මගෙ යාලුවෝ

Monday, March 12, 2012

15. වනජීවී ගුරුවරු

Mr. Shirley W. Perera
Mr. Chandra
Mr. Hudanchi
Mr. Arulanandan




 
Mr. White









මගේ ඉස්කෝල ගුරුවරු ගැන කලින් පෝස්ට් එකක ලියලා තියෙන නිසා මට හිතුනා මගෙ වනජීවී ගුරුවරු ගැනත් ලිව්වානම් හොඳයි කියලා. මාව බංකුවක වාඩි කරලා ඉගැන්නුවෙ නැතත් ඒ අය කරන දේවල් දිහා බලා ඉඳලා මම දාහක් දේ ඉගෙනගෙන තියෙනවා.

1981 ජනවාරියෙ මම කුමන වැඩ බාර ගන්න දවස් කීපයකට ඉස්සෙල්ලා වනසත්ව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන කාර්යාලයට ගියා කුමන තියෙන්නෙ කොහේද කියලා අහගන්න. එතකොට ප්‍රධාන කාර්යාලය තිබුනෙ දෙහිවල සත්තු වත්තෙ මින් මැදුරෙ උඩ තට්‍ටුවේ. එහේදි මට මුණගැහුනා එතකොට නැගෙනහිර පලාතෙ සහකාර අධ්‍යක්ෂක ෂර්ලි වින්ස්ටන් පෙරෙරා මහත්තයා. පුහුණුවෙන අඩවි සහකාරවරයෙක් විදිහට මම කුමනට එනවා, කුමනට එන්නෙ කොහොමද කියලා අහැව්වහම එයා කිව්වේ 'තමුසෙට ලැබෙන පළවෙනි ටෙස්ට් එක තමයි කුමන හොයාගෙන එන්න පුලුවන්ද කියලා බලන එක' කියලා. කොහොම උනත් ඊට පස්සෙ එලඹුනු දශක එක හමාරක විතර කාලය තුළ මට මගේ සේවා කාලයෙදි වරින් වර එතුමා යටතෙ වැඩ කරන්න ලැබුනා. මම හිතන්නෙ අද දක්වාත් මගෙ තාත්තා ඇරෙන්න මගෙ ජීවිතේට වැඩිම බලපෑමක් කරපු පුද්ගලයා තමයි ෂර්ලි පෙරේරා මහත්තයා. එතුමාගෙ රජකාරි ජීවිතය දිහා බලලා මම ඉගෙන ගත්තු දේවල් අනන්තයි, අප්‍රමාණයි.

අම්පාර දිස්ත්‍රික්කෙ පහල කෙලවරේ කැලෑව මැද්දෙ තියෙන කුමනදි මගේ අධීක්ෂණ නිලධාරියා උනේ චන්ද්‍රා දොන් සෙබස්තියන් කරුණානායක ජයවර්ධන මහත්තයා. රෑ දොලහ විතර වෙනකම් බූමිතෙල් ලාම්පු පත්තු කරගෙන අපිට එතුමා දන්න දේවල් ඉගැන්නුවා විතරක් නෙමෙයි අපි කන බොන, අඳින පලඳින දේ ගැනත් එතුමා හොයලා බැලුවා. දවසක් දෙපාර්තමේන්තුවෙ ලොක්කා නිල සංචාරයකට කුමන එන දවසෙ එයා ඇවිත් මගෙන් ඇහුවා 'මොකද්ද තමුසෙ ලොක්ක එනකොට අඳින්නෙ ? ' කියලා. මමත් ඉතින් මගේ තිබිච්ච පාන්කඩ කෑලි දෙක තුනෙන් එකක් පෙන්නලා කිව්වා 'මේකවත් අඳිනවා' කියලා.  මට ඔරවලා ආපහු ගිය චන්ද්‍රා මහත්තයා එයා ඉන්දියාවෙ පුහුණුවකට ගිහින් එනකොට ගෙනාපු අලුත්ම කමිසයක් දීලා කිවා මේක ඇඳගන්නවා කියලා.

ෂර්ලි පෙරේරා සහ චන්ද්‍රා ජයවර්ධන මහත්වරුන් දෙන්නා දික් කරපු අත්වල එල්ලුනේ  නැත්නම්, අඩවි සහකාරවරයෙක් හැටියට දෙපාර්තමේන්තුවට ආපු මට කවදාවත් මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙ නෑ.

මගේ අනිත් වනජීවි ගුරුවරු දෙන්නා තමයි කුමන මගේ සීනියර් අඩවි සහකාරවරුන් හැටියට හිටපු  පලනි හුදංචි අප්පු සහ තෙයිවනායකම් අරුලානන්දන්. මම ලියාපු 'යාල නැගෙනහිර - අහිමි වනමං' පොතේ ඒ දෙන්නට වෙනම පරිච්චේදයක් වෙන්වෙලා තියෙනවා.  ඒ දෙන්නාම දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්න උගන්වපු දේවල් නිසා තමයි මම තිස් අවුරුද්දක් අලි කොටි වලස්සු එක්ක ඉඳලාත් තවමත් අතක් පයක් කඩා ගන්නෙ නැතුව ජීවතුන් අතර ඉන්නෙ.

