මගෙ යාලුවෝ

Saturday, November 26, 2011

6. ස්කින් ග්‍රාෆ්ට් ..



අපේ උරග සහ උභයජීවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මල්ලි අද කෝල් එකක් දුන්නා. උගෙ කකුල තුවාල වෙලා ස්කින් ග්‍රාෆ්ට් එකක් කරන්න වෙලාලු. ඒ කියන්නෙ වැඩිය නොපෙනෙන, ඇඟේ  වෙන තැනක හමෙන් කෑල්ලක් අරගෙන තුවාලය උඩ රෝපනය කරන එක.

ඒක ඇහුවහම මට පරණ කතාවක් මතක් වෙලා මෙන්ඩිස් මල්ලිට කිව්වා. ඌට බකබක ගලා හිනා ගියා. ඌ කතාව කලිං අහලා තිබිලා මාව සනසන්න බොරුවට හිනා උනාද දන්නෙත් නෑ. කොහොම උනත් මේකයි කතාව.

එක පොරක් උගෙ ගෑනිගෙ මූන පොඩ්ඩක් පිච්චිලා ඒකට බෙහෙත් දාන්න දොස්තර ලඟට එක්ක ගියා. දොස්තර කියාපි මේකට ස්කින් ග්‍රාෆ්ට් එකක් කරන්න ඕනෑ කියලා. දොස්තරයාම යෝජනා කළා වයිෆ්ගෙ පස්සපැත්තෙන් ඒකට හං කෑල්ලක් ගමු කියලා. ඒත් ඒ යෝජනාව පොරට වැඩිය හිතට ඇල්ලුවෙ නෑ. ඒකට ඉතිං හේතු ගණනාවක් තියෙන්න ඇති.

'දොස්තර මහත්තයා මෙයාගෙ මූනට මගෙ හං කෑල්ලක් දාන්න බැරිද ..?' පොර විකල්ප යෝජනාවක් ගෙනවා'

'එහෙමනං එහෙමවත් කරලා බලමු ..' දොස්තරයත් වැඩේට එකඟ උනා.

කොහොම හරි වැඩේ කෙරිලා මිනිහගෙ පස්ස පැත්තෙ හං කෑල්ලක් මූනෙ අලවගෙන ගෑනි ගෙදර ගියා.

ඒත් එදාම හවස පොරට ආයෙත් දොස්තර ගාවට යන්න සිද්ද උනාලු. බලනකොට උගෙ හක්ක පැනලා. දොස්තර වහාම අතපත ගාලා 'ටකස් ..' ගාලා හක්ක ආපහු තිබුනු  තැනටම දාලා යථා තත්වයට පත් කලාලු.

ඊට පස්සෙ ඉතිං රෝග නිධානය දැනගන්න ඕන නිසා දොස්තර ඇහුවලු 'මොනව වෙලාද හක්ක පැන්නේ ..' කියලා.

'බලන්නකො දොස්තර මහත්තයා අපේ ගෑනිගෙ ලෙඩ බලන්න නැන්දම්මා ආවනෙ ..මට හිනා ගිහිං හක්ක පැන්නා .. ' පොර කිව්වා.

'ඒකට ඉතිං එච්චර හිනා යනවයැ ..?'

'හක්ක පනින්නෙ නැද්ද දොස්තර මහත්තයා නැන්දම්මා තකහනියක් ඇවිත් මගෙ පුka ඉඹිනවා දක්කහම ..?

එතකොටම 'ටකස් ..' ගාලා සද්දයක් ඇහුනලු.

බලනකොට දොස්තරයගෙ හක්ක පැනලා.

Monday, November 14, 2011

5. වෘත්තීයමය වාං මාලාව



'වෘත්තීයමය වාං මාලාව' කියන අපබ්‍රංශෙන් මම අදහස් කළේ එක එකා තමතමන් කරන රස්සාවෙ හැටියට පාවිච්චි කරන වචන සෙට් එක. අපි සමහරු දන්නෙම නැතුව සමාන්‍ය ජීවිතේ දේවල්වලටත් ඒ වචන දාන වෙලාවල් තියෙනවා. සැලකිල්ලෙන් අහගෙන හිටියොත් කෙනෙක් කතාවෙදි පාවිච්චි කරන වචනවලින් එයාගෙ වෘත්තිය මොකද්ද කියලා හිතා ගන්න පුලුවන්.

