මගෙ යාලුවෝ

Friday, December 28, 2012

32. ඩෙල්ෆ්ට්




' ඇයි ... මොකද ...?'
අද මගේ පොර ටෝක් එක 'ඩෙල්ෆ්ට් දූපත' ගැන. පොර ටෝක් එකක් කිව්වට ඉතිං ගිරිතලේ ට්‍රේනිං කොල්ලොත් එක්ක ආණ්ඩුවෙ වියදමින් ගිය ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක විස්තර තමයි. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන පාරිසරික හා ඓතිහාසික වටිනාකම් සහ සංචාරක විභවය නිසාම ඒකෙ කොටසක් දැං වනජීවී රක්ෂිතයක් විදියට ප්‍රකාශයට පත් කරන්න දෙපාර්තමේන්තුව යෝජනා කරලා තියෙනවා. කවුන්සලේ ඇත්තො එකඟවුනොත් විතරක් ඒක එහෙම සිද්ද වේවි. කණ්ඩායමේ අරමුණවුනේ ඒ වටිනාකම් පුහුණු අභ්‍යාසයක් විදිහට හඳුනා ගැනීම.

ඩෙල්ෆ්ට් දූපත ගැන ටිකක් හරි දන්න කෙනෙක් එක්ක ඒ ගැන කතා කළොත් ඉස්සෙල්ලාම අහන්නෙ ඒකෙ ඉන්න වල් පෝනියො ගැන. 'වල්' කිව්වෙ හීලෑ නැති, 'වනාන්තර ගත' (Wild , Feral) අර්ථයෙන්. පෝනියො ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒකෙ ඉතිහාසය දැනගෙන ඉමු.


අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දන්න, යාපනේ අර්ධවීපයට ඔබ්බෙන් මූදෙ තියෙන දූපත් සේරටම වගේ තියෙන්න මතක තියාගන්න අමාරු දමිළ නම්. ඒත් එක දූපතකට විතරක් 'ඩෙල්ෆ්ට්' කියලා ලේසියෙන් මතක තියාගන්න පුලුවන් නමක් තියෙන එක ලොකු සහනයක්. 'නෙදුන්තීවු' කියලා දමිල නමක් තියෙන ඒ දූපතේ නම වෙනස් කරලා තියෙන්නෙ, ඕලන්ද පාලන කාලෙදි, ඕලන්දයෙ තියෙන 'ඩෙල්ෆ්ට්' නගරය අනුව යමින්. ඕලන්දයන්ට ඉස්සර පෘතුගීසි කාරයොත් දූපතේ හිටපු බවට සාක්ෂි තියෙනවා. වර්ග කිලෝමීටර 50 කට ආසන්න වපසරියක් තියෙන ඩෙල්ෆ්ට් දූපත, දිගින් කිලෝමීටර  8 ක් හා පළලින් කිලෝ මීටර 6 ක් විතර වෙන, ඕවාලාකාර හැඩයක් ගන්න සමතලා බිම් කඩක්. කොරල් පර සහිත නොගැඹුරු මුහුදක් ඒ වටා තියෙන්නෙ.

දූපතේ උතුරු කොටසේ පන් දහසක විතර කුඩා ජනගහනයක් වෙසෙනවා. ඔවුන් සියලු දෙනාම වගේ දමිළ ජාතිකයින් බව කියන්න ඕන නෑනේ. දකුණු කොටසෙ තියෙන අර්ධ ශුෂ්ක පඳුරු හා තණබිම් සහිත නිවර්තන වනාන්තරයෙ තමයි අර කියාපු වල් පෝනියො ඉන්නෙ. දාහත් වැනි සියවසේ දි ඕලන්ද කාලයෙදි දූපතට ගෙනැල්ලා බෝ කරපු පෝනියො, පස්සෙ කාලෙකදි වනාන්තර ගත වෙලා වල්වුනා කියලා තමයි කියන්නෙ.

මාත් ඉතින් මේ පසුබිම් තොරතුරු ටික එහෙන් මෙහෙන් හොයාගෙන කොල්ලො ටිකත් එක්ක ඩෙල්ෆ්ට් බලා යාපනෙන් පිටත් උනා. යාපනය හා මණ්ඩතිවු දූපත අතරත්, මණ්ඩතිවු හා  පුන්කුඩුතිවු දූපත අතරත් වේලි මං ඉදිවෙලා තියෙන නිසා ඒ දක්වා ගමන ආපු වාහනෙන්ම කරදරයක් නැතිව යන්න පුලුවන්. පුන්කුඩුතිවු දූපත කෙලවරේ තියෙන කුරිකඩ්ඩුවාන් ජැටියේ ඉඳලා යන්න ඕනෑ නාවික හමුදාව යටතේ පාලනයවෙන පෞද්ගලික බෝට්‍ටුවලින්.

පැයකට ආසන්න
මුහුදු ගමනකට පස්සේ ...
ඩෙල්ෆ්ට් දූපතේ උතුරු වෙරළේ පිහිටා තියෙන ජැටිය දක්වා බෝට්‍ටුවෙන් යා යුතු කිලෝ මීටර් දහයක විතර දුර යා ගන්න පැය බාගෙකයකට වැඩි කාලයක් ගත වෙනවා. තැඹිලිපාට ආරක්ෂක ජැකට්‍ටුව ඇඳගෙන, පුංචි කවුලුවකින් බෝට්‍ටුවට රිංගලා, ලෑලි බංකුවෙ වාඩිවෙලා යන ඒ ගමන අපූරු අත් දැකීමක්.  මගීන් අතර වැඩිපුර ඉන්න දූපත් වාසීන් සියලු දෙනාම දමිල ජාතිකයින්. ඔවුන් හා අප අතර තිස් වසරක යුද්ධයක් පැවතුනාදැයි කිසිසේත්ම සිතා ගත නොහැකි තරම්. ඔවුන් කිසිවෙකුගෙන් කිසිදු නොරුස්නා බවක් පළවුනේ නෑ.

ඩෙල්ෆ්ට් ජැටිය මතදී ...
ගමනට හුරු පුරුදු පොලිස් සැරයන්වරයෙක් අපිත් එක්ක සිටි නිසා ඩෙල්ෆ්ට් දූපතේ ජැටියට ළඟා වෙලා, දූපතේ සංචාරයට අවශ්‍ය වාහන සොයා ගැනීම් ආදියට කරදරයක් උනේ නෑ. සාධාරණ ගාස්තුවකට, දූපතේ සංචාරයට සුදුසු විවෘත රථ දෙකක්, අපව ‍රැගෙන යන්න ජැටිය ආසන්නයටම ඇවිත් තිබුනා. දූපතේ වැසියන්ට එහා මෙහා යන්න ලංගම බස් රථයක් යොදවලා තිබුනා.


හුණුගල් කුට්ටිවලින්  තැනූ තාප්ප හා තල් අතුවලින්  තැනූ වැටවල්වලින් වෙන්කර තිබුනු ගෙවතු අතරින් වැ‍ටුනු, ප‍ටු පාරවල් දිගේ ගිය අපි දූපතේ දකුණු අර්ධය වෙත  ළඟා වුනා. මුහුදු වෙරළ දක්වා විහිදුනු තණ බිම්වල අතරින් පතර  මිටි ශාක පඳුරු විසිරිලා තිබුනා. වෙරළ ආසන්නයෙ හිටපු පෝනියො රංචුවක් ලඟටම අපි ගිය වාහන පැදෙව්ව නිසා නිසා ඔවුන්ව හොඳින් දැක බලා ගන්න ලැබුනා. සාමාන්‍ය අශ්වයෙකුට වඩා උසින් අඩු නිසා උන් 'පෝනින්'ලෙස හඳුන්වන එක නිවැරදියි. ඕලන්ද කාලයෙ ඩෙල්ෆ්ට් දූපතේ පවත්වාගෙන ගිය අශ්ව ගාල්වල ඔවුන් රඳවලා හිටිය බව අහන්න ලැබුනා. රංචුවෙ හිටපු සමහර සත්තුන්ගෙ හන සලකුණුත් දකින්න තිබුනා. ඒ සත්තු මිනිස් ඇසුරෙ ඉඳලා පස්සෙ වල් වැදුනා විය යුතුයි. සිත්ගන්නාසුළු කොණ්ඩ මෝස්තරය අස්සෙන් අපි දිහා බලපු නායක පෝනියා වැඩි සුහද බවක් පෙන්නුවෙ නෑ. පරිසරයෙ තියෙන දැඩි ක‍ටුක බව නිසාම ඔවුන් අතර වැඩි නිරෝගී බවක් පේන්න තිබුනෙ නෑ. නියං කාලෙදි පානීය ජලය නොමැතිකම නිසා ඔවුන් පීඩා විඳින බව දැනගන්න ලැබුනා.

පැරණි බලකො‍ටුව
පෝනියො බලලා ආපසු එන අතරෙදි අපි ඩෙල්ෆ්ට් දූපතේ තියෙන අනෙක් වැදගත් තැන් කීපයක් බලන්න ගියා. දූපතේ තියෙන රෝහල් භූමියෙම තියෙන පැරණි ගොඩනැගිල්ල එයින් එකක්. ඉතා පුළුල් බිත්ති සහිත ඒක ආරක්ෂක බලකො‍ටුවක් බව පැහැදිලියි. පෘතුගීසි යුගයෙදි ඉදි කරලා නිසැකවම පස්සෙ ඕලන්ද කාලෙදිත් භාවිතා කරන්න ඇති. දූපතේ තියෙන පැරණි ගොඩනැගිලි සේරම වගේ ඉදි කරලා තියෙන්නෙ හුනුගල් කුට්ටිවලින්.

පරෙවි කූඩුව
දූපතේ තියෙන තවත් එක විශේෂ ස්ථානයක් තමයි පැරණි පරෙවි කූඩුව. ශක්තිමත් පාදමක් මත හුනු ගලෙන් නිමවලා තියෙන ඒක තවමත් ඉතා හොඳ තත්වයෙන් තිබුනත්, පරෙවියො ඉන්න බවක් නම් පෙනුනෙ නෑ. ඉස්සර කාලෙ පණිවිඩ හුවමාරුව සඳහා පරෙවියන් යොදාගත්තු බව අපි අහලා තියෙනවනෙ. ඒ අසලම තවත් පැරණි ගොඩ නැගිලි කීපයක නටබුන් දකින්න පුළුවන්. ඉන් එකක් පහුගිය ශත වර්ෂයේ මුල් කාලෙ උසාවියක් හැටියට භාවිතා කරලා තියෙනවා. පෘතුගීසීන්ගෙ පරිපාලන මධ්‍යස්ථානය එතන තිබුණු බවට විශ්වාස කරනවා.

