මගෙ යාලුවෝ

Friday, May 17, 2013

41. පැන්ඩාවන් හා වලස්සු


                                                                                අද මම හිතුවෙ වෙනත් රටක සෆාරි පාර්ක් එකකදි දැකපු විදෙස් වන සතුන් කීප දෙනෙක් ගැන ලියන්න.

ලෝකෙ වනසතුන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තු සතුන් අතරින් එකෙක් 'යෝධ පැන්ඩා' (Giant Panda). අපූරු වර්ණ රටාව හා සුරතල් පෙනුම, අතිශය සිත්ගන්න සුළු හැසිරීම් රටාව, අතිශයින් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටීම වැනි හේතූන් නිසා ඌ බොහෝ විට අවධානයට ලක් වෙනවා. 'ලෝක වනසත්ව අරමුදලේ'  (WWF) ලාන්ඡනයටත් යොදාගෙන තියෙන්නෙ පැන්ඩාවෙකුගෙ රූපයක් නිසා ඌට අමතර අවධානයක් හිමි වෙලා තියෙනවා.

මධ්‍යම චීනයෙ කඳුකර පලාත්වලට සීමා වෙලා ඉන්න පැන්ඩා, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම නිසා තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මේ වෙනකොට වනාන්තරවල ඉතුරු වෙලා ඉන්නෙ 2000 - 3000 ක විතර කුඩා ගහනයක් කියලයි විශ්වාස කරන්නෙ.

වලස් පවුලට අයත් උනත් උගේ ආහාරයෙන් 99% ක්ම සමන්විත වෙන්නෙ උණ ශාක පත්‍රවලින්. කුඩා කෘන්තක සතුන් හා සත්ව මලකුණු මත යැපීමේ පුරුද්දකුත් තියෙනවා. මේ සුවිශේෂී පරිසර අවශ්‍යතාවයන් සහ ඉතා අඩු ප්‍රජනන වේගය නිසා යෝධ පැන්ඩාවන් සංරක්ෂනය කර ගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා.

මේ වගේ අතිශය වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන් සංරක්ෂණයෙදි යොදා ගන්න එක ක්‍රමවේදයක් තමයි 'පරිබාහිර සංරක්ෂණය' (Ex-situ Conservation). ඒකෙන් අදහස් කරන්නෙ ස්වාභාවික පරිසරයෙන් ඉවතට ගෙනැල්ලා සතුන් බෝ කරලා නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීම.  නමුත් සත්වොද්‍යානවලට ගෙන එන පිරිමි පැන්ඩාවන් සංසර්ගය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ. සමහර පර්යේෂකයො උන්ට 'ව්‍යාඝ්‍රා' පෙති දීලා, පැන්ඩාවො සංසර්ගයෙ යෙදෙන  'බ්ලූ' ‍ෆිල්ම් පෙන්නලාත් උත්සාහ කළාලු ලිංගික ක්‍රියාවලට පොළඹව ගන්න. මෑතකදි කෘත්‍රිම සිංචනය කරලා පැටවුන් හදාගත්තු අවස්ථා කීපයක් වාර්තා වෙලා තියෙනවා.

මේ තමයි රුසියාවේ සිට උතුරු ඇමෙරිකාව හා කැනඩාව දක්වා ව්‍යාප්ත වෙලා ඉන්න දුඹුරු වලසා (Brown Bear). ඌ ලෝකෙ වැඩිම ප්‍රදේශයක ව්‍යාප්තියක් ඇති වලස් පවුලෙ සාමාජිකයා හැටියට සැලකෙනවා. ඒ වපසරිය තුල දුඹුරු වලසාගෙ උප විශේෂ 16 ක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් උප විශේෂවලට අයත් දුඹුරු වලසුන් ගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 780 ක් (රාත්තල් 1700) පමණ වෙනවා.

දුඹුරු වලසුන් විශාල සංඛ්‍යාවක් තවමත් දකින්නට ලැබුනත් උන් ඉතා විශාල ප්‍රදේශයක, එකිනෙකින් වෙන් වූ කුඩා ගහනයන් හැටියටයි ජීවත් වෙන්නෙ. ඔවුන් අතර ප්‍රවේණි ලක්ෂණ හුවමාරුවකට ඉඩක් නෑ. ඒ වගේ 'තනිව' සිටීම සත්ව විශෙෂයක දිගු කාලීන පැවැත්මට ලොකු තර්ජනයක්.

