මගෙ යාලුවෝ

Friday, October 12, 2012

27. බන්ඩිපූරය


කලින් පෝස්ට් එකේ බැන්ගලෝරයෙ ගතකරපු දින දෙකක් ගැන ලියවුනා . ඊළඟට මයිසෝරය හරහා බන්ඩිපූර් ජාතික උද්‍යානයට.

කස්ටියට ඉස්කෝලෙදි ඉගෙනගත්තා මතක ඇති  ඉන්දියාවෙ බටහිර හා නැගෙනහිර වෙරළවලට සමාන්තරව ඒ ආසන්නයෙන්ම තියෙන බටහිර හා නැගෙනහිර ඝාට් කඳු වැටිදෙක. මේ කඳු වැටි දෙක පහල කෙලවරේදි එකට එකතු වෙනවා. අපේ රට මැද්දෙ කැවුමක් වගේ තියෙන කඳුකරය, අවුරුදු මිලියන ගණනකට ඉස්සර මේ ඝාට් කඳුකරයෙන් කැඩිලා වෙන් වෙලා ඉවතට පාවුනු  කෑල්ලක් බවට ඉතා පැහැදිලි භූ විද්‍යාත්මක සාධක තියෙනවා. ඝාට් කඳුකරයෙ හා අපේ මධ්‍ය කඳුකරයෙ සතුන් හා ශාක විශේෂවලත් ඉතාම පැහැදිලි සමානකම් තියෙනවා.

උද්‍යාන පිවිසුම
බැන්ගලෝරයෙ ඉඳලා මයිසෝරය හරහා 'ඌටි' වෙත දිවෙන මහා මාර්ගය ඔස්සේ බන්ඩිපූර් ජාතික උද්‍යානයට ලඟා වෙන්න පුලුවන්. මේ ගමනට වරුවක් ගත වෙනවා. ජාතික උද්‍යානයෙ උතුරු මායිම හරහා ඇතුල්වන මේ මහ මග උද්‍යානය තුලින් බොහෝ දුරක් විහිදෙනවා. ඒ නිසාම උද්‍යාන පරිපාලනය මේ මහා මාර්ගයෙ දිවෙන වාහනවලින් වන සතුන්ට විය හැකි අනතුරු අවම කරගන්න උපරිම උත්සාහය අරගෙන තියෙනවා. ප්‍රධාන මාර්ගයක් උනත් රෑ 9 ඉඳලා උදේ 6 වෙනකම් කිසිම වාහනයකට උද්‍යානය හරහා යන්න දෙන්නෙ නෑ. දවාලට උනත් මග දිගටම වේග බාධක ( Humps) දාලා තියෙන නිසා ඩ්‍රයිවර්ලාට හැටට හැටේ පාගල යන්න බෑ.

උදෙන්ම බැන්ගලෝරයෙන් පිටත් වෙලා, මයිසෝරය හරහා බන්ඩිපූරයට ආපු අපිට නවාතැන් සලසලා තිබුනේ උද්‍යාන මායිමේ තියෙන සුව පහසු 'කොටේජ්' කිහිපයක. පොදු භෝජන ශාලාවක දකුණු ඉන්දියානු ආරයෙ කෑම පිළිගැන්වුනා. කොලඹ තරුපහේ සයිවර් හෝටලේකට ගියා වගේ අපේ කස්ටිය අතපය දිගෑරලා ගේම දුන්නා.

පස්වරුවෙ උද්‍යානයෙ අධ්‍යක්ෂවරයා, උද්‍යානය ගැන හොඳ හැඳින්වීමක් කළා.

රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා - Royal Bengal Tiger
ඉන්දියානු වනජීවී සංරක්ෂණයෙදි ඉලක්ක කර ගන්න එක් 'ධජ ධාරී' (Flagship Species) වන සත්ව විශේෂයක් වෙන්නෙ 'රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා' (Royal Bengal Tiger). සංරක්ෂණ ක්‍රියාවලියක් ඒ වගෙ මහජන අවධානය දිනාගත් ආකර්ශණීය සත්වයෙක් මුල් කරගෙන ක්‍රියාත්මක කිරීම පිළිගත් සංකල්පයක්. ඒ සත්වයා මුල් කරගත් සංරක්ෂණ කටයුතුවල ප්‍රතිලාභය ඒ පරිසරයෙ වෙසෙන අනිත් සත්තුන්ටත් ලැබෙනවා. 1970 දශකයෙ ආරම්භ කරපු 'ව්‍යාඝ්‍ර ව්‍යාපෘතිය' (Project Tiger) යටතෙ ඉන්දියාව පුරා ව්‍යාඝ්‍රයින් වෙසෙන රක්ෂිත තිස් ගනණක් වැඩිදියුණු කරලා ආරක්ෂා කෙරෙනවා. ඒ අතරින් බන්ඩිපූරය මුල් තැනක් ගන්නවා. ආරම්භයෙදි මයිසෝරයෙ මහරාජාගෙ කුඩා දඩයම් රක්ෂිතයක් හැටියට තිබුනු බන්ඩිපූරයෙ, වර්තමාන විශාලත්වය  වර්ග කිලෝ මීටර නමසීයකට ආසන්න වෙනවා.

