මගෙ යාලුවෝ

Wednesday, February 27, 2013

36. අපේ පුංචි බුදු මැදුර




                                                                                ගිරිතලේ මම ඉන්න ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයට එන කනෙකුගෙ ඉස්සෙල්ලාම ඇස ගැටෙන්නෙ අපේ පුංචි බුදු මැදුර. එහි තියෙන, දැකීමෙන්ම හිත නිවෙන බුදු පිළිමය ඉදිරියට එකතුවෙලා, බුදුන් වැඳලා තමයි අපේ දවස ආරම්භ වෙන්නෙ. බුදු මැදුර ළඟින්ම තියෙන්නෙ අපූරුවට දළු දාලා හැදෙන ශ්‍රී මහ බෝධියෙ අංකුරයක්. අංකුරයක් කිව්වට දැන් ඒක අඩි හත අටක් උසට හැදුනු තරමක බෝධීන්වහන්සෙ නමක්..

1993 මම ඉස්සෙල්ලාම ගිරිතලේට එනකොට ඒවගෙ අපි හැමෝටම එකතුවෙලා පන්සිල් පදයක් කියලා හිත නිවාගන්න තැනක් තිබුනෙ නෑ. එතකොටත් මා එක්ක ගිරිතලේ හිටපු ජයසූරිය මහත්තයාටත් මටත් එහෙම තැනක් හදා ගන්න උවමනාව තිබුනත්, ඒ වගෙ දේකට රජයේ සල්ලි වෙන් කරගන්න එක පහසු වැඩක් උනේ නෑ.

බුදු මැදුරක් ගැන හිත හිත අවුරුදු කීපයක්ම ඉන්න අතරෙ තමයි ගිරිතලේ සංචාරක බංගලාව හදන්න දෙපාර්තමේන්තුව සල්ලි වෙන් කළේ. තට්‍ටු දෙකේ විශාල ගොඩනැගිල්ලක් වුනු ඒක ටිකක් ලොකුවට කෙරුනා. ඒකෙ වැඩ බලාපු සුපවයිසරයායි, හෙඩ් බාසුන්නැහෙයි ටිකක් සුහදශීලී මිනිස්සු බව පෙනුනු නිසා අපි ටිකක් කිට්‍ටු වෙලා බුදු මැදුරෙ අදහස දාලා බැලුවා. ඒක කියපු ගමන්ම ඔවුන් දෙන්නාම බොහොම කැමැත්තෙන් ඒකට උදව් කරන්න එකඟ උනා මට මතකයි.

ඉතින් බුදු මැදුරක් හදා ගැනීම මේ විදියට බොහොම සුළුවෙන් ආරම්භ උනා. උදේ ඉඳලා හවස් වෙනකම් බංගලාව හදාපු බාසුන්නැහේ රෑට කාලා ආවා බුදු මැදුර හදන්න. අපේ අත් උදව්වෙන් ඒ වැඩේ කරපු උන්නැහේ ආපහු ගියේ පාන්දර දෙකට තුනට විතර.  බංගලාව හදන්න ගෙනාපු ගල් වැලි, සිමෙන්ති වලින් තමයි වැඩේ කෙරුනේ. සුපවයිසර් උන්නැහේත් ෂේප් නිසා අවුලක් උනේ නෑ.  මේ විදියට ටික දවසකින් බුදු මැදුරෙ වහල මට්ටමට වැඩ ඉවර උනා.

ඊලඟට වහලෙ හදාගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරකර ඉන්නකොට තමයි හදිසියෙම දවසක් මගෙ හිත මිතුරු ලක්දාස් මෙත්තානන්ද යාලුවො කස්ටියක් එක්ක ගිරිතලේ පැත්තෙ ආව. ලකී බාගෙට හදාපු බුදු මැදුර දැකලා විස්තර අහලා 'මම පුළුවන් උදව්වක් කරන්නම්' කියලා ආපහු ගියා. ටික දවසකින් ලකී අපට රුපියල් දාසය දාහක් එවලා තිබුනා බුදු මැදුරෙ ඉතුරු වැඩ ටික කරගන්න කියලා. ඔන්න ඉතින් බුදු මැදුරෙ වහලෙ ගහලා උළු තියාගෙන ඒකෙ වැඩ බොහොමයක් අවසන් කරගත්තෙ ලකී සහ එයාගෙ යාලුවො කස්ටියගෙ උදව්වෙන්. වැදගත්ම කාරණය තමයි ලකී සහ ඔහුගෙ යාලුවො සියලු දෙනාම ක්‍රිස්තියානි ආගම අදහන අය වීම. අර බාසුන්නැහේට වගේම ඔවුන්ටත් උවමනා වෙන්න ඇත්තේ යහපත් දෙයකට සහභාගිවෙලා සතුටක් ලබන්න වෙන්න ඕනෑ.