දූපතේ තියෙන පැරණි අශ්ව ගාල, පසු කාලෙක ඉංග්‍රීසි යුගයෙදි ඉදි කරපු එකක් හැටියට සැලකෙනවා. අශ්වයින් බෝ කිරීම ව්‍යාපාරයක් හැටියට සිදුවෙලා තියෙනවා. ඒ ආසන්නයෙ තැනක තුබුණු යෝද පා සලකුණ බලන්නත් අපිව එක්ක ගියා. එතන තිබුණු හුණුගල් තට්‍ටුව පා සලකුණක හැඩයට ඛාදනය වීමෙන් ඒක නිර්මාණය වෙලා තියෙන බව පේනවා.

ස්ථූපයේ නටබුන්
ඩෙල්ෆ්ට්වල දැන් ඉන්නේ සේරම වගේ හින්දු භක්තික දමිල අය උනාට, අතීතයෙදි බෞද්ධයින් සිටි බවට එහි ඇති චෛත්‍යයේ නටබුන් පැහැදිලි සාක්ෂියක්. ශ්‍රි මහා බෝධිය වැඩමවන අතරෙ සංඝමිත්තා තෙරණිය ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැලා විවේක ගත් බවත්, එය සිහිවීම සඳහා චෛත්‍යය ඉදි කල බවත් කියවුනා.

බැඕබැබ් ගස
දූපතේ තියෙන යෝධ බැඕබැබ් (Baobab) ගස තවත් එක සුවිශේෂී සලකුණක්. අප්‍රිකානු මහාද්වීපයෙ, ඉතියෝපියානු සම්භවයක් ඇති බැඕබැබ් ගස ලොව පුරා තැන තැන ‍රැගෙන ගියේ මුස්ලිම් වෙළඳුන් බව කියවෙනවා. පුළුල් කඳක් සහිත ඒ ගස්වල විශේෂය අමුතු හැඩය නිසා කැපී පෙනෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන ගහේ කඳේ තියෙන කුහරය තුළ මිනිසෙකුට පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන්.

දූපතේ කෙලවරක තියෙන 'ලියලන කොරල් ගල' බලන්නත් අපි ගියා. ලියලා වැඩෙන හැඩයක් තියෙන ඒ කොරල් කුට්ටිය ලඟ තිබුනු සලකුණුවලින් ඒක දූපත් වැසියන්ගෙ පුද පූජා ලබන බව පෙනුනා. නමුත් විද්‍යානුකූලව ඒ වගේ 'වැඩීමක්' නම් වෙන්න බෑ. සමුද්‍රීය පරිසරයක වෙසෙන 'පොලිප්' (Polyp) නමින් හඳුන්වන අපෘෂ්ඨවංශික සතා තමගෙ ශරීරය වටා ස්‍රාවය කරගන්න කැල්සියම් කාබනේට් ආවරණය නිසා තමයි හුනුගලක් නිර්මානය වෙන්නෙ. හුණුගලක් කියන්නෙ ඒ වගෙ සත්තු විශාල සංඛ්‍යාවකගෙ ජනපදයක්. ගොඩ බිම වියලි පරිසරයක ඒ සත්තුන්ට පවතින්න බෑ.  ඒත් දූපතේ වැඩිහිටියො කියනවලු ඒ අය පුංචි කාලේ ඒ ගල තිබුනෙ දැනට වඩා කුඩාවට කියලා.

අපි දිවා ආහාරය ගත්තෙ ජැටිය ආසන්නයෙ තිබුනු ගෙදරකින්. ඒක ඉතාම සාධාරන මිලකට සැපයුණු සරල, ප්‍රණීත, ආහාරයක්. මාරයා  මලයා හරි, වෙනි  මලයා හරි හිටියනම් ෂුවර් එකටම බත් පිඟානෙ පින්තූරයක් අරගෙන FB එකේ දාලා, බලන එවුන්ට පිස්සු හදවනවා. කස්ටියෙ හිටපු ඇම්ඩන්ලා කීපදෙනෙක් 'කෑමට පෙර' තේ හැඳි දෙකක් විතර දාගන්න ෆුල් ට්‍රයි එකක් දැම්මත් හොයා ගන්න බැරි උනා. කොහොම උනත් ඩෙල්ෆ්ට් දූපතේ තනි අකුරේ කර්මාන්තය ජයට කෙරෙනවා කියලා දැනගන්න ලැබුනා.

ලියලන ගල
ආපහු එන්න බෝට්‍ටුව එනකම් ජැටිය ලඟ බංකුවක වාඩිවෙලා ඉන්න කොට, පුංචි කොලුපැටියෙක් ආත්තම්මත් එක්ක ඇවිත් අපි ඉස්සරහින් වාඩි උනා. අපි අපේ ගමේ පාරක යන එනකොට දකින පැටවුන්ගෙ මූණෙ දකින අහිංසකකම අඩුවක් නැතුවම ඒ කොලුපැටියගෙ මූණෙත් තිබුනා. ලොකුවෙනකොට ඒකගෙ මොළේට, අඩි දහයක් ඉදිරිය නොපෙනෙන දේශපාලකයෙක් විසින් වර්ගවාදයෙ විස එන්නත් කළේ නැත්නම්, කවදා හරි රටට ලෝකෙට වැඩදායක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට, නැවත කොහේදි හරි ඒ කොලුවා මුණ ගැහේවි කියලා මට හිතුනා.,


මගෙ විජිතයට ගොඩවෙලා, ලියවෙන දේ කියවා මට දිරි දෙන සියලු යහලු යෙහෙලියන්ටත්, හැමෝගෙම අඹු, සැමි, දරු පැටවුන්ටත් සුබම සුබ නව වසරක් පතනවා ...!


 මෙතනට කොටලා මාරයා මලයගෙ බුකියෙන් තව පින්තූර බලන්න.




ආත්තම්මා ටවුමෙදි ඉයිස්ක්‍රීම් එකක්
අරන් දෙනවා කිව්වා ...
කෝ මේ බෝට්‍ටුව ඉක්මනට එන්නෙ නෑනෙ ...!



Friday, December 14, 2012

31. හෙන්රි එංගල්බ්‍රෙෂ්ට්

කිසිදා නොකළ වරදකට හිරේ දැම්මොත් ඔබ මොකද කරන්නෙ ...? ඊට විරෝධය පාන්න ඔබට පුලුවන්ද හිරකාරයන්ට දෙන ජම්පරේ ඇඳීම ප්‍රතික්ෂේප කරලා, තුන් මාසයක් ඉර එලිය නොදැක, හිර කූඩුවෙ ඇතුලෙ හීතල සිමෙන්ති පොලව උඩ හෙලුවැල්ලෙන් නිදා ගන්න ...?

මේ පින්තූරයෙ ඉන්න මිනිසා එහෙම කරපු කෙනෙක්. ඒ වගෙ මරුමුස් පොරක් මගේ වෘත්තීය පුරෝගාමියා වීම ගැන මගෙ හිත ඇතුලෙ පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ නිසයි මම අද හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් ගැන ලියන්න හිතුවේ.

 එංගල්බ්‍රෙෂ්ට් දකුණු අප්‍රිකානු බෝයර් (Boer) ජාතික සටන් කරුවෙක්. ඕලන්ද, ජර්මානු හා ප්‍රංශ මිශ්‍ර සම්භවයක් ඇති බෝයර් ජාතිකයින් 18 - 19 සියවස්වල දකුණු අප්‍රිකාවෙ දි  ඉංග්‍රීසි අධිරාජ්‍යය හා සටන් වැදුනා. පස්සෙ කාලෙක දි සටන් පරාද වෙලා, ඉංග්‍රීසීන්ගෙ අත් අඩංගුවට පත් වෙලා, 1900 දි ලංකාවට ගෙනාපු බෝයර් ජාතික යුද සිරකරුවන් පන්දහසක  පිරිසක් අතරෙ හෙන්රි එංගල්බ්‍රෙෂ්‍ටුත් හිටියා.

මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් 1902 දි දකුණු අප්‍රිකාවෙ ප්‍රිටෝරියාවෙදි අත්සන් තබාපු ගිවිසුමකට අනුව, එවකට හිටපු එඩ්වඩ් ඉංග්‍රීසි අධිරාජයාට පක්ෂපාතිත්වය දක්වලා නිදහස ලබාගෙන ආපසු තමන්ගෙ මව් රට බලා නැව් නැග්ගා. ඒත් සිරකරුවන් අතරෙ හිටපු එංගල්බ්‍රෙෂ්ට් දිගින් දිගටම එංගලන්තෙ රජුට හිස නැමීම ප්‍රතික්ෂේප කරලා, තව දුරටත් සිරකරුවෙක් විදියටම ලංකාවෙ ‍රැඳිලා හිටියා.

1903 සැප්තැම්බර් වෙනකොට පන්දහසක් සිරකරුවන් අතුරින්, ඉංග්‍රීසි රජ්ජුරුවන්ට පක්ෂපාතී වීම ප්‍රතික්ෂේපකරලා ඉතුරුවෙලා ඉඳලා තියෙන්නෙ එංගල්බ්‍රෙෂ්ට් ඇතුලු බෝයර් සිරකරුවන් පස් දෙනෙක් විතරයි. ඔවුන්ගෙන් දෙන්නෙක් පස්සෙ යාපනයටත්, තවෙකෙක් මඩකලපුවටත්, එංගල්බ්‍රෙෂ්ට් ඇතුළු දෙදෙනෙක් හම්බන්තොටටත් යවනු ලැබුවා. නමුත් අනෙකුත් සිරකරුවන් හතර දෙනාම කෙටි කලකින්ම මිය පරලොව ගිය නිසා 1905 වනවිට ලංකාවෙ ඉතිරිවෙලා හිටපු එකම බෝයර් සිරකරුවාවුනේ එංගල්බ්‍රෙෂ්ට් විතරයි.

හම්බන්තොට කච්චේරියෙන් ගෙවාපු, දිනකට රුපියල් 1.25 ක දීමනාවෙන් ජීවිතේ ගැට ගහගෙන, අතු පැලක ජීවත්වුනු එංගල්බ්‍රෙෂ්ට් ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණපාන්න සිද්ද උනා කියලා වාර්තාවෙලා තියෙනවා. නමුත් ඔහු කවදාවත් ඉංග්‍රීසීන්ට හිස නමන්න හිතහදාගත්තෙ නෑ. මේ කාලයෙදි එවකට ලංකාවෙ ඉංග්‍රීසි ආන්ඩුකාරයා දවසක්  හම්බන්තොට දි එංගල්බ්‍රෙෂ්ට් මුණ ගැහිලා ඇහුවලු 'මම අහලා තියෙනවා ඔබ ලංකාවෙ ඉන්න එකම බෝයර් සිරකරුවා කියලා ... ඇයි ඔබ පක්ෂපාතිත්වය දක්වලා නිදහස ලබා ගන්නෙ නැත්තෙ ...?' කියලා. එතකොට එංගල්බ්‍රෙෂ්ට් කිව්වලු 'මම අහලා තියෙනවා ඔබ ලංකාවෙ ආණ්ඩුකාරයා කියලා. ඒ ප්‍රශ්ණයට උත්තරයක් දීලා ඔබතුමා එක්ක තියෙන හොඳහිත නැති කර ගන්න මම කැමති නෑ ...' කියලා.

