මගෙ යාලුවෝ

Sunday, March 24, 2013

38. කිරුළේ වර්ණනාව

 මේ පාර දැයට කිරුළ ප්‍රදර්ශණයේ බරපතල වැඩ කොටසක් දෙපාර්තමේන්තුවට පැවරිලා තිබුනා. වන අලි ගැවසෙන අම්පාර වැව ආශ්‍රිතව ප්‍රදර්ශණ භූමිය තියෙන නිසා අලි ප්‍රදර්ශණේ බලන්න එන එක වලක්ව ගන්න විදුලි වැට දෙකක්ම හදලා, ‍රැක බලා ගන්න ලොකු පිරිසක් යොදවලා ඉන්නවා.

ප්‍රදර්ශණයේ දෙපාර්තමේන්තු භූමිය සැලසුම් කරලා සකස් කරන්න පැවරිලා තිබුනේ ගිරිතලේ  වනජීවී පුහුණු කේන්ද්‍රයට සහ පශු වෛද්‍ය ඒකකයට. දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය හා වගකීම් විවරණය කෙරෙන ප්‍රදර්ශණ කුටියක් (Dome) සහ  දෙපාර්තමේන්තුවෙ පශු වෛද්‍ය ඒකකය විසින් පුනරුත්ථාපනය කෙරෙන අනාථ වන සතුන්  ප්‍රදර්ශණය කෙරෙන භූමියක් සකස් කරන්න තීරණය කෙරිලා තිබුනා. වැඩි කතා ඕන නෑ. පින්තූරවලින්ම වැඩේ පහැදිලි කරගමුකෝ.

ප්‍රදර්ශණ කුටියේ පිවිසුම, යාල උද්‍යාන පිවිසුමේ ආකෘතිය අනුව ඉතාම නිර්මාණශීලීව සකස් කරලා තියෙන්නේ, ලාහුගල උද්‍යාන භාරකරු සියාසිංහ මහත්තයාගේ අදහසක් අනුව.

 ප්‍රදර්ශණ කුටිය ඇතුලත දෙපාර්තමේන්තුවෙ වගකීම් හා කාර්ය භාරයත්, ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය පිලිබඳවත් විස්තර කෙරෙන පුවරුවලින් සමන්විතයි. අපේ වනජීවී රක්ෂිත ජාලයට පහුගිය පෙබරවාරි මාසෙ දි වසර 75 ක් පිරුනා. ඒක තමයි ප්‍රධාන තේමාවවුනේ.


 පුවරු අතරට වනසතුන්ගෙ නිදර්ශක සහ උන්ගැන විස්තර ඇතුලත් පුවරු යොදලා තියෙනවා. ජයසූරිය මහත්තයාගෙ වැඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ.











 ප්‍රදර්ශණ කුටියෙන් පිටත භූමියත් ඉතාම ආකර්ශණීයව සකස් කරලා තියෙනවා.














 ශ්‍රී ලංකාවෙ වනජීවී රක්ෂිත ජාලය විදහා දැක්වෙන සිතියම සකස් කළෙත් ජයසූරිය මහත්තයාම තමයි.
 සර්ප කුටියකුත් සකස්කරලා තියෙනවා. විශේෂ ගණනාවක ජීවී සර්පයින් එතන ප්‍රදර්ශණය කෙරෙනවා. සර්පයෙක් දැක්ක පමණින්ම පොල්ලක් අතට ගත යුතු නෑ කියලා පැහැදිලි කරන්න තමයි එතනදි උත්සාහ කරන්නේ.
 මේ පිඹුරු තඩියා දඹුල්ලෙ ගෙවත්තක ඉඳලා බේරා ගත්ත එකෙක්.


 මේ සර්පයාට හැව ඇරගන්න උදව් කරන්නේ අපේ කොල්ලො දෙන්නෙක්.

 මේ කිඹුල් තඩියා අක්කරපත්තුව පැත්තෙ ගමකට ඇවිල්ලා  ඉන්නකොට බේරා ගත්තු එකෙක්.