ඉතින් මම මේ ටික ලිව්වෙ මේ කියපු සේරම අය ආයෙත් කවදාවත් මේ ලෝකෙ පහල නොවෙන අපූරු චරිත නිසා. ඒ වගෙ අය යටතෙ මගේ වනජීවි ජීවිතේ අරඹන්න ලැබුනු එක මගේ පූරුවෙ වාසනාවක් කියලා මම සලකන්නෙ.

ඊට අමතරව මට රාජකාරි කාලය ඇතුලතදි ඊ. ඩෙස්මන්ඩ් වයිට්, කේ. සී. සැම්සන් වගේ දේපාර්තමේන්තුවෙ කවුරුත් ගෞරව කරන නිලධාරීන් එක්ක වැඩ කරන්න ලැබුනා. ඒ දෙන්නාම කසාදයක්වත් බැඳ ගන්නෙ නැතුව මුලු ජීවිතේම වනජීවියට කැප කරපු අය.

ඔවුන් සියලු දෙනාටම මගේ උත්තමාචාරය මෙයින් සටහන් කරලා තියනවා.


අරුල්ලා, හුදංචිලා ගැන ඉංග්‍රීසියෙන් කියවන්න  wildlifegiritale



Thursday, March 1, 2012

14 කොල වෙරි .. කොල වෙරි .. ඩී ...



හෙන්රි මචං මේ ලඟදි 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ ලියලා තිබුනා කස්ටියක් වෙරිමරගාතෙ රයිස් ඇන්ඩ් කරි කන්න ගිහිල්ලා එකෙක් බඩගින්නෙ හිටපු හැටි. ඒක කියවනකොට මට මතක්වුන ඩෝප් සීන් දෙක තුනක් ගැන අද ලියන්න හිතුවෙ.

මම කොලු කාලෙ ලඟින්ම ආශ්‍රය කරපු ගැන්සියෙ එකෙක් 'හපුයියා'. ඌ බොන්න ටිකක් කෑදරයි. දවසක් අපි යාලුවෙක් ගෙ මගුල් ගෙදර ගිහිල්ලා, බොන එවුන් බීලා, බොන්නෙ නැති එවුන් අමුවටම ඇති වෙනකම් නැ‍ටුවා.  මහ රෑ අනිත් සේරම කාලා ඉවර උනහම තමයි අපි කන්න වාඩි උනේ. ඒ වෙනකොට හපුයියට උතුර දකුණත් මාරුවෙලා හිටියේ. අපි සේරම අත් හෝදගෙන කන්න පටන් ගත්තා. අපි බත් පිඟානෙන් බාගයක් කාලා ඉවරවෙනකනුත් හපුය්යා කාටද බැන බැන අත හෝදනවා. ඌ නටන ගමන් කාට හරි කොක්කක් ඇදගෙන වෙන්න ඇති කියලා හිතලා අපිත් ඒක ගැන වැඩියෙ හිතන්නෙ නැතුව අපේ වැඩේ කරගෙන ගියා. අපිට ආයෙත් හපුයියා මීටරේට අහු උනේ අපි කාලා ඉවර වේගෙන එනකොට. එතකොටත් ඌ කාටද බැන බැන අත හෝදනවා. ඒ වෙනකොට උගෙ බැනිල්ලට කුණුහරුප දෙක තුනකුත් එකතුවෙලා. වැඩේ ටිකක් සීරියස් වේගෙන එන නිසා අපි සිහි කල්පනාව තිබුනු දෙතුන් දෙනෙක් හපුයියට කිට්‍ටුවෙලා අහැව්වා 'මොකද මචං කේස් එක' කියලා. මල පැනලා හිටපු ඒකා දත් මිටි කකාම කිව්වා  'මගෙ අත හේදෙන්නෙ නෑ ඩෝ ..' කියලා.  අපි තව ටිකක් කිට්‍ටු වෙලා බලන කොට තමයි කතන්දරේ තේරුනේ. වෙරි මරගාතෙ ඌ අත හෝදලා තියෙන්නෙ අල හොදි කෝප්පෙන්. කලින් කාපු එවුන් අල කෑලි ටික ‍තෝරගෙන කාලා හොදි ටික විතරයි ඉතුරු කරලා තිබිලා තියෙන්නෙ.