ඒ සෘජු පිළිතුර නිසාම ආණ්ඩුකාර බ්ලේක් තීරණය කළා එංගල්බ්‍රෙෂ්ට්ව ඒ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තිබුණු යාල රක්ෂිතයෙ පළමු පාලකයා හැටියට පත් කරන්න. ඉතින් හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් කියන යකඩ මිනිසා අපේ වෘත්තීය පුරෝගාමියා බවට පත් උනේ ඔන්න ඔහොමයි.

යාලට ගිහිල්ලා වැඩ පටන් ගත්තු එංගල්බ්‍රෙෂ්ට් තමන්ගෙ රාජකාරිය අකුරටම ඉ‍ටු කළා. ඒ කාලෙ තිබුනු නීති යටතෙ බලපත්‍රයක් අරගෙන,යාල රක්ෂිතය තුළ දඩයමේ යෙදෙන්න දඩයක්කාරයන්ට  ඉඩ දුන්නා. දඩයමට ඉඩක් නැති ජාතික උද්‍යානයක් බවට යාල රක්ෂිතය පෙරලුනේ එයින් බොහොම කාලයකට පස්සෙ 1938 දි. ඉතාම දක්ෂ වෙඩික්කාරයෙක් වුනු එංගල්බ්‍රෙෂ්ට් වරක්  ගහක් උඩ ඉඳලා තමන් වෙත පැනපු කොටියෙකුට වෙඩි තියලා මරා දැම්මලු. ඔහු ලඟ ඉතාම දුර්ලභ විකෘති මුව අං එකතුවක් තිබුණු බවත් වාර්තා වෙලා තියෙනවා.

විසිවෙනි සියවසේ දෙවනි දශකයෙදි ඇවිලුනු පළමුවෙනි ලෝක සංග්‍රාමය නැවත වරක් එංගල්බ්‍රෙෂ්ට් වෙත ගෙන ආවෙ අවාසනාව. පළමු ලෝකෙ සංග්‍රාමය කාලෙ ඉන්දියන් සාගරය දෙවනත් කරපු කරපු 'ඇම්ඩන්' ජර්මානු යුද නැව 1914 මදුරාසි වරායට පහර දීලා ඇවිත් ලංකාව අවට දකුණු මුහුදෙ කාලයක් ‍රැඳිලා හිටියලු. ඒ කාලය තුළ ඇම්ඩන් නැවට හරක් මස් සැපයුවා කියලා චෝදනා කරලා නැවත වරක් එංගල්බ්‍රෙෂ්ට්ව ඉංග්‍රීසීන්ගෙ සිරභාරයට පත් උනා. 

මහනුවර අඳුරු සිරකුටියකට සීමාවුනු ඊලඟ මාස තුනක කාලය තුළ එංගල්බ්‍රෙෂ්ට්ට කිසිදු නීති සහායක් ලබාගන්න ඉංග්‍රීසි ආණ්ඩුව අවස්ථාවක් දීලා නෑ. තමන්ට එල්ලවුනු චෝදනාවන් ප්‍රතික්ෂේප කළ මේ යකඩ හදවතක් ඇති මිනිසා, සිර ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කරලා සම්පූර්ණ කාලයම නිරුවතින් ගත කළ බව කියවෙනවා.

මාස තුනකට පස්සෙ නිදහස් කෙරුණු එංගල්බ්‍රෙෂ්ට් ආපහු යාලට ආවත් ඔහුට කිසිදු සහනයක් ලැබුනේ නෑ. වසර කීපයකට පස්සෙ 1922 දි බලවත් සේ රෝගාතුර වූ ඔහු, හම්බන්තොට රෝහලට  ‍රැගෙන එමින්  සිටියදී සදහටම මෙලොවින් සමුගත්තා.

එංගල්බ්‍රෙෂ්ට් වෙත එල්ලවුනු චෝදනාවන්වලින් ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්වුනේ, ඔහුගෙ මරණයෙන් වසර නමයකට පස්සෙ. 1931 දි නැවතත් කොලඹ වරායට ආපු ඇම්ඩන් නැවේ ඒවෙනකොට කපිතාන්වරයා හැටියට කටයුතු කලේ, යුද්ධ කාලෙ දෙවෙනි කපිතාන්වරයා හැටියට කටයුතු කළ එස්. විතොෆ්ට්. යුද කාලය තුළ ඇම්ඩන් නැව ලංකාව සමග කිසිම සබඳතාවයක් නොපැවත්වූ බව ඔහු ලිඛිතවම සහතික කරලා තියෙනවා.

කිසිදු ලාබ ප්‍රයෝජනයක් සඳහා ඉංග්‍රීසි ආණ්ඩුවට සිය ප්‍රතිපත්ති පාවා නොදීපු හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් නමැති දැවැන්ත ප්‍රතිරූපය  ඉදිරියේ, තුට්‍ටු දෙකේ ලාබයකට හතරට නැවිලා ඕනෑම පිම්පියෙකුට වලිගෙ වනන්න බලාගෙන ඉන්න අපි මොක්කුද කියලා මට හිතෙනවා.

(හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් ගැන මේ තොරතුරු ලබා ගත්තේ ආර්. එල්. බ්‍රෝහියර් ගේ 'Seeing Ceylon in vistas of Scenery, History, Legend and Folklore' පොතෙන්)







Tuesday, November 27, 2012

30. අලින්ට කොලර්

වනජීවී කතා අහන්න බ්ලොග් යාලුවන්ගෙ වැඩි කැමැත්තක් තියෙනවා වගේ පේන නිසා, මේ පාරත් අලි කතාවක් කියන්න හිතුනා.

අලි බැලිල්ලත්, බලි බැලිල්ල වගේම ඇති නොවෙන බැලිල්ලක් උනාට, ගෙවල් කඩන, මිනී මරණ අලි ඉන්න පැත්තකට ගිහිල්ලා අලි ගැන මතක් කෙරුවත් මිනිස්සුන්ට මල පනිනවා. සමහර පලාත්වල මිනිස්සු අලින්ගෙන් ඒ තරම්ම දුක් කරදර විඳිනවා. ඉතින් ඒ නිසාම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් රටේ ඉන්න නාහෙට නාහන හොර අලි ටික පාලනය කර ගන්න නොවිඳිනා දුක් විඳිනවා. ඒත් කවදාවත්, කිසි කෙනෙක්ගෙන් හොඳක් නම් අහලා නෑ.

වන අලි කලමනාකරණයේදි උන් යන එන, ගැවසෙන තැන්, වසරක  ඍතු චක්‍රයක් තුළ භාවිතා කරන භූමි ප්‍රමාණය (නිවාස පරාසය - Home Range) වගෙ දේ ගැන නිවැරදි තොරතුරු ඉතාම වැදගත් වෙනවා. පලපුරුද්දෙන් ඒ වගේ තොරතුරු අපේ කස්ටිය දැනගෙන හිටියත් මෑත කලෙක ඉඳන් ඒ වගෙ තොරතුරු ලබාගන්න ඉතාම විද්‍යාත්මක ක්‍රමවේද දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා. ඒ සඳහා ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු (පෘතු) වගෙ බාහිර පර්යේෂකයන්ගෙ සහායත් උපරිමයෙන් ලැබෙනවා.

වන අලින්ගෙ සෘතු චලන රටාව ගැන (Seasonal Movement) නිවැරදි තොරතුරු ලබා ගන්න පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි ගුවන්විදුලි සංඥා යන්ත්‍රයක් අලින්ගෙ බෙල්ලෙ එල්ලන එක. ඒකෙන් නිකුත් වෙන සංඥා අනුව අලියා ඉන්න තැන නිශ්චිතව දැන ගෙන සිතියම්ගත කරගන්න පුලුවන් (Radio Telemetry). කියන එක ලේසි උනාට ඒක කරන එක ලේසි කෙලියක් නෙමෙයි. ඒ වගෙ යන්ත්‍රයක් සවි කරපු කර පටියක් (Radio Collar) බෙල්ලෙ එල්ලනකම් උං උඩ බලාගෙන ඉන්නෙ නෑ.

දියුණු රටවල වන සත්තුන්ට ගුවන් විදුලි සංඥා යන්ත්‍රයක් පලඳවලා තොරතුරු ‍රැස් කරන තාක්ෂණය ගැන මුලින්ම අපිට අහන්න ලැබුනෙ 1980 දශකයෙ මුලදි උනත් දෙපාර්තමේන්තුව ඒ තාක්ෂණය භාවිතා කරන්න පටන් ගත්තෙ 1990 දශකයෙ මැදදි. ඒ කාලෙ දෙපාර්තමේන්තුවෙ ඒ පිළිබඳ උපදේශකවරයා උනේ ඉන්දියාවෙ කර්ණාටකයෙන් ආපු අජේ දේසායි. අලියෙක් පස්සෙ ගිහිල්ලා නිර්වින්දනය කරලා බිම
ඉස්සර මේ වගේ අතේ ගෙනයා හැකි
ඇන්ටෙනාවකින් තමයි සංඥා ලබා ගත්තෙ
පෙරලගෙන, සංඥා යන්ත්‍රය බෙල්ලෙ බැඳලා යවලා, ඊට පස්සෙ ඇන්ටෙනාවකුත් උස්සගෙන, යන්ත්‍රයෙන් නිකුත් වෙන සංඥාව ඔස්සේ අලියා පස්සෙ ගිහින් ඌ ඉන්න තැන දැනගෙන, සිතියමක සලකුණු කරගන්න අත්දැකීම අපි ඉස්සර වෙලාම ලැබුවෙ අජේ එක්ක.