බන්ඩිපූරයෙ සංචාරක කටයුතු සිද්ද වෙන්නේ ඉතාම විධිමත්ව. සංචාරකයින්ට නවාතැන් සපයන්නෙ කර්ණාටක කැලෑ දෙපාර්තමේන්තුවටම අනුබද්ධ වෙනම ආයතනයකින්. ඒ මගින් සංචාරකයන්ට නවාතැන්, ආහාරපාන, ප්‍රවාහන පහසුකම් වෘත්තීයමය තත්වයෙන් සැපයෙනවා. රජයේ වාහනවල විතරයි උද්‍යානයතුල යන්න පුලුවන්. එක් ගමනක් පැය 6 කට සීමාවෙනවා.

කොහොම උනත් අපි බන්ඩිපූරයට යනකොට දැනගන්න ලැබුනු තවත් විශේෂ කාරණයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුවක් මත සියලුම ව්‍යාඝ්‍ර රක්ෂිතවල  සංචාරක කටයුතු  තාවකාලිකව අත්හිටවලා තියෙන බව. අතිශය තර්ජනයට ලක්වුනු වනසත්ව විශේෂයක් වන ව්‍යාඝ්‍රයා ගේ පැවැත්මට සංචාරක කර්මාන්තයෙන් ඇතිවන බලපෑම සලකා බලමින් පවතින බවත්  දැනගන්න ලැබුනා.  ජාතික උද්‍යානවලින් ලැබෙන ආදායම නොසලකා සංරක්ෂණය සඳහා මුල්තැන දෙන රටක් හැටියට ඉන්දියාව ගෞරවයට ලක්විය යුතුයි කියලා මට හිතුනා.

ව්‍යාඝ්‍රයා ඇරෙන්න බන්ඩිපූරයෙ හොඳ සාධ්‍ය අලි ගහනයකුත් ඉන්නවා. දකුණු ඉන්දියාවෙ පිරිමි අලින්ගෙන් 90% කටම දළ තියෙන නිසා අනතුරුවලින් අඩුවකුත් නෑ. කලකට ඉස්සර 'වීරප්පන්' ‍රැවුලා හැංගිලා ඉඳගෙන අලි මරපු සත්‍යමංගලම් කැලෑව තියෙන්නෙත් බන්ඩිපූරය ආශ්‍රිතවමයි.

ගවරා  (Gaur - Indian Bison)
පස්සෙන්දා අපිට උද්‍යානයෙ ඇවිදලා ඒකෙ කළමනාකරණ කටයුතු අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබුනා. ව්‍යාඝ්‍රයෙක් දැක ගන්න කාටත් ආසාව තිබුනත් ඒක ලේසිවැඩක් නෙමෙයි. අලි, මුවෝ, ගෝන්නු ඇරෙන්න අපේ රටේ නැති ගවර (Gaur) රංචුවක් නම් දකින්න ලැබුනා. පූර්ව එතිහාසික යුගවල ගවරා ලංකාවෙ හිටපු බවට ෆොසිල සාක්ෂි තිබුනත් වර්තමානයෙ උන් ලංකාවෙ වනාන්තරවල දකින්න නෑ. ව්‍යාඝ්‍රයින් අතීතයෙදිවත් ලංකාවෙ ඉඳලා නෑ. මධ්‍යම ආසියාවෙ බිහිවෙලා ව්‍යාප්තවුනු ව්‍යාඝ්‍රයා ඉන්දියානු උප මහාද්වීපයෙ පහල කෙලවරට ලඟා වෙන්න කලින් ලංකාව එයින් වෙන්වෙලා වෙනම දිවයිනක් බවට පත්වුනා කියලා තමයි විස්වාස කරන්නෙ.

තිත්මුව රංචුවක් (Spotted Deer)
ලංකාවෙ දකින්න නැති, බන්ඩිපූරයෙ ඉන්න තවත් එක ඉන්දියානු සත්ව විශේෂයක් තමයි 'ඉන්දියානු වල් බල්ලා' (Indian Wild dog). ඌ ලෝකෙ ඉන්න දරුණුම විලෝපී සතෙක්. විශාලත්වය සාමාන්‍ය බල්ලෙකුගෙ ප්‍රමාණයෙවුනත් උන් රංචුවකට ලෙහෙසියෙන්ම ලොකු ගෝනෙක් එලා ගන්න පුලුවන්. අපිට පෙන්නපු එක වීඩියෝ දර්ශනයක තිබුනා වල් බල්ලො ‍රැලක් ගෝනෙක් වට කරගෙන ගෝනා පන පිටින් ඉන්දෙද්දිම ඇඟේ මස් කුට්ටි කඩාගෙන කනවා. කොච්චර විශාල, ශක්තිමත් සතෙක් උනත් කම්පනය නිසාම ඒ වගෙ අවස්ථාවකට මුහුණපාන ගොදුරු සතෙක් මිය යනවා.

බන්ඩිපූරයෙ දකුණු මායිම ගැඹුරු අගාධයක් (Gorge). කර්ණාටකය, තමිල්නාඩුවෙ න් වෙන් වෙන ඒ අගාධය වන අලින්ගෙ සංක්‍රමනයට පවතින එක් ස්වාභාවික බාධාවක් බව කියවුනා.

