මගෙ යාලුවෝ

Sunday, July 29, 2012

23. රිලව් සහ අපි

කවුරු හරි පිට කෙනෙක් ගිරිතලේ මගෙ නිල නිවාසෙට ටික වෙලාවකට හරි නවතින්න ආවොත් මම දෙන පළවෙනි අවවාදය තමයි 'ජනෙල් දොරවල් මොහොතකටවත් ඇරලා තියලා යන්න එපා ..' කියන එක. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි දවසකට තුන් හතර වතාවක් ඇවිත් ගේ වටේ කැරකිලා බලලා යන රිලව් ගැන්සිය නිසා. ඇරිලා තියෙන ජනේලෙකින් ගෙට පැනලා, කනබොන දෙයක් තියන තැනකට කෙලින්ම ගිහිල්ලා, කට දෙපැත්තෙ තියෙන 'පැස්' (cheek pauch) දෙක පුරවගෙන, තව ටිකක් අතටත් අරගෙන, අඬු තුනකින් දුවගෙන ගිහිල්ලා ගහකට නැගගෙන, ආපහු හැරිලා විරිත්තන්න උන්ට ගතවෙන්නේ   තත්පර කීපයක් විතරයි.
දවසක් මම ටවුමට ගිහිල්ලා එනගමන් තනියම කන්න හිතාගෙන පොඩි කිරි මුට්ටියක් අරගෙන ඇවිත් කුස්සියෙ මේසෙ උඩ තියලා, එතනට මීටර් දෙක තුනක් එහායින් තියෙන වොෂ් බේසින් එක ලඟට ගියා වතුර ටිකක් බොන්න. එතකොටම ඇහුනා කිරි මුට්ටිය දාලා තිබුනු සිලි සිලි බෑග් එක අදින සද්දෙ. ආපහු හැරෙනකොට මම දැක්කෙ කිරි මුට්ටිය එක අතකින් ගත්තු රිලවෙක්  ඉලිප්සාකාරව අහසේ පාවෙලා ඇරලා තිබුනු දොරෙන් එලියට යනවා විතරයි.


ලංකාවෙ වානර පවුලෙ සාමාජිකයො හතර දෙනෙක් ඉන්නවා. අපේ සුමිතුරු රිලවා (Toque Monkey) ලංකාව පුරාම විසිරිලා ඉන්න අතරෙ අලු වඳුරා (Grey Langur) වියලි කලාපයට පමණක් සීමා වෙනවා.  කලු වඳුරා (Purple-faced Leaf Monkey) තෙත් කලාපයෙදි වැඩිපුරත්, වියලි කලාපයෙ උස ගස් තියෙන වනාන්තරවලත් දකින්න පුලුවන්. මේ විශේෂ තුනම රංචු වශයෙන් හැසිරෙනවා. තනිව හැසිරෙන, දුලබ විශේෂයක් වෙන උනහපුලුවා (Slender Loris) නිශාචරයි.

කලු වඳුරා
තද කලු පාට කලු වඳුරගෙ ඔලුවෙ රවුම් හැඩය නිසාත් සුදු ‍රැවුල නිසාත්, අලු වඳුරාගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුලුවන්. අලු වඳුරගෙ ඔලුව උල් හැඩයක් ගන්නවා. ප්‍රමාණයෙන් කුඩා උනහපුලුවගෙ විශේෂත්ව තමයි විශාල ඇස් දෙක සහ වලිගයක් නැති කම. දැක්කෙ නැති උනත් 'කී.....ස්' ගාන තියුණු හඬ නිසා රෑට උනහපුලුවෙක්  ඉන්න තැන හඳුනා ගන්න පුලුවන්. ටෝච් එකක් ගහලා බැලුවොත් ඇස් දෙක ගින්දරවගේ දිළිසෙනවා පේනවා. ඇස් හතරක් එක ලඟ දැක්කොත් අනිවාර්යයෙන්ම පැටියෙක් බඩ බැඳ ගත්ත අම්මා කෙනෙක්.

