මගෙ යාලුවෝ

Thursday, March 14, 2013

37. අලුත්ම පඳුරු මැඩියෝ අට දෙනෙක් ...!



මට සාමාන්‍යයෙන් මාසෙකට පෝස්ට් දෙකකට වඩා ලියාගන්න බෑ. ඉතින් මේ මාසෙ මැද ලියන්නෙ මොකද්ද කියලා හිත හිත ඉන්න කොට තමයි අපේ උරග හා උභය ජීවී විශේෂඥ, මෙන්ඩිස් වික්‍රමසිංහ මලයා ඇතුලු කණ්ඩායම අලුතින් පඳුරු මැඩි (Shrub Frogs) විශේෂ අටක් හොයාගෙන ප්‍රකාශයට පත් කරලා කියලා දැනගන්න ලැබුනේ. ඒ අට දෙනාත් එක්ක මේ වෙනකොට ලංකාවෙ වාර්තාවෙලා තියෙන උභය ජීවීන් ගේ මුලු සංඛ්‍යාව 120 ක් විතර වෙනවා.

තොරතුරු හොයලා බලනකොට උන් අට දෙනාම හොයාගෙන තියෙන්නේ අපේ රටේ වැඩිම ජෛවවිවිධත්වයක් තියෙන වනාන්තරය හැටියට සැලකෙන ශ්‍රි පාද අඩවියෙන්. ස්වභාව රක්ෂිතයක් හැටියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ කළමනාකරණය යටතෙ පවතින ශ්‍රි පාද අඩවියෙ පාරිසරික හා ඓයිතිහාසික වටිනාකම නිසාම, යුනෙස්කෝව විසින් ඒක මෑතකදි ලෝක උරුම භූමියක් හැටියට  ප්‍රකාශයටත් පත් කළා. ශ්‍රී පාද අඩවිය සිංහරාජයටත් වැඩිය ජෛව විවිධත්වයෙන් අනූනයි කියලා තමයි සැලකෙන්නේ.

ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු පර්යේෂණ කණ්ඩායම (දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජීව්, චතුරංග ආරියරත්න, අමිල චානක, දර්ශණ ප්‍රියන්ත, ඉමේශ් නුවන් බන්ඩාර සහ මෙන්ඩිස් මලයගෙ සහකාරිය නෙතු වික්‍රමසිංහ) 2009 - 10 අවුරුදු දෙකක් තිස්සෙ ශ්‍රී පාද කන්ද පුරාම ගිරි හෙල් කඳුරු, ගස් ගල් පඳුරු පීරලා තමයි මේ අලුත් පඳුරුමැඩියො ටික හොයාගෙන තියෙන්නෙ. උන්ගෙ ආදර්ශ (Specimens) එකතු කරගෙන ඇවිත් කායික ලක්ෂණ අධ්‍යයනය කරලා, කොලඹ සහ එංගලන්තයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරවල (Natural History Museum repositories) තියෙන සත්ව ආදර්ශ එකතු එක්ක සංසන්දනය කරලා තමයි, කලින් වාර්තා නොවුනු අලුත් විශේෂයන් ද කියලා තහවුරු කරගෙන තියෙන්නෙ.

එහෙම තහවුරු කරගත්තට පස්සෙ තමයි සම්පූර්ණ විස්තර ඇතුලත් පර්යේෂණ වාර්තාවක් සකස් කරලා ප්‍රකාශයට පත් කරන්නෙ. මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායම හොයාගත්තු පඳුරු මැඩියො අට දෙනා පිළිබඳ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ Journal of Threatened Taxa ජර්නලයෙ.

ඉතින් මෙන්ඩිස් මලයලා හොයා ගත්ත මැඩියො අට දෙනාගෙන්, හත් දෙනෙක්ම නම් කරලා තියෙන්නෙ අපේ රටේ ස්වභාව සම්පත් සංරක්ෂණය සඳහා අමිල සේවාවන් කරපු හය දෙනෙක් සහ වීර පුරන් අප්පු නමින්.

   1. බඹරදෙනියගේ පඳුරු මැඩියා (Bambaradeniya's Shrub Frog - Pseudophilautus bambaradeniyai) -  ආචාර්ය චන්න බඹරදෙනිය ලංකාවෙ  ප්‍රමුඛ තෙත්බිම් පරිසර විද්‍යාඥයෙක්. වාන්කලෙයි අභය භූමිය, කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තු ජාතික උද්‍යානය රම්සා තෙත් බිම් හැටියට  ප්‍රකාශයට පත් කරවාගන්න ඔහු වනජීවී දෙපාර්තමේන්තුවට විශාල සහායක් දුන්නා.

 2. දයාවංශගේ පඳුරු මැඩියා - (Dayawansa's Shrub Frog - Pseudophilautus dayawansai) ආචාර්ය නිහාල් දයාවංශ කොලඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. උභය ජීවීන් පිළිබඳව බොහෝ පර්යේෂණ කර ඇති ඔහු කලකට පෙර (1994) ආචාර්ය පෘතුවිරාජ් සමග අලුත් ගෙඹි විශේෂයක් හොයා ගන්න දායක වුනා (Kotagama's Dwarf Toad - Duttaphrynus kotagamai)

 3. ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා - (Jagath Gunawardana's Shrub Frog - Pseudophilautus jagathgunawardanai)  දිවයිනේ ප්‍රකට පරිසර නීති විශාරදයෙක් වන නීතිඥ ජගත් ගුණවර්ධනයන්, දශක දෙකක් තිස්සේ වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට සහාය දෙනවා.  දක්ෂ වනජීවී චිත්‍ර ශිල්පියෙක් ද වන ඔහුගෙන් තරුණ පරිසරවේදීන් ‍රැසක් මගපෙන්වීම ලබනවා.




4. කරුණාරත්නගේ පඳුරු මැඩියා - (Karunaratna's Shrub Frog - Pseudophilautus karunarathnai) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක තුනක් සේවය කර විශ්‍රාම ලැබූ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන වයි. ජී. පී. කරුණාරත්න (ලිංකුව බලන්න) ඉතාම අවංක සේවයක් කළ දක්ෂ නිලධාරියෙක් වුනා.
  5. නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා - (Niwton Jayawardane's Shrub Frog - Pseudophilautus newtonjayawardanei)  ශල්‍ය වෛද්‍යවරයෙකු වන නිව්ටන් ජයවර්ධන, ප්‍රකට පරිසරවේදියෙකුද වෙනවා.







6. පුරන් අප්පු ගේ පඳුරු මැඩියා - (Puran appu's Shrub Frog - Pseudophilautus puranappu) මේ මැඩියා නම්කර ඇත්තේ 1848 මාතලේ කැ‍රැල්ලට නායකත්වය දුන් වීර පුරන් අප්පු නමින් (1812 - 1848, වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු)






7. සිරිල් විජේසුන්දරගේ පඳුරු මැඩියා - ( Siril Wijesundara's Shrub Frog) - Pseudophilautus sirilwijesundarai) ප්‍රකට උද්භිද විද්‍යාඥයෙක් වන ආචාර්ය සිරිල් විජේසුන්දර වර්තමානයේ පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා ද වෙනවා.




 

අන්තිම ගෙම්බා නම් කරලා තියෙන්නෙ කාගෙ නමින්ද කියලා දන්නවද .... ? බාගෙට පිස්සු බ්ලොග්කාරයෙක්ගෙ නමින් ....!

    8. සමරකෝන්ගේ පඳුරු මැඩියා - (Samarakoon's Shrub Frog - Pseudophilautus samarakoon) අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය පොර ගැන දන්නවනේ. කොහොම උනත් මේ ගැන දැනගත්තහම ඒ නමින් නම් කරපු ගෙම්බො ටික සේරම එල්ලිලා පන නහ ගනියිද කියලයි මට සැක.





ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු කණ්ඩායමේ මේ නව සොයා ගැනීම්වලින් අපට ලැබෙන පණිවිඩය තමයි ශ්‍රී පාද අඩවිය කියන්නෙ උභයජීවී
මෙන්ඩිස්, නෙතු යුවල සහ කොලු පැටව් දෙන්නා
උණුසුම් ස්ථානයක් (Amphibian Hotspot - උභයජීවී විවිධත්වයෙන් අනූන, එහෙත් තර්ජනයට ලක් වූ ස්ථානයක්) කියන එක. අතිශය දුෂ්කර පාරිසරික තත්වයන් නිසා එහි ප්‍රමාණවත් තරම් පර්යේෂණ කෙරිලා නෑ. අපිට මෙතෙක් අනාවරණය කරගන්න  බැරි වූ තවත් බොහෝ වනජීවී සම්පත් ‍රැසක් එහි ඇති.

ඉතින් මේ වගෙ තොරතුරු වඩාත් වැදගත් වෙන්නෙ ශ්‍රී පාදස්ථාන පුද බිමේ හෙලිකොප්ටර් අංගන, කේබල් කාර් මාර්ග හදන්න කැස කවන අම්බරුවන්ට. ඒත් ඉතිං මේවා තේරුම් ගන්න උං ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද කියලා සැකයි ...!

Wednesday, February 27, 2013

36. අපේ පුංචි බුදු මැදුර




                                                                                ගිරිතලේ මම ඉන්න ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයට එන කෙනෙකුගෙ ඉස්සෙල්ලාම ඇස ගැටෙන්නෙ අපේ පුංචි බුදු මැදුර. එහි තියෙන, දැකීමෙන්ම හිත නිවෙන බුදු පිළිමය ඉදිරියට එකතුවෙලා, බුදුන් වැඳලා තමයි අපේ දවස ආරම්භ වෙන්නෙ. බුදු මැදුර ළඟින්ම තියෙන්නෙ අපූරුවට දළු දාලා හැදෙන ශ්‍රී මහ බෝධියෙ අංකුරයක්. අංකුරයක් කිව්වට දැන් ඒක අඩි හත අටක් උසට හැදුනු තරමක බෝධීන්වහන්සෙ නමක්..