බොනට් රිලවා (Bonnet Macaque)
උද්‍යානයෙ තියෙන උසම කන්ද මුදුනෙ තියෙන හින්දු කෝවිලකටත් අපි ගියා. ඉන්දියාවෙ ප්‍රසිද්ධ හින්දු කෝවිල් වැඩිහරියක් තියෙන්නෙ උස් කඳු මුදුන්වල. පූජනීය ස්ථානයක්වුනත් කොවිලේ කටයුතු පාලනයවුනේ කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවට උවමනා විදියට.

බන්ඩිපූරයෙ ආරක්ෂක කටයුතු ඉතාම විධිමත්ව කෙරෙන බව, උද්‍යානයෙ මුර සංචාරක කඳවුරකට (Patrolling Camp) ගිය වෙලාවෙ උද්‍යානය භාර ලොක්කා විස්තර කළා. කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවෙ කාන්තා නිලධාරිණියොත් ඉන්නවා දැකපු අපේ කස්ටිය මංඥං වෙලාහිටියේ. 'අපිට කොයින්ද ඉතිං ඒ වගෙ වාසනාවක්' කියලා එකෙක් හීනියට කියනවා ඇහුනා.

මුර සංචාරක කඳවුරක් (Patrolling Camp)
දවස් දෙකකට පස්සෙ ආපහු එන දවසේ අපිට අහම්බෙන් කර්ණාටකයෙ වනාන්තර පිලිබඳ ඇමතිවරයා මුණ ගැහුනා. ලංකාවෙ වන්ජීවියො ටිකක් ඇවිත් ඉන්නවා කියලා දැනගෙන එතුමා ඇවිත් අපිත් එක්ක කතාබස් කරලා ගියා. වනජීවී සංරක්ෂණය ගැන ඉතාම අවබෝධයකින් කතා කරපු ඇමතිවරයා, ලංකාවෙ වනජීවී සංරක්ෂණය ගැනත් දැනගන්න ලොකු උනන්දුවක් දැක්වුවා.

බන්ඩිපූරයෙන් පිටත්වුන අපේ ඊලඟ ගමනාන්තයවුනේ නැගෙනහිර ඝාට් කඳුවැටියෙ බිලිගිරි රංගා වනජීවී අභය භූමිය. ඒ ගැන විස්තර තව දෙසතියකින්.


මහවන මැද වාසනාව
(මේ බ්ලොග් එකේ 'My Photographs' පි‍ටුවට අලුතින් පින්තූර කීපයක් එකතු කරලා තියෙනවා. ඒවත් බලලාම යන්න ළමයිනේ ..!)












49 comments:

  1. ආස හිතෙන පොස්ට් එකක් ගාමිණී අයියේ. මේකේ අර කැලෑ බල්ලන් ගැන කියවිලා තියෙනකොට මට මතක් වුනේ අවරුදු දෙකකට විතර කලින් කියවපු "සෝලෝ" කියන කැලෑ බල්ලන් ගැන කියවෙන පොතක්. ඔවුන් සීබ්‍රාවන් පවා මරා ගන්න සමත්. ඔවුන් මුලින්ම අල්ලා ගන්නේ සීබ්‍රා වරුන්ගේ හෝම්බෙන්ලු. එතකොට උන් නිකම්ම මර්දනය වෙනවලු. හයිනා පවා මේ කල බල්ලන්ට බයයිලු.

    ReplyDelete
    Replies
    1. වල් බල්ලෝ රංචුවක් ඉස්සෙල්ලාම කරන්නෙ ගොදුරු සතුන්ගෙ කණ්ඩායමේ පහසුම ගොදුර ‍තෝරා ගන්න එක. ඊට පස්සෙ ඌව තනි කරගෙන පස්සෙන් පන්නලා වෙහෙස කරවනවා (exhausted). ඊට පස්සෙ හොඳටම දුර්වලවුනහම වටෙන්ම ඇඟේ එල්ලිලා බිම දාගෙන පන පිටින් ඉන්දැද්දිම මස් කුට්ටි කඩාගෙන කනවා. හොම්බෙ එල්ලිලා ඉන්න එකා කරන්නෙ ස්වසනය අවහිර කරන එක. මේ වගේ එක එක විලෝපී සත්ව විශේෂයට ආවේනික දඩයම් උපක්‍රම (hunting strategy) තියෙනවා මලේ.

      හයෙනා මාංශභක්ෂක උනාට දඩයම් කරගෙන කන්නෙ නෑ මලේ. ඌ කන්නෙ අනිත් විලෝපී සත්තුන්ගෙ ගොදුරුවල ඉතුරුවෙන ක‍ටු ටික (scavenger). ඌ කායිකව ශක්තිමත් සතෙක් නෙමෙයි.

      Delete
    2. මා අසා ඇති විදියට හයිනා ,නරියා,හිවලා,වලසා සහ බල්ලා සියල්ලම එකම පවුලෙ අය නේද ?

      Delete
    3. ඒ කස්ටිය සේරම මාංශභක්ෂක (carnivore)අය. ඒත් ආහාර විලාසය (food habit), දඩයම් උපක්‍රම (hunting strategy)වගේ දේවල් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට හයෙනා කන්නෙ අනිත් විලෝපී සත්තු කාලා ඉතුරු කරන ඇටක‍ටු, හං කෑලි විතරයි. වලහා කන්නෙ මැරිච්ච සත්තුන්ගෙ මස්. පනපිටින් කන්නෙ වේයො විතරයි. මාදං, පලු වගේ පලතුරු, මී පැණි වගේ දේවලුත් අහුවුනොත් ඇදලා අරිනවා.