සර්ව භක්ෂක රුක්වාසීන් හැටියට පොදුවෙ හැඳින්වුවත් ආහාර හා ඉඩකඩ සඳහා තරඟය වලක්වා ගන්න උන් පරිසරයෙ විවිධ කලාපවලට සීමා වෙලා, විවිධ ආහාර රටාවල්වලට පුරුදුවෙලා තියෙනවා. වැඩියෙන්ම ශාක කොටස් ආහාරයට ගන්න කලු වඳුරා කලාතුරකින් තමයි බිමට එන්නෙ. උන හපුලුවාත් බිමට එන්නෙ නැතුව කුරුලු පැටව්, ක‍ටුස්සො, ගස් ගෙම්බො වගේ සත්තු අල්ලගෙන කන අතරෙ ලැබුනොත් පලතුරුත් කනවා. අලු වඳුරා සහ රිලවා තමයි වැඩි කාලයක් බිම ගත කරන්නෙ. ඒ දෙන්නා අතරින් අලු වඳුරා වැඩිපුර ශාක භක්ෂකයි. රිලවා අහුවෙන ඕනෑම ජරාවක් කනවා. අනුන්ගෙ දේවල් කඩාවඩා ගැනීමේ මිනිස් පුරුද්ද වැඩියෙන්ම තියෙන්නෙත් රිලවටමයි.

අලු වඳුරා
වඳුරන්ගෙ සමාජමය හැසිරීම් රටාවල් හරිම සංකීර්ණයි. ලිංගිකව පරිනතවුන පිරිමි වඳුරෙක් නිතරම උත්සාහ කරන්නෙ  ඉක්මනින් ගහනයේ ප්‍රමුඛතා අනුපිළිවෙලේ ඉහලට ගිහිල්ලා නායකයා වෙන්න. ඒකට එකම හේතුව නායකයාවෙත සහකාරියක් එක්ක එකතුවෙලා, ඊලඟ පරම්පරාවට දායකත්වය දීමේ ඒකාධිකාරය පැවතීම. මේ නිසාම නායකයාට තමන්ගෙ ප්‍රමුඛත්වය ආරක්ෂා කරගන්න ලොකු සටනක් කරන්න සිද්ද වෙනවා. නායකයා ශාරීරිකව දුර්වල වෙලා ඊලඟට ඉන්න ශක්තිමත් තරුණ පිරිමි සතාට තරඟයක් දෙන්න බැරිවුනු දවසට එයාට නායකත්වය බාර දීලා කණ්ඩායම දාලා යන්න සිද්ද වෙනවා. ඊට පස්සෙ අලුත් නායකයා වැඩ පටන් ගන්නවා.

උනහපුලුවා
කණ්ඩායමේ ඉන්න පැටව් නැති ගෑණු සත්තු අලුත් නායකයා එක්ක කැමත්තෙන් එකතු උනත්, පැටව් ඉන්න කිරිදෙන අම්මලා නායකයා එක්ක එකතුවෙන්න කැමති වෙන්නෙ නෑ. එහෙම වෙලාවට අලුත් නායකයා කරන වඳුරු වැඩක් තමයි, කලින් නායකයාගෙ කිරිබොන පැටව් අල්ලගෙන මරලා දාලා, (infanticide) අම්මලාව එකතු වෙන්න පොළඹවා ගන්න එක. සමහර අම්මලා ඒ වගේ මරාදාපු පැටව් තුරුළු කරගෙන දවස් ගානක් යන යන තැන ගෙනියනවා නිරීක්ෂණය කරලා තියෙනවා. කොහොම උනත් ඒ ස්වාභාවික නීතියෙ අර්ථය තමයි ගහනයෙ ශක්තිවන්තම සතා ඊලඟ පරම්පරාවට දායක වියයුතු වීම. එහෙම නැතුව ජීවය මිහිමත පවතින්න බෑ.

සත්තු අතර ආත්මාර්ථය, ඉරිසියාව, තරහව, ක්‍රෝධය, වෛරය වගේ හැඟීම් ස්වාභාවිකවම පහල වෙලා තියෙන්නෙ මේ කියාපු තරඟයෙදි ශක්තිවන්තයා ඉදිරියට ගේන්න. ගහනයක් තුළ ශක්තිමත් ජානයක් ඉස්මතු උනේ නැත්නම් ඉතාම ඉක්මනින් ඒ සත්ව විශේෂය වඳ වෙලා යනවා.