1993 මම ඉස්සෙල්ලාම ගිරිතලේට එනකොට ඒවගෙ අපි හැමෝටම එකතුවෙලා පන්සිල් පදයක් කියලා හිත නිවාගන්න තැනක් තිබුනෙ නෑ. එතකොටත් මා එක්ක ගිරිතලේ හිටපු ජයසූරිය මහත්තයාටත් මටත් එහෙම තැනක් හදා ගන්න උවමනාව තිබුනත්, ඒ වගෙ දේකට රජයේ සල්ලි වෙන් කරගන්න එක පහසු වැඩක් උනේ නෑ.

බුදු මැදුරක් ගැන හිත හිත අවුරුදු කීපයක්ම ඉන්න අතරෙ තමයි ගිරිතලේ සංචාරක බංගලාව හදන්න දෙපාර්තමේන්තුව සල්ලි වෙන් කළේ. තට්‍ටු දෙකේ විශාල ගොඩනැගිල්ලක් වුනු ඒක ටිකක් ලොකුවට කෙරුනා. ඒකෙ වැඩ බලාපු සුපවයිසරයායි, හෙඩ් බාසුන්නැහෙයි ටිකක් සුහදශීලී මිනිස්සු බව පෙනුනු නිසා අපි ටිකක් කිට්‍ටු වෙලා බුදු මැදුරෙ අදහස දාලා බැලුවා. ඒක කියපු ගමන්ම ඔවුන් දෙන්නාම බොහොම කැමැත්තෙන් ඒකට උදව් කරන්න එකඟ උනා මට මතකයි.

ඉතින් බුදු මැදුරක් හදා ගැනීම මේ විදියට බොහොම සුළුවෙන් ආරම්භ උනා. උදේ ඉඳලා හවස් වෙනකම් බංගලාව හදාපු බාසුන්නැහේ රෑට කාලා ආවා බුදු මැදුර හදන්න. අපේ අත් උදව්වෙන් ඒ වැඩේ කරපු උන්නැහේ ආපහු ගියේ පාන්දර දෙකට තුනට විතර.  බංගලාව හදන්න ගෙනාපු ගල් වැලි, සිමෙන්ති වලින් තමයි වැඩේ කෙරුනේ. සුපවයිසර් උන්නැහේත් ෂේප් නිසා අවුලක් උනේ නෑ.  මේ විදියට ටික දවසකින් බුදු මැදුරෙ වහල මට්ටමට වැඩ ඉවර උනා.

ඊලඟට වහලෙ හදාගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරකර ඉන්නකොට තමයි හදිසියෙම දවසක් මගෙ හිත මිතුරු ලක්දාස් මෙත්තානන්ද යාලුවො කස්ටියක් එක්ක ගිරිතලේ පැත්තෙ ආව. ලකී බාගෙට හදාපු බුදු මැදුර දැකලා විස්තර අහලා 'මම පුළුවන් උදව්වක් කරන්නම්' කියලා ආපහු ගියා. ටික දවසකින් ලකී අපට රුපියල් දාසය දාහක් එවලා තිබුනා බුදු මැදුරෙ ඉතුරු වැඩ ටික කරගන්න කියලා. ඔන්න ඉතින් බුදු මැදුරෙ වහලෙ ගහලා උළු තියාගෙන ඒකෙ වැඩ බොහොමයක් අවසන් කරගත්තෙ ලකී සහ එයාගෙ යාලුවො කස්ටියගෙ උදව්වෙන්. වැදගත්ම කාරණය තමයි ලකී සහ ඔහුගෙ යාලුවො සියලු දෙනාම ක්‍රිස්තියානි ආගම අදහන අය වීම. අර බාසුන්නැහේට වගේම ඔවුන්ටත් උවමනා වෙන්න ඇත්තේ යහපත් දෙයකට සහභාගිවෙලා සතුටක් ලබන්න වෙන්න ඕනෑ.

ඒක කියනකොට මට තවත් කතාවක් මතක් උනා. මම බුත්තල වැඩකරන කාලෙ, පොසොන් දවසක අපේ නිල නිවාසෙ ඉස්සරහ පාරෙ පොසොන් පෙරහැරක් ගියා. පෙරහැරේ අවසානයට ගියේ පොසොන් භක්ති ගීත ගායනා කරන පුංචි දරු, දැරියො පිරිසක් පටවාගත්තු තට්‍ටු ලොරියක්. ලස්සණට සරසලා තිබුනු ඒ වාහනේ යන ගමන්, පුංචි වාදක මණ්ඩලයක් සපයපු සංගීතයට අනුව ඔවුන් පොසොන් භක්ති ගීත ගැයුවා. වාදක මණ්ඩලේ කෙලවරක වයලීනයක් වයමින් හිටියේ ක්‍රිස්තියානි පූජක තුමෙක්. පස්සෙ දැනගන්න ලැබුනු විදියට ඒ භක්තිගීත කණ්ඩායම පුරුදු පුහුණු කරලා තිබුනේ  ඒ පූජක තුමා.

ඉතින් ආපහු ගිරිතලේට එමු. ඊලඟට අපිට ඕනෑ උනේ බුදු මැදුරට ගැලපෙන තරමේ බුදු පිළිමයක් හොයාගන්න. ඒ කාලෙත් ඒ වගේ බුදු පිළිමයක් හොයාගන්න එක ලේසි වැඩක් උනේ නෑ. ඒක ගැන හිත හිතා ඉන්නකොට තමයි මගේ ගිරිතලේ  සේවා කාලය සම්පූර්ණ වෙලා ස්ථාන මාරුවෙන්න උනේ. මට පස්සෙ ආපු සූරියබන්ඩාර මහත්තයත් වැඩේ ඇතෑරියෙ නෑ. එතකොට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගුණසේකර මහත්තයාගෙත් උදව්වෙන්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙ අනුග්‍රහය අරගෙන බුදු මැදුරට ගැලපෙන බුදු පිළිමවහන්සෙ නමක් හොයා ගන්න ඔහු සමත් උනා.

කොහොම හරි මම 2008 දෙවෙනි වරටත් ගිරිතලේට එනකොට දකින කෙනෙකුගෙ සිත් සනහාලන බුදු මැදුරක් නිර්මාණය වෙලා තිබුනා. ඒ වෙනකොට හිටපු ධර්මතිලක මහත්තයා හැමදාම උදේට සේරම පුහුණු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එකතු කරගෙන බුදුන් වඳින ආගමික සම්ප්‍රදාය ඇති කරලා තිබුනා.


ඊට පස්සෙ දැනට අවුරුදු දෙකකට ඉස්සෙලා  තමයි අපේ බෝධිරාජයා අනුරාධපුරෙන් වැඩමවාගෙන ඇවිත් රෝපනය කරගත්තේ. එතකොට ගිරිතලේ පුහුණුව ලබමින් හිටපු සේරම පුහුණු නිලධාරීන් එකතුවෙලා තමයි ඒ පින්කම කරගත්තේ. මේ සියල්ලම සිද්ද උනේ හැමෝගෙම දායකත්වයෙන්. ආණ්ඩුවෙ සල්ලි සත පහක වියදමක් නැතුව.

ඉතින් මට මේ පරණ කතන්දර ටික මතක් වෙනකොට හිතෙන්නේ අපිට යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු උනහම  කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපේ වෘත්තීය තරාතිරම, ආගම් භේද අමතක කරලා, පැවරිලා තියෙන වැඩ වලට විතරක් කො‍ටුවෙලා සීමා වෙන්නෙ නැතුව, යහපත් දෙයක් වෙනුවෙන්  වැඩිපුර සැතපුමක් ඇවිදින්න හිත හදාගන්න පුලුවන්නම්, අපි ජීවත් වෙන මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වෙයි කියලත් මට හිතෙනවා.






රෝපනය කරලා වසර තුනකට පස්සේ, හොඳින් වැඩුනු බෝධිරාජයාණන්වහන්සේ

Thursday, February 14, 2013

35. මට හමු වූ අන්‍ය ජාතීන් හා ආගමිකයින්


සිංහල නොවන අය මට සමීපව ඇසුරු කරන්න ලැබුනෙ රස්සාවට ආවට පස්සෙ. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ තියෙන කුමන දි මට මුණ ගැහුණු පලනි හුදංචි අප්පු මගේ පළවෙනි වනජීවී ගුරුවරයා වුනා. ඔහුගේ පියා කුමන වැසි සිංහල කාන්තාවක් විවාහ කරගත් දමිල ජාතියෙක් බව අහන්න ලැබුනා.

සිංහල කාන්තාවක් හා විවාහ වෙලා හිටපු හුදංචි ගත කලේ සිංහල ජීවිතයක් කියලා කිව්වොත් නිවැරදියි. ඔහුගේ ඇවතුම් පැවතුම්, ගතිගුණ, සිතුම් පැතුම් සියයට සියයක්ම සිංහල වුනා. කාර්ය මණ්ඩලයෙ කවුරුත් ඔහු 'සීනියර්' කියලා ගෞරවයෙන් ඇමතුවා මතකයි.

මගෙ අනිත් දමිල ජාතික ජ්‍යෙෂ්ඨයා වුනේ අරුලානන්දන්. වාලච්චේනේ පදිංචිව සිටි ඔහුගේ මුල් ගම් පලාත පොතුවිල්. ඉතා හොඳින් සිංහල කතා කළ ඔහුත් ඉතා සුහදව සිංහල අපි සමග එක හැලියේ බත් කෑවා. එයින් කලකට පස්සෙ ඔහු ඉතාම අවාසනාවන්ත විදියට තම වර්ගයා අතින්ම ජීවිතක්ෂයට පත්වුනා. හුදංචි සහ අරුල් ගැන මෙතැනින්  තව බොහෝ තොරතුරු ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.