      Delete
    4. මම ඇනිමල් ප්ලැනට් වීඩියෝවක දැක්ක "කොමොඩෝ ඩ්‍රැගන්" කියන සත්තු දඩයම් කරන විදිහ. එකම සතෙක් පස්සේ දවස් ගානක් ගිහිල්ලා ඒ සතාගේ කකුල් හපා කනවා. දවස් කීපයක් යනකොට අර සතා ඇවිදගන්න බැරුව ඇදගෙන වැටෙනවා.
      වලහා වේ හුඹහ බිඳලා සිදුරට උගේ කට තියල අදිනවා කියන්නේ ඇත්තද අය්යේ..?
      හයිනා වෙනත් සතුන්ගේ ශරීර කොටස් කඩාගෙන කනවා නේද උන් පණපිටින් ම ඉඳිද්දී..මෙතන තියන වීඩියෝ බලන්නකෝ..කමක් නෑනේ දැම්මට..
      http://www.youtube.com/watch?v=6xh2YpA1JzE

      Delete
    5. මලේ, වලස්සු හුඹහ බිඳලා වේ වදය එලියට අරගෙන ඒකට කට තියලා උරන්නේ. හුඹහේ කටට නෙමෙයි.

      අප්‍රිකාවෙ සෙරන්ගෙටිවල තිත් හයෙනා (spotted hyena) ගැන වීඩියෝ ක්ලිප් එක බැලුවා. හයෙනා scavenger එකෙක් උනාට බඩගිනිවෙලාවට සත්තු දඩයම් කරගෙන කනවා කියලා ඒකෙ කියැවෙනවා. ඉන්දියාවෙ ඉන්න ඉරි හයෙනාත් (stripped hyena) මූලිකව scavenger එකෙක් උනාට සත්තු දඩයම් කරගෙනත් කනවා කියලා සඳහන් වෙනවා. ලින්ක් එක එවලා නිවැරදි කළාට ස්තුතියි මලේ.

      Delete
    6. පැහැදිලි කිරීමටත් ස්තුතියි අය්යේ!!

      Delete
  2. නියමයි නේ ලිපිය මම ආසාවෙන් කියෙව්වේ.අර ගවරෝ ලංකාවෙත් ඉන්නවනේද. ගවරමාන කියන ගම හැදිල තියෙන්නේ ගවරන් නිසා කියලයි මට හිතෙන්නේ.ගවරන් කන තණකොළ තමා ගවර මාන කියන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් අපේ කැලෑවල්වල ගවරා නෑ මලේ. සමහරවිට අතීතයෙදි ඒ නම් හැදුනා වෙන්න පුලුවන්. රත්නපුරේ පැත්තෙදි ෆොසිල ඇට ක‍ටු හම්බවෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා

      Delete
    2. නිශ්චිත තොරතුරු මගේ ළඟ නැහැ. ඒත් මම අහල තියෙනවා සිංහයන්ගේත්, රයිනෝසිරස් හා හිපොපොටේමස්ලාගේත් පොසිල රත්නපුරෙන් ලැබුණු අවස්ථා තිබෙන බව.අමුතුවෙන් කියන්න ඕනි නැහැ බොහෝ විට පතල් වලින් වලින් තමා ලැබුණ කියන්නේ.. සමහර විට අනිත් ප්‍රදේශ වලත් ඇති පොසිල, ගැඹුරට හැරීම් , දෝනා යනවා අඩු නිසා ඒවා හමු වෙන්න නැතිව ඇති තවම. :)

      මොන අඩුපාඩු තියෙනවා කිව්වත්, මම හිතන්නේ ඉන්දියානුවන් ළඟ රට ගැන හැගීමක් තියෙනවා අපේ අයට වඩා..

      Delete
    3. ස්තුතියි මලේ ... මම විස්තර හොයලා බලලා ආයෙත් කොමෙන්ට් එකක් දාන්නම්.

      Delete
  3. ලස්සන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුතා ...!

      නොනිමි අහස පැත්තේ ගියා. රජයේ සේවකයක් නිසා සද්ද නැතුව ආපහු ආවා.

      Delete
  4. සමහර කරුණු අදමයි දැනගත්තේ..

    ස්තූතියි ගාමිණී මාමා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුතා, එසේම වේවා ...! ඒවාම ලැබේවා ...!

      Delete
  5. අයියට පණිවිඩයක් ලැබුනද මංදා..?

    ReplyDelete
    Replies
    1. පණිවිඩයක් කිව්වෙ මලේ ...? (gaminievijith@gmail.com ඊමේලක් දාන්න)

      Delete
  6. ‍‍‍‍//වනජීවී සංරක්ෂණය ගැන ඉතාම අවබෝධයකින් කතා කරපු ඇමතිවරයා, ලංකාවෙ වනජීවී සංරක්ෂණය ගැනත් දැනගන්න ලොකු උනන්දුවක් දැක්වුවා.//

    මට මේක දකිනකොට නිකන් ලැජ්ජයි වගේ....

    ReplyDelete
  7. නියම විස්තර ටිකක් ගාමිණී අයියේ.