ඒක කියනකොට මට තවත් කතාවක් මතක් උනා. මම බුත්තල වැඩකරන කාලෙ, පොසොන් දවසක අපේ නිල නිවාසෙ ඉස්සරහ පාරෙ පොසොන් පෙරහැරක් ගියා. පෙරහැරේ අවසානයට ගියේ පොසොන් භක්ති ගීත ගායනා කරන පුංචි දරු, දැරියො පිරිසක් පටවාගත්තු තට්‍ටු ලොරියක්. ලස්සණට සරසලා තිබුනු ඒ වාහනේ යන ගමන්, පුංචි වාදක මණ්ඩලයක් සපයපු සංගීතයට අනුව ඔවුන් පොසොන් භක්ති ගීත ගැයුවා. වාදක මණ්ඩලේ කෙලවරක වයලීනයක් වයමින් හිටියේ ක්‍රිස්තියානි පූජක තුමෙක්. පස්සෙ දැනගන්න ලැබුනු විදියට ඒ භක්තිගීත කණ්ඩායම පුරුදු පුහුණු කරලා තිබුනේ  ඒ පූජක තුමා.

ඉතින් ආපහු ගිරිතලේට එමු. ඊලඟට අපිට ඕනෑ උනේ බුදු මැදුරට ගැලපෙන තරමේ බුදු පිළිමයක් හොයාගන්න. ඒ කාලෙත් ඒ වගේ බුදු පිළිමයක් හොයාගන්න එක ලේසි වැඩක් උනේ නෑ. ඒක ගැන හිත හිතා ඉන්නකොට තමයි මගේ ගිරිතලේ  සේවා කාලය සම්පූර්ණ වෙලා ස්ථාන මාරුවෙන්න උනේ. මට පස්සෙ ආපු සූරියබන්ඩාර මහත්තයත් වැඩේ ඇතෑරියෙ නෑ. එතකොට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ගුණසේකර මහත්තයාගෙත් උදව්වෙන්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයෙ අනුග්‍රහය අරගෙන බුදු මැදුරට ගැලපෙන බුදු පිළිමවහන්සෙ නමක් හොයා ගන්න ඔහු සමත් උනා.

කොහොම හරි මම 2008 දෙවෙනි වරටත් ගිරිතලේට එනකොට දකින කෙනෙකුගෙ සිත් සනහාලන බුදු මැදුරක් නිර්මාණය වෙලා තිබුනා. ඒ වෙනකොට හිටපු ධර්මතිලක මහත්තයා හැමදාම උදේට සේරම පුහුණු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එකතු කරගෙන බුදුන් වඳින ආගමික සම්ප්‍රදාය ඇති කරලා තිබුනා.


ඊට පස්සෙ දැනට අවුරුදු දෙකකට ඉස්සෙලා  තමයි අපේ බෝධිරාජයා අනුරාධපුරෙන් වැඩමවාගෙන ඇවිත් රෝපනය කරගත්තේ. එතකොට ගිරිතලේ පුහුණුව ලබමින් හිටපු සේරම පුහුණු නිලධාරීන් එකතුවෙලා තමයි ඒ පින්කම කරගත්තේ. මේ සියල්ලම සිද්ද උනේ හැමෝගෙම දායකත්වයෙන්. ආණ්ඩුවෙ සල්ලි සත පහක වියදමක් නැතුව.

ඉතින් මට මේ පරණ කතන්දර ටික මතක් වෙනකොට හිතෙන්නේ අපිට යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු උනහම  කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපේ වෘත්තීය තරාතිරම, ආගම් භේද අමතක කරලා, පැවරිලා තියෙන වැඩ වලට විතරක් කො‍ටුවෙලා සීමා වෙන්නෙ නැතුව, යහපත් දෙයක් වෙනුවෙන්  වැඩිපුර සැතපුමක් ඇවිදින්න හිත හදාගන්න පුලුවන්නම්, අපි ජීවත් වෙන මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වෙයි කියලත් මට හිතෙනවා.






රෝපනය කරලා වසර තුනකට පස්සේ, හොඳින් වැඩුනු බෝධිරාජයාණන්වහන්සේ

Thursday, February 14, 2013

35. මට හමු වූ අන්‍ය ජාතීන් හා ආගමිකයින්


සිංහල නොවන අය මට සමීපව ඇසුරු කරන්න ලැබුනෙ රස්සාවට ආවට පස්සෙ. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ තියෙන කුමන දි මට මුණ ගැහුණු පලනි හුදංචි අප්පු මගේ පළවෙනි වනජීවී ගුරුවරයා වුනා. ඔහුගේ පියා කුමන වැසි සිංහල කාන්තාවක් විවාහ කරගත් දමිල ජාතියෙක් බව අහන්න ලැබුනා.