 මේ අලි පැංචියො දෙන්නා උඩවලවෙ අත් අතුරු සෙවනෙන් ගෙනාපු දෙන්නෙක්. වැටෙන් පැනලා ආපහු ගෙදර යන්න හදන එකී අම්පාරෙ දීඝවාපිය පැත්තෙ අතරමං වෙලා ඉන්දැද්දි බේරගෙන ඇත් අතුරු සෙවනේ ‍රැකවරණයට පත් කරපු එකියෙක්. අනිත් එකී ගෙනැත් තියෙන්නේ ලුණුගම්වෙහෙරෙන්.
 විජිතමුණි ඇමතිතුමාගෙන් අලි පැංචියන්ට කිරි.

 අම්පාර පැත්තේ ගෙවල්වල ඉඳලා හමුවුණු මුවෝ දෙන්නෙක්. තුවාලවෙලා ඉඳලා ගෙනැත් හදනකොට දැන් හීලෑ වෙලා නිසා කැලේට යන්නෙ නෑ.


කල්මුණේ පැත්තේ ලිඳක වැටිලා ඉඳලා බේරගත්ත හඳුන් දිවියෙක්. ඌට නම් මල පැනලා ඉන්නේ. කිට්‍ටුවෙන කොට පුප්පනවා.











අම්මා මැරිලා අනාථවුනු උගුඩු පැටව් තුන්දෙනෙකුත් ඉන්නවා. උන්ට සිරිංජයකින් කිරි පොවන්නෙ අම්පාර පශු වෛද්‍ය ඒකකයේ ලෝරන්ස්. ලෝරගෙ සත්තුන්ට තියෙන ආදර කරුණාව උගේ ඇඟ දිගෙත් බේරෙනවා.

මේ සියලුම අනාථ සතුන් ආපසු ස්වාභාවික පරිසරයට මුදා හැරෙන බවත් සටහන් කරලා තියන්න ඕනෑ.


දැයට කිරුළේ වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවෙ ප්‍රදර්ශණ භූමිය ආකර්ශණීයව සකස් කිරීමේ අභියෝගය ජයගැනීමේ ගෞරවය ලාහුගල උද්‍යාන භාරකරු ප්‍රදීප් සියාසිංහ, පශු වෛද්‍යවරුන්වන ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර, පුෂ්ප කුමාර, සහ අපේ ජයසූරිය, රංජිත් විජිත මහත්වරුන්  ඇතුලු කණ්ඩායමට හිමි වෙන්න ඕනෑ.

ඉතින් ප්‍රදර්ශණය ආරම්භ වෙනකොට, සැලසුම් කරලා තිබුනු  සියල්ල ඒ විදියටම නිම කරගන්න ලැබීම හැමෝටම සතුටක්වුනා. රාජ්‍ය සේවයෙ නීති රීති, රෙගුලාසි රාමු තුල මේවගෙ කටයුත්තක් කලට වෙලාවට නිම කරන එක ඇත්තටම අභියෝගයක්.

සේරටම වඩා අමාරු සමහර උදවියගෙ පුද්ගලික ආකල්ප එක්ක මේවගෙ දේවල් කරන එක. ඒ වගෙ දේවල් බාධක හැටියට බාරගන්නෙ නැතුව අභියෝග හැටියට බාරගත්තොත්, ඒවා අපි කරන යහපත් දේවල්වලට අමතර වටිනාකමක් දෙනවා කියලයි මට හිතෙන්නෙ.











Thursday, March 14, 2013

37. අලුත්ම පඳුරු මැඩියෝ අට දෙනෙක් ...!



මට සාමාන්‍යයෙන් මාසෙකට පෝස්ට් දෙකකට වඩා ලියාගන්න බෑ. ඉතින් මේ මාසෙ මැද ලියන්නෙ මොකද්ද කියලා හිත හිත ඉන්න කොට තමයි අපේ උරග හා උභය ජීවී විශේෂඥ, මෙන්ඩිස් වික්‍රමසිංහ මලයා ඇතුලු කණ්ඩායම අලුතින් පඳුරු මැඩි (Shrub Frogs) විශේෂ අටක් හොයාගෙන ප්‍රකාශයට පත් කරලා කියලා දැනගන්න ලැබුනේ. ඒ අට දෙනාත් එක්ක මේ වෙනකොට ලංකාවෙ වාර්තාවෙලා තියෙන උභය ජීවීන් ගේ මුලු සංඛ්‍යාව 120 ක් විතර වෙනවා.