අපේ ගමේ පියසේන මාමා පැන්ෂන් ගිය පරණ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක්. ඉඳලා හිටලා කන්දෙක කඩා වැටෙන ගානට ගහලා පාරෙ යනවා හම්බ වෙනවා. දවසක් පියසේන මාමා බඩු දාලා බඹරා වගෙ කැරකි කැරකි එනකොට මට පාරෙදි හම්බ උනා. මාමා ටිකක් දුකෙන් වගේ හිටියේ.

'බලාපං පුතේ අපේ කොල්ලා සිගරට් බොන්න පුරුදු වෙලා .. ඌ අද පාරෙ සිගරට් එකක්  බිබී ඇවිත් මාව දැකලා ඒක විසි කරලා මට සයිඩ් එක දීලා ගියා'

'ඕවට ගහලා බැනලා වැඩක් නෑ මාමේ .. දැන් හැදෙන කොල්ලො ඔහොම තමයි' මමත් තෙල් පොඩ්ඩක් ගෑවා.

'මම මොකවත් කියන්න ගියෙ නෑ පුතේ .. එච්චර සයිඩ් එකක් දීපු එකේ ඇඟට කපන්නෙ මොකටද කියලා ඇදලා ආවා' පියසේන මාමා බොහොම හිතේ අමාරුවෙන් කියාගෙන ගියා.

අපේ ගේ හදාපු බාස් මල්ලිත් උපං ගෙයි බාස් කෙනෙක්. වැඩක් දුන්නහම පැනලා බාර ගන්නවා. වැඩේ බාගෙට කරලා වෙන වැඩවලට යනවා. මම ඌට වැඳ වැඳ පස්සෙන් යන්න ඕනෑ ආයෙත් ගෙන්න ගන්න.

එනවමයි කියලා කියාපු එක දවසක මූ ආවෙ නෑ. වැඩේ නිසාම නිවාඩුත් දාගෙන හිටපු මම එදා නම් මල පැනලා ඌව හොයාගෙන ගියේ හොම්බට දෙකක් අනිනවමයි කියලා හිතාගෙන. ඒත් ගෙදරට යනකොට කකුලෙ අලි බැන්ඩේජ් එකකුත් එක්ක බාස් මල්ලියා ඇඳක බෑවිලා ඉන්නවා.

'ග්‍රයින්ඩරේට කකුල කැපුනා මහත්තයා.. සුමනෙකට නැගිටින්න හම්බ වෙන්නෙ නෑ ..' බාසා බොහොම දුකෙන් කිව්වා.

මටත් ඇත්තටම දුක හිතිලා 'හුඟක් කැපුනද මල්ලී.. ? ' කියලා ඇහුවා.

'හුඟක් කැපුනදත් අහනවා මහත්තයා. කැපුමෙ වාසිය නූල් තුනකටත් වැඩියි.. ' බාසා උගෙම බාසාවෙන් උත්තර දුන්නා.

Wednesday, November 9, 2011

4. සයිමන් අංක එක සහ දෙක

ගිරිතලේ සයිමන් අන්කල්
 මතක හිටින සයිමන්ලා දෙන්නෙක් මට මගෙ ජීවිතේදි හම්බවෙලා තියෙනවා.

පළවෙනි සයිමන් මට හම්බ උනේ 1980 ගණන්වල කුමන දී. අම්පාර දිස්ත්‍රික්කයේ පහලම කෙලවරේ තියෙන කුමන ගමට ආසන්නම නගරය පොතුවිල්. පොතුවිල්වලින් පානමට ගිහිල්ලා අලි, කොටි, වලස්සු ඉන්න කැලේ මැද්දෙන් කිලෝ මීටර් තිස් පහක්  යන්න ඕනෑ කුමනට. සම්පුර්න දුර කිලෝ මීටර් පනහක්. ඒ කාලේ කුමන සයිමන් අය්යා කුමන හා පොතුවිල් අතර පාරිභෝගික භාන්ඩ ප්‍රවාහන සේවයක් පවත්වාගෙන ගියා. එතකොට වයස හැත්තෑව පැනලා හිටපු, එක ඇහැක් විතරක් පේන සයිමන් අය්යගෙ වාහනේ රාමුවට අමතරව තිබුනෙ රෝද දෙකයි, හැන්ඩ්ල් එකයි, පැඩල් දෙකයි විතරයි. අතරමග ඕකන්දෙ හිටපු අපිට සයිමන් අය්යා බීඩි සිගරට්, සීනි තේ කොල ගෙනත් දෙන්නෙ පොඩි කොමිස් එකකුත් තියාගෙන. සයිමන් අය්යා ගැන වැඩි විස්තර මගේ 'යාල නැගෙනහිර - වන මං' පොතේ තියෙනවා.

