මගෙ යාලුවෝ

Saturday, April 20, 2013

39. දේශප්‍රේමය හා භික්ෂූන්වහන්සේලා.

ගිරිතලේ අද උදෑසන ‍රැස්වීමෙදි සුපුරුදු කතාව පවත්වපු ට්‍රේනී කොල්ලගෙ කටින් කියවුනා නොයෙකුත් සංවිධාන අටවගෙන අනවශ්‍ය ගැ‍ටුම් ඇති කරන්න උත්සාහ කරන භික්ෂූන්වහන්සේලා ගැන. ඌ විතරක් නෙමෙයි මේ දවස්වල මූණු පොතේ, පොත් පත්තරවල, යන එන මග තොටේ හැම තැනකම වගේ කතා වෙන්නෙ රටපුරා ‍රැස්වීම් තිය තිය අන්‍ය ආගමිකයන්ගේ ඇතැම්  කටයුතුවලට එලිපිටම විරෝධය පාන භික්ෂූන්වහන්සේලා ගැන. ඇතැම් අය ඒ ගැන පහන් සිතින් කතා කළත් සමහරු අහන්නෙ දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉන්නෙ නැතිව, භික්ෂූන්වහන්සේලා සිවුර කරට අරගෙන පාරට බහින එක සුදුසු ද කියලා. ඒක සිවුරට, සාසනයට, බොදු දහමට  කරන නිගරුවක් හැටියට, වෙනත් වාසි ප්‍රයෝජන තකා කරන රඟපෑමක් හැටියට දකින අයත් ඉන්නවා.

ඒ ගැන හිතා බලද්දි මට මතක් උනේ අපේ මෑත කාලීන ඉතිහාසයෙ නොයෙකුත් ගැ‍ටුම්කාරී අවස්ථාවලදි ඉදිරියට ඇවිත් ඒවට මැදිහත්වුනු බෞද්ධ භික්ෂූන්වහන්සේලා කීප දෙනෙක් ගැන. ඒ අතරින් ප්‍රමුඛ වෙන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්.

1815 දි ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කර ගන්නකොට,  මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙ තේවාව භාරව සිටි උන්වහන්සේ, උඩරට ගිවිසුම අත්සන් කරන්නට පෙර ඉංග්‍රීසි කොඩිය ඔසවලා තියෙනවා දැකලා, ඒක ඇදලා බිම දාලා පෑගූ බව අපි කවුරුත් දන්න කතාවක්. ඒ කතාව අධිනීතිඥ වොල්ටර් විමලචන්ද්‍ර මහතා වෙත ඇති පැරණි පුස්කොල පතක සඳහන් වෙන බව ශ්‍රි සුමංගල හිමියන් පිළිබඳව 'පූජිත ජීවිත' (පළමු වෙලුම) පොතට ලිපියක් සපයන තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන් සඳහන් කර තියෙනවා.

උඩරට ඉංග්‍රීසි පාලනයට පළමු විරෝධතාව මතුවන්නේ 1816 දී ඉහගම තෙරුන්ගේ මූලිකත්වයෙන්. හාරිස්පත්තුවේ ඉහගම උපන් උන්වහන්සේ, ඉගෙනුම ලබන්නේ මල්වතු විහාරයෙන්. සිංහාසනයෙන් පහකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ ඥාති කුමාරයෙකු රජකමට පත් කරන්නට තවත් භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු සමග කුමන්ත්‍රණය කරන උන් වහන්සේ පසුව එක්නැලිගොඩ විසින් ඉංග්‍රීසීන්ට පාවා දෙනු ලබනවා. කොලඹට ‍රැගෙන යමින් සිටිය දී අට්ටාපිටියේ දී අත් අඩංගුවෙන් පැන යන උන්වහන්සේ පසුව උපැවදිව 1818 කැ‍රැල්ලේ නායකයෙකුලෙස වලපනේ ප්‍රදේශයේ සටන් මෙහෙයවනවා. කැ‍රැල්ල අවසානයේ දී නැවත ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් වන ඉහගමට මරණ දඬුවම පැනවුනත් පසුව ජීවිතාන්තය තෙක් මුරිසි දිවයිනට පි‍ටුවාහල් කරන්න තීරණය කෙරෙනවා.