    'ජාතික උද්‍යානවලින් ලැබෙන ආදායම නොසලකා සංරක්ෂණය සඳහා මුල්තැන දෙන රටක් හැටියට ඉන්දියාව ගෞරවයට ලක්විය යුතුයි කියලා මට හිතුනා'
    'පූජනීය ස්ථානයක්වුනත් කොවිලේ කටයුතු පාලනයවුනේ කර්නාටක කැලෑ දෙපාර්තමේන්තුවට උවමනා විදියට'

    ඒ අතින් බලනකොට ලංකාවෙ තත්වයනං අතිශයින් කණගාටුදායකයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමහර කාරණාවලින් ඉන්දියාව අපට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා මලේ ...!

      Delete
  8. 01.//කොලඹ තරුපහේ සයිවර් හෝටලේකට ගියා වගේ අපේ කස්ටිය අතපය දිගෑරලා ගේම දුන්නා.// වෙලාවේ හැටියට මේක තමා බොක්ක‍ටම වැදුනේ.....

    02. අර වාසනාවන්ත මුර කුටියක් වනාන්තරයක් මැද මම දැකලා තියෙනවා දඹුල්ල දිහා තියෙන නාමල් උයනේ දී. හැබැයි ගැල්ලමයිනං නෑ මං හිතන්නෙ.

    03.අනිත් තොරතුරු නං වෙනදා වගේම නැවුම්. වල් බල්ලා කියන එකේ නියම තේරුම දැන ගත්තා අද? කෑලෑ ඇමති කැලෑ ගැන දන්න එක්කෙනෙක් කිව්වම ඔන්න මට පුදුමත් හිතුනා.

    ස්තුතියි සංචාරක සටහනට.

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්න බැරි වුනා රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා ගැන සෑහෙන්න චිත්‍රපටි හැදිලා තියෙනවා නේද විදේශ රට වලත්.....

      Delete
    2. ලංකාවෙ වනජීවී, වන සේවාවල්වල ක්ෂේත්‍ර තනතුරු තවම ගැහැණු උදවියට විවෘත නෑ.

      'Wild dog', 'වන බල්ලා' කියලත් පරිවර්තනය කරගන්න පුලුවන්, බුද්ධි. ඒත් වැඩිය කටට හුරු 'වල් බල්ලා' කියලනේ ...!

      Delete
    3. මධ්‍යම ආසියානු රටවල් ගණනාවක ව්‍යඝ්‍රයා ඉන්නවා බුද්ධි. දරුණු උනත් ඉතාම ප්‍රියංකර සතෙක් නිසා ඌ අවධානයට ලක් වෙනවා.

      Delete
  9. ධජ ධාරී Flagship.. ..මේ වචනෙ මන් හොය හොයාමයි හිටියෙ ගාමිණි අයියෙ..
    අපේ අය කවදා තේරුම් ගනීද මන්දා ආදායමට වඩා සංරක්ෂණයට තැන දිය යුතුද කියලා නම්...
    Animal Planet එක තිබ්බ වැඩසටහන් කීපයක්ම මතකයි බෙංගාල ව්‍යාඝ්‍රයා ගැන..ඔය අයියා ඇඳපු චිත්‍රද දමලා තියෙන්නෙ..ඒ වගෙයි මට නම් පේන්නෙ..

    ReplyDelete
    Replies
    1. 'Flagship' කියන්නෙ මලේ නැව් සමූහයක, කොඩිය අරගෙන ඉදිරියෙන්ම යන නැව.

      කොටි පින්තූරදෙක මගේ ' වනදිවි සැරිසර' පොතෙන් ගත්තු, මම ම ඇඳපු ඒවා. ලස්සණයි නේ ...?

      Delete
  10. වටිනා ලිපියක් ස්තුතියි.
    ප්‍රශ්න කීපයක් අහන්නද ?
    1) ලංකාවේ කොටි ඉන්නවද ?, හෝ ඉඳල තියනවද ?
    2) වියග්‍රය කියන්නේ Jaguar කියන සතාටද ?
    3)ආසියාවේ සිංහයන් ඉන්නවා කියල කවදාවත් අහල තියනවද ? (මම ඇහුවේ සිංහ කියන සංකල්පය ලංකාවට කොහෙන් අවදා කියල හිත ගන්න බැරි නිසා )

    ReplyDelete
    Replies
    1. නිතර කතා බහ වෙන කාරණා කීපයක් ගැන, වැදගත් ප්‍රශ්ණ කීපයක් අහලා තියෙන්නේ.

      1) 'කොටියා' කියන්නේ බූල් කෝට් එකේ තිත් (rossetes) තියෙන එකාට. ඌට 'දිවියා' කියලත් කියනවා. විද්‍යාත්මක නම Panthera pardus kotiya. ඌ ලංකාව ඇතුලු ආසියාතික රටවල් කීපයකත් අප්‍රිකා මහද්වීපයෙත් ඉන්න, පරිනාමීයව වඩාත් ප්‍රාථමික සතෙක්. ලංකාවෙ කොටි හොඳ සාධ්‍ය (viable) ගහනයක් ඉන්නවා.