දෙවෙනි සයිමන් මට මුණ ගැහෙන්නෙ ගිරිතලේ දී. සයිමන් අන්කල් නොහිටියානම් ගිරිතලේ මට අපායක් වෙනවා.

මම දැකපු හොදම '5 එස්' තියෙන්නෙ හැත්තෑව පැනපු සයිමන් අන්කල් ගේ කුස්සියේ. හැම දේකටම නියමිත තැනක් තියෙනවා. මට කරන්න තියෙන්නේ අවුල් කරලා දාන්න විතරයි. පහුවදාට සේරම බඩු ආපහු තිබුනු තැනටම යනවා.

සත්කාරයට බර සයිමන් අන්කල්ගෙ කෑම රසයි, ඒත් මට පොඩි ඇදයක් තිබුනා. හැමදාම බත් ගොඩක් ඉතුරු වෙනවා. කෑම අපතෙ යන එක ගැන අකමැත්තක් පෙන්නුවත් වැඩි වෙනසක් උනේ නෑ.

'අන්කල්ගෙ යාලු බල්ලො ‍රැලක් ගෙදර යන පාරෙ කැලේ ඉන්නවා'. දවසක් අන්කල්ගෙ ගමේ ඉදලා වැඩට එන කොල්ලෙක්ගෙන් තොරතුරක් ලැබුනා. 'අන්කල් උන්ට බත් ගෙනිහින් දෙනවා' කේළමා තව දුරටත් පැහැදිලි කළා. ඒක අහලා මගෙ ඇදේ ටිකක් ඇරුනා. ගිරිතලේට දවසක් දෙකක් නතර වෙන්න එන මගෙ යාලුවො උනත් ඉස්සෙල්ල හොයන්නෙ අන්කල් ඉන්නවද කියලා.

'ගමේ එවුං බලු පැටව් කැලේට ගෙනත්  දානවා. උන් බඩගින්නෙම මැරිලා යනවා' අන්කල්ම දවසක් හෙමින් සැරේ කිව්වා. 'යන එන ගමං මම උන්ට ගෙවල්වල ඉතුරු වෙන බතුයි, වතුරයි ගෙනිහින් දෙනවා. උන් මම එනකම් මග බලාගෙන ඉන්නවා'

ඊට පස්සෙත් දවසක්, දවල්  ඉතුරු වෙච්ච බත් ටිකක් රත් කරල රෑට කමු කිව්වහම අන්කල් කතාවක් නැතුවම බත් ටික රත් කරල මෙසෙ උඩින් තිබ්බා. 'අද බල්ලන්ට ගෙනියන්න දෙයක්  නැද්ද ..?' මටත් නිකමට ඇහුනා.

 'කඩෙන් පාං ගෙඩියක්වත් ගෙනියන්න බැරියෑ ..' අන්කල් අහක බලාගෙනම උත්තර දුන්නා.

අන්කල්ගෙ ඉවිල්ල ගැන මට දැන් ඇදයක් ඇත්තේම නෑ.


කුමන සයිමන් අය්යා ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale



Thursday, November 3, 2011

3. වයිජීපී



වයිජීපී කරුණාරත්න
වනජීවියට ගෑවුනු එකෙකුට වයිජීපී කිව්වොත් හිතේ මැවෙන්නෙ උස මහත, කලු පාට, ඇහැරිලා ඉන්න හැම මොහොතකම කාටහරි කෑගහගත්ත ගමන් ඉන්න, දිරච්ච ලණු පප්පෙක්. අවුරුදු තිහක් තිස්සෙ උගෙ ලණු වැඩියෙන්ම කෑවෙ උගෙ බැචෙක් වෙච්ච මම.