තොරතුරු හොයලා බලනකොට උන් අට දෙනාම හොයාගෙන තියෙන්නේ අපේ රටේ වැඩිම ජෛවවිවිධත්වයක් තියෙන වනාන්තරය හැටියට සැලකෙන ශ්‍රි පාද අඩවියෙන්. ස්වභාව රක්ෂිතයක් හැටියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ කළමනාකරණය යටතෙ පවතින ශ්‍රි පාද අඩවියෙ පාරිසරික හා ඓයිතිහාසික වටිනාකම නිසාම, යුනෙස්කෝව විසින් ඒක මෑතකදි ලෝක උරුම භූමියක් හැටියට  ප්‍රකාශයටත් පත් කළා. ශ්‍රී පාද අඩවිය සිංහරාජයටත් වැඩිය ජෛව විවිධත්වයෙන් අනූනයි කියලා තමයි සැලකෙන්නේ.

ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු පර්යේෂණ කණ්ඩායම (දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජීව්, චතුරංග ආරියරත්න, අමිල චානක, දර්ශණ ප්‍රියන්ත, ඉමේශ් නුවන් බන්ඩාර සහ මෙන්ඩිස් මලයගෙ සහකාරිය නෙතු වික්‍රමසිංහ) 2009 - 10 අවුරුදු දෙකක් තිස්සෙ ශ්‍රී පාද කන්ද පුරාම ගිරි හෙල් කඳුරු, ගස් ගල් පඳුරු පීරලා තමයි මේ අලුත් පඳුරුමැඩියො ටික හොයාගෙන තියෙන්නෙ. උන්ගෙ ආදර්ශ (Specimens) එකතු කරගෙන ඇවිත් කායික ලක්ෂණ අධ්‍යයනය කරලා, කොලඹ සහ එංගලන්තයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරවල (Natural History Museum repositories) තියෙන සත්ව ආදර්ශ එකතු එක්ක සංසන්දනය කරලා තමයි, කලින් වාර්තා නොවුනු අලුත් විශේෂයන් ද කියලා තහවුරු කරගෙන තියෙන්නෙ.

එහෙම තහවුරු කරගත්තට පස්සෙ තමයි සම්පූර්ණ විස්තර ඇතුලත් පර්යේෂණ වාර්තාවක් සකස් කරලා ප්‍රකාශයට පත් කරන්නෙ. මෙන්ඩිස් මලයා ඇතුලු කණ්ඩායම හොයාගත්තු පඳුරු මැඩියො අට දෙනා පිළිබඳ පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ Journal of Threatened Taxa ජර්නලයෙ.

ඉතින් මෙන්ඩිස් මලයලා හොයා ගත්ත මැඩියො අට දෙනාගෙන්, හත් දෙනෙක්ම නම් කරලා තියෙන්නෙ අපේ රටේ ස්වභාව සම්පත් සංරක්ෂණය සඳහා අමිල සේවාවන් කරපු හය දෙනෙක් සහ වීර පුරන් අප්පු නමින්.

   1. බඹරදෙනියගේ පඳුරු මැඩියා (Bambaradeniya's Shrub Frog - Pseudophilautus bambaradeniyai) -  ආචාර්ය චන්න බඹරදෙනිය ලංකාවෙ  ප්‍රමුඛ තෙත්බිම් පරිසර විද්‍යාඥයෙක්. වාන්කලෙයි අභය භූමිය, කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තු ජාතික උද්‍යානය රම්සා තෙත් බිම් හැටියට  ප්‍රකාශයට පත් කරවාගන්න ඔහු වනජීවී දෙපාර්තමේන්තුවට විශාල සහායක් දුන්නා.