හම්බන්තොටින් ආපු රවුෆ්ඩීන් සහ තාලිෆ් දෙමස්සිනාලා තමයි, කුමන අපිත් එක්ක හිටපු මැලේ ජාතිකයින් දෙන්නා.  කාර්ය මණ්ඩලයෙ හැමෝගෙම විවේකය ගත කරන විනෝදාංශය උනේ මාලු ඇල්ලීම උනාට උන් දෙන්නට විතර මාලු අහු උනේ නෑ වෙන කාටවත්. මූදෙ යොත් ගහලා මාලු අල්ලගෙන ඇවිත්, 'මාලු එල්ලුවා මචං ... වරෙල්ලා ...' කියලා කෑ ගහලා සේරටම කතා කරලා, අල්ලන  මාලු  අනිත් හැමෝම එක්ක බෙදාගෙන තමයි උන් දෙන්නා කෑවේ. උන් දෙන්නගෙන් තාලිෆාටත් අපිට වගේම බාගෙට පිස්සු. කොයි වෙලාවෙ බැලුවත් නැට්ට පෑගිච්ච පූසා වගේ කෑ ගහ ගත්ත ගමන් තමයි ඌ ඉන්නේ. සිංහල ඉස්කෝලෙක ඉගෙනගත්ත තාලිෆාට සේරම පාලි ගාථා කට පාඩම්. නිවාඩු යන්න ලෑස්තිවෙලා ඌත් එක්ක එක කාමරේ ඉන්න වයසක සුගතයා ඉස්සරහ සාලුවක් එලාගෙන 'වුද්ධි කාරෝ අලිංගිත්වා ...' කියලා තාත්තට වඳින ගාථාව කියලා වඳිනවා.

මම ඉතාම සුහදව ඇසුරු කළ දෙපාර්තමේන්තුවෙ ඉන්න අනෙක් මැලේ ජාතිකයා මොහමඩ්. පස්සෙ කාලෙක මම අම්පාරෙ ඉන්නකොට ඔහු කුමන ජාතික උද්‍යානයෙ භාරකරු හැටියට සේවය කළා. ඒ කාලෙ දවසක් නාකි අලියෙක් ඇවිත් උද්‍යානයෙ වතුර වලක වැටිලා පන අදින්න පටන් ගත්තා. පශු වෛද්‍යවරුන් ගෙන්වලා ප්‍රතිකාර කළත් ඌව ගොඩ දා ගන්න බැරි උනා. පස්සෙ මොහමඩ් අලියගෙ අවසාන මොහොතෙදි කුඩුම්බිගල සේනාසනයෙ හාමුදුරු පිරිසක් ඌ වැටිලා හිටපු තැනට වඩම්මලා පිරිත් කියෙව්වා.

පරම්පරා කීපයකටම අයිති හම්බන්තොට මැලේ ජාතිකයින් තොගයක්ම දෙපාර්තමේන්තුවෙ හිටියා. දැනටත් ඉන්නවා. අපටත් වඩා කැලේට කොලේට හුරු පුරුදු ඔවුන් සියලු දෙනාම වගේ වෙහෙස මහන්සි වෙලා දෙපාර්තමේන්තුවට සේවය කළා.  කොහේ හිටියත් ඉතාම සුහදව අනිත් ජාතීන් එක්ක එක හැලියෙ බත් කාපු ඔවුන් කිසි දවසක අනෙක් ජාතිකයින් එක්ක ගැ‍ටුමක් ඇතිකරගත් බවක් මම අහලා නෑ.

ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මුස්ලිම් ජාතිකයින් එහෙම සුහදව ඉන්න උත්සාහ කරන්නෙ තමන්ගෙ ආරක්ෂාවට, කපටි කමට කියලා. සුළු ජාතියක් උනහම සමහරවිට එහෙම ඉන්න සිදුවෙනවා ඇති. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගොඩ වැදෙන කොටම ඔවුන් අපිව දකිනවා, ගෞරවයෙන් පිළිගන්නවා. සුහදව අපේ අවශ්‍යතාව හොයලා බලලා ඉෂ්ට කරලා දෙනවා. යකඩ බඩු කඩේකට ගිහින් පාං ගෙඩියක් ඉල්ලුවත් නෑ කියන්නෙ නැතිව කඩේ කොල්ලා බේකරියට යවලා පාං ගෙඩිය ගෙන්නලා දෙනවා.

සිංහල කඩවල් වැඩි හරියකදි අපි අත් දකින්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත් දැකීමක්. මුදලාලියාගෙ ඉඳං කඩේ අතුගාන එකා දක්වාම කරපින්න ගෙන ඉන්නෙ මහ ජාතියෙ උද්ධච්චකම. හිනාවක් මූණ අහලකවත් නෑ. ගන්නවනං ගනිං, නැත්තං පලයං කියලා තමයි උං බඩු විකුණන්නෙ.

ඉතින් මට මේ පරණ කතන්දර මතක් උනේ මේ දවස්වල ෆේස් බුක් එකේ දකින්න තියෙන මුස්ලිම් විරෝධී සටහන් නිසා. අපේ මහ ජාතික උද්ධච්චකම් ඉවසාගෙන,  සුහදව අපිත් එක්ක එකට ජීවත් වුනු මුස්ලිම් ජනතාව දැන් ටිකෙන් ටික පිබිදෙන්න පටන් අරගෙන බව පේනවා. ඒක මුලු ලෝකෙම තියෙන මුස්ලිම් අරගල ‍රැල්ලෙ එක කොනක් හැටියටත් දකින්න පුළුවන්. දමිල දේශපාලකයන් තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරලා දශක ගණනාවක් රට ආපස්සට ඇදගෙන ගියා වගේ මුස්ලිම් දේශපාලකයින් පිරිසකුත් වගකීමකින් තොරව කටයුතු කරන බව පේනවා.

ඒකට විරුද්ධව දැං පිරිසක් අවි අමෝරාගෙන පාරට බැහැලා. ඒකට මූලිකත්වය අරගෙන තියෙන්නෙ මුලු ඉතිහාසය පුරාම ඒ වගෙ අවස්ථාවල පෙරමුණේ හිටපු බෞද්ධ භික්ෂූන්වහන්සේලා. තව පිරිසක් උන්වහන්සේලාට දෙහි කපනවා, අනවශ්‍ය ගැ‍ටුමක් නිර්මාණය කරනවා කියලා.

කොහොම උනත් නොසලකා සිටිය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පේනවා. ජාතිවාදීන්, ආගමික අන්තවාදීන් හා අවස්ථාවාදී දේශපාලකයින් සුලු පිරිසක් එකතුවෙලා අවුලුවන ගින්නක මුලු ජාතියක් දැවෙනවාද ..,? නැත්නම් ඔවුන්ව පි‍ටු දැකලා ඇවිලෙන ගින්න මුල් අවස්ථාවෙදිම නිවා ගන්නවාද ...?  දෙපාර්ශ්වයේම නායකයින් බොරදියේ මාලුබාන්නෙ නැතුව, මේ ගැටලුව දිහා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙන්නේ.

කොහොම උනත් මේ ගැටලුව හා අදාල ධන හා රින අගයන් සමාන ලකුණේ වම් පැත්තට දාලා සුලු කරලා අරගෙන, දකුණු පැත්තේ ලියවෙන විසඳුම දිහා බලනකොට එතැන තියෙන්නේ 'සාමය' නම් අපි තවමත් ආරක්ෂිතයි. එතැන 2005 දි වගේ 'යුද්ධය' කියලා ලියැවුනු දවසට තවත් ලේ ගංගාවක් ගලාගෙන යයි.

කවුරු මොනදේ කරන්න උත්සාහ කළත්, කෙරුවත් මේ රටේ බුදු දහමත්, සිංහල ජාතියත් පන් දහසක් කල් පවතිනවා සත්තයි ...!





Friday, January 25, 2013

34. මොනරවිල


'සිවුර අතහැරලා රජකම බාරගෙන අපි උපන්න රටත් සාසනයත් බේරගන්ට මුල් වෙන්ට අපෙ   හාමුදුරුවනේ... මහන දම් පුරනවාට වඩා ඉක්මනින් නිවන් දකින්ට ඒ පින සෑහෙයි .. මුලු කන්ද උඩරටම ගෙරි සුද්දන්ට එරෙහිව නැගී හිටින්ට සැරසිලයි ඉන්නේ ... උන්ට නායක වෙන්ට සුදුසු ඇත්තෙක් විතරයි අඩු ... ඒකට ඔබ වහන්සෙගෙ කැමැත්ත දෙන්ට හාමුදුරුවනේ ...'

කිවුලෙගෙදරගේ තියුණු කටහඬ සිය දෙකන් සිදුරුකර කිඳා බසිනු විල්බාව තෙරණුවනට දැනිනි. සුදු පාලකයින් අතින් මැකීයන සිංහලකමත්, නිගා ලබන බොදු දහමත් ගලවා ගන්නා සටනට නායකත්වය දීමේ කැමැත්තක් තමන් තුළ වැඩී ලියලිතියි උන්වහන්සේට සිතිණි.

                   *            *            *            *

හිඳ සිටි අසුනෙන් නැගී සිටි කිවුලේගෙදර වලව්වේ ඉදිරි පිලේ පියගැට පෙළ මත සිට ඈතින් පෙනෙන කුඹුරු යාය හා ඉන් සීමාවන අඳුරු වනයත්, ඊට ඉහලින් පෙනෙන නිල් කඳු යායත් සිසාරා බැලීය. ගනව වැඩුනු උඩු ‍රැවුල සුරතේ ඇඟිලි තුඩින් දෙපසට පීරා සකසා ගත් ඔහු මදක් නිහඬව සිටියේය.

කිසියම් අවදානම් ගැඟීමකින් සිය හදවත බරව තිබෙනු කිවුලේගෙදරට දැනෙයි. රටේ පාලනය පෙරළා දමන්නට ඇරඹෙන සටනක් කෙසේ අවසන් වේදැයි කිව නොහැකි වුවද, ඒ අවදානම දරාගන්නට සිදුව ඇතැයි ඔහුට සිතෙයි.

'මේක අපට අයිති, අපි උපන්න රට ... පරම්පරා ගණනක් අපි හැදුනෙ වැඩුනෙ මේකෙ හැදෙන දෙයක් කාලා, මේකෙම දුව පැන ඇවිදලා ... අපිට වැඳ වැටෙන්ට අපේම කියලා රජෙක් හිටියා ... රට්‍ටුන්නෙන් අපි ගරු නම්බු ලැබුවා ... ඒ සේරම නැතිවෙන්ට යනකොට මරාගෙන මැරෙනවා ඇරෙන්ට වෙන කරන්ට දෙයක් අපට නෑ ...'