ඉතින් ඒ ක්‍රමය භාවිතා කරලා අවුරුදු දෙක තුනක් එක දිගටම යන්ත්‍රයට බලය සැපයෙන බැටරියෙ ජීව කාලය තුළ, අලියා යන එන තැන් ගැන තොරතුරු සිතියම් ගත කරගන්න පුලුවන්. ඒ කාලෙ එකතු කරගත්ත තොරතුරු දෙපාර්තමේන්තුවෙ අලි කලමනාකරණ කටයුතුවලට ලොකු උදව්වක්වුනා. වන අලි රංචු ගැන තොරතුරු දැන ගන්න, රංචුවල නායක ඇතින්නියන්ටත්, අලි කරන හොර තක්කඩිකම් ගැන දැන ගන්න තනි පිරිමි අලින්ටත් සංඥා යන්ත්‍ර පලඳවලා තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මනින් වැඩෙන පොඩි පැටවුන්ට කොලර් දාන්නෙ නෑ, ටික කලක් යනකොට පටියට බෙල්ල හිරවෙන නිසා. පටිය ගැලවිලා වැටෙන වෙලාවලුත් තියෙනවා. එකපාරක් මින්නේරිය පැත්තෙ යන්ත්‍රයක් පලඳවපු අලියෙක්ගෙන් එක දිගටම එකම තැනකින් සංඥා ලැබුනා. අපේ කස්ටිය අලියා මැරිලා කියලා හිතලා හොයාගෙන යනකොට සංඥා යන්ත්‍රය සවි කරපු පටිය ගෙදරක ඇඳක් යට තිබිලා හම්බ උනාලු.  පටිය කොහොම හරි අලියගෙ බෙල්ලෙන් ගැලවිලා වැටිලා. ඒ ගෙදර මිනිහා කැලේ තිබිලා ඒක ඇහිඳගෙන ඇවිත් ඇඳ යට හංගගෙන.

මේ තාක්ෂණය මේ වෙන කොට හුඟක් දියුණු වෙලා. GPS (Global Positioning System) තාක්ෂණය සාමාන්‍ය භාවිතයට ආවට පස්සෙ දැන් ඒක අලින්ගෙ රේඩියෝ කොලර්වලටත් යොදා ගන්නවා. අලියට පලඳවන GPS සංඥා යන්ත්‍රය අහසෙ රඳවලා තියෙන සංනිවේදන චන්ද්‍රිකා ඔස්සේ අලියා ඉන්න තැන හරියටම නිවැරදිව දක්වනවා. ඒ අනුව සිතියම් සකසා ගන්න පුලුවන්. මෑත කාලෙදි දෙපාර්තමේන්තුව අල්ලලා ඈත කැලෑවලට ගෙනිහින් දාපු ( පරිස්ථානගත කිරීම - Capture & Translocation) මැර අලි සේරටම වගේ කොලර් දාලා උන්ගෙ හැසිරීම පසු විපරම් කළා. එහිදී ලැබුණු සමහර තොරතුරු විශ්මයජනකයි.

එකපාරක් හම්බන්තොට කුණුවලක බැහැගෙන ජරාව කන්න පුරුදු වෙලා හිටපු අලියෙක් අල්ලලා කොලර් එකක් දාලා ගෙනිහින් යාල මැණික් ග‍ඟෙනුත් එහා පැත්තට දැම්මා. සම්පූර්ණ දුර කිලෝ මීටර් හතලිහකට වැඩියි. ඌ දවස් හතරක් ඇතුලත විදුලි වැටකිනුත් පැනලා ආපහු හම්බන්තොටට ඇවිත් ආයෙත් ජරාව කන්න පටන් ගත්තා. මාදුරු ඔයට ගෙනිහින් දාපු ගල්ගමුව පැත්තෙන් අල්ලපු අලියෙකුත් ඒ වගේම දවස් කීපයකට පස්සෙ ආපහු ගමට ආවා පාර හොයාගෙන. තවත් ඒ වගෙ ගෙනිහින් දාපු අලියෙක් තිරිකුණාමලේට ගිහිල්ලා මූදෙ පැන්නා. පස්සෙ නේවි එකේ කොල්ලො ගිහිල්ලා උගෙ කකුලට කඹයක් බැඳලා ඇදගෙන ඇවිත් ගොඩට දැම්මා. ඒ පාර ඌ ගිහිල්ලා ලිඳක පැනලා මැරුණා.

ඉතින් මේවගෙ දේවල්වලින්  වනේ ඉන්න අලි දෙපාර්තමේන්තුවට උගන්නපු පාඩම තමයි අපි ගහන පදේට නටන්න උං ලෑස්ති නෑ කියන එක. උපන් දා ඉඳලා නෑදෑයොත් එක්ක ජීවත්වුනු ගම දාලා නන්නාඳුනන පලාතකට ගිහිල්ලා අතරමං වෙනවට වැඩිය, ආපහු එන්න පාර හොයාගන්න බැරිනම් මූදෙ හරි ලිඳකට හරි පැනලා මැරෙන එක හොඳයි කියලා උන්ට හිතෙනවා ඇති. අලියෙක් වියලි කාලයෙදි, තෙත් කාලයෙදි, කන්න බොන්න තියෙන තැන්, ඒවට යන එන පාරවල් දන්නෙ තමන් උපන් දා ඉඳං ජීවත්වෙන නිවාස පරාසය තුළ දි විතරයි. ජීවිතේට නොදැකපු පලාතකට අරගෙන ගිහිල්ලා දැම්මහම, කරකවලා අතහැරියා වගේ මඤ්ඤං වෙනවා.

ඉතින් මේ අත් දැකීම් නිසා දෙපාර්තමේන්තුව දැං හිතුමතේට වල් අලි අල්ලලා තැන් තැන්වල ගිහිල්ලා දාන්නෙ නෑ. අල්ලා ඉවත් කිරීමේ ක්‍රමවේදය දැන් භාවිතා කරන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවලදි විතරයි.   ඉදිරියෙදි ලුණුගම්වෙහෙර, හොරොව්පොතාන වගෙ තැන්වල විශාල ප්‍රදේශ කො‍ටු කරලා 'අලි ‍රැඳවුම් - Elephant Holding Ground' ඇති කරලා ඒවට විතරක් අල්ලගන්න මැර අලි ගෙනිහින් දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒවා තුළ අලින්ට අවශ්‍ය තරම් ආහාර හා ජලය සැපයෙන විදියට පරිසර කළමනාකරණය කෙරෙනවා.


ඉතින් මේ සමග තියෙන පින්තූරවලින් අලි කොලර් පැලඳ වීමේ මෙහෙයුමක් පියවරෙන් පියවර බලා ගන්න
පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය ධර්මකීර්ති
පුලුවන්. 2009 නොවැම්බර් මාසෙදි කවුඩුල්ල ආසන්නයෙ තැනක හිටපු රංචුවක නායක ඇතින්නියෙකුට තමයි මේ කොලර් එක පැලඳුවේ. දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පශු වෛද්‍ය ධර්මකීර්ති තමයි කටයුත්ත මෙහෙයුවෙ. වන අලි ගැන ප්‍රකට පර්යේෂකයෙක්වන ආචාර්ය, වෛද්‍ය පෘතුවිරාජ් ප්‍රනාන්දු සහ එයාගෙ බිරිඳ ජෙනිෆර් ගෙ තාක්ෂණික සහායත් ලැබුණා.

 වෛද්‍ය ධර්මකීර්ති රබර් ඇහැ දාගෙන ඉන්දෙද්දි නිර්වින්දන බෙහෙත අඩංගු විශේෂ සිරිංජය සකස් කරන්නෙ වෛද්‍ය තාරක. අධ්‍යයනයේ අරමුණට ගැලපෙන අලියා ‍තෝරගෙන හොඳට නිරීක්ෂණය කරලා, ශරීර බර, සෞඛ්‍ය තත්වය අනුමාන කරලා තමයි බෙහෙතෙ මාත්‍රාව (Dose) තීරණය කරන්නෙ.

ගුවන් විදුලි සංඥා නිකුත් කරන යන්ත්‍රය සවි කරලා තියෙන්නෙ ඉතාම ශක්තිමත් පටියකට. බාධාවක් නැතුව අහසෙ තියෙන සන්නිවේදන චන්ද්‍රිකාවලින් එන සංඥා ලබා ගන්න ඕන නිසා යන්ත්‍රය අලියගෙ බෙල්ලෙ උඩ පැත්තෙ රඳවන්න ඕන. ඒ සඳහා තමයි පටියෙ යට පැත්තෙ බරකුත් යොදලා තියෙන්නෙ.

දසනායක සූදානම් වෙමින්
නිර්වින්දන බෙහෙත අඩංගු සිරිංජය විදින්න විශේෂ තුවක්කුවක් (Capture Gun) භාවිතා කරනවා. අඩවි ආරක්ෂක නිලධාරි දසනායකට තමයි ඒ වගකීම පැවරෙන්නෙ.

ඊට පස්සෙ කැලේ ඇතුලෙ ඉන්න අලි රංචුව හොයාගෙන ගියා. මෙහි දී පෙරමුණ ගන්නෙ අඩවි ආරක්ෂක නිලධාරි රංජිත් විජිත සහ ගෝල බාල පිරිස.

අලි සළකුණු
සළකුණු ඔස්සේ අලි රංචුව සොයා යන ගමන
අලි රංචුවෙ අඩි සළකුණු, දුම් දාන උණු උණු බෙටි, අතු කඩාගෙන කාපු සලකුණු, අතු ඉති නැමිලා තියෙන පැත්ත, අලි ගඳ වගේ සලකුණු ඔස්සේ අලි රංචුව ඉන්න තැන ආසන්නයට කස්ටිය එක්ක යන්න ඔවුන් දක්ෂයි. අලි රංචුවෙ සද්ද බද්ද, ඇහෙන නෑහෙන මානයට ගිහිල්ලා කස්ටිය නවත්තලා රංජිත් සහ දසනායක දෙන්නා විතරක් අලි රංචුව ගාවට යනවා. රංචුවට ඉව නොවැටෙන්න ලඟා වෙලා, නියමිත සතාටම බෙහෙත විද ගන්න එක දසනායක ගෙ රාජකාරිය. ඔහුට ආරක්ෂාව සපයන්නෙ රංජිත්. උන් දෙන්නා වැඩේ කරනකම් අනිත් එවුන් දෙගිඩියාවෙන් බලාගෙන ඉන්නවා. ඒ රාජකාරිය මීට කලින් කරපු අඩවි ආරක්ෂක නිලධාරි මන්සූර් මහත්තයා කාලෙකට ඉස්සර, නිර්වින්දක බෙහෙත කාගෙනම ආපහු හැරිලා ආපු අලියෙක් ගහලා එතනම මැරුණා.

අලි රංචුව මේ ළඟම, රංජිත්ගෙන් කස්ටියට උපදෙස්.
දකුණු කෙලවරේ බිම ඉඳගෙන ඉන්නේ ජෙනිෆර්,
කැප් එක දාගෙන, පි‍ටුපාලා, හිටගෙන ඉන්නේ පෘතු
කස්ටියට හුස්ම වැ‍ටුනේ නියමිත සතාට, අවශ්‍ය විදියට බෙහෙත එන්නත් උනා කියලා ආපහු ආපු දසනායක දැනුම් දුන්නට පස්සෙ. නිර්වින්දක බෙහෙත ක්‍රියාත්මක වෙලා සතා බිම වැටෙන්න විනාඩි දහයක් විතර යනවා. සතා හොයාගෙන යාම ආරම්භ කරන්නෙ ඊට පස්සෙ.