 2. දයාවංශගේ පඳුරු මැඩියා - (Dayawansa's Shrub Frog - Pseudophilautus dayawansai) ආචාර්ය නිහාල් දයාවංශ කොලඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්. උභය ජීවීන් පිළිබඳව බොහෝ පර්යේෂණ කර ඇති ඔහු කලකට පෙර (1994) ආචාර්ය පෘතුවිරාජ් සමග අලුත් ගෙඹි විශේෂයක් හොයා ගන්න දායක වුනා (Kotagama's Dwarf Toad - Duttaphrynus kotagamai)

 3. ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා - (Jagath Gunawardana's Shrub Frog - Pseudophilautus jagathgunawardanai)  දිවයිනේ ප්‍රකට පරිසර නීති විශාරදයෙක් වන නීතිඥ ජගත් ගුණවර්ධනයන්, දශක දෙකක් තිස්සේ වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට සහාය දෙනවා.  දක්ෂ වනජීවී චිත්‍ර ශිල්පියෙක් ද වන ඔහුගෙන් තරුණ පරිසරවේදීන් ‍රැසක් මගපෙන්වීම ලබනවා.




4. කරුණාරත්නගේ පඳුරු මැඩියා - (Karunaratna's Shrub Frog - Pseudophilautus karunarathnai) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක තුනක් සේවය කර විශ්‍රාම ලැබූ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන වයි. ජී. පී. කරුණාරත්න (ලිංකුව බලන්න) ඉතාම අවංක සේවයක් කළ දක්ෂ නිලධාරියෙක් වුනා.
  5. නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා - (Niwton Jayawardane's Shrub Frog - Pseudophilautus newtonjayawardanei)  ශල්‍ය වෛද්‍යවරයෙකු වන නිව්ටන් ජයවර්ධන, ප්‍රකට පරිසරවේදියෙකුද වෙනවා.







6. පුරන් අප්පු ගේ පඳුරු මැඩියා - (Puran appu's Shrub Frog - Pseudophilautus puranappu) මේ මැඩියා නම්කර ඇත්තේ 1848 මාතලේ කැ‍රැල්ලට නායකත්වය දුන් වීර පුරන් අප්පු නමින් (1812 - 1848, වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු)






7. සිරිල් විජේසුන්දරගේ පඳුරු මැඩියා - ( Siril Wijesundara's Shrub Frog) - Pseudophilautus sirilwijesundarai) ප්‍රකට උද්භිද විද්‍යාඥයෙක් වන ආචාර්ය සිරිල් විජේසුන්දර වර්තමානයේ පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා ද වෙනවා.




 

අන්තිම ගෙම්බා නම් කරලා තියෙන්නෙ කාගෙ නමින්ද කියලා දන්නවද .... ? බාගෙට පිස්සු බ්ලොග්කාරයෙක්ගෙ නමින් ....!

    8. සමරකෝන්ගේ පඳුරු මැඩියා - (Samarakoon's Shrub Frog - Pseudophilautus samarakoon) අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය පොර ගැන දන්නවනේ. කොහොම උනත් මේ ගැන දැනගත්තහම ඒ නමින් නම් කරපු ගෙම්බො ටික සේරම එල්ලිලා පන නහ ගනියිද කියලයි මට සැක.





ඉතින් මෙන්ඩිස් මලයා ඇතුළු කණ්ඩායමේ මේ නව සොයා ගැනීම්වලින් අපට ලැබෙන පණිවිඩය තමයි ශ්‍රී පාද අඩවිය කියන්නෙ උභයජීවී
මෙන්ඩිස්, නෙතු යුවල සහ කොලු පැටව් දෙන්නා
උණුසුම් ස්ථානයක් (Amphibian Hotspot - උභයජීවී විවිධත්වයෙන් අනූන, එහෙත් තර්ජනයට ලක් වූ ස්ථානයක්) කියන එක. අතිශය දුෂ්කර පාරිසරික තත්වයන් නිසා එහි ප්‍රමාණවත් තරම් පර්යේෂණ කෙරිලා නෑ. අපිට මෙතෙක් අනාවරණය කරගන්න  බැරි වූ තවත් බොහෝ වනජීවී සම්පත් ‍රැසක් එහි ඇති.

ඉතින් මේ වගෙ තොරතුරු වඩාත් වැදගත් වෙන්නෙ ශ්‍රී පාදස්ථාන පුද බිමේ හෙලිකොප්ටර් අංගන, කේබල් කාර් මාර්ග හදන්න කැස කවන අම්බරුවන්ට. ඒත් ඉතිං මේවා තේරුම් ගන්න උං ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද කියලා සැකයි ...!