                       *                 *               *                *

'මේක රාජකාරියක් ... ඉංගිරිසි ආණ්ඩුව පෙරලන්ට තනන හොරෙක් අල්ලන්ට අපට නියෝග ලැබිලා තියෙනවා ... ඒක වලක්වන්ට තනන උඹලා ඇන්න ගිහින් මම දඬු කඳේ ලනවා ...'

'මේක බොල අපේ සිංහල රට ... මින් මත්තට අපිව දඩු කඬේ ලන්ට තොටවත්, උලව් ඉංගිරිසි ආණ්ඩුවටවත් බැරි බව දැනගං ... අපිට දැන් අපේම රජෙක් ඉන්නවා ...'

බකිනිගහවෙලගේ ආවේගාත්මක හඬින් පොළඹවන ලද අවට ‍රැක සිටි සිංහල පිරිස, කෙමෙන් හජ්ජි ඇතුලු පිරිස වෙත සමීප වෙමින් සිටියහ. තව දුරටත් ප්‍රමාද වීම තම අවාසියට හේතුවන බව සැනෙකින් වටහාගත් හජ්ජි, පිරිස මෙහෙයවන බකිනිගහවෙල රාළ වෙතම නෙත් රඳවා ගනිමින් සුරත ඔසවා පි‍ටුපසින් සිටි තම පිරිසට සන් කළේය.

                        *                   *                    *                    *

'ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට යටත් කරගත්තේ උඹලාගෙම නායකයින්ගෙ ඉල්ලීම නිසා ... උඹලාගෙ රජතුමා කරපු අමනුස්ස හිංසාවලින් උඩරට වැසියො බේර ගන්ට ... සිංහලකමත්, බුද්ධාගමත් ආරක්ෂා කරලා, වද හිංසා නවත්වන්ට උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසි ආණ්ඩුව බැඳිලා ඉන්නවා ... සාමය ඇති කරලා කන්ද උඩරට දියුණු කරන්ට ඉංග්‍රීසි ආණ්ඩුව දරන වෑයමට  උඹලාත් උපකාර කරන්ට ඕනෑ...'

තානාපතිවරයාගේ අදහස් පෙරළා කීමෙන් කිසිදු පලයක් අත් නොවන බව ‍තෝල්ක මුදලි බැස්ටියන්ට දැනුන ද, ඔහු සිය රාජකාරිය කළ යුතු විය.

'සුද්දගෙ ඔය බන ගිහිං අපේ රට ජාතිය පාවා දීපු මහ නිලමෙලාටම දෙසන්ට කියාපිය ... වඩුගයා මිනී මරාපු බව ඇත්ත ... ඒත් අපේ කුල සිරිත්, ආගම දහම මකන්ට තැනුවෙ නෑ ... රට ජාතිය රකින මුවාවෙන ඇවිත් කන්ද උඩරට ගබඩාගම් පැහැරගෙන, අයබදු පනවලා අපිව හූරං කන එක ද බොල තොපේ උලව් ආරක්ෂාව ...? තව ටික කලක් පනපිටින් ඉන්ට ආසාවක් ඇත්නම් තමන්නෙ බැලයොත් ඇන්න ආපහු හැරෙන්ට කියාපං උඹේ තානාපතියට ... අපට දැං අපේම රජෙක් ඉන්නවා ...'

පුපුරා හැලෙන කොහුකුඹුර දෙස බලා සිටි විල්සන්ට කැරළිකරුවන් සමග සාමයක් ඇතිකර ගැනීමේ අදහස මුලුමනින්ම තම සිත තුලින් මැකී යනු දැනිණි. කතාබස් කර සමනය කර ගැනීමේ සීමාව ඉක්මවා කැ‍රැල්ලෙහි ප්‍රචණ්ඩත්වය මෝරා ඇතිබව ඔහු පළමු වරට වටහා ගත්තේය.

                         *                    *                        *                      *

' කෝ මැණිකෙ දරුවො දෙන්නා ... ?' හදිසියේ සිහිපත් වූවාක් මෙන් කැප්පෙටිපොල විමසුවේය.

'අප්පච්චි ආවහම ඇහැරවන්ට කියලා දෙන්නා කලින්ම නිදන්ට ගියා ... ඇහැරවන්ට ද ...?'

'නෑ ... එපා ... ' කැප්පෙටිපොල මදක් නිහඬව සිටියේය. ' රට ජාතිය, ආගම පාවාදෙන ගිවිසුමකට අත්සන් තියලා,  පරගැත්තෙක් විදිහට මේ කරන රාජකාරිය මගෙ හිතට ලොකු බරක් මැණිකෙ ... එක කුස උපන්න මගෙ සහෝදරී දරු පැටවුනුත් එක්ක මරාදාපු, උන්මන්තකයෙක් විදිහට රට කරවපු වඩිගයාගෙ පාලනය ඉවරයක් කරන්ට මිසක්, වෙන වාසි ප්‍රයෝජනයකට මම ඒ උලව් ගිවිසුම අත්සන් කලේ නෑ ...'

'ඒක ඒ වෙලාවෙ හැමෝම එකඟ වෙලා ගත්ත තීරණයක් නේ ... අපෙ ඇත්තො .. 'සිය සැමියාගේ සිත සනසන අටියෙන් එතනහාමි කීවාය.

'මට වෙලාවකට මේ රාජකාරිය අතහැර දාන්ට හිතෙනවා මැණිකේ ... ' කැප්පෙටිපොල ආවේගශීලීව කීවේය.

                       *                            *                         *                         *

'කැ‍රැල්ලට එකතුවෙලා ඉන්න ගම්මු තමන්ගෙ දරු පවුල්, වී කුරහං සේරම කැලේ හංගලා ... තත්වය පාලනය කරගන්ට තියෙන එකම විදිහ ගම් දොරවල් ගිනි තියලා වනසන එක .., අපි ඒක හෙටම පටන් ගන්නවා ... ' තමා යටතේ වූ හමුදා කණ්ඩායම්වල අණ දෙන නිලධාරීන් කැඳවූ මැක්ඩොනල්ඩ් දැනුම් දුන්නේය.

' ඒ වගේම අපිට ඉදිරි කාලයට උවමනා ආහාර හැකිතරම් ‍රැස් කරගන්ටත් සිද්ද වෙනවා. ගම්වල ඉතිරිවෙලා තියෙන වී කුරහං, හරකාබාන වගේ ආහාරයට ගන්න පුලුවන් දේ සේරම ගේන්ට ඕනෑ ...' රිචි සිහිපත් කළේය.

                       *                              *                       *                           *

'වෙල්ලස්සෙ කැ‍රැල්ලට එකතුවෙලා ඉන්න සේරම දැන් බලාන ඉන්නෙ යුද්දෙකට නායකත්වය දෙන්ට පුලුවන් උඩරට සිංහල නිලමක්කාර ඇත්තෙක් රජ්ජුරුවන්ට එකතු වෙනකම්... ' පුංචිරාල තම සිත තුළ සඟවාගත් යටි අරමුණක් ඇතිව කතාකරන්නේයැයි කැප්පෙටිපොලට වහා දැනිණි. ඔහුගේ කතාවෙහි කිසියම්  ඇරයුමක් ද ඇත්තේයැයි ඔහුට සිතෙයි.

'උඩරට ගිවිසුමට අත්සන් තියලා ඉංග්‍රීසි ආණ්ඩුවට එකතු වෙලා ඉන්න නිලමක්කාරයෙක් කැ‍රැල්ලට එකතු උනොත්, උන්දැට තමන්ගෙ රට ගම දේපල විතරක් නෙමෙයි අඹුදරුවොත් නැත්තටම නැති වෙලා අන්තිමට දංගෙඩියටත් බෙල්ල තියන්ට සිද්ද වෙනවා නියතයි ...' කැප්පෙටිපොල අනාගතය දකිමින් කීවේය.

'රට ජාතිය ආගම වෙනුවෙන් ඊට වඩා දේවල් උනත් කැප කරපු උත්තමයො ඉතිහාසය හිටියා අපෙ නිලමෙ ඇත්තො ...'

'පුංචිරාල ... ‍තෝ මට ඉතිහාසයත් උගන්නන්ටද තනන්නෙ ...? කැප්පෙටිපොලගේ  උස් හඬ ඉදිරියේ පුංචිරාල කරබා ගත්තේය.

                           *                        *                     *                        *

'අපේ රාජෝත්තමයා ගැන විස්වාසය තියලා අපිත් එක්ක උන්වහන්සෙ ලඟට යන්ට එන්ට අපෙ හාමුදුරුවනේ ... එහෙම නොවුනොත් ..'

'එහෙම නොවුනොත් ...? ඇයි තොපි මක් කරන්ටද ...?'

කොහුකුඹුර කැප්පෙටිපොල වෙත පිළිතුරක් දෙන්නට පෙර දෑත් එක්කොට ළයමත තබා වැඳ ගත්තේය. 'තරහා අවසර අපෙ හාමුදුරුවනේ ... පන්දහසක් කල් පවතින ආගම, රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සෙගෙ හිස ගෙනිහින් අපේ රාජෝත්තමයාගෙ දෙපා මුළ තියනවා ඒකාන්තයි ...'

කැප්පෙටිපොලගේ මුවට පළමුවරට මද සිනහවක් නැගුනේය. 'මේ මොනරවිල මැරෙන්ට බය ඇති මිනිහෙක් නොවෙයි බොල. .. සුද්දගෙ තුවක්කු කෙටි හත අටකුත් ඇන්න දෙතුන් සීයක් මුණ ගැහෙන්ට ආවෙ සිංහලයෙක් හැටියට තොපිත් තොපේ රජ්ජුරුවො ගැනත් විස්වාසයෙන් ..' කැප්පෙටිපොල මදක් නැවතී දිගු හුස්මක් ගෙන ළය පුරවා ගත්තේය. 'මගෙ නායකත්වය නිසා එක මොහොතකට හරි ආගම, රට ජාතිය ‍රැකෙනවා නම් මගෙ අඹු දරුවො ... දේපොල ... ජීවිතය ගියත් ඒ යුතුකම ඉෂ්ට කරනවා ...'