නිර්වින්දනය වූ ඇතින්න හොයාගෙන ..
හැකි ඉක්මනින් සතාව හොයාගෙන ගුවන්විදුලි සංඥා යන්ත්‍රය සවි කරපු කොලර් එක අලියගෙ බෙල්ලෙ පලඳවන එක තමයි ඊලඟ අභියෝගය. ඒකට ලැබෙන්නෙ විනාඩි විස්සක විතර කාලයක්. ඒ කාලය අවසානයේදි කොලර් එක දැම්මත් නැතත්, ප්‍රති නිර්වින්දක බෙහෙත (Antidote) එන්නත් නොකළොත් අලියා සෙත්ත පෝච්චි. නැවතත් සලකුණු ඔස්සේ ගිහින් වැටිලා හිටපු සතාව හොයාගෙන කස්ටිය ගේමට බැස්සා. ඒ අස්සෙ ධාරානිපාත වැස්සක් වහින්න ගත්තා. නිර්වින්දනය කරපු සතෙක් තෙමෙනවා කියන්නෙ ලැබෙන කාලය තවත් කෙටි වීමක්.

ඇතින්නට ස්වසන අවහිරයක් ඇත්දැයි සොයා බලමින් ..
වේගවත්ව ...
ඒ වෙලාවට කණ්ඩායමේ හැම කෙනෙක්ම තමන්ගෙ රාජකාරිය දැනගෙන, ඒක හරියට කරන්න ඕනෑ. දොස්තර මහත්තුරු අලියගේ ස්වසනය, හෘද ස්ඵන්දනය වගේ දේවල් ගැන විමසිලිමත් වෙනකොට තව කස්ටියක් අලියගෙ උස, යටි පතුලෙ පරිධිය වගේ මිනුම් ලබා ගන්නවා. කොලර් එක සවි කරන කස්ටිය ඒ වැඩේ කරනවා. මේ සියල්ල සිදුවෙන අතරේ අවට ගැන සෝදිසියෙන් ඉන්නත් ඕනෑ. නායක ඇතින්න වැ‍ටුනහම රංචුවේ අනිත් එවුන් ඒකිව දාලා යන්නෙ නෑ. ඒ කිට්‍ටුවම ‍රැඳිලා ඉඳගෙන පිඹ පිඹ ඉන්නවා. සේරම වැඩ ටික ඉවර උනාට පස්සෙ නියමිත කාලය තුළදි වෛද්‍ය තාරක, අලියගෙ කනේ නහරයකට ප්‍රති නිර්වින්දකය එන්නත් කරනවා.

ප්‍රති නිර්වින්දකය දීපු සතා ඉතාම කෙටි කාලයක දි නැගිටින නිසා ඒවෙන කොට අනිත් අය ගෙනාපු බඩු මුට්‍ටුත් එකතු කරගෙන දුවන්න ඉගිලෙනවා. අලියා දනි පනි ගාලා නැගිට ගන්නකම්ම, තව එකෙක් දෙන්නෙක් එක්ක අලියා පේන මානයේ ඉඳලා අන්තිමට දුවන්නේ රංජිත්.

එදා අපි වැඩේ ඉවර කරලා දුවගෙන එනකොට දෙපාරක්ම අපේ පිටි පස්සෙන් ඇතින්නි ගොරවන සද්දෙ ඇහුනා. පන එපා කියලා සෑහෙන දුරක් දුවලා තමයි කස්ටිය නතර වෙලා හති ඇරියේ. වැස්සට තෙමුනු නිසා ඇතින්නට ඉක්මනින්ම සිහිය ඇවිල්ලා අපි පස්සෙන් එලවගෙන එන්න ඇති. කොහොම උනත් මෙහෙයුම සාර්ථකව අවසන් උන නිසා කාටත් සතු‍ටුයි.

නිවැරදිව ...
ඊලඟ වැදගත්ම වැඩකොටස කෙරෙන්නෙ පෘතු සහ ජෙනී අතින්. ඇතින්නිට පලඳවපු රේඩියෝ කොලර් එකෙන් එන තොරතුරු අනුව සිතියම් සකස්කරලා දෙපාර්තමේන්තුවෙ අදාල නිලධාරීන්ට විද්‍යුත් තැපෑලෙන් (e-mail) යොමු කරන්නේ ඔවුන්. අපි කොලර් කරපු ඇතින්නිට ඒ දෙන්න දාපු නම 'නැන්සි'. ඒකිත් එක්ක ඒ ආසන්නයෙදි කොලර් දාපු තවත් ඇතින්නියො තුන් දෙනෙක්, අවුරුද්දක් තිස්සෙ ගැවසුනු තැන් පිලිබඳ තොරතුරු ජෙනී සකස් කරපු සිතියමේ දැක් වෙනවා. සුදු පාට ලොකු රවුමෙන් දැක්වෙන්නෙ නැන්සිට කොලර් එක දාපු තැන. සුදු පාට පුංචි තිත්වලින් දැක් වෙන්නෙ ගැවසුනු තැන්. සුදු පාට තරු ලකුණින් දැක් වෙන්නෙ අවසානයට හිටපු තැන.  ඒ අනුව 2010 අගෝස්තු වෙනකොට නැන්සි තමන්ගෙ රංචුවත් එක්ක හබරන, මින්නේරිය, ගිරිතලේ පහු කරගෙන පරාක්‍රම සමුද්‍රයට ඇවිල්ලා. අනිත් පාටවල්වලින් දැක්වෙන්නෙ කොලර් දාපු අනිත් ඇතින්නියන්ගෙ ගැවසීම් රටා. එක ඇතින්නක් මින්නේරිය, කවුඩුල්ල වනජීවී රක්ෂිතවලින් පිට වෙලා හබරන හරහා ඉනාමලුව දක්වා ගිහිල්ලා.

ඉතින් මේ දත්ත වලින් පේනවා, වන අලි තමන්ගෙ සෘතු චලන රටාව සකස් කරගන්නෙ තමන්ගෙ සහ රංචුවේ ආහාර, ජලය, ආවරණ හා සහකරුවන් සොයා ගැනීමේ අවශ්‍යතාවයන් මත මිසක්, අපේ ඕනෑ එපාකම් මත නෙමෙයි බව.  ඒ අවශ්‍යතාවන් මත යන එනකොට කවුරුහරි එකෙක් හරස් උනොත් අල්ලලා පොලොවෙ ගහන එක අරුමයක් නෙමෙයි.  මොළේ කළඳක් හරි තියෙනවා නම් අපි දැනගන්න ඕනෑ උන්ට බාදාවක් නොවී, තියෙන ඉඩම් ප්‍රමාණය නිවැරදිව පාරිභෝජනය කරන්න. නැද්ද මං අහන්නෙ ...?








පරිසරය ගැන ලියවෙන ඉතාම හොඳ බ්ලොග් දෙකක් ...

        http://biodiversityofsrilanka.blogspot.com/
        http://wildlifediaries.blogspot.com/


යන එන ගමන් ගොඩවෙලා බලන්න.






Saturday, November 17, 2012

29. මදුරාසියේ කිඹුල්ලු සහ නයි පොළොංගු

ගියපාර පෝස්ට් එකේ කියවුනා වගේ බිලිගිරි රංගාවෙ ඉඳලා මයිසෝරය හරහා ආපහු බැංගලොරයට ඇවිත්, කෝච්චියෙන් මදුරාසියට (චෙන්නායි) එනකොට පාන්දර වෙලා. නවතින්න ලෑස්ති කරලා තිබුනු හෝටලෙන් වෑන් කීපයක් දුම්රියපොලටම එවලා තිබුනු නිසා කරදරයක් නැතිව හෝටලේට ආවා. 

එදා දවස විවේක දිනයක් හැටියට වැඩසටහනේ දක්වලා තිබුනත් කස්ටිය කාමරවලට බෑග්මලු ටික දාපු ගමන්ම වීදි සංචාරය ඇරඹුවා. මීට පෙරත් දෙතුන් වරක් ,මදුරාසියට ඇවිත් දැක පුරුද්ද තිබුනු මට නගරයේ ඇවිදගෙන යනකොට හැමතැනකම වගේ බැංගලොරයෙදි වගේම දකින්න ලැබුනේ අලුතින් සිදුවන නගර සංවර්ධනයේ සලකුණු. දැවැන්ත කුළුණු මත ඉදිවෙන අහස් පාලම්, මෙට්‍රෝ දුම්රිය මං  වගේ ම මාර්ග අතර හරිත උද්‍යානත් ඉදිවෙලා තිබුනා. උද්‍යානවල තිබුණු ජොගිං ට්‍රැක්වල මැන්ටල් ජෝඩු හති දදා, අතපය විසිකරකර ඇවිද්දා, ලංකාවෙ වගේම. දැක්කහම දුකත් හිතෙනවා.

එදා දවස කඩවල් පීරලා අඹුදරුවන්ට රෙදිපිළි, තෑගි බෝග අරගෙන ඊලඟ දවසෙ තමයි කස්ටිය මදුරාසියේ කිඹුල් බැංකුව (Madras Crocodile Bank ) බලන්න ගියේ. කටට පහසුවට, කෙටියෙන් එහෙම කිව්වට ඒකේ නිල නාමය මදුරාසි කිඹුල් බැංකු භාරය සහ උරගවිද්‍යාව සඳහා මධ්‍යස්ථානය (Madras Crocodile Bank Trust and Centre for Herpetology).

මදුරාසියේ සිට කිලෝමීටර හතලිහක් විතර දකුණෙන්, අක්කර අටක විතර භූමියක පිහි‍ටුවලා තියෙන කිඹුල් බැංකුව 1976 දි ආරම්භ කරලා තියෙන්නෙ ඉන්දියාවෙ සම්මානනීය උරග සංරක්ෂණවේදියෙක්වන රොමියුලස් විටේකර් (රොම්) එයාගෙ බාරියාව සායි ත් එක්ක එකතුවෙලා. ඒ වෙනකොට වඳවීමේ තර්ජනයට උපරිමයෙන් මූණපාලා තිබුනු  ඉන්දියානු කිඹුල් විශේෂ තුනට අයත් සත්තු බෝ කරලා ආපහු ස්වාභාවික පරිසරයට මුදා හැරීම තමයි කිඹුල් බැංකුවේ ආරම්භක අරමුණ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ස්වාභාවික පරිසරවල ඇතිවෙලා තියෙන අහිතකර තත්වයන් නිසා දැන් කිඹුල්ලු නිදහස් කිරීම නතර වෙලා තිබුනත් උරගයින්ගෙ සංරක්ෂණයට අදාලවෙන පර්යේෂණ කටයුතු බොහොමයක් එතන කෙරෙනවා. අන්දමන් දූපත්වල හා බටහිර ඝාට් කඳුවැටියේ අගුම්බේවලත් ඊට අනුබද්ධ ක්ෂේත්‍ර පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඒ වගේම සත්වොද්‍යානවලට අවශ්‍ය සතුන් සැපයීමත් කෙරෙනවා. කිඹුල් බැංකුවෙ කෙරෙන සියලු දේ සංචාරකයන් සඳහා විවෘතයි.