      2) 'ව්‍යාඝ්‍රයා' කියන්නෙ බූල් කෝට් එකේ ඉරි තියෙන එකාට. උගේ විද්‍යාත්මක නම Panthera tigris. කොටියට පස්සෙ මධ්‍යම ආසියාවෙ බිහිවුනු ඌ ලංකාව හෝ අප්‍රිකාවෙ දකින්න නෑ. 'ජගුවර්' දකුණු ඇමෙරිකාවෙ වනාන්තරවල ඉන්න කොටියාට සමාන පෙනුමක් තියෙන බිළාලයෙක්. ඌ අප්‍රිකාවෙ හෝ ආසියාවෙ දකින්න නෑ.

      3) ආසියානු සිංහයා මේ වෙනකොට ඉන්දියාවෙ 'ගීර්' ජාතික උද්‍යානයෙ ඉන්න දෙතුන් සීයකට සීමාවෙලා ඉන්නවා. ඉස්සර ඉන්දියාව පුරාමත්, පර්සියාව දක්වාත් පැතිරිලා විසූ බව කියනවා. මම දන්න විදියට සිංහයා ලංකාවෙ හිටපු බවට ස්ථිර තොරතුරු නෑ. සිංහ සංකල්පය නිසැකවම විජය රජ්ජුරුවොත් එක්ක ලංකාවට එන්න ඇති.

      Delete
    2. නිවැරදි කිරීමක් - Panthera pardus kotiya උප විශේෂය ඉන්නෙ ලංකාවෙ විතරයි. ආසියාවෙ හා අප්‍රිකාවෙ අනෙක් රටවල ඉන්නෙ Panthera pardus විශේෂයට අයත් අනෙක් උප විශේෂ.

      Delete
  11. ලැබෙන මුදල් ගැන නොහිතා, සතුන්ගෙ ආරක්ෂාවට මුල් තැන දීලා කටයුතු කරන බව අහන්නටත් ආසයි. අපේ අයත් එහෙම හිතනවනම් කොච්චර හොඳද?
    වනජීවී දෙපාර්තමේන්තුවට කාන්තාවන් බඳව නොගන්නෙ ඇයි? අපේ මාමා ඕපන් යුනිවර්සිටි එකේ වනජීවී අධ්‍යයන පාඨමාලාවක් කළා. එයාලගෙ ෆීල්ඩ් විසිට්ස්වලටත් ගැහැණු අයට එන්න එපාය කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ වනජීවී සංරක්ෂණ නීතියෙ (වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත) මූලික පරමාර්ථය 'වනජීවී සම්පත්වල වාණිජ භාවිතය වැලැක්වීම' බව ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. දෙපාර්තමේන්තුවට ඒ අවබෝධය තියෙනවා. නමුත් රටේ සිද්දවෙන දේවල් මෙහෙයවන අනෙක් 'සියල්ල දත්' බලවේගවලට ඒ අවබෝධය නෑ.

      වනජීවී රස්සාවෙ මිනීමරු අලි පස්සෙ දිවීම, දඩයක්කාරයන්ගෙන් පොලු පාරවල්, වෙඩි පාරවල් කෑම වගෙ රාජකාරි ඇරුනහම ගෑණු ළමයෙකුට කරන්න පුලුවන් රාජකාරි තියෙන්නෙ බොහොම ටිකයි. කොහොමවුනත් ලංකාවෙ වන්ජීවියන්ට තවම ඒ වාසනාව පෑදිලා නෑ. ස්වෙච්ඡා පදනමින් බඳවාගත් ගෑනු ළමයි නම් කාර්යාල කටයුතුවල යොදවලා තියෙනවා. ක්ෂේත්‍රයෙදි නවාතැන් පහසුකම් දෙන්න අපහසු නිසා ඕපන් යුනිවර්සිටි එකේ පාඨමාලාවෙදිත් ගෑණු ළමයි දාලා යන්න ඇති.

      Delete
  12. මචං මේ බ්ලොග් ලියන අපිත්, කිසිම වයායාමයක් නැතුව කම්පූටරේ ඉස්සරහ ඉඳගෙන ඉඳලා බන්ඩිපුරේ එවුන් වෙයිද කියලා මට බය.

    මේ චිත්‍ර නම් උඹේ බව මම හිතුවා. වෙනදා වගේම නියමයි.

    ෆ්ලැග්ෂිප් වලට කියන සිංහල වචනෙ උඹෙන් ඉගෙනගත්තා ස්තුති පූර්වකව.

    (මේ බ්ලොග් එකේ 'My Photographs' පි‍ටුවට අලුතින් පින්තූර කීපයක් එකතු කරලා තියෙනවා. ඒවත් බලලාම යන්න ළමයිනේ ..!) කියාපු නිසා මම පැනලා ගිහින් ඒ ටික බැලුවා. කාලෙකිං බං ළමයෝ කියලා ඇහුවේ.

    සික් බං උඹ මේ ලියන එක කියවලා උඹලගෙ දෙපාර්තමේන්තුවට කෙල්ලො සෙට් එකක් හෙම බඳවාගත්තොත් උඹට වහ කාලා කැලේ රිංගන්න වෙන්නෙ. (උඹ පැංසොං යනවා කිව්ව හන්දා මතක් වුනේ.) ඕන් උඹ එක්ස්ටෙන්ඩ් කර ගත්තොත් ඕකයි හේතුව ඈ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පැන්ෂන් කොලේ ලියාගෙන ගිහින් දුන්නහම ඒක ආපහු දුන්නා මචං, අපේ වැ‍ටුපෙයි, තනතුරෙයි තියෙන අවුල හදලා දෙනකම් ඉන්න කියලා. තව ටිකක් බලලාම යනවා.