කැප්පෙටිපොල ආපසු හැරී තම පිරිස දෙස බැලුවේය. ඔව්හු සියල්ලෝම මුව අයාගත්වනම දෑස් දල්වා තමන් දෙස බලා සිටිනු ඔහුට පෙනිණි. ඉදිරිපස බැලූ ඔහුට කොහුකුඹුර ඇතුලු පිරිස ද තම මුවින් අවසන් තීන්දුව කියැවෙනතෙක් බලා සිටිනු පෙනේ.

'මගෙ හිස උඹලට ලැබෙන්නෙ නෑ ... මින් මත්තට මගෙ නායකත්වය ලැබෙයි ...'

පිරිස මොහොතක් තුෂ්නීම්භූතව සිටිනු ද, අනතුරුව සියල්ලන්ම එක්ව තමන් ඉදිරියේ බිම ඇද වැටී වැඳ නමස්කාර කරනු ද කැප්පෙටිපොල බලා සිටියේය. නැගී සිටි සිය ගණනක් වූ පිරිස සිය දුනු හී, කඩුපත් අහසට ඔසවා ලෙළවා නැගූ රණගොස බොහෝ වේලාවක් පවතිමින් ඈත නමුණුකුල හා ලුණුගල කඳුවල වැදී දෝංකාර දුන්නේය.

                         *                      *                     *                         *

'අපි ඒ සටන ගෙනගියේ කාගෙවත් දෙයක් කඩා වඩා ගන්ට නොවෙයි ... පරම්පරා ගණනක් තිස්සේ භුක්ති වින්ද නිදහස ‍රැක ගන්ට විතරයි අපට උවමනාවුනේ ... මිනිහෙකුට උපන්න දා ඉඳලා දැනුන නිදහස එක පාරටම නැතුව ගියහම මරාගෙන මැරෙන්ට හිතෙන එක අරුමයක් නෙමෙයි ...' තමන් රඳවා සිටි සිර කුටිය වෙත පැමිණි හමුදා වෛද්‍ය හෙන්රි මාෂල් ට කැප්පෙටිපොල කීවේය. 'කැ‍රැල්ලට එකතුවුන හැම නායකයෙක්ම සටන් කළේ සිය කැමැත්තෙන් ... කාගෙවත් බල කිරීමකට, ලාබ ප්‍රයෝජනයකට  නෙමෙයි ... '

'ඒත් මොනරවිල, සටන්වලදි කැරළිකරුවන් නිතරම පැරදුනා ... ඒ බව මුළදිම තේරුම් ගත්තා නම් ලොකු විනාශයක් වලක්වා ගන්ට තිබුනා ...' හෙන්රි පිළිවදන් දුන්නේය.

'අපි සටන් කලේ හේවායන් මරලා සටන දිනාගන්ට නෙමෙයි ... ඉංග්‍රීසි පාලනයට අපේ විරෝධය පාලා ආපහු යවාගන්ට විතරයි ... මිනී මරන්ට පුහුණු කරපු හමුදාවක් එක්ක සටන් කලේ එදිනෙදා ගොවිතැන් බතක් කරගෙන ඉතාම සාමකාමීව හිටපු පිරිසක් ... හාවෙක් මීමින්නෙක් වත් මරාගන්ට උන්ගෙන් වැඩි දෙනෙක් පුරුදුවෙලා හිටියෙ නෑ ... ඒ වගෙ පිරිසක් යුද්දෙකදි පැරදෙන එක බලාපොරොත්තුවෙන්ට ඕනෑ දෙයක් ...' කැප්පෙටිපොල කීවේය.

                             *                  *                       *                        *

කැප්පෙටිපොල ගේ හා මඩුගල්ලගේ හිස් ගසා දැමීමෙන් පසු යන්නට පිටත් වූ ලුතිනන් මැකන්සි ආපසු හැරී කැප්පෙටිපොල ගේ කවන්ධය මත තබා තිබූ හිස දෙස බැලුවේය. ප්‍රාණය නිරුද්ධව තිබුන ද, අඩවන්ව තිබූ කැප්පෙටිපොල ගේ දෑසෙහි ඒ මොහොතේ ද ඔහු දු‍ටුවේ සිරකරුවෙකු ලෙස කැප්පෙටිපොල ඔහුට භාර වූ තැන් සිට අවසානය දක්වාම ඔහුවෙත වූ උපශාන්ත, පෙනුමයි. සිය රට, ජාතිය, හා ආගම වෙනුවෙන් දිවි දුන් ජන නායකයෙකුගේ උදාර ප්‍රභාව, මියගිය ද කැප්පෙටිපොල ගේ මුහුණේ නො අඩුව ඇත්තේයයි ඔහුට සිතිණි.

බ්‍රිතාන්‍ය කිරීටයට එදිරිව කැරළි ගසා හිස් ගැසුම් කෑ අන්‍ය ජාතිකයෙකුට ආචාර කරන්නට ඉංග්‍රීසි ජාතික සොල්දාදුවෙකු ලෙස ලුතිනන් මැකන්සිට අවසරයක් නොතිබුනද, ඔහු සිතින් මොනරවිල කැප්පෙටිපොල ඉදිරියේ සීරුවෙන් සිට සිය ආචාරය පුද කළේය.


                               *                   *                        *                       *

                             යාලුවනේ මගේ 'මොනරවිල' පොත, ජනවාරි 29 වැනි අඟහරුවාදා පෙරවරුවෙ , මරදානෙ ආනන්දය ඉස්සරහ එස්. මහින්ද හිමි මාවතේ දයවංශ ජයකොඩි සහ සමාගමේ දී එලි දැක්වෙනවා. විවේකයක් ඇත්නම් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්න.


Wednesday, January 16, 2013

33. විශ්වණී ගෙ සිතිවිලි


 පාසලේ යාලුවන්ගෙ ඇසුරෙන් මිදිලා ගෙදර එන පුංචි විශ්වණී ගෙ සවස් කාලය ගතවෙන්නෙ ටීවී එකේ කාටූන් චරිතත් එක්ක. කාටූන් කතාවල ඉන්න චරිතවලට බෙහෙවින් ඇලුම් කරන ඇයට ඒ චරිත අපූරුවට සිතුවම් කරන්නත්, ඉතාම නිර්මාණශීලීව කතා ලියන්නත් පුලුවන්. අවට සිදුවෙන දේ නිහඬව බලා ඉඳලා සියලු දේ තමන්ගෙම රටාවකට උකහා ගැනීමේ සංවේදීබවකුත් ඇයට තියනවා. මම මීට කලින් ලියාපු 'අහිංසක උකුණු පැටියා'  කතාවෙ, කතා නායිකාවත් ඇයමයි.

විශ්වණීගෙ දවසේ යුද්දෙ පටන්ගන්නෙ අම්මා ගෙදර ආවහම. පෞද්ගලික ආයතනයක ‍රැකියාව කරන ඇය ගෙදර එන්නෙ රෑ කරුවලත් එක්ක. ඒ විශ්වණී කාටූන් චරිතවලින් සමු අරගෙන තියෙන දෙයක් කාලා නිදාගන්න හදන වෙලාව. අම්මා ගෙදර ආපු ගමන් කරන්නෙ විශ්වණීගෙ පාසල් බෑග් එක අතට ගන්න එක. ඒ දක්වාම කෙල්ල හෙට දවසේ ගෙදර වැඩ මොකුත්ම කරලා නැති බව දැක්කහම අම්මට මල පනිනවා.  ඊ ලඟ පැය කීපය ගත වෙන්නෙ අම්මගෙයි දූගෙයි රොස් පරොස්, ආඩපාලි සහ කං කෙඳිරිවලට. ගෙදර වැඩ කරලා ඉවරවෙනකම් විශ්වණීට නිදා ගන්න නම් ඉඩක් ලැබෙන්නෙ නෑ.

අම්මා වැඩ කරන ආයතනයෙම ‍රැකියාව කරන විශ්වණීගෙ තාත්තා, පවුලේත් විධායකයා. කරන කියන දේ නූලට සැලසුම් කරන ඔහු, තමා අවට සිදුවන සියලු දේ නිවැරදිව සිදුවිය යුතුයැයි බලාපොරොත්තු වෙනවා. යමක් වැරදුනොත් ඊට වගකිවයුත්තාට ඔහුගෙන් සමාවක් නෑ.

ගෙදර කාර් එකෙන් ගමනක් ගිය අම්මා දවසක් පාරෙ ගිය වෙන වාහනේක කාර් එක ඇන ගත්තා. බරපතල නොවුනත් රෙපයාර් එකට ටික දවසක් ගත උනා. ‍රැකියාවේ කාර්ය බහුලබව අස්සේ කාර් එකේ අලුත්වැඩියාව ඉක්මනින් කරවා ගත්තු  විශ්වණීගෙ තාත්තා, ඒක අරගෙන එන්න ගැරේජ් එකට යැව්වේ ඔහුගේම පියා. ටිකක් වයසක උනත් විශ්වණීගෙ සීයා, නිතර සිනහමුසු මුහුණින් ඉන්න,  ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙක්.

ගරාජයේ ඉඳලා ආපු වාහනය සෙමෙන් ඇවිල්ලා ගේ ඉස්සරහ නැවැත්තුවා. ඊලඟට රියැදුරුගෙ පැත්තේ දොර ඇරිලා විශ්වණීගෙ සීයා එලියට ආවා. ඒත් ඔහුගෙ මූණේ සුපුරුදු සිනහව දකින්න නෑ. අමුත්තක් දැනුනු කවුරුත් වාහනය ලඟට ගියා. වාහනයේ තැලිලා පොඩිවෙලා තිබුණු තැන් හොඳට හදලත් තියෙනවා. කොයි එකටත් විශ්වණීගෙ තාත්තා වාහනේ වටේ රවුමක් කැරකිලා බැලුවා.

එතනින් තමයි මේ කතාවෙ ඊලඟ පරිච්ඡේදය පටන් ගන්නේ.