බැංකුවෙ තැන්පත් කරලා ඉන්න කිඹුල්ලු
අපි කිඹුල් බැංකුවට යනකොටම ඒකෙ අධ්‍යක්ෂ ඕස්ට්‍රේලියානු ජාතික කොලින් ස්ටීවන්සන් සහ සංරක්ෂණ හා පර්යේෂණ කටයුතු භාර අධ්‍යක්ෂ රවි චෙල්වම් අපිව බොහොම සාදරයෙන් පිළි අරගෙන බැංකුවෙ තැන්පත් කරලා තුබුනු කිඹුල්ලු බලන්න එක්ක ගියා. රවි ලංකාවටත් කිහිප වරක්ම ආපු, හුරු පුරුදු කෙනෙක්.

 ලෝකෙ ඉන්න කිඹුල් විශේෂ 23 න් 18 ක්ම එහි ඉන්න බවත්, ලොව වැඩිම කිඹුල් එකතුව බවත් කොලින්ගෙන් කියවුනා. ඉබ්බන්, කැස්බෑවන් ඇතුළු අනෙක් උරග සත්තුත් එක්ක ඉන්න මුලු සතුන් සංඛ්‍යාව 2500 ක් විතර. වටේට තාප්ප ඉදිකරපු විශාල ‍රැඳවුම් පොකුණුවල කිඹුල්ලු වැඩි දෙනෙක් ඉවුරට වෙලා කටත් ඇරගෙන අව්ව තපිමින් තමයි හිටියේ. එහෙම කටවල් ඇරගෙන ඉන්නේ උන්ගේ ශරීර උෂ්ණත්වය යාමනය (පාලනය) කරගන්නලු.

ඉන්දියානු ගැරියල් කිඹුලා
අපේ රටෙත් ඉන්න හැල කිඹුලා (Marsh Crocodile) සහ ගැටකිඹුලට (Estuarine Crocodile) අමතරව ගැරියල් (Garial) කියලා මාලු මතම යැපෙන කිඹුල් විශේෂයක්  ඉන්දියාවෙ ඉන්නවා. හොම්බ හීනි, දිග නිසාත්, පිරිමි සතාගෙ උඩ හනුවේ නාස් ගැටේ නිසාත් ඌ පහසුවෙන්ම හඳුන ගන්න පුලුවන්. ගංගා නදිය හා ඒ ආශ්‍රිත ගංගාවල විසිරිලා ඉන්න ගැරියල්, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා මේ වෙනකොට අතිශයින්ම තර්ජනයට ලක් වූ සතෙක් විදියට සැලකෙනවා.

වෛද්‍ය ගෞරි, කොලින්, සහායකයෙක් සහ හොම්බෙන් බාගයක් අහිමි කරගත් ගැරියලා


සත්තුන්ගෙ සුබසාධනය පිළිබඳ වගකීම දරන්නේ පශු වෛද්‍යවරියක් වන ගෞරි. ඇය ගෝල බාලයොත් එක්ක ගැරියල් කිඹුලන්ට මාලු කන්න දෙනවා අපිට දකින්න ලැබුනා. එක ගැරියලෙකුගෙ උඩ හනුවෙන් බාගයක් විතරයි තිබුනේ. අනිත් එවුන් එක්ක වෙච්ච රණ්ඩුවකදී හොම්බෙන් බාගයක් කැඩිලා වෙන් වෙලා.  මාලු රිටක අමුණලා තමයි උගෙ කටට එබුවේ. ගෞරි සමහර කිඹුලන්ට කෑම කන්න කතා කළේ උන්ට දාලා තියෙන නමින්මයි. තමන් වෙත විසි කරන මාලු කලබලයක් නැතිව කාලා ආපහු වතුරට යන කිඹුලන්ට 'ගුඩ් බෝයි ... ගුඩ් ගර්ල් .. ' කියලා ප්‍රශංසා කරන්න ඇය අමතක කලේ නෑ. ඒ වගේ විධානයන්ට හා කට හඬට සත්තු පුරුදු කර ගැනීම උන්ව පාලනය කරගන්න පහසුවක් කියලා තමයි ඇය කිව්වෙ.

නයි මුට්ටි
 කිඹුලන් සංරක්ෂණයට අමතරව නයි පොළොංගු සංරක්ෂණය සඳහාත් විශාල වැඩ කොටසක් එතන කෙරෙනවා. ඒ කටයුතුවලට 'ඉරුලා' (Irula ) ගෝත්‍රික ජනයා ගෙ සහභාගිත්වය ලැබෙනවා. ඔවුන් 1972 ඉන්දියාවෙ වනජීවී සංරක්ෂණ පනත නීතිගත වෙන්න ඉස්සර නයි පොළොංගු අල්ලලා විකුණලා ජීවත්වුනු දකුණු ඉන්දියානු ද්‍රවිඪ ගෝත්‍රික පිරිසක්. සත්ව සම් වෙළඳපොළේ නයි පොළොංගුන්ගෙ සමට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉන්දියාවෙ සර්පයින් නීතියෙන් ආරක්ෂිත උනාට පස්සෙ ඉරුලාවන් අනාථ උනාලු. 1978 දි මදුරාසි කිඹුල් බැංකුවෙ රොම් විටේකර් ඒකට විසඳුමක් හැටියට ඉරුලාවන් එකතු කරලා සමුපකාර සමිතියක් හදලා සර්ප විෂ එකතු කරලා විකුණන ව්‍යාපාරයක් ආරම්භ කළාලු.
විෂ දළ

එකතු කරගත් විෂ
ඉරුලාවන් සර්ප විෂ එකතුකරන විදිය අපිටත් දකින්න ලැබුනා. ඉරුලාවෙකුට මුට්ටියක දාලා හිටපු පත තිත් පොළ‍ඟෙක් එලියට අරගෙන උගෙ බෙල්ලෙන් අල්ලලා පුංචි වීදුරු භාජනයකට විෂ එකතු කරගන්න ගතවුනේ විනාඩි කීපයක් විතරයි. ප්‍රතිවිෂ නිෂ්පාදනය කරන ඉන්දියානු ආයතනවලින් ඒ විෂවලට  ලොකු ඉල්ලුමක් තියෙන බව කියැවුනා. සමිතියෙ සාමාජික ඉරුලාවන් කැලෙන් අල්ලගන්න සර්පයින් මුට්ටිවල දාලා තියාගෙන සතියකට එකපාර ගානෙ හතර වරක් විෂ එකතු කරලා, වන සංරක්ෂන නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතෙ ආපහු රක්ෂිත කැලෑවලටම මුදා හරිනවලු. ගෝත්‍රික ජනතාවකගෙ සාම්ප්‍රදායික දැනුම නීත්‍යානුකූල ව්‍යාපාරයකට යොදාගෙන තියෙන හැටි අපූරුයි කියලා මට හිතුනා.


ඊට අමතරව ඉබ්බො කැස්බෑවො විශේෂ රාශියකුත් දකින්න ලැබුනා. සේෂෙල්ස් දූපත්වල ජීවත් වෙන අල්ඩබ්‍රා යෝධ ඉබි තඩියො කීප දෙනෙකුත් හිටියා. (Aldabra Giant Tortoise) ගලපගෝස් යෝධ ඉබ්බන්ට විතරක් දෙවෙනි වෙන උගෙ ක‍ටුව මීටර 1.2 ක් විතර වෙනවා. බර කිලොග්‍රාම් 225 ක්ලු.

යෝධ ඉබ්බො දිහා බල බල ඉන්නකොට අපට ඒ කිට්‍ටුව තියෙන පුංචි ඉබි ‍රැඳවුමක පඳුරක් අස්සෙන් 'ටොක් .. ටොක් .. ' කියලා සද්දයක් ඇහුනා. බලනකොට ඉබි මල්ලි කෙනෙක් නංගියෙක්ව තල්ලු කරගෙන පඳුර අස්සට රිංගනවා. අපි ඉතින් ඒවට ගල් ගහන්න ගියේ නෑ. පින්තූරයක් අරගෙන මාරු උනා. ඉබි මල්ලිගෙ පිටේ තියෙන බොත්තම උගෙ ඇඟේ උෂ්ණත්වය මනින්න සවි කරපු උපකරණයක් කියලා දැනගන්න ලැබුනා. ඒ වෙලාවෙ නම් උෂ්ණත්වය උපරිම වෙලා තියෙන්න ඇති.

ඉතින් මදුරාසි කිඹුල් බැංකුවෙ පැය කිහිපයක හොඳ අධ්‍යයනයකට පස්සෙ අපේ දින දහයක ඉන්දියානු සංචාරයෙ අවසානයටත් ලඟාවුනා. මදුරාසි කිඹුල් බැංකුව කියන්නෙ රොමියුලස් විටෙකර් කියන තනි මිනිහෙකුගෙ හිතේ පැලවුනු අදහසක්. අද ඒක වසරකට මිලියන බාගයක් මිනිස්සු ගිහිල්ලා උරගයින් ගැන, සංරක්ෂණය ගැන කරුණු දැන ගන්න තැනක් බවට පත් වෙලා. ඒ වගේම උරග සංරක්ෂණය සඳහා අවශ්‍ය පර්යේෂණාත්මක තොරතුරු ලබාදෙන තැනක් බවට පත් වෙලා. ඒ ගැන හිතන කොට මට මේ ළඟදි අහන්න ලැබුනු එක කියමනක් මතක්වුනා. 'වෙනසක් කිරීමට ඔබ පුංචි වැඩි යැයි ඔබට සිතේ නම්, මදුරුවෙක් සමග නිදා ගන්න උත්සාහ කර බලන්න ...' මගේ මතකය නිවැරදිනම් ඒක කියලා තියෙන්නේ දලයි ලාමාතුමා.





Tuesday, October 30, 2012

28. බිලිගිරි රංගා

සරු කෙත්බිම් - පසුබිමින් නිල්ගිරි කඳු වැටිය



කලින් පෝස්ට් එකේ විස්තර කරපු බන්ඩිපූරයේ ගත කරපු දිනදෙකෙන් පස්සෙ අපි යන්න පිටත් උනේ නැගෙනහිර ඝාට් කඳු වැටියේ කොටසක් ආරක්ෂා කරන 'බිලිගිරි රංගා' අභය භූමියට. බිලිගිරි කියන්නෙ 'සුදු කඳුවැටිය' කියන අර්ථයෙන් බව අහන්න ලැබුනා. අභය භූමියක් වගේම ඒක ව්‍යාඝ්‍ර රක්ෂිතයක් හැටියටත් නම් කරලා කළමනාකරණය කෙරෙනවා.