සිංහල කාන්තාවක් හා විවාහ වෙලා හිටපු හුදංචි ගත කලේ සිංහල ජීවිතයක් කියලා කිව්වොත් නිවැරදියි. ඔහුගේ ඇවතුම් පැවතුම්, ගතිගුණ, සිතුම් පැතුම් සියයට සියයක්ම සිංහල වුනා. කාර්ය මණ්ඩලයෙ කවුරුත් ඔහු 'සීනියර්' කියලා ගෞරවයෙන් ඇමතුවා මතකයි.

මගෙ අනිත් දමිල ජාතික ජ්‍යෙෂ්ඨයා වුනේ අරුලානන්දන්. වාලච්චේනේ පදිංචිව සිටි ඔහුගේ මුල් ගම් පලාත පොතුවිල්. ඉතා හොඳින් සිංහල කතා කළ ඔහුත් ඉතා සුහදව සිංහල අපි සමග එක හැලියේ බත් කෑවා. එයින් කලකට පස්සෙ ඔහු ඉතාම අවාසනාවන්ත විදියට තම වර්ගයා අතින්ම ජීවිතක්ෂයට පත්වුනා. හුදංචි සහ අරුල් ගැන මෙතැනින්  තව බොහෝ තොරතුරු ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්.

හම්බන්තොටින් ආපු රවුෆ්ඩීන් සහ තාලිෆ් දෙමස්සිනාලා තමයි, කුමන අපිත් එක්ක හිටපු මැලේ ජාතිකයින් දෙන්නා.  කාර්ය මණ්ඩලයෙ හැමෝගෙම විවේකය ගත කරන විනෝදාංශය උනේ මාලු ඇල්ලීම උනාට උන් දෙන්නට විතර මාලු අහු උනේ නෑ වෙන කාටවත්. මූදෙ යොත් ගහලා මාලු අල්ලගෙන ඇවිත්, 'මාලු එල්ලුවා මචං ... වරෙල්ලා ...' කියලා කෑ ගහලා සේරටම කතා කරලා, අල්ලන  මාලු  අනිත් හැමෝම එක්ක බෙදාගෙන තමයි උන් දෙන්නා කෑවේ. උන් දෙන්නගෙන් තාලිෆාටත් අපිට වගේම බාගෙට පිස්සු. කොයි වෙලාවෙ බැලුවත් නැට්ට පෑගිච්ච පූසා වගේ කෑ ගහ ගත්ත ගමන් තමයි ඌ ඉන්නේ. සිංහල ඉස්කෝලෙක ඉගෙනගත්ත තාලිෆාට සේරම පාලි ගාථා කට පාඩම්. නිවාඩු යන්න ලෑස්තිවෙලා ඌත් එක්ක එක කාමරේ ඉන්න වයසක සුගතයා ඉස්සරහ සාලුවක් එලාගෙන 'වුද්ධි කාරෝ අලිංගිත්වා ...' කියලා තාත්තට වඳින ගාථාව කියලා වඳිනවා.

මම ඉතාම සුහදව ඇසුරු කළ දෙපාර්තමේන්තුවෙ ඉන්න අනෙක් මැලේ ජාතිකයා මොහමඩ්. පස්සෙ කාලෙක මම අම්පාරෙ ඉන්නකොට ඔහු කුමන ජාතික උද්‍යානයෙ භාරකරු හැටියට සේවය කළා. ඒ කාලෙ දවසක් නාකි අලියෙක් ඇවිත් උද්‍යානයෙ වතුර වලක වැටිලා පන අදින්න පටන් ගත්තා. පශු වෛද්‍යවරුන් ගෙන්වලා ප්‍රතිකාර කළත් ඌව ගොඩ දා ගන්න බැරි උනා. පස්සෙ මොහමඩ් අලියගෙ අවසාන මොහොතෙදි කුඩුම්බිගල සේනාසනයෙ හාමුදුරු පිරිසක් ඌ වැටිලා හිටපු තැනට වඩම්මලා පිරිත් කියෙව්වා.

පරම්පරා කීපයකටම අයිති හම්බන්තොට මැලේ ජාතිකයින් තොගයක්ම දෙපාර්තමේන්තුවෙ හිටියා. දැනටත් ඉන්නවා. අපටත් වඩා කැලේට කොලේට හුරු පුරුදු ඔවුන් සියලු දෙනාම වගේ වෙහෙස මහන්සි වෙලා දෙපාර්තමේන්තුවට සේවය කළා.  කොහේ හිටියත් ඉතාම සුහදව අනිත් ජාතීන් එක්ක එක හැලියෙ බත් කාපු ඔවුන් කිසි දවසක අනෙක් ජාතිකයින් එක්ක ගැ‍ටුමක් ඇතිකරගත් බවක් මම අහලා නෑ.