දුඹුරු වලසා විශාල නිවාස පරාසයක (Home Range) ජීවත් වෙන සතෙක්. ඌ ඒ ප්‍රදේශයේ තමන්ගෙ වර්ගයට අයත් අනෙක් සතුන් එක්ක එකට ජීවත් වෙනවා. කොටින් (Leopard) වගේ තමන්ටම අයත් වසමක් (Territory) වෙන් කර ගන්නෙ නෑ. හිම වැටෙන ප්‍රදේශවල ඉන්න වලස්සු වසන්ත කාලයෙදි හොඳට කාලා ඇඟේ මේද සංචිතයක් හදා ගන්නවා. ගුහාවකට රිංගලා මාස කීපයක් එක දිගට නිදා ගන්න හිම වැටෙන ශිශිර කාලයෙදි අවශ්‍ය ශක්තිය ඌට සැපයෙන්නෙ ඒ මේද සංචිතයෙන්. (ශිශිර තරණය - Hibernation)

පැටවුන් මරාගෙන කෑමේ නරක පුරුද්ද (Infanticide) දුඹුරු වලසුන්ටත් තියෙනවා. ගැහැණු සතුන් ලිංගික ක්‍රියාවලියට පොලඹව ගන්න තමයි පිරිමි සත්තු එහෙම කරන්නේ.

නිදිමත වැක්කෙරෙන මූණක් තියෙන මෙයා 'කො ආලා' වලසා (Koala Bear ). වලහෙක් කිව්වට මෙයා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශවලට සීමාවුනු, 'මාර්සුපියල්' (Marsupial - සේපාටිකයන්, පැසිපොව්වන්) වර්ගයට අයත් කෙනෙක්. ඉතා කුඩා පැටවුන් බිහි කරන මාර්සුපියල් සතුන් උදරීය 'පැසක' දාගෙන තමයි පැටව් ආරක්ෂා කර ගන්නෙ. අපි දන්න අනිත් මාසුපියලා තමයි කැන්ගරුවා. තවත් කීපදෙනෙක් ඉන්නවා.

රුක්වාසී (Arboreal) කො ආලා වලසුන් ජීවත් වෙන්නෙ යූකැලිප්ටස් වනාන්තරවල නිසා, උගේ ආහාරය මුලුමනින්ම වගේ සමන්විත වෙන්නෙ යූකැලිප්ටස් කොලවලින්. ඒවා පෝෂණයෙන් ඉතාම අඩු නිසා කො ආලාවන් දවසේ පැය 20 ක්ම ගත කරන්නෙ නිදා ගන්න.

කො ආලා පැටියෙක් බිහි වෙන්නෙ කළල අවස්ථාවෙදිමයි. නමුත් ඒ වෙනකොට ස්වසන, ආහාර ජීර්ණක, බහිශ්‍රාවීය පද්ධති හොඳින් වර්ධනය වෙලා. කිරි උරා බීමට තොල් සහ එල්ලී සිටීමට නිය ආදියත් ඒ වෙනකොට වැඩෙනවා. බිහිවෙන පැටියා අම්මගෙ උදරීය පැස තුලට වැදිලා ඉතිරි ළමා කාලය ගත කරනවා.

කො ආලාවන් දේශගුණික විපර්යාසයන්ට ඉතාම සංවේදීයි. 1980 දරුණු නියඟයකින්, ක්වීන්ස්ලන්තෙ කො ආලා ගහනයෙන් 63% ක් මියගිය බවත්, ඉන් පසු ගහන වර්ධනය ඉතා සෙමින් සිදුවූ බවත් කියවෙනවා.

ආදරේ හිතෙන, අහිංසක සතෙක් උනත් කො ආලා අතීතයෙ දි සම් සඳහා ලක්ෂ ගණනින් දඩයම් කෙරුනා. වර්තමානයෙදි ඔවුන්ට තියෙන දරුණුම තර්ජනය තමයි සංවර්ධනය හේතුවෙන් ස්වාභාවික වාසස්ථාන අහිමි වීම.