 සත්ව විශේෂයක් වෙන අපි උනත් හැමෝම සියලු කෙලෙස් නසාපු රහතන්වහන්සේලා වගේ උනා නම් මේ වෙනකොට මිනිස් වර්ගයා වඳ වෙලා හුඟක් කල් කියලා මට හිතෙනවා. මානව ඉතිහාසෙ ඒ වගේ තියෙන දෙයක් කාලා, තමන්ගෙ පාඩුවෙ හිටපු ජන වර්ග බොහොමයක් මේ වෙනකොට අතුරුදහන් වෙලා. අනුන්ගෙ දේවල් කඩාවඩාගෙන තමන්ගෙ බලය පතුරවපු ජාතීන් ලෝකෙ පුරාම විසිරුනු අධිරාජ්‍ය පිහිටෙව්වා. හැබැයි වෙනත් ශක්තිමත් ජාතියක් මතු උනහම ඉඩදෙන්න සිද්ද උනා.

පැටියෙක් මරාගෙන  කන අප්‍රිකානු බැබුනෙක්
අපේ ඉතිහාසෙ උනත් සමහර යුගවලදි අපි අපේම රටේ නිවටයො වගෙ වලිගෙ කකුල්දෙක අස්සෙ ගහගෙන හිටියා. තවත් සමහර යුගවලදි ඉන්දියාවටත් පැනලා ගහලා ආවා. අනුන්ගෙ දේවල් කඩාවඩාගන්න ගියෙ නැතත් අපේ දේවල් උදුර ගන්න එන එවුන්ට කන පැලෙන්න දෙකක් ගහන්න වත් අපි පුරුදු වෙන්න ඕනෑ කියලා මට හිතෙනවා.

වඳුරන්ගෙන් පටන්ගත්ත කතාව ඉවර උනේ අපේ ඉතිහාසයෙන්. වඳුරන්ගෙ ලඟම නෑයා අපි නිසා ඒකට කමක් නෑ.



තවත් වඳුරු වැඩ ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale.blogspot


(ඉහත වඳුරු ඡායාරූප බාගත්තේ අන්තර්ජාලයෙන්, මගෙ ඡායාරූප සහ සිතුවම් එකතුවක් වෙනමම පි‍ටු දෙකක දාලා තියෙනවා - My Sketches, My Photographs)

මේක ගිරිතලේ නිලනිවාසය පිටිපස්සෙදි ගත්ත පින්තූරයක්.







Saturday, July 14, 2012

22. වන අලි සහ වල් අලි



'අම්පාරෙ ටවුමට අලියෙක් පැනලා ... හය දෙනෙකුට ගහලා ... හතර දෙනෙක් මැරිලා ...' අම්පාර පොලිසියෙ එච් කිව් අයි ගෙ සිත් නලවන, මිහිරි කටහඬ ටෙලිෆෝන් වයර් එක දිගේ ගලාගෙන එනකොට පාන්දර හයට විතර ඇති.

නිල නිවාසෙ හිටපු මම කාර්යාලයට කතා කරලා කොල්ලොත් ලෑස්ති කරගෙන හැකි ඉක්මනින් අලියා ඉන්නවා කියාපු තැනට ගියා. අම්පාර ටවුම මැද්දෙ ප‍ටු පාරක් අද්දර ගෙයක් පිටිපස්සෙ අලියා ඉන්නවා. ඊට අල්ලපු ගෙදර තිබුනෙ කන්ඩියක් උඩ. අපි කන්ඩිය උඩට නැගලා ඒ ගෙදර පිලිකන්නෙ ඉඳගෙන බලද්දි තමයි තේරුනේ හතර වටේම තියෙන  ගෙවල් අස්සෙන් යාගන්න විදිහක් නැතුවයි අලියා ඉන්නේ කියලා. ගෙවල් මදිවට හතර වටේම ඉඩ තියෙන හැම තැනකම මිනිස්සු පිරිලා, ඊලඟට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. සමහර එවුං දරු පැටව් අතින් කටින් එල්ලගෙන ගෑණිත් එක්කගෙන ඇවිල්ලා අලියා පෙන්නන්න. අම්පාර පොලිසියෙ කට්ටියත් ඇවිල්ලා. ග්‍රාමාරක්ෂකයො ටික ටී පනස් හයවල් අමෝරාගෙන ඉන්නවා ලැබෙන පළවෙනි අවස්ථාවෙදිම අලියව බිම එලා ගන්න.