ඉතින් කෙනෙකුට හිතෙන්න පුලුවන් මුස්ලිම් ජාතිකයින් එහෙම සුහදව ඉන්න උත්සාහ කරන්නෙ තමන්ගෙ ආරක්ෂාවට, කපටි කමට කියලා. සුළු ජාතියක් උනහම සමහරවිට එහෙම ඉන්න සිදුවෙනවා ඇති. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගොඩ වැදෙන කොටම ඔවුන් අපිව දකිනවා, ගෞරවයෙන් පිළිගන්නවා. සුහදව අපේ අවශ්‍යතාව හොයලා බලලා ඉෂ්ට කරලා දෙනවා. යකඩ බඩු කඩේකට ගිහින් පාං ගෙඩියක් ඉල්ලුවත් නෑ කියන්නෙ නැතිව කඩේ කොල්ලා බේකරියට යවලා පාං ගෙඩිය ගෙන්නලා දෙනවා.

සිංහල කඩවල් වැඩි හරියකදි අපි අත් දකින්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත් දැකීමක්. මුදලාලියාගෙ ඉඳං කඩේ අතුගාන එකා දක්වාම කරපින්න ගෙන ඉන්නෙ මහ ජාතියෙ උද්ධච්චකම. හිනාවක් මූණ අහලකවත් නෑ. ගන්නවනං ගනිං, නැත්තං පලයං කියලා තමයි උං බඩු විකුණන්නෙ.

ඉතින් මට මේ පරණ කතන්දර මතක් උනේ මේ දවස්වල ෆේස් බුක් එකේ දකින්න තියෙන මුස්ලිම් විරෝධී සටහන් නිසා. අපේ මහ ජාතික උද්ධච්චකම් ඉවසාගෙන,  සුහදව අපිත් එක්ක එකට ජීවත් වුනු මුස්ලිම් ජනතාව දැන් ටිකෙන් ටික පිබිදෙන්න පටන් අරගෙන බව පේනවා. ඒක මුලු ලෝකෙම තියෙන මුස්ලිම් අරගල ‍රැල්ලෙ එක කොනක් හැටියටත් දකින්න පුළුවන්. දමිල දේශපාලකයන් තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරලා දශක ගණනාවක් රට ආපස්සට ඇදගෙන ගියා වගේ මුස්ලිම් දේශපාලකයින් පිරිසකුත් වගකීමකින් තොරව කටයුතු කරන බව පේනවා.

ඒකට විරුද්ධව දැං පිරිසක් අවි අමෝරාගෙන පාරට බැහැලා. ඒකට මූලිකත්වය අරගෙන තියෙන්නෙ මුලු ඉතිහාසය පුරාම ඒ වගෙ අවස්ථාවල පෙරමුණේ හිටපු බෞද්ධ භික්ෂූන්වහන්සේලා. තව පිරිසක් උන්වහන්සේලාට දෙහි කපනවා, අනවශ්‍ය ගැ‍ටුමක් නිර්මාණය කරනවා කියලා.

කොහොම උනත් නොසලකා සිටිය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පේනවා. ජාතිවාදීන්, ආගමික අන්තවාදීන් හා අවස්ථාවාදී දේශපාලකයින් සුලු පිරිසක් එකතුවෙලා අවුලුවන ගින්නක මුලු ජාතියක් දැවෙනවාද ..,? නැත්නම් ඔවුන්ව පි‍ටු දැකලා ඇවිලෙන ගින්න මුල් අවස්ථාවෙදිම නිවා ගන්නවාද ...?  දෙපාර්ශ්වයේම නායකයින් බොරදියේ මාලුබාන්නෙ නැතුව, මේ ගැටලුව දිහා මැදිහත් සිතින් බැලිය යුතුයි කියලා මට හිතෙන්නේ.

කොහොම උනත් මේ ගැටලුව හා අදාල ධන හා රින අගයන් සමාන ලකුණේ වම් පැත්තට දාලා සුලු කරලා අරගෙන, දකුණු පැත්තේ ලියවෙන විසඳුම දිහා බලනකොට එතැන තියෙන්නේ 'සාමය' නම් අපි තවමත් ආරක්ෂිතයි. එතැන 2005 දි වගේ 'යුද්ධය' කියලා ලියැවුනු දවසට තවත් ලේ ගංගාවක් ගලාගෙන යයි.

කවුරු මොනදේ කරන්න උත්සාහ කළත්, කෙරුවත් මේ රටේ බුදු දහමත්, සිංහල ජාතියත් පන් දහසක් කල් පවතිනවා සත්තයි ...!