මේ ඉන්නෙ 'ජෙම්ස්බොක්' (Gemsbok) නමින් හැඳින්වෙන දකුණු අප්‍රිකානු ඇන්ටිලෝපයා. කලහාරී කාන්තාරයෙ ශුෂ්ක පාරිසරික තත්වයන් යටතේ ජීවත්වෙන මේකගෙ අලංකාර අං යුවල නිසාම දඩයමට ලක් වෙනවා. ගැහැණු සතුන්ට තමන්ගෙ පැටව් විලෝපී සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නත්, පිරිමි සතුන්ට තමන්ගෙ වසම (Territory) අනෙක් පිරිමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්නත් ඒ අං යුවල ප්‍රයෝජනවත් වෙනවා.





පැන්ඩා මූණක් තියෙන නිසා මේකට 'රතු පැන්ඩා' (Red Panda) කිව්වට යෝධ පැන්ඩට සමීප ඥාති කමක් නෑ. චීනයෙ හා ඉන්දියාවෙ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න රතු පැන්ඩා රුක් වාසී, උණ ශාකය මත යැපෙන සතෙක්. අනිත් සත්තු වගේම ස්වාභාවික වාසස්ථාන අහිමි වීම හා කුඩා ගහනයන්ට සීමා වීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්නවා.









Friday, May 3, 2013

40. හැත්තෑපස් විය සපුරන වනජීවී රක්ෂිත


අපේ වනජීවී රක්ෂිත ජාලය
වනජීවී රක්ෂිතයක් වැඩි දෙනෙකුට පේන්නෙ අලි, කොටි වලස්සුන්ටම වෙන්වුනු බිමක් හැටියට. ගෙයක් දොරක් අටව ගන්න, හෝටලයක් හදා ගන්න ඉඩමක් හොයන එකාලට ඒවා පේන්නෙම අපතේ ගිය ඉඩම් හැටියට. වනජීවී රක්ෂිතවලට අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හැර, අපේ ජීවිතවලට ඍජුවම බලපාන තවත් වැදගත් අරමුණු පරමාර්ථ තියෙනවා. 1938 දි අපේ රටේ පළවෙනි වනජීවී රක්ෂිත ගොන්න ප්‍රකාශයට පත් කරලා අවුරුදු 75 ක් පිරෙන මේ වෙලාවෙ, ඒ බැලූ බැල්මට නොපෙනෙන අරමුණු ගැන යමක් ලිව්වොත් හොඳයි කියලා මට හිතුනා.

සංචාරක කර්මාන්තය - අපේ මුල්ම වනජීවී රක්ෂිත, යාල, විල්පත්තු ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කළේ ඒවා තුළ සංචාරක කර්මාන්තය විධිමත් කරන්න. වර්තමානය වෙනකොට සංචාරක කර්මාන්තය ප්‍රමුඛ අරමුණක් නොවුනත් වනජීවී රක්ෂිත වලින් 2012 වසරේ දී මිලියන 500 කට වැඩි ආදායමක් අපේ ජාතික ආර්ථිකය ලබලා තියෙනවා. එයින් වැඩි කොටසක් විදේශ විනිමය.

ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා  කිරීම - මහවැලි, කළු, කැළණි, වලවේ ගංගාවල ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙන්නෙ හෝටන් තැන්න, ශ්‍රී පාද අඩවිය වගේ මධ්‍ය කඳුකරයෙ වනජීවී රක්ෂිතවලින්. කෘෂිකර්මාන්තයට, ජලවිදුලි නිෂ්පාදනයට ජලය සපයන ඒ ගංගාවල තවමත් අවුරුද්ද පුරාම ජලය ගලාගෙන යන්නෙ ඒවයෙ ඉහල ජලාධාර ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන නිසා.

