මගෙ යාලුවෝ

Tuesday, February 7, 2012

13. ඔපරේෂන් පොලී



'අනේ මල්ලී ..' අක්කාගෙන් කාලෙකට පස්සෙ දුරකතන ඇමතුමක්. 'අපේ පොලී පස්සෙන් එකෙක් පන්නනවා ... ඒකි තාම පුංචියිනේ ...  ඕවා තාම තේරෙන්නෙ නෑනෙ ... ඒකි පණ බයේ ඉන්නේ ... අනේ මල්ලි ඒකිව කොහොමහරි බේරලා දෙන්න ...' අක්කා කියාගෙන යනවා.

'පොලී කිව්වෙ අක්කෙ ...?' එහෙම එකියෙක් ගැන මතකයක් නොතිබුන නිසා මම ඇහුවා.

'අපේ පූසි .. ඒකිනෙ පුංචිම එකී ... අනේ මල්ලි මොනවා හරි කරලා ඒකිව බේරලා දෙන්න ...' එතකොට තමයි මට අක්කගෙ පූස් ගැන්සිය මතක් උනේ. එක එක ජාතියෙ පූසො හත් අට දෙනෙක් ඒකෙ හිටියා.

'එහෙනම් ඉතිං ඌව මෙහෙටවත් ගෙනත් දාමු ... '  මම කිව්වා.

ඊට දවස් කීපයකට පස්සෙ කොළඹ ගිය දවසක මම අක්කලාගෙ ගෙදර ගියා. කුස්සියෙ තැන් තැන් වල කේක් ගෙඩි වගේ ලැගලා හිටපු පූසියො හත් අට දෙනා අතරින් එකෙක් ‍තෝරලා වඩා ගත්තු අක්කා  විස්තරේ කිව්වා. 'අනේ මල්ලි මට දුකේ බෑ ... මෙයා පොල් කන්න හරි ආසයි ... මම පොල් ගානකොට ඇවිත් පොල් ටිකක් ඉල්ලගෙන කනවා ... ඒකනේ අපි පොලී කියන්නෙ ...'

ගෙදර තිබුනු හොඳම ප්ලාස්ටික් කූඩෙට දාලා පොලියව අපට දෙනකොට අක්කට ඇඬුනා. 'අනේ මල්ලි මම මේකිව හදා ගත්තෙ දරුවෙක් වගේ. හොඳට බලාගන්න ඕනෑ ..'

මාත් එක්ක ගිය අජිත්  පියන කොහු ලණු කෑල්ලකින් බැඳලා පූසි දාපු කූඩෙ වාහනේ පිටිපස්සෙන් දාගන්න හැදුවා. 'අනේ මල්ලි එයාව ඇතුලෙන් තියා ගන්න ...' ඒක දැකපු අක්කා ඇඬිල්ල අස්සෙම කිව්වා. අජිත් මගෙ දිහා බලලා පූස් කූඩෙ සීට් එකක් උඩින් තිබ්බා. 'සීට් එක උඩ චූ කෙරුවොත් ‍තෝව මරලා කැළණි ගඟට වීසි කරනවා ...' ෂුවර් එකටම අජියට එහෙම හිතෙන්න ඇති.

කොහොම හරි පොලියා ගිරිතලේට ඇවිල්ලා සයිමන් අන්කල්ගෙ භාරයට පත් උනා. බොහොම අමාරුවෙන් තමයි එයාව අලුත් පරිසරයට හුරුකර ගත්තේ. මුලදි නොකා නොබී හිටියත් පස්සෙ ටික ටික හුරු උනා. මුලදි ගේ ඇතුලටම වෙලා හිටපු පූසි ටික ටික එලියට යන්නත් පුරුදු උනා.

දවස් කීපයකට පස්සේ මම අපේ මිදුලේ ලැගලා ගේ දිහා බලාගෙන ඉන්න පූස් තඩියෙක් දැක්කේ අහම්බෙන්. පොලියා වගේ දෙකක් විතර ලොකු ඒකා ඇඟේ වෛරම් තියෙන තරුණ පහේ කඩවසම් එකෙක්. මම ඌ දිහා බලාගෙන ඉන්නකොට පොලියාත් ඉස්සරහ වැ‍රැන්ඩා එකට ආවා. මිදුලෙ ලැගලා හිටපු පූසා දැකලා එකපාරටම ඒකිගෙ කන් දෙක ඉස්සිලා ගල් ගැහුනා. ටික වෙලාවක් පූසා දිහා බලා හිටපු පොලියගෙ සියොලඟ කිලිපොලා ගිය බව ඒකිගෙ වලිගෙ නටපු හැටියෙන්ම පෙනුනා. ඊට පස්සෙ පොලියා වැ‍රැන්ඩා එකේ එහාට මෙහාට ඇවිද ඇවිද පූස් තඩියට පේන්න දාපු කොමළෙ විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ.

ඊලඟ දවස් කීපය ඇතුලත වෙන්න ඕන හරිය සේරම සිද්ද උනා. ඒවට බාදා කරන්න කරන්න ගිහිල්ලා ලබන ආත්මෙදිත් මාසෙකට සැරයක් ගෙදර යන වනජීවියෙක් වෙන්න ඕන නැති නිසා මම කරබාගෙන නොදැක්කා වගෙ හිටියා. බලු ජෝඩුවකට ගල්ගහලා ඉස්කෝලෙ මහත්තයෙකුට වෙච්ච දේ හෙන්රිගෙ 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ තිබුනා කස්ටියට මතක ඇතිනෙ.

සත්තුන්ගෙ ස්වාභාවික හැසිරීම් වලක්වන්න අපි කරන මෙහෙයුම් අසාර්ථකයි කියලා මට හිතෙනවා. ටෙලිෆෝන් එකෙන් විස්තරේ අහපු අක්කා 'හපෝයි මේකි මගේ මූණෙ දැලි ගෑවා ..' කියලා විස්සෝප උනා.