කූඩාරම් කඳවුර  (Tented Camp)
මග දෙපස සාරවත් කෘෂිකාර්මික ඉඩම් පහු කරගෙන ගිහිල්ලා කඳුකරයට නැගුනු අපි, බිලිගිරි රංගා අභය භූමියේ පිවිසුම පහුකරගෙන ගිහින් ඒකේ මූලස්ථානයට ලඟාවුනා. පරිපාලන ගොඩනැගිලිවලට අමතරව එතන අලි ගාලක්, නිලනිවාස, කඳවුරු බිමක්, අවන් හලක් වගේ දේවලුත් තිබුනා.

අභය භූමියේ මූලස්ථාන සංකීර්ණයේම එක් කෙලවරක ඉදි කරලා තිබුණු කූඩාරම් කඳවුරක (Tented Camp) තමයි අපට නවාතැන් සපයලා තිබුනේ. කූඩාරමක් කිව්වට ස්ථිරව ඉදිකරලා තිබුණු ඒකේ ඇතුළ ඉතාම සුව පහසු විදිහට සකස් කරලා තිබුනා. අද පාරිසරික සංචාරක කර්මාන්තයෙ තියෙන ජනප්‍රියම අංගයක් තමයි ඒ වගේ ස්වාභාවික පරිසරය ආශ්‍රිතව ඉදිකෙරෙන කූඩාරම් කඳවුරු. බිලිගිරි රංගාවෙ අපි හිටපු කඳවුර රජයටම අයත්, ස්වාභාවික පරිසරයට අවම බලපෑමක් ඇතිවෙන විදියට අභය භූමියේ පරිපාලන මූලස්ථානයේම
සුව පහසු කූඩාරම
කොටසක ඉදිකරපු එකක්.  ඒ වගේම වෘත්තීය මට්ටමේ සේවාවක් සැපයුනා. පාරිසරික සංචාරක කටයුතු කළමනාකරණය ගැන අපි ඉගෙන ගතයුතු බොහෝ දේ එතන තිබුනා.


පහුවදා උදේ අභය භූමියෙ නිලධාරීන් කීප දෙනෙක් අපිව කඳුමුදුනක් වෙත දිවෙන ස්වාභාවික පා මගක (Nature Trail) එක්ක ගියා. ස්වාභාවික පරිසරයට වඩාත් සමීප වෙන්න පුලුවන් නිසා ඒ වගෙ පා මගක යන්නත් සංචාරකයො ඉතාම ප්‍රිය මනාපයි. සංචාරකයින් සඳහා ඒ වගෙ පා මගක් ඉදි කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙනවා වනසතුන්ගෙ තර්ජනයක් නැති, ආරක්ෂා සහිත තැනක් ‍තෝරාගන්න.
කඳු මුදුනේ (වල්) ඇතා
අපිත් ඉතිං අවට සිරි නරඹමින් කඳු මුදුනට එනකොට මෙන්න යකෝ පඳුරක් අස්සෙ හෙන දළ ඇතෙක්. අපි හිටපු තැනට මීටර් පනහක් හැටක් විතර ඈතින් ටිකක් උස තැනක හිටපු ඌ අපිව දැක්කට සත පහකට ගණං ගත්ත බවක් පෙනුනෙ නෑ. අපි ඊලඟට වෙන්නෙ මොකද කියලා බලාගෙන ඉන්දැද්දි, ඌත් එහාට මෙහාට හැරි හැරි හිටියා. වල් කමක් පේන්න නොතිබුනාට ඌ වල් ඇතෙක් කියලා අපිත් එක්ක ආව නිලධාරීන් කිව්ව නිසා අපිත් ඒක ගැන වැඩි දුර අහන්න ගියේ නෑ.

සුන්දර ඝාට් කඳුවැටිය
නැගෙනහිර ඝාට් කඳු වැටියෙ සුන්දරත්වය එතනට හරි අපූරුවට පෙනුනා. වටපිට බලලා ආපහු එනගමන් අපි අලිගාල බලන්නත් ගියා. ඒකේ රඳවලා ඉන්නෙ කර්ණාටක කැලෑ දෙපාර්තමේන්තුවට අයත් හීලෑ අලි ඇතුන් කීප දෙනෙක්. ඉස්සර වනාන්තරවල දැව නෙලීමේ කටයුතුවලදි ඒ අලි ඇතුන් යොදාගත්තත් දැන් උන් විශ්‍රාම ගන්වලා ආගමික උත්සව කටයුතුවලට විතරක් යොදා ගන්නවා කියලා දැනගන්න ලැබුනා. ඔක්කොම අලි ඇත්තු හතර දෙනෙක් ඉන්නවා කිව්වට ඒ වෙලාවෙ ගාලෙ හිටියෙ තුන්දෙනයි. අනිත් එකා උත්සවේකට කොහාටද ගෙනිහිල්ලා කිව්වා. අපේ එවුං මූණට මූණ බලාගෙන මොනවද අහන්න හැදුවත් මම උන්ට ඔරවලා ඒක නවත්ත ගත්තා. අපේ එවුන්ටත් ඕන්නැති මඟුලක් නෑ.


සොලිගාවන් එක්ක කතා බහක්
බිලිගිරි රංගාව වන සතුන්ගෙ වගේම 'සොලිගා' ගෝත්‍රික ජනතාවගෙත් වාස භූමිය. අභය භූමියෙ තැන තැන සොලිගා ජනාවාස තිබුනත් ඔවුන්ගෙන් වනාන්තරයට වෙන හානිය අවමයි කියලා තමයි අහන්න ලැබුනේ. අභය භූමියෙ කළමනාකරණයට සහභාගි කර ගැනීමත්, ඔවුන් සඳහා කෙරෙන සුභ සාධන කටයුතුත් නිසා කැලෑ නිලධාරීන් එක්ක  ඉතාම යහපත් සම්බන්ධතාවයක් ඔවුන්ගෙ තියෙන බව පෙනුනා. අපි ගිය සොලිගා ගම්මානයෙ වටේටම විදුලි වැටක් ඉදිකරලා අලින්ගෙන් ගෙවල්, ගොවි බිම් ආරක්ෂා කරලා තිබුනා.
Add caption
කොහොම උනත් සොලිගාවන්ගෙ කුකුල් කූඩු වගේ ගෙවලුයි, දිළිඳුබව වැගිරෙන මූණු ටිකයි දැක්කහම නම් දුක හිතෙනවා.

අභය භූමිය ඇතුලෙ යන එන ගමන් දැකපු සතුන් අතරින් කලින් නොකියවුන සතෙකුට හිටියේ 'වැලි මුවා' (Barking Deer) විතරයි. අපේ රටේ වනාන්තරවලදි නිතර දකින්න නොලැබුනත් බිලිගිරි රංගාවෙදි වැලි මුවෝ කීප දෙනෙක්ම දැක්කා.

බිලිගිරියෙ ගත කරපු දවස් දෙකකට පස්සෙ අපි මයිසෝරය හරහා ආපහු බැන්ගලෝරයට ඇවිත් තමයි චෙන්නායි යන්න කෝච්චියට නැග්ගෙ. මයිසෝරයෙදි පොඩි සාරි වන්දනාවකත් ගියා. ඉන්දියාවෙ ගිහින් ආපහු එනකොට සාරියක් දෙකක් ගෙනාවෙ නැත්තම් ගෙදරට බාරගන්නෙ නෑනෙ.

තද බද වූ කෝච්චියේ ‍රැයක්
ඉන්දියාවෙ කෝච්චි ගමනත් හරි අපූරු අත්දැකීමක්. කලින් ආසන වෙන් කරලා තිබුන නිසා කෝච්චි පෙට්ටි අංකයයි ආසනයෙ අංකයයි කලින්ම ලැබිලා තිබුනා. කෝච්චි පෙට්ටියෙ එලියෙ අලවලා තියෙන කොලේක ආසන අංකය ඉදිරියෙන් මගියගෙ නමත් සඳහන් වෙනවා. ඒ නිසා සීට් එකක් අල්ල ගන්න ගහ මරා ගන්න ඕන නෑ. ඒ උනාට මගෙ සීට් එකට ඉස්සරහ සීට් එක වෙන්කරගෙන තිබුනු ඉන්දියානුවා ඇවිත් ඒකෙ සැපට නිදා ගන්න හරිබරි ගැහිලා සෙට් වෙනකොටම වෙන එකෙක් ඇවිත් ඒ සීට් එක උගේ කියලා රණ්ඩු වෙන්න පටන් ගත්තා. බලන කොට ඌටත් ඒ සීට් එකම වෙන් කරලා. පස්සෙ ටික්කෙක් ඇවිත් ඌට වෙන පෙට්ටියක සීට් එකක් හොයලා දීලා ෂේප් කර ගත්තා.

කෝච්චියෙ කූඩුවෙලා රෑ එලිවෙනකම් ඇවිත් චෙන්නායිවල දි දැකපු නයි පොළොංගු, කිඹුල්ලු ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියවමු.




Friday, October 12, 2012

27. බන්ඩිපූරය


කලින් පෝස්ට් එකේ බැන්ගලෝරයෙ ගතකරපු දින දෙකක් ගැන ලියවුනා . ඊළඟට මයිසෝරය හරහා බන්ඩිපූර් ජාතික උද්‍යානයට.

කස්ටියට ඉස්කෝලෙදි ඉගෙනගත්තා මතක ඇති  ඉන්දියාවෙ බටහිර හා නැගෙනහිර වෙරළවලට සමාන්තරව ඒ ආසන්නයෙන්ම තියෙන බටහිර හා නැගෙනහිර ඝාට් කඳු වැටිදෙක. මේ කඳු වැටි දෙක පහල කෙලවරේදි එකට එකතු වෙනවා. අපේ රට මැද්දෙ කැවුමක් වගේ තියෙන කඳුකරය, අවුරුදු මිලියන ගණනකට ඉස්සර මේ ඝාට් කඳුකරයෙන් කැඩිලා වෙන් වෙලා ඉවතට පාවුනු  කෑල්ලක් බවට ඉතා පැහැදිලි භූ විද්‍යාත්මක සාධක තියෙනවා. ඝාට් කඳුකරයෙ හා අපේ මධ්‍ය කඳුකරයෙ සතුන් හා ශාක විශේෂවලත් ඉතාම පැහැදිලි සමානකම් තියෙනවා.