1818 කැ‍රැල්ලට නායකත්වය දෙන්නෙත් උපැවදිව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් ගේ ඥාතියෙකු වන දොරේසාමි නමින් පෙනී සිටින විල්බාවේ තෙරණුවන්. කැ‍රැල්ල අවසානයේ පලා යන ඔහු නැවත ඉංග්‍රීසීන් ගේ අත් අඩංගුවට පත් වන්නේ එයින් වසර දොලහකට පස්සේ. ඔහුට ද මරණ දඬුවම නියම වුනත් පසුව සම්පූර්ණ නිදහස ලබනවා.

වාරියපොල හිමියන්ගේ සටන ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගීමෙන් නතර වන්නේ නෑ. 1818 කැ‍රැල්ල සමයේ දී දළදාවහන්සේ ද ‍රැගෙන මහනුවරින් පළා යන උන් වහන්සේ කැ‍රැල්ල මෙහයවන කැප්පෙටිපොලට එක් වෙනවා.  කැ‍රැල්ල අවසානයේ දී දළදා වහන්සේ ද සමග මාතලේ කයිකාවල දී ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වන උන් වහන්සේ පසුව යාපනයේ සිරගත කෙරෙනවා. උන් වහන්සේ ද සමග සිරගත කිරීමට නියමිත, ඌවේ කැ‍රැල්ලට සහය වූ භික්ෂූන්වහන්සේලා විසි එක් නමකගේ නම් ලැයිස්තුවක් 1820 පෙබරවාරි 25 දාතමින් යුතුව එඩ්වර්ඩ් බාන්ස් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් යැවූ ලිපියක සඳහන් වෙනවා.

ඉංග්‍රීසි පාලනයට එරෙහිව 1843 දී ඇතිවූ කැ‍රැල්ලක දී චන්ද්‍රජෝති නමැති හිමිනමක් මූලිකත්වය ගත් බවක් කියැවෙනවා. නමුත් උන්වහන්සේ ගැන වැඩි තොරතුරක් දැනගන්න නෑ.

1848 මාතලේ කැ‍රැල්ල, තවත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා විසින් පූර්ණ අනුග්‍රහය දක්වපු විමුක්ති අරගලයක්. දඹුලු විහාරයේදී ගිරානේගම නාහිමියන් විසින් ගොංගාලේගොඩ බණ්ඩා රජකරවීමෙන්  මාතලේ කැ‍රැල්ල ඇරඹුනු බවත්, අවසානයේ දී පුරං අප්පු සමග කුඩාපොල හිමියන් ඉංග්‍රීසීන් විසින් වෙඩි තබා මරා දමන ලද බවත් අපි අහලා තියෙනවා.

ඉතින් අපි ඈත ඉතිහාසය හාරලා අවුස්සලා බලන කොටත් මේ වගේ නොයෙකුත් අවස්ථාවලදි බෞද්ධ භික්ෂූන්වහන්සේලා පෙරමුණ අරගෙන කටයුතු කරලාතියෙනවා දකින්න පුලුවන්. දු‍ටු ගැමුණු ඇතුළු අපේ පැරණි රජවරුන් වැඩි දෙනෙක් බුදු දහම, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ සිද්ධස්ථාන සමීපව ඇසුරු කළ බවට සාක්ෂි එමටයි.ශ්‍රී ලාංකිකත්වයේ වර්තමාන හැඩය නිර්මාණය කරගන්න, බෞද්ධ භික්ෂූන්වහන්සේලාගෙන් ලැබුණු දායකත්වය කිසිසේත්ම සුළුකොට තකන්න බෑ.

ඉතින් මම මේ ඉතිහාස කතන්දරටික මතක් කළේ අපේ භික්ෂූන්වහන්සේලාට දෙන දෙයක් වළඳලා, වෙන දෙයක් බලාගෙන ඉඳලා පුරුද්දක් එදා ඉඳන්ම තිබුනෙ නැති බව පැහැදිලි කරන්න. සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන තර්ජනයන් හමුවේ උන්වහන්සේලා කරන කියන  දේවල් දිහා අපි මීට වඩා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙනවා.


පින්තූරය ගත්තේ මෙතැනින් - http://www.buddhistchannel.tv