ගරාජ් එකේ ඉඳලා එන ගමන් සීයගෙ අතින් ආයෙත් කාර් එක වෙන වාහනේක ඇනිලා, එක දොරක් හීරිලා පැති කන්ණාඩිය චප්ප වෙලා. කතාවෙ ඊලඟ හොඳම ටික අපට කියවන්න පුලුවන්, සිදු වූ සියල්ල නිහඬව බලාගෙන ඉඳලා  තමන්ට හිතුනු, දැනුනු දේ කොල කෑල්ලක ලියලා, ඒක තව දුරටත් පැහැදිලි කරන්න චිත්‍රෙකුත් ඇඳපු විශ්වණීගෙම වචනවලින්. කොල කෑල්ල අම්මගෙ අතට දීලා 'මේක මම නිදා ගත්තට පස්සෙ තාත්තට දෙන්න' කියලා, ඇය ඇඳට ගිහිල්ලා නිදා ගත්තලු.

විශ්වණී ඉංග්‍රීසියෙන් ලියාපු සටහනේ ස්කෑන් කරපු රූපයක් මේ තියෙන්නෙ. ඒකෙ කියවෙන්න මේ වගේ අදහසක්.

"කාර් නිසා මිනිස්සු සිරගත වෙති"

' සමහර අය තමන්ගෙ අඹු දරුවන්ට ආදරය කරනවාට වඩා, තමන්ගෙ කාර් එකට ආදරය කරති. සමහර අය තමගෙ පුංචි දරුවා කාර් එක හීරුවොත්, දරුවන්ට බැන වදිති. සමහර අය තමන්ගෙ බිරිඳගෙ කාර් එක හීරුනොත්, නැත්නම් පැති කන්ණාඩිය කැඩුනොත්, රියැදුරාවුනු තමන්ගේම පියාට බැන වදිති !

මිනිස්සු වැඩකට නැති කාර් නිසා තමන්ගෙ ආදරණීයයන්ට, තමන්ගෙ දෙමාපියන්ට පවා බැන වදිති !

මේ කාර් හරියට කරදර දෙනවා.  කාර් හුඟක් වටිනවා, ඒත් ආදරණීයයන් හා දෙමාපියන් ඊට වඩා වටිනවා. ආදරණීයයන් හම්බ වෙන්නෙ කලින්, කාර් ලැබෙන්නෙ පස්සෙ, ඒත් සමහර අය ආදරය කරන්නෙ කලින් හම්බවුනු ආදරණීයයන්ට නෙමෙයි, පස්සෙ හම්බවුනු වැඩකට නැති කාර් වලට !

විශ්වණී ගෙන් '

අපේ දරුවෝ සමහර වෙලාවට, ඔවුන්ගෙම ශෛලියෙන්, බොහෝ වටිනා පාඩම් අපිට උගන්නනවා. එහෙම වෙලාවට කරබාගෙන ඒවා ඉගෙන ගැනීම තමයි අපට කරන්න පුලුවන් හොඳම දේ. සිද්ධිය ඉතාම සුළු එකක් උනත්, විශ්වණී අපට උගන්නන පාඩමේ විශාල ගැඹුරක් තියෙනවා කියලා මට හිතෙනවා.

 (පසු සටහන - විශ්වණී කෙල්ලට මගෙ තියෙන සම්බන්ධය සටහන් කළොත් හොඳයි කියලා හෙන්රි මචං කියනවා (dude). ඒකි මගේ  නංගිගෙ එකම දරුවා.)

Friday, December 28, 2012

32. ඩෙල්ෆ්ට්




' ඇයි ... මොකද ...?'
අද මගේ පොර ටෝක් එක 'ඩෙල්ෆ්ට් දූපත' ගැන. පොර ටෝක් එකක් කිව්වට ඉතිං ගිරිතලේ ට්‍රේනිං කොල්ලොත් එක්ක ආණ්ඩුවෙ වියදමින් ගිය ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක විස්තර තමයි. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන පාරිසරික හා ඓතිහාසික වටිනාකම් සහ සංචාරක විභවය නිසාම ඒකෙ කොටසක් දැං වනජීවී රක්ෂිතයක් විදියට ප්‍රකාශයට පත් කරන්න දෙපාර්තමේන්තුව යෝජනා කරලා තියෙනවා. කවුන්සලේ ඇත්තො එකඟවුනොත් විතරක් ඒක එහෙම සිද්ද වේවි. කණ්ඩායමේ අරමුණවුනේ ඒ වටිනාකම් පුහුණු අභ්‍යාසයක් විදිහට හඳුනා ගැනීම.

ඩෙල්ෆ්ට් දූපත ගැන ටිකක් හරි දන්න කෙනෙක් එක්ක ඒ ගැන කතා කළොත් ඉස්සෙල්ලාම අහන්නෙ ඒකෙ ඉන්න වල් පෝනියො ගැන. 'වල්' කිව්වෙ හීලෑ නැති, 'වනාන්තර ගත' (Wild , Feral) අර්ථයෙන්. පෝනියො ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒකෙ ඉතිහාසය දැනගෙන ඉමු.


අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දන්න, යාපනේ අර්ධවීපයට ඔබ්බෙන් මූදෙ තියෙන දූපත් සේරටම වගේ තියෙන්න මතක තියාගන්න අමාරු දමිළ නම්. ඒත් එක දූපතකට විතරක් 'ඩෙල්ෆ්ට්' කියලා ලේසියෙන් මතක තියාගන්න පුලුවන් නමක් තියෙන එක ලොකු සහනයක්. 'නෙදුන්තීවු' කියලා දමිල නමක් තියෙන ඒ දූපතේ නම වෙනස් කරලා තියෙන්නෙ, ඕලන්ද පාලන කාලෙදි, ඕලන්දයෙ තියෙන 'ඩෙල්ෆ්ට්' නගරය අනුව යමින්. ඕලන්දයන්ට ඉස්සර පෘතුගීසි කාරයොත් දූපතේ හිටපු බවට සාක්ෂි තියෙනවා. වර්ග කිලෝමීටර 50 කට ආසන්න වපසරියක් තියෙන ඩෙල්ෆ්ට් දූපත, දිගින් කිලෝමීටර  8 ක් හා පළලින් කිලෝ මීටර 6 ක් විතර වෙන, ඕවාලාකාර හැඩයක් ගන්න සමතලා බිම් කඩක්. කොරල් පර සහිත නොගැඹුරු මුහුදක් ඒ වටා තියෙන්නෙ.

දූපතේ උතුරු කොටසේ පන් දහසක විතර කුඩා ජනගහනයක් වෙසෙනවා. ඔවුන් සියලු දෙනාම වගේ දමිළ ජාතිකයින් බව කියන්න ඕන නෑනේ. දකුණු කොටසෙ තියෙන අර්ධ ශුෂ්ක පඳුරු හා තණබිම් සහිත නිවර්තන වනාන්තරයෙ තමයි අර කියාපු වල් පෝනියො ඉන්නෙ. දාහත් වැනි සියවසේ දි ඕලන්ද කාලයෙදි දූපතට ගෙනැල්ලා බෝ කරපු පෝනියො, පස්සෙ කාලෙකදි වනාන්තර ගත වෙලා වල්වුනා කියලා තමයි කියන්නෙ.

මාත් ඉතින් මේ පසුබිම් තොරතුරු ටික එහෙන් මෙහෙන් හොයාගෙන කොල්ලො ටිකත් එක්ක ඩෙල්ෆ්ට් බලා යාපනෙන් පිටත් උනා. යාපනය හා මණ්ඩතිවු දූපත අතරත්, මණ්ඩතිවු හා  පුන්කුඩුතිවු දූපත අතරත් වේලි මං ඉදිවෙලා තියෙන නිසා ඒ දක්වා ගමන ආපු වාහනෙන්ම කරදරයක් නැතිව යන්න පුලුවන්. පුන්කුඩුතිවු දූපත කෙලවරේ තියෙන කුරිකඩ්ඩුවාන් ජැටියේ ඉඳලා යන්න ඕනෑ නාවික හමුදාව යටතේ පාලනයවෙන පෞද්ගලික බෝට්‍ටුවලින්.

පැයකට ආසන්න
මුහුදු ගමනකට පස්සේ ...
ඩෙල්ෆ්ට් දූපතේ උතුරු වෙරළේ පිහිටා තියෙන ජැටිය දක්වා බෝට්‍ටුවෙන් යා යුතු කිලෝ මීටර් දහයක විතර දුර යා ගන්න පැය බාගෙකයකට වැඩි කාලයක් ගත වෙනවා. තැඹිලිපාට ආරක්ෂක ජැකට්‍ටුව ඇඳගෙන, පුංචි කවුලුවකින් බෝට්‍ටුවට රිංගලා, ලෑලි බංකුවෙ වාඩිවෙලා යන ඒ ගමන අපූරු අත් දැකීමක්.  මගීන් අතර වැඩිපුර ඉන්න දූපත් වාසීන් සියලු දෙනාම දමිල ජාතිකයින්. ඔවුන් හා අප අතර තිස් වසරක යුද්ධයක් පැවතුනාදැයි කිසිසේත්ම සිතා ගත නොහැකි තරම්. ඔවුන් කිසිවෙකුගෙන් කිසිදු නොරුස්නා බවක් පළවුනේ නෑ.

ඩෙල්ෆ්ට් ජැටිය මතදී ...
ගමනට හුරු පුරුදු පොලිස් සැරයන්වරයෙක් අපිත් එක්ක සිටි නිසා ඩෙල්ෆ්ට් දූපතේ ජැටියට ළඟා වෙලා, දූපතේ සංචාරයට අවශ්‍ය වාහන සොයා ගැනීම් ආදියට කරදරයක් උනේ නෑ. සාධාරණ ගාස්තුවකට, දූපතේ සංචාරයට සුදුසු විවෘත රථ දෙකක්, අපව ‍රැගෙන යන්න ජැටිය ආසන්නයටම ඇවිත් තිබුනා. දූපතේ වැසියන්ට එහා මෙහා යන්න ලංගම බස් රථයක් යොදවලා තිබුනා.