මහ පරිමාන ජලාශයන්ගේ ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම - නිදහසෙන් පස්සෙ අපේ රටේ පාලකයන් බවට පත්වුනු ඩී. එස්. සේනානායක වගේ නායකයන්ට අවුරුදු සිය ගණනක් ඉදිරිය පේන නුවණක් තිබුනා. ජනශූණ්‍යව තිබුනු වියලි කලාපයේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ඇතිකරලා, නිරිත දිග තෙත් කලාපයේ ‍රැස් කකා හිටපු ජනතාව ඇදගෙන ඇවිත් පදිංචි කරවලා, මහා මිනිස් පවුරක් ඉදි නොකලා නම්, පහුගිය කාලෙ උතුරෙ කස්ටිය ඇඳගෙන හිටිය ඊලාම් සිතියමේ හැඩය ඊට වඩා බොහෝ වෙනස් වෙන්න ඉඩ තිබුනා. කන්තලේ, මින්නේරිය, ගල් ඔය නිම්නය, වගේ ගොවි ජනපද අපේ රටේ ඉතිහාසය මුලුමනින්ම වෙනස් කළා කිව්වොත් නිවැරදියි. පසු කාලෙක උඩවලව, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමවලට පූර්වාදර්ශය වුනෙත් ඩී. එස්. සේනානායක, ජාතියේ පියාණන්ගේ නිවැරදි දැක්ම. ඒ සංවර්ධන ව්‍යාපාර යටතේ ඇතිකරපු සියලුම මහපරිමාන ජලාශ සියල්ලක්ම, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කරලා ආරක්ෂා කරන්න තරම් ඔවුන් දූරදර්ශී වුනා. ගල් ඔය සේනානායක සමුද්‍රය, උඩවලව, සියලුම මහවැලි ජලාශ ඇතුලු අපේ රටේ කෘෂිකර්මාන්තයට හා ජලවිදුලි බලය නිෂ්පාදනයට ජලය සපයන මහපරිමාන ජලාශ හතලිහකට වැඩි සංඛ්‍යාවක්  අද ආරක්ෂා වෙන්නෙ වනජීවී රක්ෂිත ඇතුලෙ.

සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කිරීම - හික්කඩුව, කල්පිටිය, පරෙවි දූපත, මහවැලි විල්ලු, හක්ගල, රිටිගල වගේ සමුද්‍රීය හා ගොඩබිම් සුවිශේෂී පරිසර පද්ධතීන් ‍රැසක් ආරක්ෂාව ලබන්නෙ වනජීවී රක්ෂිත ජාලය තුල. මේ හැම පරිසර පද්ධතියකටම මානව පැවැත්ම සඳහාත් සුවිශේෂී කාර්ය භාරයක් පැවරිලා තියෙනවා.

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම - අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, රිටිගල ඇතුළු සංස්කෘතික උරුමයන් පවතින ප්‍රදේශ වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා ඒවායෙ ස්වාභාවික වටපිටාව ආරක්ෂා කෙරෙනවා.

ගොවිපොල භෝග හා සතුන්ගේ වනජ දර්ශ ආරක්ෂා කරගැනීම - ගොවිපොල භෝග හා සතුන් වැඩි දියුණු කිරීම සඳහා යොදාගන්න උසස් ප්‍රවේණි ලක්ෂණ පවතින්නෙ ඒවයෙ වනජ දර්ශ තුළ. වනජීවී රක්ෂිතවල ඒ වගෙ වනජ දර්ශ ‍රැසක් ආරක්ෂා වෙනවා. වී, ගම්මිරිස් ඇතුළු වාණිජ භෝග ඒ අතර තියෙනවා.

ඉතින් මේ වෙනකොට අපේ රටේ මුළු වපසරියෙන් 14 % ක් ඉක්මවන වනජීවී රක්ෂිතවල, බැලූ බැල්මට නොපෙනෙන අරමුණු හා පරමාර්ථ ‍රැසක් සැඟවිලා තියෙන බව පැහැදිලි කරන්නයි මට ඕනවුනේ. ඒ සමහර අරමුණුවලින් අපේ රටේ ජාතික ආර්ථිකයට අති විශාල දායකත්වයක් දෙන කෘෂිකර්මාන්තයේ, ජලවිදුලිබල නිශ්පාදනයේ දිගුකාලීන පැවැත්ම තහවුරු වෙනවා. ඒවා ගැන නොහිතන  සමහර අම්බරුවන්ට වනජීවී රක්ෂිත පේන්නෙ, රටේ සංවර්ධනයට විශාල බාධාවක් විදියට.

ඩී. එස්. සේනානායක වගේ සියවස් ගණනක් අනාගතය විනිවිද දකින්න පුලුවන් නායකයින් නැවත මේ රටේ පහලවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.