අම්පාර ටවුමට අලි පැනපු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. අවුරුද්දකට දෙකකට වරක් අම්පාර ටවුමට අලි එනවා. එහෙම වෙලාවට අපි කරන්නෙ පොලිසියෙ උදව්වත් අරගෙන මිනිස්සු ඉවත් කරලා, අලියට යන්න පාර හදලා, අලි වෙඩි ගහලා එලවලා දාන එක. ඒත් මට මතක හැටියට 2004 මැදදි සිද්දවුන මේ සිදුවීම තමයි මම අම්පාරෙ හිටපු අවුරුදු හතරහමාර තුල සිදුවුනු දරුණුම සිදුවීම. අපි හිටපු කණ්ඩිය ට පහලින් අලියා යා ගන්න අතක් නැතුව ඒ මේ අත හැරි හැරි ඉන්දැද්දි අපි පොලිසියත් එක්ක අවට හිටපු පිරිස පාලනය කරගන්න උත්සාහ කළත් අපි කියන දෙයක් අහන එකෙක් වත් එතන හිටියෙ නෑ.

ඒ අතරෙදි තමයි කවුද එකෙක් කෑ ගහනවා ඇහුනෙ 'අලියා එනවෝ .. ' කියලා. හැරිලා බලද්දි පහල හිටපු අලියා අසුරු සැණින් කණ්ඩිය උඩට ගොඩවෙලා අපි හිටපු පැත්තට හැරිලා. අපිත් ඉගිලිලා ගිහිල්ලා ගේ පිලිකන්නෙ මුවා වෙනකොටම අලියා අපි හිටපු තැන පහු කරගෙන පාර පැත්තට දිව්වා.

කොහොම හරි අලියා පැය කීපයක් තිස්සෙ අම්පාර ටවුම පුරාම ඒ මේ අත දුවද්දි අපිත් ඌ පස්සෙ දුව දුව ටවුමෙන් එලියට දා ගන්න උත්සාහ කලා. අලියා හැරෙන හැරෙන පැත්තෙ පාරවල් හරස් කරගෙන හිටියෙ ඌව නරඹන්න ආපු මිනිස්සුයි, හෝන් ගහන වාහනයි.

අන්තිමේදි අපට ඇහුනා ටී පනස් හයක වෙඩි වැලක් එක දිගටම. අපි එතනට යනකොට ගෙවල් දෙකක් අතර අලියා වැටිලා හිටියා.  එතකොටත් උගේ පන ගිහිල්ලා. වීරෝධාර ග්‍රාමාරක්ෂකයො වැඩේ ඉවරයක් කරලා තිබුනා. තරුණ වයසෙ හිටපු අලියා ඉතාම නිරෝගී සතෙක් බව පෙනුනා. ඌ මරු විකල්ලෙන් එනකොට, සංදර්ශණේ බලන්න ආපු මිනිස්සු පනහක් විතර  ලඟ තිබුනු ගෙවල් දෙකකට බලෙන්ම රිංගලා පන බේරා ගත්තලු. 'ගෙදර ඇඳං උඩත් මිනිස්සු නැගලා හිටියා .. ' එක ගෙදරක හිටපු ගෑණියෙක් නාහෙන් ඇඬුවා.

මහජනයාට වහාම සිදුවිය හැකි අනතුරක් වැලැක්වීම සඳහා අලියාට වෙඩි තබා මරා දමන ලද බව උසාවියට වාර්තා කරලා සිද්ධිය හමාර උනා. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව මිනිස් ජීවිතයකට වහාම සිදුවිය හැකි අනතුරක් වැලැක්වීම සඳහා ඒ පනතින් තහනම් කරපු ක්‍රියාවක් කිරීම වරදක් නෙවෙයි. ඒ බව විමර්ශනයෙදි තහවුරු වෙන්න ඕනෑ. වහාම වාර්තා කරලා තියෙන්නත් ඕනෑ.

ඉතින් මට මේ සිද්දිය මතක් උනේ මේ දවස්වල හැමදාම පත්තරේ ගත්තොත් දකින්න ලැබෙන වල් අලි මිනිස් අරගලය ගැන ප්‍රවෘති නිසා. නිල වශයෙන් දැන් කැලේ ඉන්න අලින්ට 'වන අලි' කියලා කිව්වත් මට හිතෙනවා කැලේට වෙලා තමන්ගෙ පාඩුවේ තියෙන දෙයක් කාලා කරබාගෙන ඉන්න අලින්ට විතරක් 'වන අලි' කියලා, කුඹුරු වතුපිටිවලට පැනලා විනාස කරලා, මිනී මරණ අලින්ට 'වල් අලි' කිව්වොත් හොඳයි කියලා. අම්පාර දිස්ත්‍රික්කයෙ වෙඩි කාලා මැරෙන අලින්ගෙන් 70% ක් විතරම තරුණ පිරිමි අලි. එහෙම වෙන්නෙ තරුණ පිරිමි අලි නිතරම කුඹුරු හේන්වලට පැනලා බඩ පිරෙන්න කාලා ඇඟපත හදාගන්න ට්‍රයි කරන නිසා. ඇඟපත හදා ගත්තෙ නැත්නම් උන්ට නාකි පිරිමි අලි එක්ක තරඟ කරලා සහකාරියෙක් දිනාගන්න බැරි වෙනවා. අලි අපි වගේ නෙමෙයි. අවුරුදු 55 ක් විතර වෙනකම් උස යනවා. මේ හේතුව නිසා තරුණ අලියෙකුට, නාකි අලියෙක් එක්ක ලොකු ගේමක් දෙන්න වෙනවා සහකාරියෙක් දිනා ගන්න. ඉතින් තරුණ අලි අවදානම නොතකා හේන් කුඹුරුවලට පැනලා වෙඩිකන්නෙ මේ හිතේ තියෙන වල්කම නිසා. ගෑණු අලි තමයි තමන්ගෙ පාඩුවෙ දරු පැටවුනුත් බලාගෙන තියෙන දෙයක් කාලා කැලේට වෙලා ඉන්නේ.

පහුගිය අවුරුද්දෙ මම මහවැලි කලාපෙ අලි ගහලා මිනිස්සු මැරිච්ච සිද්ධි ගැන තොරතුරු අරගෙන ටිකක් හොයලා බැලුවා කොහොමද, කාටද , කොයි වෙලාවටද, ඇයි මේවා සිද්ද වෙන්නෙ කියලා. ඉතාම සරල ගණනය කිරීම්වලින් මේ වගේ තොරතුරු ටිකක් දැනගන්න ලැබුනා.

        මිනිස් මරණ සිදුවෙන කාලය

            රාත්‍රි කාලයේ   - 75%
            දිවා කාලයේ    - 25%

        මරණ සිදුවන ස්ථාන

            නිවසේ හෝ ගෙවත්තේදී    -    20%
            වගා ආරක්ෂාවේදී               -    40%
            වෙනත් ස්ථානවලදී             -    40%