හුණුගල් කුට්ටිවලින්  තැනූ තාප්ප හා තල් අතුවලින්  තැනූ වැටවල්වලින් වෙන්කර තිබුනු ගෙවතු අතරින් වැ‍ටුනු, ප‍ටු පාරවල් දිගේ ගිය අපි දූපතේ දකුණු අර්ධය වෙත  ළඟා වුනා. මුහුදු වෙරළ දක්වා විහිදුනු තණ බිම්වල අතරින් පතර  මිටි ශාක පඳුරු විසිරිලා තිබුනා. වෙරළ ආසන්නයෙ හිටපු පෝනියො රංචුවක් ලඟටම අපි ගිය වාහන පැදෙව්ව නිසා නිසා ඔවුන්ව හොඳින් දැක බලා ගන්න ලැබුනා. සාමාන්‍ය අශ්වයෙකුට වඩා උසින් අඩු නිසා උන් 'පෝනින්'ලෙස හඳුන්වන එක නිවැරදියි. ඕලන්ද කාලයෙ ඩෙල්ෆ්ට් දූපතේ පවත්වාගෙන ගිය අශ්ව ගාල්වල ඔවුන් රඳවලා හිටිය බව අහන්න ලැබුනා. රංචුවෙ හිටපු සමහර සත්තුන්ගෙ හන සලකුණුත් දකින්න තිබුනා. ඒ සත්තු මිනිස් ඇසුරෙ ඉඳලා පස්සෙ වල් වැදුනා විය යුතුයි. සිත්ගන්නාසුළු කොණ්ඩ මෝස්තරය අස්සෙන් අපි දිහා බලපු නායක පෝනියා වැඩි සුහද බවක් පෙන්නුවෙ නෑ. පරිසරයෙ තියෙන දැඩි ක‍ටුක බව නිසාම ඔවුන් අතර වැඩි නිරෝගී බවක් පේන්න තිබුනෙ නෑ. නියං කාලෙදි පානීය ජලය නොමැතිකම නිසා ඔවුන් පීඩා විඳින බව දැනගන්න ලැබුනා.

පැරණි බලකො‍ටුව
පෝනියො බලලා ආපසු එන අතරෙදි අපි ඩෙල්ෆ්ට් දූපතේ තියෙන අනෙක් වැදගත් තැන් කීපයක් බලන්න ගියා. දූපතේ තියෙන රෝහල් භූමියෙම තියෙන පැරණි ගොඩනැගිල්ල එයින් එකක්. ඉතා පුළුල් බිත්ති සහිත ඒක ආරක්ෂක බලකො‍ටුවක් බව පැහැදිලියි. පෘතුගීසි යුගයෙදි ඉදි කරලා නිසැකවම පස්සෙ ඕලන්ද කාලෙදිත් භාවිතා කරන්න ඇති. දූපතේ තියෙන පැරණි ගොඩනැගිලි සේරම වගේ ඉදි කරලා තියෙන්නෙ හුනුගල් කුට්ටිවලින්.

පරෙවි කූඩුව
දූපතේ තියෙන තවත් එක විශේෂ ස්ථානයක් තමයි පැරණි පරෙවි කූඩුව. ශක්තිමත් පාදමක් මත හුනු ගලෙන් නිමවලා තියෙන ඒක තවමත් ඉතා හොඳ තත්වයෙන් තිබුනත්, පරෙවියො ඉන්න බවක් නම් පෙනුනෙ නෑ. ඉස්සර කාලෙ පණිවිඩ හුවමාරුව සඳහා පරෙවියන් යොදාගත්තු බව අපි අහලා තියෙනවනෙ. ඒ අසලම තවත් පැරණි ගොඩ නැගිලි කීපයක නටබුන් දකින්න පුළුවන්. ඉන් එකක් පහුගිය ශත වර්ෂයේ මුල් කාලෙ උසාවියක් හැටියට භාවිතා කරලා තියෙනවා. පෘතුගීසීන්ගෙ පරිපාලන මධ්‍යස්ථානය එතන තිබුණු බවට විශ්වාස කරනවා.

දූපතේ තියෙන පැරණි අශ්ව ගාල, පසු කාලෙක ඉංග්‍රීසි යුගයෙදි ඉදි කරපු එකක් හැටියට සැලකෙනවා. අශ්වයින් බෝ කිරීම ව්‍යාපාරයක් හැටියට සිදුවෙලා තියෙනවා. ඒ ආසන්නයෙ තැනක තුබුණු යෝද පා සලකුණ බලන්නත් අපිව එක්ක ගියා. එතන තිබුණු හුණුගල් තට්‍ටුව පා සලකුණක හැඩයට ඛාදනය වීමෙන් ඒක නිර්මාණය වෙලා තියෙන බව පේනවා.

ස්ථූපයේ නටබුන්
ඩෙල්ෆ්ට්වල දැන් ඉන්නේ සේරම වගේ හින්දු භක්තික දමිල අය උනාට, අතීතයෙදි බෞද්ධයින් සිටි බවට එහි ඇති චෛත්‍යයේ නටබුන් පැහැදිලි සාක්ෂියක්. ශ්‍රි මහා බෝධිය වැඩමවන අතරෙ සංඝමිත්තා තෙරණිය ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැලා විවේක ගත් බවත්, එය සිහිවීම සඳහා චෛත්‍යය ඉදි කල බවත් කියවුනා.

බැඕබැබ් ගස
දූපතේ තියෙන යෝධ බැඕබැබ් (Baobab) ගස තවත් එක සුවිශේෂී සලකුණක්. අප්‍රිකානු මහාද්වීපයෙ, ඉතියෝපියානු සම්භවයක් ඇති බැඕබැබ් ගස ලොව පුරා තැන තැන ‍රැගෙන ගියේ මුස්ලිම් වෙළඳුන් බව කියවෙනවා. පුළුල් කඳක් සහිත ඒ ගස්වල විශේෂය අමුතු හැඩය නිසා කැපී පෙනෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන ගහේ කඳේ තියෙන කුහරය තුළ මිනිසෙකුට පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන්.

දූපතේ කෙලවරක තියෙන 'ලියලන කොරල් ගල' බලන්නත් අපි ගියා. ලියලා වැඩෙන හැඩයක් තියෙන ඒ කොරල් කුට්ටිය ලඟ තිබුනු සලකුණුවලින් ඒක දූපත් වැසියන්ගෙ පුද පූජා ලබන බව පෙනුනා. නමුත් විද්‍යානුකූලව ඒ වගේ 'වැඩීමක්' නම් වෙන්න බෑ. සමුද්‍රීය පරිසරයක වෙසෙන 'පොලිප්' (Polyp) නමින් හඳුන්වන අපෘෂ්ඨවංශික සතා තමගෙ ශරීරය වටා ස්‍රාවය කරගන්න කැල්සියම් කාබනේට් ආවරණය නිසා තමයි හුනුගලක් නිර්මානය වෙන්නෙ. හුණුගලක් කියන්නෙ ඒ වගෙ සත්තු විශාල සංඛ්‍යාවකගෙ ජනපදයක්. ගොඩ බිම වියලි පරිසරයක ඒ සත්තුන්ට පවතින්න බෑ.  ඒත් දූපතේ වැඩිහිටියො කියනවලු ඒ අය පුංචි කාලේ ඒ ගල තිබුනෙ දැනට වඩා කුඩාවට කියලා.

අපි දිවා ආහාරය ගත්තෙ ජැටිය ආසන්නයෙ තිබුනු ගෙදරකින්. ඒක ඉතාම සාධාරන මිලකට සැපයුණු සරල, ප්‍රණීත, ආහාරයක්. මාරයා  මලයා හරි, වෙනි  මලයා හරි හිටියනම් ෂුවර් එකටම බත් පිඟානෙ පින්තූරයක් අරගෙන FB එකේ දාලා, බලන එවුන්ට පිස්සු හදවනවා. කස්ටියෙ හිටපු ඇම්ඩන්ලා කීපදෙනෙක් 'කෑමට පෙර' තේ හැඳි දෙකක් විතර දාගන්න ෆුල් ට්‍රයි එකක් දැම්මත් හොයා ගන්න බැරි උනා. කොහොම උනත් ඩෙල්ෆ්ට් දූපතේ තනි අකුරේ කර්මාන්තය ජයට කෙරෙනවා කියලා දැනගන්න ලැබුනා.

ලියලන ගල
ආපහු එන්න බෝට්‍ටුව එනකම් ජැටිය ලඟ බංකුවක වාඩිවෙලා ඉන්න කොට, පුංචි කොලුපැටියෙක් ආත්තම්මත් එක්ක ඇවිත් අපි ඉස්සරහින් වාඩි උනා. අපි අපේ ගමේ පාරක යන එනකොට දකින පැටවුන්ගෙ මූණෙ දකින අහිංසකකම අඩුවක් නැතුවම ඒ කොලුපැටියගෙ මූණෙත් තිබුනා. ලොකුවෙනකොට ඒකගෙ මොළේට, අඩි දහයක් ඉදිරිය නොපෙනෙන දේශපාලකයෙක් විසින් වර්ගවාදයෙ විස එන්නත් කළේ නැත්නම්, කවදා හරි රටට ලෝකෙට වැඩදායක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට, නැවත කොහේදි හරි ඒ කොලුවා මුණ ගැහේවි කියලා මට හිතුනා.,


මගෙ විජිතයට ගොඩවෙලා, ලියවෙන දේ කියවා මට දිරි දෙන සියලු යහලු යෙහෙලියන්ටත්, හැමෝගෙම අඹු, සැමි, දරු පැටවුන්ටත් සුබම සුබ නව වසරක් පතනවා ...!


 මෙතනට කොටලා මාරයා මලයගෙ බුකියෙන් තව පින්තූර බලන්න.




ආත්තම්මා ටවුමෙදි ඉයිස්ක්‍රීම් එකක්
අරන් දෙනවා කිව්වා ...
කෝ මේ බෝට්‍ටුව ඉක්මනට එන්නෙ නෑනෙ ...!



Friday, December 14, 2012

31. හෙන්රි එංගල්බ්‍රෙෂ්ට්

කිසිදා නොකළ වරදකට හිරේ දැම්මොත් ඔබ මොකද කරන්නෙ ...? ඊට විරෝධය පාන්න ඔබට පුලුවන්ද හිරකාරයන්ට දෙන ජම්පරේ ඇඳීම ප්‍රතික්ෂේප කරලා, තුන් මාසයක් ඉර එලිය නොදැක, හිර කූඩුවෙ ඇතුලෙ හීතල සිමෙන්ති පොලව උඩ හෙලුවැල්ලෙන් නිදා ගන්න ...?