ඉතින් මේ වගෙ දෙයක් උනහම ඊ ලඟට වෙන්නෙ කතාවෙ ප්‍රධාන චරිතයට කාඩ් පෝලිමක් වැදෙන එකනෙ. හපුයියටත් ඒකම සිද්ද උනා. ඒ එක කාඩ් එකකට අනුව හපුයියා කොහොමහරි අත හෝදගෙන බත් කනවා. කාල ඉවරවෙලා අත ආයෙත් හෝදලා පිහදාගෙන ලඟ තිබුනු කෝප්පෙකින් මොනවද බොනවා. බීලා කියනවා 'ආතල් සුප් එක .. තව ලුණු ටිකක් ආවනම් ශෝක් ..' කියලා. මේක අහලා අනිත් එවුන්ට තද වෙනවා. ඒ මොකද, උන්ට සුප් ලැබිලා තිබුනෙ නැති නිසා. කොහොම හරි පස්සෙ හොයලා බලනකොට හපුයියා ඇදලා ඇරලා තියෙන්නෙ කලින් කාපු එවුන් අත හෝදපු ඉඳුල් වතුර කෝප්පයක්.

අපේ ගමේ පොරකට ගහපු තවත් කාඩ් එකක් තිබුනා, මම ඒ කතාව මීට කලින් කාගෙ හරි බ්ලොග් එකකට දාපු කොමෙන්ට් එකකත් ලිව්වා මතකයි. ඒ පොරත් කන සාක්කුවෙ දාගෙන තමයි හන්දෑවට ගෙදර එන්නෙ. දවසක් මහ රෑ පොරට චූ බරක් හැදිලා නැගිටලා ගිහින් වෙරි මරගාතෙම එලියට යන්න හිතාගෙන  ඉස්සරහ දොර ඇරලා. දොර ඇරලා බලනකොට තිත්ත කලුවරයිලු. 'යකෝ ගෑනියෙ අද මාසෙ පෝයද බං ...?' කියලා මූ දොරකඩ ඉඳගෙනම චූ පාර ගහලා ඇවිත් නිදාගෙන. පස්සෙන්දා උදේ ගෑණි ඇවිත් දෙස්දෙවොල් තියනකොටලු ඌ දන්නෙ ඊයෙ රෑ චූ කරලා තියෙන්නෙ අල්මාරියෙ දොර ඇරලා ඒක ඇතුලට බව.

කුමන  වැඩ කරද්දි අපේ බොසෙකුත් හිටියා කන් දෙක පාත් වෙනකම් බීලා ඇඟේ චූ කරගන්න. ඩ්‍රයිවර් එක්ක අම්පාර දිස්ත්‍රික්කෙ  තියෙන සේරම බාර්වලින් බීලා ආවහම අපි උස්සලා ගෙනිහින් සරමක් අන්දලා ඇඳට දානවා. උදේට ගිහින් බලනකොට සරම විතරයි ඇඳ උඩ තියෙන්නේ. පොර ඇඳ යට සැපට නිදි හෙලුවෙන්. චූ පාරක් ඇඳ යටින්  ඇවිත් කාමරේ පුරාම දෝරෙ ගලාගෙන ගිහින් තියෙනවා පේනවා. උන්දෑ විශ්‍රාම යන දවසේ අපේ මූණ ඉඹලා ගියේ 'මගෙ පැන්ශන් එක බේරලා දීපු දෙයියලා' කියලා.
 
ගිරිතලෙත් ඉන්නවා නියම කකුලක් අපිට හැමදාම විනෝද සාගරයක් සපයන. ඌට අපි විරත්න කියලා කියමු. බෝතල් එකහමාරක්වත් නැතුව විරත්නට දවස ගත කර ගන්න අමාරුයි. උදේට නැගිටින්නෙ මල පෙරේතයා වගෙ. පළවෙනි කාල ගහලා මූණකට හෝදගෙන, පවුඩර් ටිකක් දාගෙන, මැදපු කමිසයක් කලිසමක් ඇඳගත්තහම ඌට කුමාර පෙනුමක් එනවා. හැසිරීම, කතාබහ ඉතාම ප්‍රසන්නයි, ආචාරශීලියි. දවල් දහයට විතර දෙවෙනි කාල ගහැව්වහම කතාව ටිකක් වැඩි වෙනවා. දවල් දෙකට විතර තුන්වෙනි කාලට වනයක් වෙනවා. හැන්දෑවෙ හයට හතරවෙනි කාලට කාගෙන් හරි ගුටි කනවා. රෑ නමය දහය වෙනකොට ඌ ඩක්වත් ලුවිස් වගේ. දකින දකින හැමෝම එක්ක කතා කරනවා, ඒත් කියන දෙයක් කාටවත් තේරෙන්නෙ නෑ. ඉතින් ඌ කියන දේවල් කවුරුවත් අහගෙන ඉන්නෙ නැති නිසා ඊලඟට TV එක ඉස්සරහින් වාඩි වෙලා ITN එකේ ප්‍රවුර්ති කියන ගෑණි එක්ක උගේ දුක කියනවා. කසාද බඳින වයසේ ඉන්න දුව ගැන තමයි ඌ කියවන්නෙ. බීමට ඇබ්බැහි වෙලා හිටියට විරත්න ඇත්තටම අනුන්ගෙ දුක සැප තේරෙන, දූ දරුවන්ට පනවගෙ ආදරය කරන,  ඉතාම සංවේදී මිනිහෙක්.