වයිජීපී කරුණාරත්න වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුවෙ හිටපු නිර්මාණාත්මක හැකියාවන්ගෙන් අගතැන්පත් එකෙක්. එක පාරක් හොඳම උද්‍යාන භාරකරු හැටියටත් තේරුනා. වයිජීපී අවුරුදු තිහක රාජ්‍ය සේවාවකින් පස්සෙ, මධ්‍යම පලාත භාර සහකාර අධක්ෂ්‍ය හැටියට  ඊයෙ පෙරේදා විශ්‍රාම ගත්තා. ඌට ගෞරවයක් හැටියට මම මේ ටික ලිව්වෙ.

1980 දශකය මුලදි අපි කුමන ජාතික උද්‍යානයෙ  වැඩ කරද්දි එක හැලියෙ බත් කෑවා. ඒ කාලෙදිම තමයි වයිජීපී කසාද බැන්දෙත්. ස්ටාෆ් එකේ හිටපු සෝමරත්නයා  වයිජීපී ගේ කසාදෙ කෙරිච්ච හැටි ගැන නාට්ටියක් රඟ දක්වලා පෙන්නනවා ඒ දවස්වල. ඒකෙ අවසාන ජවනිකාවෙ තියෙන්නෙ සුමනා නංගිගෙ (වයිජීපී ගෙ වයිෆ්) අම්මා, සුමනා නංගිගෙ ඔලුව අතගාලා කියනවා 'අනේ පුතේ විහාර මහා දේවි මුහුදට බිලි වෙලා රට ජාතිය බේර ගත්ත වගේ උඹත් මේ පොරිසාදයා එක්ක ගිහින් අපේ පවුල බේර ගනින්' කියලා.

රාජකාරි සමුගැන්ම
වයිජීපී දවසක් ඔ‍ෆිස් එක ගාව මෝටර් ස්යිකලේකින් වැටිලා පැය දෙකක් විතර කෑ ගගහ හිටියලු. ඒත් කවුරුවත් උදව්වට ඇවිත් නෑ. පස්සෙ අමාරුවෙන් නැගිටලා ගිහින් 'මොකද යකෝ තොපි මාව නැගිට්ටවන්න ආවෙ නැත්තේ.. තොපිට මම කෑ ගහනව ඇහුනෙ නැද්ද ..?' කියලා කොල්ලන්ට බැන්නලු. එතකොට උන් කිව්වලු ' සර් ගෙ සද්දෙ නං අහුනා. ඒත් හැම තිස්සෙම ඉන්නෙ කෑ ගහ ගහ නිසා අපි ගනං ගත්තෙ නෑ .. ' කියලා.

වයිජීපී දෙපාර්තමේන්තුවෙ හිටපු හොඳම බොක්කක්.

2. අහිංසක උකුණු පැටියා



සමහර පොඩි එවුං, මහ එවුංට හොරෙන්  හිත හිතා තක්කඩිකම් කරති. ඒත් ඒවා අසුවී හොයා බලද්දී ගහන්න බනින්න හිතෙන්නේ ද නැත. අපට නොපෙනෙන අතිශය මානුෂික බවක් ඒ සමහර  තක්කඩිකම්වල තිබෙන නිසාය.

අපේ නංගිගෙ කෙල්ල දවසක් ඇවිත් කිව්වලු 'අනේ අම්මෙ මගෙ ඔලුවෙ චූටි උකුණු පැටියෙක් හිටියා....  එයා හරීම අහිංසකයි අම්මෙ' කියලා. ඒක කියල බලාගෙන හිටපු තාලෙන්ම නංගිට දනුනලු මේකි මොකක් හරි තක්කඩිකමක් කරලා තමයි කියල. 'ඉතින් පුතා ඌට මොකද කලේ' කියල නංගි ඇහුවලු.

කෙල්ල උත්තර දෙන්න කලිං ටිකක් ඈතට ගියාලු.

 ' මම එයාව ආපහු ඔලුවට දා ගත්තා'