      උඹ කිව්වා වගේ ගියාට පස්සෙ ගෑල්ළමයි (45 වත් පැනපු එවුන් වෙන්න එපායැ) බඳවා ගත්තොත් නම් වහම කනවා.

      Delete
    2. මං කිව්වා හරිනේ මචෝ! :D කොල්ලනේ ඔන්න වන ජීවී එකට කෙල්ලො සෙට් එකක් බඳවාගන්න බව කන්ෆර්ම් වෙලා තියෙන්නෙ, හරි? හික් හික්. මම උඹලාගෙදර ආවාම මේ ගැන කටේ කෙල බින්දුවක් හලන්නෙ නැති බවට මම උඹට පොරොන්දු වෙනවා.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  13. නියම විස්තරයක් ගාමිණි අය්යේ..! මගේ හිතට වැඩියෙන් ම වැදුනේ අර ගවරා. ඌ සාමාන්‍ය ගවයෙක් ද..? මට මතකයි පොතක(එදා හෙළදිව) තිබුනා දෙවෙනි රාජසිංහ රජතුමාගේ සුරතල් සතුන් ටික අතරේ ගවරෙක් හිටියා කියල. මෙහෙ තියනවා "ගවරන්හේන" කියල ගමක්. අතීතයේ ඒ ප්‍රදේශයේ ගවරුන් හිටියා කියලයි කියන්නේ.
    ඉන්දියාවේ වනාන්තර සම්බන්ධව නම් සතුටු වෙන්න පුළුවන් තත්වයක් තියනවා වගේ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියවන්නේ නැතුව පහලට බැස්සේ. නලීන් අය්යත් කියල තියන්නේ ගවරා ගැන. ගවරම්මාන කියල වෙළෙඳ සැලක් තියනවා මෙහෙ. එකත් ඔහොම හේතුවකට හැදුනු නමක් වෙන්න ඇති. වයසක මිනිස්සු නම් කියන්නේ ඌ රළු දිවක් තිබුනු සතෙක් කියලා.

      Delete
    2. මෑත කාලෙ ලංකාවෙ වනාන්තරවල ගවරා හිටිය බවට තොරතුරක් මට තවම කියවන්න ලැබිලා නෑ. නමුත් ගෘහාශ්‍රිතව ගවරා හෝ ඊට සමාන සතෙක් ඉන්න ඇති. එහෙම නැතුව ඒ ග්‍රාම නාම ඇතිවෙන්න බෑ, මලේ.

      Delete
  14. මමත් වතාවක් කොයිම්බතූර් හරහා ඌටි වලට ගිහිල්ලා තියෙනවා... මෙහෙම දෙයක් ගැන එදා දැනගෙන හිටියෙ නෑ... චෙන්නායි වල තියෙන කිඹුල් ෆාම් එක නම් දැක්කා...

    වටිනා විස්තර ගොනුවක්...උත්සාහයට තුති...

    ReplyDelete
    Replies
    1. 'මැඩ්‍රාස් ක්‍රොකඩයිල් ෆාර්ම්' එකට අපිත් ගියා. විස්තර ඉදිරියට.

      Delete
  15. අනේ ගාමිණි මහත්තයෝ පුලුවන්නම් ඔය ව්‍යග්‍රයා ගැන පොඩි විතර ටිකක් දාන්නකෝ. ආඅ මට මේක බැලුවාමයි මීටර් උනේ අපේ ආච්චි මට ගවරා කියන්නේ ඇයි කියල මල පැන්න වෙලාවට හිකිස්....... මගේ කොම්පෙතර් එකේ දෝසයක් නිසා දත්ත මැකිලා පාර හොයාගන්න බැරිව හිටියේ මාරයා අයියගේ පොස්ටුව හරහා තමයි ආවේ ඕන්

    ReplyDelete
    Replies
    1. යකෝ කෝරළේ මහත්තයෝ උඹට මම කෘතඥ වෙනවා මේ කතාවට. වල් බල්ලා කියලා නම් යාලුවන්ගෙන් අනන්ත බැනුම් අහලා තියෙනවා මම. අද තමයි වල් බල්ලාව හරියට දැක්කෙ.
      ඒක නෙවෙයි මගෙ සතුටට සහ උඹට කෘතඥ වෙන්න හේතුව. අපේ අම්මත් මට බැනලා තියෙනවනෙ බං ඉස්සට මේකා ගවරා වගෙ වැඩ කරනවා කියල. මට ඒක කියන්න ලැජ්ජාවෙ බං හිටියෙ. දැන් අපි දෙන්නෙක් ඉන්න හන්දා ගානක් නෑ. හික් හික්!

      ආච්චි උඹට බැනලා නැද්ද මූව මග්ගොන යවන්න ඕනෙ කියලා?

