Mr. Shirley W. Perera |
Mr. Chandra |
Mr. Hudanchi |
Mr. Arulanandan |
Mr. White |
මගේ ඉස්කෝල ගුරුවරු ගැන කලින් පෝස්ට් එකක ලියලා තියෙන නිසා මට හිතුනා මගෙ වනජීවී ගුරුවරු ගැනත් ලිව්වානම් හොඳයි කියලා. මාව බංකුවක වාඩි කරලා ඉගැන්නුවෙ නැතත් ඒ අය කරන දේවල් දිහා බලා ඉඳලා මම දාහක් දේ ඉගෙනගෙන තියෙනවා.
1981 ජනවාරියෙ මම කුමන වැඩ බාර ගන්න දවස් කීපයකට ඉස්සෙල්ලා වනසත්ව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන කාර්යාලයට ගියා කුමන තියෙන්නෙ කොහේද කියලා අහගන්න. එතකොට ප්‍රධාන කාර්යාලය තිබුනෙ දෙහිවල සත්තු වත්තෙ මින් මැදුරෙ උඩ තට්‍ටුවේ. එහේදි මට මුණගැහුනා එතකොට නැගෙනහිර පලාතෙ සහකාර අධ්‍යක්ෂක ෂර්ලි වින්ස්ටන් පෙරෙරා මහත්තයා. පුහුණුවෙන අඩවි සහකාරවරයෙක් විදිහට මම කුමනට එනවා, කුමනට එන්නෙ කොහොමද කියලා අහැව්වහම එයා කිව්වේ 'තමුසෙට ලැබෙන පළවෙනි ටෙස්ට් එක තමයි කුමන හොයාගෙන එන්න පුලුවන්ද කියලා බලන එක' කියලා. කොහොම උනත් ඊට පස්සෙ එලඹුනු දශක එක හමාරක විතර කාලය තුළ මට මගේ සේවා කාලයෙදි වරින් වර එතුමා යටතෙ වැඩ කරන්න ලැබුනා. මම හිතන්නෙ අද දක්වාත් මගෙ තාත්තා ඇරෙන්න මගෙ ජීවිතේට වැඩිම බලපෑමක් කරපු පුද්ගලයා තමයි ෂර්ලි පෙරේරා මහත්තයා. එතුමාගෙ රජකාරි ජීවිතය දිහා බලලා මම ඉගෙන ගත්තු දේවල් අනන්තයි, අප්‍රමාණයි.
අම්පාර දිස්ත්‍රික්කෙ පහල කෙලවරේ කැලෑව මැද්දෙ තියෙන කුමනදි මගේ අධීක්ෂණ නිලධාරියා උනේ චන්ද්‍රා දොන් සෙබස්තියන් කරුණානායක ජයවර්ධන මහත්තයා. රෑ දොලහ විතර වෙනකම් බූමිතෙල් ලාම්පු පත්තු කරගෙන අපිට එතුමා දන්න දේවල් ඉගැන්නුවා විතරක් නෙමෙයි අපි කන බොන, අඳින පලඳින දේ ගැනත් එතුමා හොයලා බැලුවා. දවසක් දෙපාර්තමේන්තුවෙ ලොක්කා නිල සංචාරයකට කුමන එන දවසෙ එයා ඇවිත් මගෙන් ඇහුවා 'මොකද්ද තමුසෙ ලොක්ක එනකොට අඳින්නෙ ? ' කියලා. මමත් ඉතින් මගේ තිබිච්ච පාන්කඩ කෑලි දෙක තුනෙන් එකක් පෙන්නලා කිව්වා 'මේකවත් අඳිනවා' කියලා. මට ඔරවලා ආපහු ගිය චන්ද්‍රා මහත්තයා එයා ඉන්දියාවෙ පුහුණුවකට ගිහින් එනකොට ගෙනාපු අලුත්ම කමිසයක් දීලා කිවා මේක ඇඳගන්නවා කියලා.
ෂර්ලි පෙරේරා සහ චන්ද්‍රා ජයවර්ධන මහත්වරුන් දෙන්නා දික් කරපු අත්වල එල්ලුනේ නැත්නම්, අඩවි සහකාරවරයෙක් හැටියට දෙපාර්තමේන්තුවට ආපු මට කවදාවත් මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙ නෑ.
මගේ අනිත් වනජීවි ගුරුවරු දෙන්නා තමයි කුමන මගේ සීනියර් අඩවි සහකාරවරුන් හැටියට හිටපු පලනි හුදංචි අප්පු සහ තෙයිවනායකම් අරුලානන්දන්. මම ලියාපු 'යාල නැගෙනහිර - අහිමි වනමං' පොතේ ඒ දෙන්නට වෙනම පරිච්චේදයක් වෙන්වෙලා තියෙනවා. ඒ දෙන්නාම දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්න උගන්වපු දේවල් නිසා තමයි මම තිස් අවුරුද්දක් අලි කොටි වලස්සු එක්ක ඉඳලාත් තවමත් අතක් පයක් කඩා ගන්නෙ නැතුව ජීවතුන් අතර ඉන්නෙ.
ඉතින් මම මේ ටික ලිව්වෙ මේ කියපු සේරම අය ආයෙත් කවදාවත් මේ ලෝකෙ පහල නොවෙන අපූරු චරිත නිසා. ඒ වගෙ අය යටතෙ මගේ වනජීවි ජීවිතේ අරඹන්න ලැබුනු එක මගේ පූරුවෙ වාසනාවක් කියලා මම සලකන්නෙ.
ඊට අමතරව මට රාජකාරි කාලය ඇතුලතදි ඊ. ඩෙස්මන්ඩ් වයිට්, කේ. සී. සැම්සන් වගේ දේපාර්තමේන්තුවෙ කවුරුත් ගෞරව කරන නිලධාරීන් එක්ක වැඩ කරන්න ලැබුනා. ඒ දෙන්නාම කසාදයක්වත් බැඳ ගන්නෙ නැතුව මුලු ජීවිතේම වනජීවියට කැප කරපු අය.
ඔවුන් සියලු දෙනාටම මගේ උත්තමාචාරය මෙයින් සටහන් කරලා තියනවා.
අරුල්ලා, හුදංචිලා ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale