් ගත්තෙ නැත්නම් මට මේ තරම් උඹේ තොරතුරු දැනගන්න කවදාවත් බැරිවේවි.
ReplyDeleteඅපිත්කියවීමට ඇබ්බැහි වෙච්ච පව්ලක්. වෙනසකට තියෙන්නෙ අපේ තාත්තාටත් පොතක් හරි පත්තරයක් හරි නැතුව කෑම කන්න බැරි එකයි.
ඔයිට අමතරව අපි ටොයිලට් එකේදිත් කියවනවා.
henryblogwalker the Dude
ලොකු පුතේ, වැලි මැඩියෝ (එහෙම කියන්න ටිකක් දුකත් වගේ), රූ..., හෙන්රියෝ,
ReplyDeleteකොමෙන්ට්වලට ස්තුතියි. බලනකොට අපි ඔක්කොම එකම බෝට්‍ටුවෙ ආපු කස්ටියක්.
පොඩි කාලෙනං පොත් කියෙව්වා ගෙදරට බයේ,පුස්තකාලෙන් අනිවාරෙන්ම පොත් ගෙනැල්ලා පේන්න කියවන්න ඕනේ,දැං නං පොතක් කියවපු කාලයක් මතක නෑ...
ReplyDeleteDude ගෙ බ්ලොග් එකෙන් පාර හොයාගන මම මෙහෙට ආවෙ ගහ කොල සතා සීපාව එක්ක ගත වුන ඒ කාලෙ ගැන අපුරු අත්දැකීම් ටිකක් කියවන්න බලාගෙනයි..ඒවනම් මෙතන නැතිවා වාගෙ....කමක් නැහැ..ඔබෙ ලියමන් නම් හරිම රසවත්..ස්තුතියි
ReplyDeleteමමත් හේනවිද්‍යාලෙ ආදි සිසුවෙක්. පොඩි කාලෙ ඕකට තමයි ගියෙ. හැබැයි ටී ඒස් සිල්ව මහත්තය විදුහල්පති වෙලා ඉන්දැද්දි. ඒ වගේම මටත් පොතක් පතක් නැත්තං කෑමක් කන්න බැරි තරම් කියවන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.
ReplyDeleteඅපිත් එහෙමයි පොතක් ලැබුනම කෑමක් ලැබුන වගෙ සතුටුයි...
ReplyDeleteහිරුනි දුවගෙ තාත්තගෙ පොත් කියවිල්ල ගැන මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම දන්නවා.
ReplyDeleteමේ ලියල තියෙන ඔක්කොම වගේ මටත් වලංගුයි.. තාත්තා ගුරුවරයෙක්.. මම කියවන්න පොත් ගුල්ලෙක් .. බඩු ඔතපු කොළෙත් කියවනවා. සමහර එවුවා හයියෙන් කියවලා ගුටි කාලත් තියෙනවා. ඔසප් ඔසප් ඔසප්.. කියල එකක්.. කියවලා ගුටි කන්නේ මොකටද කියල මට එදා හිතුනේ.. ඔකේ තේරුම ඉති දැන ගත්තේ කල්පෙකට පස්සෙනේ..
ReplyDeleteඔව් අපි හැමෝම එක බෝට්ටුවේ ආපු උදවිය නිසා අද මේ බ්ලොග් නැවේ නැගගෙන ඉන්නවා..............
ReplyDeleteමාත් ටීචර්ට අහුවුනා හැබැයි විලම්බීත නෙමෙයි චාරුමුඛ.........
ටීචර් හොඳට ගුරුමේසේ ගාව උන්නු ඇත්ති, මෙන්න මගේ කණ ගාවින් ආආආආආආආ.......... චාචාචාරුමුඛඛඛ............... කිව්වා.........(දන්නේම නැතුව වටෙන් ලඟට ඇවිල්ලා) මං උඩ ගිහින් බිම වැටුනා. චාරුමුඛත් කැරකිලා ගිහින් කොහිද මන්දා වැටුනා..... :D
මමත් ඔය විදිහම තමා. තවමත් පාරෙ බිම වැටිලා තියෙන පත්තර කෑල්ලක් වුණත් නොකියවා ඉන්න අමාරුයි. කන ගමන් කියවන්න දෙයක්නම් ඕනමයි. වැඩ කරන තැනදි කෑම කන වෙලාවට, එහෙම කෑම ඔතාගෙන ආව කොළේ හරව හරව කියවන එකට බාධා කරන අනික් අය එක්කනම් හොඳටම තරහ එනවා. :D
ReplyDeleteකම්බිළි කොටියා අපේ ගෙදරත් තිබුණා. අමුතුම ආරක් ගත්තු ලස්සන ළමා කතාවක්. කම්මැළි කොටි පැටියා කැමැත්තෙන්ම ගිහින් සත්වෝද්‍යානයකට සත්තු අල්ලන මන්දකට "ඇල්ලෙනවා."
නලිනි නගේ, කම්බිලි කොටියා මම කියෙව්වෙ 1964 හෝ ඊට කලින් ඒ ආසන්නයේ. කතාව මතක තිබුනේ නෑ .. මතක් කලාට ස්තුතියි ..!
Deleteලකී, ඉන්දික, සරත්, රන්දිල්, නලිනි - කොමෙන්ට්වලට ස්තුතියි, බැලුවහම අපි ඔක්කොම එකම බෝට්‍ටුවෙ ...
ReplyDeleteඅනිවාර්යයෙන්ම පොඩි කාලේ ඉදලම හැම උපන් දිනේටමත් අනිත් පුලු පුලුවන් වෙලාවටත් අම්මා කතා පොතක් අරන් දීපු නිසා පොත් කියවිල්ලට බැස්ස මම අද කතා ලියනවා වගේම අන්තර්ජාලෙනුත් කතා කියවනවා.
ReplyDeleteඒ තරම් කියවිල්ල :D
මලේ, මව් භාෂාව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගන්න එක ඉතාම වැදගත්. හැම අම්ම තාත්තා කෙනෙක්ම දරුවන් වෙනුවෙන් පෞද්ගලික පුස්තකාලයක් හදා ගන්න ඕනෑ කියලා මට හිතෙන්නෙ.
Deleteපොඩි කාලෙනං මගෙ ලඟ මගෙම කියාපු පොත් 200ක් විතර තිබුණා. උසස් පෙළින් පස්සෙ ටියුෂන් රැල්ලට වැටිල්ලෙං එහෙමම කියවිල්ල නැති වෙලා ගියා. තාම ඇඟ ඇතුලෙ තියෙනවා ඇති කියල හිතෙනව අර ඉස්සර කියවපු ඒවා.
ReplyDeleteලඟක් වෙනකනුත් මං පරිවර්තන නං කියෙව්වා අර ත්‍රාසජනක මොඩල් එකේ එව්ව....
කියවන්න පුරුදුවෙන එකා කවදාහරි පූර්ණ මිනිසෙක් වෙනවා කියනවා, කොල්ලෝ ... !
Deleteකියවන්න පෙරේත වෙලා ඔය කන ගමනුත් පොත් කියවන එක ගාන් මම පෝස්ට් එකක් ලිව්වා බත් එපා පොත් කියලත් . . .
ReplyDeletehttp://dukaa.blogspot.com/2009/07/blog-post_17.html
හැබැයි කියවන එක නිසා අයියට තරම් අකරතැබ්බ නම් වෙලා නෑ මට . .
මට ඔය සොදුරු පුරුද්ද ඇති කරේ අපේ අම්මා. ....
ReplyDelete