        මරණකරුවන් ගේ ගැහැනු පිරිමිබව

            ගැහැණු    -   15 %
            පිරිමි        -    85 %

        මරණකරුවන් ගේ වයස් කාණ්ඩ

            වයස අවුරුදු 40 ට අඩු      -   17%
            වයස අවුරුදු 40 ට වැඩි    -   83%

2009 ජනවාරි ඉඳලා 2011 මැද දක්වා අවුරුදු දෙකහමාරක් ඇතුලත මහවැලි කලාපයෙ සිදුවෙලා තියෙන මිනිස් මරණ 28 ක් ගැන දෙපාර්තමේන්තුවෙ වාර්තාවලින් තමයි මේ තොරතුරු ගත්තේ.  මේ තොරතුරුවලින් එන්න පුලුවන් සරලම නිගමනය තමයි රාත්‍රි කාලයේදී, ගෙදරින් බැහැරව යන වැඩිහිටි පිරිමින්ට අලින්ගෙන් ගුටි කාලා මැරෙන්න තියන අවස්ථාව වැඩියි කියලා. වගා ආරක්ෂාවේදී සමහර අය ඉතාම අනාරක්ෂිත, බිම හදාපු පැල්වල ඉඳලා මැරුණු අවස්ථා වාර්තා වෙලා තිබුනා. වත්තට ආපු හරක් කියලා හිතාගෙන කලුවරේ 'හුයි... හුහි... ' කියලා අලි එලවන්න ගිහිල්ලා එක වයසක ගෑණු මනුස්සයෙක් මැරිලා තිබුනේ.

අලින්ගෙන් ගුටි කාලා හුඟක් වෙලාවට මැරෙන්නෙ ගම්වල ඉන්න වැඩිහිටි පිරිමි. හැන්දෑවට හොරපොලකට ගිහිල්ලා ෂොට් එකක් දාගෙන සින්දුවක් කියාගෙන කලුවරේ එනකොට උන්ට ඉස්සරහට හම්බවෙන අලියෙක් පේන්නෙ හරකෙක් වගේ. මැරිච්ච එවුන්ගෙන් කී දෙනෙක් මැරෙන වෙලාවෙ බීලා හිටියද කියලා බලන්න උත්සාහ ගත්තත් එකම පශ්චාත් මරණ පරීක්ෂණ  වාර්තාවකවත් බීලා හිටපු බවක් සඳහන් වෙලා තිබුනෙ නෑ. ඉන්න එවුන්ට මැරිච්ච එකා වෙනුවන් වන්දි ගන්න බැරි වෙන නිසා මැරුණු එකා බීලා හිටියත් ඒ බවක් මරණ පරීක්ෂණ වාර්තාවෙ ලියන්නෙ නැතිලු.

 මම ගල්ගමුවෙ ඉන්න කාලේ අව්කන කිට්‍ටුව ගමක මිනිහෙක් ඉස්පිරිතාලෙට ගෙනාවා අතපය කැඩිලා. ඌ වෙරි මරගාතෙ කඩුවකුත් අරගෙන ගමට ආපු අලි රංචුවක් මැද්දට පැනලා  කොටන්න හැදුවලු 'තොපෙ අම්මලට ....' කියලා. 

තව පාරක් දීඝවාපියෙ කොල්ලෙක් මැරුණා බයිසිකලේ බ්‍රේක් නැතුව ගිහිල්ලා නවත්තගන්න බැරුව අලියෙකුගෙ ඇඟේ වැදිලා. කාලෙකට ඉස්සර ශ්‍රාවස්තිපුර මනුස්සයෙක් උදේ පාන්දර ගෙදර මිදුල අතුගගා ඉන්නකොට හදිසියෙම පාරෙ අලියෙක් යනවා දැකලා 'ෂෝ ... ෂෝ ...' කිව්වලු. ආපහු හැරුනු අලියා ඇවිත් ඒ මනුස්සයා ගෙදර බිත්තියටම තියලා තද කරලා මරලා තිබුනා.

ඉතින් මේ වගේ මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා සිද්දවෙන මරණ බොහොමයි. ඒ මරණයක් සිද්දවෙන හැම වෙලාවකම වරද පැටවෙන්න වනජීවී දෙපාර්තමේන්තුවට. ඉතින් මේ අලි මිනිස් ගැ‍ටුම සමනය කරගන්න දෙපාර්තමේන්තුව මොකද කරන්නේ කියලා ඉස්සරහට බලමු.


 වන අලි සහ වල් අලින්ගෙ වැඩ ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale.blogspot


පරිසරය ගැන ලියවෙන හොඳ බ්ලොග් එකක් ... ගොඩවෙලා බලන්න ... sobaroo.blogspot.com