උද්‍යාන පිවිසුම
බැන්ගලෝරයෙ ඉඳලා මයිසෝරය හරහා 'ඌටි' වෙත දිවෙන මහා මාර්ගය ඔස්සේ බන්ඩිපූර් ජාතික උද්‍යානයට ලඟා වෙන්න පුලුවන්. මේ ගමනට වරුවක් ගත වෙනවා. ජාතික උද්‍යානයෙ උතුරු මායිම හරහා ඇතුල්වන මේ මහ මග උද්‍යානය තුලින් බොහෝ දුරක් විහිදෙනවා. ඒ නිසාම උද්‍යාන පරිපාලනය මේ මහා මාර්ගයෙ දිවෙන වාහනවලින් වන සතුන්ට විය හැකි අනතුරු අවම කරගන්න උපරිම උත්සාහය අරගෙන තියෙනවා. ප්‍රධාන මාර්ගයක් උනත් රෑ 9 ඉඳලා උදේ 6 වෙනකම් කිසිම වාහනයකට උද්‍යානය හරහා යන්න දෙන්නෙ නෑ. දවාලට උනත් මග දිගටම වේග බාධක ( Humps) දාලා තියෙන නිසා ඩ්‍රයිවර්ලාට හැටට හැටේ පාගල යන්න බෑ.

උදෙන්ම බැන්ගලෝරයෙන් පිටත් වෙලා, මයිසෝරය හරහා බන්ඩිපූරයට ආපු අපිට නවාතැන් සලසලා තිබුනේ උද්‍යාන මායිමේ තියෙන සුව පහසු 'කොටේජ්' කිහිපයක. පොදු භෝජන ශාලාවක දකුණු ඉන්දියානු ආරයෙ කෑම පිළිගැන්වුනා. කොලඹ තරුපහේ සයිවර් හෝටලේකට ගියා වගේ අපේ කස්ටිය අතපය දිගෑරලා ගේම දුන්නා.

පස්වරුවෙ උද්‍යානයෙ අධ්‍යක්ෂවරයා, උද්‍යානය ගැන හොඳ හැඳින්වීමක් කළා.

රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා - Royal Bengal Tiger
ඉන්දියානු වනජීවී සංරක්ෂණයෙදි ඉලක්ක කර ගන්න එක් 'ධජ ධාරී' (Flagship Species) වන සත්ව විශේෂයක් වෙන්නෙ 'රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා' (Royal Bengal Tiger). සංරක්ෂණ ක්‍රියාවලියක් ඒ වගෙ මහජන අවධානය දිනාගත් ආකර්ශණීය සත්වයෙක් මුල් කරගෙන ක්‍රියාත්මක කිරීම පිළිගත් සංකල්පයක්. ඒ සත්වයා මුල් කරගත් සංරක්ෂණ කටයුතුවල ප්‍රතිලාභය ඒ පරිසරයෙ වෙසෙන අනිත් සත්තුන්ටත් ලැබෙනවා. 1970 දශකයෙ ආරම්භ කරපු 'ව්‍යාඝ්‍ර ව්‍යාපෘතිය' (Project Tiger) යටතෙ ඉන්දියාව පුරා ව්‍යාඝ්‍රයින් වෙසෙන රක්ෂිත තිස් ගනණක් වැඩිදියුණු කරලා ආරක්ෂා කෙරෙනවා. ඒ අතරින් බන්ඩිපූරය මුල් තැනක් ගන්නවා. ආරම්භයෙදි මයිසෝරයෙ මහරාජාගෙ කුඩා දඩයම් රක්ෂිතයක් හැටියට තිබුනු බන්ඩිපූරයෙ, වර්තමාන විශාලත්වය  වර්ග කිලෝ මීටර නමසීයකට ආසන්න වෙනවා.

බන්ඩිපූරයෙ සංචාරක කටයුතු සිද්ද වෙන්නේ ඉතාම විධිමත්ව. සංචාරකයින්ට නවාතැන් සපයන්නෙ කර්ණාටක කැලෑ දෙපාර්තමේන්තුවටම අනුබද්ධ වෙනම ආයතනයකින්. ඒ මගින් සංචාරකයන්ට නවාතැන්, ආහාරපාන, ප්‍රවාහන පහසුකම් වෘත්තීයමය තත්වයෙන් සැපයෙනවා. රජයේ වාහනවල විතරයි උද්‍යානයතුල යන්න පුලුවන්. එක් ගමනක් පැය 6 කට සීමාවෙනවා.

කොහොම උනත් අපි බන්ඩිපූරයට යනකොට දැනගන්න ලැබුනු තවත් විශේෂ කාරණයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුවක් මත සියලුම ව්‍යාඝ්‍ර රක්ෂිතවල  සංචාරක කටයුතු  තාවකාලිකව අත්හිටවලා තියෙන බව. අතිශය තර්ජනයට ලක්වුනු වනසත්ව විශේෂයක් වන ව්‍යාඝ්‍රයා ගේ පැවැත්මට සංචාරක කර්මාන්තයෙන් ඇතිවන බලපෑම සලකා බලමින් පවතින බවත්  දැනගන්න ලැබුනා.  ජාතික උද්‍යානවලින් ලැබෙන ආදායම නොසලකා සංරක්ෂණය සඳහා මුල්තැන දෙන රටක් හැටියට ඉන්දියාව ගෞරවයට ලක්විය යුතුයි කියලා මට හිතුනා.

ව්‍යාඝ්‍රයා ඇරෙන්න බන්ඩිපූරයෙ හොඳ සාධ්‍ය අලි ගහනයකුත් ඉන්නවා. දකුණු ඉන්දියාවෙ පිරිමි අලින්ගෙන් 90% කටම දළ තියෙන නිසා අනතුරුවලින් අඩුවකුත් නෑ. කලකට ඉස්සර 'වීරප්පන්' ‍රැවුලා හැංගිලා ඉඳගෙන අලි මරපු සත්‍යමංගලම් කැලෑව තියෙන්නෙත් බන්ඩිපූරය ආශ්‍රිතවමයි.

ගවරා  (Gaur - Indian Bison)
පස්සෙන්දා අපිට උද්‍යානයෙ ඇවිදලා ඒකෙ කළමනාකරණ කටයුතු අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුනා. ව්‍යාඝ්‍රයෙක් දැක ගන්න කාටත් ආසාව තිබුනත් ඒක ලේසිවැඩක් නෙමෙයි. අලි, මුවෝ, ගෝන්නු ඇරෙන්න අපේ රටේ නැති ගවර (Gaur) රංචුවක් නම් දකින්න ලැබුනා. පූර්ව එතිහාසික යුගවල ගවරා ලංකාවෙ හිටපු බවට ෆොසිල සාක්ෂි තිබුනත් වර්තමානයෙ උන් ලංකාවෙ වනාන්තරවල දකින්න නෑ. ව්‍යාඝ්‍රයින් අතීතයෙදිවත් ලංකාවෙ ඉඳලා නෑ. මධ්‍යම ආසියාවෙ බිහිවෙලා ව්‍යාප්තවුනු ව්‍යාඝ්‍රයා ඉන්දියානු උප මහාද්වීපයෙ පහල කෙලවරට ලඟා වෙන්න කලින් ලංකාව එයින් වෙන්වෙලා වෙනම දිවයිනක් බවට පත්වුනා කියලා තමයි විස්වාස කරන්නෙ.

තිත්මුව රංචුවක් (Spotted Deer)
ලංකාවෙ දකින්න නැති, බන්ඩිපූරයෙ ඉන්න තවත් එක ඉන්දියානු සත්ව විශේෂයක් තමයි 'ඉන්දියානු වල් බල්ලා' (Indian Wild dog). ඌ ලෝකෙ ඉන්න දරුණුම විලෝපී සතෙක්. විශාලත්වය සාමාන්‍ය බල්ලෙකුගෙ ප්‍රමාණයෙවුනත් උන් රංචුවකට ලෙහෙසියෙන්ම ලොකු ගෝනෙක් එලා ගන්න පුලුවන්. අපිට පෙන්නපු එක වීඩියෝ දර්ශනයක තිබුනා වල් බල්ලො ‍රැලක් ගෝනෙක් වට කරගෙන ගෝනා පන පිටින් ඉන්දෙද්දිම ඇඟේ මස් කුට්ටි කඩාගෙන කනවා. කොච්චර විශාල, ශක්තිමත් සතෙක් උනත් කම්පනය නිසාම ඒ වගෙ අවස්ථාවකට මුහුණපාන ගොදුරු සතෙක් මිය යනවා.

බන්ඩිපූරයෙ දකුණු මායිම ගැඹුරු අගාධයක් (Gorge). කර්ණාටකය, තමිල්නාඩුවෙ න් වෙන් වෙන ඒ අගාධය වන අලින්ගෙ සංක්‍රමනයට පවතින එක් ස්වාභාවික බාධාවක් බව කියවුනා.

බොනට් රිලවා (Bonnet Macaque)
උද්‍යානයෙ තියෙන උසම කන්ද මුදුනෙ තියෙන හින්දු කෝවිලකටත් අපි ගියා. ඉන්දියාවෙ ප්‍රසිද්ධ හින්දු කෝවිල් වැඩිහරියක් තියෙන්නෙ උස් කඳු මුදුන්වල. පූජනීය ස්ථානයක්වුනත් කොවිලේ කටයුතු පාලනයවුනේ කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවට උවමනා විදියට.

බන්ඩිපූරයෙ ආරක්ෂක කටයුතු ඉතාම විධිමත්ව කෙරෙන බව, උද්‍යානයෙ මුර සංචාරක කඳවුරකට (Patrolling Camp) ගිය වෙලාවෙ උද්‍යානය භාර ලොක්කා විස්තර කළා. කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවෙ කාන්තා නිලධාරිණියොත් ඉන්නවා දැකපු අපේ කස්ටිය මංඥං වෙලාහිටියේ. 'අපිට කොයින්ද ඉතිං ඒ වගෙ වාසනාවක්' කියලා එකෙක් හීනියට කියනවා ඇහුනා.

මුර සංචාරක කඳවුරක් (Patrolling Camp)
දවස් දෙකකට පස්සෙ ආපහු එන දවසේ අපිට අහම්බෙන් කර්ණාටකයෙ වනාන්තර පිලිබඳ ඇමතිවරයා මුණ ගැහුනා. ලංකාවෙ වන්ජීවියො ටිකක් ඇවිත් ඉන්නවා කියලා දැනගෙන එතුමා ඇවිත් අපිත් එක්ක කතාබස් කරලා ගියා. වනජීවී සංරක්ෂණය ගැන ඉතාම අවබෝධයකින් කතා කරපු ඇමතිවරයා, ලංකාවෙ වනජීවී සංරක්ෂණය ගැනත් දැනගන්න ලොකු උනන්දුවක් දැක්වුවා.

බන්ඩිපූරයෙන් පිටත්වුන අපේ ඊලඟ ගමනාන්තයවුනේ නැගෙනහිර ඝාට් කඳුවැටියෙ බිලිගිරි රංගා වනජීවී අභය භූමිය. ඒ ගැන විස්තර තව දෙසතියකින්.


මහවන මැද වාසනාව
(මේ බ්ලොග් එකේ 'My Photographs' පි‍ටුවට අලුතින් පින්තූර කීපයක් එකතු කරලා තියෙනවා. ඒවත් බලලාම යන්න ළමයිනේ ..!)