      මචං ගාමිණී, මූ සුනාමියෙන් මාරබේරිල්ලක් බේරිච්ච කෝරළේ මහත්තයෙක්. නිකමට ගිහින් බලාපං පරන පෝස්ට්. හැබැයි වාහන එලවිල්ල නම් ...ඌහ්

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. කොරලේ මහත්තයාට ගවරා කියන්න ඇත්තේ ඔබතුමාගෙ පෞරුෂය ගැන හිතලා වෙන්න ඕනෑ. ගවරා අඩි හයකට කිට්‍ටු උසක් තියෙන අනිත් සත්තු අතර කැපිලා පේන ඉතාම ප්‍රියංකර, ශක්තිමත් සතෙක්.

      ව්‍යාඝ්‍රයා ගැන පොත් ගණනාවක් ලියන්න තරම් තොරතුරු තියෙනවා. පුලුවන්නම් ජිම් කෝබට් ගෙ පොත් හොයාගන්න. ව්‍යාඝ්‍රයා ගැන මම කියවපු හොඳම පොත් ඒවා.

      හෙන්රි මචෝ අපේ අම්මටත් මාත් එක්ක මල පැන්න වෙලාවට සත්තු හත් අට දෙනෙකුගෙම නම් මතක් වෙන්න ඇති. කොයි එක කියනවාද කියලා හිතාගන්න බැරුව ඉන්න ඇති. කොහොම උනත් බැනිල්ල ඉවර කරන්නේ ' ගියොත් ගිය පැත්ත විනාසයි ...' කියලා.

      Delete
    3. රුද්‍රපයාගයේ ව්‍යාඝ්‍රයා විතරයි කියවන්න සැට් උනේ අනෙක් ඒවා මට හොයාගන්න බැහැ. මොකද ලංකාව එන්නේ මාසෙකට හෝ ඊට අඩුවෙන්. සෙට්වෙන්නෙම අලකලන්චිනේ. ඒවාට පැටලුනාම අයියෝ සල්ලි කියල හිතෙනවා. (අනේ මගේ පෞරුෂය) අම්මපා ඩුඩ් අයියේ මට නිකමට හිතුන අපි දෙන්නම එකවගේ කියල. හිකිස්...... ගාමිණි මහත්තයෝ නිවාඩු පාඩු වෙලාවක එන්නකෝ වලව්වට ගොඩවදින්න.http://chithula.blogspot.com/2012/08/99.html මෙන්න ලින්ක් එක. ඔබතුමා එපත්තේ එන්නේ නැත්තේ අමනාපයෙන්දෝ කියල හිතුනා. අනේ හත් ඉලව්වේ ඩුඩ් අයියේ( ඔහොම ප්‍රසිද්දියේ මගේ ඩ්‍රයිවින් හැකියාව ගැන වර්නනා කොරන්න එපා. වහ කාල කැලේට රිංගන්න හිතෙනවා. හයියෝ සල්ලි.....

      Delete
    4. වලව්ව පැත්තේ රවුමක් දාලා අවා. සුනාමි කතා තුනම ආසාවෙන් කියෙව්වා. ගිරිතලේ නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නිසා නෙට් යන හැම වෙලාවකම ඉන්නේ මල පැනලා. හුඟක් වෙලාවට ඊ මේල් විතරයි චෙක් කරන්නේ. ගෙදර ආවහම තමයි නිදහසේ බ්ලොග් එකක් කියවන්නේ. වලව්ව පැත්තේ එන්න පරක්කු උනාට සමා වෙන්න ඕනෑ, කෝරලේ ඇත්තො.

      රුද්‍රප්‍රයාග් ඇරෙන්න ජිම් කෝබට් ගේ තව පොත් දෙකක් තියෙනවා ව්‍යාඝ්‍රයෝ ගැන. (රුද්‍රප්‍රයාග් එකේ කියවෙන්නේ කොටියෙක් ගැන). වන සත්තු ගැන වගේම ඉන්දියානු ජන ජීවිතය ගැනත් කියවෙන නිසා ඒ පොත් හරිම රසවත්.

      ජයවේවා !

      Delete
  16. අපේ රටේ ඇමතිවරුත් වනජීවීන් ගැන බොහොම සැලකිලිමත්.. ඒ ගොල්ල අසරණ සත්තුන්ට ඉන්න තැන්වලට එලිය වැටෙන්න හුලන් වදින්න කියලා ලොකු ලොකු ගස් ටික කපලා පිනට දෙනවා නෙව ආයුබොවන් !!

    ReplyDelete
    Replies
    1. 'හ්ම් ...හ් ...!' (මම රජයේ නිලධාරියෙක් ලංකෝ ..!)

      Delete
  17. මයිසූර් මහාරාජාගේ කැළෑවේ හිටිය නිසාද "රාජකීය බෙංගාල කොටියා" කියන්නේ ??

    ReplyDelete
    Replies
    1. නෑ මලේ, ඉන්දියානු මහාද්වීපයේ බෙංගාල ප්‍රදේශය තමයි ව්‍යාඝ්‍රයාගෙ නිජබිම හැටියට සාම්ප්‍රදායිකව සැලකෙන්නේ. ඒ නිසයි 'බෙංගාල ව්‍යාඝ්‍රයා' කියන්නේ. 'රාජකීය' කෑල්ල ඉංග්‍රීසීන්ගෙ කාලෙ එකතුකරපු එකක් කියලා කොහේ හරි සඳහන් වෙලා තිබුනා මතකයි.

      Delete