මේ පින්තූරයෙ ඉන්න මිනිසා එහෙම කරපු කෙනෙක්. ඒ වගෙ මරුමුස් පොරක් මගේ වෘත්තීය පුරෝගාමියා වීම ගැන මගෙ හිත ඇතුලෙ පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ නිසයි මම අද හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් ගැන ලියන්න හිතුවේ.

 එංගල්බ්‍රෙෂ්ට් දකුණු අප්‍රිකානු බෝයර් (Boer) ජාතික සටන් කරුවෙක්. ඕලන්ද, ජර්මානු හා ප්‍රංශ මිශ්‍ර සම්භවයක් ඇති බෝයර් ජාතිකයින් 18 - 19 සියවස්වල දකුණු අප්‍රිකාවෙ දි  ඉංග්‍රීසි අධිරාජ්‍යය හා සටන් වැදුනා. පස්සෙ කාලෙක දි සටන් පරාද වෙලා, ඉංග්‍රීසීන්ගෙ අත් අඩංගුවට පත් වෙලා, 1900 දි ලංකාවට ගෙනාපු බෝයර් ජාතික යුද සිරකරුවන් පන්දහසක  පිරිසක් අතරෙ හෙන්රි එංගල්බ්‍රෙෂ්‍ටුත් හිටියා.

මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් 1902 දි දකුණු අප්‍රිකාවෙ ප්‍රිටෝරියාවෙදි අත්සන් තබාපු ගිවිසුමකට අනුව, එවකට හිටපු එඩ්වඩ් ඉංග්‍රීසි අධිරාජයාට පක්ෂපාතිත්වය දක්වලා නිදහස ලබාගෙන ආපසු තමන්ගෙ මව් රට බලා නැව් නැග්ගා. ඒත් සිරකරුවන් අතරෙ හිටපු එංගල්බ්‍රෙෂ්ට් දිගින් දිගටම එංගලන්තෙ රජුට හිස නැමීම ප්‍රතික්ෂේප කරලා, තව දුරටත් සිරකරුවෙක් විදියටම ලංකාවෙ ‍රැඳිලා හිටියා.

1903 සැප්තැම්බර් වෙනකොට පන්දහසක් සිරකරුවන් අතුරින්, ඉංග්‍රීසි රජ්ජුරුවන්ට පක්ෂපාතී වීම ප්‍රතික්ෂේපකරලා ඉතුරුවෙලා ඉඳලා තියෙන්නෙ එංගල්බ්‍රෙෂ්ට් ඇතුලු බෝයර් සිරකරුවන් පස් දෙනෙක් විතරයි. ඔවුන්ගෙන් දෙන්නෙක් පස්සෙ යාපනයටත්, තවෙකෙක් මඩකලපුවටත්, එංගල්බ්‍රෙෂ්ට් ඇතුළු දෙදෙනෙක් හම්බන්තොටටත් යවනු ලැබුවා. නමුත් අනෙකුත් සිරකරුවන් හතර දෙනාම කෙටි කලකින්ම මිය පරලොව ගිය නිසා 1905 වනවිට ලංකාවෙ ඉතිරිවෙලා හිටපු එකම බෝයර් සිරකරුවාවුනේ එංගල්බ්‍රෙෂ්ට් විතරයි.

හම්බන්තොට කච්චේරියෙන් ගෙවාපු, දිනකට රුපියල් 1.25 ක දීමනාවෙන් ජීවිතේ ගැට ගහගෙන, අතු පැලක ජීවත්වුනු එංගල්බ්‍රෙෂ්ට් ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණපාන්න සිද්ද උනා කියලා වාර්තාවෙලා තියෙනවා. නමුත් ඔහු කවදාවත් ඉංග්‍රීසීන්ට හිස නමන්න හිතහදාගත්තෙ නෑ. මේ කාලයෙදි එවකට ලංකාවෙ ඉංග්‍රීසි ආන්ඩුකාරයා දවසක්  හම්බන්තොට දි එංගල්බ්‍රෙෂ්ට් මුණ ගැහිලා ඇහුවලු 'මම අහලා තියෙනවා ඔබ ලංකාවෙ ඉන්න එකම බෝයර් සිරකරුවා කියලා ... ඇයි ඔබ පක්ෂපාතිත්වය දක්වලා නිදහස ලබා ගන්නෙ නැත්තෙ ...?' කියලා. එතකොට එංගල්බ්‍රෙෂ්ට් කිව්වලු 'මම අහලා තියෙනවා ඔබ ලංකාවෙ ආණ්ඩුකාරයා කියලා. ඒ ප්‍රශ්ණයට උත්තරයක් දීලා ඔබතුමා එක්ක තියෙන හොඳහිත නැති කර ගන්න මම කැමති නෑ ...' කියලා.

ඒ සෘජු පිළිතුර නිසාම ආණ්ඩුකාර බ්ලේක් තීරණය කළා එංගල්බ්‍රෙෂ්ට්ව ඒ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තිබුණු යාල රක්ෂිතයෙ පළමු පාලකයා හැටියට පත් කරන්න. ඉතින් හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් කියන යකඩ මිනිසා අපේ වෘත්තීය පුරෝගාමියා බවට පත් උනේ ඔන්න ඔහොමයි.

යාලට ගිහිල්ලා වැඩ පටන් ගත්තු එංගල්බ්‍රෙෂ්ට් තමන්ගෙ රාජකාරිය අකුරටම ඉ‍ටු කළා. ඒ කාලෙ තිබුනු නීති යටතෙ බලපත්‍රයක් අරගෙන,යාල රක්ෂිතය තුළ දඩයමේ යෙදෙන්න දඩයක්කාරයන්ට  ඉඩ දුන්නා. දඩයමට ඉඩක් නැති ජාතික උද්‍යානයක් බවට යාල රක්ෂිතය පෙරලුනේ එයින් බොහොම කාලයකට පස්සෙ 1938 දි. ඉතාම දක්ෂ වෙඩික්කාරයෙක් වුනු එංගල්බ්‍රෙෂ්ට් වරක්  ගහක් උඩ ඉඳලා තමන් වෙත පැනපු කොටියෙකුට වෙඩි තියලා මරා දැම්මලු. ඔහු ලඟ ඉතාම දුර්ලභ විකෘති මුව අං එකතුවක් තිබුණු බවත් වාර්තා වෙලා තියෙනවා.

විසිවෙනි සියවසේ දෙවනි දශකයෙදි ඇවිලුනු පළමුවෙනි ලෝක සංග්‍රාමය නැවත වරක් එංගල්බ්‍රෙෂ්ට් වෙත ගෙන ආවෙ අවාසනාව. පළමු ලෝකෙ සංග්‍රාමය කාලෙ ඉන්දියන් සාගරය දෙවනත් කරපු කරපු 'ඇම්ඩන්' ජර්මානු යුද නැව 1914 මදුරාසි වරායට පහර දීලා ඇවිත් ලංකාව අවට දකුණු මුහුදෙ කාලයක් ‍රැඳිලා හිටියලු. ඒ කාලය තුළ ඇම්ඩන් නැවට හරක් මස් සැපයුවා කියලා චෝදනා කරලා නැවත වරක් එංගල්බ්‍රෙෂ්ට්ව ඉංග්‍රීසීන්ගෙ සිරභාරයට පත් උනා. 

මහනුවර අඳුරු සිරකුටියකට සීමාවුනු ඊලඟ මාස තුනක කාලය තුළ එංගල්බ්‍රෙෂ්ට්ට කිසිදු නීති සහායක් ලබාගන්න ඉංග්‍රීසි ආණ්ඩුව අවස්ථාවක් දීලා නෑ. තමන්ට එල්ලවුනු චෝදනාවන් ප්‍රතික්ෂේප කළ මේ යකඩ හදවතක් ඇති මිනිසා, සිර ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කරලා සම්පූර්ණ කාලයම නිරුවතින් ගත කළ බව කියවෙනවා.

මාස තුනකට පස්සෙ නිදහස් කෙරුණු එංගල්බ්‍රෙෂ්ට් ආපහු යාලට ආවත් ඔහුට කිසිදු සහනයක් ලැබුනේ නෑ. වසර කීපයකට පස්සෙ 1922 දි බලවත් සේ රෝගාතුර වූ ඔහු, හම්බන්තොට රෝහලට  ‍රැගෙන එමින්  සිටියදී සදහටම මෙලොවින් සමුගත්තා.

එංගල්බ්‍රෙෂ්ට් වෙත එල්ලවුනු චෝදනාවන්වලින් ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්වුනේ, ඔහුගෙ මරණයෙන් වසර නමයකට පස්සෙ. 1931 දි නැවතත් කොලඹ වරායට ආපු ඇම්ඩන් නැවේ ඒවෙනකොට කපිතාන්වරයා හැටියට කටයුතු කලේ, යුද්ධ කාලෙ දෙවෙනි කපිතාන්වරයා හැටියට කටයුතු කළ එස්. විතොෆ්ට්. යුද කාලය තුළ ඇම්ඩන් නැව ලංකාව සමග කිසිම සබඳතාවයක් නොපැවත්වූ බව ඔහු ලිඛිතවම සහතික කරලා තියෙනවා.

කිසිදු ලාබ ප්‍රයෝජනයක් සඳහා ඉංග්‍රීසි ආණ්ඩුවට සිය ප්‍රතිපත්ති පාවා නොදීපු හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් නමැති දැවැන්ත ප්‍රතිරූපය  ඉදිරියේ, තුට්‍ටු දෙකේ ලාබයකට හතරට නැවිලා ඕනෑම පිම්පියෙකුට වලිගෙ වනන්න බලාගෙන ඉන්න අපි මොක්කුද කියලා මට හිතෙනවා.

(හෙන්රි එංගල්බ්‍රෙෂ්ට් ගැන මේ තොරතුරු ලබා ගත්තේ ආර්. එල්. බ්‍රෝහියර් ගේ 'Seeing Ceylon in vistas of Scenery, History, Legend and Folklore' පොතෙන්)